Monday, 18 May 2020

ගලහිටියාව මතක (III): පාසල් ගමනේ විස්තර - School, a bit far away



මේ ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ මා ගතකළ සිව් වසරක කාලය පිළිබඳ ලියවෙන දීර්ඝ මතක සටහනක තෙවන කොටසයි.

පළමුවෙනි කොටස: https://rasikalogy.blogspot.com/2020/05/my-galahitiyawa-central-collage-memories.html

දෙවන කොටස: https://rasikalogy.blogspot.com/2020/05/galahitiyawa-memories-episode-ii.html


අපේ ගම වූ පරකන්දෙනිය මෙන්ම අල්ලපු වැටෙන් ඇරඹෙන කොස්සින්න හරහා ද ධාවනය වෙන්නේ කඩවත සිට ගණේමුල්ල දක්වා දුවන මාර්ග අංක 218 නැමැති බස් රථයයි. ගනේමුල්ලේ සිට කඩවත දක්වා වැටී ඇති කෙලින් පාරේ දුවන මාර්ගයේ ධාවන අංකය වූයේ 223 ය. එම මාර්ගයේ බස් පහක් හයක් ධාවනය වුවද අපේ 218 මාර්ගයේ උඩට පහලට ගමන් කළේ එකම බස් රථයක් පමණි.

අපේ බස් රථයේ දවසේ ගමන ආරම්භ වෙන්නේ උදෑසන 5.30 ට කඩවත සිට ය. එය අපේ නිවස පසුකර ගණේමුල්ල බලා යන්නේ උදෑසන 5.45 ට ය. ගණේමුල්ලේ සිට නැවතත් කඩවත බලා ගොස් ආපසු ගමන එන්නේ උදෑසන හතට පමණ ය. එය ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ පාසල් බසය ද වූ හෙයින් සාමාන්‍යයෙන් ගනේමුල්ලෙන් ගමනාන්තය ලබන බස්රථය එවර ගලහිටියාව මධ්‍යම විද්‍යාලය අසලට ම ධාවනය වී ය.

අපරභාගයේ දී දහවල් 1.45 ට පමණ මෙම බස් රථය ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ සිට 218 මාර්ගය ඔස්සේ කඩවත දක්වා ගමන් ඇරඹුණි.

වර්ෂ 1973 ජනවාරියේ සිට 1976 දෙසැම්බර් දක්වා දිව ගිය මගේ ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ පාසල් දිවියේ මුල් භාගයේදී මට ප්‍රවාහනය සැපයුනේ මෙම බස් රථයෙනි. මා පමණක් නොව මා සමගම ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ අධ්‍යාපනය ඇරඹූ අල්ලපුවත්තේ සිටි ආනන්ද ජයතිලක, අපේ නිවෙසට තරමක් දුරින් සිටි සන්ධ්‍යා අබේවීර, කොස්සින්න ශ්‍රී සීලානන්ද විද්‍යාලයේ ගුරු නිවාසයේ සිටි ව.ආ. දයාසිරි, කොස්සින්නේ සිසිර ප්‍රේමකුමාර පමණක් නොව ඉඳිගහමුල වෑබඩ පාරේ සිටි ප්‍රියන්ත විජයරත්න සහ රම්මුතුගල පදිංචිව සිටි ගුණතිලක පින්තු / නිමල් රත්නසිරි කරුණාසිංහ මිතුරන්ද මෙම බස් රථයේ ගමන් ගත්හ.

අපේ නිවස ප්‍රදේශයේ සිට ගලහිටියාව මධ්‍ය විද්‍යාලය දක්වාම මගේ ටිකට්ටුවක බස් ගාස්තුව වූයේ ශත 15 ක් පමණි. කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලය අසල බස් නැවතුමේ සිට නම් ගාස්තුව බාගේ ටිකට් එකකට ශත දහයකි.

අපේ පාරේ ධාවනය වන බස් රථය එක්කෝ කැඩුණු දිනවල හෝ නැතහොත් සේවකයින් නොමැති නිසා ධාවනය නොවන දිනවල අපට නිවසේ සිට කඩවත ගනේමුල්ල ප්‍රධාන 223 මාර්ගයේ කොස්සින්න හන්දිය දක්වා (මෙය අපේ වැඩිහිටියන් හැඳින්වූයේ චාරප්පු කඩේ හංදිය කියා ය) පයින් ගොස්, එතැන් සිට සත පහක භාගයේ ටිකට් එකක් සඳහා බස් ගාස්තුවක් ගෙවා බසයකින් ගනේමුල්ලට ගොස් පාගමනින් පාසල වෙත යා යුතු විය.

පාසල් බසය ගමන් කළේ ගණේමුල්ලේ ඉහල ප්‍රදේශයේ ඇති බස් නැවතුම පසුකර රේල් ගේට්ටුව පන්නා පහළට ගොස් ජාඇල පැත්තට දිවෙන මාර්ගයට හැරී ය. නමුත් 223 බස් රථයක පැමිණ ගණේමුල්ල ඉහළ ප්‍රදේශයේ බස්නැවතුමෙන් බසින අපට පයින් යෑමට කෙටි මාර්ගයක් තිබුණි. ඒ, එවකට එතැන තිබුණු අම්බලමේ සිට රේල් පාර දක්වා දිවයන ගුරු පාරේ ය. මගේ මතකයේ හැටියට එය එවකට ගම්සභා පාර නමින් හැඳින්වුණි.

එවකට මෙම මාර්ගයේ තිබුණු ප්‍රධාන මං සලකුණු අතර වම්පසින් ආණ්ඩුවේ ඩිස්පැන්සරිය සහ පාවිච්චියට නොගන්නා ගම්සභා ගොඩනැගිල්ලක් ද, මාර්ගයේ දකුණු පසින් ට්‍රාන්ස්ෆෝමරයක් ද, නැවතත් වම්පසින් "Private Road. To Mr. Perera's Residences" නමින් පුවරුවක් සවි කළ ගුරු පාරක් ද විය. එසේ වුව ද, මගේ පියාගේ හොඳම මිතුරෙකු වූ සයිමන් මාමා ගේ නිවෙසට යාමට තිබුණේ ද මේ පාර ය. පාරේ අනෙක් පසින් සුවිසල් ගේට්ටුවක් සවි කළ නිලමේ නමැත්තෙක් විසූ නිවසක් ද විය. මාර්ගය රේල් පාරෙන් අවසන් වූයේ ගලගෙදර නමින් අප හැඳින්වූ නිවස අසලින් ය. අද මෙම පාරේ මා ගමන් ගතහොත් මට දකුණු පසින් රංජනී ජයසූරිය යුවළගේ නිවස ද, ශ්‍රියා අක්කා ගේ නිවස ද, වම්පසින් ගාමිණී මාමා සෑදූ නිවස ද දිස්වනු ඇත.

පයින් යන්නම් සඳහා කිසිදු ආරක්ෂාවක් නොතිබුණ ද, මාර්ගයේ අවසානයේදී අප කළ යුතු වූයේ රේල් පාරවල් දෙක හරහා ගොස් අනිත් පැත්තේ ඇති ගුරු පාරට පිවිසීමයි. ඒ මාර්ගයේ මීටර් සීයක් පමණ ගමන් ගත් පසු අප පිවිසෙන්නේ පෙර කී ගණේමුල්ල-ජාඇල මාර්ගයේ හේමමාලි මහා විද්‍යාලය අසලටයි. එතැන් සිට ගලහිටියාව මධ්‍යම විද්‍යාලයට ඇත්තේ හූවක දුරකි.

මෙලෙස පයින් ගමන් කිරීමට සිදුවූයේ පාසල් බස් රථය ධාවනය නොවුනු දිනවල පමණකි. ඒ දිනවල අප පාසලට යන විට අනිවාර්යෙන්ම පෙරවරු 7.30 පසුවී තිබුණු නමුත් ප්‍රමාදය පිළිබඳව දඬුවම් ලබන්නට සිදු වූ බවක් මගේ මතකයේ නැත.

මුල් වසර තුනේ මගේ පන්තිය භාර ගුරුවරයා වූ ජේ. ඒ. කුලරත්න ද, ඊළඟ වසරේ පන්තිභාර ගුරුවරයා වූ ඒ පී පෙරේරා ද, සිසුන්ට ශාරීරික දඬුවම් පැමිණ වූ බවට කිසිදු මතකයක් මට නැත. සමහරවිට දැන් අවුරුදු හතළිස් හතරකට පසු මගේ මතකයේ සමහර දැන් මැකී ගොස් ඇතිවා විය හැක. කෙසේ වෙතත් මගේ මතකයේ හොඳින් රැඳී ඇති කාරණයක් වන්නේ එකල අපේ සිත්වල බියක් ඇති කළ එකම පුද්ගලයා වූයේ කොන්ස්ටන්ටයින් නම් අංශභාර පාලකයා බවයි.

මතු සම්බන්ධයි:
ලොකු ඉස්කෝලේ දි වූ වෙනස්කම් - https://rasikalogy.blogspot.com/2020/05/iv-life-changes-for-ten-year-old-boy.html

රසික සූරියආරච්චි

(image: My season ticket from 1974)

8 comments:

  1. අනේ, මම ගිහින් තියෙන්නේ පයින්ම යන දුරක තියෙන පාසල්වලට විතරයිනේ. පාසල් බසයක යන චාන්ස් එකත් ලැබුනා නම්........

    ReplyDelete
  2. Kotas thunama kiyewwa.Maga salakunu ha pudgala nama pawa lassanata sandahan wenawa.
    Ithiri tikath danna.

    ReplyDelete
  3. මටත් ඔය ආකාරයේම පාසල් බස් රථයේ ගමන් ගිය අත්දැකීම් තිබෙනවා .

    ReplyDelete
  4. ඔය ගණන් උගන්නපු කුලරත්න සර් ද? එහෙම නම් මම එයාගෙනුයි කොන්ස්ටන්ටයින් සර් ගෙනුයි හොඳටම ගුටි කා ඇත..! කොන්ස්ටන්ටයින් සර් ගෙන් වැදුනේ වේවැල් පාරවල්ය....ඒවා නම් හොඳටම සැරය..! :)

    ReplyDelete
  5. කොන්ස්ටන්ටයින් සර් අපි ඉන්නකොටත් විනය භාරව හිටිය හරිම වසයි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.