Monday 4 November 2024

චූවක දුර - A new measure of distance


"චූවක දුර" යනු මවිසින් සොයා ගත් අලුත් ම දුර මනින ඒකකයකි.

"හූවක දුර" යන දුර මැනීමේ ඒකකය පිළිබඳ අපි සියලුදෙනා ම අසා ඇත්තෙමු. ඔබ එක් තැනක සිට "හූ" හඬක් නැගූ විට එය ඇසෙන දුර ප්‍රමාණය හූවක දුර වේ.

මා සොයාගත් අලුත් මිනුම් ඒකකය ද ඒ ආකාරයේ ම එකකි.

"චූවක දුර" මා අර්ථදක්වන්නේ මෙලෙස ය.

ඔබ වෙනත් අයකු සමග ව්‍යායාමය පිණිස ඇවිදීමේ මගක ගමන් කරමින් සිටිය දී ඔබට මුත්‍රා කිරීමට අවශ්‍ය වුණේ යැයි සිතන්න. එවිට ඔබ මේ ඡායාරූපයේ දැක්වෙන ආකාරයේ මාර්ගය අසල පිහිටි වැසිකිළියක් තුලට යනු ඇත.

ඔබේ ගමන් සගයාට ඔබ ආපසු එන තුරු වැසිකිලිය අසල නතර නොවී සිට දිගට ම ගමන් කරන ලෙස කියා ඔබ වැසිකිළිය තුළට ගොස් චූ බරෙන් නිදහස් වී එළියට පැමිණෙන මොහොත වෙන විට ඔබේ ගමන් සගයා එතන සිට ගමන් කර ඇති දුර "චූවක දුර" ලෙස අර්ථ දක්වමි.

හූවක දුර යන මිනුම හූ කියන්නාගේ කටහඬේ තීව්‍රතාව, අවට පරිසරයේ හුළං හමන දිශාව සහ පරිසරයේ වෙනත් ශබ්ද ආදිය මත රඳා පවතින නිශ්චිත මිනුමක් නොවන්නා සේ ම, හූවක දුර යන්න ද ඔබේ චූ බරේ ප්‍රමාණය සහ ගමන් සගයාගේ ගමන් කිරීමේ වේගය මත රඳා පවතින බව සැලකිය යුතුයි.

අයිසෙක් නිවටන් ගුරුත්වාකර්ෂනය පිළිබද සංකල්පය ඉදිරිපත් කළේ ඇපල් ගසක් යට දී ලද අත්දැකීමක් අනුසාරයෙන් බව අපි දනිමු. මේ "චූවක දුර" සම්බන්ධ මුල් අදහස මගේ සිත ආවේ, සහ, ඒ ඇසුරෙන් මේ සංකල්පය මා ගොඩනැගුවේ ප්‍රායෝගිකව ඒ හා අදාල අත්දැකීම ලැබීම හරහා බව අමුතුවෙන් කිව යුතු යැයි නොසිතමි.

මේ ඉහළින් පළ කර ඇත්තේ ද, ඒ වැසිකිළියයි. මෙය පිහිටා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ, පෙන් රිත් (Penrith) නගරය හරහා ගලා යන නේපියන් (Nepean) ගංගාව අසබඩ පිහිටා ඇති මනරම් උද්‍යානයේ ය. ගඟ තරණය කිරීමට සාදා ඇති මගී පාළමක් සහ මහා-මාර්ග පාළමක් උපයෝගී කරගෙන නේපියන් ගංගාවේ ඉවුරු දෙක අසබඩ ඇති ඇවිඳින මංතීරු ඔස්සේ අපට කිලෝමීටර් හතක පමණ පා ගමනක යෙදිය හැක.

ගිය වසරේ (2023) ජූනි මාසයේ දී ගිය ඒ පාගමනේ දී මා සොයාගත්, එදිනම ෆේස්බුක් එකේ පළ කළ මේ "චූවක දුර" මිනුම් සංකල්පය මෙලෙස රසිකොලොජි බ්ලොගයට එකතු කරන්නට සිහිවූයේ ඊයේ නැවතත් ඒ මග ගිය බැවිනි.

- රසික සූරියආරච්චි

7 comments:

  1. ඔන්න ඔහොමලු ඒකත් හොයාගත්තෙ.

    ReplyDelete
    Replies
    1. නිව්ටන්ගේ ඇපල් ගෙඩියේ කතාව වගේ මේකත් දනන් තුඩ තුඩ පැවතේවි.

      Delete
  2. ඔය වගේ තමයි අරක්කු කාලක ට්‍රැෆික් එක

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අරක්කු කාලක් බීලා, ඊට පස්සේ කුමක් කිරීම ද?

      මට නම් අරක්කු කාලක් බීවොත් මනින්න වෙන්නේ නින්දේ දිග පැයවලින් තමයි.

      Delete
  3. මම හිතුවේ අර තුම්මන් හන්දියේ කියනවා වගේ, චූ කරලා, චූ පාර කොච්චර දුරට යනවද කියල බලන එක කියල

    ReplyDelete
    Replies
    1. ඔයාට ඉතිං "පාර දිගේ" දේවල් ගැන සිතීම අරුමයක් නොවේ නේ.
      😀

      Delete
  4. හොයන්නාට නෑ හම්බ නොවෙන්නේ
    හොයල නෙවෙයි මේ නිකං ලැබිලනේ
    මෙහෙ ඇවිදින මං තීරු තියෙන්නේ
    චූ බර නොහැදෙන අයට වගෙයිනේ

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.