Wednesday, 28 May 2025

මලගෙවල්වල කතා පැවැත්වීම - The art and craft of funeral orations


මගේ ජීවිත කාලය තුළ මම අවමංගල්‍ය උත්සව තුනක කතා කර ඇත්තෙමි. ඉන් එකක් මට ලැබුණු අවස්ථාවකි, ආරාධනයකි. අනිත් අවස්ථා දෙකම මා මගේ උවමනාව නිසා ලබාගත් අවස්ථා ය.

මුල්ම අවස්ථාව මට ලැබුණේ අප විශ්වවිද්‍යාලයෙන් පිට වී අවුරුදු එකහමාරකට පමණ පසු අපේ කණ්ඩායමේ සිටි සගයෙකුගේ වැඩිමහල් සොහොයුරෙකු අවාසනාවන්ත ලෙස මරණය සොයා ගිය පසු ඔහුගේ අවසන් කටයුතු සඳහා සහභාගි වුණු අවස්ථාවේ දී ය.

දෙවනුව මා කතා කළේ මගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේ දී ය. පවුල වෙනුවෙන් කවුද කතා කරන්නේ යැයි එදා දහවලේ එම සභාව මෙහෙය වූ තැනැත්තා විමසනවා ඇසූ විගස මා කතා කළ යුතු යැයි මට සිතුණු බැවින් ඒ අවස්ථාව මම ලබා ගත්තෙමි. එය මා සිතමින් සිටි දෙයක් නිසා කිව යුතු කරුණු ද මගේ සිතේ ගොනු වී තිබුණි.

තුන්වෙනුව සහ අවසන් වරට මා කතා කළේ මගේ මවගේ අවමංගල්‍යය උත්සවයේ දී ය. එය ද කිසිදු පෙර සූදානමකින් තොරව එහි සිටියදී මංගල්‍ය උත්සවය අවසානයේදී සභාව මෙහෙය වූ තැනැත්තා වෙනත් කවුරුහරි ඉන්නවද කතා කරන්නට යැයි පැවසූ විට මා ලබා ගත් අවස්ථාවකි.

ඒ අවස්ථා තුනේ දී මා කියූ කතාවල සාරාංශය ඉදිරිපත් කිරීම පසුවට තබා සටහන ලිවීමට තුඩු දුන් මූලික කාරණය වූ, මාලිනී පොන්සේකා නම් සිනමා නිලියගේ අවමංගල සභාවේ දී සෞම්‍ය ලියනගේ විසින් කරන ලද කතාව ගැන මගේ අදහස කියනවා නම් එය මෙසේය.

මංගල උත්සවවල දී මෙන්ම, අවමංගල සභාවල දී ද කතා පවත්වෙන්නේ කවුද යන්න තීරණය කිරීමේ පරම අයිතිය ඇත්තේ මියගිය තැනැත්තාගේ ඥාතීන්ටය. බොහෝ අය මියගිය තැනැත්තාගේ හතර පරම්පරාවේ අය නියෝජනය වන පරිදි කතා බෙදා හරිති. සේවා ස්ථානයේ අය වෙනුවෙන්, මිතුරන් වෙනුවෙන් ද කතා ලැබේ.

මා ඉහත සඳහන් කළ මුල් අවස්ථාවේ දී මට කතා කිරීමට ආරාධනා කෙරුණේ මියගිය පුද්ගලයාගේ සොහොයුරා වෙනුවෙනි.

මාලිනී ෆොන්සේකාගේ අවමංගල්‍ය සභාවේ දී සෞම්‍ය ලියනගේ කතා කළේ ඒ පවුලේ අවශ්‍යතාව පරිදිය. ඔහු ඒ පවුලේ ඥාතියකි. එනම් අප බොහෝ දෙනෙකු දන්නා පරිදි සෞම්‍ය ලියනගේ මාලනී ෆොන්සේකාගේ ඥාති දියණියක වන සමන්ලී ෆොන්සේකාගේ සැමියාගේ සොහොයුරා ය.

සමනලීගේ සැමියා වන ඉන්ද්‍රචාපා ලියනගේ විසින් මාලිනී ෆොන්සේකාගේ සිරුර දවාලූ සොහොනට ගිනි අවුලනු අවසානයේ අපට පෙනුණි.

ඊළඟ වැදගත් කරුණ නම් මෙලෙස කතාවක් පවත්වන්නට ආරාධනා කළ පසු කිසිවකු "මෙන්න මේවා කියන්න ය, මෙන්න මේවා නම් කියන්න එපා ය" කියා නීති පනවන්නේ නැති බවයි.

මා කතා කළ අවස්ථා තුනේ දී මම ද මට ඕනේ දේ කීවා මිස වෙන අයට අවශ්‍ය දේ කියන්නට හෝ නොකියන්නට හෝ ගියේ නැත. (අවමගුලක දී නොව වෙනත් අවස්ථාවක මට කතාවක් කරන්නට ආරාධනය කළ අයෙකු ඉන් පසුව හැබැයි රසික එක කොන්දේසියක් තියෙනවා යනුවෙන් කියන්නට පටන්ගත් සැණෙන්, මා කළේ අනේ මේ මට අපහාස කරන්නට එපා යැයි කෙළින්ම පවසා සිටීමයි.)

ඉතින් සෞම්‍ය ලියනගේ ඊයේ කතා කිරීම ගැන ඒ පවුලේ අයට නැති ප්‍රශ්නයක් අපට තිබිය යුතු නැත.

එසේම ඔහු එහි දී කීවේ ඔහුට අවැසි දේ මිස ඒ කතාව අසා සිටි එක එක බයි-නොබයි සිපයියන්ට අවශ්‍ය දේ ද නොවේ.

අසා සිටි ඔබ සැමට ස්තුතියි.

- රසික සූරියආරච්චි

Wednesday, 21 May 2025

“පාදර ඇරා” ගේ “සූදුරු අබා” කෙටි කතා එකතුව පිළිබඳ මගේ සටහන - My take on Ajith Perakum Jayasinghe's short story collection "Suduru Aba"


මෙය විචාරයක් ලෙස සලකන්න එපා. මේ අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියා 2024 විදර්ශන අත්පිටපත් තරගයේ දී හොඳම කෙටිකතා සංග්‍රහය ලෙස සම්මානයක් දිනූ “සූදුරු අබා” කෙටිකතා සංග්‍රහය කියවීමෙන් පසු මගේ සිතට ආ අදහස් කිහිපයක් විතරයි.

සාමාන්‍යයෙන් මං කෙටිකතා කියවන්න කැමතියි නවකතා කියවනවාට වඩා. මේ දිනවල නම් ඒකට මූලික හේතුව තමයි කෙටිකතාවක් කියැවීමට යන කාලය අඩුවීම සහ එකම ලේඛකයෙකු ගේ වුණත් කෙටිකතා දෙකක් අතර කිසිම සම්බන්ධයක් නැති නිසා දිග නවකතාවක් කියවන කොට වගේ අවධානය යොමු කිරීමට අවශ්‍ය නොවීම.

ඒ සමඟම පසුගිය අවුරුදු හතරක පමණ කාලය තුළ මට විශාල කෙටිකතා සංඛ්‍යාවක් කියවන්න සිදුවුණා. මුලින්ම මං සංස්කරණය කරන “සිසිල” මාසික සාහිත්‍ය ය සඟරාවේ පළකිරීම සඳහා ලැබෙන කෙටිකතා. ඒවා කියවීම පමණක් නොව අවශ්‍ය පරිදි සංස්කරණය කිරීම ද මා සිදුකරනවා. ඊට අමතරව ජගත් ජේ එදිරිසිංහ විසින් සම්බන්ධීකරණය කරන ඩී බී කුරුප්පු අනුස්මරණ කෙටිකතා තරගාවලියේ ඇගයීම් මණ්ඩලයේ සාමාජිකයකු ලෙස තුන්වරක්ම ක්‍රියාකර ඇති නිසා ඒ සඳහා ලැබුණු කෙටිකතා විශාල සංඛ්‍යාවක් ද පසුගිය අවුරුදු කිහිපය තුළ මට කියවන්නට සිදුවුණා. මේ නිසා, කෙටිකතා සඳහා වූ මගේ රසිකත්වය වැඩිවුණා.

කාලයේ ඵලදායිතාව ගැන හිතන කොට කෙටිකතාවක් කියවීම අගනා කාර්යයක්. ඒ ඉතාම කෙටි කාලයකින් සාහිත්‍ය රසයක්, වින්දනයක්, කම්පනයක් පාඨකයාට ලැබීමයි. නමුත් ඉතිං එහෙම මතක හිතෙන ආකාරයේ සාහිත්‍ය රසයක්, වින්දනයක්, කම්පනයක් පාඨකයාට ලබා දෙන්න හැකි ආකාරයේ කෙටිකතාවක් ලියනවා කියන එක නම් ලේසි පහසු වැඩක් නොවෙයි.

කොටින්ම, මං යොවුන් කාලයේ, විශ්වවිද්‍යාලයට යාමට පෙර, කෙටිකතා විස්සක් පමණ ලියලා ඒවායින් අත්පිටපත් දෙකක්ම හැදුවත් එදායින් පස්සේ තාමත් කෙටිකතා තුනහතරකට වැඩිය ලියලා නැති තරම්. මං ඒ ශානරයට වඩා කැමති විත්ති කතා යැයි සමහරු කියන “කතන්දර” ලියන්නටයි.

අජිත් පැරකුම් ජයසිංහ ලේඛකයාව මං දන්නේ මීට අවුරුදු පහළොවකට පමණ පෙර සිටයි. ඒ අපි දෙදෙනාම විනෝදාංශයක් ලෙස බ්ලොග් ලිවීම ඇරඹූ කාලයේ. මගේ බ්ලොග් එකේ නම වූයේ “කතන්දර”. මං මාව හඳුන්වා ගත්තේ “කතන්දරකාරයා” කියයි. බ්ලොග් ලියන මුල් කාලයේ “එඩිටර” කියා තමන්ව හඳුන්වා ගත්තු අජිත් පැරකුම් ජයසිංහ තමන්ව දැන් හඳුන්වා ගන්නේත් “කතන්දරකාරයා” කියා බව ඔහුගේ “සූදුරු අබා” කෙටිකතා එකතුවේ පෙරවදන ලෙස ඔහු ලියා ඇති අමුතු ආකාරයේ සටහනෙන් පැහැදිලි වෙනවා. ඒ විතරක් නොවෙයි අජිත් ලියූ “අරුණෝදාකරුවෝ” නම් නවකතාව ගෙන්වා ගන්න ගිහින් බලනකොට තමයි මට තේරුණේ ඒ නවකතාව ප්‍රකාශ කර තිබෙන්නේ අජිත් ද සම්බන්ධ “කතන්දර ප්‍රකාශන” සමාගමෙන් බව. වෙබ් ලිපිනය මොකක් වුණත් අජිත් ලියූ පොත් විකුණන ඔන්ලයින් කඩේට අජිත් දීලා තියෙන නමත් “කතන්දර ඩොට් කොම්”.

“සූදුරු අබා” කෙටිකතා එකතුවේ පිටු හැට අටක් තිස්සේ දිව යන කෙටිකතා නමයක් තියෙනවා. ඒ කියන්නේ මේවා වචනයේ අර්ථ පරිසමාප්තාරයෙන්ම කෙටිකතා, ඉහළ ඵලදායීතාවයෙන් යුතුව කෙටි කාලයකින්, කෙටි කැප කිරීමකින් ලොකු සාහිත්‍ය රසයක්, වින්දනයක්, කම්පනයක් ලබාගන්නට හැකි නිර්මාණ.

මං හිතන්නේ මේ කෙටිකතා එකතුව කියවන අති බහුතරයක් දෙනාගේ වැඩි ආකර්ෂණය අවධානය දිනා ගන්න කෙටිකතාව තමයි පොතේ නමටත් යොදා ඇති “සූදුරු අබා” නම් නිර්මාණය. අප්‍රකාශිත, කාන්තා සමකාමී, එසේ නොමැති නම් ලෙස්බියන්, ආදරයක් පදනම් කරගෙන සිත් ඇදගන්නා ආකෘතියකින් ලිය වී ඇති ඒ කෙටිකතාව ඇත්තටම අපූරු නිර්මාණයක්. මෙහි දී මා භාවිතා කළ “අප්‍රකාශිත” කියන වචනය ඉතා වැදගත්. මක් නිසා ද යත් මෙය කිසිදිනක නිශ්චිතව ප්‍රකාශ කෙරුණු ආදරයක් හෝ සම්බන්ධයක් හෝ නොවේ.

මේ වගේ අප්‍රකාශිත මෙන්ම ප්‍රකාශිත කාන්තා සමකාමී ආදර සම්බන්ධතා ලංකාවේ තිබෙන බව පැහැදිලියි. නමුත් ඒවා අවබෝධ කරගන්නා පරිණත සමාජයක් නම් අපේ ජීවිත කාලවල නම් අපිට දකින්න ලැබෙන එකක් නැහැ. ඉතිං ඒ බොහෝ සම්බන්ධතා අපරාදේ වියැකී යනවා.

දෙයියෝ මිනිහෙක් මැව්වා ය, ටික දිනකට පසුව ඒ මිනිහා වෙනුවෙන් ගෑනියෙක් මැව්වා ය කියා විශ්වාස කරන්නේ ඒ්බ්‍රහමික ආගම් අදහන මිනිසුන්. ඒ නිසා තමයි ඔවුන් පිරිමි හෝ ගැහැණු හෝ සමකාමී සම්බන්ධතාවලට විරුද්ධවන්නේ. නමුත්, මැවුම්කාර දෙයියෙකු නැති, අදේවවාදී බුද්ධාගම්කාරයින් සමකාමී සම්බන්ධතාවලට විරුද්ධවන්නේ මක්නිසා ද කියා හොයාගන්න නම් ආපහු මධ්‍ය විද්‍යාලයට ගිහින් පොදු සහතික පත්‍ර විභාගයේ බුද්ධාගම විෂයය පාස් වෙන්න වෙනවා වගේ. දශක ගණනකට කලින් මං බුද්ධාගම විෂය සඳහා ලබාගත්තු ඩිස්ටින්ෂන් එක අද පවතින “බුඩ්ඩාගමට” අදාළ නැහැ පේන විදියට.

“සූදුරු අබා” කෙටිකතාව ගැන තවත් කිව යුතු කරුණක් තමයි පිරිමියෙකු විසින් කාන්තා දෘෂ්ටිකෝණයකින් යුතුව සහ ප්‍රථම පුරුෂ ආඛ්‍යානයකින් මෙය ලියා තිබීම. එනම් මෙහි “මම” කියා අදහස් කරන්නේ මේ ආදර සම්බන්ධයේ එක් පාර්ශවයක් වෙන අනූ නමැති කාන්තාව. සාමාන්‍යයෙන් කාන්තාවන් ලියන නවකතා, කෙටිකතාවල ප්‍රථම පුරුෂයෙන් මම කියා හඳුන්වා ගන්නේ කාන්තා චරිතයක්. පිරිමින්ගේ නිර්මාණවල ඒකේ අනිත් පැත්ත. අජිත් පැරකුම ජයසිංහ මේ කතාව ලිවීමේ මම සඳහන් දකින විශේෂත්වය ඒකයි.

“සූදුරු අබා” කෙටිකතා එකතුවේ එන අනිත් කෙටිකතා අට පිළිබඳව මට හිතෙන දේ සංක්ෂිප්තව සඳහන් කරන්නම්.

පියා මියගිය පවුලක කුඩා දැරියක් තමන්ගේ පවුලේ සිදුවෙන විපර්යාසය අත්විඳින අයුරු කියවෙන කෙටිකතාවක් “ස්වර්ණ හංස” මං හිතන්නේ මේක අර “මැජික් රියලිසම්” කියන ක්‍රමවේදය උපයෝගී කරගෙන ලියූ එකක්. ජාතක කතාවක එන සුරංගනා කෑල්ලක් මේ නිර්මාණයට සම්බන්ධයි. ජාතක කතා කියන්නේ ඉතිං බොහෝ විට මැජික් සහිත කතා නේ.

“සමූල ඝාතනය” කියන කෙටිකතාවට අජිත්ට අත්දැකීම් හම්බවෙන්න ඇත්තේ ඔහු කලකට පෙර ගුරු සේවය කරන කාලයේ විය යුතුයි. මහ ජාතියේ ජාතිවාදය මෙන්ම ගුරු හොරුන්ගේ ජඩකම් මේ නිර්මාණයේ පදනමයි.

“අත් පොරව” කෙටිකතාව මෙන්ම “පිරිත් කියනවා, මිනිත් මරනවා” යන කෙටිකතා ද්වය මිනීමැරුම් හා සම්බන්ධ නිසා සාමාන්‍යයෙන් සංවේදී පුද්ගලයෙකුගේ හිතට කම්පනයක් ඇති කරන්නට ඉඩ තියෙනවා. “අත් පොරොව” කතාවේ එන ඒ අත්දැකීම අමු අමු එකක්. හොඳ වෙලාවට ඉඟියක් මිස කෙළින් කීමක් මෙහි නැහැ. මේ කතාවට ළඟින් යන අදහසක් ඇති කෙටිකතාවක් මං මීට පෙර කියවලා තියෙනවා වගේ හැඟීමක් ලාවට ආවා. සමහරවිට ඩෝසන් ප්‍රීති ලියූ එකක් විය හැකියි.

“පිරිත් කියනවා, මිනිත් මරනවා” නම් නිර්මාණය නම් භයානක චරිත සහ අපරාධ සම්බන්ධ වුණත් ඒ මාතෘකාවෙන් ම පෙනෙන පරිදි උපහාසය කැටි වූ එකක්. මෙහි එන නෑබොඩ සිල්වතා නම් උපාසකයා මට සිහි කළේ මතක විදිහට ජයන්ත චන්ද්‍රසිරිගේ “ඇඩ්රස් නෑ” කියන සිනමා නිර්මාණයේ කමල් අද්දරආරච්චි කළ චරිතය. නෑබොඩ කියන්නේ නම් කළුතර දිස්ත්‍රික්කයේ පස් දුන් කෝරළේ ගමක්. අජිත් පැරකුම් ජයසිංහලා ගේ ගෙවල්වලටත් කිට්ටු ඇති.

“ගංවතුරේ නයනා” කියන්නේ අර්ධනාගරික ජීවිතවල දුක්ඛ දෝමනස්සයේ එක පැතිකඩක් කියවෙන කතාවක්. මං හිතන්නේ ලේඛකයා මේක ලිව්වේ ඔහු එක්සත් ජාතීන්ගේ ඒජන්සියක සේවය කරන කාලය විය යුතුයි. ඒ දවස්වල ලංකාවේ විවිධ පළාත්වලට ගංවතුර ගලළා තිබුණා. මට මතකයි මේ කතාව ෆේස්බුක් එකේ මං කියෙව්වා.

“පුංචි පැදුර” කියන්නේත් කාන්තා දෘෂ්ටිකෝණයකින්, ඇත්තටම මෙහි දී නම් පොඩි ගැහැණු දැරිවියක ගේ, ලියවුණු කෙටිකතාවක්. කියවගෙන යනකොට නම් අතීතකාමී, ග්‍රාමීය සුන්දර පරිසරය ගැන සහ ඒ සුන්දරත්වය යටින් ජීවත්වෙන දුක්බර චරිත පිළිබඳ ලියවුණු සරල කතන්දරයක් කියා සිතුනත් කියවලා අවසානවුණාට පස්සේ තමයි මට හිතුණේ මේකෙ ඊට වැඩිය ලොකු බරක් තියෙනවා ය කියා. නැවත වරක් කියවන්න ඕනේ.

අවසාන කෙටිකතාව වෙන “හකුරු වෙහෙර” මං හිතන්නේ අජිත් අධිතාත්වික රීතියකින් ලියා තිබෙන්නේ ලංකාවේ සංඝ සමාජයේ මෙන්ම බුද්ධ ශාසනයයි කියාගන්නා සංස්ථාවේත් පරිහානිය ගැන කියන්න විය යුතුයි. පිටු තුන හමාරයි, ඉතා සංශිප්තයි. හැබැයි රසිකයාට පෙනෙන්නේ ලේඛකයා අදහස් කළ දේ නම් නොවෙන්න පුළුවන්.

කෙටිකතා සංග්‍රහයේ එන හයවෙනි කතාව තමයි “චීලා මෙට් විත් ඇන් ඇක්සිඩන්ට්”. දෙපාරක්ම කියෙව්වත් තේරුණේ නැහැ. ඒ නිසයි ඒ ගැන කතාකිරීම මේ සටහනේ අන්තිමට තියාගත්තේ.

චීලා කියන්නේ උකුස්සෙක්. ඒ උකුස්සා සහ කතාව කියන්නා හෙවත් නැරේටර් අතර සංවාදය තමයි කෙටිකතාව.

මේ කතාව දෙවැනි පාරට කියවද්දී මට මතක්වුණේ මීට දශකයකට පමණ කලින් ලියනගේ අමරකීර්ති ලියූ “අළු පැහැති ආරංචි” කියන කෙටිකතා එකතුවේ ආ ඒ නමින්ම යුතු කෙටිකතාව.

ඔය කතා දෙකම කියවලා තිබෙන අය මගේ ඒ ප්‍රකාශයට කලබල වෙන්න එපා. ඒ ලියනගේ අමරකීර්තිගේ කතාවයි, මේ ලියනගේ ජයසිංහගේ කතාවයි අතර අන්තර්ගතයේ නම් කිසිම සමානත්වයක් නැහැ තමයි. නමුත් පුද්ගලිකව මට මේ කතා දෙකේ ඇති සමානකම වන්නේ කෙටිකතා දෙක ම, දෙපාරක් ම, කියෙව්වත් මට ඒ දෙකේම අදහස තේරුණේ නැති එකයි.

පසුගිය වසරේ හොඳම කෙටිකතා එකතුවේ අත්පිටපත ලෙස විදර්ශන සාහිත්‍ය සම්මානය දිනූ “සූදුරු අබා” කෙටිකතා සංග්‍රහයේ ප්‍රකාශනය විදර්ශන සමාගමයි. ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ඇණවුම් කරන්න හැකියි. මං හිතන්නේ මට ගියේ රුපියල් හාරසිය ගාණක්.

පොත් ඔන්ලයින් ඇණවුම් කරන කොට, පොත් කඩේකදී පොතක් ගන්න කලින් කරනවා වගේ පෙරවදන, පසුපිට, පිටු දෙකතුනක් කියවන්න බෑ නේ. රෙදි කඩේක දී වගේ ඇඳුම් ෆිටෝන් කරලා බලන්නේ නැතුව, ඔන් ලයින් ඇඳුම් ගන්නවා වගේ.

ඉතිං “සූදුරු අබා” කෙටිකතා සංග්‍රහයේ සාම්පලයක් අවශ්‍ය කෙනෙකුට අජිත් පැරකුම් ජයසිංහගේ ෆේස්බුක් අඩවිය හරහා එයින් කෙටිකතා කීපයක් ම කියවන්න පුළුවන්. මාත් අවුරුදු දෙක තුනක පමණ සිට මේ කෙටිකතා මුල්වරට කියෙව්වේ එහෙමයි.

- රසික සූරියආරච්චි

ප/ලි:
ෆේස්බුක් එකේ මං කලින් දවසක දාපු පොඩි සටහනකට ප්‍රතිචාර දක්වපු මේ කෙටිකතා පොත බස් එකක යන එන ගමන් කියවපු අයෙක් ලියා තිබුණා “සූදුරු අබා” හා සම්බන්ධ අපූරු සසම්භාවී අත්දැකීමක් ගැන.

ඊටත් වඩා අපූරු අත්දැකීමක් මට තියෙනවා “සූදුරු අබා” කෙටිකතාවට සමාන කතාවක් ඇති වෙනත් පොතක් කියවීම ගැන. ඒ කතාව ෆේස්බුක් එකේම ලියන්නම්.

(image: )

Thursday, 8 May 2025

විදෙස් රටකදී හමුවුණු සිංහල අංකල්ලා දෙදෙනා - Three bald men


අප්‍රේල් මාසයේ සති දෙකකට පමණ යුරෝපයේ සංචාරයත් සඳහා ගිය අවස්ථාවක මා ඉතාලියේ රෝම නගරයේ දී ලද අත්දැකීමකි මේ.

මා නවාතැන් ගෙන සිටි රෝම නගරයේ දකුණු ප්‍රදේශයේ පිහිටා තිබුණු හෝටලයෙන් සවස්වරුවේ පිටත් වූ මා ලෝරෙන්තිනා නම් දුම්රිය පොළට ගියේ එතැන් සිට දුම්රියේ නැගී කොලෝසියම් දුම්රිය පොළ දක්වා ගමන් කිරීමටයි.

මා දුම්රිය ස්ථානයේ ආලින්දයට පිවිස මඳක් නැවතී බලා සිටියේ හිතවතෙකුගෙන් පණිවිඩයක් ලැබෙන තුරුයි.

මා මෙන්ම තවත් දෙතුන් දෙනෙකු ද ඒ ස්ථානයේ රැඳී සිටින බව මම දුටුවෙමි. එයින් සමහරෙකු එහි සිටින්නේ දුම්රියෙන් යමෙකු පැමිණෙන තුරු බව මට පැහැදිලි වූයේ නගරය පැත්තෙන් දුම්රියක් පැමිණි විගස එයින් බැස එන අය සමහරුන් පෙර ගමන් කර පිළිගෙන ඔවුන් කැටුව යන බව දුටු නිසා ය.

මෙසේ විනාඩි දහයක් පමණ ගත වූ පසු, මේ කාලය තුල දුම්රිය දෙකක් පමණ නගරයේ සිට එහි ළඟාවූයේ යැයි සිතමි, දුම්රිය පොළේ උඩ මාලයේ ඉතිරි වූයේ දෙතුන් දෙනෙකු පමණි. එක්වරම මගේ කනට ඇසුණේ “මොකද එයා කියන්නේ? ආවේ නෑ නේද? එනවා ද?” වැනි සිංහල වචන කිහිපයකි.

ලාංකිකයින් හෝ ඉන්දියානුවන් බව බැලූ බැල්මට සිතෙන, සිංහල භාෂාව භාවිතය නිසා ලංකාවෙන් පැමිණ සිංහලුන් බව පෙනෙන දෙදෙනෙකු මට දැකිය හැකිවිය.

“හලෝ, කොහොමද? සිංහල වචනයක් ඇහුණා ටික දවසකට පස්සේ” යැයි කියමින් මම ඔවුන් දෙදෙනා සමඟ කතා කළෙමි.

මේ දෙදෙනා පිළිබඳ විස්තරයක් පැවසුවහොත් මෙසේය.

මා හා සමාන වයසේ පිරිමි දෙදෙනෙකි. දෙදෙනාම උසින් එක සමාන ය. දෙදෙනාම කලිසම් කමිස සපත්තු ඇඳ පැළඳ, එදින වැඩි සීතලක් නොතිබුණත් ජැකට් ද ඇඳ සිටියහ.

එක් අයෙකුගේ තට්ටය පෑදී තිබුණු අතර හිස පසුපස සහ දෙපසින් පමණක් කෙස් ස්වල්පයක් දක්නට ලැබුණි. සමේ වර්ණය සලකතොත් ඔහු සෑහෙන්න තල එළලු පුද්ගලයෙකි.

අනෙක් පුද්ගලයා තොප්පියක් පැළඳ සිටියේය. සමේ වර්ණය ගැන කියනවා නම් ඔහු මුල් තැනැත්තාට වඩා පැහැපත් සමක් ඇති අයෙකු බව පැවසිය හැක.

ඉතින් අප කතාවට වැටුනෙමු.

මෙහිදී මා අප යයි කීවාට මා සමඟ කතා කළේ තොප්පිය පැළඳ සිටි පුද්ගලයා පමණි. අනිත් තැනැත්තා හිස වනමින් ප්‍රතිචාර දක්වමින් සිටියා පමණක් යැයි කිව හැක.

මා දැනගත් පරිදි ඔවුන් දෙදෙනාම දිගු කලකට පෙර ඉතාලියට පැමිණි අය වන අතර තොප්පිය පැළඳ සිටි තැනැත්තා මීට අවුරුදු විස්සකට පමණ පෙර ඉතාලියේ සිට එංගලන්තය බලා ගොස් දැන් ජීවත් වෙන්නේ එහිය.

ඔහු මෙහි පැමිණ ඇත්තේ කෙටි නිවාඩුවකට යැයි කියවුණි.

මා ද නිවාඩුවකට ඕස්ට්‍රේලියාවේ සිට අඟහරුවාදා මෙහි පැමිණි බවත් සඳුදා උදෑසනම නෙදර්ලන්තය බලා පිටත් වන බවත් මම පැවසුවෙමි.

“අයියෝ, අපරාදෙනේ එච්චර දුර ඉඳලා ඇවිත් ඔච්චර ඉක්මනට යන එක!” තොප්පිය පැළැඳි පුද්ගලයාගේ ප්‍රතිචාරය එය විය.

“ඇයි එහෙම කිව්වේ? මම සංචාරයකට නේ ආවේ දවස් හතක් ඉඳලා යන්න යනවා,” මම පිළිතුරු දුනිමි.

“ඒ වුණාට ඉතිං කොච්චර දේවල් තියෙනවද බලන්න?”

“කොච්චර බැලුවත් ඉතින් ඔච්චර තමයි. මං කලින් වතාවකත් ඇවිල්ලා සතියක් විතර ඉඳලා ගියා” මම එයට ද පිළිතුරු බැන්ඳෙමි.

පරාජය පිළිගෙන කතාව වෙනතකට යොමු කිරීමට දෝ තොප්පිය පැළඳගත් පුද්ගලයා මට අනිත් තැනැත්තා පෙන්නමින් මෙසේ කීවේය.

“අර ඉන්නේ මගේ ම මල්ලී. හිතන්න බැහැ නේද අපි දෙන්න අයියයි මල්ලි කියලා?”

ඔහු අදහස් කළ දේ මට හොඳින් වැටහිණි. මෙය කියවන ඔබට එහි අදහස වැටහුණේ නැතිනම් මදක් ආපසු ගොස් මේ දෙදෙනා පිළිබඳ විස්තරය කියවා බලන්න.

එසේ නමුත් එය වැටහුණේ නැතුවා සේ ම මම මෙසේ කීමි.

“අයියයි, මල්ලියි බව හොඳින්ම වටහා ගන්න තිබුණා. ඔයාගේ ඔය තොප්පිය ගැලෙව්වා නම්.”

එසේ කීමෙන් නොනැවතුණු මම, මගේ හිසේ පළඳා තිබුණු තොප්පිය ගලවා බූ ගා ඇති මගේ තට්ටය ඔහුට පෙන්වීමි.

ලැජ්ජාවට පත් වූ තොප්පිකාර අයියා “හපෝ නෑ මගේ එච්චර තට්ටෙ පෑදිලා නැහැ” යයි කියමින් තම තොප්පිය ගලවන්නට මෙන් එය යාන්තමට මෙන් අතින් ඇල්ලුව ද, එසේ නොකර ලැජ්ජා සහගත සිනාවක් පා නිහඬ විය.

ඒ මොහොතේම කළු තට්ට මල්ලිගේ දුරකථනයට ආ පණිවිඩයක් අනුව සුදු කොණ්ඩඤ්ඤ අයියා සහ කළු තට්ට මල්ලි මට අත වනා එතනින් පිටව ගියහ.

මොහොතකට පෙර තමන්ට හමුවුණු අයෙකු ඉදිරියේ තමන්, තමාගේ එකකුස උපන් මල්ලීට වඩා කඩවසම්, පැහැපත් අයෙකු බව පෙන්නන්නට තැත් කළ ඒ අයියාකාරයා මගෙන් සල්ලම් වුණේ එසේය. විනාඩි කිහිපයකට පසු මම ද ලවරෙන්තිනා දුම්රිය පොළෙන් පිටත් වී කොලෝසියම් දුම්රිය ස්ථානය වෙත මගේ ගමන ආරම්භ කළෙමි.

- රසික සූරියආරච්චි

(image: created using Canva AI)