Tuesday, 14 October 2025

අතට අතදීම - To shake a hand, you need a firm mind


මේ සමග ඇති ශානිකා සෝමතිලක ගේ අනගි කාටූන් නිර්මාණය දුටු විට සිනහව අතරින්ම පරණ සිදුවීමක් මගේ සිහියට නැගුණි.

ඒ මා ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ අටවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි කාලයේ සිදුවූවකි.

ඒ. ඩී. සිසිරප්‍රේම කුමාර යනු මා සමග කොස්සින්න සීලානන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ, එකල කොස්සින්නේ ම පදිංචිව සිටි, සම වයසේ සිසුවෙකි. පහේ පන්තියේ ගම්පහ අධ්‍යාපන කලාපයේ පැවැත්වුණු විභාගයෙන් සමත් වූ අප දෙදෙනාට ම හයවෙනි ශ්‍රේණියේ සිට ඒ ප්‍රදේශයේ හොඳම පාසල ලෙස ඒ කාලයේ සැලකුණු ගලහිටියාව මධ්‍යම විද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව ලැබුණි.

ඉන්පසු හත්වෙනි ශ්‍රේණියේ මෙන්ම අටවෙනි ශ්‍රේණියේ ද අප දෙදෙනා ම සිටියේ එකම පංතියේය. මේ නිසා අප දෙදෙනා නමවෙනි ශ්‍රේණියේ අවසානය දක්වාම වාගේ හොඳ මිතුරන් ලෙස සිටි අතර, එනිසාම, ඔහුගේ වාසගම වූයේ අක්මීමනගේ දොන් බව ද දශක ගණනාවකට පසුව ද මගේ මතකයේ රැඳී ඇත.

අප ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ හයවෙනි ශ්‍රේණියේ දී අපේ පන්තිය භාර ගුරුවරයා වූයේ ජේ. ඒ. කුලරත්න හෙවත් ජයසිංහ ආරච්චිගේ කුලරත්න මහතා ය. ඔහු අපේ ගණිතය ගුරුවරයා ද විය. ඒ ජයසිංහ කතාව අප එකල දැන සිටියේ නැත.

හයවෙනි ශ්‍රේණියේ සිටි සිසු සිසුවියන් හත්වෙනි ශ්‍රේණියට, අටවෙනි ශ්‍රේණියට උසස් වෙද්දි අපේ පන්තිය භාර කුලරත්න සර්ට ද ඒ ආකාරයටම උසස්වීම් ලැබුණි.

අටවෙනි ශ්‍රේණියේ පාසල පැවැත්වුණු මේ සිදුවීම වූ දිනයේ කුලරත්න සර්ගේ ගණිතය කාලපරිච්ඡේදයේ දී, කුමක් හෝ හේතුවක් නිසා, ප්‍රේමකුමාර සහ මා අතර යම් විරසකයක් ඇති විය. එයට හේතුව කුමක්ද කියා මගේ මතකයේ අද දක්වා රැඳෙන්නට සටහන් වී නැති නමුත්, මා සාමාන්‍යයෙන් "වලියට බර", වෙනත් අය සමඟ ලේසියෙන් ආරවුල්වල පැටලෙන අයෙකු නොවන බැවින් බොහෝ විට මෙහි දී සිදුවන්නට ඇත්තේ යම්කිසි ම විවාදාත්මක කරුණක් පිළිබඳව අප දෙදෙනා අතර ඇති වූ මත ගැටුමක් විය යුතුය.

ඒ සමගම කිවහැක්කේ, අපට ඒ වැනි විවාදයකට මග පෑදෙන්නට ඇත්තේ ගුරුවරයා විසින් කුමක් හෝ ගණිතය ප්‍රශ්නයක් විසඳන්නට අපට අණකර වෙනත් වැඩක් කරමින් සිටි කාලයේ දී බව ය.

කෙසේ හෝ අප දෙදෙනාගේ කසුකුසුව, විවාදය හෝ ආරවුලේ ශබ්දය කුලරත්න සර් ගේ කනට වැටුණි. ඒ බව මට වැටහුණේ අප දෙදෙනාට වහාම පන්තිය ඉදිරියට පැමිණෙන ලෙස ඔහු අණ කළ විට ය.

කුලරත්න සර් යනු හොඳ ගුරුවරයෙකු බව මගේ අදහස විය. ඒ මක්නිසාදයත්, ඔහු අපේ පන්තියේ සිටි කිසිදු සිසුවෙකුට පහර දෙනවා දැක ඇතිබවක් මගේ මතකයේ නැති නිසා ය.

මෙතනදී ද අප දෙදෙනාගෙන්ම කරුණු විමසා නඩුව ඇසූ කුලරත්න සර් තම විනිශ්චය දෙමින් අපට පවසා සිටියේ "අතට අත දී" යළි මිතුරු වෙන ලෙස ය.

මේ වනවිට ප්‍රේමකුමාරගේ අසාධාරණ කතාව, තර්කය, හෝ ක්‍රියාව නිසා මගේ සිතේ ඔහු ගැන ඇති වූ කෝපය නිවී තිබුණේ නැත. එනිසා ඔහුට එවේලේ අතට අත දුන්නා නම් එය මවාපෑමක්, රඟපෑමක් මිස සිතට එකඟව කරන කාර්යයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

ඉතින් මා කළේ කුමක්දැයි සිතාගත හැකිද?

"මෙයාට අතට අත දෙන්න මට බැහැ!" යැයි මම ගුරුවරයාට පවසා සිටියෙමි.

තමන්ගේ අණට අවනත නොවීම යනු ගුරුවරයෙකුට සිසුවෙකුට පහරදීමට ඇති හොඳ අවස්ථාවකි.

නමුත් කුලරත්න සර් එසේ නොකළේ ය.

බොහෝවිට එයට හේතුව වෙන්නට ඇත්තේ මගේ ස්ථාවරය සහ ප්‍රකාශය අවංක එකක් බව ඔහුට වැටහීමයි.

හයවෙනි ශ්‍රේණියේ සිට ම ඔහු මා හොඳින් හඳුනන නිසා, පන්තියේ පළමුවෙනියා හෙවත් හොඳම ශිෂ්‍යයා ලෙස මා තබා ඇති වාර්තාව පිළිබඳව හොඳ අවබෝධයක් ඔහු සතුවීම ද එයට හේතුව වන්නට ඇත.

ප්‍රේමකුමාර සහ මම, නිසොල්මනේ ආපසු අපේ ආසන වෙත ගොස් අසුන් ගත්තෙමු. බොහෝ විට දින කිහිපයකට පසු මගේ කේන්තිය නිවී ගොස් යළි සමාදාන වෙනතුරු අප දෙදෙනා කතා බහකින් තොරව ඉන්නට ඇත.

- රසික සූරියආරච්චි

පසුකතා 1:
කුලරත්න සර් අප සමගම අටවෙනි ශ්‍රේණිය දක්වාම උසස්වීම ලැබූවද, එය එතැනින් අවසාන විය. අපේ පන්තියේ පිරිස නමවෙනි ශ්‍රේණියට ගිය විට දැනගත්තේ පෙරේරා නම් ගුරුවරයෙකුට අපේ පන්තිය භාර දී ඇති බවයි.

කුලරත්න සර් මට නැවත හදිසියේ මුණ ගැසුණේ කොළඹ එන් අයි බී එම් ආයතනයට පුද්ගලයෙකු මුණගැසීම සඳහා මා ගිය දිනයේ ය. ඒ 1993 වසර යැයි සිතමි.

පසුකතා 2:
ජේ ඒ කුලරත්නගේ වාසගම ජයසිංහ ආරච්චිගේ බව මා දැන ගත්තේ මා නමවෙනි ශ්‍රේණිය අවසානයේ ගලහිටියාව පාසලේ අධ්‍යාපනය අවසාන කොට උසස් අධ්‍යාපනය සඳහා කොළඹ පාසලකට ගොස් වසර විස්සකට පමණ පසු, මා එකල පර්යේෂණ කටයුත්තකට සම්බන්ධව සිටි මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ඔහුගේ දියණිය මා කවුදැයි නමෙන් හඳුනාගෙන මා සමග දුරකථනයෙන් කතා කළ විටය.

ඇය මෙල්බර්න් නුවර සේවයේ නිරත ප්‍රසව හා නාරිවෛද්‍ය විශේෂඥ වෛද්‍යවරියකි. කුලරත්න සර් සහ ඔහුගේ බිරිඳ ජීවත්වෙන්නේ ද ඒ ප්‍රදේශයේ ය. ඔහු හා මා කෝවිඩ් සමයේ සූම් වීඩියෝ ඇමතුමකින් සම්බන්ධ වීමු.

පසුකතා 3:
කුලරත්න සර් යනු මා සිතා සිටි පරිදි සිසුන්ට දඬුවම් නොකරන අයෙකු නොවන බවත්, මගේ බාල මල්ලීට මෙන්ම ඔහුට ද දඬුවම් ලෙස පහර දී ඇති බවත් මල්ලීගේ පන්තියේ සිටි සගයෙකු මීට වසර දෙක තුනකට පෙර මා සමග පැවසීය.

(image: https://www.facebook.com/photo/?fbid=822969620279064)