Showing posts with label චිත්‍රපට. Show all posts
Showing posts with label චිත්‍රපට. Show all posts

Monday, 11 November 2024

එක සතියක්, චිත්‍රපට හතරක් - Hope I can continue with this


මාස දෙකක් පමණ දිගු කාලයක් තිස්සේ විවිධ හේතූන් නිසා කිසිදු සිනමා නිර්මාණයක් නරඹන්නේ නැතුව සිට මම පසුගිය දින කිහිපය ඇතුළත චිත්‍රපට හතරක් ම නැරඹුවෙමි. එයින් කෙතරම් වින්දනයක් ලැබුවේ ද කියතොත් මේ සටහන ලියන්නට ද සිත්විය.

සාමාන්‍යයෙන් සිනමා ලෝලියෙකු වන මා චිත්‍රපට නොනැරඹීමට හේතු වූයේ බොහෝ දුරට ඒ සඳහා සුදුසු කාල වේලාවක් සොයා ගැනීමට නොහැකිවීමයි. එක දිගට චිත්‍රපටියක් නරඹනු මිස කොටස් වශයෙන් නැරඹීමේ පුරුද්දක් අප බොහෝ දෙනෙකුට මෙන් මට ද නැත. එසේම, අවස්ථාව සහ කාලය තිබුණු දිනවල ද, ඊට වඩා වෙනත් විනෝදාංශයක යෙදීමට සිත්වීම ද, නැරඹීම ආරම්භ කළ චිත්‍රපටයක් දෙකක් විනාඩි කිහිපයකින් පසු එපාවීම ද මෙයට හේතු විය.

මා සාමාන්‍යයෙන් චිත්‍රපට නරඹන්නේ නෙට්ෆ්ලික්ස් නම් සේවාව ඔස්සේ ය. ඒ 2017 තරම් ඈත කාලයක සිට ය. දැන් ඩීවීඩී මිලට ගෙන හෝ සිනමාහළකට ගොස් චිත්‍රපට නැරඹූ කාලය ඉක්ම ගොසිනි.

ඕස්ට්‍රේලියාවට ආ මුල් කාලයේ වාණිජ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වූ චිත්‍රපට නැරඹුව ද, දැන් දැන් වසර ගණනාවක සිට මම වෙළඳ දැන්වීම් ප්‍රචාරය වන ටෙලිවිෂන් නාලිකා නොබලමි. නැරඹුවොත් නරඹන්නේ Australian Broadcasting Corporation නම් ඕස්ට්‍රේලියානු රජය විසින් පවත්වාගෙන යනු ලබන සේවාවේ නාලිකා හතර අතරින් එකක් වන, පැය විසිහතර පුරාම ප්‍රවෘත්ති ප්‍රචාරය වන, ABC News 24 නාලිකාවයි.

එසේ නමුත් දින කිහිපයකට පෙර එක් රාත්‍රියක මා ටෙලිවිෂනය ඉදිරිපිට වාඩි වී එය ක්‍රියාත්මක කළ මොහොතේ එය සුසර වී තිබුණේ අංක නමයේ Channel 9 නාලිකාවටයි. ඒ සමගම එහි චිත්‍රපටිය ප්‍රදර්ශනය වීම ඇරඹුණි. ආහාර ගන්නා අතරේ නිකමට මෙන් ටෙලිවිෂනය මද වේලාවක් නරඹන විට ඒ චිත්‍රපටය මට රහ වැටුණු අතර, අවසානය දක්වාම, පැය එකහමාරකටත් වඩා වැඩි කාලයක් තිස්සේ එය නරඹා හමාර කළෙමි.

එයින් යළි පන ගැන්වුණු මගේ සිනමා රසිකත්වය මේ වන විට චිත්‍රපටි හතරක් නැරඹීම දක්වා වැඩි දියුණු වී ඇත.

මේ සටහන ලියන්නේ ඒ බව සනිටුහන් කරන්නට සහ ඒ සිනමා නිර්මාණ පිළිබඳ මතකය නොනැසී ඉතිරි කරගන්නටයි.

1. No escape (2015)

තම බිරිඳ හා කුඩා දරු දෙදෙනෙකු සමඟ රැකියාවක් සඳහා තායිලන්තය වැනි ආසියාතික රටකට එන ඇමරිකානු ඉංජිනේරුවෙකු එදින රාත්‍රියේ රටේ පැන නැගුණු මහජන කැරැල්ලකට මැදි වී පණ බේරා ගැනීමට කරන උත්සාහය මේ චිත්‍රපටියේ ඉතා හොඳින් තිර රචනය වී, නිර්මාණය වී ඇත.

ප්‍රධාන චරිතය රඟපාන්නේ ඕවන් විල්සන්ය. ඔවුන්ට මරණයෙන් ගැලවීමට උදව් කරන කරන බ්‍රිතාන්‍ය චරපුරුෂයාගේ චරිතය නිරූපනය කරන්නේ ජේම්ස් බොන්ඩ් ලෙස චිත්‍රපට කිහිපයකම රඟ පෑ පියර්ස් බොස්නන් ය.

ත්‍රාසජනක සිදුවීම් රැගත්, වේගයෙන් දිවයන හොඳ නිර්මාණයකි.


2. Made in Italy (2020)

තමන්ට හිමි නිවසක් විකිණීම සඳහා ඉතාලියට යන පියෙකු සහ පුතෙකු පිළිබඳ සරල නමුත් සංවේදී කතාවකි. අතිශය නිර්මාණශීලී ලෙස, මනරම් දර්ශන ද උපයෝගී කරගනිමින් නිපදවා ඇත. පියා ලෙස රඟපාන්නේ ලියෑම් නීසන් ය.

මේ චිත්‍රපට හතර අතරින් මා කැමතිම නිර්මාණය මෙයයි. ඒ එහි මට දැනුණු සංවේදීබව නිසාය.


3. Plane (2023)

සිත්ගන්නා ත්‍රාසජනක සිදුවීම් රැගත්, වේගයෙන් දිවයන හොඳ සිනමා නිර්මාණයකි.

සිංගප්පූරුවේ සිට ගමන් අරඹන ගුවන්යානයක් අකුණු කුණාටුවකට අසුව අකර්මණ්‍ය වන අතර ගුවන්නියමුවෝ යානය නොදන්නා දූපතක කැලයක් මැද ගොඩනගමින් තිබී අතහැර දමා ඇති මාර්ගයකට අනතුරකින් තොරව ගොඩබස්වති. එය පිලිපීනයට අයිති දිවයිනක් නමුත් රජයේ පාලනයකින් තොර බෙදුම්වාදී ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් අත්පත් කරගෙන සිටින එකකි. මේ ත්‍රස්තවාදීන් මුදල් සොයා ගන්නේ විදේශකයින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගැනීම තුළිනි.

ඒ අවාසනාවන්ත තත්ත්වයෙන් ගුවන්නියමුවන්, ගුවන් සේවිකාවන් සහ සුළු පිරිසක් වූ මගී කණ්ඩායම ගැලවෙන ආකාරය මේ චිත්‍රපටයේ දැක්වේ. අවි සටන් ඇතුළත් ය.

4. The Good Liar (2019)

මහළු වයසේ පසුවෙන වැන්දඹු පිරිමියෙකු සහ වැන්දඹු කාන්තාවක ඉන්ටර්නෙට් සේවාවක් ඔස්සේ හමුවී මිතුරුකමක් බැඳෙන ආකාරය පෙන්වමින් ඇරඹෙන මේ චිත්‍රපටය දෙවන ලෝක යුද්ධය දක්වා ඉතිහාසයකට දිවගොස් අවසාන වන්නේ අපට ආරම්බයේ දී, මැද දී තියා අවසානය දර්ශනයට පෙර දර්ශනය වන තුරු කිසිසේත්ම නොසිතෙන ආකාරයකට ය.

ඒ අතින් ඉතා අපූරු චිත්‍රපටයකි. කතාව ද සංවේදී ය.



මේ ලැබුණු උත්තේජනය එලෙසම තබාගෙන සතියකට එකක් හෝ දෙකක් චිත්‍රපට නැරඹීමටත්, ඒ ගැන සටහන් තැබීමටත් අදහස් කරමි.

- රසික සූරියආරච්චි (images: Wikipedia )

Sunday, 24 February 2019

කතුරු මුවාත් - ඔව් ඒ චිත්තරපටියකි :: Sharpen your scissors


මගේ තාත්තාගේ බාලම නැගණිය අප හැඳින්වූයේ චූටි නැන්දා ලෙසිනි. එනිසා ම, ඇය විවාහ වූ පසු ඇගේ සැමියා, අපේ අලුත් මාමා, ධර්මදාස, අපේ චූටි මාමා විය. ඔහු, තමන්ගේ පවුලේ වැඩිමහල්ලා වීම අපට කිසිසේත් ම, අදාළ නොවී ය.

චූටි නැන්දා මා කැටුව "සිදාදියෙන් හයක්" නම් සිංහල චිත්‍රපටය නරඹන්නට ගිය කතාව මම මීට පෙර සටහන් ගත කළෙමි. ඒ, මල් කුමාරයෙකු වීමට මට ලැබුණු එකම අවස්ථාව මගෙන් ගිලිහී ගොස්, රුවන් මල්ලීට ලැබෙන්නට පෙර ය. එලෙස, රුවන් මල්ලීට මල් කුමාරයෙකු වීමට වරම ලැබුණේ අපේ චූටි නැන්දා සහ චූටි මාමා ගේ විවාහ උත්සව දිනයේ දී ය.

චූටි නැන්දා සහ මාමා විවාහ වූයේ එක්කෝ කපුවෙකු විසින් ගෙනෙන ලද එසේ නැතිනම් ඉරිදා පුවත් පතක මංගල දැන්වීමක් අනුසාරයෙන් ලද මංගල යෝජනාවක් මගිනි. නැන්දා ගුරුවරියක බව මම කතුරු මුවාත් සටහනේ දී සඳහන් කළෙමි. චූටි මාමා ද ගුරුවරයෙකු විය.

යෝජනා සම්මත වී, සියල්ල තීරණය වූ පසු, වෙන්ඩ චූටි මාමා සති අන්ත දිනවල නැන්දා බැලීමට අපේ මහගෙදරට එනවා මගේ මතකයේ හොඳින් තිබේ. ඒ ඔහු ඒ ගමන්වල දී අපට චොකලට් ගෙන ආ නිසා විය යුතු ය.

මට පසුව වැටහුණු පරිදි මේ විවාහාපේක්‍ෂිත යුවලට තනිපංගලමේ චිත්‍රපටයක් නැරඹීමට අවශ්‍ය වී ඇත. බොහෝ විට සිදුවෙන්නට ඇත්තේ, වෙන්ඩ චූටි මාමා විසින් මේ යෝජනාව චූටි නැන්දාට කිරීමයි.

චූටි නැන්දා එයට එකඟ වී ඇත.

හැබැයි කොන්දේසි සහිතව ය.

එක් සති අන්තයේ දිනයක, අම්මා ද, නැන්දා ද, මම ද වේලාසනින් ම දිවා ආහාරය ගෙන දොළහමාරේ බසයෙන් නිවසෙන් පිටවුණෙමු. බස් ගමනාවසානයේ දී දුම්රියක නැග ගම්පහ නගරය බලා ගියෙමු.

පබ්ලික් හෝල් නම් සිනමා ශාලාව පිහිටියේ ගම්පහ නගරයේ ය.

එදින අපේ බස් රථය ප්‍රමාද වී, අප යන්නට ඇත්තේ ප්‍රමාද වූ දුම්රියකිනි.

අප තිදෙනා පබ්ලික් හෝල් සිනමා ශාලාවට ළඟා වූ පසු මා දුටුවේ චිත්‍රපට දර්ශනය ඇරඹී ඇති බවත්, වෙන්ඩ චූටි මාමා, නොඉවසිල්ලෙන් මෙන් කොරිඩෝරයේ සිටින බවත් ය.

මාමා විසින් ප්‍රවේශ පත්‍ර මිලට ගත් පසු අපට ශාලාව ඇතුළට යෑමට ලැබුණි.

සෙනග පිරී තිබුණු ඒ ශාලාවේ, අම්මා සහ මා එක ස්ථානයක ද, චූටි නැන්දා සහ වෙන්ඩ චූටි මාමා වෙනත් ස්ථානයක ද අසුන් ගත් බව මගේ මතකයයි.

එදා මා නැරඹූ චිත්‍රපටයේ නම කතුරු මුවාත් බව මගේ මතකයේ ඇත.

ඊට අමතරව, සිනමා දර්ශනය අවසානයේ අසල තිබුණු හෝටලයකට ගොස් අප සීනි බනිස් කා තේ පානය කළ බව ද මගේ මතකයේ ඇත.

කතුරු මුවාත්, පිහිය මුවාත් යනුවෙන් ගීතයක් ගයමින් ඩී ආර් නානායක්කාර නම් නළුවා කුඩා කරත්තයක් තල්ලු කරමින් පාරේ ගමන් කරන දර්ශනයක් එහි තිබුණු බව ද මගේ මතකයේ ඇති නමුත්, ඊට අමතරව, කතුරු මුවාත් චිත්‍රපටය පිළිබඳව කිසිවක් මට සිහිපත් කර ගත නොහැක.

-රසිකොලොජිස්ට්

ප/ලි
මේ මා චිත්‍රපට පිළිබඳව ලියූ දෙවන සටහනයි.

ඒ තමන්ගේ ජීවිතයට බලපෑමක් ඇති කළ චිත්‍රපට දහයක නිශ්චල ඡායාරූප දහයක්, දිනකට එකක් බැගින් පළ කරන්න යැයි මේ දිනවල ෆෙස්බුක් හි පැතිරෙන අභියෝගය මට එල්ල කළේ රන්සිරිමල් ප්‍රනාන්දු ය.

පළ කළ හැක්කේ ඡායාරූප පමණි, විස්තර ලියන්ට බැරි ය. දිනකට එකක් බැගින් දස දිනක් තිස්සේ මේ කර්තව්‍යය කළ යුතු ය. සෑම දිනම වෙනත් අයෙකුට ද, එම අභියෝගය කළ යුතුය යනාදී වශයෙන් එම අභියෝගයේ නීති මාලාවක් තිබුණි.

මා මුල් සටහනේ ලියූ පරිදි මා ලියන්නේ මගේ ජීවිතයට බලපෑමක් ඇති කළ චිත්‍රපට ගැන නොවේ. ඇත්තටම, ඒ ආකාරයේ චිත්‍රපට තිබුණාදැයි මට මතක නැත. චිත්‍රපටයක් නරඹා දුක් වෙන්නට ද, සිත පිනා යන්නට ද ඉඩ ඇති නමුත්, ජීවිතයට අනිසි බලපෑමක් ඇති කර ගන්නේ ඇයි?

මා ලියන්නට යන්නේ මගේ ජීවිතයට සම්බන්ධ කිසියම් හෝ හේතුවක් නිසා මගේ මතකයේ රැදී ඇති චිත්‍රපට ගැන ය. ඇත්තටම චිත්‍රපට ගැන නොව, ඒවා මාතෘකා කොට ගෙන, ඒ හා බැඳුණු මගේ සිතේ රැඳී ඇති දේ ගැන ය.

(image: http://www.films.lk/kathuru-muwath-sinhala-film-576.html)

Thursday, 14 February 2019

පළමුවෙනි චිත්තරපටිය - Six from the town


කාලෙන් කාලෙට එන වසංගතේ නෑ අඩුපාඩු....

එසේ කීවේ මා නොව ඇන්ටන් ජෝන්ස් නිහාල් නෙල්සන් ය. මට මතක හැටියට හැත්තෑවේ දශකයේ අග හරියේ දී ය. ඒ කුඩු හෙවත් මත්ද්‍රව්‍ය ගැන ගැයෙන බයිලාවකි. ඇන්ටන් ජොන්ස්ලා අද සින්දු නොකියන මුත් කුඩු සහ බයිලා නම් අද ද යහතින් වැජඹේ.

අද කාලේ වසංගත එන්නේ එදා මෙන් නොව ෆේස්බුක් හරහා ය.

ගිය වසරේ අග භාගයේ දී තමන් කැමති පොත් දහයක මුල්කවරවල ඡායාරූප, වරකට එකක් බැගින් ලියා පළ කරන්නට කියා අභියෝගයක් ආවේ ය. හැබැයි කවර පමණි. විස්තර ලියන්නට බැරිය. ඒ මදිවාට, අභියෝගය ඉදිරියට ගෙන යන්නට තම මිතුරෙකු නම් කළ යුතු විය.

රංජිත් පෙරේරා නම් මිතුරෙකු කළ එම අභියෝගය බාර ගත්ත ද, මා නම් ඒ සමග ආ කොන්දේසි කිසිවක් තඹ සතයකට මායිම් නොකළෙමි.

මා පොත් පිට කවර ඡායාරූප පළ කළේ මා ලියූ හෝ සංස්කරණය කළ හෝ පොත් ගැන පමණකි. පිට කවර පමණක් නොව ඒ ඒ පොත් ගැන දීර්ඝ විස්තරයක් ද ලියා පළ කළෙමි. තවත් කොන්දේසියක් කඩමින් කිසිවෙකුට එම අභියෝගය නැවත ලබා නොදුන්නෙමි. එසේ ම, පොත් දහයකින් නතර නොකොට මටම අතපසු වී යන තුරු දිගටම පොත් ගැන ලිවීම කළෙමි.

මේ මොහොතේ ද, මට එවැනි අභියෝගයක් නැවතත් ලැබී ඇත. ඒ තමන්ගේ ජීවිතයට බලපෑමක් ඇති කළ චිත්‍රපට දහයක නිශ්චල ඡායාරූප දහයක්, දිනකට එකක් බැගින් පළ කරන්නට ය. ඡායාරූප පමණි, විස්තර ලියන්ට බැරි ය.

මට මේ අභියෝගය කළේ රන්සිරිමාල් ප්‍රනාන්දු විසිනි.

ඉතින් මා මේ සැරසෙන්නේ ඒ අභියෝගය ද බාර ගෙන නැවතත් ඒ සමග පනවා ඇති කොන්දේසි කඩන්නටයි.

මා ලියන්නේ මගේ ජීවිතයට බලපෑමක් ඇති කළ චිත්‍රපට ගැන නොවේ. ඇත්තටම, ඒ ආකාරයේ චිත්‍රපට තිබුණාදැයි මට මතක නැත. චිත්‍රපටයක් නරඹා දුක් වෙන්නට ද, සිත පිනා යන්නට ද ඉඩ ඇති නමුත්, ජීවිතයට අනිසි බලපෑමක් ඇති කර ගන්නේ ඇයි?

මා ලියන්නට යන්නේ මගේ ජීවිතයට සම්බන්ධ කිසියම් හෝ හේතුවක් නිසා මගේ මතකයේ රැදී ඇති චිත්‍රපට ගැන ය. ඔව්, ඡායාරූප පමණක් නොව විස්තරයක් ද ලියමි. හැබැයි චිත්‍රපටය ගැන නොවේ. මගේ මතකයේ රැඳී ඇති, ඒ චිත්‍රපය නැරඹීම හා ආශ්‍රිත සිදුවීම් ගැන ය.

ඒ සමගම මගේ සටහන මුලින් රසිකොලොජි බ්ලොගයේ පළ කර පසුව ෆේස්බුක් හි බෙදා හරිමි. එසේම, මෙවර, මා කිසිදු විස්තරයක් නොදන්නා, අහඹු ලෙස තෝරා ගන්නා ෆේස්බුක් මිතුරෙකුව නම් කීරීමට ද අදහස් කරමි.

දැන් මෙන්න පළමුවෙනි චිත්තරපටිය.

නම: සිදාදියෙන් හයක්

මෙන්න මගේ මතකය.

චූටි නැන්දා යනු මගේ තාත්තාගේ බාල නැගණියයි. අගේ නම කරුණාවතී ය. වෘත්තියෙන් ගුරුවරියකි. මා කුඩා කළ ඇය අමුතු අකුරින් සටහන් ලියනු මා දැක ඇත. ඒ හින්දි භාෂාව ද ලියන්ට උපයෝගී කර ගන්නා දේවනාගරී අක්‍ෂර බව මම අසා දැන ගත්තෙමි. නැන්දා ලියමින් හිටියේ හින්දි නොවේ, සංස්කෘත භාෂාවයි. ඒ ඇය ජී.ඒ.කිව්. නම් විභාගයක් සඳහා ඉගෙන ගනිමින් සිටි විෂයයකි.

නැන්දා ඉගැන්වීම කළේ සපුගස්කන්ද මහා විද්‍යාලයේ ය. එහි ගුරුවරියක ලෙස සේවය කළ එදිරිසිංහ නම් කාන්තාව නැන්දාගේ මිතුරියක විය. ඒ සතිශ්චන්ද්‍ර සහ සුනිල් ගේ අක්කා ය.

සතිශ්චන්ද්‍ර එදිරිසිංහ නම් එවකට නැගී එන නළුවා රඟ පෑ "සිදාදියෙන් හයක්" චිත්‍රපටය නරඹන්නට නැන්දාට හිතුණේ ඒ ඇඳුනුම්කම නිසා විය යුතු ය.

කෙසේ වෙතත්, අවිවාහක තරුණියක තනිවම චිත්‍රපටයක් නැරඹීමට යාමේ සිරිතක් අද මෙන්ම එදා තිබුණේ ද නැත. එනිසා, නැන්දා ඇයගේ අයියාගේ ලොකු පුතා වූ මා කැටුව ගියා ය.

නැන්දා සමග "සිදාදියෙන් හයක්" නම් චිත්‍රපටය නැරඹූ බව මට මතක නමුත් එහි අන්තර්ගතය ගැන මෙලෝ අල බෝලයක් මගේ මතකයේ අද නැත. එසේ නමුදු මෙය බටහිර චිත්‍රපටයක කොපියක් හෝ අනුකාරක නිර්මාණයක් වෙන්නට ඉඩ ඇති බව සිතේ.

සිදාදියේ නොව ගමේ හය දෙනෙකු ගැන නම් මම දනිමි. ඒ මගේ තාත්තා සහ ඔහුගේ සොහොයුරු සොහොයුරින් පස් දෙනා ය. ඒ ගමේ හය දෙනාගෙන් මෙලොව ඉතිරිව ඉන්නේ නැන්දා පමණි.

පසුගිය වසරේ අසනීපවී ලෙඩ ඇඳේ පසුවන නැන්දාගේ දැන් වයස අවුරුදු අසූ හතරකි. "සිදාදියෙන් හයක්" චිත්‍රපටයේ අන්තර්ගතය ගැන ඇගේ මතකයේ තොරතුරු රැඳී තියෙන්නට ඇති ඉඩකඩ අඩු ය. තිබුණ ද, ඒවා වචන බවට පෙරළන්නට ඇයට දැන් නොහැකි ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
නැන්දාගේ මිතුරිය, එදිරිසිංහ නම් ගුරුවරියගේ නිවසට ද මම ඒ දිනවල ගොස් ඇත්තෙමි.

මෙන්න ඒ ගැන මා ලියූ මතක සටහන.

http://rasikalogy.blogspot.com/2017/05/oh-no.html
මල් කුමාරයා - Oh, no!


(image: https://www.films.lk/sidadiyen-hayak-sinhala-film-565.html)

Sunday, 25 December 2016

නිවාඩු සමය සඳහා හස්බන්ඩලාට සහ වයිෆරේලාට න්‍යාය පත්‍රයක් - I watched four good movies in two days


මගේ වසරාවසාන නිවාඩුව සිකුරාදා දවස් එකොළහයි පාළහට ඇරඹුණි.

එදින රාජ්ජසේවකයින් වූ අපට වරුවක සහන නිවාඩුවක් තිබේ. ඒ සඳහා උදේ වරුව වැඩ කළ යුතු වේ. මේ දිනවල මට එතරම් වැඩ රාජකාරි නොමැති නිසා කලින් දිනයක මෙන් නොව නිවාඩු පාඩුවක් නැතුව වරුවක සහනය ලබා ගන්නට මට ඉඩ ලැබුණි.

උදෑසන හතයි හතළිස් පහට ඔෆීසියට ගිය මට එකොළහයි පාළහට එතැනින් පිටත් වෙන්නට ලැබුණේ එනිසා ය.

දැන් ඉතිං ජනවාරි නමවෙනිදා වෙනතුරු ඔෆීසි යාමක් නැත.

නිවාඩු සමය ගත කරන හස්බන්ඩලාට සහ වයිෆරේලාට පවුලේ සාමය රැකගෙන නිවාඩුව ගත කිරීම සඳහා පහත න්‍යාය පත්‍රය යෝජනා කරමි.

හස්බන්ඩලා ගේ න්‍යාය පත්‍රය
  • ඔබේ න්‍යාය පත්‍රය අමතක කරන්න
  • වයිෆරේගේ න්‍යාය පත්‍රය අනුගමනය කරන්න

වයිෆරේලා ගේ න්‍යාය පත්‍රය
  • හස්බන්ඩා නිවාඩු සමය ගත කළ යුතු ආකාරය ගැන න්‍යාය පත්‍රයක් සාදන්න
  • ඒ අනුව කටයුතු කෙරෙන්නට වග බලා ගන්න!

කෙසේ වෙතත්, ගෙවුණු දින දෙකක කාලය තුළ සතුටු විය හැකි දේ කිහිපයක් ම කළෙමි. ඉන් එකක් මුල් වරට යම් ආහාරය වර්ගයක් පිළියෙල කිරීමයි. එය තාමත් අවසන් නැති නිසා, ඊට වඩා වැදගත් දෙයක් ගැන අද ලියමි.

නිවාඩු සමය සැමරීමට චිත්‍රපට කිහිපයක් ම නැරඹුවෙමි. සිනමා ශාලාවලට ගොස් නොවේ. නිවසේ සිට අන්තර්ජාලය හරහා ටෙලිවිෂනය ඔස්සේ ය. මේ චිත්තරපට සියල්ල "නෙට්ෆ්ලික්ස්" නමැති සේවය ඔස්සේ අපට අවශ්‍ය පරිදි ලබා ගත හැකි ඒවා ය.

කෙටි විස්තරයක් ද සහිතව ඒ ලයිස්තුව මෙන්න. මෙයින් හතරක් ම නැරඹුවේ පසුගිය දින දෙක තුළ වීම වාර්තාවකි.

1. ලයිෆ් ඊස් බියුටිෆුල් (*****)
දෙවෙනි ලෝක යුද සමයේ යුදෙව් ඉතාලියානුවෙකු සහ ඔහු ගේ බිරිඳ සහ කුඩා දරුවා පිළිබඳ සංවේදජනක කතාවක් ඇතුළත් ය.

2. ඉන්වෙස්ටිගේෂන් (****)
තමිල්නාඩු පොලිසියේ දුෂණ හෙළි කරන සත්‍ය කතාවක් මත පදනම් වූ චිත්‍රපටයකි.

3. මසාන් (***)
ඉන්දියාවේ වාරාණසී ප්‍රදේශයේ තරුණ පෙම්වතුන් මුහුණ දෙන ප්‍රශ්න සාකච්ඡා කෙරෙන චිත්‍රපටයකි.

4. ඩෙල්ලි ඉන් එ ඩේ (****)
දිල්ලි නගරයේ ධනවත් පවුලක් සමග එක් රැයක් ගත කරන්නට එන ඉංග්ලිෂ් තරුණයෙකු වටා ගෙවුණු කතාවකි.

5. ලුක් හූ ඉස් බැක් (*****)
හිට්ලර් වර්තමානයට එයි. මුලින් විකාරරූපී කතාවක් යැයි සිතුණ ද, ඇත්තටම සීරියස් කතාවකි.

6. ධනක් (****)
තම අන්ධ බාල සොහොයුරාට යළිත් පෙනීම ලබා දීම සඳහා සිතීමට අපහසු තරම් දුෂ්කර ගමනක යෙදෙන කුඩා දැරියක ගේ කතාව

7. වන් තවුසන්ඩ් රුපීස් (*****)
මේ චිත්‍රපට සියල්ල ම අතරින් ඉතාමත් සිත ඇදගත් නිර්මාණයයි. දුප්පත් මහලු ගැමි කාන්තාවක ගේ ජිවිතය හදිසියේ ම වෙනස් වෙන අයුරු.

හැපි හොලිඩේස් ගයිස්

ආතල්බෝවේවා!

-රසිකොලොජිස්ට්