Tuesday 21 January 2020

ඔබතුමා, වැසිකිළි සහ රටේ දියුණුව - Your Honour, Toilets and Becoming a developed country


කලකට ඉහත ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ධනපති රටවල් සහ රුසියාව ප්‍රමුඛ නැගෙනහිර යුරෝපියානු සමාජවාදී රටවල් අතර සීතල යුද්ධයක් පැවතුණු සමයේ දී, අප ජීවත්වෙන පෘථිවිය නමැති ලෝකය, එකී ධනපති රටවල්වලින් සමන්විත "පළමුවන ලෝකය", සමාජවාදී රටවල්වලින් සමන්විත "දෙවන ලෝකය" සහ අන් සියලුම රටවල්වලින් සමන්විත "තුන්වෙනි ලෝකය" යනුවෙන් කොටස් තුනකට ඛෙදා විශ්ලේෂණය කිරීම සිරිත විය.

පසු කලෙක, මේ "දෙවෙනි ලෝකය" ස්වභාවික මරණයකට ගොදුරුව අහෝසි වී ගිය අතර, ඊට කලින් සිට ම වාගේ තුන්වෙනි ලෝකයේ රටවල් වෙනුවට සංවර්ධනය වෙමින් පවතින රටවල් යන යෙදුම භාවිතය ඇරඹී තිබුණි.

එකල සංවර්ධනය වෙමින් පවතින රටවල් යැයි හැඳින්වුණු කණ්ඩායමෙන් ද කොටසක්, මේ වන විට නව කාර්මික රටවල් යනුවෙන් වඩා ඉහළ තත්වයක ලා හැඳින්වේ. අවාසනාවට මෙන් අපේ ලංකාව නම් තවමත් ඇතුළත් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් ගොන්නට ය.

එක් කලෙක සංවර්ධනය වෙමින් පවතින්නේ යැයි සැකකෙන රටක්, පසු කලෙක සංවර්ධනය වූ, එනම් දියුණු වූ, රටක් යැයි උසස් කිරීම සඳහා භාවිතා කළ යුතු විවිධ සමාජ ආර්ථීක මිනුම් දඬු හා ඒවායේ අවම මිනුම් මේ කරුණු පිළිබඳ විශේෂඥයින් විසින් නීර්ණය කර ඇති බවට සැක නැත. මගේ මේ වෑයම, ඒ විෂයානුබද්ධ කරුණු ගැන සාකච්ඡා කරනු වෙනුවට, සංවර්ධනය වෙමින් පවතින තත්වයෙන් සංවර්ධිත තත්වයට අවශ්‍ය පිම්ම පනින්නට නම් අපේ ශ්‍රී ලංකාවට සාක්ෂාත් කර ගත යුතු ඉතා සරල කරුණු දෙකක් ගැන කෙටියෙන් සඳහන් කරන්නයි.

ඉන් පළමුවැන්න මෙසේය.

අප එකෙකුට අනෙකා ඔවුන් ගේ මුල් නම භාවිතා කර, විශේෂණ පද නොමැතිව ඇමතීමට හැකි දිනයක අප රට දියුණු රටක් වූවා වෙනු ඇත.

මා එයින් අදහස් කරන්නේ සමාජයේ පුද්ගලයින් එකිනෙකා පිළිබඳව ඇති ගෞරවය හෝ සැලකීම නැති කළ යුතු ය කියා නොව, සොක්කන් ලොක්කන්ට එතුමා, ඔබතුමා, මැතිතුමා යනාදී වචනයෙන් මූ‚ච්චාට හෝ බය පක්ෂපාතකම පෙන්වීමට කෙරෙන ඇමතුම් මෙන්ම, ලොක්කන් සොක්කන්ට ඕයි, තමුසේ යනාදි ලෙස කෙරෙන ඇමතුම් ද නතර වී, සැම දෙනාටම එකිනෙකා තමන් ගේ නමින් අමතන්නට හැකි වෙන දින අප දියුණු වූවා යැයි සලකන්නට හැකි බවයි.

රටක දියුණුවේ ප්‍රධාන ම සාධකයක් විය යුත්තේ රටවැසියන් ගේ සමානත්වයි. සියලූ දෙනාටම එකම අයිතිවාසිකම් සහ එකම වගකීම් තිබිය යුතු අතර, එකෙකු අනෙකාට වඩා උසස් හෝ පහත් නොවිය යුතු ය. අප සහමුලින් ම නැති කර ගත යුත්තේ පිදිය යුත්තාට පිදීම හෝ ගෞරව කළ යුත්තාට ගෞරව කිරීම නොව, එං පිටුපසින් එන බලු ගැත්තරකමයි. අනිත් පසට එන හයිරංකාරකමයි.

මීට අමතරව අද සමාජයේ වෘත්තිකයින් අතරට ද පැතිර ඇති පිළිලයක් වන අයියාමල්ලී (අක්කා-නංගී) ඇමතීම ද සහමුලින්ම නතර විය යුතු ය. එය ඥාතීත්වයෙන් සහෝදරකමට පමණක් සීමා විය යුතු ය. මගේ අදහස අනුව අයියා-මල්ලී (අක්කා-නංගී) ඇමතීමෙන් ගම්‍යවන්නේ ද හයිරංකාර-බලු ගැත්තරකමයි. එය දියුණු සමාජයකට අනවශ්‍ය පන්ති භේදයකි.

නොදියුණුකමෙන් දියුණු තත්වයකට අප පත්වීම සලකුණු කෙරෙන දෙවැනි නිර්ණායකය ලෙස මා දකින්නේ පෙර කී මුල් අවශ්‍යතාවයට වඩා සහමුලින්ම වෙනස් එකකි. එය මෙසේ ය.

ලංකාවේ පුරවැසියන් ගැවසෙන සෑම ප්‍රසිද්ධ ස්ථානයකම, විශේෂයෙන් ම කාන්තාවන්ට සහ පොදුවේ සැමට ම, හිරිකිතයකින් තොරව තම ශරීර කෘත්‍යයන් සිදු කරගත හැකි පොදු වැසිකිළි ගොඩ නැගී පැවතෙන දිනයක අප දියුණු රටක් වුවා වෙනු ඇත.

පොදු වැසිකිළිවල හිඟකම මෙන් ම, තිබෙන පොදු වැසිකිළිවල අපිරිසිදුකම නිසා ම, තමන්ට නිවසෙන් පිටවී පැය දෙක තුනක ගමනක් යාමට ඇති නම්, ඊට පැයක පමණ කාලයක සිට දියර වර්ග නොබී වෛද්‍ය පරීක්ෂණයකට මෙන් පේ වෙන්නට කාන්තාවන්ට සිදුවෙන තාක් කල් අප ලබන දියුණුවක් නැත.

පිරිමින් ගේ තත්වය කාන්තාවන් ගේ තත්වය තරම්ම කනගාටුදායක නැති මුත්, පොදු පිරිමි වැසිකිළිවල තත්වය දුටුවොත් බල්ලන් බත් නොකන බව අපි හොඳින් දනිමු.

මෙය වැසිකිළි පහසුකම් සැපයීම පිළිබඳව ම ප්‍රශ්නයක් නොවේ. වැසිකිළි පාවිච්චි කරන්නන් ගේ නොදියුණු, ආත්මාර්ථකාමී හැසීරීම ද, අද ඇති ඛේදජනක තත්වයේ එක් ප්‍රධාන සාධකයකි. රට දියුණු වූවා යැයි සැලකීමට නම්, රටේ පුරවැසියන් ගේ දියුණු හැසීරීම ද මනාව ප්‍රදර්ශනය විය යුතු ය.

මගේ ප්‍රාර්ථනය, සමානයන් වෙසෙන, පිරිසිදු වැසිකිළි ඇති සුපිරි රටකි.

එය අති සරල වචන කිහිපයක් පමණක් වුවත්, එවැනි තත්වයක් සාක්ෂාත් කර ගැනීම ලේසි පහසු කාර්්‍යයක් නොවෙන බව කණගාටුවෙන් වුව ද කිව යුතු ය.

(image: https://steemit.com/life/@blog-beginner/life-in-developing-country-vs-developed-country)

13 comments:

  1. ඔබගේ වැදගත් කරුණු දෙකම 'සංවර්ධනයවූ' රටවල දකින්නට ලැබෙනවා. දැන් දැන් 'අයියා මල්ලී අක්කා නංගී' යන වචන අමුතුම ක්‍රමයකට යොදනවාත් දැක තිබෙනවා. ගෙදර දරුවන්ටත් දෙමාපියන් එසේ අමතන අවස්ථා තිබෙනවා. මා ළඟකදී දුටුවා අලුත විවාහ වූ කාන්තාවක් තම සැමියාව තවත් කෙනෙකුට හඳුන්වා දුන්නේ 'අයියා' කියා. මේවාත් තරමක විගඩම් නේද?

    ReplyDelete
  2. එකඟයි 100% - Dayal Bathee

    ReplyDelete
  3. අයියා අක්කා නංගි මල්ලි බැරිනං ඕනි විදියකට අමතගත්තට මට නං අවුලක් නෑ. අනික් මිනිස්සුගේ ජිවිත මට මොකටද? ඒක මගේ පැවැත්මට බාදාවක් නොවෙන තාක් මට අදාළ නැත.

    ලංකාවේ හතර දිග්භාගේ කොහේ ගියත් සැලකිය යුතු දුරකින් කාර්ගිල්ස්,ආර්පිකෝ,කීල්ස් වගේ සුපර්මාර්කට් තියෙනවා. කොළඹ නං ලාෆ් වගේ එව්වත් තියෙනවා. පෙරේරා ඇන්ඩ් සන්ස් වගේ කුඩා ගිමන්හල් තිබෙනවා. ඉන්ධන පිරවුම් හල් තිබෙනවා. පෞද්ගලික රෝහල් තිබෙනවා. ඒවායේ වැසිකිලි පහසුකම් සැලකියයුතු අන්දමට හොද ආකාරයට නඩත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. 1. අයියා මල්ලී ඇමතිම ගැන නොවෙයි මා මේ කියන්නේ.

      මා කියා ඇත්තේ "අප එකෙකුට අනෙකා ඔවුන් ගේ මුල් නම භාවිතා කර, විශේෂණ පද නොමැතිව ඇමතීමට හැකි දිනයක අප රට දියුණු රටක් වූවා වෙනු ඇත." කියායි. අයියා කියා බලු ගැත්තරකමට ඇමතීමෙන්් ද, මල්ලී කියා හයිරංකාරකමට අමෙතීමෙන්් ද, ඔබතුමා, තමුසේ යනාදී ලෙස උස්-මිට ආකාරයට ඇමතීමෙන් ද පෙනෙන්නේ සමානත් වය නැතිබයි. එය නොදියුණු ලක්‍ෂණයකි.

      2. මා කියන්නේ පුද්ගලික ස්ථානවල ඇති වැසිකිළි ගැන නොව පොදු වැසිකිලි සහ ඒවා පාවිච්චි කිරීම ගැන ය.

      Delete
  4. අවුරුදු හතළිහකට විතර ඉස්සරත් ජී.අයි.ඩී. ධර්මසේකර මහත්තයා මගෙත් එක්ක කිව කතාවක් මතක් වුනා. 'රට දියුණුද කියලා පෙනෙයි ලංකාවේ ප්‍රසිද්ධ වැසිකිලි ටික පිරිසිදුව තියෙන දවසට'

    ReplyDelete
    Replies
    1. මට නම් මෙය වැටහුනේ පිටරටක පදිංචියට ආ පසුයි!

      Delete
    2. ඇයි බිරිඳ ස්වමියාට තාත්තා කියනවා... ළමයිනුත් ඒ තාත්තාට තාත්තා කියනවා... හරිම තාත්තා කවුද...

      Delete
  5. ela

    blog syndi ekk https://sithuvili.info/ blog liyana aya kiyawana aya me patha avilla yanna

    ReplyDelete
  6. මගෙත් ඉන්නවා යාළුවෝ තමන්ගෙ මිනිහට අයියා කියනවා... මොන මගුලක්ද බං... අනිත් එක ඔය ඔබතුමා කියන එකනම් මටත් පේන්න බෑ...

    ReplyDelete
  7. Highly interesting. Very good article.

    ReplyDelete
  8. ඔබ සංවර්ධන ලෙස හදුන්වා ඇත්තේ සංවර්ධිත රටක දක්නට ලැඛෙන ලක්ෂණ දෙකකි. ඌව සංවර්ධනය නම් බරපතල රෝගයේ ඉතා සුළු රෝග ලක්ෂණයකි අපිරිසිදු වැසිකිළි. අප රට ඇති ඉතා දුර්වල ධනවාදී අර්ථ ක්‍රමය තුල නෂ්ටාව පවතින ඊට පෙර පැවති වැඩවසම් ක්‍රමයේ අංගයකි පූද්ගල ආමන්ත්‍රණයේදී වෙනස්කොට සැලකීම. නමුත් රෝග නිධානයට පිළියම් නොකොට මෙවැනි සූළු රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කළ නොහැකි බවත් රෝග නිධානය මුලිනුපුටා දැමු කළ මෙවන් රෝග ලක්ෂණ නිතැතින්ම පහව යන බවත් සිතමි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.