Friday, 8 May 2015

මැයි දින පෙළපාලි සහ රැස්වීම් පිළිබඳ තවත් එක් මතකයක් - m’aidez, m’aidez, m’aidez...!!!


මා ජීවිතයේ මුල් වරට මැයි දින පෙළපාලියක් නැරඹීමට ගිය ආකාරය ගැන විස්තරයක් පසුගිය ලිපියක සඳහන් කළෙමි.

එලෙස ඇරඹුණු මැයි දිනයේ පෙළපාලි සහ රැස්වීම් නැරඹීමට ඇති මගේ ආශාව, රටෙන් පිටව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කරන තුරු ම එක සේ පැවතුණි.

මැයි දිනයන් හි දී දිවා ආහාරයෙන් පසුව කොළඹ බලා යන මගේ අභිප්‍රාය වූයේ හැකි තරම් පෙළපාලි සංඛ්‍යාවකුත්, අඩු වශයෙන් එක රැස්වීමක් හෝ නැරඹීමටයි. කලින් දින පුවත්පතකින් ඒ ඒ පක්‍ෂවල පෙළපාලි ඇරඹෙන ස්ථානය සහ රැලි පැවැත්වෙන ස්ථාන සොයා ගන්නා මා කරන්නේ නැරඹීමට අවශ්‍යම පෙළපාලි කිහිපය බැලීමට සුදුසු ස්ථාන සොයා ගැනීමයි. එහි දී ප්‍රශස්ත (අවම) කරන්නට වෙර දරන ශ්‍රිතය වනුයේ එක පෙළපාලියක් මුල සිට නරඹා අනිත් පෙළපාලියක් මැද සිට හෝ නරඹන්නට යාමට පයින් ගමන් කළ යුතු දුරයි.

මෙලෙස මා නැරඹීමට ගිය මැයි දින පෙළපාලි සහ රැස්වීම් ගැන මට රසවත් මතකයයන් රැසක් පසුගිය මැයි දින සැමරුම ගැන ප්‍රවෘත්ති කියවන විට මගේ මතකයට ගලා ආවේ ය.

එයින්, පොදු රසාස්වාදයට නැංවිය හැකි සිදුවීම් කිහිපයක් හෝ රසිකොලොජියේ ලියා පළ කරන්නට සිතුවෙමි.

වසර 1991 දී පමණ මා නැරඹීමට ගිය "ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ" මැයි පෙළපාලියක් මගේ මතකයේ හොඳින් රැඳී ඇත. මේ පෙළපාලිය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ වැල්ලවත්තේ කුරේ ක්‍රීඩාංගනයෙනි.

"ශ්‍රී ලංකා මහජන පක්‍ෂය" යනු, 1982 දී පැවති ජනාධිපතිවරණයෙන් පසු "ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ" දෙවෙනි කැඩී යාම නිසා ඇතිවුණු දේශපාලන පක්‍ෂයයි.

මුලින්ම කැඩී ගියේ මෛත්‍රීපාල සේනානායක, එස්.කේ.කේ සූරියආරච්චි ඇතුළු පිරිසකි. ඔවුන් කලක් යූඇම්පීයට පක්‍ෂව හිඳ, 1982 ජනමත විචාරණයේ දී ජේ.ආර් ගේ වේදිකාවල පෙනී සිට, පසුව ආපසු මහ ගෙදරටම ආපසු ආහ.

ටී.බී. ඉලංගරත්න, වී.ටී.ජී. කරුණාරත්න, විජය සහ චන්ද්‍රිකා කුමාරතුංග, ඔසී අබේගුණසේකර, ෆීලික්ස් පෙරේරා ඇතුළු පිරිසක් සිරිලංකා එකෙන් කැඩී ගොස් "මහජන පක්‍ෂය" පිහිටවූයේ 1984 දී පමණ යැයි සිතමි. ඒ, නැක්සලයිට් ත්‍රස්ත්‍රවාදී චෝදනා ලැබ විජය කුමාරතුංග ඇතුළු පිරිසක් සිරබත් කා නිදහස් වීමෙන් මද කලකට අනතුරුවයි.

පක්‍ෂයේ උප සභාපති වැනි තනතුරු දැරූ විජය සහ චන්ද්‍රිකා දෙපල පසු කාලයක ජනවාර්ගික ප්‍රශ්ණයට විසඳුමක් සොයන්නට පද්මනාභ, උමා මහේෂ්වරන් ඇතුළු පිරිසක් මුණ ගැසෙන්නට මදුරාසියට ගිය පසු, පක්‍ෂයේ නාමික සභාපතිත්තවය දෑරූ ටීබී ඉලංගරත්න ඉල්ලා අස්විය. ඉන්පසු, මහජන පක්‍ෂයේ අසහාය නායකයා වූයේ විජය කුමාරතුංගයි.

ජාතිවාදීන් විසින් විජය මරා දැමීමෙන් පසු, චන්ද්‍රිකා ජීවිතාරක්‍ෂාව පතා එංගලන්තය බලා ගිය අතර මහජන පක්‍ෂයේ නායකයා ලෙස ලංකාවේ කටයුතු කළේ ඔසී අබේගුණවර්ධන නම් පුද්ගලයා යි. වයි.පී. සිල්වා නමැත්තෙක් ද යම් නිලයක සිටිය බවට මට මතකයක් ඇත.

මා මේ කියන මැයි පළමුවෙනිදා දිනයේ, වැල්ලවත්තේ කුරේ ක්‍රීඩාංගනයට ගියේ මහජන පක්‍ෂයේ පෙළපාලිය ආරම්භයේ දී ම එය නරඹා අවසාන කොට, ඊළඟට මගේ ලැයිස්තුවේ ඇති තැනට යාමට සිතාගෙනයි. මා එහි යන විට පෙළපාලියක් තව සෑහෙන වේලාවකට ඇරඹෙන තත්වයක් නොතිබුණි.

පිටියේ එක් පසෙක තිබූ පැවීලියනයේ දම් පැහැ වර්ණ කමිසයෙන් සැරසුණු පිරිසක් (දම් පැහැය මහජන පක්‍ෂය විසින් තෝරාගෙන තිබුණු වර්ණයයි) කෑ කෝ ගසමින් සිටින අයුරු දුටු මම ඒ දෙසට ගියෙමි. එහි දී මට දැක ගන්නට හැකි වුණේ, එක් පුද්ගලයෙකු වට කරගත් පිරිසක් සටන් පාඨ කියමින් ඔහු වටා නටන බවයි.

ඒ පුද්ගලයා ඔසී අබේගුණවර්ධන ලෙස මම හඳුණා ගතිමි. මා ඔහුව ඊට පෙර දැක තිබුණේ 1984 දී පමණ මහනුවර පැවති රැස්වීමක දී කතාවක් පවත්වද්දී ය.

ඔසී අබේගුණවර්ධනව වටකරගත් පිරිස කියමින් සිටි සටන් පාඨවල මට "වේසි" යන වචනය හොඳින් ඇසුණි. ඔවුන් ඒ වචනයෙන් අමතමින් සිටියේ කාවදැයි මට මොහොකින් පසක් විය.

ඇතිවුණු පිළිකුල සමගින් එතැනින් නික්මුණු මා ඊලඟට ගියේ දම් පාට ලෝකයෙන් රතුපාට ලෝකයක් කරා ය. ඒ කැම්බල් පිටියෙන් (හෝ එවැනි තැනකින්) ඇරඹී, හැව්ලොක් පිටිය දෙසට ගමන් කරමින් සිටි ලංකා සමසමාජ පක්‍ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය සහ තවත් පක්‍ෂ කිහිපයක ඒකාබද්ධ මැයි දින රැලිය නැරඹීමටයි.

එදා ඔසී අබේගුණසේකර සිනාවෙමින් බලා සිටියදී ඔහු වටකරගත් ඔහුගේ අනුගාමිකයින් පිරිස "වේසි වේසි" යනුවෙන් සටන් පාඨ කීමට හේතුව ටික දිනකදී හෙළි විය. ඔසී මහජන පක්‍ෂයේ නායකයා වී, ටික දිනකින් ම බස්නාහිර පළාත් සභාවේ ප්‍රතිපක්‍ෂ නායකයා ලෙස, එවකට ජනාධිපති ර. ප්‍රේමදාස ගේ තුරුළට ගිය අතර, මහජන පක්‍ෂයෙන් ඉවත් වූ, චන්ද්‍රිකා කුමාරතුංග සහ රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් විසින් "බහුජන නිදහස් පෙරමුණ" නමින් දේශපාලන පක්‍ෂයක් පිහිටුවන ලදී.

ඒ පක්‍ෂ සියල්ල ම තවමත් නාමිකව හෝ පවතී!

-රසිකොලොජිස්ට්

65 comments:

  1. අයිසෙ රසික මාර මතකයක්නෙ තියෙන්නෙ තමුසෙට

    ReplyDelete
    Replies
    1. තාම අවුල් වෙලා නෑ අයිසේ!

      (හැබැයි මේ සිදුවීම වුනේ 1990 දී ද, 1991 දී ද කියා නම් මතකයට නගා ගන්න නිමිත්තක් නෑ)

      Delete
    2. @රසිකොලොජිස්ට්,

      1991 වෙන්න ඕනෙ අයිසේ..... මොකද චන්ද්‍රිකා එංගලන්තේ ඉඳලා ලංකාවට ආපහු ආවේ 1991 දී.

      Delete
  2. බොහෝ දේශපාලනඥයන්ගේ ප්‍රතිපත්ති විවේචනය නොකර, පෞද්ගලිකත්වය විවේචනය කිරීම, අපේ රටේ අද ඊයේ ඉඳලා සිදුවන දෙයක් නෙවෙයි. බණ්ඩාරනායක උන්නැහෙත් ඒ කාලේ දහනායක උන්නැහේටද කොහෙද කිව්වා, 'ගෙදර පඩික්කම තියාගෙන, ජනේලෙන් කෙල ගහනවා' කියලා. නමුත් ඒ උපහාසය, කෙලින්ම වේසි කියනවාට වඩා රසවත්. චන්ද්‍රිකා හුඟක් ආදරවන්ත නරියන්ට කඩාගන්න බැරිවුණ, තිත්ත මිදී පොකුරක් කියලා මම අහලා තියනවා.

    ReplyDelete
    Replies
    1. සිරිමාට පඩික්කම කීවා එහෙනං, ඈ?

      Delete
    2. දහනායකගෙ නම් ගෙදර පඩික්කමක් තිබුණෙත් නෑ. වෙන තැනක තිබුණෙත් නෑ. දහනායක වෙන සබ්ජෙක්ට් එකකට බර කෙනෙක්. දවසක් දහනායක ශ්‍රාවස්තියෙදි උදේ නැඟිටලා බලනකොට රෑ හිටපු එකෙක් සරම අරන් ගිහින්ලු. මේකා ඇඳේ බෙඩ් ශීට් එක සරම වගේ ඇඳගෙන පාර්ලිමේන්තුවටත් ගියාලු.

      Delete
  3. //ඇතිවුණු පිළිකුල සමගින් එතැනින් නික්මුණු මා ඊලඟට //
    අද කාලෙ වගේ නං රසිකට යන්න රැස්වීමක් නැති වෙනව. ඒක‍ාලෙ තව හොඳයි!

    ReplyDelete
    Replies
    1. වසර 1977 මැයි පෙළපාලියේ දී සිරිලංකා පක්‍ෂයේ අය:

      සීනි නැතුව තේ බොන්නම්,
      හාල් නැතුව බත් කන්නම්,
      මැතිණිය ඔබ කියනව නම්,
      පිදුරු වුනත් අපි කන්නම්

      කියා සටන් පාට කියන කොට

      යූඇම්පී පෙළපාලියේ කියලා තියෙන්නේ මෙහෙමයි-

      හැත්තැ හතේ
      xත්ති නැතේ!

      Delete
  4. ඔසී අබේගුණසේකර පුදුමාකාර කටක් තිබ්බ මන්ය්ස්සයෙක්. මම ඔහුගේ කතාවන් කීපයක් අහල තියනවා කැසට්පට වලින්.. පුදුම කථිකත්වයක්.

    ReplyDelete
    Replies
    1. ඒවා කැසට්වලට රෙකෝඩ් කරගෙන අහපු අයත් හිටියාද? බුදු අම්මෝ? සජ්ජා කැලණියේ ද?

      ඔසී අබේගුණසේකර බටහිර පලාත් සභාවේ විපක්‍ෂ නායක ලෙස ඉන්න කාලේ ප්‍රේමදාසට එකතු වී ඔහු ගේ රැස්වීම්වල අංක දෙකේ කථිකයා වුණා. ඒ කාලේ රූපවාහිනියේ රාත්‍රී අටේ ප්‍රවෘත්තිවලට විනාඩි දහයක් ප්‍රේමදාස ගේ කතාව, ඊලඟට විනාඩි පහක් ඔසී ගේ කතාව.

      මිනිස්සු අයීටීඑන් එකට දාන නිසා, ඒකේත් ඒ වෙළාවටම මේ ප්‍රවෘත්තියම සිමල්කාස්ට් කරන්න පටන් ගත්තා. ඊට පස්සේයි එම්ටීවී (පසුව සිරස) සහ ටීඑන්එල් හෙම ආවේ.

      Delete
    2. 2000 අවුරුද්දෙ දේශපාලන උණ තියන කාලෙ රස්වෙමක් සංවිධානය කරපු වෙලාවක අල්ලපු ගමේ අන්කල් කෙනෙක් ගෙනත් දුන්නා මේක දාපං පුතේ කියල කැසට් පටියක්. බැලින්නම් බුවා සිරිකොතින් අරගෙන ආපු එකක්. හාමුදුරුනමක් වගේ කතාව පටන් ගත්ත කතාව අන්තිමට ඉවර වෙන්නෙ කනේ ඇඟිලි ගහගන්න තරම් සද්දෙන්. ඔසීගේ කතා රුපවාහිනී වල අහන වයසක නෙවෙයි රසික අයියා මම හිටියේ. හැබැයි අර මාමගෙන් තවත් කතා ටිකක් ඉල්ලගෙන අහල බැලුව. කථිකත්වය අති විශිෂ්ටයි. අපි පබාට චන්දෙ දුන්න උදවිය. හැක්...

      Delete
    3. ඔසී අබේගුණසේකරට තිබුණේ කථිකත්වයක් නෙවෙයි, වාචාලකමක්.....
      හරියට ම අද විමල් වීරවංශ වගේ.
      එයා පහර ගැහුවේ ම බණ්ඩාරනායක පවුලට.

      1977 මහ මැතිවරණයෙන් ශ්‍රී.ල.නි.ප.ය පැරදුණු විට කොළඹ ඔරුගොඩවත්ත වටරවුමේ (අද එතැන වට රවුමක් නැහැ; තියෙන්නේ විදුලි ආලෝක සංඥා ) තිබුණු බණ්ඩාරනායක අගමැතිගේ කළු පැහැ පිළිරුව කඩා කැළණි ගඟට විසි කළා කියන්නේත් ඔය ඔසී අබේගුණසේකර යි.

      Delete
    4. මෙවැනි බණ්ඩාරනායක පිළිරුවක් නිට්ටඹුවේ බස් නැවතුමේත් තිබුණා, දැන් ඒක තියෙනවාද?

      Delete
  5. ඔසී පුක දී නසී කියලා කිව්වා ඔසී තොටළඟ බෝම්බෙන් විඳවලා මැරුණයින් පස්සේ..

    - පුක යනු කුණුහබ්බයක් නොවේ..

    අදනම් ඒ සටන් පාඨය කියලා කෑ ගහන්න බෑ කාටවත්. මොකෝ ඔක්කොම ඉන්නේ වේසියෝයි, වේසාවොයි...

    ReplyDelete
    Replies
    1. ගාමිණී දිසානායකට තැබූ තොටලඟ බෝම්බෙන් සෑහෙන පිරිසක් මළා නේද?
      ගාමිණී විජේසේකර, ඔසී, මල්ලිමාරච්චි, රොනී (පොලිස්), ප්‍රේමචන්ද්‍ර ඇතුළු පනහක් පමණ දෙනා?

      Delete
    2. ඔසී සෑහෙන කාලයක්(මාසයක් විතර) මැෂින් වලින් ජීවත්වෙලා අන්තිමට මළා වගේ මතකයි...

      Delete
    3. රොනී මලේ ප්‍රේමදාස මහත්තයා එක්ක ආමර් වීදියේදි

      Delete
    4. ඔසී නකදී පුසී කියල තමයි සම්භාව්‍ය විදිහට කියන්නෙ.

      Delete
    5. කවුරු හෝ පොලීස් ලොක්කෙක් මළා තොටලඟ බෝම්බෙන්!

      Delete
  6. A.C. ගුනරත්නකියල මහත්තයෙක් හිටිය. දැන් මියගිහින්. හුඟදෙනෙක් ඔහුව හැඳින්වූවේ "AC" කියල.
    ඔහුගේ පුතාට කිව්වෙ "ACගෙ පුතා" කියල

    ReplyDelete
    Replies
    1. මගේත් යාලුවෙක් ඉන්නවා අපි කියන්නේ ඒසී කියලා!

      මිහිදු හාමුදුරුවෝ එක්ක ලංකාවට ආපු ගෝලය උත්තිය මහණ වෙලා තියෙන්නේත් කසාද බැඳලා ඵුතෙක් හෙම ලැබුනොත් කියලා හිතලායි. (අපි හෙම නං කරන්නේ හැලපේට කියා නම මාරු කරගන්නා එකනේ)

      Delete
    2. පූසිගේ පැටවුන්ට බලු පැටවූ බනිනවා අඩේ පූසිගෙ පුතා කියලා.

      Delete
    3. සුස් පැටව් බණිනවා ඇති අඩෝ බැල්ලිගෙ පුතාලා කියලා!

      Delete
  7. රාජිත සේනාරත්න ගත්තත් ඉතින් ඉතිහාසයම පැන පැන තමා ඉදලා තියෙන්නේ නේද?????? අැත්තට ම ලංකා ඉතිහාසයේ හොදම පැනිලි පැන්න දේශපාලනඥයා හොයලා අපේ සම්මාන උලෙළකදීවත් දෙමුකෝ මහා ගෙබි සම්මානය කයලා ඒකක්........

    ReplyDelete
    Replies
    1. පැනීම සම්පුර්ණ වෙන්න හිටිය පක්‍ෂයටම ආපහු යන්න ඕනෑ. ඒවගේ අය තමයි මට මතක විදියට මේ අය.

      රාජිත සේනාරත්න
      රොනී ද මෙල්
      ඇස්බී දිසානායක
      ජීඇල් පීරිස්
      අනුර බණ්ඩාරනායක
      චන්ද්‍රිකා බණ්ඩාරනායක
      අර්ජුන රණතුංග

      හැබැයි මෛත්‍රිපාල ගේ කේස් එක වෙනස්. ඡන්දෙට ඉල්ලුවාට ඇත්තටම වෙන පපයකට ගියේ නැති නිසා.

      Delete
    2. ගාමිණී දිසානායක
      නවීන් දිසානායක

      Delete
    3. රොනී ද මැල් ඒ පැත්තෙන් මේ පැත්තට පැන්නහම පත්තරවල ගියේ මෙන්න මේ විදියට:

      "රොනී පනී!"

      Delete
    4. රොනී (බඩට) අනී කියා තියෙන්න ඇති බජට් එකට පස්සෙ දවසේ!

      Delete
  8. ඔසී 88 ජනාධිපතිවරණෙට ඉල්ලුවා නේද මහජන පක්ශෙන්.. ඒ කාලේ ටීවී එකේ කතා අහල තියෙනවා.. ජේ.වී.පී එකේ පට්ට භීශණේ මැද තිබ්බ ඒ ජනාධිපතිවරණේ තමයි මට මුලින්ම දේශපාලනේ ගැන උනන්දුවක් ඇති කරේ. 82 ලාම්පු කලගෙඩි සෙල්ලම මතක තිබ්බත් ලොකු තෙරුමක් තිබුණේ නෑ. එයා ජේ.ආර්. මම ඒ.ජේ.ආර් කියල චන්දෙ ඉල්ලපු ඒ.ජේ. රණසිංහ පිස්සු කියෙව්වෙත් ඔය කාලෙමද කොහෙද.. චන්දෙ දිනල ජේ.වී.පී එක මර්ධනය කරල ප්‍රේමදාස කියපු අර දෙකොණ පත්තුවෙච්චි විලක්කුවෙන් එක පැත්තක් නිවුව අනිකත් ලඟදිම නිවනව කියන කතාවත් කවදාවත් අමතක වෙන්නැති එකක්. එතකොට විජයගේ මිනිය ඉස්සරහ ඉඳන් චන්ද්‍රිකා අත්දෙක උස්සල දිවුරපු විදිය.. අපිනම් ඕව ඔක්කොම වගේ බැලුවේ ඉතින් ටී.වී. එකට පින් සිද්ද වෙන්න තමයි :)

    ReplyDelete
    Replies
    1. ඒ.ජේ. රණසිංහ පස්සෙ ස්වාධීනව ජනාධිපතිවරනෙකටත් ඉල්ලුව නේද?

      Delete
    2. මට 1988 ඡන්දේ ගැන අදහසක් නෑ. ඒජේ රණසිංහ ඉල්ලුවේ 1994 ජනාධිති ඡන්දයටයි.

      Delete
    3. ඔසී 1988 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ ප්‍රේමදාසගේ මෙහෙයවීමෙන්. ඒ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ඡන්ද කඩන්න. ඇත්ත වශයෙන් ම ඔසී ඒ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවූවා නම් දිනන්නේ ඇය යි. මොකද, ප්‍රේමදාස මහතා ලබා ගත්තේ ප්‍රකාශිත ඡන්ද වලින් යන්තම් 50.4% ක් පමණ යි.

      Delete
    4. 1978 දී ආර්. ප්‍රේමදාස අගමැති ඒ. ජේ. ආර්. රණසිංහ මහතාව ටවර් හෝල් රඟහල පදනමේ සභාපති පදවියට පත් කළා. ඊට පස්සේ තමයි එයා 'පොරක්' වුණේ. 1990 දී විතර එයා එයාගේ ජීවිත කතාව පොතක් හැටියට පළ කළා. පොතේ නම "ඒ. ජේ. ආර්." (මගේ ළඟ ඒකේ පිටපතක් තියෙනවා). ඒක ආසන්න වශයෙන් coffee-table book තත්ත්වයේ පොතක්.

      Delete
    5. ඒ. ජේ. ආර්. රණසිංහ නේද ප්‍රේමදාසගේ සෙරප්පු හොඳපු වතුර වුනත් බොනවා කිව්වේ.

      Delete
    6. සෙරෙප්පු සුප් කියල කාඩ් එකකුත් තිබ්බ :D

      Delete
  9. ඔසී මියගීය පසු "ඔසී නසි"කියලා තිබ්බා මතකයි.
    දැන් ඔය තියෙන සමහර පක්‍ෂත් තව ටික දවසකින් නාමික පක්‍ෂ වේවි බොහෝවිට.ඇතැම් විට නිදහස් පක්‍ෂය නැවත වාරයක් භේදී ගිහින් අලුත් පක්‍ෂයක් බිහිවෙන්න පුළුවන් මිලග මහා මැතිවරණය ආසන්න වෙන්න.හැබැයි ඉතින් එව්වා සෝඩා බෝතල් පක්‍ෂ වෙන්න ඉඩ වැඩියි.

    ReplyDelete
    Replies
    1. යූුඇම්පීයෙන් තමයි සිරිලංකා එක බිහිවුණේ 1952 දී.

      යූුඇම්පීයෙන් රුක්මන් සේනානායක කඩාගෙන ගිහිල්ලා එක්සත් ලංකා ජනතා පක්‍ෂයද මොකක් ද එකක් හදලා 1988-89 කාලේ, ජේවීපීය එක්ක සාකච්ඡා කරනවා වගේ සෑහෙන වැඩ කළා.

      යූුඇම්පීයෙන් ලලිත් අතුලත්මුදලි, ගාමිණී දිසානායක, ජීඇම් පේමචන්ද්‍ර කඩාගෙන ගිහිල්ලා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ද මොකක් ද හදලා මාර බලවේගයක් වුණා 1992-93 කාලේ. ලලිත් මැරුණට පස්සේ ලලිත් ගේ බිරිද ශ්‍රීමනී පොදු පෙරමුණට ගියා. ගාමීණී සහ පේමචන්ද්‍ර ආපසු යුඇම්පීයට ගිහින් මැරුණා. ගාමිණී ගේ බිරිද සහ පුතා දැන් යූ ඇම්පීයේ. පුතා කාලයක් මරා ගේ දෑත ශක්තිමත් කරන්න ගිහින් ඉඳලා ළඟදී සිරිකොටම ආවා.

      ඉන් පසු, යුඇම්පීයෙන් මරා ගේ දෑත ශක්තිමත් කරන්න ගියාට අළුතින් පක්‍ෂ විද්‍රට කැඩුණේ නෑ.

      Delete
    2. රුක්මන් සේනානායක තමයි 1973 දී ඩඩ්ලි සේනානායක මහතාගේ අභාවයෙන් හිස් වුණු දැදිගම ආසනය වෙනුවෙන් පැවැත් වුණු අතුරු මැතිවරණයට* තරඟ කරලා පාර්ලිමේන්තුවට පත් වුණේ. ඉන් අවුරුදු 3 කට පස්සේ ජේ. ආර්. ජයවර්ධන විපක්ෂ නායක සමඟ ඇති වූ විරසකයක් නිසා ඔහු සහ ජේ. ආර්. පී. සූරියප්පෙරුම එ.ජා.ප.යෙන් නෙරපා හරිනු ලැබුවා. ඒ දෙදෙනා සහ ගෝල බාලයන් කිහිප දෙනෙක් එකතු වී 1976 දී "ඩඩ්ලි පෙරමුණ" නමින් පක්ෂයක් අටවා ගත්තා. ඒ පක්ෂයට අවුඩුද්දක් වත් ආයුෂ තිබුණේ නැහැ.


      (* නංගිලා මල්ලිලා දන්නවා ද අතුරු මැතිවරණයක් කියන්නේ මොකද්ද කියලා?)

      Delete
    3. මට මත හැටියට ලංකාවේ අවසාන අතුරු මැතිවරණය පැවැත්වූයේ 1986 දී අක්මීමන ආසනය වෙනුවෙන්.

      Delete
    4. ඩඩ්ලි පෙරමුණ කියන්නේ එජාය ඇතුළේම පෙෂර් ගෲප් එකක් නේද?

      එක්සත් ලංකා ජනතා පක්‍ෂය කියා නම් පක්‍ෂයක් තිබුණා, රුක්මන් ගේ නායකත්වයෙන්!
      http://www.divaina.com/2010/06/28/mano04.html

      Delete
  10. ඔසී ඉතා ව්‍යක්ත කථිකයෙක්.අන්තිමට ඔහු යූ ඇන් පියට ගොස් ටික කලකින් ටී එන් එල් රුපවාහිනියේ ජනහඬ වැඩ සටහනකට සහභාගී උනා.ඔහුගේ ප්‍රතිපාක්ෂිකයා වුයේ පසුගියදා ජනතාව විසින් ගෙදර යවන ලද රජායි.පහුගිය ජනාධිපතිවරණයට පෙර ඒ වැඩ සටහන නැවත විකාශය කරද්දීත් මා නැරඹුවා.

    ReplyDelete
    Replies
    1. මට මතකයි, මට මතකයි.

      මේ සංවාදය මෙහෙයවූයේ ආරියනන්ද දොඹගහවත්ත. මුං දෙන්නා නිකං ජක බක ගගා හිටියි විතරයි අන්තිමේදී කියපු ලොකු කරපු දෙයක් නෑ.

      මේ විවාදයෙන් පස්සේ එවකට ඉරිදා ලංකාදීපයේ ගිය පිස්සා ගේ පලා මල්ල (පසුව මේ නමින් බ්ලොග් එකක්ද තිබුණා!) තීරු ලිපියේ මේ ගැන විස්තර කළේ හබරල ගොල්ලක වුණු කබර ගොයි දෙන්නෙකුගේ පොරයක් ලෙසයි. එහිදී ආරියනන්ද දොඹගහවත්තව හඳුන්වා තිබුණේ බොටල් ජානිසෙක් හෙවත් බෝතල් පත්තර කාරයෙක් විදියටයි. අපි ඒ නම රෙජිස්ටර් කරගත්තා. ඉන් පසු අපි දැන් සිරසේ නිවේදකයෙක් වෙන (අර ලක්‍ෂපති එක කරන) චන්දන සූරියබණ්ඩාර ව හැඳින්වූයේ පොඩි බොටල් ලෙසයි.

      ආහ්, ඒ සුන්දර කාලය!

      Delete
    2. "ජනහඬ" පළමු වැඩසටහනට ආවේ වාසුදේව නානායක්කාර සහ ජිනදාස නියතපාල.

      Delete
    3. ඔසී අබේගුණසේකරට තිබුණේ කථිකත්වයක් නෙවෙයි, වාචාලකමක්.....
      හරියට ම අද විමල් වීරවංශ වගේ.
      එයා පහර ගැහුවේ ම බණ්ඩාරනායක පවුලට.

      1977 මහ මැතිවරණයෙන් ශ්‍රී.ල.නි.ප.ය පැරදුණු විට කොළඹ ඔරුගොඩවත්ත වටරවුමේ (අද එතැන වට රවුමක් නැහැ; තියෙන්නේ විදුලි ආලෝක සංඥා ) තිබුණු බණ්ඩාරනායක අගමැතිගේ කළු පැහැ පිළිරුව කඩා කැළණි ගඟට විසි කළා කියන්නේත් ඔය ඔසී අබේගුණසේකර යි.

      Delete
    4. ඒ ඔසී Vs මහින්ද ජනහඬ වැඩසටහන යූ-ටියුබයේ නෑ නේද?

      Delete
  11. නමට නියෙන පක්ෂෙක හරි නායකයෙක් වෙනවා කියන්නේ ඉතින් පොරක් තමයි නේ...

    ==============
    රසික,

    මතකේ නම් අපූරුයි...

    අපිට ඔය මතක නැති නිසා විස්තරේ බොහොම වටිනවා...

    ReplyDelete
    Replies
    1. ඊයේ රෑට කෑවේ මොනවාද කියලා නම් අහන්න එපා. මතක නෑ.

      Delete
  12. අයිසේ රසිකොලොජිස්ට්,

    1987 දී ජේ.ආර්. මැයි දින පෙළපාලි තහනම් කරපු එක තමුන්නැහේට මතක ද?
    එදා සම සමාජ පක්ෂ කාර්යාලයෙන් යුනියන් ප්ලේස් පාරට බැහැපු කොල්වින් ආර්. ද සිල්වා මහත්තයාගේ කකුල තුවාල වුණා මතක ද පොලීසියෙන් ගහපු හොඳට ම රත් වෙච්ච කඳුළු ගෑස් කැනිස්ටර් එකක් වැදිලා?
    ඒ තුවාලවලින් ද මන්දා ඊට ටික කාලෙකට පස්සේ එතුමාගේ මරණය සිද්ද වුණේ..?!?

    ReplyDelete
    Replies
    1. අයිසේ ඇනොනිමස්ට්,

      පොලීසියේ අපි දන්නවා හොඳටම රත්වෙච්ච කඳුළු ගෑස් කැනිස්ටර් කියලා ජාතියක් නෑ. කොයි කඳුළු ගෑස් කැනිස්ටර් එකත් රත්වෙලා තමයි තියෙන්නේ. කොල්වින් මැරුණේ හාට් ෆෙලියර් එකකින්. අර තුවාලයෙන් විසබීජ ගිහිල්ලා නෙවෙයි.

      Delete
    2. In 1987 he (Dr. Colvin R. de Silva) led a protest against the ban on May Day rallies in Sri Lanka and suffered a serious burn injury to one his feet due to a tear gas cartridge that was thrown at the protesters by the police, which troubled him till his death.

      http://www.letswibe.com/wibe/Colvin-R.-de-Silva/

      Delete
    3. කොල්වින් යනු ඉතාමත් දිග වාක්‍ය අදිමින් පදිමින් විනාඩි ගණනාවක් ගනිමින් කතා කරන කෙනෙක් බවයි මතක.

      සමසමාජ කොල්වින් ගේ දුව මනෝරි බැන්ඳේ කොමියුනිස්ට් පක්‍ෂයේ සරත් මුත්ටේටුවේගමවයි. ඔහු රීය අනතුරකින් මිය ගියා.

      Delete
  13. අයිසේ රසිකොලොජිස්ට්,

    තමුන්නැහේ මේ බ්ලොග් පෝස්ට් එකට දාලා තියෙන ෆොටෝ එක හරි පුදුමයි.

    ඒකේ ඉන්න සියළුම දෙනා ම ඝාතනයට ලක් වුණු අය, චන්ද්‍රිකා මහත්මිය හැර.

    පළමුවෙන් ම පද්මනාභ (දකුණේ සිට දෙවෙනියා) 1986 දී.
    ඊළඟට විජය කුමාරණතුංග 1988 දී.
    ඊටත් පස්සේ ඔසී අබේගුණසේකර 1994 දී.
    අවසානයට කේතීස්වරන් 2006 දී.

    තව පොඩ්ඩෙන් චන්ද්‍රිකාත් ඝාතනය වෙනවා 1999 දී.

    ReplyDelete
    Replies
    1. අවි ගත්තෝ මුලින් අවියෙන් වැඩ ගනිතී
      අවසානයේ උන් හැම අවියෙන් නසිතී
      ලෝක සොබාවය එහෙමයි දන කියතී
      මරණ ලයිස්තුව නිමි දැයි සැක දැනෙතී

      Delete
  14. බලාගෙන යද්දී කොයි කාලෙත් පොඩ්ඩ ඇත්තන් වෙන් වෙලා ගිහින් පක්ෂ හදාගත්ත උදවිය ඉදලා තියෙනවනේ..

    ReplyDelete
    Replies
    1. ප්‍රධාන පක්‍ෂවලින් කැඩී ගිහින් හදා ගත්තු පක්‍ෂ වැඩි කල් රැඳෙන්නේ නෑ. වාමාංශික පක්‍ෂවල තත්වය වෙනස්. මුල් පක්‍ෂයත් සුළු එකක් නිසා කැඩුණු පක්‍ෂත් කල් අල්ලනවා.

      Delete
  15. ඔසීගේ දෙසපලනෙත් හරියටම විමලවතිගේ වගේමයි. ජරා කටක් තිබ්බේ, සිංහල බ්ලොග්ගල!!

    ReplyDelete
    Replies
    1. ටිකාාාාක් වෙලා ගියා විමලාවතී කියන නම තේරුම් ගන්න.

      Delete
  16. "ජාතිවාදීන් විසින් විජය මරා දැමීමෙන් පසු" මෙහෙම කියන්න පදනම ව්ස්තර කරනවද?

    ReplyDelete
    Replies
    1. සරලයි.

      මේ ලිපියේ ම කෙටියෙන් විස්තර කර ඇති පරිදි සහ ඡායාරූපයෙන් ද දැකාවෙන පරිදි චිජය මුල සිටම ක්‍රියා කලේ ජනවාර්ගික ප්‍රශ්ණය සහ උතුරේ සටන් සාකච්ඡා මාර්ගයෙන් විසඳන්නයි. ඔහු මදුරාසියට ගොස් පත්මනාභ ආඳීන් හමුවුණා. යාපනයට ගොස් එවකට සිටි එල්ටීටීඊ නායකයින් ද හමුවුණා.

      https://youtu.be/cDXjjiLiuKk

      ප්‍රශ්ණය යුද්ධයෙන් ම විසඳිය යුතු යැයි කියූ ජාතිවාදී කොටස් විජය ඇතුළු පිරිස ගේ වැඩ පිළිවෙලට විරුද්ධ වුනා. ඒ සමහර ජාතිවාදීන් අවි අතට ගත්තා. ඔවුන් අතින් විජය මිය ගියා!

      Delete
    2. විජයට තුවක්කුව එල්ල කර කොකා ගැස්සූ පුද්ගලයා හුදු මීනීවරුවෙක් විය හැකියි. නමුත්, ඔහු මෙහෙයවූ අය, විජය මරා දැමීමට ක්‍රියා කළේ ජාතිවාදී ස්ථ්වරයක් නිසා බවයි මා විස්වාශ කරන්නේ.

      එසේ නොව, ඔවුන් ජාති මාමකයින් යැයි ඔබ සිතනවා විය හැකියි.

      ඔවැනි මත වෙනස්කම් පුද්ගලයින් අතර තියෙනවා. මහින්ද රාජපක්‍ෂ ගැන ලාංකියින් අර ඇති මත දෙක අන්ත දෙකකනේ තියෙන්නේ!

      Delete
    3. රසික දැන් කලබලෙන්ද ප්‍රතිචාර කියවන්නේ?
      මා කියා ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ එකල ජාතිවාදී ආස්ථානයක නොසිටි බවයි!
      එකම කරුණක් දිහා බලන කෝණය නිසා ජාතිවාදී හෝ ජාතිමාමක විය හැකියි - ඇත්ත!
      එහෙත් විජය මැරීමෙන් ඔවුන් ජාතිමාමක වීමක් ගැන නම් කිසිසේත්ම මා අදහස් කලේ නෑ.
      පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට ජාති මාමකත්වයක් ඇතිවීමට හෝ නැතිවීමට තවත් බොහෝ කරුණු තියෙනවා. ඒත් විශේෂයෙන් රෝහණ විජේවීරගේ ලියැවිලි තුල - ඔහුව ප්‍රසිද්ධ වේදිකාවේ ගල් ප්‍රහාරයට ලක්වූ අවස්ථාවේදී පවා - ඔහු හා ජනතා විමුක්ති පෙරමුණ ජාතිවාදී ස්ථාවරයක් එකල දැරුවේ නෑ කියන එකයි කාරණය.
      ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නගාගෙන ආ රැල්ලට අභියෝගයක් ලෙස ඔහු ඝාතතනය කලා යැයි ඔබ කීවානම් ඒ පිළිගන්නට හැකිය.
      ඒත් වචනයක් මැද්දෙන් එබූ පසු සම්පූර්ණ චිත්‍රය බොහෝ සේ වෙනස් විය හැක.

      Delete
    4. දිගු කතාවක් කෙටියෙන් කියනවා නම්, මට වැටහුණු පරිදි, 1984 දී පමණ ජනතා විමුක්ති පෙරමුණ එතෙක් තමන් දේශණා කළ දේ අතහැර උතුරේ ප්‍රශ්ණය ගැන ජාතිවාදී ස්ථාවරයටකට එළැඹුණා. කතාවෙන් මොනවා කීවත් ක්‍රියාවෙන් සහ ප්‍රතිඵලයෙන් පෙනුනේ එයයි.

      ඔගු ගේ ලංකාවේ දේශපාලන ගතිකයන් ගැන වැටහීම හෝ ඒ ගැටළුවක් විසඳිමට තිබූ පරිචය ගැණ ඔබේ අදහස කෙසේ වෙතත්, විජය ජාතිවාදය බැහැර කළ අයෙක්. ඔහු මරා දැමීමෙන් වාසිය ලැබුණේ ජාතිවාදී බලවේගවලටයි.

      Delete
  17. මටනම් එය එතරම්ම සරල නෑ
    විජයට ලංකාවේ දේශපාලන ගතිකයන් ගැන හා ගැටළුවක් විසඳන්න තරම් පරිචයක් තිබ්බායැයි මම හිතන්නේ නෑ.
    ඔහුගේ ජනප්‍රියතාවය කවුරුන් හෝ විසින් ප්‍රයෝජනයට ගත්තායැයි මම හිතනවා.
    ලංකාවේ දේශපාලන ගතිකයන් ගැන අවබෝධයක් තිබූයැයි මම සිතන, වාමාංශික අදහස් දැරූ, ලංකාව වෙනුවෙන් බොහෝ යහපත් දෑ කල ටී බී ඉලංගරත්න මහත්තයා එතැනින් ඉවත් වීමට හේතු ලෙස ඔබ දකින්නේ මොනවාද?
    දෙවනුව ඔබ නොකියා කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ ගැන විය යුතුයි
    ජනතා විමුක්ති පෙරමුණ එකල එවැනි ආස්ථානයක නොසිටි බව තමා මගේ මතකය. එහෙත් ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන පැහැදිලි අදහසක් හා ලියැවිල්ලක් ජනතා විමුක්ති පෙරමුණ සතුව තිබුණා (අද ඒවා නැවත කියවනවාදැයි සැක සහිත මුත්!)

    ReplyDelete
    Replies
    1. (මේ පිළිතුරට 11 May 2015 at 16:39 නිවැරදි තැන මෙතැනයි)

      විජයට තුවක්කුව එල්ල කර කොකා ගැස්සූ පුද්ගලයා හුදු මීනීවරුවෙක් විය හැකියි. නමුත්, ඔහු මෙහෙයවූ අය, විජය මරා දැමීමට ක්‍රියා කළේ ජාතිවාදී ස්ථ්වරයක් නිසා බවයි මා විස්වාශ කරන්නේ.

      එසේ නොව, ඔවුන් ජාති මාමකයින් යැයි ඔබ සිතනවා විය හැකියි.

      ඔවැනි මත වෙනස්කම් පුද්ගලයින් අතර තියෙනවා. මහින්ද රාජපක්‍ෂ ගැන ලාංකියින් අර ඇති මත දෙක අන්ත දෙකකනේ තියෙන්නේ!

      Delete
    2. දිගු කතාවක් කෙටියෙන් කියනවා නම්, මට වැටහුණු පරිදි, 1984 දී පමණ ජනතා විමුක්ති පෙරමුණ එතෙක් තමන් දේශණා කළ දේ අතහැර උතුරේ ප්‍රශ්ණය ගැන ජාතිවාදී ස්ථාවරයටකට එළැඹුණා. කතාවෙන් මොනවා කීවත් ක්‍රියාවෙන් සහ ප්‍රතිඵලයෙන් පෙනුනේ එයයි.

      ඔගු ගේ ලංකාවේ දේශපාලන ගතිකයන් ගැන වැටහීම හෝ ඒ ගැටළුවක් විසඳිමට තිබූ පරිචය ගැණ ඔබේ අදහස කෙසේ වෙතත්, විජය ජාතිවාදය බැහැර කළ අයෙක්. ඔහු මරා දැමීමෙන් වාසිය ලැබුණේ ජාතිවාදී බලවේගවලටයි.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.