Thursday 27 May 2021

පුරසඳ, අවසඳ සහ සෝමරත්න දිසානායක - Lunar-tic thoughts



මෙවර වෙසක් පුරසඳ වෙනුවට සිනුවර අපට දක්නට ලැබුණේ අවසඳකි.

ඒ අවසඳ මට සිහිකළේ 1993 දී පමණ ලංකාවේ විකාශය කෙරුණු "අවසඳ" නම් ටෙලිනාට්‍යයයි. එය අධ්‍යක්‍ෂණය කළේ කලකට පෙර සිනුවර වැසියෙකු වූ සෝමරත්න දිසානායක විසිනි. ඔහු මේ වසරේ තිස්වෙනි සංවත්සරය සමරන ඕස්ට්‍රේලියාවේ නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ආරම්භක සභාපති ද වේ.

"අවසඳ" ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ ගෝතමී පතිරාජ සහ ඩග්ලස් රණසිංහ බව මගේ මතකයයි. භීෂණ සමයේ අතුරුදහන් වූ තම පෙම්වතා ගැන කම්පනයෙන් සිටින යුවතියක පිළිබඳ කතාවක් රැගත් "අවසඳ" නිර්මාණය එකල ආණ්ඩුවේ ලොක්කන්ට ඇල්ලුවේ නැත. එනිසා, කතාව අවසන් වෙන්නට කලින් එය විකාශය කිරීම අත්හිටුවන ලදී.

ඒ තහනම පිළිබඳ අදහස් දැක්වූ එවකට මාධ්‍යය පිළිබඳ රාජ්‍ය ඇමතියෙකු වූ ඒ ජේ රණසිංහ නමැත්තා ප්‍රකාශ කළේ එම නිර්මාණය "අවසඳ" නොව "නව ගඳ" ලෙසින් නම් කළ යුතුව තිබුණු බවයි.

ඒ ජේ රණසිංහ නමැත්තා ගඳ සුවඳ හඳුනන්නෙකු නොවේ. එවකට ජනාධිපති ර. ප්‍රේමදාසගේ සුවට කීකරු බලු කුක්කෙකු වූ ඔහු එකල පැවසූ තම "ස්වාමියාගේ සෙරෙප්පුවලින් තමන් සුප් එකක් හදා බොන්නට වුව සූදානම්" ය යන කූප්‍රකට ප්‍රකාශයෙන් ඒ බව අපට හොඳින් වැටහී තිබුණි.

පැවති යූඇම්පී ආණ්ඩුව වෙනුවට 1994 දී පොදු පෙරමුණු බලයට පත්වූ පසුව ද "අවසඳ" ටෙලි නාට්‍යය නැවත විකාශය වූයේ යැයි නොසිතමි.

ඒ ආණ්ඩු පෙරළිය සඳහා සෝමරත්න දිසානායක ද යම් වැඩ කොටසක් ඉටු කළා විය යුතුයි. එදා 1994 මහ ඡන්දයේ දී පොදු පෙරමුණට සහය දක්වමින් කලාකරුවන් ගේ සංවිධානයක් විසින් නුගේගොඩ දී පවත්වන්නට යෙදුුණු, කාලෝ ෆොන්සේකා, ලූෂන් බුලත්සිංහල, කේ බී හෙරත් සහ බන්දුල විජේවීර වැනි පුද්ගලයින් කතා කළ රැස්වීමේ නිවේදක කටයුතු කළේ රේණුකා බාලසූරිය (සහ සෝමරත්න දිසානායක?) බව මගේ මතකයයි.

වරක් මෙල්බර්න් නගරයේ දී ද, දෙතුන් වරක් සිනුවර දී ද, දෙවරක් කොළොම්පුරයේ දී ද, මට සෝමරත්න දිසානායක හමු වී කතාබස් කර ඇති නමුත්, ඔහුගෙන් කිසි දිනක අවසඳ ටෙලිනාට්‍යය අවසන් වීමට නියමිතව තිබුණු ආකාරය ඇසීමට මට අමතක විය.

ඒ කාලයේ දී ම විකාශය වූ, සෝමරත්න දිසානායක ම ලියා අධ්‍යක්‍ෂණය කළ ටෙලිනාට්‍යයක් වූ "ඉටිපහන්-1" නරඹන කාලයේ දී ද මට ඔහුගෙන් විමසීමට ප්‍රශ්නයක් තිබුණි. එනම්, "කතාව අවසානයේ දී හෝ සුද්දා ආපසු ඒවි ද?" යන්නයි. නමුත් "ඉටිපහන්-1" අවසාන වෙනවිට ද සුද්දා ආවේ නැත.

සුමිත්‍රා රාහුබද්ධ ලියූ "ඉටිපහන" නවකතාව ඇසුරෙන් නිපදවුණු "ඉටිපහන්-2" ටෙලිනාට්‍යය නැරඹීම අරඹන විට සුද්දා කිසි දිනෙක ආපසු නොඑන බව අපට වැටහී තිබුණි!

එසේනම් අපි පොසොන් මහේ දී පුරසඳ නරඹමු!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න මා ලූෂන් බුලත්සිංහලගෙන් ඇසූ ප්‍රශ්නයක් පිළිබඳ කතාවක්.
https://rasikalogy.blogspot.com/2016/08/lucien-bulathsinhala-trapped-in-vicious.html

(image: https://www.abc.net.au/news/2021-05-26/see-how-the-rare-super-blood-moon-lit-up-the-australian-sky/100168486)

5 comments:

  1. හත් දෙයියනේ මේ පාරත් හරිම අනුවේදනීය කතාවක් !

    ReplyDelete
  2. කොහොම comment වැටිච්ච blog එකක්ද මේ. දැන් නිකං රෑට කොළඹ කුරුඳුවත්තේ මලගේ වගේ.

    ReplyDelete
  3. I think they broadcasted it later. I vaguely remember that Gothami commits suicide, and from her will her house in Kandy (or Nuwara-Eliya) was given to Douglas.

    ReplyDelete
  4. ඉගෙනගන්න කාලෙ සෙල්ෆ් මෝටිවේට් උන ඒව.... එගෙන ගන්න ක්‍රම ... පාඩන් කර්පු හැටි වගේ ක්‍රම ටිකක් ලියන්න කෝ

    ReplyDelete
  5. මා සංස්කරණය කරන "සිසිල" සිංහල ඊ-සඟරාවේ මුල් කලාපය 2021 සැප්තැම්බර් පළමුවෙනිදා නිකුත් වුණා.
    පිටපතක් ලබා ගැනීම සඳහා ඔබේ ඊ-මේල් ලිපිනය sisila.sangarawa@gmail.com වෙත එවන්න.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.