
මා කුඩා කාලයේ අපේ නිවසට ඉරිදා පුවත්පත් කිහිපයක් ම මිලට ගත් අතර ඒවායේ පළ වූ විවිධාකාර දේ අතරින් මගේ මතකයේ රැඳී ඇති එක් සුවිශේෂී විශේෂාංගයක් වන්නේ ගුරු-ගෝල තරගයයි. එය සමන්විත වූයේ, ජයසිරි සේමගේ නම් සුප්‍රකට චිත්‍ර ශිල්පියා විසින් නිමවන ලද, බැලු බැල්මට එක හා සමාන, රේඛා චිත්‍ර ද්වයකිනි. ඉන් එකක් ගුරා විසින් අඳින ලද බව සඳහන් වූ අතර එනිසා ම එය පරිපූර්ණ විය. අනෙක ගෝලයා විසින් අඳින ලද්දක් නිසා එහි වැරදි දහයක් තිබෙන බව කියවුණි. පාඨකයින් විසින් කළ යුතුව තිබුණේ ගුරාගේ මූලකෘතිය සහ ගෝලයාගේ කොපිය සසඳා බලා, ගෝල චිත්‍රයේ ඇති වැරදි දහය සොයා ඒවා සලකුණු කර, ගෝල චිත්‍රය පුවත් පතෙන් කපා, පෝස්ට්කාඩයක අලවා පත්තර කන්තෝරුවට තැපැල් මගින් යැවීමයි.
ගෝලයා කර තිබෙන වැරදි දහය සොයා ගැනීම එකල කුඩා අපට පවා කළ හැකි දෙයක් විය. ඒ වැරදි එතරම් ම පැහැදිලි ඒවා විය. නමුත් ඒ වැරදි දහය ලකුණු කර අප යවන විසඳුමේ වැරදි ඇති තැන් සඳහා 1 සිට 10 දක්වා අංක යෙදිය යුතු විය. වසර කිහිපයකට පසුව මා ශුද්ධ ගණිතය පාඩමක දී ඉගෙන ගත් පරිදි මෙසේ අංක යෙදිය හැකි ආකාර සංඛ්‍යාව 3,628,800 ක් තිබේ. තරගයෙන් ජය ගැනීමට නම් පාඨකයින් යවන විසඳුම ගෝලයා ඇඳි චිත්‍රයේ වැරදි සොයා ගත් ගුරා ඒවාට අංක යෙදූ ආකාරයටම විය යුතු වූ නිසා මෙය ජයගැනීමට නම් ලේසි පහසු තරගයක් නොවීය.
වසර කිහියකට පසු, හැත්තෑව දශකයේ මැද භාගයේ එක්තරා දිනක අපට දැන ගන්නට ලැබුණේ ගුරු-ගෝල තරගය පළ වූ රිවිරැස ඉරිදා පුවත්පත තව දුරටත් මුද්‍රණය නොවෙන බවයි. එයට හේතුව වී තිබුණේ, එම පුවත්පත ප්‍රකාශනය කළ දවස පුවත්පත් සමාගමට ආණ්ඩුව විසින් “සීල් තබා” තිබීමයි. එනම්, එම සමාගමට පුවත්පත් ප්‍රකාශනය කිරීම එවකට පැවති හදිසි නීතිය යටතේ තහනම් කර, මුද්‍රණාලය ඉබි යතුරක් දමා වසා ඇති බවයි. මෙම අවස්ථාව පසුව නිපදවුණු “සාගරයක් මැද” සහ “සත්‍යග්‍රහණය” නම් සිනමාපට ද්වයේ ම ඇතුළත් වූ බව මගේ මතකයයි.
තවත් දින කිහිපයකට පසුව අපට දැනගන්නට ලැබුණේ, එවකට පැවති රජය විසින් එම පුවත්පත් සමාගම සම්පූර්ණ වාරණයකට ලක්කිරීමට හේතුව වී තිබුණේ ඔවුන්ගේ පුවත්පතක රජය අපකීර්තියට පත්වෙන ප්‍රවෘත්ති වාර්තාවක් පළ කිරීම නිසා බවයි. මෙම ප්‍රවෘත්තිය වූයේ රජයේ සීමාකාරී ප්‍රතිපත්ති නිසා රටේ වසර කිහිපයකට පෙර ඇති වී, මේ වන විට උග්‍ර වී තිබුණු, ආහාර හිඟය නිසා කුසගින්න නිවා ගැනීමට අල වර්ගයක් තම්බා කෑ ළමුන් ඇතුළු රටවැසියන් කිහිප දෙනෙකු මිය යාමයි.
කිසියම් හෝ කරුණක් නිසා තම පුරවැසියන් එලෙස අකාලයේ මිය යන්නේ නම් රටක්, රජයක් ලෙස කළ යුතුව ඇත්තේ එම අනවශ්‍ය මරණ සිදුවූයේ කෙසේද කියා විස්තරාත්මකව සොයා බලා නැවත එවැනි මරණ සිදු නොවෙන ආකාරයට කටයුතු කිරීමයි. එසේ නමුත් ඒ ආණ්ඩුවට ප්‍රශ්නය වී තිබුණේ තම පුරවැසියන් අකාලයේ මිය යාම හෝ එය වළක්වන්නේ කෙසේද යන්න නොව, එවැනි මරණ පිළිබඳව ආරංචි පුවත්පත් වැනි ජනමාධ්‍ය හරහා පොදු ජනතාවට ලැබීම වළක්වන්නේ කෙසේද යන්නයි.
මුද්‍රිත මාධ්‍යයට අමතරව එවකට පැවති එකම විකල්ප ජනමාධ්‍යය වූ ගුවන්විදුලි නාලිකා සියල්ලම එකල රජය සතු වූ නිසා, පොදු ජනතාවගෙන් සත්‍යය වසන් කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය වූයේ මුද්‍රිත මාධ්‍ය පාලනය කිරීම පමණි.
එතැන් සිට අනෙකුත් රජයේ නොවන පුවත්පත් කිහිපයේ දේශපාලන ලිපි පමණක් නොව සාමාන්‍යයෙන් පුවත් පළවෙන පිටුවල බොහෝවිට කිසිවක් මුද්‍රණය නොවුණු සුදු පැහැති ඉඩ දක්නට ලැබුණි. ඒ, අකුරු අමුණා, පිටු සැකසීමෙන් ද පසු, ආණ්ඩුව විසින් පත්කර තිබුණු නිසි බලධරයා විසින් මුද්‍රණය කිරීම තහනම් කර තිබුණු කොටස් ය. සමහර පුවත්පත් කතුවරු මෙවැනි සුදු පැහැති ඉඩ වසා “බලධරයා විසින් කපා හරින ලදී” යනුවෙන් වැකියක් මුද්‍රණය කර තිබුණු අතර ඇත්ත, සියරට වැනි දේශපාලන පුවත්පත් කතුවරු මේ හිස් ඉඩ වසා හරස් අතට පළ කර තිබුණේ “බලධරයා විසින් උලා කන ලදී” යනුවෙනි.
තම වැරදි ප්‍රතිපත්ති, අතපසුවීම් සහ උවමනාවෙන්ම නොකළ දේ නිසා තම ප්‍රජාවට සිදුවෙන හානි වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳ තම අවධානය යොදා කටයුතු කිරීම වෙනුවට බලයේ සිටි රජය කටයුතු කරන්නේ එවැනි දේ පිළිබඳව තොරතුරු ජනතාවගෙන් වසන් කිරීමට බව කුඩා අපට පවා පැහැදිලි විය.
එකල පැවති ආණ්ඩුව පමණක් නොව ඊට පසුව බලයට පැමිණි විවිධ දේශපාලු කණ්ඩායම් ද මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වාරණ ප්‍රතිපත්තිය විටින් විට ක්‍රියාත්මක කරනු අපට දක්නට ලැබුණි. ඉදිරි කාලයේ තමන් අතින් සිදුවිය හැකි වැරදි නැතිකර ගැනීමට කටයුතු කරනු, තැත් කරනු වෙනුවට ඒ පිළිබඳ විස්තර ප්‍රජාවට වාර්තාවීම වළක්වා ගැනීම පිණිස සිදුකෙරෙන මේ වාරණය අපට පෙනුණේ, දිගින් දිගටම නිවැරදි දේ නොකර සිටීමට, වැරදි දේ ම කිරීමට බලපත්‍රයක් ලබා ගන්නවා සේ ය.
මහජන ඡන්දයෙන් බලයට පත් ආණ්ඩුවක් වේවා, වෙනත් කවර ආයතනයක සීමිත කාලයකට බලය ලබාගත් කණ්ඩායමක් වේවා, මේ ආකාරයට තමන් ගේ වැරදි, අඩු ලුහුඩුකම් වසා ගැනීම සඳහා පුවත්වාරණය කිරීම යනු කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලක්ෂණයක් නොව, අමු අමුවේ ඒකාධිපති පාලනයක ලක්ෂණයක් ම බව අමුතුවෙන් පැවසිය යුතු නැත.
එසේ ම, කුඩා කාලයේ දී ඒ ආකාරයේ අත්දැකීම් ද, ඒ අනුසාරයෙන් පන්නරයක් ද ලද අප බොහෝ දෙනෙකු මෙවැනි අකටයුතු ඉවසා නොසිටින බව ද අමුතුවෙන් කිව යුතු නැත.
-රසික සූරියආරච්චි
ප/ලි:
මා සංස්කරණය කරන සිසිල මාසික සඟරාවේ පළ වූ ලිපියකි.
https://rasikalogy.blogspot.com/2021/08/sisila-monthly-electronic-magazine.html