
මේ සටහන මගේ පළමුවෙනි ගුවන් ගමන ගැනයි.
පාසල් ගුරුවරයකු වූ මගේ පියාට රජයේ සේවකයින්ට හිමි වන දුම්රිය ගමන් බලපත්‍ර වරප්‍රසාදය හෙවත් රේල්වේ වොරන්ට්ස් තිබුණු අතර ඒවා උපයෝගී කරගෙන අප අනුරාධපුරය, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, බදුල්ල, මාතර යන දුම්රිය ස්ථාන පිහිටි ප්‍රදේශ කරා චාරිකා කර ඇත්තෙමු.
එවැනි රේල්වේ වොරන්ට්ස් දෙකක් පමණ උපයෝගී කරගෙන එවකට පැවති එව Air Ceylon ගුවන් සේවයේ යානයකින් අපට යාපනය (පලාලි) බලා යාමට හැකි වූ අතර ඒ ගමනේ දී තාත්තා හා ගුරු සේවයේ යෙදෙනු මිතුරන් දෙදෙනකුගේ දරු පවුල් ද අපේ කණ්ඩායමට ඇතුළත් වූහ.
මෙම අභ්‍යන්තර ගුවන් ගමන රත්මලාන ගුවන් තොටුපළෙන් ඇරඹෙන්නේ උදෑසන හතටත් පෙර නිසා, අප එවකට පදිංචිව සිටි ගනේමුල්ල ප්‍රදේශයේ සිට එදින උදෑසනින් එහි යාම අසීරු කරුණක් විය. හොඳ වෙලාවට අපේ එක් පුංචි අම්මා සහ බාප්පා යුවලක් ඒ දිනවල රත්මලානේ පදිංචිව සිටියහ. එනිසා අප කළේ ඊට පෙර දින එහි ගොස් රාත්‍රිය ගතකර පසුව දා උදෑසන ම අවදිව ලකලැහැස්ති වී ගුවන්තොටුපළ කරා යාමයි.
ගුවන් ගමන පිළිබඳව වැඩි විස්තරයක් මගේ මතකයේ නැත. තමන්ගේ ආසන අංකය වූයේ A1 බවත්, කවුළුවෙන් බලද්දි තමන් පුත්තලම සහ මන්නාරම් ප්‍රදේශය සිතියමේ හැඩයට ම දිස්වෙන ආකාරය දුටු බවත්, අම්මා සහ බාල මල්ලී අසුන්ගෙන සිටියේ ගුවන් යානයේ තටුව කෙළින් ම ඇති ආසනවල නිසා ඔවුනට ඒ කිසිදු දර්ශනයක් නොලැබුණු බවත්, ලොකු මල්ලී පවසයි.
මේ සමග අමුණා ඇත්තේ මල්ලී විසින් ඉතා දිගු කාලයක් සුරැකිව තබාගෙන තිබුණු ඒ ගමනේ ටිකට් පත සහ බෝඩිං කාඩ් එකයි.
මගේ මතකයේ රැඳී ඇති එකම සිදුවීම නම් ගුවන් සේවිකාව විසින් බන්දේසියක තබා ඩෙල්ටා ටොෆි අපට පිරිනැමූ බවයි. පැයක් පමණ ගත වූ ඒ කෙටි ගුවන් ගමනේදී බොහෝ විට වෙනත් ආහාරයක් අපට නොලැබෙන්නට ඇත.
පලාලි ගුවන් තොටුපළෙන් ගොඩ බට අප කණ්ඩායම ගුවන් හමුදා ලොරියක් එක නැගී පන්සලක් කරා ගොස් එහි බණ මඩුවේ රාත්‍රී දෙකක් ගත කළෙමු. බස් රථයක නැගී නාගදීපය වැනි ස්ථානයකට ගිය බව ද මතකයේ ඇත.
මල්ලීගේ මතකයට අනුව, අප ඒ දෙදින නැවතී ඇත්තේ පාසලක ය. නමුත් මේ ගමන අප ගොස් ඇත්තේ ජනවාරියක නිසා, එය ද සැක සහිත ය. අප නවාතැන් ගත් ස්ථානයේ පිටුපසින් මුහුද හෝ කලපුවක් පිහිටා තිබුණු බවත්, එය කිසිදු රළ නැගීමක් නැති සන්සුන් මුහුදක් බවත්, වෙරළේ කුඩා ගල් සහ සිප්පි තිබුණු බවත් මගේ මතකයයි. කන්කසන්තුරේ තිස්ස නම් විහාරය (දැන් නම්) පිහිටා ඇත්තේ මුහුදක් හෝ කලපුවක් ආසන්නයේ නොවේ. මෙය යාපනයේ සංචාරයක් ලෙස හැඳින්වුව ද ඇත්තට ම අප යාපනය දුටුවේ රාත්‍රී තැපැල් දුම්රියේ ගොඩ වී ආපසු ගනේමුල්ල බලා එන අතර එය යාපනය දුම්රිය ස්ථානයේ නැවැත්වූ විට දුම්රියේ කවුළු තුළින් පමණි.
ටිකට් පත:


