
මෙය විචාරයක් ලෙස සලකන්න එපා. මේ අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියා 2024 විදර්ශන අත්පිටපත් තරගයේ දී හොඳම කෙටිකතා සංග්‍රහය ලෙස සම්මානයක් දිනූ “සූදුරු අබා” කෙටිකතා සංග්‍රහය කියවීමෙන් පසු මගේ සිතට ආ අදහස් කිහිපයක් විතරයි.
සාමාන්‍යයෙන් මං කෙටිකතා කියවන්න කැමතියි නවකතා කියවනවාට වඩා. මේ දිනවල නම් ඒකට මූලික හේතුව තමයි කෙටිකතාවක් කියැවීමට යන කාලය අඩුවීම සහ එකම ලේඛකයෙකු ගේ වුණත් කෙටිකතා දෙකක් අතර කිසිම සම්බන්ධයක් නැති නිසා දිග නවකතාවක් කියවන කොට වගේ අවධානය යොමු කිරීමට අවශ්‍ය නොවීම.
ඒ සමඟම පසුගිය අවුරුදු හතරක පමණ කාලය තුළ මට විශාල කෙටිකතා සංඛ්‍යාවක් කියවන්න සිදුවුණා. මුලින්ම මං සංස්කරණය කරන “සිසිල” මාසික සාහිත්‍ය ය සඟරාවේ පළකිරීම සඳහා ලැබෙන කෙටිකතා. ඒවා කියවීම පමණක් නොව අවශ්‍ය පරිදි සංස්කරණය කිරීම ද මා සිදුකරනවා. ඊට අමතරව ජගත් ජේ එදිරිසිංහ විසින් සම්බන්ධීකරණය කරන ඩී බී කුරුප්පු අනුස්මරණ කෙටිකතා තරගාවලියේ ඇගයීම් මණ්ඩලයේ සාමාජිකයකු ලෙස තුන්වරක්ම ක්‍රියාකර ඇති නිසා ඒ සඳහා ලැබුණු කෙටිකතා විශාල සංඛ්‍යාවක් ද පසුගිය අවුරුදු කිහිපය තුළ මට කියවන්නට සිදුවුණා. මේ නිසා, කෙටිකතා සඳහා වූ මගේ රසිකත්වය වැඩිවුණා.
කාලයේ ඵලදායිතාව ගැන හිතන කොට කෙටිකතාවක් කියවීම අගනා කාර්යයක්. ඒ ඉතාම කෙටි කාලයකින් සාහිත්‍ය රසයක්, වින්දනයක්, කම්පනයක් පාඨකයාට ලැබීමයි. නමුත් ඉතිං එහෙම මතක හිතෙන ආකාරයේ සාහිත්‍ය රසයක්, වින්දනයක්, කම්පනයක් පාඨකයාට ලබා දෙන්න හැකි ආකාරයේ කෙටිකතාවක් ලියනවා කියන එක නම් ලේසි පහසු වැඩක් නොවෙයි.
කොටින්ම, මං යොවුන් කාලයේ, විශ්වවිද්‍යාලයට යාමට පෙර, කෙටිකතා විස්සක් පමණ ලියලා ඒවායින් අත්පිටපත් දෙකක්ම හැදුවත් එදායින් පස්සේ තාමත් කෙටිකතා තුනහතරකට වැඩිය ලියලා නැති තරම්. මං ඒ ශානරයට වඩා කැමති විත්ති කතා යැයි සමහරු කියන “කතන්දර” ලියන්නටයි.
අජිත් පැරකුම් ජයසිංහ ලේඛකයාව මං දන්නේ මීට අවුරුදු පහළොවකට පමණ පෙර සිටයි. ඒ අපි දෙදෙනාම විනෝදාංශයක් ලෙස බ්ලොග් ලිවීම ඇරඹූ කාලයේ. මගේ බ්ලොග් එකේ නම වූයේ “කතන්දර”. මං මාව හඳුන්වා ගත්තේ “කතන්දරකාරයා” කියයි. බ්ලොග් ලියන මුල් කාලයේ “එඩිටර” කියා තමන්ව හඳුන්වා ගත්තු අජිත් පැරකුම් ජයසිංහ තමන්ව දැන් හඳුන්වා ගන්නේත් “කතන්දරකාරයා” කියා බව ඔහුගේ “සූදුරු අබා” කෙටිකතා එකතුවේ පෙරවදන ලෙස ඔහු ලියා ඇති අමුතු ආකාරයේ සටහනෙන් පැහැදිලි වෙනවා. ඒ විතරක් නොවෙයි අජිත් ලියූ “අරුණෝදාකරුවෝ” නම් නවකතාව ගෙන්වා ගන්න ගිහින් බලනකොට තමයි මට තේරුණේ ඒ නවකතාව ප්‍රකාශ කර තිබෙන්නේ අජිත් ද සම්බන්ධ “කතන්දර ප්‍රකාශන” සමාගමෙන් බව. වෙබ් ලිපිනය මොකක් වුණත් අජිත් ලියූ පොත් විකුණන ඔන්ලයින් කඩේට අජිත් දීලා තියෙන නමත් “කතන්දර ඩොට් කොම්”.
“සූදුරු අබා” කෙටිකතා එකතුවේ පිටු හැට අටක් තිස්සේ දිව යන කෙටිකතා නමයක් තියෙනවා. ඒ කියන්නේ මේවා වචනයේ අර්ථ පරිසමාප්තාරයෙන්ම කෙටිකතා, ඉහළ ඵලදායීතාවයෙන් යුතුව කෙටි කාලයකින්, කෙටි කැප කිරීමකින් ලොකු සාහිත්‍ය රසයක්, වින්දනයක්, කම්පනයක් ලබාගන්නට හැකි නිර්මාණ.
මං හිතන්නේ මේ කෙටිකතා එකතුව කියවන අති බහුතරයක් දෙනාගේ වැඩි ආකර්ෂණය අවධානය දිනා ගන්න කෙටිකතාව තමයි පොතේ නමටත් යොදා ඇති “සූදුරු අබා” නම් නිර්මාණය. අප්රකාශිත, කාන්තා සමකාමී, එසේ නොමැති නම් ලෙස්බියන්, ආදරයක් පදනම් කරගෙන සිත් ඇදගන්නා ආකෘතියකින් ලිය වී ඇති ඒ කෙටිකතාව ඇත්තටම අපූරු නිර්මාණයක්. මෙහි දී මා භාවිතා කළ “අප්රකාශිත” කියන වචනය ඉතා වැදගත්. මක් නිසා ද යත් මෙය කිසිදිනක නිශ්චිතව ප්‍රකාශ කෙරුණු ආදරයක් හෝ සම්බන්ධයක් හෝ නොවේ.
මේ වගේ අප්රකාශිත මෙන්ම ප්‍රකාශිත කාන්තා සමකාමී ආදර සම්බන්ධතා ලංකාවේ තිබෙන බව පැහැදිලියි. නමුත් ඒවා අවබෝධ කරගන්නා පරිණත සමාජයක් නම් අපේ ජීවිත කාලවල නම් අපිට දකින්න ලැබෙන එකක් නැහැ. ඉතිං ඒ බොහෝ සම්බන්ධතා අපරාදේ වියැකී යනවා.
දෙයියෝ මිනිහෙක් මැව්වා ය, ටික දිනකට පසුව ඒ මිනිහා වෙනුවෙන් ගෑනියෙක් මැව්වා ය කියා විශ්වාස කරන්නේ ඒ්බ්‍රහමික ආගම් අදහන මිනිසුන්. ඒ නිසා තමයි ඔවුන් පිරිමි හෝ ගැහැණු හෝ සමකාමී සම්බන්ධතාවලට විරුද්ධවන්නේ. නමුත්, මැවුම්කාර දෙයියෙකු නැති, අදේවවාදී බුද්ධාගම්කාරයින් සමකාමී සම්බන්ධතාවලට විරුද්ධවන්නේ මක්නිසා ද කියා හොයාගන්න නම් ආපහු මධ්‍ය විද්‍යාලයට ගිහින් පොදු සහතික පත්‍ර විභාගයේ බුද්ධාගම විෂයය පාස් වෙන්න වෙනවා වගේ. දශක ගණනකට කලින් මං බුද්ධාගම විෂය සඳහා ලබාගත්තු ඩිස්ටින්ෂන් එක අද පවතින “බුඩ්ඩාගමට” අදාළ නැහැ පේන විදියට.
“සූදුරු අබා” කෙටිකතාව ගැන තවත් කිව යුතු කරුණක් තමයි පිරිමියෙකු විසින් කාන්තා දෘෂ්ටිකෝණයකින් යුතුව සහ ප්‍රථම පුරුෂ ආඛ්‍යානයකින් මෙය ලියා තිබීම. එනම් මෙහි “මම” කියා අදහස් කරන්නේ මේ ආදර සම්බන්ධයේ එක් පාර්ශවයක් වෙන අනූ නමැති කාන්තාව. සාමාන්‍යයෙන් කාන්තාවන් ලියන නවකතා, කෙටිකතාවල ප්‍රථම පුරුෂයෙන් මම කියා හඳුන්වා ගන්නේ කාන්තා චරිතයක්. පිරිමින්ගේ නිර්මාණවල ඒකේ අනිත් පැත්ත. අජිත් පැරකුම ජයසිංහ මේ කතාව ලිවීමේ මම සඳහන් දකින විශේෂත්වය ඒකයි.
“සූදුරු අබා” කෙටිකතා එකතුවේ එන අනිත් කෙටිකතා අට පිළිබඳව මට හිතෙන දේ සංක්ෂිප්තව සඳහන් කරන්නම්.
පියා මියගිය පවුලක කුඩා දැරියක් තමන්ගේ පවුලේ සිදුවෙන විපර්යාසය අත්විඳින අයුරු කියවෙන කෙටිකතාවක් “ස්වර්ණ හංස” මං හිතන්නේ මේක අර “මැජික් රියලිසම්” කියන ක්‍රමවේදය උපයෝගී කරගෙන ලියූ එකක්. ජාතක කතාවක එන සුරංගනා කෑල්ලක් මේ නිර්මාණයට සම්බන්ධයි. ජාතක කතා කියන්නේ ඉතිං බොහෝ විට මැජික් සහිත කතා නේ.
“සමූල ඝාතනය” කියන කෙටිකතාවට අජිත්ට අත්දැකීම් හම්බවෙන්න ඇත්තේ ඔහු කලකට පෙර ගුරු සේවය කරන කාලයේ විය යුතුයි. මහ ජාතියේ ජාතිවාදය මෙන්ම ගුරු හොරුන්ගේ ජඩකම් මේ නිර්මාණයේ පදනමයි.
“අත් පොරව” කෙටිකතාව මෙන්ම “පිරිත් කියනවා, මිනිත් මරනවා” යන කෙටිකතා ද්වය මිනීමැරුම් හා සම්බන්ධ නිසා සාමාන්‍යයෙන් සංවේදී පුද්ගලයෙකුගේ හිතට කම්පනයක් ඇති කරන්නට ඉඩ තියෙනවා. “අත් පොරොව” කතාවේ එන ඒ අත්දැකීම අමු අමු එකක්. හොඳ වෙලාවට ඉඟියක් මිස කෙළින් කීමක් මෙහි නැහැ. මේ කතාවට ළඟින් යන අදහසක් ඇති කෙටිකතාවක් මං මීට පෙර කියවලා තියෙනවා වගේ හැඟීමක් ලාවට ආවා. සමහරවිට ඩෝසන් ප්‍රීති ලියූ එකක් විය හැකියි.
“පිරිත් කියනවා, මිනිත් මරනවා” නම් නිර්මාණය නම් භයානක චරිත සහ අපරාධ සම්බන්ධ වුණත් ඒ මාතෘකාවෙන් ම පෙනෙන පරිදි උපහාසය කැටි වූ එකක්. මෙහි එන නෑබොඩ සිල්වතා නම් උපාසකයා මට සිහි කළේ මතක විදිහට ජයන්ත චන්ද්‍රසිරිගේ “ඇඩ්රස් නෑ” කියන සිනමා නිර්මාණයේ කමල් අද්දරආරච්චි කළ චරිතය. නෑබොඩ කියන්නේ නම් කළුතර දිස්ත්‍රික්කයේ පස් දුන් කෝරළේ ගමක්. අජිත් පැරකුම් ජයසිංහලා ගේ ගෙවල්වලටත් කිට්ටු ඇති.
“ගංවතුරේ නයනා” කියන්නේ අර්ධනාගරික ජීවිතවල දුක්ඛ දෝමනස්සයේ එක පැතිකඩක් කියවෙන කතාවක්. මං හිතන්නේ ලේඛකයා මේක ලිව්වේ ඔහු එක්සත් ජාතීන්ගේ ඒජන්සියක සේවය කරන කාලය විය යුතුයි. ඒ දවස්වල ලංකාවේ විවිධ පළාත්වලට ගංවතුර ගලළා තිබුණා. මට මතකයි මේ කතාව ෆේස්බුක් එකේ මං කියෙව්වා.
“පුංචි පැදුර” කියන්නේත් කාන්තා දෘෂ්ටිකෝණයකින්, ඇත්තටම මෙහි දී නම් පොඩි ගැහැණු දැරිවියක ගේ, ලියවුණු කෙටිකතාවක්. කියවගෙන යනකොට නම් අතීතකාමී, ග්‍රාමීය සුන්දර පරිසරය ගැන සහ ඒ සුන්දරත්වය යටින් ජීවත්වෙන දුක්බර චරිත පිළිබඳ ලියවුණු සරල කතන්දරයක් කියා සිතුනත් කියවලා අවසානවුණාට පස්සේ තමයි මට හිතුණේ මේකෙ ඊට වැඩිය ලොකු බරක් තියෙනවා ය කියා. නැවත වරක් කියවන්න ඕනේ.
අවසාන කෙටිකතාව වෙන “හකුරු වෙහෙර” මං හිතන්නේ අජිත් අධිතාත්වික රීතියකින් ලියා තිබෙන්නේ ලංකාවේ සංඝ සමාජයේ මෙන්ම බුද්ධ ශාසනයයි කියාගන්නා සංස්ථාවේත් පරිහානිය ගැන කියන්න විය යුතුයි. පිටු තුන හමාරයි, ඉතා සංශිප්තයි. හැබැයි රසිකයාට පෙනෙන්නේ ලේඛකයා අදහස් කළ දේ නම් නොවෙන්න පුළුවන්.
කෙටිකතා සංග්‍රහයේ එන හයවෙනි කතාව තමයි “චීලා මෙට් විත් ඇන් ඇක්සිඩන්ට්”. දෙපාරක්ම කියෙව්වත් තේරුණේ නැහැ. ඒ නිසයි ඒ ගැන කතාකිරීම මේ සටහනේ අන්තිමට තියාගත්තේ.
චීලා කියන්නේ උකුස්සෙක්. ඒ උකුස්සා සහ කතාව කියන්නා හෙවත් නැරේටර් අතර සංවාදය තමයි කෙටිකතාව.
මේ කතාව දෙවැනි පාරට කියවද්දී මට මතක්වුණේ මීට දශකයකට පමණ කලින් ලියනගේ අමරකීර්ති ලියූ “අළු පැහැති ආරංචි” කියන කෙටිකතා එකතුවේ ආ ඒ නමින්ම යුතු කෙටිකතාව.
ඔය කතා දෙකම කියවලා තිබෙන අය මගේ ඒ ප්‍රකාශයට කලබල වෙන්න එපා. ඒ ලියනගේ අමරකීර්තිගේ කතාවයි, මේ ලියනගේ ජයසිංහගේ කතාවයි අතර අන්තර්ගතයේ නම් කිසිම සමානත්වයක් නැහැ තමයි. නමුත් පුද්ගලිකව මට මේ කතා දෙකේ ඇති සමානකම වන්නේ කෙටිකතා දෙක ම, දෙපාරක් ම, කියෙව්වත් මට ඒ දෙකේම අදහස තේරුණේ නැති එකයි.
පසුගිය වසරේ හොඳම කෙටිකතා එකතුවේ අත්පිටපත ලෙස විදර්ශන සාහිත්‍ය සම්මානය දිනූ “සූදුරු අබා” කෙටිකතා සංග්‍රහයේ ප්රකාශනය විදර්ශන සමාගමයි. ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ඇණවුම් කරන්න හැකියි. මං හිතන්නේ මට ගියේ රුපියල් හාරසිය ගාණක්.
පොත් ඔන්ලයින් ඇණවුම් කරන කොට, පොත් කඩේකදී පොතක් ගන්න කලින් කරනවා වගේ පෙරවදන, පසුපිට, පිටු දෙකතුනක් කියවන්න බෑ නේ. රෙදි කඩේක දී වගේ ඇඳුම් ෆිටෝන් කරලා බලන්නේ නැතුව, ඔන් ලයින් ඇඳුම් ගන්නවා වගේ.
ඉතිං “සූදුරු අබා” කෙටිකතා සංග්‍රහයේ සාම්පලයක් අවශ්‍ය කෙනෙකුට අජිත් පැරකුම් ජයසිංහගේ ෆේස්බුක් අඩවිය හරහා එයින් කෙටිකතා කීපයක් ම කියවන්න පුළුවන්. මාත් අවුරුදු දෙක තුනක පමණ සිට මේ කෙටිකතා මුල්වරට කියෙව්වේ එහෙමයි.
- රසික සූරියආරච්චි
ප/ලි:
ෆේස්බුක් එකේ මං කලින් දවසක දාපු පොඩි සටහනකට ප්‍රතිචාර දක්වපු මේ කෙටිකතා පොත බස් එකක යන එන ගමන් කියවපු අයෙක් ලියා තිබුණා “සූදුරු අබා” හා සම්බන්ධ අපූරු සසම්භාවී අත්දැකීමක් ගැන.
ඊටත් වඩා අපූරු අත්දැකීමක් මට තියෙනවා “සූදුරු අබා” කෙටිකතාවට සමාන කතාවක් ඇති වෙනත් පොතක් කියවීම ගැන. ඒ කතාව ෆේස්බුක් එකේම ලියන්නම්.
(image: )
+++++
ReplyDeleteඅම්මප ඉස්සර කොහොම කමෙන්ට් වැටුන බ්ලොග් එකක්ද මේ? දැන් නිකං රෑට කුරුඳුවත්තෙ මලගේ වගේ. 😜😂😂😂
ReplyDeleteදැන් මළගෙවල් තියෙන්නේ කුරුදුවත්තේ නොවෙයි බොරැල්ලේ ජයරත්න එකේ
Deleteරසික ඔය උඩ ඇනෝ කියන්නෙ මේ බ්ලොග් එකේ ඉස්සර වගේ කමෙන්ට් වැටෙන්නැති එක. කමෙන්ට් මොඩරේටි කිරිල්ලත් ඕකට බලපෑවා.
Deleteපොත් කියවෙන්නෙ මේ දිනවල හරි අඩුවෙන්
ReplyDeleteඒත් list එකක් ලියනව ගන්න හිතං
මේකත් ඒකෙ තියෙනව ටික කලක පටන්
ගන්න ඕනි පොත් ටික පණ යන්න කලින්!
මෙන්න මෙතන නොලියපු අතුරු කතාව
Deletehttps://www.facebook.com/share/p/1FPjRdWWPN/
රසවත් ,හිතන්න පොලඹවන සටහනක්.කියවීම අපිව කෙතරම් නව මානයන් කරා ගෙනයනවාද?
ReplyDeleteමං හිතන්නේ වයසට යන්න යන්න නවකතා කියවීම සහ දිග චිත්‍රපටි බැලීම ක්‍රම ක්‍රමයෙන් අසීරු වෙනවා. කෙටිකතා සහ කොටස් වශයෙන් ප්‍රචාරය වන ටෙලිනාට්‍යවලට හිත යන්නේ ඒ නිසා විය යුතුයි
DeleteSpilornis cheela
ReplyDeletehttps://www.worldbirdnames.com/bird/crested-serpent-eagle/8211.html
මෙන්න මෙතන නොලියපු අතුරු කතාව
ReplyDeletehttps://www.facebook.com/share/p/1FPjRdWWPN/