මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Thursday 20 April 2017
ලොවි බිස්නස්, හොඳ බිස්නස් - A strong link in the supply chain
රචකයා හැර මේ ලොව අන් කිසිවෙකු විසින් නොකියවූ "මා නිවාඩු කාලය ගත කළ හැටි!" යන මැයෙන් යුතු වාක්‍ය රචනාව මා ලියූයේ පහේ පන්තියේ දී මා ගත කළ අවුරුදු නිවාඩු කාලයේ දී ය.
වසරේ අනිත් නිවාඩු කාල දෙකට වඩා, අවුරුදු නිවාඩුව අපට සැම විටම වැඩි සතුටක් ගෙන දෙන්නට හේතු කිහිපයක් විය. ඉන් එක හේතුවක් වූයේ මේ කාලයේ දී අපට හිතේ හැටියට කජු පුහුලම් සහ අඹ කන්නට ලැබීමයි.
මගේ පියා ගේ මහගෙදර ලෙස අප හඳුන්වන නිවස පිහිටා තිබුණේ පහළ පරකන්දෙණියේ ය. ආච්චීට පරම්පරාවෙන් හිමිව තිබූ සහ කොටස් වශයෙන් මිල දී ගෙන තිබූ එකිනෙක යාබද ඉඩම් කට්ටි කිහිපයක මැද පිහිටා තිබුණු ඒ නිවස අවට කජු ගස් රාශියක් ද, එක් සුවිසල් අඹ ගසක් ද විය.
අවුරුදු නිවාඩු කාලේ පළ නොදැරුවේ වුව ද, ආච්චී ගේ ගෙවත්තේ තිබූ මා ඉතා ප්‍රිය කළ පලතුරු වර් ගය වූ යේ ලොවි යනුවෙන් අප හැඳින් වූ, සමහරු උගුරැස්ස නමින් ද හඳුන්වන කුඩා පලතුරු විශේෂයයි.
එහි ලොවි ගස් එකක් නොව දෙකක් ම විය.
ලොවි ගස්වල ගෙඩි හට ගන්නේ වසරකට එක් වතාවක් පමණි. මගේ මතකයට අනුව අප්‍රියෙල් මාසය වන විට ලොවි මල් පිපී, ගස් දෙකම මී මැස්සන් ගේ කෙලිබිමක් බව පෙරළේ. ඒ මී මැස්සන් ගේ මීවදය කොතැනක තිබුණිදැයි අපි දැන නොසිටියෙමු. අප දුටුවේ උදෑසන සිට සවස් යාමය වන තුරුම ගසේ පිරී සිටි මී මැස්සන් රංචුත්, උං නැගු ගුමු ගුමු නාදයත් පමණි.
මී මැස්සන් කෙමෙන් තම කාර්යය නිමා කර ඉවත් ගිය පසු ලොවි ගසේ ලොවි මල්වලින් කුඩා ලොවි ගෙඩි මතුවේ. ඉන් පසුව ගතවෙන මාස දෙකක පමණ කාලය තුළ මේ ලොවි ගෙඩි ක්‍රමයෙන් ලොකු වී ඉදෙන්නට පටන් ගනිනි.
ලොවි වාරය එළැඹීම කුඩා අපට මෙන් ම අපේ ආච්චිට ද ඉතා සතුටත් ගෙන දෙයි.
අපට උදැසන සිට සවස් වෙන තුරුම ලොවි කෑම කළ හැකිය. ආච්චීට ලොවි විකුණා යම් මුදලක් උපයා ගත හැකි ය.
ආච්චි ගේ ලොවි මිලට ගන්නේ, ගමේ වෙළෙන්දියකි.
මා දන්නා පරිදි දරුවන් දහ දෙනෙකුට වඩා වැඩි පිරිසක ගේ මවක වූ ඇය, එදා වේල සරි කර ගත්තේ, ගමේ හැදෙන ලොවි, අඹ, ගැට පොලොස්, ගස්ලබු වැනි දේ දිනපතාම පාහේ කොළඹ තොටළඟ නමින් හැඳින්වෙන ස්ථානයට ගෙන ගොස් විකිණීමෙනි.
ලොවි ගස් දෙකේ පහතින් ඇති අතුවල හටගන්නා ගෙඩි නම් අපේ ආච්චීට කඩා ගත හැකි වුව ද, ඉහළ ගෙඩි නෙලා ගැනීමට ඇයට සහය අවශ්‍ය වේ. ඒ කාර්යය ඉටු කර දුන්නේ මා ය. නිකම් නොවේ, ඇය ඒ සඳහා මට මුදලක් ද දුන්නා ය.
මගේ මතකයට අනුව, ලොවි ගෙඩි සීයක් කඩා දුන් විට ආච්චී මට ශත දහයක් ගෙවන්නී ය. එය, ඇයට ලොවි විකුණා ලැබෙන මුදලින් 10% පමණ ප්‍රමාණයකි.
මාස දෙකක් පමණ කාලයක් තිස්සේ පවතින ලොවි වාරයේ දී, ආච්චීට ලොවි කඩා දීමෙන් මට ඒ කාලයේ හැටියට සෑහෙන මුදලක් උපයා ගත හැකි විය.
ඒ අනුව බලන කළ, ඒ කාලයේ මම ද අපේ ගමේ ආර්ථික ක්‍රියා දාමයේ වැදගත් කොටස්කරුවෙකු වීමි!
-රසිකොලොජිස්ට්
මේ 2017 බ්ලොග් වසන්තය සඳහා මා ලියන සිව්වෙනි ලිපියයි.
ප/ලි:
මීට කලින් ලියූ ලිපි මෙලෙස ය.
1. තිඹිරි ගෙඩි වැනි තන ඇති යුවතියක් හා විවාහ වීම - Spring, better late than never!
https://rasikalogy.blogspot.com/2017/04/blog-post.html
2. නිවාඩුවකින් පසු - වෙනස සැපයි ද? :: First day after a holiday
https://rasikalogy.blogspot.com/2017/04/first-day-after-holiday.html
3. බින්න බැහීම - වෙනස සැපක් ද, සැප වෙනසක් ද? :: A part of my family history
https://rasikalogy.blogspot.com/2017/04/part-of-my-family-history.html
(image: https://scontent-syd2-1.xx.fbcdn.net/v/t1.0-9/10635773_601019323335490_4886273938178538734_n.jpg?oh=8f8a0a7be175ac20610641a5ce8e8419&oe=598FF8B5)
Subscribe to:
Post Comments (Atom)
අදත් හරිම අනුවේදනීය කතාවක්.
ReplyDeleteඔව්, ආච්චී අවුරුදු අනූ පහක් ජීවත් වී මිය ගියා. මට ඇගේ අවමගුලට සහභාගී වෙන්න හැකි වුනේ නෑ!
Delete//ලොවි යනුවෙන් අප හැඳින් වූ, සමහරු උගුරැස්ස නමින් ද හඳුන්වන කුඩා පලතුරු විශේෂයයි.//
ReplyDeleteලොවි හා උගුරැස්ස යනු පළතුරු දෙවර්ගයකි. ප්‍රමාණයෙන් සමාන වුවත් රසෙන් මෙන්ම පැහැයෙන්ද වෙනස්ය. ලොවි රතු පාටය. ඇඹුල්ය. උගුරැස්ස දම්පාටය. රස ප්‍රණීතය. ගණේමුල්ල පැත්තේ සිටින අපේ ඥාතීන් ඒවාට කියන්නේ කටු ලොවි කියාය. ඔවුන්ද නිකම්ම ලොවි කියන්නේ වෙනත් ප්‍රදේශ වල ලොවි කියන වර්ගයටමය.
ඔබ හරි. මේවායේ සාමාන්‍ය නම උගුරැස්ස තමයි.
Deleteනමුත් මා මහි ලියා ඇති පරිදි, අපි එදා කීවේත්, අද කියන්නේත් ලොවි කියායි.
මේ ගස් දෙකේම කටු තිබුණා නම් තිබුණේ එකක් දෙකක් පමණයි. සමහර විට කුඩා කාලේ තියෙන්ණට ඇති. මා දන්නා කාලේ මේවා මීටර් හය හතක් උස ගස්!
ඔබ හරි
Deleteලොවි හා උගුරැස්ස යනු පලතුරු වර්ග දෙකකි. උගුරැස්ස වලට සමහර පැතිවල "කටු ලොවි" කියා නම් කියති. ලොවි තද රතු පැහැ , තද ඇඹුලෙන් යුතු පලතුරකි. උගුරැස්ස ප්‍රනීත කහට රසයෙන් යුතුය
ReplyDeleteඔබ හරි. මේවායේ සාමාන්‍ය නම උගුරැස්ස තමයි. ඉදුණු ගෙඩි රසයි, දත්වල කහට බැදෙනවා. සමහරුන් ගේ උගුර බැරැන්ඩි වෙනවා!
Deleteනමුත් මා මෙහි ලියා ඇති පරිදි, මේ පලතුරට අපි එදා කීවේත්, අද කියන්නේත් ලොවි කියායි. දැන් එය වෙනස් කර සිතන්න බෑ!
https://en.m.wikipedia.org/wiki/Flacourtia_inermis
ReplyDeleteස්තුතියි!
Deletehttps://en.m.wikipedia.org/wiki/Flacourtia_inermis
https://en.m.wikipedia.org/wiki/Flacourtia_indica
ReplyDeleteස්තුතියි!
Deletehttps://en.m.wikipedia.org/wiki/Flacourtia_indica
එක දිගටම උගුරැස්ස කෑවම දත් ටිකේ කහට බැඳිලා මාර ලස්සන වෙනවා , බැනුම් අහල පන යනවා එතකොටනම්
ReplyDeleteඋගුරේත් කාරම් බැදෙනවා නේද?
Deleteඒ නිසා තමයි උගුරැස්ස කියන්නේ.
ලොවි කෑවම දත් ටික හිරිවටෙනවා , උගුරැස්ස කෑවම දත් ටික පුදුම විදිහට ලස්සන වෙනවා. :)
ReplyDeleteඔය පළතුර (අපි ලොවි කියා කියූ, සමහරු උගුරැස්ස කියූ) අපි කන්නේ මෙහෙමයි.
Deleteහොඳින් ඉඳුණු ගෙඩියක් ගෙන ඇඟිළිවලින් තෙරපනවා. එවිට එහි ඇතුළත ඉතා මුදු මෙලෙක් වෙනවා. එවිට තවත් තෙරපා, ගෙඩිය පලා එහි ඇති මදය පමණක් කනවා ටූත් පේස්ට් ටියුබ් එකකින් ටුත් පේස්ට් එළියට ගන්නවා වාගේ. පොත්ත කටට ගන්නේ නෑ.
මෙහම කනකෙට කහට බැදෙන්නේ ඉතා අඩුවෙන්.
ආරච්චිසූරියගේ අණ්ඩපාල රසික (අංක 1) වෙත,
ReplyDeleteඔබටත්, පවුලේ සැමටත්, සුභ අලුත් අවුරුද්දක් වේවා!
ඡන්දෙ දෙන්න, මෙතැනට යන්න-
Deletehttp://upashantha.blogspot.com/2017/04/blog-post.html
!!!
ගඩා ගෙඩි හැම ගහක හැදුණම හිනා මතුවෙන ආච්චී
ReplyDeleteකඩා ගෙනැවිත් නගරෙ විකුණා මුදල් ඉපයූ ආච්චී
කුඩා ඔබ හට කාසි ලැබදී සතුටු වූ ඒ ආච්චී
ලෙඩා වී ටික දිනෙන් මියගිය සෙනෙහෙ ඟඟුලයි ආච්චී........
ලිපිය කියෙව්වාම මට ඔහොමයි හිතුණේ.
ජයවේවා!!!
කවියට ස්තුතියි.
Deleteකවියේ ආකෘතිය ගැන වඩා සිතූ නිසාද කොහෙද ඔබේ කවියෙන් ජනිත වෙන අදහස වැරදියි.
මේ සප්ලයි චේන් එකේ කාන්තාවන් දෙදෙනෙකු ගැන සඳහන්. මගේ ආච්චී සහ ගමේ වෙළෙන්දිය.
ගමේ පලදාව කොළඹට ගොස් විකුණු වෙළෙන්දිය නම් ආච්චී කෙනෙකු නොවේ.
ඇය කුඩා දරුවන් ද සිටි වයස එකල හතලිහක පමණ කෙනෙක්. සමහර විට ඊටත් අඩු ඇති. දරුවන් රාශියක් සිටි නිසාත්, දුෂ්කර ජීවිතය නිසාත් වයස්ගත බවක් පෙනුනත් ඇය ඊට වඩා තරුණ අයෙකු විය යුතුයි.
මගේ ආච්චී ලෙඩා වී ටික දිනකියන් මිය ගියේ නෑ. ඇය මිය ගියේ මේ කතාවේ කියවෙන කාලයට වසර විසි පහකට පමණ පසුව ඇගේ 95 උපන් දිනයත් ඉක්ම ගිය පසුයි.
ගඩා ගෙඩි හැම ගහක හැදුණම හිනා මතුවෙන ආච්චී
Deleteකඩා ගන්නට නොහැකි වූ විට උදව් ඉල්ලන ආච්චී
කුඩා ඔබ හට කාසි ලැබදී සතුටු වූ ඒ ආච්චී
කඩා ගෙන එය වෙළෙන්දියට දී මුදල් ලැබගත් ආච්චී...
සමාවෙන්න රසික වරදක් වී නම්. කවිය නිවැරදි කෙරුවා.
ජයවේවා!!!
ස්තුතියි දුමින්ද!
Deleteමා කියූ දේ, එනම්, කවියක ආකෘතියට වඩා අන්තර්ගතය වැදගත් බව ඔබ තේරුම් ගත්තා නම් ඒ ඇති.
ලොවි කියන්නේ හරිම ආස පළතුරක්. ඒත් අවුරුදු 25 කින් වත් දැකල නැහැ. මතකය පමණයි. ප්ලම් ටිකක් ඒ වගේ. බාගෙට ඉදිච්ච
ReplyDeleteඒ දිනවල තිබුණු ගස්වල ගෙඩි කඩා ගත්තා මිස, අපි මේ ගස් හිටවා ගන්න උත්සාහ කළේ නෑ නේ!
Deleteමාත් සෑහෙන කාලෙකින් දැකලාවත් නෑ! මේ ගස් දෙකත් පසුව මිය ගියා!
ලොවි සහ උගුරැස්ස ශාක විශේෂ දෙකක්. ගහේ මුල සිටම තියුණු කටු තිබෙන්නේ උගුරැස්ස වල. මේ ශාකයේ පත්‍ර (කොළ) සිහින් දිගටියි. අනිත් වර්ගය ලොවි. මෙම ශාකයේ කටු නොමැතියි.මෙහි පත්‍ර තරමක් විශාලයි ඉහල පින්තුරයේ තිබෙන්නේ ලොවි ශාකයක්. අප කුඩා කාලයේ ගෙවත්තේ මේ ශාක විශේෂ දෙකම තිබුනා. ඒ උනත් කවුරුත් කෑමට ප්‍රිය කලේ උගුරැස්ස. සමහර කාල වලදී හොඳටම ඉදුණු ලොවි වලින් Jam වර්ගයක් හැදුවා මතකයි.එකට හරි හරියට සීනි ඕනා බවත් අහලා තිබෙනවා.ඒ ඇඹුල් රස නිසා වෙන්නට ඇති. උගුරැස්ස විශේෂ දෙකක් තිබෙනවා. Flacourtia innermis සහ Flacourtia cataphrasia. Prunes කියන්නෙත් මේවාට.මා දන්නා තරමට ලොවි, Flacourtia indica යි. මෙය නමින්ම පෙනෙනවා ඉන්දියාවට ආවේනික ශාකයක් බව.මේ නිසා එකම කලාපයේ නිසා අපේ ලොවි Flacourtia indica බව අනුමාන කළ හැකියි.
ReplyDeleteඅපි ලොවි කීවේ ඔය උගුරැස්සවලට තමයි. ගහේ කටු නම් තිබුණේ නෑ. දිමියෝ නම් හිටියා!
Deleteඒ දිනවල වත්තේ තිබුණු කොස්, අඹ, කජු, ජම්බු, ලොවි වැනි ගස්වලින් ගෙඩි කඩා ගත්තා මිස කවුරුවත් අලුතෙන් හිටවන්න උත්සාහ කළේ නම් නෑ. නැන්දලා ගේ නිවාස හදන්න කොස් ගස් සහ පොල් ගස් විශාල වශයෙන් කැපුවා.
//Prunes කියන්නෙත් මේවාට.//
Deleteදයාවී, මම ඇමරිකාවේදී දැක තිබෙන Prunes දම් පැහැති, ලොවි ගෙඩියට වඩා ලොකු ගෙඩි තිබෙන ප්‍රණීත පළතුරක්. ප්ලම් වලට කිට්ටුයි.
උගුරැස්ස [Uguressa] (Flacourtia indica)
ReplyDeletehttps://apeosupela.blogspot.com.au/2015/10/flacourtia-indica.html
උගුරැස්ස ගසේ කටු එන්නේ ගහ පොඩි කාලයේ මයෙ හිතේ. පසුව ඒවා නැතිව යනවා.
ReplyDeleteඅඟල් තුන්කාලක විෂ්කම්භය ඇති ඉතා තද දම් හෝ දුඹුරු පැහැති ගෙඩි උගුරැස්ස ලෙසත් අඟල් භාගයක විෂ්කම්භය ඇති දීප්තිමත් රතු ගෙඩි ලොවි ලෙසත් හැඳින්වීම මගේ පුරුද්දයි
ReplyDelete