Showing posts with label ආරියවංශ රණවීර. Show all posts
Showing posts with label ආරියවංශ රණවීර. Show all posts

Friday, 20 September 2019

සුනිල් සෙනෙවි යෝජනා කරන සිංහල කවියේ ඉම පැනීම - A paradigm shift is needed?


ලංකාවේ සිංහල සාහිත්‍ය වසන්තය එළැඹ ඇති මේ සැප්තැම්බරයේ, සිසිර නිද්‍රාවක ගිලී සිටි මගේ රසිකොලොජි බ්ලොගය ද පුබුදුවාගෙන, විවිධ සාහිත්‍යමය කාරණා ගැන සටහන් තබමින් මා මේ කරන්නේ සතත අභ්‍යාසයකි.

ඒ අභ්‍යාසයේ අද ඉලක්කය වන්නේ පසුගිය සිකුරාදා කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවති ආරියවංශ රණවීර ගේ ඉම තව දුරය කාව්‍ය සංග්‍රහය දොරට වැඩීමේ උත්සවයේ දී, විශ්වවිද්‍යාල සේවයේ නියුතු විද්වතෙකු වන හිනිදුම සුනිල් සෙනෙවි විසින් කළ දේශනය පිළිබඳව මගේ මතකය අවදි කිරීමයි.

නූතන කවීන් සියයක් දෙනාගේ නිර්මාණ ඇසුරු කරමින් තමන් විසින් තවමත් කරගෙන යනු ලබන පර්යේෂණයක් ඇසුරෙන් කෙරුණු මූලික නිගමනයක් ද ඇතුළු කොටස් කිහිපයකින් යුතු අති දීර්ඝ (මා හිතන පරිදි එය මිනිත්තු හැත්තෑපහකට වඩා දිගු විය) කථාවක් කළ හිනිදුම සුනිල් සෙනෙවි ඒ අතරතුර රසවත් ප්‍රකාශ කිහිපයකින් ම ශ්‍රාවක රසිකයින් කුල්මත් කළේ ය.

ඒ අතරින් වඩාත් ම වැදගත් ප්‍රකාශය වූයේ සිංහල භාෂාවේ සාහිත්‍යමය ඉරණම ගැනයි. ඔහු දැක්වූ උදාහරණ ද එකතුකර ගනිමින් පැවසුවහොත්, හිනිදුම සුනිල් සෙනෙවි කීවේ වීරවංශ, ගම්මන්පිල (සහ තවත් නොවැදගත් නම් කිහිපයක් කියවිණි) වැනි දේශපාලුවන් තම ජඩ අරමුණු සඳහා සිංහල භාෂාව භාවිතා කළ පසු (ඒ වචන, යෙදුම්, භාෂා ප්‍රයෝග යනාදිය නැවත) අපට සාහිත්‍යමය කටයුතු සඳහා යොදා ගැනීමට නොහැකි තරම් ජරාජීර්ණ වන බවයි.

ඒ ප්‍රකාශය සත්‍යයකි.

නමුත් මගේ අදහස නම්, ඒ තත්වය අද ඊයේ ඇතිවූවක් නොවන බවයි. සිංහල ජඩ දේශපාලුවන් විසින් සිංහල භාෂාව තම ජඩ අරමුණු සඳහා යොදා ගත් සෑම අවස්ථාවක දී ම පාහේ සිදු වී ඇත්තේ එයයි.

පස් අවුරුදු සැලැස්ම, වගා සංග්‍රාමය වැනි දේ හැත්තෑවේ දශකයේ එළිබට හුදු පුහු වෙඩි සඳහා අවභාවිතා වූ යෙදුම් ය. ඒ නිසාම ඒ වචන පසුගිය දශක කිහිපය තිස්සේම නැවත භාවිතා කිරීමට නොහැකි අයුරින් දුෂිතව තිබුණි. නමුත් මේවන විට නම් ඒ කතා බොහෝ දෙනෙකුට අමතක වී ඇතුවාට සැක නැත.

හැත්තෑවේ දශකයේ අගභාගයේ දී එවකට ජනාධිපති ජයවර්දෙන විසින් ධර්මිෂ්ඨ සමාජයක් යන යෙදුම ගණිකා වෘත්තියේ යෙදවූ අතර, අද වෙනතුරුත් ඒ උත්තර සමාජය උදා නොවීම කෙසේ වෙතත්, ඒ යෙදුම නම් තවමත් වෙනත් කටයුත්තක් සඳහා භාවිතා කළ නොහැකි තරමට කිලිටි ය.

සුබ අනාගතයක්, ආශ්චර්යය මෙන්ම යහපාලනය වැනි යෙදුම් ද නැවතත් අපේ ජීවිතකාලයේ දී නම් කිසිදු නිර්මාණාත්මක කටයුත්තකට ඒවායේ නිසි අර්ථයෙන් යොදා ගත නොහැකි ආකාරයට විනාශ වී ඇත.

මා මුලින් සඳහන් කළ පරිදි, සිංහල කවිය පිළිබඳව තමන් කරමින් සිටින පර්යේෂණයක් ආශ්‍රිතව හිනිදුම සුනිල් සෙනෙවි පැවසූ වැදගත් කාරණය, මට වැටහුණු ආකාරයට නම්, සිංහල කවියේ විකාශය පිළිබඳව සලකා බලන කල, අද අප සිටින්නේ එක්තරා සංධිස්ථානයක බවයි. එනම් ආකෘතියෙන් ද, අන්තර්ගතයෙන් ද අද සිංහල කවියේ ප්‍රගමනය අඩාල වී යම් ආකාරයක එක තැන කැරකීමක් සිදුවෙන බවයි. එනිසා, මේ තත්වයෙන් මිදී කොයි ලෙසකින් හෝ සිංහල කවිය අද ළඟා වී ඇති ඉම පැනිය යුතු බවයි. සිංහල කවියේ තත්කාලීන සුසමාදර්ශකයේ හෙවත් පැරඩයිමයේ විතැන් වීමක් අද අත්‍යාවශ්‍ය වී ඇති බවයි.

ඒ පිළිබඳව මගේ ය කියා අදහසක් පළ කිරීමට තරම් ප්‍රමාණයික දැනුමක් මට නැති නමුත්, එවැනි සුසමාදර්ශී වෙනසක් කාලයත් සමගම ඉබේ සිදුවෙන්නක් සහ එලෙස සිදුවූ පසු අපට හැඟී යන්නක් මිස, අවශ්‍යතාවය මත, ක්‍ෂණිකව කළ හැක්කක් නොවන බව නම් මට හැඟේ.

එසේ වෙතත්, එවැනි සුසමාදර්ශී වෙනසක් වෙනුවෙන් කටයුතු කරන ලෙස සුනිල් සෙනෙවි විසින් ආරියවංශ රණවීරගෙන් කළ ඉල්ලීමට එකඟ වීමට නම් මට හැකිය. ආරියවංශ රණවීර යනු ඒ සඳහා අවශ්‍ය ශක්‍යතාව සහ ප්‍රතිභාව ඇත්තෙකු බව මා අමුතුවෙන් කිව යුතු නැත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ සැප්තැම්බරයේ මා ලියා පළ කළ ලිපි.

1. බිරිඳ ලියූ පොත - Introducing "Lost in Floral Rain" Novel
2. කාලෝ ෆොන්සේකාට බස් එකේ දී සීට් එක දන් දුන් කතාව - Bon Voyage Carlo Fonseka
3. ඇදහිල්ල සහ මෝඩකම - Faith and fools
4. බිරිඳව පරිවර්තනය කළෙමි! - Nothing lost in translation
5. පොත් වට්ටම් ප්‍රශ්නය පිළිබඳව මගේ සත පහ - Consumer rights and anti-competitiveness
6. සැප්තැම්බරයේ දිගු දවස් - Long days of September
7. සම්මාන නැති කතාවක් - Awardless
8. "ඉම තව දුර ය" - A note about a book launch
9. කාන්තා හඬ සහ "ඉම තව දුර ය" - Book launch events and female speakers


(image: Facebook)

Thursday, 19 September 2019

කාන්තා හඬ සහ "ඉම තව දුර ය" - Book launch events and female speakers


මේ සැප්තැම්බරයේ මා සහභාගී වූ මුල්ම සාහිත්‍යමය කටයුත්ත වූ කිවියර ආරියවංශ රණවීරගේ "ඉම තව දුරය" කෘතියේ දොරට වැඩීමේ උත්සවයේ දී ලේඛකයින් විසින් කළ ප්‍රධාන කතා ත්‍රිත්වය අතරින් මා සිත වඩාත් ම ඇද ගත්තේ ප්‍රධාන දේශන ද්වයට අමතරව පෙර දැනුම් දීමකින් තොරව ක්‍ෂණිකව මෙන් ඉදිරිපත් කෙරුණු (නමුත් පෙර සූදානමක් තිබුණා යැයි මට නිකමට මෙන් සිතුණු) සුහර්ෂණී ධර්මරත්න කිවිඳිය විසින් කළ ඉදිරිපත් කිරීමයි.

එයට මූලික හේතුව වූයේ, ඇය ඒ කථාවේ අන්තර්ගතය ලෙස තමන් කිවිඳියක ලෙසත්, කවි රස විඳින රසිකාවියක ලෙසත්, තමන් ලැබූ අත්දැකීම් එකතු කර රසවත්ව ඉදිරිපත් කිරීමයි. එහි රසවත්බව මට හොඳින් දැනුණේ, මා ලියන කියන දෙයින් අති බහුතරයේ ද අන්තර්ගතය ඒ අච්චුවේ, එනම්, මුළුමනින්ම පාහේ අත්දැකීම් පාදක කොට ගත්, ඒවා වීම නිසා බව අමුතුවෙන් කිව යුතු නැත.

එය එසේ වූයේ නැතත්, තම කතාව ආරම්භ කිරීමට වේදිකාවට ගොඩ වූ මොහොතේ සිට සුහර්ෂණී ධර්මරත්න විසින් එදින මහවැලි ශාලාවේ රැස් වී සිටි ඒ සාහිත්‍යකාමී සභාවට එක් කළේ සුවිශේෂී වූ ආකර්ෂයකි. ඒ කුමක්දැයි අමුතුවෙන් සිතන්නට අපට අවශ්‍ය වූයේ නැත. ඊට පෙර ම, මම කාන්තා පක්‍ෂයේ හඬ මේ සාහිත්‍ය සභාවේ නියෝජනය කරනවා යැයි පැවසූ සුහර්ෂණී අපට එතෙක් නොතේරුණු ඒ සුවිශේෂී කාරණය, ඒ සභාවේ පමණක් නොව අප දැක ඇති අති මහත් බහුතරයක් සාහිත්‍ය සභාවල දී ද පැවති බව අපරදෘෂ්ටියෙන් දැන් අප දන්නා ඒ සුවිශේෂී කාරණය, එනම් අති බහුතරයක් සාහිත්‍ය උත්සව සභාවල ලේඛිකාවන් නිසි ලෙස නියෝජනය නොවන බව, අපට වටහා දුන්නී ය.

දින කිහිපයකට ඉහත මා ලියා පළ කළ, 2018 දී මා අත්විඳි සැප්තැම්බරයේ දිගු දවස් ලිපියේ මා සඳහන් කළා වූ, මා සහභාගී වූ පොත් එළිදැක්වීම් පහේ පැවති විදග්ධ සභාවල කාන්තා නියෝජනය අතිශය අවමය විය. වසරක් පැරණි මගේ මතකයට අනුව එයින් කාන්තාවන් තම අදහස් පළ කළේ චාමර අකලංක පොල්වත්තගේ ගේ ආදරේ රත්නපුර වගේ කවිපොත එළිදැක්වීමේ දී සහ හෙන්රි වර්ණකුලසූරියගේ කී නොකී කතා කතන්දර පොත එළිදැක්වීමේ දී පමණි. මුල් අවස්ථාවේ දී, අමන්දා අබේසූරිය සහ නදීෂා චන්ද්‍රසේන වේදිකාප්‍රාප්ත වූ අතර, දෙවෙනි අවස්ථාවේ දී පුෂ්පා රම්ලනී තම අදහස් දැක්වූවා ය.

ගද්‍ය පද්‍ය ලේඛනයෙන් කාන්තාවන් සම්මාන ලබන සමාජයක, එම ලේඛිකාවන් ගේ කෘති එළිදක්වන උත්සවවල දී පවා කාන්තා අදහස් දැක්වීම අතිශය අවම වීම ද කනගාටුවට කරුණකි.

විදග්ධ සාහිත්‍ය සභා ඉම කාන්තා හඬට තවත් දුර බව පැහැදිලිය.

සුහර්ෂණී ධර්මරත්න එදා උත්සවයට එකතු කළේ නාම මාත්‍රික කාන්තා නියෝජනයක් පමණක් නොවේ. සම්මානලාභී ලේඛිකාවක වන ඇය ඒ බව මනාව විදහා පාමින් තම අදහස් ඉදිරිපත් කළා ය. ගලේවෙල ප්‍රදේශයේ පාසලක ගුරුවරියක වන ඇය, විද්‍යාව වැනි කර්කශ විෂයයක් වුව ද, ආකර්ෂණීය ලෙස උගන්වනවා විය යුතු යැයි මට සිතුණි.

තම කෙටි දේශනයේ දී සුහර්ෂණී ධර්මරත්න විසින් පවසන ලද කරුණු කිහිපයක් ම මගේ මතකයේ ඇත. එයින් පොදු වැදගත්කමක් ඇති කරුණක් වන්නේ විශ්වවිද්‍යාලවලින් සිංහල භාෂාව පිළිබඳ උපාධි ලබා රජයේ පාසල්වල සිංහල උගන්වන්නට යන අයගේ සාහිත්‍ය දැනුමේ ඇති ඌනතා ගැන ඇය සරදම් බසින් කළ සඳහනයි.

විවාහයේ දී සිදුවන පිරිමියා සහ ගැහැනියගේ ඒකල භූමිකා නිමවී පොදු භූමිකාවක් නිර්මාණය වීමේ දී සිදුවන ප්‍රායෝගික අසාධාරණය ගැන තමන් ලියූ කවක් ද, එම මාතෘකාව පිළිබඳව ම ආරියවංශ රණවීර ලියූ කවක් ද සංසන්දනය කරමින් සුහර්ෂණී ධර්මරත්න කළ සඳහන ද, එහි රසවත්බව නිසා ම, සදාකාලිකව රැදෙන ලෙස මතකයේ කෙටුණි.

මේ නිර්මාණ ද්වයේ ම, රූපක ලෙස නිර්මාණකරුවන් යොදාගෙන තිබුණේ ගංගාවක ජලය මුහුදට එක් වීමේ දී, ගඟ නැති වී, මුහුද පමණක් අවසානයේ ඉතිරි වීම ය. ගඟ විවාහප්‍රාප්ත ගැහැනියයි, මුහුද පිරිමියා ය.
මා මුල්වරට ඇසූ ඒ කවි යුගල සහ එහි අරුත් පිළිබඳ විවරණයක යෙදීම පස්සට කල් තබා මට කිව හැක්කේ, ඒ මොහොතේ මට දැනුණේ නම් සුහර්ෂණී ධර්මරත්න සමස්තයක් ලෙස පැවසූ දෙයින් ඇගේ කවියේ අරුත, ගංගාවක ජලය මුහුදු ජලයට එක්වී අහෝසි වී යන්නාක් සේ, ආරියවංශ රණවීරගේ කවිය හේතුවෙන් නැති වී ගිය බවයි.

මෙහි දී මගේ අදහස වන්නේ එය එසේ නොවිය යුතු බවයි. කෙසේ වෙතත් ඒ කවි ද්වය ම, මා ම, කියවා ඒ ගැන නැවතත් ලිවීමට අදහස් කරමි.

ඊට අමතරව, ඇය කළ කථාවේ දී, ඇය විද්‍යා ගුරුවරියක් බව කියවුණු අතර, පසුව ඇගේ සැමියාගේ වෘත්තීමය කාර්යබහුලත්වය පිළිබඳ ඉඟියක් ද පිටවුණු නිසා, සුහර්ෂණී ධර්මරත්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උගත් අයෙකු යැයි මම එක එල්ලේ නිගමනය කළෙමි. පසුව ඇගෙන් විමසා මා නිවැරදි බව තහවුරු කර ගත්තෙමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ සැප්තැම්බරයේ මා ගෙවන දිගු දවස් පිළිබඳව මා ලියන සිව්වන ලිපියයි.

1. සැප්තැම්බරයේ දිගු දවස් - Long days of September
2. සම්මාන නැති කතාවක් - Awardless
3. "ඉම තව දුර ය" - A note about a book launch

ඒ සමගම මෙය සැප්තැම්බරයේ නැවත ඇරඹුණු මගේ රසිකොලොජියේ නමවෙනි ලිපිය ද වේ.

1. බිරිඳ ලියූ පොත - Introducing "Lost in Floral Rain" Novel
2. කාලෝ ෆොන්සේකාට බස් එකේ දී සීට් එක දන් දුන් කතාව - Bon Voyage Carlo Fonseka
3. ඇදහිල්ල සහ මෝඩකම - Faith and fools
4. බිරිඳව පරිවර්තනය කළෙමි! - Nothing lost in translation
5. පොත් වට්ටම් ප්‍රශ්නය පිළිබඳව මගේ සත පහ - Consumer rights and anti-competitiveness

(image: From Facebook)

Tuesday, 17 September 2019

"ඉම තව දුර ය" - A note about a book launch



දිගු දවස් ඇති සැප්තැම්බරයේ මා සහභාගී වූ මුල්ම සාහිත්‍යමය කටයුත්ත වූයේ පසුගිය සිකුරාදා සවස් වරුවේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වුණු ආරියවංශ රණවීර නම් ප්‍රවීණ කවියාගේ පහළොස්වෙනි(?) කාව්‍ය ග්‍රන්ථය වන "ඉම තව දුරය" කෘතියේ දොරට වැඩීමේ උත්සවයයි.

එදින මගේ මව වාසය කරන නිවසට පැමිණ, පාන්දර දෙකහමාරේ සිට උදෑසන හතහමාර දක්වා පස් පැයක නින්දක් ලැබුව ද, සිනුවර සිට කොළොම්තොට දක්වා සංක්‍රමණයට ගත වූ පැය විසි හතරක නිදිවර්ජිත කාලයේ විඩාව තවමත් පහව ගොස් නොතිබුණි. නමුත් ශාලාවට පැමිණ විනාඩි දහයකින් සවස 3:15 ට ඇරඹී රාත්‍රී 6:30 පමණ දක්වා පැවැත්වුණු දොරට වැඩීමේ උත්සවයේ දී ඒ මා නොලැබූ නින්දට මට කරදර කරන්නට එහි දී කතා කළ ලේඛකයින් හය දෙනා කිසිසේත්ම ඉඩ නොතැබූ බව මුලින් ම සඳහන් කළ යුතුය.

ඒ වෙනුවට එහි දී මා අත් වින්දේ මා සිත තුළ කවිය පිළිබඳව අති මහත් උනන්දුවක් ඇති කළ වටිනා පැය තුන හමාරකි. මේ කාලයෙන් බිඳක් හෝ පොල්තෙල් ගිනි තබා පිච්චීමට තබා පොත් පිලිගැන්වීම් සඳහා මිඩංගු නොකිරීම ද විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

එදින මයික්‍රෆෝනය හිමි වූ ලේඛකයින් වූයේ:

මූලිකව
මුල්ම දීර්ඝ දේශනය පැවැත්වූ හිනිදුම සුනිල් සෙනෙවි
දෙවන දීර්ඝ දේශනය පැවැත්වූ වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල
තෙවෙනුව සාපේක්‍ෂව කෙටියෙන් කතා කළ සුහර්ෂණී ධර්මරත්න

ඒ සමගම
මුලසුනේ සිටි කීර්ති වැලිසරගේ
කෘතියේ කතෘ ආරියවංශ රණවීර සහ
සභාව මෙහෙය වූ අසංක සායක්කාර යන සය දෙනා ය.

මේ එක් එක් ලේඛකයින් විසින් පැවසූ සියලු දෑ පිළිබඳව විශ්ලේෂණය කිරීම කෙසේ වෙතත්, ඒ පැය කිහිපයේ දී මා උකහා ගත් කරුණු කිහිපයක් ඉඩ ලැබෙන අයුරින් කෙටියෙන් ලියා පළ කිරීමට මම අදහස් කරමි.

ඒ අවස්ථාව සොයා ගන්නා තුරු, සඳහන් කළ යුතු එක් වැදගත් කරුණක් ඇත.

පොත් එළිදැක්වීමේ උත්සව යනු සංගීත සංදර්ශන නොවේ. අප බොහෝ දෙනෙකු එහි යන්නේ සාරගර්භ සාහිත්‍ය දේශනවලට සවන්දීමට බව නොරහසකි. එය එසේ වී නමුත්, ආරියවංශ රණවීරගේ ඉම තව දුරය කාව්‍ය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ දී ප්‍රධාන දේශන පැවැත්වූ ලේඛකයින් දෙදෙනාට තම අදහස් ප්‍රකාශ කිරීම සඳහා ගත කළ කාලය 25% කින් පමණ අඩු කළ හැකිව තිබුණු බව මගේ අදහසයි. මෙහි වරද දේශකයින්ගේ පමණක් නොවේ. සංවිධාකයින් ද මෙයට වග කිව යුතුය. දේශකයින්ට ආරාධනා කිරීමේ දී ඔවුන්ට ලැබෙන උපරිම කාල සීමාව නිශ්චිතව විනාඩි කීයක් ද යන්න (ඔව් විනාඩි මිස පැය නොවේ!) දැනුම් දී ඉන්පසු උත්සවය පැවැත්වෙන වේලාවේ දී එය ඒ ආකාරයෙන් ම නියාමනය කිරීමයි.

එසේ නොවුණු කල සිදුවන්නේ, මුල් කථිකයින් ගත් අමතර කාලය සඳහ අවසාන කථිකයින්ට වන්දි ගෙවීමට වීමයි.

ඉම තව දුරය කාව්‍ය ග්‍රන්ථය උත්සවයේ දී කාල නියාමනය ක්‍රමවත්ව සිදු වූවා නම්, අපට ආරියවංශ රණවීර කවියාගේ ගද්‍යමය අදහස් ද මීට වඩා දැන ගැනීමට ඉඩ තිබුණි. එසේම, කාලවේලාව හරස් නොවුනේ නම්, මුලසුනේ සිටි කීර්ති වැළිසරගේට ද, තවත් දේ පවසන්නට අවශ්‍යතාව තිබුණු බව මට පැහැදිලි විය.

පුද්ගලිකව මට අලුතෙන් සාහිත්‍යකාමීන් කිහිප දෙනෙකු හෝ හඳුනා ගැනීමට ද අවස්ථාව ලැබෙන්නට තිබුණි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ සැප්තැම්බරයේ මා ගෙවන දිගු දවස් පිළිබඳව මා ලියන තෙවන ලිපියයි. ඒ සමගම මෙය සැප්තැම්බරයේ නැවත ඇරඹුණු මගේ රසිකොලොජියේ අටවෙනි ලිපිය ද වේ.

මීළඟට සුහර්ෂණී ධර්මරත්නගේ කළ කතාව පිළිබඳ මගේ අදහස.