Friday, 28 August 2015

වත්මන් ඕස්ට්‍රේලියානු දේශපාලන පක්‍ෂ මා දකින අයුරු - Political parties in Australia


මෙය ඉතා සරල කියවීමකි.

කොහොමටත් ඕස්ට්‍රේලියාවේ දේශපාලනය කෙරෙන ක්‍රමය සාමාන්‍ය පුරවැසියෙකු දකින ආකාරය එතරම් සංකීර්ණ නොවෙන බව කිව යුතුය.

ලංකාවේ සහ ලෝකයේ වෙනත් බොහෝ රටවල මෙන් ඕස්ට්‍රේලියාවේ ඇත්තේ ද ප්‍රධාන පක්‍ෂ දෙකකි. එනම් ලේබර් (කම්කරු) පක්‍ෂය සහ ලිබරල් (නිදහස්) පක්‍ෂයයි.

ලේබර් කම්කරු පක්‍ෂය යනු වාමාංශික නැඹුරුවක් ඇති (centre-left) දේශපාලන පක්‍ෂයක් යැයි සැලකිය හැක. මූලිකව ම පෞද්ගලික ව්‍යවසාය ක්‍රමය මත විශ්වාසය තබන ආර්ථික ක්‍රමයක් අනුගමනය කළ ද ඔවුන් සමාජ සුභ සාධනය, අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි පොදු පහසුකම් සැපයීම පිළිබඳව දැඩි කැපවීමක් ඇති පක්‍ෂයක් ලෙස සාමාන්‍යයෙන් සැලකේ.

ඕස්ට්‍රේලියානු ලේබර් පක්‍ෂයේ මූලික පදනම වෘත්තීය සමිති සහ ඒවායේ සාමාජික පිරිසයි. නමුත්, ඒ සාපේක්‍ෂව කුඩා පිරිසට අමතරව ඔවුන්ට හොඳ ජන පදනමක් ද තිබේ. ඒ බහුතරය නගරබද ජනතාවයි.

සාපේක්‍ෂව දුෂ්ට ප්‍රාන්ත පාලකයෙකු පැන්නීමට අවශ්‍ය වූ නිසා, මා ද, එක් වරක් ලේබර් පක්‍ෂයට ඡන්දය දී ඇත්තෙමි. ඒ 1999 දී ය. ඒ වසරේ දී ම මට ලංකාවේ දී ද ඒ ප්‍රතිපත්ති විරෝධී කාර්යය ම කිරීමට සිදුවූයේ දෛවෝපගත අයුරිනි.

ලිබරල් පක්‍ෂය සහමුලින් ම දක්‍ෂිණාංශික පක්‍ෂයකි. ඇත්තටම ඔවුන් ලිබරල් නොව කන්සර්වේටිව් (ගතානුගතික යන අරුතින්) පක්‍ෂයකි. රටේ ආර්ථිකය මුළුමනින්ම පුද්ගලික ව්‍යවසාය මගින් පවත්වා ගෙන යා යුතු යැයි යන්න ඔවුන් ගේ අදහසයි. සමාජ සුභසාධක වැඩ පිළිබඳව දක්වන්නේ අඩු සැලකිල්ලකි. අධ්‍යාපනය සහ සෞඛ්‍යය ද, රාජ්‍ය මැදිහත්වීම් අවමයකින් සිදු විය යුතුය යන්න ඔවුන් ගේ ප්‍රතිපත්තියයි. ලිබරල් පක්‍ෂයේ බලය එකතු වී ඇත්තේ පොදුවේ නගරබද, ධනවත් පුද්ගලයින් සහ වෘත්තිකයින් අතර ය.

මා කිසිදාක ලිබරල් පක්‍ෂයට ඡන්දය දී නැති අතර, ජීවිතයේ කිසි දිනක එසේ කරන්නට කිසිදු අපේක්‍ෂාවක් ද නැත.

නැෂනල් පාටිය නොහොත් ජාතික පක්‍ෂය යනු ප්‍රධාන නගරවලින් බැහැර පිටිසර පළාත්බදව, සාමාන්‍ය ගොවි ජනතාවක් වෙසෙන ප්‍රදේශවල වැඩි දේශපාලන බලයක් ඇති පක්‍ෂයකි. ඔව්හූ, එනිසා ම, දැඩි ජාතිකවාදී, දක්‍ෂිණාංශික ප්‍රතිපත්ති අනුගමනය කරති. එනිසා ම, නැෂනල් පක්‍ෂය දැන් සෑහෙන කාලයක සිට ලිබරල් පක්‍ෂය සමග සන්ධාන ගත වී ඇත.

ඕස්ට්‍රේලියාවේ තිබෙන්නේ කේවල ඡන්ද කොට්ඨාස මැතිවරණ ක්‍රමයකින් නියෝජිතයින් පත්වෙන පාර්ලිමේන්තුවක් (සහ සමානුපාතික නියෝජනයක් ඇති සෙනේට් සභාවක්) නිසා මෙහිදී මේ පක්‍ෂ දෙක අනුගමනය කරන්නේ 1970 ඡන්දය සඳහා සිරිලංකා එක සමසමාජ සහ කොමියුනිස්ට් පක්‍ෂ අතර ඇති කරගත් නිතරඟ ගිවිසුම වැනි ක්‍රමවේදයකි.

මා මෙරටට පැමිණි 1995 වසරේ දී ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් ආණ්ඩුවේ බලය ලබා සිටියේ සිටියේ ලේබර් පක්‍ෂයයි. අගමැති පෝල් කීටින් විය. ඔවුන් ආණ්ඩු බලයේ සිට ඇත්තේ 1983 සිට ය. මුලින් සිටි අගමැති බොබ් හෝක් ගෙන් පසු පෝල් කීටින් අගමැති වී ඇත්තේ පක්‍ෂයේ නායකත්වයට පත් වීම නිසාය. බොබ් හෝක් යනු ඩඩ්ලි සේනානායක, රනිල් වික්‍රමසිංහ සේ සිව්වරක් අගමැති වූ අයෙකි.

ඒ කම්කරු පක්‍ෂ ආණ්ඩවෙන් පසු 1996 දී පිහිටවුණේ ලිබරල්-නැෂනල් සභාග රජයකි. ඒ සභාගය අගමැති ජෝන් හාවර්ඩ් ගේ නායකත්වයෙන් 1999, 2002 සහ 2004 දී් පැවැත්වුණු ඡන්ද ජයගෙන 2007 දක්වා ම බලයේ රැඳී සිටියේ ය. එනම් ජෝන් හාවර්ඩ් ද සිව්වරක් අගමැති වූ අයෙකි.

ඊළඟට 2007 දී නැවත බලයට ආවේ අගමැති කෙවින් රඩ් ගේ නායකත්වයෙන් යුතු ලේබර් පක්‍ෂ රජයකි. ඒ රජයේ තෙවසරක කාලය ගත වෙන්නට පෙර පක්‍ෂයේ ඇති වූ නායකත්ව වෙනසක් නිසා ජූලියා ගිලාඩ් ඕස්ට්‍රේලියාවේ මුල්ම කාන්තා අගමැති ලෙස පත්වූවා ය. ඒ වෙනස ආපසු හැරී 2013 දී යළි කෙවින් රඩ් අගමැති වූ අතර, ඒ වසරේ පැවති ඡන්දයේ දී නිදහස්-ජාතික සභාගය වත්මන් අගමැති ටෝනි ඇබට් ගේ නායකත්වයෙන් බලයට පත්විය.

ලේබර් පක්‍ෂයේ අද නායකයා වත්මන් ෆෙඩරල් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක බිල් ෂෝට්න් ය.

ෆෙඩරල් රජයට අමතරව ඕස්ට්‍රේලියාවේ ඇති ප්‍රාන්ත රාජ්‍යයන් හයේ ද, ප්‍රාන්තයකට වඩා අඩු රාජ්‍ය බලයක් ඇති ප්‍රදේශ දෙකේ ද, සිව් වසරකට වරක් පැවැත්වෙන ඡන්දවලදී ආණ්ඩු බලය පෙර කී ආකාරයටම නොවුණත් ලේබර් පක්‍ෂය සහ ලිබරල්-නැෂනල් සභාගය අතර මාරු වෙමින් පැවතෙයි.

ලේබර් පක්‍ෂයේ ද, ලිබරල්-නැෂනල් සන්ධානයේ ද ප්‍රාන්ත මට්ටමේ පක්‍ෂ සංවිධාන කිසිසේත්ම ෆෙඩරල් මට්ටමේ පක්‍ෂ සංවිධානවල පාලනයට යටත් නොවෙන ස්වාධීන පක්‍ෂ සංවිධාන ලෙස සැලකිය හැකිය.

ඉහත සඳහන් දේශපාලන පක්‍ෂ තුනට අමතරව තවත් කුඩා පක්‍ෂ කිහිපයක් ම ඕස්ට්‍රේලියාවේ ඇත.

මා මෙරටට පැමිණි 1995 දී සැලකිය යුතු ජනප්‍රියත්වයක් ඉසුලූ ඩිමොක්‍රැටික් (ප්‍රජාතන්ත්‍රවාදී) පක්‍ෂය සහ දැන් තරමක් ජනප්‍රිය වෙමින් පවතින ග්‍රීන් (හරිත) පක්‍ෂය ඉන් ප්‍රධාන කොටම සඳහන් කළ යුතුය.

මේ කුඩා පක්‍ෂ සියල්ලේම පැවැත්ම රදා පැවතෙන්නේ මෙහි ඇති ආණ්ඩුක්‍රමය සහ ඡන්ද ක්‍රමයේ පිහිටෙනි.

කේවල ඡන්ද කොට්ඨාස සඳහා පැවැත්වෙන පාර්ලිමේන්තු ඡන්දවලදී විවිධ පක්‍ෂවල සහ ස්වාධීන අපේක්‍ෂකයින්ට මනාප දෙන්නට හැකි වුවද, ඡන්ද කොට්ඨාසයක මන්ත්‍රීවරයෙකු වන්නට කුඩා පක්‍ෂයක අපේක්‍ෂකයෙකුට හැකිවන්නේ හාවා හඳ දකින්නා සේ ය. පසුගිය වසර විසි වසර තුළදී මා එවැනි අවස්ථාවක් දැක්කේ එක් වරක් පමණි. නමුත් ස්වාධීන අපේක්‍ෂකයින් නම්, විටින් විට තේරී පත්වෙති.

එනිසා, පෙර කී කුඩා පක්‍ෂ නියෝජිතයින් ප්‍රධානකොටම පත්වෙන්නේ සමානුපාතික ඡන්ද ක්‍රමයක් යටතේ පැවැත්වෙන සෙනෙට් සභාව හෙවත් උත්තර මන්ත්‍රී මණ්ඩලයටයි.

ඒකල ඡන්ද කොට්ඨාස දිනා බහුතරයෙන් ආණ්ඩුවක් පිහිටෙව්වද, උත්තර මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඒ ආණ්ඩු පක්‍ෂයට ලැබීම සාමාන්‍යයෙන් සිදු නොවේ. එසේම, පාර්ලිමේන්තු ඡන්ද වසර තුනකට වරක් පැවැත්වූයේ වුවද, සෙනෙට් සභිකයෙකු ගේ සේවා කාලය වසර හයක් වේ. සෑම ඡන්දයකදීම පත් කර ගන්නේ සෙනෙට් සභාවේ නියෝජිතයින්ගෙන් හරි අඩකි.

වසර විස්සකට පෙර ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ සෙනෙට් සභාවේ ප්‍රමාණවත් රිමෝට් කොන්ට්‍රොල් බලයක් ඩිමොක්‍රැටික් පක්‍ෂයට තිබුණි. නමුත්, පසු කාලීනව, එහි නායකත්වයේ සිදුවුණු වෙනස්කම් ද, ආණ්ඩුව සමග නීති සම්මත කරන්නට කළ ඩීල් කිහිපයක තිබුණු ප්‍රශ්නද නිසා, ඒ පක්‍ෂය ක්‍රමයෙන් දිය වී, සහමුලින් ම නැති වී ගියේ ය.

ඒ අඩුව යම් තරමකට හෝ පිරවෙන්නේ ග්‍රීන් පක්‍ෂය නිසාය. මා දැන් කාලයක සිට ඡන්දය දෙන්නේ ඔවුන්ට ය.

-රසිකොලොජිස්ට්

(මා පදිංචි ප්‍රදේශය ඇතුලත් ලින්ඩ්සේ ආසනය සඳහා 2013 ෆෙඩරල් ඡන්දයේ දී ඉදිරිපත් වූ අපේක්‍ෂකයින් ගේ ප්‍රචාරක පත්‍රිකා කිහිපයකි.)

8 comments:

  1. //ඒ වසරේ දී ම මට ලංකාවේ දී ද ඒ ප්‍රතිපත්ති විරෝධී කාර්යය ම කිරීමට සිදුවූයේ දෛවෝපගත අයුරිනි//
    කොහොමද ඔසී වලයි,ලංකාවෙයි චන්ද දෙකම දාන්නේ? ද්විත්ව පුරවැසිකම තියෙනවද?

    ReplyDelete
    Replies
    1. වෙන ක්‍රමයක් තිබේද?
      http://rasikalogy.blogspot.com/2015/02/killing-goose-laying-golden-eggs.html

      ඇත්තටම ඔය දෙක චෙක්වෙන ක්‍රමයක් තාමත් නෑ, මගෙ හිතේ.

      නමුත්, මොන පුරවැසිකම තිබුණත් මදි ලංකාවේ ඡන්දේ දවසට ගෙදර ඇවිත් ඉන්න ඕනෑ!

      නැතිනම් මෙදා පාර වගේ අම්මට වෙන්නේ ඡන්ද පොලට ගිහින් මං එන්නේ නැති බව කියා හොර ඡන්ද දැමීමට ඇති ඉඩකඩ වැළැක්වීමටයි!

      Delete
  2. රසිකයියේ...............

    ලංකාවේ දේශපාලන උණුහුම ගියා විතරයි... ඒ ගමන්ම මේක......

    ReplyDelete
  3. දැන් ලංකාවේ මුණුපොතේ හා බ්ලොග්වල කමෙන්ට් එකකට ගැහුවොත් දහයක් විතර විසි වෙන තරම ඉන්නා 'ජාතිකවාදී අයියලා' ඕස්ට්‍රේලියාවට පැණ ගත්තොත් හෙම ඡන්දය දෙනවා ඇත්තේ ඔය මොන පක්ෂයටද? මේ උන්දෙලා එහෙත් නැෂනලිස්ට්ලාම වෙයිද?

    ReplyDelete
  4. ද්විත්ව පුරවැසිකම නිසා ගීතට පාර්ලිමේන්තු අසුන අහිමි කරන්න වළිකද්දි ද්විත්ව පුරවැසිකම තියෙන ඡන්දදායකයො ගැන ඔකද කියන්නෙ....

    ReplyDelete
  5. කියෙව්වා. සංක්ෂිප්ත විස්තරයට ස්තුතියි

    ReplyDelete
  6. ග්‍රීන් පාක්ෂිකයෝ යනු 'හරිත සංරක්ෂණය' යන කඩතුරාව පොරවා ගත්, කොමියුනිස්ට් ධර්මය පිළිපදින මුග්ධයෝ වෙති. ඔවුහු එක දෙයක් පමණක් දනිති. ඒ කායිකව හෝ මානසිකව හෝ වෙහෙස වී වැඩ කරන ජනයා උපයන සහ ඉතිරි කරන ධනය කාබාසීනියා කිරීම ය. ඔවුන් හට බලය ගිය දිනෙක මෙය කා හටත් පැහැදිලි වනු ඇත. ඒ 1955 ට පෙර, විශේෂයෙන් ම කොරියන් යුද්ධය පැවති කාලයේ, ලංකාව උපයා ගත් ධනය 1956-1959 සහ 1960-1965 යන දශකයකට ආසන්න කාල වකවානුවේ පැවති ශ්‍රි.ල.නි.ප. රජයයන් විසින් විනාශ කර රට දුප්පත් කළාක් මෙනි.

    ReplyDelete
  7. ග්‍රීන් පක්ෂය යනු ඇමරිකන් විරෝධී ප්‍රායෝගික නොවන වාමාංශික ප්‍රතිපත්ති අනුගමනය කරන පක්ෂයක් නේද ? ඔයිට වඩා ලේබර් පක්ෂයට ඡන්දය දීම ප්‍රතිඵලදායකය
    මම ඔසී සිටියා නම් මගේ තේරීම ලේබර් පක්ෂයයි - ඇමරිකාවේ නම් ඩිමෝක්‍රටික් පක්ෂයයි
    ලංකාවේ නම් සියළු ජාතීන් ආගම් එක් කළ හැකි එකම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයයි - (ආර්ථික ප්‍රතිපත්ති දැන් කොහොමත් සමාජ ලිබරල්වාදී නිසා අවුලක් නැතිව යූ එන් පි යට ඡන්දය දෙමි - යූ එන් පි යෙන් පිටත මා ඡන්දය දී ඇත්තේ ජවිපෙට පමණයි-)

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.