Wednesday 31 August 2016

ගංගොඩවිල සෝම සහ දෙයියෝ - Once upon a time


අදින් වසර ගණනාවකට ඉහත, මගේ මතකයේ හැටියට 1997 වසරේ දී පමණ, එක් දිනක මම එවකට අප පදිංචිව සිටි මෙල්බර්න් තදාසන්නයේ පිහිටි තට්ටු නිවාසයේ සාලයේ කවිච්චියේ හරිබරි ගැසී රූපවාහිනිය නැරඹීමට පටන් ගතිමි. එවෙලේ ඕස්ට්‍රේලියානු විකාශන සංස්ථාව (Australian Broadcasting Corporation) හෙවත් ඒබීසී චැනලයේ ප්‍රචාරය වෙමින් තිබුණේ ලෝක සාමය සංහිඳියාව වැනි බරපතල කාරණයක් සම්බන්ධයෙන් වූ සර්ව ආගමික පූජකයින් සහභාගී වූ සාකච්ඡාමය වැඩසටහනකි.

එය සජීවී වැඩසටහනක් නොව පෙර පටිගත කරන ලද්දක් වූ අතර, විකාශය වූ දිනය සහ වේලාව සලකා බලන කළ බොහෝ දුරට නැවත ප්‍රචාරයක් වෙන්නට ඇතැයි මට සිතේ.

ඒ සාකච්ඡාවට සහභාගීවූවන් අතර කතෝලික, ක්‍රිස්තියානි, යුදෙව්, මුස්ලිම්, හින්දු පුජකයින් මෙන් ම, ලංකාවේ අයෙකු යැයි හැඟෙන බෞද්ධ භික්‍ෂුවක ද සිටින බව මට පෙනුණි.

මොහොතකට පසු කතාව ඇරඹූ එහි සිටි එක් පූජකයෙකු, තියොලොජිකලි යම් යම් වෙනස්කම් තිබුණත්, මෙහි සිටින අප සියලු දෙනාම යම් දෙයියෙකු විශ්වාස කරන ආගම් නියෝජනය කරන අය නොවේද, එනිසා අපට අහවල් කාරණය පිළිබඳ යම් මූලික එකඟතාවකට පත්විය හැකි නොවේදැයි පවසමින් ඒ අහවල් කාරණය විස්තර කිරීමට පටන් ගත්තේ ය.

එවිට කතා කළ ඒ සාකච්ඡා සභාවේ සිටි බෞද්ධ භික්‍ෂුව පවසා සිටියේ පුජකයා ගේ ඒ කතාව සාවද්‍ය බවත්, අන් අය කෙසේ වෙතත්, තමන් නියෝජනය කරන බුදු සමය නම් කිසිසේත් ම දෙයියෙකු විශ්වාස කරන දේව ආගමක් නොවන බවත් ය.

අදහන මැවුම්කාර දෙයියෙකු නොමැති වීම, බුදු සමය අන් ආගම්වලින් අතිශය පැහැදිලිව වෙන් කරන මූලික ම කරුණක් බවත් ඒ බෞද්ධ භික්‍ෂුව වැඩි දුරටත් ප්‍රකාශ කළේ පෙර කී පූජකයා නිරුත්තර කරමිනි.

එදා ඒ රූපවාහිනී සාකච්ඡාවට සහභාගී වූ බෞද්ධ භික්‍ෂුව වනාහී ගංගොඩවිල සෝම හිමියන් බව මම පසුව දැන ගතිමි. ඔහු, එවකට මෙල්බර්න් තදාසන්නයේ නෝබල් පාක් ග්‍රාමයේ පිහිටුවා තිබුණු සිංහල-බෞද්ධ පන්සලේ නේවාසික භික්‍ෂුවක් වූ බව ඒ පන්සලේ සාමාජිකයෙකු වූ මා මිත්‍ර අජිත් මාම්පිටිය පසු දිනක මා සමග පැවසී ය.

එදා මට පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් පිළිබඳව ඇතිවුණේ ඉමහත් ප්‍රසාදයකි.

නොබෝ කලකින් ම ඕස්ටේ‍ර්ලියාව හැරදා ලංකාව කරා ගිය ගංගොඩවිල සෝම හිමියන්, ලංකාවේ පන්සල් සංස්ථාවල පිළිලයක් සේ ඔඩු දා පැතිර ගොස් තිබුණු මිථ්‍යාදෘෂ්ටික දේවාගමට එරෙහිව රූපවාහිනීයෙන් ද, වෙනත් මාධ්‍ය මගින් ද බොදු ජනයා ගේ නුවණැස පාදා අඳුරෙන් එළියට ගෙන ඒම අරමුණු කරගත් ව්‍යාපාරයක් අරඹා ඇති බව අන්තර්ජාලය හරහා ද, දුරකථන ඇමතුම් හරහා ද, මට දැන ගන්නට ලැබුණි.

පුජ්‍ය ගරු ගංගොඩවිල සෝම හිමියන් පිළිබඳ මගේ ප්‍රසාදය තවත් වැඩිවිය.

නමුත්, 1999 වසර අග භාගයේ දී නිවාඩුවකට ලංකාවට ගිය මට දක්නට ලැබුණේ, බෞද්ධයින් අඳුරෙන් මුදවා ගැනීමේ තම අදේවවාදී ව්‍යාපාරය අමතක කර දමා ඔහු දේශපාලනය නම් මඩ ගොඩට බැස ඇති බවයි.

තමා දෙයියන් ඇදහීමට විරුද්ධව ගෙන ගිය ව්‍යාපාරයට සහ බුදු දහම පිළිබඳව කළ දේශනවලට පැහැදුණු අය තමන් ගේ දේශපාලන වැඩ පිළිවෙළ සඳහාත් නම්මා ගත හැකි වේදැයි සිතා දෝ, ඒ වසරේ (1999) දෙසැම්බරයේ පැවැත්වුණු ජනාධිපති ඡන්දය වර්ජනය කරන ලෙස ඉල්ලා පුවත්පත් දැන්වීම් පවා පළ කරමින් ඔහු දේශපාලන මඩ ගොහොරුවේ ගිලී කිමිදෙන්නට පටන් ගත්තේ ය.

ගංගොඩවිල සෝම පිළිබඳව මගේ සිතේ ඇතිව තිබූ ප්‍රසාදය ඒ ක්‍ෂණයකින් නැති වී ගියේ ය.

ඒ සමගම සිදුව තිබුණේ, අදේවවාදී, බුදු දහමේ අගය දන්නා අය ගංගොඩවිල සෝම කෙරෙන් දුරස් වී, ඒ වෙනුවට අති ජාතිවාදී බලවේග ඔහු වටා එක් වීමයි.

සෝම දියත් කළ ජනාධිපති ඡන්ද වර්ජනය පුස්සක් වූ අතර, අති බහුතරයක් ජනයා අපූරුවට තම සර්වජන ඡන්ද බලය පාවිච්චි කළහ. මම ද, ජීවිතයේ දෙවන සහ අවසාන වරට සිල් බිඳ ගත්තෙමි.

සෝම ගේ ඉල්ලීම නිසා නොවුණත්, තවත් අති ජාතිවාදී ව්‍යාපාරයක් වූඑල්ටීටීඊ සංවිධානය නම් ඡන්දය වර්ජනය කළ බව මගේ මතකයයි.

ඔහු ගේ ඒ අති ජාතිවාදී දේශපාලන ව්‍යාපාරයේ දී ගංගොඩවිල සෝම අවියක් ලෙස පාවිච්චි කළේ ඔහු ඕස්ට්‍රේලියාවේ සිටි අවසාන කාලයේ දී අල්ලා ගත්තා යැයි මා සිතන බංකොලොත් තර්කයකි.

බංකොලොත් වුණත්, රට එකක් නොවැ!

ඒ කතාව විස්තරාත්මකව ඊළඟට ලියමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ජූලි මාසයේ දී පැවති ඕස්ට්‍රේලියානු මැතිවරණය අවසානයේ දී මා ලියූ මේ ලිපියේ මුල් කොටස "මගේ දෙයියා සහ උඹේ දෙයියා" නමින් පසුගිය සතියේ පළ කෙරිණි.

ඕස්ට්‍රේලියානු මැතිවරණයට නිසා මට ගංගොඩවිල සෝම සිහිවුනේ ඇයිදැයි ලිපියේ ඊළඟ කොටසින් කියවන්න.

(image: http://www.sbs.com.au/guide/article/2016/07/18/pauline-hanson-please-explain)

79 comments:

  1. ගංගොඩවිල සෝම පිළිබඳව මගේ විශාල විරෝධයක් තිබුනේ නැතත් ඔහු‍ගේ මරණයෙන් පසුව එය ඝාතනයක් බව කියමින් නැටූ විගඩම ගැන නම් මගේ ලොකු අප්‍රසාදයක් තිබේ. ඒ මළමිනිය විකුණා බිහිවූ ඊනියා ජාතිකවාදී දේශපාලන ව්‍යාපාරය කෙතරම් බංකොළොත් ද යන්න 2011-2014 කාලයේ හෙළ උරුමයේ පාර්ශ්වය ගෙන අප සමඟ බුකි විවාද වලට සහභාගි වූ ජාතිකවාදීන්ටම තේරුම් යාම දෛවයේ සරදමක් නොවන්නේද ? අද ඔවුන් අපටද වඩා හෙළ උරුම විරෝධීන් වී සිටිති

    කෙසේ වුවත් සෝම හිමි පදනම් කරගෙන එවකට ර‍ටේ තිබූ දේශපාලනික වටපිටාව නිසා (කෙළින්ම කිව්වොත් රනිල් චෙම්බලේන් වික්‍රමසිංහගේ මුග්ධ දේශපාලනය නිසා) බිහිවූ මේ දේශපාලන ව්‍යාපාරයට සමාන්තර අවස්ථාවක් මගේ සිහියට එන්නේ නම් ඒ 1979 වකවානුවේ රොනල්ඩ් ‍රේගන් ජනපති කරවීම සඳහා ඇමරිකාවේ මූලධර්මවාදී කිතුණු සංවිධාන එකතුවෙන් ජෙරී ෆෝල්වෙල්ගේ නායකත්වයෙන් බිහිවූ මෝරල් මැජෝරටි නම් අන්තගාමි ව්‍යාපාරයයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලක්‍ෂාන් යුරෝපය පුරාත්, මා ඉන්නා රටේත් මේ දිනවල තරමක් හෝ අන්තවාදී, ඇතැම් විට ආගමික නැඹුරුවක් ද ඇති, කුඩා කණ්ඩායම් හිස ඔසවමින් තියෙනවා.

      ඒ ගැනත් ලිපියක් ලියන්නට මා සැලසුම් කර තියෙනවා.

      Delete
    2. හෙල උරුමය යනු කිසිසේත්ම සෝම හිමියන්ගේ දැක්ම දැරූ සංවිධානයක් නොවෙයි. එය ජනතාව මුලා කොට දේශපාලන වාසි ලබා ගැනීම සඳහාම පමණක් සෝම හිමියන්ගේ මෘත දේහය අලෙවි කිරීමක යෙදුනු සංවිධානයක්.
      හෙළ උරුමයේ මුල්ම පාර්ලිමෙන්තු සම්ප්‍රාප්තියේදී පාර්ලිමෙන්තු ගිය කොළොන්නාවේ සුමංගල සෝම හිමියන්ගේ දැඩි විවේචනයට පවා ලක් වූ නළුවෙක්.
      හෙළ උරුමය පසු පස ගිය උන් නම් පැහැදිලිවම තලේබාන් බෞද්ධයන්. දැන් ඒකට තරඟයක් තියෙනවා ගලගොඩාත්තේ උන්නාන්සේ එක්ක.

      Delete
    3. නයනේ -

      මට මතක විදියට, ඒ පක්‍ෂය ඇරඹුනේ සිහල උරුමය කියායි. තිලක් කරුණාරත්න, චම්පික රණවක සහ ගුනසේකර වැනි අය එහි හිටියා. එක ආසනයක් දිනා මහා රංඩුවක් පවා ඇතී කර ගත්තා. ඉන් පසු පක්‍ෂය සඟ සතු කර පූජා කළා, ඉන් පසු හෙළ උරුමය වී භික්‍ෂුන් ඉදිරිපත් කර ආසන විශාල සංඛ්‍යාවක් දිනා ගත්තා.

      අර වෘෂණ කෝෂ මිරීකීම සිදුවුනේ ඒ භික්‍ෂූ මැම්බර් ලා පාර්ලිමේන්තු ගිය දිනයකයි.

      Delete
    4. ඔව් සිහල උරුමය හෙළ උරුමය වී සිවුරු පෙන්වා මෝඩ බුද්ධාගම් කාරයින් ගොනාට අන්දවා. භික්ෂු වේශධාරීන් රැලක් පාර්ලිමේන්තු ගියේ එහෙම තමයි
      අර මිරිකීමේ සිද්ධියට ලක් වෙලා දේශපාලනයෙන් සමුගත්තේ ඔය උඩ නම කියැවිලා තියෙන සෝම හිමියන්ගේ විවේචනයට ලක් වුනු පුද්ගලයා තමයි

      Delete
  2. සෝම හිමි ලංකාවට කල බලපෑමට හොඳම සාක්ෂිය ඔහුගේ මරණයෙන් වසරකට පසුව ෂාරුක් ඛාන්ගේ ප්‍රසංගයේදී පුපුරා ගිය බෝම්බයයි.

    ReplyDelete
    Replies
    1. ඒ අන්තවාදයට තමයි තලේබාන්(*) බුද්ධාගම කියන්නේ!

      (* තලේබාන් යන්නේ විදෙස් භාෂා අරූතෙන් නොවේ!)

      Delete
    2. ඔබ හරියටම හරි ඉන් පස්සේ තමයි ඔය තිලක් කරුණාරත්නලාගේ සිහල උරුමය එහෙම බිහි වෙන්නේත්.අද ඥනසාරලාට,ඉත්තෑකන්දේ සද්ධාතිස්සලාට සෙල්ලම් කරන්න පිට්ටනියක් ලැබුනෙත් ඒ මරණයෙන් පස්සේ.ඒ වගේම ඔය මරණය ගැන හොයන්න දාපු "මැන්දිස් රෝහණධිර කමිටුවෙන්"ලැබුනේ බෙදුනු තීරණයක් වගේ මතක.

      Delete
    3. ඔය පහලින් වෛද්‍ය රුවන් ජයතුංග කියා ඇති පරිදි, දියවැඩියාව, හෘදය රෝග (සහ තවත් ව්‍යාධි) තිබුණු, ඒවාට නිසි ප්‍රතිකාර ගෙන නොතිබුණු මැදි වයසේ අයෙකු මිය යාම ගැන හදිසි මරණ පරීක්‍ෂණ මිස ඔය වැනි කොමිසම අවශ්‍ය නෑ, නමුත් පැවති තත්වය තුළ එය දේශපාලන උවමනාවක් වුණා කියායි මට හිතුණේ.

      බෝම්බ ගැසීම ගැනත්, කන්ස්පිරසි තියරි ගොතන්න හැකියි. එය ගංගොඩවිල සෝම ගේ අනුගාමිකයෙකු ම කළා ය කියා කියන්න බෑ නේද?

      Delete
    4. Manoj Fernando පොඩි අඩුපාඩුවක් තියෙනව​. සිහල උරුමෙ තිලක් හදන්නෙ ඊට කලින් ඒත් සෝම හාමුදුරුවො කපගැහුවට පස්සෙ තමයි එයාල සෝම හාමුදුරුවො වෙනුවෙන් මරාගන්න යන්නෙ.
      මුල කාලෙ සිහල උරුමෙ ගැන සෝම හාමුදුරුවො ඇහුවෙ සිංහලයගෙ උරුමෙ දුනු ඊතල වෙන්නෙ කොහොමද කියල​. එතකොට සිහල උරුමෙ ගන බලකායක් නෙවෙයි.
      සෝම අභාවයත් එක්ක හක් ගෙඩි සෙට් වෙලා ත්‍රස්ත විරෝදී බලකායෙ චම්පික මුදුන වෙනවා. තිලක් ඇතුලු මැදිහත් මිනිස්සු ඈත් වෙනව​. හැබැයි මන්ත්‍රීකම් 10ක් ගන්නව

      Delete
  3. සෝම නොකියා, සෝම හිමි කිව්වානම් හොද නෑතිද

    ReplyDelete
    Replies
    1. ලිපිය කිවේවාද? කරුණාකර නැවත කියවා බලන්න!
      එවිට ඔබට වැටහෙනු ඇති.

      Delete
    2. ගනන් ගන්න එපා ඇනෝ සහෝදරයා.
      ඔබ ගරු කරන තැනැත්තාට ඔබ ගරු කරන්න. එය එකිනෙකාගේ දැක්මට අනුවනේ සිදු වෙන්නේ ගෞරවය බලෙන් ගන්න බැහැ. උන් වහන්සේගේ වටිනා කම් දකින උන් උන් වහන්සේට ගරු කරනවා.
      තුට්ටු දෙකේ කපටි කෛරාටික වංචාකාර කෝටිපතින්ටත් යොදන "ලෝඩ්" කියන වචනය ඔය අපූරුවට ලෝකේ පුරාම නික්ලේශී බුදු රදුන්ටත් යොදන්නේ.
      ඕවා මොනවද?

      Delete
    3. /බුදු රදුන්/ බෞද්ධ රජ්ජුරුවෝ යන අර්ථයයෙන්ද?

      Delete
    4. මේ ලිපියේ යටි පෙල තමයි ගංගොඩවිල සෝම ගේ නම ලියා ඇති ආකාරය!

      Delete
    5. අප පොඩි කාලේ දහම් පාසලේ ඉගැන්නූ ජේපින් විශ්‍රාමික ඉස්කෝලේ නෝනා මහත්තයා, ඇය බුදුරදුන් යන වචනයට කැමති නෑ, එනිසා කියන්නේ නැති බව කීවා. ඇය කීවේ බුදු රජාණන්වහන්සේ කියා ලියන/කියන ලෙසයි.

      ඉංග්ලිෂ්වලින් ලියන කොට පාවිච්චි කරන Budda වචනයට මං අකමැති නිසා මං කාලයක් Samma Sambuddha කියා ලිව්වා.

      Delete
    6. ඇණයා,
      ඔබේ පෙන්වා දීම හරියටම හරි, එතැනින් මම මගේම තර්කය බිඳදාලා
      ඒක තනිකරම මගේ නොසැලකිලිමත් කම නිසා සිදුවූවක්.
      බුදු රදුන් කීමත් වැරදි යෙදුමක් තමයි.
      ස්තුතියි පෙන්වා දීමට

      මම හුඟක් තැන්වල යොදන්නේ බුදු හිමියන් කියලා
      පහලින් රසික කියල තියෙන දෙයත් හරි.
      හැබැයි බුද්ධ කියලා ඉංග්‍රීසියෙන් කීම වැරදි නැහැ කියල මට හිතෙන්නේ මොකද බුද්ධත්වයට වඩා ඉහල තවත් ගෞරවයක් නැතිනිසා.

      Delete
    7. //මේ ලිපියේ යටි පෙල තමයි ගංගොඩවිල සෝම ගේ නම ලියා ඇති ආකාරය!// ගංගොඩවිල සෝම හිමියන් නිකම්ම ගංගොඩවිල සෝම වීම.. +++++++++++

      Delete
  4. මනුස්සයෙකුට බැලන්ස් එකේ ඉන්න පුළුවන් ටික කාලයයිද කොහෙද. ඊට පස්සෙ අන්තයකට වැටෙනව. ඒකෙ ගිලිල මැරිල කාටත් අමතක වෙලා යනව.

    ReplyDelete
    Replies
    1. ඒක හරිම අවාසනාවක්!

      උදාහරණ නම් කොපමණ තියේද?

      නාතත් තරිකිට තෙයි
      කාටත් ඔය ටික වෙයි

      කියනවා වගේ අපටත් ඒකම වෙයි ද මන්දා?

      Delete
    2. ඕක හරියටම විස්තර කරලා තිබුනා මියගිය කුප්‍රසිද්ධ ද. මු. දසනායක හිටපු මන්ත්‍රිවරයා; බුදු මචෝ, එකතුවෙන සෙනඟ දැක්කාම, උන් ජයවේවා කීවාම උන්හිටි තැන් අමතක වෙනවා, රෙදි ඇදලද අමතක වෙනවා, මරාගෙන මැරෙන්න පුළුවන්, ( සොරි ඉතුරු ටික මතක නෑ), අපට උනත් ඒකමයි වෙන්නේ.

      Delete
    3. හුඟ දෙනෙකුට වෙන්නේ තමන් ගේ නියමිත මිල ලැබිලා අලෙවි වී යෑමයි!

      Delete
  5. රසික,

    සෝම හාමුදුරුවෝ දෙවියන් වගේම පන්සල් වල ඇති දේවල වල කපුකම් කරණ, කේන්දර බලන, නැකත් හදන හාමුදුරුවරු තදින් විවේචනය කළා නේද?

    මට යක්කඩුවේ පඥාරාම හාමුදුරුවන් වන කතා පොත් පෙලේ ලියපු කවියක් මතක් වුනා.

    "අපායට යන්න ඕනෑනම් උඹට
    කරපන් මහා ඇමතිකම එක දවසකට
    නැතිනම් පන්සලක දේවාලයක සිට
    අධිපති කම් කරපන් එක දවසකට"

    ඔය කවිය නිසා හතලිස් ගණන් වලදි පොත තහනම් උනාලු.

    ReplyDelete
    Replies
    1. අපායට යන්නට ඕනෑ නම් උඹට
      ඒ වලකන්න අප නම් නොම වෙමු පිහිට
      කුණුහරපම වපුරන බ්ලොග් එකක සිට
      ඇඩ්මින් කම කරපන් එක දවසකට

      Delete
    2. @ Anonymous 31 August 2016 at 14:38

      ඇතැම් පන්සල්වල පිළිලයක් වී තියෙන ඒ ආකාරයේ ගරානා ව්‍යාපාරවලට විරුද්ධ වීඟ නිසා තමයි මට ඔහු පිළිබඳ තිබුණු පැහැදීම වැඩි වුණේ!

      Delete
  6. පසු කාලීන හැසිරීම පිළිබඩද ගැටළුවක් වුනත්.ඔබ කියූ සෝම හිමියන්ගේ අදේව වාදී අදහස් වලට මාත් බෙහෙවින් ගෞරව කරනවා.දළදා මාළිගාව අවට දේවාල සතරේ සිටිනා දෙවිවරු සතර දෙනා පිළිබද උන්වහන්සේ කියූ උපහාසත්මක කතාවක් මට මතක් වෙනවා. උන්වහන්සේ දිනක් රූපවාහිනි වැඩසටහනකදී පැවසුවේ එම දෙවිවරු පිළිබද කතාව ඇත්තක් නම් එම දෙවි වරු සතර දෙනා ත්‍රස්තවාදී ප්‍රහාරයේදී ඔහුන් පැමිණි බස් රථයේ රෝද සතර හතර දෙනත් සමග එකතු වී වැව පැත්තටවත් හරවන්න තිබුනා නොවේද යන්නයි.

    ReplyDelete
    Replies
    1. හැක, හැක, ඒක නම් නියම ජොලි කතාව!

      ඔය දෙවියන් අදහන අය ගේ විහිළුසහගත කතාවක් තමයි භූමි කම්පාවක් වැනි දෙයක් වී සිය ගණනක් මිය ගිය තැනක එකෙකු දෙන්නෙකු සුනුබුන් අතරින් ගොඩ ගන්නා විට දෙවියන්ට ස්තුති කිරීම! ළඟදීම දැක්කේ ඉතාලියේ භූමිකම්පාවේ දී යි.

      සුනාමියේ දීත් ඔය වැනි විහිළු ප්‍රකාශ තිබුණා මතකයි.

      Delete
  7. ගංගොඩවිල සෝම හිමියන්ට අඩු තරමින් බුද්ධ ධර්මය පිළිබඳව වත් ගැඹුරු ඥානයක් තිබුණේ නැහැ. පිටිදූවේ සිරිධම්ම හිමිට (දැන් සමන්තබද්‍ර හිමි) ඇති ධර්ම ඥානයෙන් දහයෙන් එකක් වත් සෝම හිමියන්ට තිබුණේ නැහැ. ඉතින් බුද්ධ ධර්මය කියා බොරු ප්‍රචාරය කළා. මේවා සමහරක් ඒ කාලයේම බොදු උගතුන් වූ ලාල් හෑගොඩ හා දයාරත්න රණසිංහ මහතුන් පෙන්වා දී තිබෙනවා. සෝම හිමියන් ජනප්‍රිය වුණේ ජාතිවාදය ඇවිස්සීම නිසයි.

    ReplyDelete
    Replies
    1. මා ඔහු ගේ දහම් දෙසුම් අසා නෑ.

      ඔහු පන්සල්වල ඇති දේවාල සහ එවැනි මිත්‍යාවිශ්වාසවලට විරුද්ධව කළ කී දේ තමයි මා අගය කරන්නේ.

      Delete
  8. මගේ ප්‍රාර්ථනය නම් පූජකයන් නැති ලෝකයක්. ඒ කියන්නෙ තක්කඩි අවම වෙන ලෝකයක්.

    ReplyDelete
  9. සෝම හිමියන් ගැන උන් වහන්සේගේ ජන ප්‍රසාදයට පත් වීම හා බිඳ වැටීම කියන දේ ගැන, රසික කියන හුඟක් කාරන වලට මමත් එකඟයි.
    සෝම හාමුදුරුවෝ සතුව ඉතා හොඳ දේශනා ප්‍රාතිහාර්‍යයක් තිබුනා. ඒක තුලින් උන් වහන්සේට හැකි වුනා බොහෝ බෞද්ධයන් ට විචාර ශීලීව බුදු දහම දෙස බලන හැටි වටහලා දෙන්න. පෞද්ගලිකව මමත් බුදු දහම ගැන හොයන්න විචාර ශීලීව දහම විමසන්න ඉගෙන ගත්තේ උන් වහන්සේගේ දේශනා හරහා.
    ඒත් අපිට බන කිවූ උන් වහන්සේටත් වැරදුනා. ඒ මම දකින හැටියට උන් වහන්සේම දේශනා කල දහම තුල උන් වහන්සේ පැවතීමට අපොහොසත් වීම නිසයි.

    කොහොම වුනත් මම අදටත් මට දහම දෙස බලන්නට මග ජීවමානව පෙන්වා දුන් ගරුතර සෝම හිමියන්ට ඉතාමත් ම ගෞරව කරනවා.

    ReplyDelete
    Replies
    1. මා ඔහු ගේ බණ කිසි දිනෙක අසා නෑ.

      මා කැමති වුනේ අදේවවාදී අදහස්වලටයි.

      මගේ ඒ ප්‍රසාදය නැත්තටම නැතුව කියා පසු කාලයේ ඔහු ජාතිවාදී බලවේග සමග එකතු වූ විට!

      Delete
  10. හාමුදුරුවරු සිටිය යුත්තේ බුද්ධ ධර්මය දේශනාකර පැහැදිලි කිරීමට නේද?
    වරදින්නේ දේශනාවෙන් නොනැවතී ඔවුන් බුද්ධ ධර්මය (හෝ එය යයි ඔවුන් සිතා සිටින දේ) සමාජය තුල ක්‍රියාත්මක කිරීමට යාම නිසායි. පූජ්‍ය පක්ශය දේශනාකරන්නන් මිසක් enforcers නොවිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ධර්මය දේශනා කර පැහැදිලි කරදෙන්න හැකිවෙන්නේ හිතන මතන බුද්ධිමතුන්ටයි, ගම් වල පන්සල් වල කාරියවුනේ කතාන්දර ආකාරයෙන් ආගමික ප්‍රචාරයේ යෙදීමටයි, මිනිස්සු කතන්දර අහන්න එන්නේ මහන්සි නැති නිදහස් වෙලාවට දවස්වලටනේ, ඉතිරි දවස්වලට වේල සරි කරගන්න නම් තඟ දාන්න බය කරන්න වෙනවා. ඔය මහනුවර යුගය වෙනකොට හාමුදුරුවෝ නැති වෙලා කුඹුරු කොටන පාට් ටයිම් ගනින්නාන්සෙලා උන්නය කියන්නේ, එයාලා බට කරන්න / තග දාන්න හොද නෑ කියල කතාන්දර විතරක් කියන්න යන්නැති.

      Delete
    2. ඒ එන්ෆෝසර්වීම එන්න එන්න ම වැඩි වෙනවා ඔය සෝම, ඥාණ වැනි විවිධ කල්ට් නිසා. ඒකේ අග්‍ර ඵලය ගලගොඩත්තේ!

      Delete
    3. ඇත්තටම ඒ කල්ට් භික්‍ෂූන් එන්ෆෝසර්ස් ලා නොවෙයි ඩොන් ලා. එන්ෆෝසර්ලාට, බිලීබෝයිස්ලාට ගන්නේ ගිහියන්වයි!

      Delete
  11. ලක්ශාන්ට පිළිතුරු ලෙස ඔබේපෙර ලිපියේ සඳහනේදී මා දෙවියන් කියන වචනයෙන් අදහස් කලේ මැවුම් වාදි දෙවියන් මිස බුදු දහමේ කියැවෙන දේව කියන සත්ත්ව කොට්ඨාශය ගැන නෙවෙයි.
    මේක ඇත්තටම මුලින්ම "ගෝඩ්" කියන වචනය සිංහලයන්ගේ භාවිතයට පැමිණි විට කල පරිවර්ථන දෝශයක්. ඉංග්‍රීසි ගෝඩ් යනු සිංහල දෙවියන් නෙවෙයි. ගෝඩ් යන්න බ්‍රහ්ඃමන් ලෙස පරිවර්ථනය කලා නම් අපේ මිනිසුන් එය වඩා හොඳින් වටහා ගන්නට තිබුනා.
    මා ඒ වරද වලක්වා ගැනීමට තමයි හැම විටම මැවුම්කරු කියන වචනය යොදන්නේ.

    බුදු දහමේ කියැවෙන දෙවියන් මිනිසුන් තිරිසනුන් මෙන්ම පංචස්කන්ධ ධරන ජීවීන්. උන්ට රූපයක් හා සිත ඇතුළු නාමයන් තියෙනවා කියලයි කියැවෙන්නේ. මේ දෙවියන් ජීවී කොට්ඨාශයක් ලෙස ගන්න එපා. උන් සත්ත්ව කොට්ඨාශයක්.

    දහමේ උගන්වන හැටියට සත්ත්වයෙකු වඩා පින්වන්ත උපතක් ලැබීම යනු වඩා බුද්ධිමත් සත්ත්වයෙකුව උපත ලැබීමයි. ඒ අනුව දෙවියන් හා බඹුන් මිනිසාට වඩා උසස් ලෙස සලකනවා.

    ඒත් මේ දෙවියන්ට පුදසත්කාර කර මිනිසාට කිව්සිවක් ලැබීමට බැහැ.

    බුදු හිමියන්ම කියනවා
    සියළු සත්ත්වයින්ටම ආයු වර්න සැප යසස හා මෝක්ශය කියන කාරනා කැමතියි ලැබීමට සුදුසුයි කියලා.
    ඒත් එක්කම උන් වහන්සේ කියනවා මේවා යමෙකුට දෙවියෙකු පිදීමෙන් හෝ යැදීමෙන් ලැබිය හැකිනම් මේ ලෝකයේ කාට නම් කුමකින් අඩුවක් වේවිද කියා.
    මෙන්න මේ තුළින් ප්‍රඥා වන්තයාට බුදු දහමේ එන දෙවියන් ගැන වටහා ගත හැකියි.

    ReplyDelete
    Replies
    1. ඔබ අදහස් දක්වන මේ ආකාරය එහි ඇති තර්කාන්විතබව නිසා මා සිත ගත්තා. තව දුරටත් මේ ගැන අධ්‍යයනය කරන සිතුණා.

      ඒ ගැන ස්තුතියි නයනේ.

      නමුත් ඉන්ද්‍රියගෝචර නැති දේ ගැන නම් මගේ පිළිගැනීමක් නෑ.

      Delete
    2. ඔබ යම් අතීතා වර්ජනයක් හෝ කිසිදිනෙක අසා නැති දැක නැති යමක් සිතින් නිර්මාණය කරනා විට එය ගෝචර වන්නේ ඔබෙ කිනම් ඉන්ද්‍රියයකටද?

      Delete
    3. ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. නමුත් පිළිතුර ඉතා සරලයි.

      එනිසා එය කෙලින් ම නොකියා මෙහෙම කියන්නම්.

      අන්ධයින් අලියා ගැන විස්තර කළ හැටි අසා තියෙනවා නේද?

      :-)

      Delete
    4. හොඳයි මට මොහොතකට කට උත්තර නැති වෙන පිළිතුරක් ඔබෙන්.

      මම මෙහෙම අහන්නම්, සුප්‍රකට සාපෙක්ශතා වාදය ඇල්බර්ට් අයින්ස්ටයින් නම් විද්වතාට ගෝචර වූයේ කුමන ඉන්ද්‍රියක් ඇසුරින්ද?
      සාපේක්ශතා වාදය යනු අංග සම්පූර්ණව සවිස්තරාත්මකව ඉදිරිපත් කල දැනුම් පද්ධතියක් බව ඔබ පිළිගන්නවාද?

      Delete
    5. මෝඩයි කියල මෙහෙමත් මෝඩ පොරවල් ඉන්නවද?
      අයින්ස්ටයින් ඒක සාධනය කලේ ගණිතය උපයෝගී කරගෙනයි. එයින් ප්‍රයෝජන ගන්න පුලුවන්නම් සහ නිරීක්ෂණ සමග එය ගලපෙනම් එතනින් එහාට විධ්යාවට එය පිළිනොගෙන ඉන්න හේතුවක් නැත. අනික අයින්ස්ටයින් කියල තියෙන දෙය කවදාවත් වැරදි නොවෙන දෙයක් නොවේ. අලුත් අලුත් පරීක්ෂණ නිරීක්ෂණ ඔස්සේ අයින්ස්ටනිගේ තියරිය ප්‍රතික්ෂේප වීම හෝ තව දුරටත් දියුණු වීම විද්‍යාව විසින් ප්‍රතික්ෂේප කරන්නේ නැත.
      නලින්ද සිල්වාගෙන මෝඩකම ඉගෙනගත්තාට කමක් නැත. ඕන තැනයි එපා තැනයි ප්‍රදර්ශනයට ලක් කිරීම හිරිකිතය

      Delete
    6. නයනේ-
      මට වැටහෙන පරිදි ඔබ මේ මතු කරන්න හදන්නේ මනස පිළිබඳ බවත්, එය ඉන්ද්‍රියක් වන/නොවන බවත් විය යුතුයි.


      අයින්ස්ටයින් යනු ගණිතඥයෙකුබවත්, සාපේක්‍ෂතාවාදය යනු ඔහු සාධනය කර ඉදිරිපත් කළ න්‍යායක් බවත් මා කියවා තියෙනවා. නමුත් ඒ ගැන කිසිදු වැඩිදුර අධ්‍යයනයක් මා මගේ අධ්‍යාපනය ලැබූ කාලයේ හෝ පුද්ගලිකව කර නෑ.

      ගණිතයෙන් ඔප්පු කර පෙන්විය හැකි, සමාන්තර විශ්වයන්, බහු මාන ලෝක පිළිබඳවත්, මා දකින තුරු මා විශ්වාස නොකරනු ඇති!

      Delete
    7. අයින්ස්ටයින් ගේ සාපේක්‍ෂතාවාදය ඔහු සාධනය කළේ තර්කය හා එවකට තිබු සමීකරණ ඇසුරෙන්. ඔහු හිතේ පරීක්ෂණ (thought experiment) කළා. ඔහුගේ නියමය ගණිතමය ඇසුරෙන් සාධනය කළේ රුසියානු ජාතික ෆ්‍රිද්මන්. මේ මගේ බ්ලොගයේ ඒ විස්තරය ටිකක් තිබෙනවා. මේකට කියන්නේ Friedmann–Lemaître–Robertson–Walker (FLRW) metric. ඒ හතර දෙනා විසඳුම ඉදිරිපත් කළ නිසා. සමාන්තර විශ්වයන් ගැන තවම ඔප්පු කරලා නැහැනේ. ස්ට්‍රින්ග් තියරි එක බහු මාන ගැන කථා කරනවා.
      http://quantumchecks.blogspot.co.uk/2014/03/einstein-equations.html
      අයින්ස්ටයින් කියපු දේ කිව්වේ space-time framework එක ඇතුලේ. ඒක ඇතුලේ එක නිවැරදිව සාධනය කරන්න පුළුවන්.

      Delete
    8. මෙතැන මේ පිළිතුරු දක්වා ඇති ආකාරය ගැන ඉතාමත් කණගාටුයි.
      මේ ඇනෝ සහෝදරයා උඩ බිම නොබලා මා කීවායැයි ඔහු සිතාගත් දෙයක් ගැන දොඩවන නිසා ඔහුට පිළිතුරු දීමෙන් පලක් නැහැ.

      එසේම අජිත්ට හා රසිකට කිව යුත්තේ මා සාපේක්ශතාවාදය ගැන හෝ අයින්ස්ටයින් විද්වතා ගැන කථා කිරීමට මෙහි උත්සහ කලේ නැහැ. එය වෙනම කථා කල යුතු කාරනයක්.
      මා කීමට තැත් කල දෙය යම් තරමකින් රසික ග්‍රහනය කරගෙන තිබීම ගැන සතුටුයි.
      රසික, මනස හෝ සිත යනු ඉන්ද්‍රියක් බව ඔබ සිතනවාද?

      Delete
    9. ආපහු මෝඩකම පෙන්නනවා හිර උනාම.
      මෙන්න ඔබ කියපු දෙය.
      //මම මෙහෙම අහන්නම්, සුප්‍රකට සාපෙක්ශතා වාදය ඇල්බර්ට් අයින්ස්ටයින් නම් විද්වතාට ගෝචර වූයේ කුමන ඉන්ද්‍රියක් ඇසුරින්ද?
      සාපේක්ශතා වාදය යනු අංග සම්පූර්ණව සවිස්තරාත්මකව ඉදිරිපත් කල දැනුම් පද්ධතියක් බව ඔබ පිළිගන්නවාද?//
      එක්කෝ ඔබට ප්‍රශනයක් අහන්න තේරෙන්නේ නැහැ. නැතිනම් ඔබ අසපු ප්‍රශ්නයේ තේරුමක් නැහැ.
      අංග සම්පූර්ණ දේවල් විද්‍යාවේ නැහැ. එහෙම දේවල තියෙනවනම් විද්‍යාව දියුණු වෙන්න විදියක් නැහැනේ.
      අංග සම්පූර්ණ දේවල් තියෙනවා කියල දේශනා කරන්නේ ආගමයි. එබැවින් ආගමේ කියවෙන යම් කිසි සුළු දෙයක් හෝ බොරුයි කියල පිළිගන්න කිසිම ඉඩක් නැහැ. එහෙම පිළිගත්තු ගමන් ආගම බොරු වෙනවා.
      මෝඩකම වහගන්න තව මෝඩකතා දොඩවන්න එපා. මටනම් හිතෙන්නේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවන දේවල් විද්‍යාවෙත් තියෙන නිසා ආගමේ කියවෙන දේවල් ඉන්ද්‍රිය ගෝචර නොවූ පමණින් ප්‍රතික්ෂේප කිරීම වැරදි බවයි ඔබ කියන්න හදන්නේ. එකට තමයි මම උත්තරේ දුන්නේ.

      Delete
    10. @ නයනේ
      මනස යනු සැබෑ ඉන්ද්‍රියක් නොවේ. එය අපේ සිතීම යන ක්‍රියාවලිය විස්තර කිරීම සඳහා අප විසින් සාදාගත් අතත්‍ය සංකේතාත්මක යමකි. ඇත්තටම එය ස්වභාවික දේ විස්තර කර ගැනීම සඳහා දෙයියා යනුවෙන් සංකල්පයක් මවා ගැනීම හා සමාන ය.

      Delete
  12. හදිසියේ මලේ නැත්තං සෝම කියන්නේ මොකක්ද කියලා කස්ටියට සෙමෙන් අවබෝධ වෙනවා..
    බුදුදහම කියන්නේ දෙවියන්ට එලව එලවා පහරදෙන දහමක් නෙමෙයි..බෞද්ධ ආගම තුලත් දෙවියන් කොටසක් සිටින බව කියා තිබෙනවා..

    මා දකින්නේ සෝම කියන්‍ේනේ ඥාණසාර වැනි අන්තවාදීන්ගේ එක ආකාරයක්..අනෙක් ආගම් වල මූළය දෙවියන්..ඔහු හොදටම අව‍බෝධ කරගත්තා දෙවියන්ට ගැහුවොත් ඔක්කොන්ටම වදිනවා කියලා.. නැතුව‍මේ බුදුදහම උගන්වන්න ඕනි නම්..බුදුදහම ප්‍රචාරය කරන්න ඕනි නම් එයට වෙනත් මාර්ග ඕනි තරම් තයෙනවා..දෙවියන් තතෝරගෙන දෙවියන්ට දිගට හරහට බැටදුන්නේ එයාට අන්‍යාගම් එක්ක තිබුන වෛරය පිරිමහගන්න..

    අවාසනාවට එයා පීක් එකේදි මලා.. නැතුව තා ටික කලක් ගියානං බලු වෙලා දානෙ වේලක් ලැබෙන්නේ නැති මට්ටමට වැටිලා චාටර් වෙලාම යනවා..

    ReplyDelete
    Replies
    1. / අවාසනාවට එයා පීක් එකේදි මලා.. නැතුව තා ටික කලක් ගියානං බලු වෙලා දානෙ වේලක් ලැබෙන්නේ නැති මට්ටමට වැටිලා චාටර් වෙලාම යනවා/ එහෙම වෙන්නේ නෑ, පිහිටවෙන්න මරාලා වීරවංශල මේ රටේ ඉන්නවා, හිටං නුත් ඉන්නවා.

      Delete
    2. මටත් සෝම හිමි ගැන තියන අදහස මීට සමානයි. ඔහු බණ දේශනා කලේ පහදාදෙන අදහසට වඩා පහරගහන අදහසින් බව තමයි මමත් දැක්කේ. අනික ඒ දේශනා කිසිවක් මිනිසුන්ට බුද්ධියෙන් හිතන්න පොළඹවනසුලු ඒවා නෙවෙයි, අරක වෙනුවට මේක කරපල්ලා වගේ දෙයක් තමයි ඔහු කිව්වේ. හෙළ උරුමයට ලේසියෙන් සෝම හාමුදුරුවෝ හදපු අනුගාමික සෙට් එක තමන්ට නතු කරගන්න පුළුවන් වුණේ ඒ නිසයි.

      Delete
    3. මා ඔහු කියූ බණ නම් අසා නෑ. නමුත් ඒ අදේවවාදී, මිත්‍යදෘෂ්ටි විරෝධී අදහස්වලට පොදුවේ මා කැමති වුණා.

      ඔහු මිය ගියේ නැතිනම් පීචං වෙලා යන්නට නියමිතයි කියලා සිතුණත්, අදත් එවැනි අය, උදා ගලගොඩත්තේ, මතුව ඇති තත්වය තුළ එහෙම කියන්නටම බෑ නේද?

      Delete
  13. සුද්දට බන කිව්ව වගේ ලේසි නෑ අපේ මිනිස්සු එක්ක, බුදු හාමුදුරුවෝ හිටියේ ලංකාවේ කියල පහුගිය දවස්වල ගිය හා හෝව මං විශ්වාස නොකලේ ඒ හින්දයි.

    ReplyDelete
    Replies
    1. ඒ බුදුන් හිටියේ අඵේ රටේ කතාව ගැන පොතකුත් ලියලා තියෙනවා නේද? අර කුස තණවල ෆොටෝ හිටං දාලා?

      Delete
  14. ගංගොඩවිල සෝම හිමි ගිහි කාලයේ පවා මට මතකයි. එතරම් උගත්කමක් තිබුනේ නෑ . සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබන්න ඇති. බුද්ධ ධර්මය පිළිබඳව ගැඹුරු ඥානයක් තිබුණේ නැහැ. වෛද්‍ය ඩී.වීජේ හරිස්චන් ද්‍ර මහතා සමග අයිටීඑන් එකේ නැණ පහන වැඩසටහනේදී සෝම හිමි බොහෝ අවිද්‍යාත්මක කරුණු කිවා නමුත් ඒ කාලේ එවා විශ්ලේශනාත්මකව සිතීමට අපේ සමාජය හුරු වෙලා තිබුනේ නෑ. සෝම හිමි තමන් නොදන්නා විශයන් ගැනත් කතා කිරීමට ගොස් නොදැනුවත්භාවය පෙන්නුවා උදා ලෙස මෝහනය ගැන එසේම මිඩ් වයිෆ්ලා ගේ රාජකාරි පථය ගැන සෝම හිමි නොදැනුවත් බව මට තේරුම් ගියා. එසේම හිසට බේත් දමා මොලයට බේත් උරා ගන්නා බව සිංහල වෙදකමේ තියන බව කීවා. මෙයට වෛද්‍ය ඩී.වීජේ හරිස්චන්ද්‍ර නිහඞව සිටියා පමණයි. සිංහල වෙදකම ගැන තිබූ අධි තක්සේරු මුලාව නිසා සෝම හිමියන් තමන්ට තිබූ දියවැඩියාවට විද්‍යාත්මක ප්‍රතිකාර නොගෙන ආයුවේර්ද - සිංහල වෙදකම් කල කූට වෙදෙක් ගේ ප්‍රතිකාර ගෙන දියවැඩියාව අසාධ්‍යව හෘධය අක්‍රිය වී අපවත් වූවා.

    ReplyDelete
    Replies
    1. රුවන්ලා පොඩි කාලේ දහම් පාසල් යන කොට පන්සලේ හිටිය සෝමරත්න නම් තරුණයා පසුව ගංගොඩවිල සෝම වුණු බව ඔබ ලියා තිබුණා නේද?

      http://transyl2014.blogspot.com/2016/08/blog-post_21.html

      Delete
    2. වෘත්තිකයෙකු ලෙස වෛද්‍ය රුවන් ජයතුංග මේ දක්වා ඇති අදහස් ඉතා වැදගත්.

      මුලිකව ම, නොදන්නා කරුණු ගැන ප්‍රසිද්ධ පුද්ගලයින් ප්‍රසිද්ධ වේදිකාවල කරුණු දැක්වීමේ ඇති අනතුර

      දෙවනුව, නිසි වෛද්‍ය ප්‍රතිකාර නොගෙන ලෙඩ කුරුවල් කර ගැනීමේ අනතුර

      ඒ සමගම, ප්‍රසිද්ධ අය ස්වාභාවිකව මිය ගිය විටත් ඒවා වටා විවිධ කටකතා ගෙතීමට ඇති හැකියාව.

      Delete
    3. ඔය 'කටකතා' වලට හේතුව මරණයෙන් අනතුරුව ප්‍රකාශයට පත්වූ ඡායාරූප නේද?

      Delete
  15. රුවන්,

    "උදා ලෙස මෝහනය ගැන එසේම මිඩ් වයිෆ්ලා ගේ රාජකාරි පථය ගැන සෝම හිමි නොදැනුවත් බව මට තේරුම් ගියා. එසේම හිසට බේත් දමා මොලයට බේත් උරා ගන්නා බව සිංහල වෙදකමේ තියන බව කීවා."

    ගණන් ගන්න එපා. දොස්තරලට ලෙඩ සහ තවත් දේ ගැන උගන්නල දොස්තරලා වෛද්‍ය විද්‍යාව ගැන අප්ඩේට් කරන්න පුළුවන් සාමාන්‍ය මිනිස්සු ඉන්න රටක් නේ ලංකාව. ඒ බව ඔයා හොඳටම දන්නවනෙ. ඉතින් දුක් වෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්,ඩොක්ට රුවන් ඔය හාවඩ් විශ්වවිද්යාලෙ හෙම ආරාධිත දේශන කරන්ඩ ගියාට අලුත්ම රිසර්ච් ගැන අප්ඩේට් නැත්නම් අපේ ටුවරිස්ට් ගයිඩා හම්බවෙලා අලුත්ම රිසර්ච් පේපර්ස් ගැන අප්ඩේට් වෙලා යන්න.

      Delete
    2. haha..classic
      ගූත හොරෙන් මේවා බලල ගිහින් තරහෙන් පුපුරා පුපුරා ඉන්නවලු ගැනිටත් තඩි බබා

      Delete
  16. චන්දෙට සම්බන්ධෙ හොයාගන්න ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. දේශක යා,

      ඉඟියක් මේ පෝස්ට් එකේ උඩින් ම ඇත.

      Delete
    2. @ දේශක යා,

      ඔය උඩින් ඇති ඡායාරූපයේ ඉන්නේ විසිවසරකට පසු නැවට ඔසී පාර්ලිමේන්තුවට 2016 දී පැමිණි මෙන්න මෙයා ය.
      http://rasikalogy.blogspot.com/2016/09/pauline-hanson-and-her-influence-on-sri.html

      Delete
  17. සෝම හිමියන්ව උෂාර් (පැරාගෙන් ඉගෙන ගත් වචනයක්) කරල ඔය රසික පෝස්ට් එකෙන් කියන රූපාන්තරණය කෙරෙව්වෙ අපේ බෞද්ධ උපාසක සෙට් එකම තමයි . අන්තිමට නොදන්න මගුල් කතාකරන්න ගිහින් අමාරුවෙන් ගැටගහගෙන සිංහල කතාකරපු අෂ්රෆ් ටත් පදිරි උනා ටී එන් එල් එකේද කොහෙද විවාදෙකට ඈවිත්..

    ReplyDelete
    Replies
    1. ඒ මේ ලිපියේ ඊළඟට එන එපිසෝඩයක්.

      Delete
    2. පදිරි = පීචං? කිච? පැරදීම???

      Delete
    3. පදිරි
      පදිරි වීම මුලිකවම දෙයාකාරයකට වෙන බව මගේ මිතුරන් බොහෝවිට පවසයි...
      එනම අපි පදිරි වීම සහ අපිට පදිරි වීමයි....
      අපේ පෙර පින් වල ආනුභාවයෙන් හැම විටකම පාහේ අපි පදිරි වෙන අතර ඉද හිට එහෙමත් දිනක කොහේ හරි නන්නත්තාරේ ගිය අප්පුහාමි කෙනෙක් වගේ එකක් අපිට පදිරි වෙනවාය...
      ගිය සතියේ දිනක ඉන්ටව් එකක්කට ගිය අපේ අල්ලපු ගෙදර අයියා කඩ්ඩ වනා ගන්න බැරුව අම්බානට පදිරි උන බව හවස ගෙදර ඇවිත් ඌ කොල්ලන් සමග කී හැටි මට යන්තමට මතකය...රිසෙප්ශන් එකේ හිටංම අම්බානට කඩු පාරවල් කා ලේ ගලමින් මැනේජරයා අසලට ගිය හැටිත් ඌත් කිසිම හිතක් පපුවක් තැතුව තව තව දරුණු කඩු පාරවල් එල්ල කල හැටිත් අයියා පැවසුවේ හැඩූ කදුලිනි....

      කඩ්ඩ ගෑවිච්ච ගෑවිච්ච තැන්වල අම්බානකට පොඩ්ඩක් වැඩිවෙන්න අපි පදිරි වෙන බව අපි ඉන්තේරුවෙන්ම දන්නා නිසා අපි වැඩිය කඩු කිනිසි භාවිතයට මනාප නැත...
      මේ අස්සෙන් මට මතක් වෙන්නේ අපේ "බෙලෙක්ක ජෝතියා" ඩයලොග් අක්සියාටා එකේ ඉන්ටව් එකක්කට ගොහින් එතන ඉන්ටව් බෝඩ් එකම පදිර කෙරූ පුවතය...
      ඉන්ටව් එකට ජෝතියා සමග ගියේ මම තුමාය......
      උගේ ඉන්ටව් එක ඉවර වෙනකම් අම්බානට පැය ගානක් පාර අයිනේ පදිරි උනෙමි....
      අවසානයේ ඉර අවරට හැරෙන්න ඔන්න මෙන්න තියා මුහුන පුලුටු කර ගත් බෙලෙක්කයා ෆයිල් එකත් උස්සන් කෙලගෙන එනවා දුටුවෙමි....
      මොකක්ද මචන් සීන් එක....මම සේප් එකේ ඇසුවා මතකය....
      බලපන් බන්....අර ඇතුලේ ඉන්න ගෑනි මගෙන් ඇහුවනේ අම්මත් එක්ක එකට එක කියනවද කියලා....
      ඉතින් උබ මොකද කිව්වේ....
      මම ඔව් කිව්වා.....
      නොදෝමකින්...යකෝ...ඉන්ටව් එකක තෝ ගෙදර මරා ගත්තත් ඔහොම අහනකොට නෑ කියලා ගස් හිවලො කියන්නේ.....
      ඒවා මම දන්නේ නෑ...මම දුන්නා ඒ ගෑනිට ඇට්ටි හැලිලා පදිරි වෙන්න...ඒකිට වැඩැක් නෑ නේ ගෙදර ඒවා...බ්ලා...බ්ලා...
      බෙලෙක්ක ජෝතියා ඩයලොග් එකේ ඇන්ටිව ඉන්ටව් එකේ පදිරි කරාට පස්සේ මතක ඇති කාලෙක ආය ඌ ඉන්ටව් ගිය වගක් මට මතක නැත....
      ඉන්ටව් යෑම ඌට එච්චරටම පදිරි සිද්දියක් වී හමාරය....
      ඒ සිද්දි කොහොම වෙතත් මේ දවස් වල නැගලම යන සිද්දිය අර ඇන්ටිගේ පදිරි පෝන් කෝල් එක සහ නංගි බබා ගේ පදිරි සින්දුවය...
      වීඩියෝ පටය ගැන කතා කරන්න ගිහින් පදිරි වෙන්නට මට බැරිය......
      ඒ දරුවන්ට හම්බකරලා දෙන්න රට ගිය ගෑනියක්ගේ දුක පදිරි ජෝක් එකක් නොවන නිසාය.....
      ඒත් අර සූටි නංගිගේ ගායනාව නම් පට්ට පදිරිය පදිරිය.......කොච්චරට පදිරි කියනවා නම් අපේ ටොමියාට ඒ සින්දුව ඇහෙනකොට පදිරි වැඩිවේ යන්තමට කෙදිරි ද ගැවෙයි....
      කොහොමෙන් කොහොම වෙතත් අපේ අප්පච්චි නම් කියන්නේ රට දැන් ටික ටික පදිරි වේගෙන එනවා කියාය....
      අප්පචිලාගේ කතාවලට හොට දමා පදිරි වෙන්නට අකමැති නිසා පදිරි සටහන මේ හරියෙන් නවත්තන්නම්....යන්ට කලින් මතක් කරන්ට ඕනේ මේක......
      කොල්ලෙක් වශයෙන් පදිරි වීමේ කල්යිමැක්ස් එක කෙල්ලෙක්ට පදිරි වීම....ප්‍රබුද්ධ විදිහට කියනවා නම් විරහා වේදනාව.....
      කෙල්ලන්ට පදිරි උනාට කමක් නෑ.....
      වැටිච්ච වැටිච්ච තැන්වල කෙදිරි ගගා නොයිද පදිරි වෙච්ච තැන් අමතක කරලා ඉස්සරහට යමන්.....
      නැත්ත ජීවිතේම පදිරි වෙලා යනකම් උබලා දන්නෙ නෑ....

      Delete
  18. වෙලාවට සෝම හාන්දුරුවෝ මැරෙනකම් මට බණක් අහන්න බැරි උනා.. :) (ඇත්තටම කියුවොත් මැරුණා කියල හා හුව යනකම් කාගේ කවුද කියලවත් මං දැනන් උන්නේ නෑ.. හැක්)

    දෙයියෝ ගැනත් එහෙමයි.. තමන් හිසට තම අතමය සෙවනැල්ල!

    ReplyDelete
    Replies
    1. මැරුණායින් පස්සේ කේස් දන්නවා නම් පොර මැරෙන්නේ නැතුව ඉන්නත් ඉඩ තිබුණා! ඇයි පාර්ලිමේන්තු යන්න ඉඩ තිබුණා නේ!

      Delete
  19. බ්ලොග් කරුවන්ට කුණුහරුපයෙන් අපහාස කිරීම තරයේ හෙලා දකිමු....

    පිස්සන් ගාල් කරමු......

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැත.
      බොරු චෝදනා, කුණුහරුප, අපහාස, නින්දිතයි!

      Delete
  20. Rasika handahana ehema katawath deela thiyenawada kawada hari, naththam upan welawa wath kiyala thiyenawada? Mama hithanne ara goyya oya ano kathawa handahana balala thamayi hoyagena thiyenne! Naththam ochchara budu sure wenna widihak na. Kiyanna ba ugema handahana balala hoyagaghthada kiyalath, wadakarayane...

    ReplyDelete
  21. ගංගොඩවිල සෝම හිමි ගැන මගේ කියවීම මෙහෙමයි.
    මම සෝම හිමිගේ බණ දේශනාවක් (ලයිව්) අසා ඇත. ඒ අපේ රැකියා ස්ථානයේ බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් සංවිධානය කෙරුණු ධර්ම දේශනාමය පිංකමකදීය. ඒ සිද්ධිය වුනේ සෝම හිමියන් ජනප්‍රිය වූ මුල් කාලයේදීමය. ඒ ධර්ම දේශනාව සෑහෙන ප්‍රෝග්‍රෙසිව් තත්වයක තිබුනා මතකය. සෝම හිමිගේ එක් කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ ආයතන ප්‍රධානියා පවා කෙළින් විවේචනය කිරීමය. (බොහෝ අවස්ථාවලදී හාමුදුරුවරුන්ගේ විවේචනයට ලක් වන්නේ අවශේස ජනයා මිස ප්‍රධානීන් නොවේ.) දේවවාදයටත් පන්සල්වල කෝවිල් අටවාගෙන සිටිනා විහාරාධිපතිවහන්සේලාටත් ඇට්ටි හැලෙන්නම දුන්නා මතකය.

    සෝම හාමුදුරුවෝ අතින් වූ වැරැද්දක්නම්, බෞද්ධයා නගාසිටුවීමට ගොස් අබෞද්ධයා කෙරෙහි වෛරයක් ජනිත කරවීමය. එය සිදුවුනේ මෙසේය.

    සෝම හාමුදුරුවෝ කීවේ බෞද්ධයාගේ (හෝ සිංහලයාගේ) අලසකම නිසා ආර්ථික හා සාමාජීය වශයෙන් පිරිහෙන බව ය. එය ඇත්තකි. එහෙත් එය කාවැද්දවීමට උන්වහන්සේ කළේ අනිත් ජාතීන්ගේ හා අන්‍යාගමිකයන්ගේ ප්‍රයත්නයන්, ආගම හා ජාතිය කෙරෙහි කැපවීම වර්ණනා කිරීමයි. එය හරියට පොඩි එවුන් බත් කන්නේ නැති විට අල්ලපු ගෙදර එකා හොඳට බත් කන බව කීම වැනි වැඩකි. මෙය ඇසූ බොහෝ සිංහලයන් තමන් දියුණු වීම පසෙක ලා අන්‍යාගමිකයන් දියුණු වීමට ඊර්ෂ්‍යා කරන්නටත් වෛර කරන්නටත් පටන් ගත්තෝය. මේ වෛරය හරහා සෝම හිමියන්ගේ ජනප්‍රියත්වය වැඩි වන්නට වූ අතර තමන් ජනප්‍රිය වන්නේ කෙසේදැයි නිවැරදිව වටහා ගැනීම හරහා සෝම හිමියන් කලේ එම වැඩසටහන (එනම් අන්‍යාගමිකයන් ගේ ආගමික ලැදියාව හා කැපවීම ඉහළින් තබා කතා කිරීම) තව තවත් උත්කර්ෂයෙන් යුක්තව කීමට පටන් ගැනීමයි. සෝම හිමියන් ජාතිවාදියකු හා ආගම්වාදියකු බවට පත් වන්නේ එතැනිනි.

    මෙය අවසානයේ දේශපාලනික ව්‍යාපාරයක් බවට ම වර්ධනය විය. අෂ්රොෆ්ගෙන් ඉල්ලාගෙන කෑ බවත් ඇත්තකි. මම ඒ වැඩසටහන නැරඹුවෙමි. අෂ්රොෆ් හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත් වුනේ සෝම හිමියන්ට කළ අපහාසය නිසා බවටද මතයක් පැතිර ගිය බව මතකය.

    ReplyDelete
    Replies
    1. ශනි ගේ අදහසට එකඟයි. ජාතිවාදී නොවුනා නම් සෝම හිමි ගේ අදේවවාදී අදහස් වලට මමත් ගරු කලා . සෝම හිමි මැරුවද නැත්ද කියන එක අමාරුයි කියන්න. ඒ කාලයේ රුසියාවේ හා ඇමෙරිකාවේ හෘදයාබාධ හදල මරන්න පුළුවන් ඉන්ජෙක්ෂන් එකක් තිබුන කියල මට මතකයි. ඒක දැන් තහනම්. සෝවියට් දේශය වැටුන දවස් වල ඒක බ්ලැක් මාකට් එකට ගියා. අනිත් හැම දේම වගේ. මැරුණට හොයන්න බැහැ මරුනේ කොහොමද කියල හාර්ට් ඇටක් එකක් කියල විතරයි පේන්නේ.

      Delete
    2. අදේවවායට වඩා ජාතිවාදය ජනප්‍රියබව තේරුනාම පොර ඒ රැල්ල සමග ගියා. ලංකාවට එන්න කලින් කාලයක් සිටි ඕස්ටේ‍ර්ලියාවෙනුත් ඒ සඳහා අදහස් හොයා ගත්තා වෙන්න ඇති!

      http://rasikalogy.blogspot.com.au/2016/09/pauline-hanson-and-her-influence-on-sri.html

      Delete
  22. සෝම හාමුදුරුවො දේව ඇදහිලි ප්‍රතික්ෂේප කිරීම බොහෝ දෙනෙක් ප්‍රසංසාවට ලක් කරලා තියෙනවා.
    නමුත් මා දන්නා පරිධි සැහෙන හාමුදුරුවරු ඉන්නවා දෙවියන් ප්‍රතික්ෂේප කරන. ඒහා සමාන ගිහියනුත් ඉන්නව. උධාහරන ලෙස මට මතකයි ආනන්ද විද්‍යාලයේ කොටගම වාචිස්සර හිමිත් එවැනි අදහස් දරුව . නමුත් සෝම හිමි තරම් ප්‍රසිද්ද වුනේ නැහැ. නැතිනම් ජනතාවගේ අකර්සනය ලද්දේ නැත. ඊට හේතුව වුයේ ඒඅය එය ප්‍රසිද්දියේ කීමට ඉදීරිපත් නොවීමය. එවැනි දෙයක් වූවානම් සෝම කියන නම නිසා මෙවැනි අන්ත ජාතිවාදී ව්‍යාපාර බිහි වන්නේ නැත. එම නිසා එවැනි අදහස් මීට වැඩ සංවිධානාත්මකව ජනතාව අතරට ගෙන යා යුතුය, ඉන්දියවේ බොරු සාස්තර කාරයන්ට විරුද්ධව මෙවැනි ව්‍යාපාර බොහෝ ඇත. ලංකාවේ මාධ්‍ය කරුවන් මේවා තහවුරු කිරීමට වෙහෙසෙනවා මිස ඊට විරුද්ධ වීමක් නැත.

    ReplyDelete
  23. අහම්බෙන් වසර පහක් පැරණි ඔබේ බ්ලොග් එක හමුවිය. මේ දින වල කෲර ලෙස හොඳ නම ඝාතනය ට ලක්වූ වෛද්‍ය සාෆි ට අවුරුදු දෙකකට වැඩි කාලයක් හිඟ වැටුප් ගෙවන ලෙස වගකිවයුතු අයගෙන් විධානයක් පල වෙන නිසා මුරුත්තෙට්ටුවේ ආනන්ද ආදීන්ට උණ හැදෙන්නට පටන් ගෙන ඇති බව ඔබ දන්නවා ඇති නේද?
    මේ සංවාද තීරුවේ ඔබ සැමගේ අවධානයට ලක්වූ සෝම හිමි ටත් වඩා ගලගොඩ අත්තේ ඥානසාර මොන තරම් භයානක තත්වයකට පත් ව ඇතිද යන්න හුදෙක් අතුරු කරුණක් ලෙස සටහන් කරමි.
    වෛද්‍ය සාෆි ට සිදුවූ අකටයුත්ත සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය යාන්තමට හෝ ක්‍රියාත්මක වන රටක සිදු විනි නම්, අර කුප්‍රකට නාථ දෙවියන්ගෙන් උපදෙස් ලබාගෙන reserch කරනවා කියන අමණ චන්න ජයසුමන වැනි පාපතරයන්ට විරුද්ධ ව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නේද?
    අපේ රටේ සමහර උසස් පෙල සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් ද ඔලුව උඩ තියාගෙන ඉන්න තිස්ස ජනනායක නම් ටියුෂන් ගුරා ද මේ සාෆි බොරුව සිසුන්ගේ සිත් වලට දාන්නට මුල් වූ, එමගින් තරුණ පරපුර ජාතිවාදීන් බවට හැරවීමට උදව් කල අයෙකි.
    සෝම හිමි ගෙ නම, වෛද්‍ය සාෆිට සිදුකල අභූත චෝදනාව ගැන එහි වැරදි සහගත බව ගැන 2019 වසරේ වෛද්‍ය රිචර්ඩ් පෙරේරා වැනි නමක් ඇති බුද්ධිමත් ප්‍රතිපත්ති ගරුක අයෙක් ලියු ලිපියක දුටිමි. සිංහල ජාතිය වඳ වී යනවා වැනි මිත්‍යා අදහස් සමාජ ගත කරන්නට සෝම හිමිගේ ක්‍රියාකලාපය ද හේතු වූ බව ඒ ලිපියේ සඳහන් වුනෙන් සෝම හිමි ගැන කරුණු සොයන විට ඔබේ මේ සංවාද තීරුවට අහඹු ලෙස පිලිපන්නෙමි.
    අග මුල නැති සටහනක් ලියා ඔබගේ කාලය විනාශ කලේ නම් අතිශයින් කණගාටු වෙමි.
    සිංහල බෞද්ධ ලෙස ඉපදුන මාද ඇතුලු ලංකාවේ බහුතරයේ සුභ සිද්ධියට යයි පට්ට පල් බොරුවක් කියා එක මනුස්සයෙක් ගේ හෝ කීර්ති නාමය ආත්ම ගෞරවය නැති කර දැමීම ගැන සිතන විට ඒ පහත් ක්‍රියාවට මොනම සම්බන්ධයක් වත් නැතුවා වුවද සිංහල බෞද්ධ අයෙක් හැටියට පමනක් නොව මනුස්සයෙක් (human being)හැටියට මට ලැජ්ජාවක් වේදනාවක් ඇතිවේ.
    මනුස්සයෙක් ශාරීරික ව මරා දැමීමටත් වඩා ඔහු/ඇය ගේ ගෞරවය මරා දමා ඉපදි ඉපදී මැරෙන්නට සැලැස්වීම බරපතල ම පවක් අපරාධයක් ලෙස සලකන බැවිනි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.