Showing posts with label පුෂ්පා සූරියආරච්චි. Show all posts
Showing posts with label පුෂ්පා සූරියආරච්චි. Show all posts

Tuesday, 20 December 2022

බිරිඳ ලියූ ගීතය - මල් වැස්සේ :: The song she wrote


මා ප්‍රිය බිරිඳ, (රණවක තන්ත්‍රිගේ) පුෂ්පා කුමාරී සූරියආරච්චි, පදපෙලක් ලිව්වා ය.

යමෙකු ලියන කවිපද කිහිපයක් ගීතයක් වන්නේ ඒවාට තනුවක් සම්පාදනය වී, සංගීතය නිමැවී, වැයී, ගායනය වූ විට ය. මේ ගීතය එලෙස බිහිවී දැන් මාස කිහිපයකි.

එය පේරාදෙණිය විශ්වවිද්‍යාලය පසුබිම් කරගත් ගීතයකි. එහි අන්තර්ගතයේ, ඇය 2019 දී ලියා පළ කළ Lost in Floral Rain නවකතාවට සම්බන්ධයක් ඇත. එසේම, ඇය ලියූ පළමු ගීතය ද මෙය වේ.

නමුත් අද වන විට ගීතයක් යනු සංගීතය සහ ගායනය පමණක් නොවේ. ගීතය සහිත වීඩියෝ පටයක් ද තිබිය යුතු ය. බොහෝ දෙනා ගී අසනවා පමණක් නොව නරඹනවා ද වන බැවිණි.

එලෙස නිපදවනු ලැබූ ගී වීඩියෝව පෙරේදා යූටියුබයට එකතු විය.

ගේයපද: පුෂ්පා සූරියාරච්චි
සංගීත නිර්මාණය: විශාරද රුක්මලී කුලතිලක
ගායනය: රුවී නිම්නදී

වයලීනය: රවි කුලතිලක
ගිටාරය: අර්ජුන ද සිල්වා
තාල තරංග: දිනේෂ් පෙරේරා


පදමාලාව මෙසේ ය.

තුරුලිය සරසන කුසුමින් නැහැවුණ
රෝස පාට මල් වැසි වැස්සා
රොබරොසියා තුරු පාමුල මල් වැසි
මල් වැසි, මල් වැසි, ඇද හැලුණා

ශිල්ප කරන්නට නවකයින් ඇවිත්
මල් වැස්සේ මංමුළා වෙලා
පාද තබා කඩිසර ගමනින්
මල් වරුසාවේ සිනාසෙමින්
මල් වැස්සේ මංමුළා වෙලා

මල් පිරි පාවඩ පලස් එළාලා
සුමට සුමුදු මල් ඇතිරිල්ලේ
සෙමින් සෙමින් පරිස්සමින්
ඇවිද ඇවිද යමු සිතින් දරාගෙන
රොබරොසියා මල් මල් සිහිනේ


ගේයපද: පුෂ්පා සූරියාරච්චි පෙර සඳහන් "Lost in Floral Rain" කෘතිය පිළිබඳ සියළු තොරතුරු රැගත් බ්ලොග් අඩවියක් සහ ෆේස්බුක් පිටුවක් ද ඇත.


බ්ලොග් අඩවිය: https://lostinfloralrain.blogspot.com/

ෆේස්බුක් පිටුව: https://www.facebook.com/Lost-in-Floral-Rain-1298502120314539/



-රසික සූරියආරච්චි

(image: edited from an PeraBeats image)

Wednesday, 4 September 2019

බිරිඳව පරිවර්තනය කළෙමි! - Nothing lost in translation?



මසකට පමණ පෙර නිවසේ මිඳුලේ රෝස ගසක අවාරයේ පිපී තිබුණු රෝස මලක් දුටු මා ප්‍ර්‍රිය බිරිඳ ඒ ගැන කවක් ලියූවා ය. මේ සුවිශේෂී රෝස වර්ගය හැඳින්වෙන්නේ ද බ්ලු මූන් නමිනි.

ඉහත පළ කර ඇත්තේ ඒ (නිල් පැහැ) රෝස මලයි.

ඇය ඒ කව ෆේස්බුක් හි පළ කළ සැණින් මම එය සිංහල භාෂාවට පරිවර්තනය කළෙමි.

මේ සැප්තැම්බර් සාහිත්‍ය මාසයේ දී මට එය රසිකොලොජියේ පළ කරන්නට සිත් විය.


Lonely rose

A rare spectacle
A rose in winter
Alone in a wilting bush
Amidst barren twigs

No buzzing bees
No whispering butterflies           
No selfie fanfare
No twitting birds

A mauve blue rose
Proud and tall
No ordinary fete
A blue moon indeed!

තනි වූ රෝස මල

විරලතම දසුනකි ය
වින්ටරය මැද පිපි රෝස මල
මැරී යන පඳුරක
කොළ හැළුණු ඉපලක, තනිව

නැත බඹර ගුම් නද
නැත සමනළ කසුකුසුව
නැත "සෙල්ෆි" කාහල නද
නැත "ට්විටර" විහඟුන්

ප්‍රභාවත් නිල් මලෙකි
සාඩම්බරව වැජඹෙන
සුලභ දසුනක් නොවේ
මෙය "බ්ලූ මූන්" ම වේ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
අවාරයේ පිපි රෝස මලක් පිළිබඳව මම ද මීට වසරකට පෙර කවක් ලියූවෙමි. එය ද රසිකොලොජියේ පළ කෙරුණු අතර මිතුරෙකුගෙන් ලද ඇරයුමක් නිසා ලංකාවේ පුවත්පතක ද පළ විය.

Sunday, 1 September 2019

බිරිඳ ලියූ පොත - Introducing "Lost in Floral Rain" novel


මා ප්‍රිය බිරිඳ පසුගිය දා පොතක් ලියා පළ කළා ය.

එය නවකතාවකි. එහි නම "Lost in Floral Rain" ය. එයින් හැඟෙන පරිදි මෙය ඉංග්ලිෂ් භාෂාවෙන් ලියන ලද ග්‍රන්ථයකි.

පසුගිය අප්‍රියෙල් මාසයේ දී, සරසවි පොත් සමාගමේ ප්‍රකාශනයක් ලෙසින් නිකුත් වුණු "ලොස්ට් ඉන් ෆ්ලෝරල් රේන්" ග්‍රන්ථයේ පිටපත් රට පුරා විහිදී ඇති එම සමාගමේ පොත්හල්වලින් මිලට ගත හැක.

මෙම කෘතියේ ශ්‍රී ලාංකික දොරට වැඩුම 2019 අප්‍රියෙල් මස 20 දා, සෙනසුරාදා, රාත්‍රියේ පිළියන්දල මඩපාත තොටුපල හෝටලයේ දී, ආරාධිත ඥාතී හිත මිතුරන් සමූහයක් අභිමුඛයේ දී පැවැත්විණි.

"ලොස්ට් ඉල් ෆ්ලෝරල් රේන්" ග්‍රන්ථය සහ එහි කතුවරිය පිළිබඳව ලියවුණු සාකච්ඡාමය ලිපියක් ඩේලි නිවුස් පුවත්පතේ ඉන් දින කිහිපයකට පසුව පළ විය. https://lostinfloralrain.blogspot.com/2019/05/feature-article-in-daily-news-of.html

පුෂ්පා සූරියආරච්චිගේ නවකතාව පිළිබඳව මුල්ම විචාරය ලියවුණේ එහි අත්පිටපත කියවූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්ලිෂ් භාෂා අංශයේ මහාචාර්ය කාමන් වික්‍රමගමගේ අතිනි. එම විචාරය ද ඩේලි නිව්ස් පුවත් පතේ පළ විය. http://www.dailynews.lk/2019/05/29/tc/186812/fond-memories-childhood

ඩේලි නිව්ස් පුවත් පතට තවත් විචාරයක් සපයා තිබුණේ, "ලොස්ට් ඉන් ෆ්ලෝරල් රේන්" කෘතියේ මුද්‍රිත පිටපතක් කියවූ කැලණිය විශ්වවිද්‍යාලයේ බටහිර සම්භාව්‍ය සංස්කෘතිය පිළිබඳ අධ්‍යයනාංශයේ මහාචාර්ය කමණී ජයසේකර විසිනි. http://www.dailynews.lk/2019/07/17/tc/191278/petal-reading-experience

මෙම කෘතියේ ඕස්ටේ‍ර්ලියානු දොරට වැඩුම පැවැත්වුණේ 2019 ජූලි 14 දින දී ය. නමුත් ඊට පෙර පුෂ්පා සූරියආරච්චි සේවය කරන ස්ථාන ද්වයක (හොක්ස්බරි රෝහල සහ මින්චින්බරි රෝහල) ග්‍රන්ථය එළි දැක්වීමේ උත්සව සංවිධානය කර තිබුණි.

ඒ එක් උත්සවයක් පිළිබඳව සිඩ්නි තදාසන්න ප්‍රාදේශීය පුවත්පතක පළවුණු විස්තරයක් දුටු සිනුවර වෙසෙන ශ්‍රී ලාංකික පුවත්පත්කලාවේදියෙකු වන නුවන් ගන්කන්ද විසින් සති අග අරුණ පුවත්පතට ලිපියක් ද සපයා තිබුණි. http://epaper.aruna.lk/Home/ShareArticle?OrgId=90e0ce3f

"ලොස්ට් ඉන් ෆ්ලෝරල් රේන්" කෘතිය පිළිබඳ සියළු තොරතුරු රැගත් බ්ලොග් අඩවියක් සහ ෆේස්බුක් පිටුවක් ද ඇත.

මෙන්න ඒ විස්තර නැවතත්.

බ්ලොග් අඩවිය: https://lostinfloralrain.blogspot.com/

ෆේස්බුක් පිටුව: https://www.facebook.com/Lost-in-Floral-Rain-1298502120314539/

ස්තුතියි.

-රසිකොලොජිස්ට්

ප/ලි
අකර්මන්‍ය වී තිබූ මගේ බ්ලොග් කෙරුවාව, අද 2019 සැප්තැම්බර් පළමුවෙනිදා, මෙසේ යළි ඇරඹේ.

(image: )