Friday 19 May 2017

පොල් ගස ද, තල් ගස ද, ගස් වර්ග දෙක ම, තාල වර්ගයේ ය - I only like war when it is made in Hollywood


ලංකාවේ පැවති මානුෂික යුද්ධය මතක ද?

මා මේ කියන්නේ ඩෙංගි මදුරුවන් සහ කීටයින් සමූල ඝාතනය කිරීම පිණිස රසායනික අවි සහ බර අවි භාවිතයෙන් කළ මෙහෙයුම් පිළිබඳව නම් නොවේ.

මා මේ කියන්නේ ජාති හෝ ආගම් හෝ වෙනසකින් තොරව, අවිගත් හෝ අවි නොගත් හෝ වෙනසකින් තොරව, ලාංකික මිනිසුන් දස දහස් ගණනින් මිය ගිය මානුෂික යුද්ධය ගැන ය.

ලංකා ඉතිහාසයේ ඒ අඳුරු පරිච්ඡේදය ගෙවෙන අතරතුර, 2009 ජනවාරියේ දී, මම ඒ මානුෂික යුද්ධය ගැන කවියක් ලිව්වෙමි.

මෙය මානුෂික යුද්ධයක් ගැන ලියවුණු අමානුෂික කවියකි.

එය මෙසේ විය.

පොල් ගස තාල වර්ගයේ
තල් ගස තාල වර්ගයේ
පොල් ගස් යට තල් ගස් යට
බෝල ගැසූ කොලු රංචුව අද කොහේද?
උන් සුවර්ගයේ

තිසා වැවේ, නුවර වැවේ නිල් දිය දහරේ
මාවිලාරු, ඉරණාමඩු නිල් දිය දහරේ
ඒ වතුරේ පීන පීන
මේ වතුරේ පීන පීන
දියඹුං ගැසු කොලු රංචුව අද කොහේද
භූමදානයේ

හම්බන්තොට ලේවායේ ලුණු ලුණු රස වේ
කිලිනොච්චියේ හේනේ දෙහි ඇඹුල් ඇඹුල් වේ
ඒ ලුණු රස පදමට ගෙන
දෙහි ඇඹුලට මුසු කරගෙන
මුළු රට කිරිබත් කන දිනයක් ඒවිද?
සැකයි යාළුවේ!


වසරකට පමණ පසු කාලයක, මා සාමාජිකයෙකු වන ඕස්ටේ‍ර්ලියාවේ, නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව මගින් නිෂ්පාදනය කරන්නට සැලසුම් කෙරුණු ගීත එකතුව සඳහා ඒ කවිය අනුසාරයෙන් සැදුණු පදමාලාවක් මම ඉදිරිපත් කළෙමි.

සංගීත විශාරද ඉන්දු ප්‍රේමතිලක ගේ සංගීතයට අනුව, එකල ළමා ගායක තිසල් පාදුක්ක විදාන විසින් ගායනා කෙරුණු මගේ පදමාලාව සහිත ගීතය රුවැත්තියේ නම් සංයුක්ත තැටියට ඇතුළත් කෙරිණි.

ගීයේ පිටපතක් පසුව එකතු කරමි. ගී පදවැලේ අවසානය කවියට වඩා මදක් වෙනස් වේ.

හම්බන්තොට ලේවායේ ලුණු වේලෙන්නේ
කිලිනොච්චියේ හේනේ දෙහි ඇඹුල් පිරෙන්නේ
ඒ ලුණු රස පදමට ගෙන
දෙහි ඇඹුලට මුසු කරගෙන
මුළු රට කිරිබත් කන දිනයක් ගැන
සිත විමසන්නේ


-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ කවිය ලියා මාස පහක් යන්නට පෙර ඓතිහාසික කිරිබත් කෑමක් සිදුවුණ ද, මා ලියූ පරිදි හම්බන්තොටින් ලුණු ද, කිලිනොච්චියෙන් දෙහි ද, යාපනයෙන් මිරිස් ද ගෙන සෑදූ ලුණුමිරිසක් සමග පොළොන්නරුවේ හාලෙන් ඉවූ කිරිබතක් මුළු රටම එකට කෑ දිනයක් ඉන් පසුව හෝ පැමිණියා ද කියා මම නොදනිමි.

(image: https://www.lankapropertyweb.com/; http://acrustours.com/jaffna-district/)

17 comments:

  1. දෙගොල්ලම ෆ්‍රයිඩ් රයිස් කන දවසක් එනකල් තමයි මම නං බලං ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. කයි කයි ආයෙමත් ළඟදිම.
      දැක්කනෙ ඊයෙ පෙරේද බ්‍රිගේඩියර් ගලගොඩත්තෙ අමාත්‍යාන්සෙකට කඩා පනින හැටි

      Delete
    2. ඊළඟ පාර කන්නේ මට්න් බුරියානි!

      Delete
  2. මෙව්ව වඳ පීදුනු කවි.. හැක්

    ReplyDelete
  3. මේ තියෙන්නෙ එහෙනම් ඒ ගීතය... අගෙයි... මේ යන විදියටනම් කවදාවත් එහෙම දවසක් උදාවේවිද මන්දා? ලංකාව දවසින් දවස ජාති, ආගම් භේද මඩගොහොරුවේ ගිලෙමින් පවතිනවා. තරුණ පරපුරේ බහුතරයකුත් එහෙම වෙන එක තමයි පුදුම. සමාජ වෙනසක් ඇති කරන්න නම් පාසල් පද්ධතියෙන්, දරුවන්ගෙන් පටන්ගන්න ඕන කියල හිතෙනවා...

    ආගම පොදු විෂයක් බවට පත් කරලා, ජාති ආගම් සංස්කෘතික විවිධත්වය පොදුවේ කතා බහ කරන තැනකට ගේන්න පුළුවන් නම්...!

    ReplyDelete
    Replies
    1. "ආගම පොදු විෂයක් බවට පත් කරලා" ???
      ආගම සිලබස් එකෙන් අයින් කල යුතුයි.
      ආගම ව්‍යවස්තාවෙන් අයින් කල යුතුයි.
      ආගම රාජ්‍ය උත්සව වලින් අයින් කල යුතුයි.
      කොටින්ම .. එක්කොත් ඔහෙ තිබුණාවෙ.

      Delete
    2. ඇත්තටම පාසල් අධ්‍යාපනයෙන් සමාජය නිවැරදි කරන්න උත්සාහයක් ගත යුතුයි. සිංහල දෙමළ භාෂා ඉගෙනීම හොඳ ආරම්භයක්. අපේ කාලේ තිබුණේ නෑ.

      ආගම් ගැන ඉගෙනීම ඉතිහාසය ඉගෙනීම වගේ විෂයයක් කරන්න ඕනෑ!

      Delete
  4. Replies
    1. ඉයන් හරිම "ධන"පතියෙකු නේ!

      Delete
  5. ඔන්න ඊයේ පාන්දර පලෙයි පොලිසියේ වාහනයකට පහරදිලා.
    රසික නම් ඒ දවස්වල ඔසිවල ඉන්න ඇත්තේ. මිරිගමින් කෝච්චියට නැගලා කොළඹ ඇවිත් ආයි ගෙදර යනකං ජිවිතය ගැන විශ්වාසයක් නැති කාලයක් අපිත් පසු කරා. දුම්රිය කියක නම් බොම්බ පිපිරුවාද?

    ReplyDelete
    Replies
    1. මාත් අහල නං නෑ බං උපන්තේකට ලෝකේ කොහෙවත් මේ වගේ කඩාකප්පල් කාරි වැඩ වෙනවා.. සිරාවට..

      Delete
    2. එදා පිළියන්දල, අද පලයෙි!

      පොලීසියට කාලේ හොඳ නෑ වගේ!

      Delete
  6. එහෙම බෑනේ.. හම්බන්තොට ලුණු වලට කිලිනොච්චියේ දෙහි වැටුනම විෂ වෙනවා.. එහෙම තමයි අපිට කියල දීල තියෙන්නේ..

    ReplyDelete
  7. එහෙම දවසක් එන්න ජපානේට උනා වගේ නිය්‍යෂ්ටික බොම්බයක් වැටිලා මුළු රටන අළු ගෝඩක් වේලා , ඒ මතින් නැගිටින්න පටන් ගත්තන්නම්,, මේවිදියට කිරිබත් කන දිනයක් ගැන් බලාපොරොත්තුවක් තබා ගන්න තිබුණා

    ReplyDelete
  8. තව අවුරුදු සීයකටවත් සංහිදියාවක් කියන්නෙ කුණුහර්පයක්

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.