Saturday, 20 May 2017

පරාක්‍රම ගේ කවි සහ මගේ කවි - Continuing on the same theme


පැරකුම් සහ පරාක්‍රම යනු එකම නමේ වෙනස් යොදා ගැනීම් දෙකකි. හරියටම ගැමුණු සහ ගාමිණී වගේ ය.

මට පැරකුම් නම් මිතුරෙකු ද, පරාක්‍රම නම් මිතුරෙකු ද දෙදෙනෙකු ම සිටිති.

පැරකුම් මා දැන හඳුනා ගෙන වසර හතක් පමණ වේ. නමුත්, මා පරාක්‍රම දන්නේ දශක දෙක හමාරකටත් වඩා පෙර කාලයක සිට ය.

පැරකුම් කවි ලියයි. කවි පරිවර්තනය ද කරයි.

පරාක්‍රම ද කවි ලියයි. කවි පරිවර්තනය ද කරයි.

කෙසේ වෙතත්, මාතෘකාවේ සඳහන් වෙන පරිදි මා ලියන්නට යන්නේ පරාක්‍රම ගැන මිස පැරකුම් ගැන නොවේ.

එසේ ම, පරාක්‍රම ගේ කවි කියා කීවාට මේ කියන්නේ පරාක්‍රම කොඩිතුවක්කු නම් ප්‍රසිද්ධ කවියා ගැන ද නොවේ.

මේ කියන්නේ පරාක්‍රම කුරුප්පු නම් මා හිතවත් කවියා ගැන ය. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උගත් මැවිසුරුවෙකි.

විශ්ව විද්‍යාල සමයේ දී මා ඔහු ලියූ කවි කියවා තිබේ. එයින් පසු අප දෙමගක ගිය හෙයින් ඔහු ගේ පසු කාලීන කවි මා කියවා නොතිබුණි.

පසුව ඊ-මේල් මගින් අප හමු වුව ද ඔහු ලියූ කවියක් මට මුලින් ම කියවන්නට ලැබුණේ මීට වසර අටකට මදකට අඩුවෙන් ඉහත කාලයක දී ය. ඒ කවි කියවූ මම ද එයට යම් එකතු කිරීමක් කළෙමි.

මේ සටහන ඒ ගැන ය.

අපේ කවි හුවමාරුව සිදුවුණේ, මානුෂික යුද්ධය නිමා වී, සියල්ල අවසාන වූ පසුව ය. දස දහස් සංඛ්‍යාත පිරිසක් අනාථ කඳවුරුවල රඳවා තිබුණි.

පරාක්‍රම කුරුප්පු මෙසේ ලියා එවී ය.

කලකදි රස වෙයි කලකදී වස ලූ
එකෙකුගෙ ලෙල්ලම එකෙකුට විහිළුෑ
දිලුණත් වටපිට කරමින් එකළුෑ
පහන් කණුව පා මුල කළුවර ලූ

මරණ තුනක් මැද අතරමංව හිඳ
මරු එයි අද අද හිතමින් ගිනි වැද
අතකින් ගත් දඬුවැල් බෑ මී වද
මිනිසුනි සිත් සන්තොසින් බුඳිනවද

ලිප ගිනි මෙලවෙන තෙක් දිය කෙළිමින
රෑ නොවැටුණු වල දවාලෙ වැටෙමින
සුරා පිරූ විත සුරතේ දරමින
ගිනිකන එළියේ රඟති මෙපුර දන

මී පුප් සෙව්වෙමි ගිනිගත් කතරේ
දරුවන් මග හැරුණිය ඝන අඳුරේ
මී පුප් මතුවුණු මහ වැහි අතරේ
දරුවෝ සැඟවුණි දෝ ගං වතුරේ


ඔහු ඒ කවි නම් කර තිබුණේ නූතන ජන කවි ලෙස ය.

නමුත් ඒ කවියේ විරිත, අප දන්නා ජන කවියේ විරිත නොවන බවත්, ජනකවියක් ලෙස ලියූවොත්, එහි මුල් කවිය මෙලෙස විය යුතු බවත් මම පරාක්‍රමට ලියා යැවූයෙමි.

කලකදි රස ලු කලකදී වස වෙනවා ලූ
එකෙකුගෙ ලෙල්ලමක් එකෙකුට වෙයි විහිළුෑ
දිලුණත් වටපිටාව ම කරමින් එකළුෑ
පහන් කණුව පාදය මුල කළුවර ලූ


ඒ කවි තමන් හිතා මතා ම ලියූවේ මාත්‍රා දහසයේ ජනකවි විරිතෙන් වෙනස් කර බව පරාක්‍රම මට දන්වා එව්වේ ය.

ඔහු ඉන් පසු ලියා එවූ කවිය මෙසේ විය. මේ කවි ජනකවි විරිතෙන් රචනා වී ඇත.

රජකම් කළත් දවසක පිරිවර අතරේ
මිය යයි තවත් දවසක ගොර මඩ වගුරේ
එකෙකුගෙ මිනිය යට කළ රළු වැලි කතරේ
තවෙකෙකු ගේ සිහසුන ඉදිවෙයි නුදුරේ

දෙපසින් අමෝරා සිටි අවි අතර සිට
සැම දා මුහුණ දී හිඳ රුදු මරණයට
සියක් දහක් මිය ගිය මළ ගමක සිට
අයෙක් නටත් තවෙකෙක් මළ සතුට පිට

විසි හය වසක් යුද ගිනි ඇවිලුණු රටක
නිසි රිසි අහර නොලබන දරුවන් රැසක
කුස ගිනි නිවන්නට බත් හැළියක් මිසෙක
කිරිබත් කුමට සිය දහසක් මළ තැනෙක?


පරාක්‍රම ගේ ජනකවියට මගේ එකතු කිරීම මෙලෙස විය.

ආවුද ගත් එවුන් ආයුදයෙන් මැරෙතී
කළ කම් ඒ විලස දිනයක පල දරතී
පෙර දින ඇසූ දුටු කියමන් සැබෑ වෙතී
පෝලිම මෙයින් ඉවරයි නම් කමක් නැතී

මනස නොඋස් වූ පෙර වානර යුගයේ
යුදට වැද සතුරු මැඩ පැණ විසඳූයේ
මනස උසස් වී මිනිසුන් වූ දිනයේ
වඳුරු ගති ඇරී නැති හැටියකි දුටුයේ

මිනිස් පලිහ ලෙස නම් කල පෙරදාක
සිය දහසක් දෙනා ගැන දුක් වී නේක
මිනිස් මෙහෙයුමින් මුදවා ගත් සේක!
ඇයි අද කොටු කරන් උන් හැම කඳවුරක?


මට ද නූතන ජනකවි ලියන්නට සිතුණේ, පරාක්‍රම කුරුප්පු මිතුරා ගේ නූතන ජනකවි කියවූ පසු ය.

ඇත්තෙන් ම, මේ ඉහත පළ කර ඇති කවි පිළිබඳව මගේ කිසිදු මතකයක් නොතිබුණි. වාසනාවකට මෙන් මා රසිකොලොජියේ පළ කළ, "නූතන ජන කවි" සහ "පොල් ගස තාල වර්ගයේ" මුලින් ම ඉන්ටර්නෙට් හි පළ වූයේ කවදාදැයි සොයා බලන අවස්ථාවේ දී බූන්දි වෙබ් අඩවියේ තිබී මේ කවි වසර ගණනාවකට පසු යළි තෙන ගැටුණි!

-රසිකොලොජිස්ට්

(image: https://sugarvenom88.wordpress.com/)

11 comments:

  1. මට ඉන්නව පැරා කියල යාලුවෙක්.
    ඌත් කයිපද ලියනව

    ReplyDelete
  2. දස්කම් කරමින් හෙල බස අතරේ
    කවිකම් නුඹගෙත් ලිපි මත පැතිරේ
    විස්කම් පෑ පැරකුම් කවි අතරේ
    කවිකම් දිගටම ගෙනයමු මිතුරේ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ජයවේවා !!!!!!!!!

      Delete
    2. සිත්තම් වියුණු කියවන ඒ අතර තුර
      ගෙත්තම් කර පබැඳ සොඳ කවි නිරන්තර
      දස්කම් ඔබේ පෙන්වන මා කවි මිතුර
      කවිකම් අපේ ගෙනයමු අපි තවත් දුර!

      Delete
  3. මා මුලින් ඔහු හඳුනාගන්නේ දේශපාලන ක්‍රියාධරයෙකු ලෙසයි. පරාක්‍රමගේ ලිවීමේ හැකියාව ගැන මා සරසවි දිවියේදී දැන සිටියත් ඉතා රසවත් ලෙස විදෙස් ළමා කතාවක් පරිවර්තනය කොට සූරිය ප්‍රකාශනයක් ලෙස එළිදක්වන තුරු නිර්මාණශිල්පියෙකු ලෙස ඔහුගේ හැකියාව තක්සේරු වී තිබුණේ නැහැ.
    ඉන් පසු තවදුරටත් සාහිත්‍යකරණයේ නොරැඳීම අවිවේකී බවම නිසා වන්නක් යැයි සිතනවා.
    පරාක්‍රම කුරුප්පු යනු ඉතා ඉහළ ගුණාංගයන්ගෙන් හෙබි මානවවාදියෙක්.

    ReplyDelete
    Replies
    1. //පරාක්‍රම කුරුප්පු යනු ඉතා ඉහළ ගුණාංගයන්ගෙන් හෙබි මානවවාදියෙක්.//
      ඒ ගැන ඉතින් ආයෙ කතා දෙකක් නෑ. ඔහුගේ ළමා කතාවෙ පරිවර්තනයත් අති විශිෂ්ටයි.

      Delete
    2. කුරුප්පුව මා දැන ගත්තේත් කවි නිසා මුලින්, පොලිටික්ස් නිසා පසුව.
      ළඟදී සිඩ්නිවල දී මුණ ගැසුණා!

      Delete
  4. පැරකුම්ලා හොඳ බලවත් මිනිස්සු. රසිකලා හොඳ රසිකයෝ. මං කියන්නෙ නම්වල තේරුම් අනුව.

    ReplyDelete
    Replies
    1. පැරා ඒ වුණාට මට හිතෙන්නේ ගාමිණී කියන නම ගැමුණු කිව්වාම වෙනස් වෙනවාට වඩා වැඩි වෙනස් වීමක් පරාක්‍රම නම පැරකුම් වීම නිසා වෙනවා කියලයි!

      කොටින්ම පැරකුම් කීවාම පරාක්‍රමය අඩුයි අඩුයි වගේ.

      මං කියන්නේ නම්වල ශබ්ද රසය ගැන!

      Delete
    2. පොඩි ටිංකිරි ගතියක් තියෙනවා තමයි.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.