Thursday, 1 December 2016

මෙන්න අපේ වැඩ කිඩ! - New working conditions in my office


අපේ ආයතනයේ අලුතින්ම හඳුන්වා දී දැන් ක්‍රියාත්මක වන සේවා කොන්දේසි පිළිබඳ මා මේ සටහන ලියන්නේ ඉතා සතුටෙනි!

කලකට ඉහත මා ලියූ "නිවාඩු පාඩුව" නම් ලිපියේ දී, මා මගේ සේවා ස්ථානයේ සේවක-සේවා යෝජක දෙපක්‍ෂය අතර ඇති කරගෙන ඇති සේවා කොන්දේසි, විශේෂයෙන් ම සේවය කළ යුතු කාලය සහ නිවාඩු ආදිය, පිළිබඳව යාන්තමින් සඳහන් කළෙමි.

ඒ කාලයේ මා උදෑසන කාර්යාලයට ළඟා වූයේ පෙරවරු 9:30 ට පමණ ය. දවසේ සේවය නිමා කර ඉන් පිටවූයේ බොහෝ විට සවස හයට ය.

අපේ දිනපතා සේවා කාලය සහ නිවාඩු යනාදිය ඒ සඳහා සකසා ඇති පද්ධතියක සටහන් නිවැරදිව සටහන් කළ යුතු ය.

පෙර කී ලිපියේ විස්තර කෙරුණු පරිදි, දවසේ 9:30 සිට 3:30 දක්වා අවම කාලයක් සේවයේ නිරත වීමත්, පැය පහකට වඩා සේවය කරන දිනවල අඩ පැයක අවම ආහාර වේලාවක් සටහන් කිරීමත්, සතියකට අවමය ලෙස පැය 35 ක් සේවය කිරීමත් අනිවාර්ය කොන්දේසි වී තිබුණි. එසේ නැතිනම් අදාළ පරිදි නිවාඩු ලබා ගත යුතු විය. රාජකාරී ගමන් නොයෙදී ඇති දිනක උපරිම සේවා කාලය වූයේ උදෑසන 7:30 සිට සවස 6:00 දක්වා ය.

අපේ කාර්යාලයේ ස්ථාන මාරුව සහ කාර්යාලේ ඇති කළ "වැඩට-ඉඩ" සැලසුම පිළිබඳව ද මා මීට පෙර ලියා ඇත. ඒ වෙනස්කම් ඇති වූයේ පසුගිය මැයි මාසයේ ය.

ඉන් පසු නොබෝදා, සේවක-සේවා යෝජක එකඟත්වය මත සේවය කරන කාලය පිළිබඳව ලොකු වෙනස්කම් කිහිපයක් ක්‍ර්‍රියාත්මක කරන ලදී.

අපේ අලුත් සේවා කොන්දේසි මෙසේ ය.

1. උදෑසන හතේ හෝරාවේ සිට සවස හතේ හෝරාව දක්වා ඕනෑම වේලාවක අවශ්‍ය පරිදි සේවය කළ හැක. මින් පෙර මේ සීමාව උදෑසන හතහමාරේ සිට සවස හය දක්වා විය.

2. පෙර පැවති උදෑසන 9:30 සිට 3:30 දක්වා වූ අනිවාර්ය කාල සීමාව අහෝසි කර ඇත. දැන් දවසේ ඕනෑම වේලාවක(*) සේවයට වාර්තා කළ හැක.

3. නිවාඩු නොදමා දිනකට සේවය කළ යුතු අවම කාලය පැය පහක් පමණි.

මේ සියල්ල සේවකයා සහ කළමනාකරුවා අතර පෙර එකඟත්වයෙන්, තමන් කරන රාජකාරියට අනුකූලව පමණක් කළ යුතු වේ.

මේ අනුව මට සවස් වරුවේ පුද්ගලික කාර්යයක් යෙදී ඇති නම්, පෙර දී මෙන් නිවාඩු ඉල්ලීම අවශ්‍ය නැත. මට අවශ්‍ය නම් උදෑසන 700ට සේවය අරඹා දවල් 12:00 ට සේවය අවසාන කළ හැක. එවිට දවසේ අවම සේවා කාලය වන පැය පහ සම්පූර්ණ ය.

එසේ නොව, උදේ වරුවේ වෙනත් අවශ්‍යතාවක් යෙදී ඇති නම්, ඒ කටයුතු අවසාන කර පස්වරු 2:00 ට සේවය අරඹා සවස 7:00 වෙනතුරු සේවය කිරීම සෑහේ. වෙනදා මෙන් වරුවක් අනිවාරයෙන් නිවාඩු දමා අපර භාගයේ සේවය ඇරඹීම කිසිසේත් ම අවශ්‍ය නොවේ!

පෙරදා සවස කළ කර්මාන්තයක් නිසා උදෑසනක අවදිවීමට ප්‍රමාදවීම, වාහන තදබදය, දුම්රිය ප්‍රමාදය, සුපුරුදු දුම්රිය වැරදීම වැනි හේතු නිසා කාර්යාලයට යෑමට ප්‍රමාදවීම කියා දෙයක් දැන් නැත. මා එහි යන වේලාව, මා සේවය අරඹන වේලාවයි!

කොහොමද? හොඳයි නේද?

මීට අමතරව, අපට නිකුත්කර ඇති 4G සම්බන්ධතා සහිත ලැප්ටොප් පරිගණක නිසා වීපීඑන් හරහා කාර්යාලයට සම්බන්ධ වී නිවසේ සිට හෝ දුම්රියේ යනෙන විට දී හෝ සේවය කිරීමට ද ඉඩ සැලසී ඇත.

මෙහිදී අමතක නොකළ යුතු කාරණයක් වෙන්නේ දවසකට අවමය පැය පහක් වුව ද, පෙර දී මෙන් ම, සතියකට අවමය ලෙස පැය තිස් පහක් සේවය කළ යුතු බවයි. සතියේ දින පහම උදේ හතේ සිට දහවල් දොළහ දක්වා අවම පැය පහ පමණක් සේවය කර එය කළ නොහැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේ ම, සෑම රැකියාවක් ම මේ ආකාරයට විවිධ වේලාවලට ඇරඹීමට නොහැකි අතර, එකම කණ්ඩායමේ සියලු දෙනාට ම එකම දිනයේ මේ ආකාරයට සේවය කළ නොහැක.

ඒ සමගම, තමන් විසින් ඉටු කළ යුතු රාජකාරීවලට අමතරව යෙදෙන, පොදු රැස්වීම්, කණ්ඩායම් ක්‍රියාකාරකම් වැනි කටයුතු සඳහා සහභාගී වීමෙන් ගැලවීමට මේ නම්‍ය සේවා සහන නිසා ඉඩ නොලැබේ.

එවැනි ප්‍රායෝගික කරුණු නිසා අනිවාර්යෙන් ම ඇති එවැනි සීමා යටතේ වුව ද, මේ අලුත් සේවා කොන්දේසි නිසා අපට සැලසී ඇති වාසි එමට ය.

උදාහරණයක් ලෙස, පසුගිය සතියේ දිනක සවස 3:00 ට මට විශේෂඥ වෙදෙකු හමුවීමට යෙදී තිබුණු අතර, වෙනදා මෙන් උදෑසන සේවයට ගොස් වරුවක ලෙඩ නිවාඩුවක් වැය කර ඒ සඳහා කලින් කාර්යාලයෙන් නික්ම යනවා වෙනුවට මා කළේ, එදා උදෑසන නමයට සේවය අරඹා සවස දෙකට වැඩ අවසාන කිරීමයි.

මේ වෙනසකම් ඇරඹී දැන් සති හතරක් පමණ ගෙවී ඇති මුත්, අපේ සේවා ස්ථානයේ සගයන් ගේ වැඩට පැමිණීමේ, පිටව යාමේ රටාවේ ලොකු වෙනසක් මා නුදුටුවෙමි.

ඒ කුමක් නිසා යත්, මොන සේවා කොන්දේසි අදාළ වුවත්, වඩා වැදගත් වනුයේ තමන්ට නියමිත කාර්යයන් නිසි පරිදි, නිසි වෙලාවට ඉටු කිරීම හෙයිනි!

-රසිකොලොජිස්ට්