Monday, 5 March 2018

ආපසු ආ දෙයියා - Return of the god myth


කිහිප වාරයක් ම පට්ට ගැසූ මාතෘකාවක් ගැන නැවත ලියමින් හේමන්ත සෘතුවේ වැඩ අල්ලන්නට සිතුණේ කාරණා දෙකක් නිසා ය. එකක් උණු උණු අත්දැකීමකි. අනෙක දශක දෙකක් පැරණි මතකයකි.

අද උදෑසන මා දුම්රිය පොළේ බංකුවක වාඩි වී ලැප්ටොපය සමග පොර බදිමින් සිටිය දී එතැනට පැමිණ ඒ බංකුවේ ම අසුන් ගත් තරුණ කාන්තාවක් මගෙන් ශත පනහක් ඉල්ලුවා ය. සාමාන්‍යයෙන් මෙවැනි පුද්ගලයින් ඉල්ලන්නේ ඩොලරයකි, නැතිනම් දෙකකි. නැතිනම්, ගණනක් නොකියා මාරු කාසි ය.

මා හරියටම ශත පනහක් ඇයට ලබා දුන් පසු ඇයගේ මුවින් පිටවුණේ "ඔබට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා" යන වැකියයි.

"මං ඔය දෙයියා විශ්වාස කරන එකෙක් නොවේ. ඔබත් ඔය අදහස අතහැර ගත්තා නම් හොඳයි නේද?" යන වදන් මගේ මුවට ආවත්, මා මද සිනහවක් පා නිහඩව ම සිටියේ, නූගත්, බොහෝ විට "මන්ද මානසික"* තත්වයක සිටින (ප/ප/ලි සටහන කියවන්න!) ඒ කාන්තාවට මගේ අදහස්වලින් පලක් නොවේ යැයි වැටහුණු නිසා ය.

ඇය ද ඉන්පසු නිහඬවම සිට පසුව පැමිණි දුම්රියකට නැග කොහේදෝ ගියා ය.

මට පසුව සිතුණේ, ඇය මුදල් ඉල්ලීමට කලින් දෙයියා ගැන ඒ සඳහන කළා නම්, මා ඇයට මුදලින් උපකාරයක් නොකර සිටින්නට ඉඩ තිබුණු බවයි.

ඒ සමගම මගේ සිහියට නැගුණේ මීට වසර විස්සකටත් එපිට අත්දැකීමකි.

කැලණිය විශ්වවිද්‍යාලයේ සිට බොරැල්ලට බසයකින් විත්, බොරැල්ලෙන් ඇතුල්කෝට්ටේ බසයකින් නිවස බලා යන කාලයක් මට තිබුණි.

බොරැල්ලේ බස් නැවතුම් පොළේ නවතා තිබෙන බස් රථවල දී, ළමුන්ට කිරිපිටි සොයන්නන්, බෙහෙත් ගැනීමට, ශල්‍යකර්මවලට මුදල් සොයන්නන්, කවිකාරයින්, විරිදුකාරයින්, සින්දුකාරයින් යනා දී විවිධාකාරයේ හිඟන්නන් අපට මුණ ගැසේ. අතේ තිබෙන අයුරින් යම් මුදලක් ඒ අයට දීම මගේ සිරිතක් විය.

ඒ නමුත්, ඒ පිරිස අතරින් කලාතුරකින් හමුවුණු එක් අයෙකුට නම් මුදල් දීමට කවදාක හෝ මගේ සිත මට ඉඩ නොදුන්නේ ය.

ඒ පුද්ගලයා තරුණයෙකි, යම් කිසි ශරීරාභාධයක් තිබුණු අයෙකි. ඒ කෙසේ වෙතත්, ඔහු බසයට නැගි විට ම කරන්නේ බසයේ සිටින අයට දෙයි මෑණියන්ගේ ද, සර්වබලධාරී දෙයියා ගේ ද පිහිට පැතීමයි. අපෙන් මුදල් ඉල්ලන්නේ අපට ඒ දෙයි මෑණියන්ගේ ද, සර්වබලධාරී දෙයියා ගේ ද පිහිට අපට ලබා දීමටයි.

ඒ පුද්ගලයාගේ යාදින්න ඇසෙන හැම විටක ම "පිහිටාරක්‍ෂාව දීමට දෙයි මෑණියෙකු ද, සර්වබලධාරී දෙයියෙකු ද සිටීනම් කවර ස්ත්‍රී ලිංගයකට මූ අපෙන් සල්ලි ඉල්ලන්නේ ද?" යන අකාරුණික සිතුවිල්ල මගේ සිතට නැගුණු නිසා, මට කිසි දිනෙක ඔහුට මුදලින් උපකාරයක් කිරීමට නොහැකි විය.

මිනිසා, මිනිසෙකු ලෙස නැවත උපත ලබන්නේ තමන් විසින් මවන ලද මුත්, තමන්ව මැවූවා යැයි තමන් සිතන මේ මැවුම්කාර දෙයියාව තමන් ම මරා දමන දිනයේ දී යැයි මම සිතමි.

එසේම, මිනිසා තමන්ව තමන් ම පාලනය කර ගැනීම නිවැරදිව කරන්නේ තමන් ද, තමන් වෙසෙන ලොව ද පාලනය කරනවා යැයි තමන් විශ්වාස කරන ඒ මිථ්‍යා දෙයියන් පිරිස ඇදහීම සිතෙන් බැහැර කළ දිනයේ දී යැයි ද මම සිතමි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
දෙයියලා ගැන ලියා ඇති ලිපි-
  1. සිඩ්නි නගරයේ ප්‍රාණ ඇපකරු සිද්ධියෙන් මතු වූ අප්‍රසන්න දෙයක් - Sydney siege and our greatest weakness
    https://rasikalogy.blogspot.com/2014/12/sydney-siege-and-our-greatest-weakness.html
  2. මී හරකයි, එළ හරකයි? - Thirupathi worshiping, yuk!
    https://rasikalogy.blogspot.com/2015/02/thirupathi-worshiping-yuk.html
  3. ඇයි ඉලෙක්ෂන් එකට අපි සියඹලා ගේන්න ම එපාද? - Our politicians and their foolishness
    https://rasikalogy.blogspot.com/2015/03/our-politicians-and-their.html
  4. මගෙ දෙයියා සහ උඹේ දෙයියා! - Synthetic God
    https://rasikalogy.blogspot.com/2016/08/synthetic-god.html
  5. ගංගොඩවිල සෝම සහ දෙයියෝ - Once upon a time
    https://rasikalogy.blogspot.com/2016/08/once-upon-time.html

ප/ප/ලි:
මා මෙහි දී ඒ කාන්තාව හැඳින්වීමට "මන්ද මානසික" කියා කීවේ ඇගේ දේව භක්තිය නිසා හෝ පුරුද්ද නිසා හෝ ගෝඩ් බ්ලෙස් යූ යැයි කීම හේතුවෙන් නොවේ. වසර විසි දෙක හමාරක අත්දැකීමෙන් දන්නා පරිදි, නිසි සමාජ සුබසාධන වැඩ පිළිවෙලක් ඇති (රැකියාවක් සොයන තරුණ අයෙකුට සතියකට ඩොලර් 280 පමණ දීමනාවක් රජයෙන් ලැබේ!) මා වෙසෙන ඕස්ට්‍රේලියාවේ මේ ආකාරයට සිඟමන් යදින්නේ මානසික ආබාධ ඇති අය නිසා ය.

(image: http://jonathanmerritt.com/wp-content/uploads/2014/03/God.jpg)