Thursday, 29 September 2016

ඉංග්ලිෂ් ගුරුවරු - Flour Vs Flower


කණිෂ්ඨ විද්‍යාලයේ දී අපට ඉංග්ලිෂ් ඉගැන්වීම ඇරඹුණේ තුන්වෙනි ශ්‍රේණියේ දී ය. ඒ ගණිතය, සිංහල, සෞඛ්‍යය, පරිසරය, බුද්ධාගම සහ චිත්‍ර වැනි අන් සියලුම විෂයන් අපට ඉගැන්වූ අපේ පන්තිය භාර හේමාවතී ටීචර් නොව වෙනත් ගුරුවරයෙකු විසිනි. අවාසනාවටකට මෙන් ඔහු ගේ නම අද වන විට මගේ මතකයෙන් ගිලිහී ගොස් ඇත.

නමුත්, සී.ඒ.ටී. කැට්, බී.ඒ.ටී බැට් යනුවෙන් සරල ඉංග්ලිෂ් වචන ඔහුගෙන් ඉගෙන ගත් බව නම් මගේ මතකයේ රැඳී ඇත්තේ විශාල සටහන් පොතක අදාළ රූප ඇඳ, ඒ වචන ලොකු අකුරෙන් ලියන්නට ඔහු අපට නියම කළ බැවිනි.

මේ ගුරුවරයා පාසලට පැමිණියේ බයිසිකලයක් පදිමින් බව ද මගේ මතකයේ ඇත. බයිසිකලයේ නගින්නට පෙර ඔහු තම දිග කලිසමේ කකුල් ඇලිස් බෑන්ඩ් එකක් වැනි ක්ලිපයකින් ආවරණය කරන බව මා දැක ඇත. එසේ කළේ, කලිසම් වාටිය සයිකලයේ දම්වැල වැනි තැන්වල ගෑවී කිලිටි වීම වැළැක්වීම සඳහා යැයි සිතමි.

හතරවෙනි ශ්‍රේණියේ දී අපට ඉංග්ලිෂ් ඉගැන්වූයේ එදිරිසිංහ වැනි නමක් තිබූ ගුරුවරයෙකි. සිසුන් ඔහුට වංකනාසික තිස්ස කියා කී බවට තරමක මතකයක් මට ඇත.

වංකනාසික තිස්ස පාසලේ ගුරු නිවාසයේ පදිංචිව සිටි නිසා දෝ ඔහුට ඉංග්ලිෂ් ඉගැන්වීමට අමතරව, වතු වැඩ නම් විෂය ද භාර වී තිබුණි.

අප තුන්වෙනි ශ්‍රේණියේ දී සිටියදී දේශපාලන පත්වීමක් යැයි මා පසුව සිතූ පත්වීමක් ලැබ අලුතෙන් විදුහලට පත්ව ආ මුල් ගුරුවරයා වූ දයාරත්න, ඒ ගුරු නිවාසයට තම හිමිකම පෑ නිසා දෝ වංකනාසික තිස්සට පසු කලෙක ඒ ගුරු නිවාසයෙන් ඉවත් වී යන්නට සිදුවිය.

අප පහේ පන්තියේ සිටියදී එක් දිනක ඉංග්ලිෂ් පාඩම නිම වූ පසු පන්ති කාමරයට පැමිණි ඉංග්ලිෂ් හැර අන් සියලුම විෂයන් අපට ඉැගන්වූ අපේ පන්තිය භාර බමුණුසිංහ ගුරුවරිය, කළුලෑල්ලේ ලියා තිබුණු දෙයක් දැක, අල්ලපු පන්තියේ උගන්වමින් සිටි නිකුලස් නම් ගුරුවරයා කරා ගොස් යමක් පැවසූවා ය.

මගේ මතකයට අනුව ඔවුන් දෙදෙනා කතා වුණේ, එදා පාඩමේදී ඉංග්ලිෂ් ගුරුවරයා විසින් පිටි සඳහා ඉංග්ලිෂ් වචනය වන flour යන්න ලියා ඇත්තේ flower ලෙස බවයි.

මා ඒ බව දන්නේ ගුරුවරු දෙදෙනෙකු අතර පැවති සතර කන් මන්ත්‍රණයකට මා රහසේ ඇහුම් කන් දුන් නිසා නම් නොවේ. අපේ පන්තිය භාර බමුණුසිංහ ගුරුවරිය විසින් මා ඔවුන් වෙත කැඳවා, ඉහත වචනය පිළිබඳව මගෙන් විමසූ හෙයිනි.

මල වෙනුවට මළ කියා ලියන, තණ වෙනුවට තන කියා ලියන අප, flour වෙනුවට flower කියා ලිවීමේ ලොකු වරදක් මට නොපෙනුණි!

-රසිකොලොජිස්ට්

(image: http://www.craftsy.com/blog/2013/11/types-of-flour/)

Tuesday, 27 September 2016

අසුන්දර ඉංග්ලිෂ් හෙවත් අයි සස්පෙක්ට් - I suspect I can blog well?


අද තම උපන්දින සමරන, ලංකාවේ ප්‍රථම (සහ එකම) වෘත්තීය බ්ලොග්කරු ලෙස විරුදාවලි ලැබ සිටින, W3Lanka බ්ලොග්කරු මා මිත්‍ර අජිත් පැරකුම් ජයසිංහ කලකට පෙර ජනරළ පත්තරයට "සුන්දර ඉංග්‍රීසි" නමින් කොලමක් ලිව්වේ ය. ඔහු ඒ සමගම ඒ ලිපි පෙළ තම බ්ලොගය හරහා ද බෙදා ගත් බැවින් මා වැනි තවත් පිරිසකට ද ඒවා කියවන්නට ඉඩ ලැබුණි.

මගේ රසිකොලොජියේ ද ඉංග්ලිෂ් භාෂාව පිළිබඳව ලිපි කිහිපයක් ම පළ විය.

ඒ කිහිපයෙන් මා ඉතා ප්‍රිය කරන්නේ, අපේ තාත්තා ඉංග්ලිෂ් උගත් ආකාරය ගැන කියවෙන ලිපියටයි.
http://rasikalogy.blogspot.com/2016/03/matriculation-examination-was.html


මේ තවත් ඉංග්ලිෂ් භාෂාව හා සම්බන්ධ කතාවකි.

මෙය "අසුන්දර ඉංග්ලිෂ්" ලෙස වර්ගීකරණය කරමි!

මේ කතාවට වස්තු බීජය සැපයූවේ ආචාර්ය ඩර්ක් වෑන් ඔයුඩියුස්ඩන් (Dirk Van Oudheusden) ය. ඔහු, මා පෙර ලිපියක ලියූ ආචාර්ය වෑන් ෆ්‍රෝසම් මෙන් ම, මා පශ්චාත් උපාධියක් හැදෑරූ ආසියානු තාක්‍ෂණික ආයතනයේ සේවය කළ බෙල්ජියන් ජාතික කථිකාචාර්යවරයෙකි. ඩර්ක් වෑන් ඔයුඩියුස්ඩන් මගේ උපාධි තීසීසය සඳහා මා කළ පර්යේෂණයේ උපදේශකයා ද විය.

ආසියානු තාක්‍ෂණ ආයතනය (Asian Institute of Technology) 1959 දී තායිලන්තයේ අරඹා ඇත්තේ ආසියානුකරයට ම පොදු අන්තර්ජාතික පශ්චාත් උපාධි අධ්‍යාපන ආයතනයක් ලෙසිනි. එය පවත්වාගෙන යාමට විවිධ යුරෝපීය සහ ආසියානු රටවලින් විශාල ලෙස අරමුදල් ලැබුණි. ඒ ප්‍රතිපාදනවල ම කොටසක් ලෙස අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවය සඳහා ද යුරෝපීය රටවලින් උගතුන් අනුයුක්ත කර තිබුණි.

අපට ඉංග්ලිෂ් භාෂාවෙන් තම විෂයයන් ඉගැන්නුව ද, වෑන් ෆ්‍රෝසම් ගේ මෙන් ම, වෑන් ඔයුඩියුස්ඩන් ගේ ද මුල් භාෂාව ඩච් මිස ඉංග්ලිෂ් නොවේ. මා දන්නා පරිදි ඔවුන් කුඩා කළ සිටම ඩච් භාෂාවට අමතරව මූලිකව ෆෙන්ච්, ජර්මන් යනාදී යුරෝපීය භාෂා උගත් අය වෙති. එනිසා, ඔවුන් ගේ ඉංග්ලිෂ් භාවිතය තරමක් වෙනස් විය. අප කරනවාක් මෙන්, මුලින් තම මව් භාෂාවෙන් සිතා, දෙවනුව එය ඉංග්ලිෂ් භාෂාවට සිත ඇතුළේ දී පරිවර්තනය කර එළියට දමන ආකාරය තරමක් හෝ පෙනුණි. ඔවුන් දෙදෙනා ගේ ඉංග්ලිෂ් උච්චාරණය ද සුවිශේෂී විය.

ආසියානු තාක්‍ෂණ ආයතනයේ පශ්චාත් උපාධිය නිමවා ආපසු ලංකාවට පැමිණි මම, මා පෙර සේවය කළ රාජ්‍ය ආයතනයේ (වානේ සංස්ථාව) ම සේවය ඇරඹූවෙමි. මද කලක් එසේ සේවය කරන අතරතුර, ඉදිරියටත් අධ්‍යාපන කටයුතු සහ පර්යේෂණ කිරීමට කැමැත්තක් මගේ සිත තුළ ඇති වූ නිසා, මට ලංකාවේ විශ්ව විද්‍යාලයක බැඳී සේවය කිරීමට කැමැත්තක් ඇති විය.

ඒ බව සඳහන් කළ ලිපියකින්, ආචාර්ය ඔයුඩියුස්ඩන් ඇමතූ මම, ඒ සඳහා විශ්වවිද්‍යාලයක සම්මුඛ පරීක්‍ෂණයකට කැඳවීමක් ලැබුණහොත් ඉදිරිපත් කිරීම සඳහා මට රෙකමදාරු ලිපියක් එවන ලෙස ඉල්ලා සිටියෙමි.

සති දෙකකින් පමණ මට ඔහුගෙන් ලිපියක් ලැබුණි.

ආසියානු තාක්‍ෂණ ආයතයේ දී මා කළ අධ්‍යාපන කටයුතු ගැන විස්තරයක් ද සහිතව ආචාර්ය ඔයුඩියුස්ඩන් ඔහු විසින් ලියා තිබුණු ඒ ලිපියේ සඳහන් වුණු එක් වගන්තියක් මගේ සිත ගත්තේ ය.

අයි සස්පෙක්ට් රසික කැන් ටීච් වෙල් (I suspect Rasika can teach well).

මා සිතන පරිදි, ආචාර්ය ඩර්ක් වෑන් ඔයුඩියුස්ඩන්ට මෙහි දී කියන්ට අවශ්‍ය වූයේ, මා ආසියානු තාක්‍ෂණ ආයතයේ දී අධ්‍යයන කටයුතු මිස ඉගැන්වීමේ කටයුතු නොකළ නිසා ඔහු ඒ සඳහා මගේ ඇති හැකියාව ගැන නොදන්නා නමුත්, මට ඉගැන්විය හැකිය කියා ඔහු සිතන බවයි, එසේ නැතහොත් උපකල්පනය කරන බවයි.

සස්පෙක්ට් යන ඉංග්ලිෂ් පදයේ නිරුක්තිය මෙසේ වේ.



මෙහි දී, ආචාර්ය ඩර්ක් වෑන් ඔයුඩියුස්ඩන්, "සස්පෙක්ට්" යන වචනය යොදාගෙන ඇත්තේ ඒ මුල් අරුතින් විය යුතුය.

නමුත්, අප පුරුදු වී ඇත්තේ "සස්පෙක්ට්" යන ඉංග්ලිෂ් වචනය නරක දෙයක් සඳහා සැක කරනවා ය යන සෘණාත්මක අරුත ගෙන එන්නට භාවිතා කිරීමටයි. ඒ, "සස්පෙක්ට්" යන වචනය නාමපදයක් ලෙස භාවිතා වෙන විට එය ලබා දෙන අරුත (සැකකරු) නිසා යැයි සිතමි.

එසේ නැතිනම්, "අයි සපෝස්" යනුවෙන් ලියනු වෙනුවට ඔහු "අයි සස්පෙක්ට්" යැයි කියන්නට ඇත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඒ වසර අවසානයේ දී මට විශ්වවිද්‍යාලයක රැකියාවක් ලැබුණු අතර එය, 1977 දී යූඇම්පීයට රට ගියා සේ, දාහත් වසරක සාපයක් ම විය!

ඒ විශ්වවිද්‍යාල රැකියාවේ දී මා ලද අපූරු අත්දැකීම් ගැන රසවත් විශ්වවිද්‍යාල කතා කිහිපයක් ම ලිවිය හැක.

අයි සස්පෙක්ට් අයි කැන් බ්ලොග් වෙල්?

(image: https://www.mech.kuleuven.be/en/cib/about/news/emeritaatdvo)

Saturday, 24 September 2016

අපේ කාලයේ දුයිෂෙන්ට මොකද වුනේ? - One step forward, two steps backward?


දින දෙක තුනකට ඉහත දී මම ජයලත් මනෝරත්න විසින් ලියා, අධ්‍යක්‍ෂණය කර, ප්‍රධාන චරිතය ද රඟ පෑ "ගුරු තරුව" නම් වේදිකා නාට්‍යය ගැන ලියූ ලිපියක "ගුරු ගීතය" නම් පරිවර්තන කෘතිය ගැන යන්තමින් සඳහනක් කළෙමි.

"ගුරු ගීතය" පරිවර්තන කෘතිය පිළිබඳව මම ඊට පෙර ලිපියක ද සඳහන් කර ඇති බව ඒ මොහොතේ මට සිහිවිය. ඒ පෙර අවස්ථාව වූයේ හිටපු පාසල් ගුරුවරයෙකු වන සමන්ත විද්‍යාරත්න නම් ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරයා විසින් ගුරු ගීතයේ ආ ප්‍රධාන චරිතයේ පුද්ගල නාමය උපයෝගී කර ගෙන ඇරඹූ "දුයිෂෙන් ගේ අඩවිය" නම් බ්ලොගය හඳුන්වා දීම උදෙසා රසිකොලොජියේ පළ කළ ලිපියයි.

සමන්ත විද්‍යාරත්න යනු මා සිත දිනා ගත් දේශපාලන චරිතයක් බව මුළින් ම කිව යුතුය. මා කිසි දිනෙක ඔහුව සැබැවින් දැක නැති නිසා, ඒ පැහැදීමට හේතුව මුළුමණින් ම සයිබර් අවකාශය හරහා මා දැක ඇති ඔහු ගේ කතා, දේශන සහ විවාද ආදිය බව පැහැදිළිය.

පසුගිය මහ ඡන්ද සමයේ තවත් බොහො දෙනෙකු ගේ මෙන්ම මගේත් අපේක්‍ෂාව වූයේ මේ අපූරු මිනිසා පාර්ලිමේන්තුවට තේරී පත් වේ ය කියායි.

http://rasikalogy.blogspot.com/2015/08/how-not-to-vote.html

එය එසේ නොවූ කළ, අන් අය මෙන් ම, මා ද දුක් වීමි.

කරුණු එසේ හෙයින්, ගුරු ගීතය නවකතාවේ ප්‍රධාන චරිතයවන දුයිෂෙන් ගේ නම ආරූඪ කර ගෙන සමන්ත විද්‍යාරත්න බ්ලොග් ලොවට පිවිසෙන බවට ලැබුණු ආරංචිය සිත තුළ ඇති කළේ සතුටකි.

බ්ලොග් ලියමින් සිට පූර්ණකාලීන දේශපාලනයට ගිය අජිත් පී පෙරේරා, කරුණාරත්න පරණවිතාන වැන්නන් ගැන මා දැන සිටිය ද, දුයිෂෙන් ගේ ආගමනයේ දී සිදු වුණේ එහි ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියයි, එනම්, පූර්ණකාලීන දේශපාලකයෙකු බ්ලොග් ලොවට පිවිසීමයි.

එනිසා මා ලියන මේ ලිපිය දැකිය යුත්තේ ද, බ්ලොග්කරුවෙකු ගැන ලියවෙන්නක් ලෙස නොව මූලිකව ම දේශපාලකයෙකු ගැන ලියවෙන්නක් ලෙසිණි.

සමන්ත විද්‍යාරත්න ඇරඹූ දුයිෂෙන් ගේ අඩවිය බ්ලොගය ගැන ඇති වූ මා පෙර කී ඒ සතුට සමගම මගේ සිතේ යම් කිසි ආකාරයක කුකුසක් ද ඇති විය.

එනම්, කුමක් හෝ දේශපාලන පක්‍ෂයට බැඳී තම හෘද සාක්‍ෂිය ඒ පක්‍ෂයට පාවා දී පක්‍ෂයේ මතය අකුරට ම අනුගමනය කරමින් ජීවත්වීමත්, සාහිත්‍යමය කර්තව්‍යයක් වන බ්ලොග්කරනයේ නිරතවීමත් එකට කළ හැකි කාර්යයන් ද්වයක් නොවන බව මට එදා ම සිතුණි.

දුයිෂෙන් ගේ අඩවිය බ්ලොගයේ පළ කළ මුල්ම ලිපිය වූ "දුයිෂෙන් ගේ පන්නරය ලැබූ ගුරු ජීවිතය" නම් සටහනෙන් සමන්ත විද්‍යාරත්න තමන් ගේ වෘත්තීය ජීවිතය ඇරඹුණු හැටි අපූරුවට විස්තර කළේ ය.

මේ ඒ ලිපිය කියවා එදා මා තැබූ තැබූ ප්‍රතිචාරයයි. ඇත්තෙන් ම, ඔහු ගේ බ්ලොගයේ ප්‍රතිචාරයක් තැබූ මුල් ම පාඨකයා මම ය.
මෙවැනි පාසල්වල ළමුන්ට උදව් කිරීමට අය සොයා ගන්න පුළුවනි අද නම් ලේසියෙන් ම අන්තර්ජාල සබඳතා නිසා.

මගේ මල්ලීත් වසර දහයක් ම මාතලේ ලග්ගල ප්‍රදේශයේ අති දුෂ්කර ගමක පාසලක සේවය කළා.
පසුව ඔහු කවුදැයි හොඳින් දැන ගත් පසු මෙසේ පැවසුවෙමි.
දැන් ඉතිං දුයිෂෙන් කවුදැයි දන්නා නිසා මේ ටිකත් කිව යුතුයි.

ඔබ හොඳ අවංක මනුස්සයෙකු බව මා හඳුණා ගත්තේ දේශපාලන චරිතයක් ලෙස ඔබේ කියුම් සහ කෙරුම් දැකයි. ඇත්තට ම පසුගිය අගෝස්තු මැතිවරණයේ බදුල්ල ප්‍රතිඵලයෙන් මා කම්පාවට වුනා කීවොත් නිවැරදියි.

දැන් මේ විස්තරය අසා බොහෝ දෙනෙකු මෙන් මා ද ඔබ ගැන සිතා සිටි දේ තවත් ස්ථිර වුණා.

නමුත් මේ ටිකත් කිව යුතුයි. මගේ අත්දැකීමට අනුව, ඕනෑම හොඳ පුද්ගලයෙකු පක්ෂයකට බැඳුණු පසු තමන් ගේ හෘද සාක්ෂිය පාවා දෙන්න වෙනවා. පක්ෂයේ මතය වෙනුවෙන් පෙනී සිටින්නට වෙනවා. ඔහු හෝ ඇයට තව දුරටත් තමන්ගේ ම හෘද සාක්ෂියක් නැතුව යනවා.

කුමාර් ගුණරත්නම් කියා කෙනෙකු පක්ෂයේ සිටයේ නැත වගේ බයිලා කියන්නට වෙන්නේ එවිටයි. ඒ එය පක්ෂයේ ප්‍රකාශය නිසායි.

ඔබට දිගටම තමන්ට අවංකව ක්‍රියා කිරීමට ලැබේවා යි මම ප්‍රාර්ථනය කරනවා.

එසේම, ප්‍රධාන පක්ෂ දෙකට බහුතර බලයක් නැති, ඔබේ පක්ෂයට බල තුලනය කළ හැකි පාර්ලිමේන්තුවක ඔබ ද සිටිනවා දකින්නට මා කැමතියි.

ජයවේවා!
මේ ඔහු එදා එයට දුන් පිළිතුරයි.
අදහස් දැක්වීම පිළිබඳ බෙහෙවින්ම ඔබට ස්තූතියි. මිල මුදල්, තනතුරු තනාන්තර හමුවේ හෘදසාක්ෂිය පාවා දෙන්නේ නැත්තම්, සමාජ පොදු යහපත වෙනුවෙන් සමූහයක් එකතුවී සහෝදරත්වයෙන් ගමනක් යානම් ඒ ඉතා අගනේය බව පවසමි. එසේ යන අතර මඟ සමහරුන් මඟ නැවතීම, වෙන මංවල යාමද සිදුවන බව ඉතිහාසයම කියාපායි. හෘදසාක්ෂිය එසේ කියන බව ඔබට කාරුණිකව දන්වමි.
මා මෙන් ම, ඒ ආකාරයේ සහ ඒ හා සමාන ප්‍රශ්න නැගූ අය බොහෝ දෙනෙකු වූහ. මේ ලියන්නේ පක්‍ෂයෙන් අවසර අරගෙනදැයි සමහරු කෙලින්ම ඇසූහ.

දුයිෂෙන් ඒ සැම දෙනාටම ලබා දුන්නේ එක සමාන ඇල්වතුර (එනම් සංවර) පිළිතුරකි.

සමන්ත විද්‍යාරත්න ගේ බ්ලොගයේ ඒ මුල් ම ලිපියට ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබුණි. බ්ලොග් අවකාශයේ ධනාත්මක වෙනසක් සිදු වී ඇතැයි බොහෝ දෙනෙකු මෙන් ම මම ද සිතුවෙමි.

ඔහු ගේ දෙවෙනි ලිපිය ගම්බද දිළිඳුකම තුරන් කිරීමට ක්‍රියාත්මක කළ හැකි බොහෝ දුරට සිල්ලර වුවත් කෙටි කාලීනව ප්‍රායෝගික විය හැකි එක් විසඳුමක් පිළිබඳව විය.

මා හිතන පරිදි දුයිෂෙන් ගේ අඩවියේ අවගමනය ඇතිවුණේ බ්ලොගය අරඹා මසකට පමණ පසු එහි සිව්වෙනි ලිපිය ලෙස පළ වූ ඌව පළාතේ තිබුණා ය කියවෙන අතීත ශ්‍රී විභූතියක් පිළිබඳ ලියවුණු ලිපියත් සමග ය. මෙය සමන්ත විද්‍යාරත්න විසින් ජනතා විමුක්ති පෙරමුණේ සහ මහින්ද රාජපක්‍ෂගේ මධුසමය පැවති 2005-2009 කාලයේ ලියවුණු එකක් විය යුතුය යනුවෙන් විවිධ හේතු මත මා පසුව නිගමනය කළෙමි.

ඒ ලිපිය කියවන විට මට සිතුණේ, මා කියවා නැති, ප්‍රව්ඩා, ගැන්මා සහ පීපල්ස් ඩේලි පුවත්පත්වල ලිපි මේ ආකාරයේ ඒවා විය යුතු නේද කියායි!

ලස්සන වචනවලින් වසා තිබුණද, කිසිදු වැදගත් ප්‍රගතිශීලි අන්තර්ගතයක් නොතිබුණු එය එතරම්ම පුස් ලියවිල්ලක් විය.

ලිපියේ අන්තර්ගතය පිළිබඳ පාඨකයින් නැගූ එකදු ප්‍රශ්නයකටවත් සාධනීය පිළිතුරක් සැපයීමට සමන්ත විද්‍යාරත්න අපොහොසත් විය. ඒ වෙනුවට ඔහු, අන්තර්ගතය වර්ණනා කරමින් අලගපත් තැබූ අයගේ ප්‍රතිචාරයෙන් ඔකඳ වෙමින් සිටිනවා දෝ යි මට සිතුණි.

මගේ අදහස වූයේ සමන්ත විද්‍යාරත්නලා කළ යුත්තේ කැප්පෙටිපොළ, කුඩහපොළ, කීර්ති විජබාහු වැනි චරිත සහ ඒ අදාල ඉතිහාසයේ ඇලී ගැලී සිටීම නොව, රටේ ප්‍රශ්නවලට ජාතික මට්ටමේ විසඳුම් ලබාදෙන සැළසුම් ඉදිරිපත් කිරීම බවය.

මා ඒ බව මෙසේ ප්‍රතිචාරයක් මගින් කීවෙමි.
ඉතිහාසයේ හොරනෑව පිඹිමින් පමණක් ඉඳලා වැඩක් නෑ. මේ ලිපියේ ඊළඟ කොටස්වලින් ඌව සඳහා ඔබේ සැළසුම් ඉදිරිපත් කරාවි යැයි සිතමි. නැතිනම් මෙවැනි ලියවිල්ලක ප්‍රයෝජනයක් නැත!

ඊළඟට මව්බිම සූරැකීම, වීර කැප්පෙටිපොළ බලකාය....

ඕවායින් තමයි අපේ ඇස් ඉදිරිපිට ම අප දැන සිටි ජවිපෙට කෙලවුණේ!
සමන්ත ගේ පිළිතුර මෙසේ විය.
ඔබ පිඹින හොරණෑව කුමන අඩව්වකටදැයි නොතේරෙණමුත් ඉතිහාසය ලිවීම කියවීම හොරණෑවක් නොවන බව කාරුණිකව දන්වමි. ඉතිහාසයෙන් අතීත වෘත්තාන්තයන් ගෙනහැර පෑම පමණක් නොව අතීතය හා වර්තමානය සම්බන්ධ කොට අනාගතයට මඟ සලසන පාලමක් සපයන බව දන්වමි. ඉතිහාසය නැමති කවුළුවෙන් අනාගතයට අාලෝකධාරා එක්කරගත් රටවල් මෙන්ම පුද්ගලයන්ද ඔබ හදුනනු ඇත.

ඉතිහාසයෙන් අනාගතය වෙනුවෙන් ආදර්ශයන් හා ශක්තීන් උකහා ගැනීමේ වරදක් නැත. කෙළවීම හෝ විනාශය සිදුව ඇත්තේ සමාජයට බව පැහැදිලිය. ඉලක්ක ගැනීමේ වරදක් නැත. ඉලක්ක සැපිරුනේ නම් ඔබ ඇතුළු බොහෝ දෙනා සතුටුවෙනු ඇත. ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වූ විට ඒ සඳහා වෙහෙසෙනවුන්ට ඔබ වැන්නන්ගෙන් චෝදනා විවේචන එල්ලවීම වැළැක්විය නොහැක. තේරුම් ගන්නා ලෙස ඉල්ලමි. වඩා හොඳ සමාජයක් වෙනුවෙන් ඔවුන් අරගල කළ බව.
කෙසේ වෙතත්, දැන් සෑහෙන කාලයකින් දුයිෂෙන් ගේ අඩවිය යාවත්කාලීන වී නැත. නැගගෙන ආ තරුව බැසගෙන ගොස් දැයි මට සැක සිතේ.

එසේ නොවන්නේ නම් හොඳ ය.

මා ගුරු ගීතය පරිවර්තිත නවකතාව කියවා නැති වුණත්, එනමින් යුතු චිත්‍රපටය නරඹා ඇති බව මුළින් සඳහන් කළෙමි. එය නරඹද්දී මට හිතුණේ, අවසානයේ දුයිෂෙන්ට හෝ අල්තීනාට අත් වූ සුගතියක් නෑ නොවේ ද යන්නයි.

චිත්‍රපටයේ දැක්වුණු ආකාරයට නම් අවසානයේ අල්තීනා වියපත්ව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කල් යවයි. දුයිෂෙන් නම් ආගිය අතක් නැත.

එහි නම් උත්ප්‍රාසයක් නැත. ඇත්තේ අභාග්‍යයක් පමණකි!

-රසිකොලොජිස්ට්

ප/ලි (28 September 2016, 01:25pm AEST):
කල් දැමිය නොහැකි පුද්ගලික වැඩකට කාලය ගත කිරීමට නොහැකි වුණු නිසා, මේ ලිපියට පසුව ලැබුණු ප්‍රතිචාරවලට නිසි ලෙස පිළිතුරු ලිවීමට නොහැකි විය.

මේ සැමට පොදු පිළිතුරකි.

ජවිපෙට සහ සමන්ත විද්‍යාරත්නට දේශපාලන සතුරන් සිටින බව අමුතුවෙන් කිව යුතු නොවේ.

නමුත්, මේ ලිපිය ලිවීම ගැන මට දෝශාරෝපනය කරන ජවිපෙ සහ සමන්ත විද්‍යාරත්න ගේ මිතුරන් වටහා ගත යුතු කාරණය නම්, මා ඒ කණ්ඩායමේ අයෙකු නොවන බවයි.

වාමාංශිකයින් වටහා නොගන්නේ ද මෙයම ය. තමන් හා සමාන අදහස් ඇති, නමුත්, තමන් සමග එක කණ්ඩායමේ නොමැති අය ඔවුන්ට පෙනෙන්නේ ප්‍රධාන සතුරාට වඩා දරුණු ලෙස ය.

මට ජවිපෙ සමග හෝ සමන්ත විද්‍යාරත්න සමග හෝ අවුලක් නැත. වෙනත් කිසි කණ්ඩායමක් සමග සම්බන්ධයක් නැත.

මගේ ගුරුවර, ශාස්තෘ, පිළිම වන්දනා නැත. මම මගේ අවංක මතය ලියමි.

එය ඒ ඒ පිළිම වන්දනා කරන්නන්ට අජීර්ණ විය හැක. ඒ සඳහා මම වග නොකියමි!

ස්තුතියි!

(https://en.wikipedia.org/wiki/Pied_Piper_of_Hamelin)

Thursday, 22 September 2016

350. අජිත් පැරකුම් ජයසිංහ ගේ මිතුරු ජයතිලක බණ්ඩාරගෙන් මා නෑසූ ප්‍රශ්නය - An evening with Jayathilaka Bandara


සැප්තැම්බර් එකොළොස්වෙනි දා සවස් වරුවේ සිනුවර තදාසන්නයේ පිහිටි අනු නගරයක් වන පැරමටා හි දී පැවැත්වුණු ජයතිලක බණ්ඩාර සමග සන්ධ්‍යාවක් නම් සංගීත ප්‍රසංගය සහ සාකච්ඡාව අවසානයේ දී එළැඹි තේ පැන් සංග්‍රහය අතරතුර මා ඇමතු නාලිකා පද්මසේන කෝ රසික ඔය ජයතිලක බණ්ඩාරගෙන් ප්‍රශ්නයක් ඇහැව්වේ නෑ නේ, මං නං හිතුවේ රසික ප්‍රශ්නයක් අහවිය කියලා යැයි පැවසුවා ය.

මම මුවින් නොබැණ මද සිනහවක් පෑවෙමි.

ජාතික සමගිය වෙනුවෙන් තම ගායන ප්‍රතිභාව මුදා හරින ගායක ජයතිලක බණ්ඩාර ගේ ඕස්ටේ‍ර්ලියානු සංචාරය මෙන්ම සිනුවර ප්‍රසංගය ද සංවිධානය කර තිබුණේ ඕස්ට්‍රේලියාවේ පිහිටුවා ඇති ලංකාවේ ජාතික සමගිය සඳහා වූ සංවිධාන කිහිපයකිනි. ඔවුන් ගේ ඒ සද්කාර්යය නිසා මා එදා ඒ සෑදෑ වරුවේ පුරා පැය දෙකක් ගී සහ ඒ පිළිබඳ පූර්වකථන පුරෝකථන අසමින් ලැබුවේ වෙන කිසි දිනෙක නොලැබූ ආකාරයක වින්දනයකි.

අසූව දශකයේ පමණ සිට සිතාර් වාදකයෙකු, ගුවන් විදුලි ශිල්පියෙකු, ගුවන් විදුලි ශිල්පියෙකු, සහය ගායකයෙකු සහ නිවේදකයෙකු ලෙස කටයුතු කර ඇති ජයතිලක බණ්ඩාර වැනි ප්‍රවීණයෙකු පිළිබඳව මා මුලින් ම ඇසුවේ මෑතක දී බ්ලොග් හරහා ය. අජිත් පැරකුම් ජයසිංහ ගේ W3Lanka සහ දයානන්ද රත්නායක ගේ අස්වැන්න බ්ලොග් සටහන් අතර ජයතිලක බණ්ඩාර ගැන ලිපි තිබුණි (පහත ප/ලි කොටස බලන්න). ඒ හරහා මා ඔහු ගේ ගායනා කිහිපයක් ද අසා රස විඳ ඇත්තෙමි.

ඒ සමගම පසුගිය ජඩ දශක භීම සමය අවසානයේ ජනතාව පෙළ ගැස්සවීම සඳහා තම සාධු ජන රාව නම් ගී ප්‍රසංගය පවත්වමින් රටවටා ගිය ජයතිලක බණ්ඩාර ගායකයාට පසුගිය රෙජීමයේ බත් බැලයින් ගේ මෘග ප්‍රහාරයකට ලක්වීමට සිදුවුණු බව ද මම එකල ප්‍රවෘත්ති මාර්ගවලින් දැන ගත්තෙමි.

මා මේ ප්‍රසංගය නරඹන්නට ගියේ ඒ කාරණා නිසා මිස සංගීත රසයක් විඳීමේ මූලික අරමුණකින් නොවේ. මා කලින් දිනයක කියූ පරිදි පුටුවල වාඩි වී අමුවේ ම කරන සංගීත ශ්‍රවණය මම ප්‍රිය නොකරමි. ඒ පිළිවෙතේ එකම ව්‍යතිරේකය නම් වාහනයක් පදවමින් දුර ගමණක් යන අවස්ථාවයි.

කරුණු එසේ වුවද, එදා ජයතිලක බණ්ඩාර සමග සැඳෑවේ ගත කළ දෙපැය නම් ඉතාමත් මනහර අත්දැකීමක් විය.

ඔහුගේ කටහඬ ඉතා ගැඹුරු ය. එසේම ඉතාමත් ලයාන්විතය. යම් ශෝචනීය ස්වරයක් ඒ කටහඬේ ගැබ් වී ඇත. නමුත් එය ගෙන දෙන්නේ ශෝක රසයක් ම නොවේ. යම් වීරත්වයක් ද එහි ඇත. බලාපොරොත්තුවක් ද සිත තුළ ජනිත කරවයි.

සාමාන්‍යයෙන් ගායක ගායිකාවන් තමන් ගේ ගී ගායනයට පෙර කෙරෙන විසුළු කතා එමට අසා ඇති මට, ජයතිලක බණ්ඩාර විසින් ඉදිරිපත් කළ තමන් ගේ ගීත පිළිබඳ පෙර කතා, කෙළින්ම අසන්නන් ගේ හදවත ඇමතු, සවන පිනවූ එසේම හදවත පිරවූ සාරගර්භ ආඛ්‍යාන ම විය.

ජීවිතයේ මුල්වරට දෝ මම කලාකරුවෙකු සමග ඡායාරූපයක් ගත්තෙමි!



ප්‍රසංගය අවසානයේ මට ඇති වූ එකම කනගාටුව නම්, ඔහු ගේ ඒ ගී ඇතුළත් තැටියක් මිල දී ගැනීමට නොතිබීමයි. එවැනි නිෂ්පාදනයක් තවමත් කෙරී නැති බව ජයතිලක බණ්ඩාර ඔහුගෙන් ඇසුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස පැවසී ය.

කෙසේ වෙතත් ගත වුණු දින කිහිපය තුළ යුටියුබයේ උදව්වෙන් ජයතිලක බණ්ඩාර ගේ ගී කිහිපයකටම යළිත් සවන් දීමට මට හැකි විය. එදා ප්‍රසංගයේ දී මට පටිගත කර ගන්නට ලැබුණු විනාඩි කිහිපයක හඬ පටයක් මම ද යූ ටියුබයට එක් කළෙමි.



ඒ විනාඩි කිහිපයේ දී, ජයතිලක බණ්ඩාර අපේ සහෘද බ්ලොග්කරු අජිත් පැරකුම් ජයසිංහ පිළිබඳව යම් සඳහනක් ද කරයි.

එදා මට පටිගත කර ගත නොහැකි වූ තෙන්නමරම් කලපුව නම් ගීතය යළි අසන්නට තවමත් සොයමි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
අජිත් පැරකුම් ජයසිංහ සහ දයානන්ද රත්නායක ලියූ මේ ලිපි ද එකතු කරමි.

1. සාම දේශපාලනය හා සමාජවාදය: සාදු ජන රාවයේ ජයතිලක බංඩාර නම් දේශපාලන සත්වයා - http://www.w3lanka.com/2013/11/blog-post_21.html

2. අප එක් විය යුත්තේ ජයතිලක බංඩාර වැනි මිනිසුන් සමග ය - http://www.w3lanka.com/2014/12/blog-post_22.html

3. ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා - මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා - http://www.w3lanka.com/2013/04/blog-post_7.html

4. හඬක් නැති මිනිසුන් වෙනුවෙන් නැගෙන ගී හඬ - http://aswanna.blogspot.com.au/2013/03/blog-post_20.html

Tuesday, 20 September 2016

ගුරු ගීතය, ගුරු තරුව සහ උත්ප්‍රාසය - Writing and reading


නෑ, නෑ කලබල වෙන්නෙපා, මේ කියන්නේ ගුරු ගීතය ගැන නම් නොවේ!

ගුරු ගීතය නම් නවකතාවක් ගැන ෆෙස්බුකියේ අප්පිරියා වෙන තරමටම කතාබහ වෙනවා මා අසා ඇත. එය රුසියානු නවකතාවක පරිවර්තනයක් බව ද ඒ ඒ අවස්ථාවල දී සඳහන් වුණි.
රුසියානු පරිවර්තන කෘති බර තොගයක් මා කියවා තිබුණ ද කුමක් හෝ හේතුවක් නිසා මේ ගුරු ගීතය නම් කෘතිය (වාසනාවකට මෙන්) මට මග හැරී ඇති බව මට වැටහුණි.

වසරකට කිහිපයකට පෙර ලංකාවට ගිය දිනයක විශේෂයෙන් සොයා බලා මිලට ගෙන ගුරු ගීතය පරිවර්තන කෘතියේ ලංකාවෙන් පිටපතක් ගෙනාවේ ඒ ෆෙස්බුකියේ කරච්චලය නිසා ම ය.

නමුත් ඒ පිටපත ද පොත් රාක්කයක සැඟවී ගිය අතර මේ ළඟදී රුසියානු ගුරු ගීතය කතාව අනුසාරයෙන් නේපාලය වැනි රටක සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පසුතල දර්ශන සහිතව නිපදවුණු සිංහල චිත්‍රපටයක් නම් නරඹන්නට ලැබුණි.

මේ කියන්නේ ඒ ගුරු ගීතය පරිවර්තන කෘතිය ගැන නොව ගුරු තරුව නම් වේදිකා නාට්‍යය ගැන යි.

පාසලක පවත්වන්නට ගිය සාහිත්‍ය දිනයක් මුල් කරගත් ගුරු තරුව නම් ඒ වේදිකා නාට්‍යයේ විඩියෝ පිටපතක් යූ ටියුබයේ තිබී අහම්බෙන් හමු වී මම පසුගිය දා නැරඹුවෙමි. ඒ නාට්‍යය රචනා කර නිෂ්පාදනය කර ඇත්තේ ප්‍රවීණ නාට්‍යවේදී ජයලත් මනෝරත්න විසිනි.

නාට්‍යයේ ප්‍රධාන චරිතය වන සාහිත්‍ය ගුරුතුමා (එම චරිතය නිරූපණය කරන්නේ කවුද කියා අමුතුවෙන් කිව යුතු නෑ නේද?) පාසලේ සාහිත්‍යය ඉගැන්වීමේ දී මුහුණ දෙන විවිධාකාර ප්‍රශ්න පිළිබඳ මතු කරන සාකච්ඡාව තුළින් මේ නාට්‍යයෙන් සිංහල සාහිත්‍යයට ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළ හිමි වී ඇති කනගාටුදායක තත්වය ඉස්මතු කර පෙන්වා දෙයි.

ගුරු තරුව නාට්‍යය යූ ටියුබයේ නරඹද්දී මට එක්වරම සිහිවුනේ මෙම නාට්‍යයේ පෙළ (එනම් නාට්‍ය පිටපත) රැගත් මුද්‍රිත පොත මා සතුව තිබෙන බවයි.

ඒ පිටපත එසේ මෙසේ පිටපතක් නොවේ.

ජයලත් මනෝරත්න විසින් ම, අත්සන් කර මට ලබා දුන් පිටපතකි.



ගුරු තරුව නාට්‍ය පෙළ සහිත ඒ මුද්‍රිත ග්‍රන්ථය මට එසේ ලැබුණේ, ඉව්ජිනී ෂ්වාර්ට් (Evgeny Shvarts) ගේ ඩ්‍රැගන් (Dragon) කෘතිය ඇසුරෙන් හෙන්රි ජයසේන නිෂ්පාදනය කළ "මකරා" නම් වේදිකා නාට්‍යයේ ජයලත් මනෝරත්න විසින් කළ නව නිෂ්පාදනය සිනුවර සහ ඕස්ට්‍රේලියාවේ රඟ දැක්වීම සඳහා සූදානමක් පැවති සමයක, මා ලංකාවට නිවාඩුවක් සඳහා ගොස් සිටියදී ප්‍රචාරක කටයුත්තකට පසුව අවශ්‍ය වෙනු ඇතැයි සිතා ජයලත් මනෝරත්න නාට්‍යවේදියා සමග සම්මුඛ සාකච්ඡාවක් කිරීම පිණිස ඔහු ගේ බොරලැස්ගමුවේ නිවසට ගිය දිනයේ දී ඔහු ගෙන් තුටු පඬුරක් ලෙස ය.

ගුරු ගීතය පොත සැඟවී ගිය පොත් රාක්කයේ ම, ගුරු තරුව පොත ද සැඟවී තිබී මම පසුව සොයා ගතිමි.

පාඨකයෙකු ලෙස මා මුද්‍රිත සාහිතයෙන් දුරස් වී ඇති බව මට එවෙලේ හොඳින් වැටහිණි.

ඒ දුක්බර කාරණය මට වැටහීමට මූල් වූයේ ද සාහිත්‍යයේ අභාග්‍යය ගැන ම ලියවුණු ගුරු තරුව නාට්‍යය සහ එහි පෙළ රැගත් පොත නිසා වීම මෙහි ඇති උත්ප්‍රාසය දනවන කාරණයයි!

දැන් ඉතිං චිත්‍රපට සහ නාට්‍යය නරඹා ඇති නිසා මේ පොත් දෙක කියවීම තවත් කල් යනු ඇත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ රූපවාහිනී නාලිකාවක ගුරුතරුව වේදිකා නාට්‍යය විකාශය වූ වීඩියෝවකි.



Sunday, 18 September 2016

පැරණි ඡායාරුපයක් සහ සොඳුරු මතකයක් - A fading photo and a lasting memory


අල්විස් පොකුණ යනු පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමිය සැලසුම් කළ නිර්මාණ ශිල්පියා සිහිවෙනු පිණිස නම් කර ඇති විශ්ව විද්‍යාලයේ ඇති එක් ප්‍රසිද්ධ සලකුණකි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය භූමිය හරහා දිව යන ගලහ පාරේ පිහිටා ඇති මේ අල්විස් පොකුණ අසල දී ගන්නා ලද ඡායාරූපයක් ෆේස්බුක් හි බෙදා ගෙන තිබෙනු ඊයේ දැක මගේ අතීතකාමය අවදිවිය.

ඉහත දැක්වෙන ඒ ඡායාරූපයෙන් පෙන්වන්නේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් පිරිසක් විසින් තම සගයෙකුව ඒ පොකුණේ නහවන ආකාරයයි.

විශ්වවිද්‍යාල බසෙන් "පොන්ඩ් කිරීම" ලෙස හැඳින්වෙන මේ සිරිත විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළ ක්‍රියාවෙයි යොදවන්නේ අලුතෙන් ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත් සගයෙකු සඳහා ය. විශ්වවිද්‍යාලයේ පිහිටා ඇති පැරණි ශාලා සැමෙකක ම පොකුණු පිහිටා ඇති වුව ද, නවක ප්‍රේමවන්තයා අල්විස් පොකුණ කරාම කැටුව විත් මෙලෙස "පොන්ඩ් කිරීම" සිරිත වේ. මෙය එක්තරා ආකාරයක බෞතීස්ම කිරීමක් සේ ද සැළකිය හැකි ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මා ගත කළ සිව් වසරක සහ දෙමසක කාලය තුළ මා කළ කී දේ ගැන පෙර ලිපියක ලියා ඇත්තෙමි.

http://rasikalogy.blogspot.com/2015/06/what-did-you-do-at-peradeniya-university.html

ඒ වාර්තා කෙසේ වෙතත්, මට ද පළමු වසරේ එක් දිනයක මේ අල්විස් පොකුණේ සීතල වතුරෙන් නා ගැනීම සිදු විය.

මේ ඒ සිදුවීම එදා කවි බසෙන් මා සටහන් කළ ආකාරයයි.

ඒක දිග කතාවක්

ලෝකය කුරිරුය
කටුකය රුදුරුය

නිදහස අහිමිව
සිව් අවුරුදු සිර දඬුවමක් නියමව

හැම අතම අසහනය

... ...

අල්විස් පොකුණේ වතුර සීතලය
මල් පෙති සිනිඳුය
ලෝකය සොඳුරුය෴


ඒ වගත් මෙසේ ම,

-රසිකොලොජිස්ට්

ප/ලි
මගේ අතීතාවර්ජනය එසේ වුව ද, 1988-89 භීම සමයේ දී මේ පොකුණ වටා, විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන් ගේ යැයි පැවසෙන සිරුරෙන් වෙන් කරණ ලද හිස් ගෙඩි රාශියක් ද ප්‍රදර්ශනයේ තබා තිබුණු බව ද අසා ඇත්තෙමි.

Saturday, 17 September 2016

බලු මිනිසා සංකල්පයේ පසුබිම කුමක් විය හැකිද? - Saturday at home


අවුරුදු පහමාරක ළමයෙකු වූ මා විසින් අඳිනා ලද බල්ලෙකු ගේ හිස ඇති මිනිස් රුවක් පිළිබඳ පැරණි මතකයක් මම පසුගිය දිනෙක රසිකොලොජියේ පළ කළෙමි.

එය නිවැරදි මතකයක් නොව අතේ පැළ කළ බොරුවක් බවට එක් නිර්නාමිකයෙකු මතයක් ඉදිරිපත් කළ අතර, වෘත්තීමය කමෙන්ට්කරු හිතවත් ප්‍රා.ජේ. Anubis යැයි ප්‍රශ්නාර්ථයක් සහිතව පවසා තිබුණි.

ඒ බලු මිනිසා ගේ සංකල්පය ඇත්තට ම මගේ සිතට එන්නට ඇත්තේ කෙසේදැයි මා කල්පනා කරන්නට පටන් ගත්තේ එවිටය.

මේ මගේ සිතට එලෙස ආ සිතුවිලි බුලට් පොයින්ටාකාරයෙන් ගොනු කිරීමකි.
  • ප්‍රා ජේ ඉඟි කළ ආකාරයේ (Anubis) පුරාණ මිසර රූප මා දැක තියෙන්නට ඇති ඉඩකඩ අඩු ය. උපාධියට ඉතිහාසය ද හදාරා, පාසලේ ඉතිහාසය විෂයක් ලෙස ඉගැන්වූ ගුරුවරයෙකු ලෙස සේවය කළ, එසේ ම, පුරා විද්‍යාවට ද ඇල්මක් තිබුණු මගේ තාත්තා ලඟ පරණවිතාන ගේ සීගිරි ගී පොත ද, පැරණි සෙල් ලිපි පොත ද ආදී විශාල ප්‍රමාණයේ ඉතිහාස, පුරා විද්‍යා පොත් තිබුණ ද, මිසරයේ පිරමීඩ යනාදිය පිළිබඳ පොතක් තිබුණේ යැයි මට මතක නැත. ලංකාවේ පැරණි සෙල් ලිපි, බිතු සිතුවම්වල මේ ආකාරයේ බලු-මිනිස් රූප නැති බව මගේ අදහසයි.
  • හර්ජේ ගේ ටින්-ටින් කාටූන් පොත් මාලාවේ එක් පොතක් වූ සිගාර්ස් ඔෆ් ද ෆාරාවෝ වැනි පොතක මෙවැනි බලු මිනිසෙකු ගේ රූප සටහනක් තිබෙන්නට ඉඩ තිබුණද, අප ටින්-ටින් පොත් බලන්නට පටන් ගත්තේ හතේ පන්තියේ දී තරම් පසු කාලයක දී ය.
  • නමුත්,
  • දළ කැඩුණු අලියෙකු ගේ හිසක් සහ මිනිස් සිරුරක් හිමි ගණ දෙයියා නම් මිථ්‍යා ජීවියා ගේ ඡායාරූපයක් නම් ඒ වන විට මා දැක තියෙන්නට ඇත.
  • නරසිංහ නමින් හැඳින්වෙන සිංහ හිසකින් ද, මිනිස් සිරුරකින් ද යුතු මිථ්‍යා ජීවියා ගැන ද මට ඇසී තිබෙන්නට ඇත.
  • ධනු නම් ලග්නය දැක්වෙන මිනිස් උඩ කොටසකින් ද, සත්ව කඳකින් ද යුතු රූපය නම් මා අනිවාර්යෙන් ම දැක තියෙන්නට ඇත.
  • මිනිස් සිරුරේ උඩ කොටසින් ද, මතස්‍ය සිරුරකින් ද යුතු මිථ්‍යා දිය කිඳුරියන් ගේ රූප ද මා දැක තියෙන්නට ඇත.
  • බෞද්ධ සාහිත්‍යයේ එන සඳ කිඳුරා යන සත්වයා ද, මිනිස් සිරුරකින් යුතු එකෙකැයි සිතමි.

යමෙකු විසින් කරනු ලබන සෑම නිර්මාණයක් ම, ඔහු ගේ හෝ ඇය ගේ පෙර අත්දැකීම්වල සංකලනයක් බව මම සිතමි. ඒ අනුව බලන කල, මා එදා චිත්‍රයට නැගූ බලු මිනිසා ද, මිනිස් බල්ලා ද යන සත්ව රූප ද්වයම මා විසිම් ඊට පෙර අසා, දැක ඇති පෙර කී ආකාරයේ විකාර රූපී දේ සියල්ලේ ම සංකලනයක් ලෙස නිමවුණු එකක් බව මම සිතමි.

එසේ ම, එය අපරදිගට වඩා පෙරදිග මූලාශ්‍ර ඇතති සංකල්පවල සංකලනයක් බව පෙනේ.




-රසිකොලොජිස්ට්

ප/ලි:
සති කිහිපක් එක දිගටම සෙනසුරාදා දිනවල නිවසෙන් බැහැරව කැන්බරා, මෙල්බර්න්, සිඩ්නි යනාදී නගරවල රස්තියාදු ගසන්නට සිදුවුණ ද, අද නම් නිදහස් සුවයෙන් නිවසේ වෙසෙන්නට වරම් ලැබී ඇත!

ඔබටත් එසේ ම වේවා!!

පසුව එකතු කරමි:




(images: https://en.wikipedia.org/wiki/, https://quantumphoenix.net/2012/05/10/rahu-ketu-the-serpent-demons-who-swallowed-the-sun-and-moon-eclipses/, http://athithawarthmanapagees.blogspot.com.au/p/blog-page_21.html)

Friday, 16 September 2016

හෝඩියේ පන්තියේ ගුරුවරිය එදා කළ දේ කුමක්ද? - Words can generate fear...!


මොකක්ද ටීචර් අර ළමයට කිව්වේ?

ඒ ඇනෝනිමස් කමෙන්ට්කරුවෙකු විසින් මා ලියූ "බලු මිනිසා, මිනිස් බල්ලා" ලිපිය කියවා ඇසූ ප්‍රශ්නයකි. ඔහු (හෝ ඇය) ඒ අසන්නේ මගේ පෙර කී ලිපියේ ඇතුළත් වුණු රේඛා චිත්‍ර ද්වය ඇඳ පෙන්වා අදාළ ගුරුවරියට මගේ විරෝධය දක්වන්නට තරම් එදා වයස අවුරුදු පහමාරක කුඩා ළමයෙකු වූ මගේ සිත කෝපයට පත් කිරීමට තුඩු දුන් ගුරුවරිය කළ ක්‍රියාව කුමක් ද යන්නයි.

මේ ඒ ප්‍රශ්නයට පිළිතුරයි.

ඇත්තටම මගේ හෝඩියේ පන්තියේ ගුරුවරිය සිසු සිසුවියන් කිසිවෙකුට ශාරීරීකව දඬුවම් දීමක් හෝ වැනි දෙයක් එදා කළේ නැත. මගේ මතකයේ හැටියට ඇය ළමුන්ට දඬුවම් කළ අයෙකු නොවේ.

ඇය එදා කළේ තර්ජනයකි. සරලව සලකා බලන කළ කේන්තියට කී කතාවක් යැයි සමහරු බැහැර කිරීමට ඉඩ ඇතත්, වචනයේ අර්ථය ප්‍රායෝගිකව ගතහොත් නම් ඒ තර්ජනය ඉතා දරුණු එකකි.

මා කියන මේ හෝඩියේ පන්තිය යනු එකල පාසලේ පළමුවෙනි ශ්‍රේණියයි. එනම් පහළම පන්තියයි. එහි සිටි සිසුන් සියලු දෙනා ම පාහේ වයස පහේ කුඩා වුන් ය. අද ලංකාවේ ක්‍රමයට මෙය පළමු වසර යනුවෙන් හැඳින්වේ යැයි සිතමි.

මා ඊයේ රසිකොලොජි ලිපියේ ලියූ පරිදි මා උගත් ඒ කොස්සින්න ශ්‍රී ශීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ එකල සම්මත නිල ඇඳුමක් නොතිබුණි. මේ කාලයේ පාසල් යාමට අම්මා මා සැරසූවේ පොප්ලින් රෙදිවලින් නිවසේම මසන ලද, ඉලාස්ටික් දැමූ කලිසම් කොටවලිනි. මගේ උඩු කය සැරසුණේ ඒ ආකාරයේ ම අත් කොට කමිසවලිනි. මට තද රෙද්දෙන් ටේලර්ලා මසන ලද කලිසම් ද, සම්මත අච්චුවේ කමිස ද අඳින්නට ලැබුණේ තුනේ පන්තියේ දී ය.

පන්තියේ සිටි ගෑල්ළමුන් පාසලට සැරසී ආවේ සාමාන්‍ය චීත්ත ගවුමිනි. ඒවා ඒක වර්ණ වූව ද, කිසි සේත්ම, රැළි දැමූ යුනිෆෝම් නම් නොවුණි. බොහෝ ගෑල්ළමුන් ඇන්දේ ඒ දිනවල "කොට්ට උර" නමින් ප්‍රචලිත වූ මෝස්තරයේ (shift) ගවුම් කෑලි බව මගේ මතකයයි.

අර කලකට පෙර ප්‍රකට වී සිටි බණ තලන, විනය තකන පිටකොටුවේ සාදු ගේ අර්ථනිරුපනය අනුව මේ කොට්ට උර ගවුම් යනු උඩිනුත් ඒසී, යටිනුත් ඒසී නොහොත් ඩබල් ඒසී මෝස්තරයේ ගවුම් විශේෂයකි. (ඇත්තටම කෝ ඒ සාදු?)

දිනක් ප්‍රඥාවතී ගුරුවරිය අපට, චීත්ත මෝසතරයක් ඇඳීම හෝ පොත බලා අකුරු ගල්ලෑල්ලේ ලිවීම වැනි, කිසියම් කාර්යයක යෙදෙන ලෙස නියම කර පන්තියේ ඉදිරිපස අප දෙසට මුහුණ ලා පිහිටුවා තිබුණු ඇගේ ලියන මේසය අරා අසුන් ගෙන තමන් ද යම් කාර්යයක නිරත වී සිටියා ය.

පන්තියේ පිටුපස පේළියක සිටි ගෑල්ලමයෙකු ඉදිරියට පැමිණ ගුරුවරියට පිටුපා නැමී, පන්තියේ ඉදිපස පේළියේ සිටි වෙනත් ළමයෙකු සමග කුමක් දෝ කරුණක් කතා කරන්නට පටන් ගත්තා ය.

අපි කුමක් හෝ අපේ කාර්යයේ නිරතව සිටියෙමු.

එක් වරම ඇසුණේ ප්‍රඥාවතී ගුරුවරිය තදින් කෑ ගසන හඬයි.

"හුහ්, ඔහොමද එන්නේ ඉස්කෝලේ? මීට පස්සේ දැක්කොත් පස්ස පැත්ත පුච්චනවා!"

සිදුවූයේ කුමක්දැයි අපට කිසිවක් එක්වරම හිතා ගත නොහැකි විය.

ඒ වන විට පන්තියේ ඉදිරියට පැමිණ ගුරුවරියට පිටුපා නැමී, පන්තියේ ඉදිපස පේළියේ සිටි වෙනත් ළමයෙකු සමග කුමක් දෝ කරුණක් කතා කරමින් සිටි මා පෙර කී ගෑල්ළමයා ඇයට හිමි පන්තියේ පිටුපස පේළියට දිව ගොස් වාඩි වූ වා ය.

අප පසුව දැනගත් පරිදි සිදුවී ඇත්තේ මෙයයි.

ඒ ගෑල්ළමයා එදින පාසලට පැමිණ ඇත්තේ යට ඇඳුමක් නොමැතිව, පෙර මා කී, කොට්ට උර මෝස්තරයේ කෙටි ගවුම පමණක් ඇඳ ගෙන ය. පන්තියේ ඉදිරියට ගොස් ගුරුවරියට පිටුපා නැමුණු පසු ඇගේ නිරුවත් පසුපස ප්‍රදේශය නිරාවරණය වී ඇත.

ප්‍රඥාවතී ගුරුවරිය ගේ තර්ජනයට හේතුව වූයේ එයයි.

පස්ස පැත්ත පුච්චනවා යන තර්ජනයේ දරුණු බව සිහි වී, ඇය ඇත්තටම එසේ කරාවි ද යනුවෙන් මා සිත තුළ බියක් සහ කෝපයක් ඇතිවන්නට ඇත.

මා "බලු මිනිසා සහ මිනිස් බල්ලා රේඛා චිත්‍ර" ඇඳ ගුරුවරියට පෙන්වා දැක්වූයේ ඒ අමානුෂික තර්ජනයට මගේ අහිංසක විරෝධයයි.

-රසිකොලොජිස්ට්

(image: https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcSFgah58ta4gBfXI-juITUi1RWcZEE3sV2Do09mGy4W2Sqjlp7C)

Thursday, 15 September 2016

පොප්ලින් ජංගි කොටේ - From Grade one to grade three


මා වසර පහක් පාසල් ගිය කණිෂ්ඨ විද්‍යාලයේ සිසු සිසුවියනට නියමිත වූ පාසල් නිල ඇඳුමක් නොවුණි. එයට හේතුව එක්කෝ මේ පාසල කොළඹ සිට සැතපුම් පහළොවක පමණ දුරකින් පිහිටියේ වුව ද එය ගම්බද ඉතා කුඩා පාසලක් පමණක් වූ හෙයින් අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍ර ලේඛනවලට අසු නොවුණු නිසා විය හැක. නැතිනම් එකල කණිෂ්ඨ විද්‍යාලවලට නිල ඇඳුම් නියම කිරීමක් කිසිසේත් ම නොතිබුණු නිසා විය හැක.

ඒ කුමක් වුවත් අප පාසලේ සිසු සිසුවියන් පාසලට ඇන්දේ සාමාන්‍යයෙන් වෙනත් ගමන් බිමන් සඳහා අඳින ඇඳුම් පැළඳුම් බව, ඒ සඳහා සාධක ද සහිතව මගේ මතකයේ රැඳී ඇත.

පළමුවෙනි ශ්‍රේණියේ දී මා පාසලට ඇන්දේ පාට පොප්ලින් රෙදිවලින් නිමවූ කමිස සහ කලිසම් ය. මේ සමහර කමිසවල අත් නොතිබුණු අතර ඒවා මසා තිබුණේ අපේ අම්මලා ගේ බ්ලවුස් පතරොම් අනුසාරයෙනි. කමිස කොලර ද රවුම් හැඩයෙන් යුක්ත විය. ඒ සමගම සමහර කමිසවල බොත්තම් පේළිය හෝ බොත්තම් කිහිපය හෝ තිබුණේ කමිසයේ පිටුපසිනි. සාක්කු නම් එකක් නොව දෙකක් ම විය. නමුත් ඒවා තිබුණේ ද කමිසයේ දෙපස කෙළවර හරියේ ය.

එපමණක් නොවේ. මේ කමිස සමහර ඒවා සමනළයින් සහ මල් වැනි සුන්දර චිත්‍ර ඇප්ලික් කොට මසා හැඩ දමා තිබුණි.

කමිස සමග ගැලපෙන පරිදි කලිසම් ද මසා තිබුණේ එම පොප්ලින් රෙදි වර්ගයෙන් ම ය. ඒවායේ ප්‍රධානම ලක්ෂණය වූයේ ඉණ වටා ගිය ඉලාස්ටික් පටියයි. මීට අමතරව මේ කලිසම් සඳහා භාවිතා කළ පතරොම්වල පසුබිම හේතුවෙන් දෝ මේවායේ කිසිදු ආකාරයක සාක්කු යොදා නොතිබුණි.

ඉලාස්ටික් කලිසම් ඇඳීමේ ඇති වාසිය නම් පාසලේ විවේක කාලයේ දී මුත්‍රා කිරීම සඳහා වැසිකිළි පෙළ පිටුපසට ගිය විට (වැසිකිළි ඇතුළට ගියේ ගැහැණු ළමුන් පමණි) බොත්තම් ගැලවීම, ආපසු දැමීම වැනි භාරදූර වැඩ කිරීමට අප වැනි අවුරුදු පහේ කොල්ලන්ට සිදු නොවීමයි.

පාවහන් ලෙස මා පැළදුවේ එක්කෝ බාටා සෙරෙප්පු හෝ නැතිනම් පටි සපත්තු යුගලකි. මේස් දැමීමට සිදුවන නිසා සපත්තු පිළිබඳව අප කිසිවෙකුගේ වැඩි ප්‍රසාදයක් නොතිබුණි. මට මතක ආකාරයට ඉඳහිට ඇතමෙක් පාවහන් කිසිවක් නොමැතිව ද පාසලට පැමිණියහ.

අපේ පන්තිවල සිටි ගැහැණු ළමෝ බොහෝ දෙනෙකු පාසලට ඇන්දේ චීත්ත රෙදිවලින් මැසූ ගවුම් ය. ගුරුවරින් ගේ දරුවන් හෝ එවැනි පවුල්වල ගැහැණු ළමෝ වර්ණවත් කෘතිම රෙද්දෙන් මසා, විවිධ කැටයම් දමා අලංකාර කරණ ලද ගවුම් ඇන්දාහ. මේ බොහොමයක් ගවුම් එකල කොට්ට උර යැයි හැඳින්වුණු විලාසිතා වේ විය.

මා පාසලට ගිය මුල් වසර දෙක තුළ ඉහත සඳහන් ආකාරයට පොප්ලින් කමිස සහ කලිසම් ඇඳීමට එක හේතුවක් වූයේ සම්මත කමිස සහ කලිසම් සහිත පාසල් නිල ඇඳුමක් නියමව නොතිබුණු නිසා ම නොව මගේ මවට මෙන්ම පියාට ද නිවසේදී ම රෙදි කපා ඇඳුම් මසා ගැනීමේ දැනුමත්, ඒ සඳහා අවශ්‍ය සිංගර් මහන මැෂිමකුත් ද තිබුණු හෙයිනි.

මේ පහසුකම් තම නිවෙස්වල නොතිබුණු ඇතැම් පිරිමි ළමුන්, ඒ කාලයේදී ම ටවුමේ ටේලර් සාප්පුවෙන් මසා ගත් නිවරදිව අත් සහ සාක්කුවලින් යුතු වූ කමිසද, පොප්ලින් රෙදිවලින් නොව කලිසම් රෙදිවලින් මැසූ බොත්තම් සහ සාක්කු සහිත කලිසම් ද ඇන්දාහ.

සම්මත මෝස්තරයේ කමිස සහ කලිසම් ඇඳි ඒ සමහර සිසුන්ගෙන් "රසිකයා ජංගි අඳිනවා, බ්ලවුස් අඳිනවා" යැයි සරදම් ද මට විටෙක එල්ල විය. එසේ වුවද, ඒ සරදම් බස් ඉවසා සිටිනවා මිස, ඒ බව දෙමව්පියන්ට පවසා වෙනත් ඇඳුම් අවශ්‍යයැයි ඉල්ලීම් කිරීමට මම කිසිදා නොපෙළඹුණෙමි.

වාසනාවකට මෙන් මා පාසලේ තුන්වෙනි ශ්‍රේණියට පා තබත් ම, ගල්ලෑල්ල සහ ගල්කූරේ සිට අභ්‍යාස පොත සහ පැන්සල දක්වා උසසවීම් ලැබුවා සේම මට පොප්ලින් ජංගියේ සිට ටසෝ හෝ ඩ්‍රිල් වැනි නමකින් හැඳින්වු නියම ප්‍රමිතියේ කලිසම් රෙද්දෙන් ටවුමේ ටේලර් විසින් මැසූ කලිසම් දක්වා ද උසස්වීමක් ලැබුණි.

මා පාසලට අඳින කමිස ද නියම ප්‍රමිතියට මැසූ සුදු කමිස දක්වා වෙනස් විය.

මේ ලිපියේ යොදා ඇත්තේ මා පස්වෙනි ශ්‍රේනියේ සිටිය දී ගන්නා ලද ඡායාරූපයකි.

බලු මිනිසෙකු සහ මිනිස් බල්ලෙකු ගේ රේඛා චිත්‍ර ගල්ලෑල්ලේ ඇඳ මගේ නිහඬ විරෝධය පෙන්වීමට තුඩු දුන් හෝඩියේ පන්තියේ ගුරුවරිය ගේ ක්‍රියාව ගැන ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න!

-රසිකොලොජිස්ට්

Tuesday, 13 September 2016

බලූ-මිනිසා සහ මිනිස්-බල්ලා - I cannot believe I did this


මේ කතාව කියවන ඔබ එය එක්වරම විශ්වාස නොකරන්නට ඉඩ ඇත. මගෙන් ප්‍රශ්න රැසක් අසන්නට ඉඩ ඇත. ඒ අවසානයේ වුව ද, ඔබේ සිතේ ඇති කුකුස මුළුමනින් ම නැති කරන්නට මට හැකි නොවන්නට ද ඉඩ ඇත.

එසේ වුවොත් එය සමාව දිය හැකි කරුණකි. ඒ කුමක් නිසා ද යත්, වෙනෙකෙකු තමන් ගැන මට මේ කතාව අද කීවොත්, මා ද එය විශ්වාස කරන්නට පෙර ඒ ගැන ප්‍රශ්න කරන්නට බොහෝ දුරට ඉඩ ඇති නිසා ය.

මේ සිදුවීම මා ප්‍රාථමික පාසලේ පළමුවෙනි ශ්‍රේණියේ ඉගෙන ගත් කාලයේ සිදු වූ මා හා සම්බන්ධ එකකි. එනම්, මට ම අයිති මගේ ම අත්දැකීමකි. මේ කතාව පිළිබඳව මට මෙන්ම ඔබට ද අවිශ්වාසය ඇති කරන එකම කාරණය නම්, එකල මා වයස අවුරුදු හයකට අඩු කුඩා ළමයෙකු වීමයි.

අපේ පන්තිය භාර ගුරුවරිය වූයේ ප්‍රඥාවතී ටීචර් ය. ඇගේ රුව මගේ සිහියේ රැඳී ඇත්තේ සුදු මිශ්‍ර ඔසරියකින් සැරසුණු, අඩකට වඩා සුදු පැහැගත් හිසකින් යුතු විශ්‍රාම වයසේ කාන්තාවක ලෙසයි. එයට හේතුව ප්‍රඥාවතී ටීචර්ව මා මෙයින් වසර පහළොවකට පමණ පසුව ද දැක තිබීම විය හැක. මේ කාලයේ ඇය වයස අවුරුදු හතළිහකට වැඩි නොවන්නට ඇතැයි වෙනත් කරුණු මත අනුමාන කරමි.

අමුතු කරුණාවන්ත කමක් අපට පෙන්වූ බවක් මගේ මතකයේ නැති වුවද, ප්‍රඥාවතී ටීචර් නපුරු ගුරුවරියක ලෙස මම වර්ග නො කරමි. එසේ වෙතත්, ඇගේ පන්තියේ උගත් සිසුන් වූ අප නම්, ඒ වසරේ ජනවාරියේ දී පාසල් අධ්‍යාපනය ඇරඹූ, එනම් වයස යාන්තම් අවුරුදු පහ පිරුණු, ඕනෑම අයෙකුගේ සිත මොළොක් කරවන සුරතල් ළමුන් පිරිසක් යැයි සිතීමට මම කැමැත්තෙමි. පළමුවෙනි ශ්‍රේණියේ ළමුන්ට නපුරුකම් කරන ගුරුවරියක කිසිදා සිටී යැයි මට නොසිතේ.

එසේ නමුත්, ප්‍රඥාවතී ටීචර් එක්තරා දිනයක, එක්තරා සුවිශේෂී අවස්ථාවක, අපේ පන්තියේ එක්තරා ගැහැණු ළමයෙකුට තර්ජනාත්මක විලාසයෙන් කියූ එක්තරා නපුරු කතාවක් නිසා මගේ හිත තදින් තිගැස්සුණි.

ඒ ගැන මගේ විරෝධය ඇයට පෙන්වීමට මට අවශ්‍ය වී ය.

නමුත් අවුරුදු පහමාරක දරුවෙකු එවැන්නක් කෙසේ නම් කරන්නද?

සම වයසේ අයෙකුට හෝ බාලයෙකුට හෝ නම් ටොක්කක් අනින්නට හෝ කොනිත්තන්නට හෝ පහරක් ගහන්නට හෝ අඩු වශයෙන් බනින්නට හෝ හැකිය.
නමුත් වැඩිහිටියෙකුට?

ඔබේ පන්තිය භාර ගුරුවරිය ට?

මා මුහුණ දුන් තත්වය ඔබට තවත් විස්තර කළ යුතු නැති යැයි සිතමි.

ඉතින් මා එදා කළේ මෙයයි.

අප එකල පාසලේ දී භාවිතා කළේ ගල්ලෑලි සහ ගල්කුරයි. පැන්සල සහ අභ්‍යාස පොත් භාවිතයට අපට අවසර ලැබුණේ තුන්වෙනි ශ්‍රේණියේ දී ය.

මම ගල්ලෑල්ලේ එක පැත්තක ගල්කූරෙන් චිත්‍රයක් ඇන්දෙමි. ඒ බලූ හිසක් සහිත මිනිසෙකි. ඒ චිත්‍රයේ අද මගේ ප්‍රතිනිර්මාණය මෙසේ ය.



ගල්ලෑල්ලේ අනිත් පැත්තේ මම වෙනත් චිත්‍රයක් ඇන්දෙමි. ඒ මිනිස් හිසක් සහිත බල්ලෙකි. ඒ දෙවෙනි චිත්‍රයේ මගේ අද ප්‍රතිනිර්මාණය මෙසේ ය.



පන්තියේ ඉදිරිපසට ගොස් ඒ චිත්‍ර දෙක ප්‍රඥාවතී ටීචර් ට පෙන්වූයෙමි. ඇය තරමක හෝ විස්මයට පත් වෙන්නට ඇත. නමුත්, ඇය කිසිදු ප්‍රශ්නයක් නො නගා ගල්ලෑල්ලේ ඇඳි සිතුවම් දෙකට විශාල හරි ලකුණු දෙකකින් සංග්‍රහ කළා ය.

මා ඒ චිත්‍ර යුගල නිර්මාණය කර ඇයට පෙන්වන්නේ, පෙර කී ඇගේ අනිසි වදන් පෙළ ගැන මගේ ඇති විරෝධය දැක්වීම බව ඇය කිසිසේත් ම දැන නො ගන්නට ඇත. මම ද, ඒ ගැන කිසිත් නො කියා ආපසු පැමිණ පන්තියේ දෙවෙනි පේළියේ මගේ පුටුවේ වාඩි වුණෙමි.

මගේ චිත්‍ර යුගල, අඩුතරමින් මට ඉදිරියේ අසුනේ සිටි රාජිකා පොද්දල්ගොඩට හෝ අසල සිටි ආනන්ද ජයතිලකට හෝ පෙන්වූවාදයි මට මතක නැත.

ගල්ලෑල්ලක ගල්කූරකින් ඇඳි අකුරු හෝ සිතුවම් හෝ පසුව අත්විඳින අනිවාර්ය ඉරණම, මගේ ඒ විරෝධතා සිතුවම් යුගලයට ද එදින පාසල නිමා වෙන්නට පෙර හිමි විය. ඒ නිර්මාණ දශක හතරකටත් වඩා වැඩි කාලයක් දිගටම මෙලෙස ඇඳී තිබුණේ මගේ හිතේ පමණි.

මේ කතාව වෙනකෙකු කියනවා මා ඇසුවොත් මට එය විශ්වාස කරන්නට අසීරු වන්නේ, මා කලින් ඉඟි කළ පරිදි, මේ විරෝධය දැක්වූයේ වයස අවුරුදු පහක නොමේරූ ළමයෙකු වීම නිසා ය. මා ඒ කරන්නේ විරෝධය පෑමක් බව, ප්‍රඥාවතී ටීචර් දැන නොගන්නට ඇත්තේ ද එ නිසා ය.

ඇය මින් වසර කිහිපයකට පෙර වයස්ගතව මිය ගියේ මගේ විරෝධය පිළිබඳව කිසිදු අදහසක් නොමැතිව බව හැඟෙන විට නම් මට අද ඇති වෙන්නේ තරමක දුකකි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ප්‍රකාශනයක් වන "සන්නස" මාසික සඟරාවේ 2016 මැයි කලාපයේ පළ වූ ලිපියකි.
http://sannasa.sinhalajukebox.org/2016/May/2016May2_page06.pdf

(http://www.skepticmoney.com/calvin-and-hobbes-on-religion/)

Friday, 9 September 2016

පොඩි පහේ නයෙක් ඇරීමක් - Size depends


මා මේ සැරසෙන්නේ පොඩි පහේ නයෙක් ඇරීමටයි.

හැබැයි මේ අර
අපේ ලොන්ඩරි කාමරයේ ඇති කිලෝ හතේ කම්බයින්ඩ් වොෂර් සහ ඩ්‍රයර් එක ළඟින් විත්,

කුස්සියේ ඇති සිරස් දොර දෙකේ ශීතකරණ අල්මාරිය අසලින් පහළට බැස,

ඩිෂ් වොෂරයේ ගෑවෙමින්,

බිමට අල්ලා ඇති පොලිෂ්ඩ් පෝසිලේන් ටයිල්ස් දිගේ ලෙස්සමින් විත්,

නිවසේ විනෝද කාමරයේ තිබෙන අඟල් හැට පහේ අල්ට්‍රා හයි ඩෙෆිනිෂන් ටෙලිවිෂන් එක සහ සවුන්ඩ් බාර් එක මග හැර උඩ තට්ටුවට ගොස්

මාස්ටර් බෙඩ්රූමයේ බිත්තියේ එල්ලා ඇති අඟල් පනස් පහේ 3ඩී ටෙලිවිෂනය අසලින් සීලිමට නැග,

මගේ ලේඛන කටයුතු කරන කාමරයේ ඇති අඟල් විසි හතරේ ඕල්-ඉන්-වන් පරිගණකයේ සහ ලැප්ටොප කිහිපයේ ගෑවී නොගෑවී බිමට බැස,

එතැනිස් රම්පස් කාමරයට ඇදී එහි ඇති අඟල් හතළිස් පහේ ප්ලාස්මා රූපවාහිනී කට්ට දෙස ඇසක් ඇර නොබලා,

සඳලු තලය ඔස්සේ ගරාජයට බැස

අපේ සුබාරු ලිබර්ටි ෆුල් ඔප්ෂන් වාහන දෙක යටින් ඇදී ගිය
නාග රාජයාවන් ලොකු ම ලොකු නාගයෙකු නම් නොවේ.

මූ තරමක පුංචි නයෙකි.

එසේ ම මූ තරමක පැරණි නයෙකි.

කොටින් ම, මේ නයා ප්‍රමාණයෙන් ඒ-4 ප්‍රමාණයේ ය.

එසේම මේ නාකි නාග රාජයා ගේ වයස වසර විසි හතරක් ම වේ.

මෙන්න නයා!



ඒ මගේ අයිඊඑල්ටීඑස් හෙවත් ඉංග්ලිෂ් ප්‍රවීණත්වය මනින විභාගයේ ප්‍රතිඵල සටහනයි.

මා අයිඊඑල්ටීඑස් විභාගයට පෙනී සිටියේ මීට වසර විසි හතරකට පමණ පෙර 1992 දී, කොළඹ දී ය. ඒ මා ඕස්ට්‍රේලියාවේ නිත්‍ය පදිංචිය සඳහා යොමු කළ අයැදුම් පතට අනුව කෙරුණු මගේ කුසලතා අගැයීමේ ක්‍රියාවලියේ එක් කොටසක් ලෙස, මේ පරීක්‍ෂණයට පෙනී සිට මගේ ඉංග්ලිෂ් ඉංග්ලිෂ් භාෂා දැනුම පෙන්වන ලෙස, මහ කොමසාරිස් කාර්යාලයෙන් කළ දැනුම් දීමක් අනුව නොකරම බැරි නිසා මුහුණ දුන් විභාගයකි.

විභාගයට පෙර මුදල් ගෙවා ආදර්ශ ප්‍රශ්නෝත්තර සහ කැසට්ටුවක් ද ඇතුළත් වූ පොතක් බ්‍රිටිෂ් කවුන්සලයෙන් මිලට ගෙන තරමක පුහුණුවක් ලැබුවෙමි.

මා ලැබූ ඉහත බෑන්ඩ් අටේ විභාග ප්‍රතිඵලය නිසා මා අමන්දානන්දයට පත් වූ බව අමුතුවෙන් කිව යුතු නැත.

මා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළේ 1995 දී ය. එදා සිට දැන් විසි එක් වසරක් ජීවිතය මෙරට ගෙවී ඇත.

මා මේ ලිපියෙන් කියන්නට අදහස් කළේ, සාමාන්‍ය නයා ඇරීම් යැයි පැවසෙන විස්තර කිරීම් ඇත්තට ම අපට අත්පත් කර ගත හැකි දිරා යන භෞතික දේ වුව ද, මේ ආකාරයේ නයි ඇරීම් සඳහා උපයෝගී කර ගන්නා අධ්‍යාපනික සමත්කම් පිළිබිඹු වෙන නිමිති නම් සදාකාලිකව එක සේ වැදගත් කමෙන් යුතු දේ බවයි.

ස්වභාවික අනතුරුවලින්, සොර සතුරන් ගෙන්, රාජ සන්තක වීමෙන් මේ ආකාරයේ දේ කිසි දිනක නැති නොවේ.

"උගත මනා ශිල්පය මැයි මතු රැකෙනා!" යැයි ඒ ප්‍රසිද්ධ කවියේ කියවෙන්නේ ඒ නිසා ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:

"ඉතිං රසික, ඔයා ඒ ප්‍රතිඵල එක්ක ඕස්ට්‍රේලියාවට ගියාම මොකද එහේ අය කිව්වේ?"

"ආ, මාව කෙළින් ම ගත්තා මෙහේ සුද්දන්ට ඉංග්ලිෂ් උගන්වන ජොබ් එකකට!"

(image: http://transyl2014.blogspot.com.au/2015/06/blog-post_12.html)

Thursday, 8 September 2016

පොත් පිස්සුව ඉහටම ගැසීම - Best madness ever


"නානසාරලාට පිස්සුද, නැතිනම් අපට පිස්සු ද? - Are they crazy or are we crazy?" නමින් මා ලියූ ලිපියේ සඳහන් කළ ආකාරයට අපි සැවොම විවිධාකාර පිස්සෝ වෙමු.

පොත් කියවීමට ඇති කැමැත්ත ද අනිවාර්යෙන් ම පිස්සුවකි. වෙනත් වචනවලින් කිවහොත් මානසික ව්‍යාධියකි.

නමුත්, සාමාන්‍ය පිළිගැනීම නම් පොත් පිස්සුව අප පෙළෙන විවිධාකාරයේ පිස්සු අතර හොඳ පිස්සුවක් බවයි. එසේම, අනෙකුත් පිස්සු රෝගවලදී මෙන් ම, මේ පිස්සුවේ ද, ලා සිට සිරා දක්වා, විවිධ රෝගී මට්ටම් ඇත.

මගේ පොත් පිස්සුව ඇරඹුණේ කුඩා කාලයේ දී ම ය. එයට හේතුව වෙන්නට ඇත්තේ මා කියවූ මුල්ම නවකතාව විය යුතුයි. එය ගුණදාස ලියනගේ ලියූ මුලු හදින් මම ඇයට පෙම් කොට නම් පෙම් කතාවයි. ඒ මා හතරවෙනි ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටි කාලයේ දී ය.

එතෙක් කල් මිහිර පුවත්පත කියවමින් සිටි මම, ගුණදාස ලියනගේ විසින් ලියන ලද මුලු හදින් මම ඇයට පෙම් කොට කියවා මිහිරෙන් මිහිරට පත් වුණෙමි.

නමුත්, මගේ පොත් කියවීමේ පිස්සුව ලා මට්ටමෙන් ඔබ්බට නැග ඒමට බාධක කිහිපයක් විය. ඉන් මූලික ම බාධකය වූයේ අපේ නිවසේ මට කියවීමට පොත් නොතිබීමයි.

අම්මා ද, තාත්තා ද කියවීමට තරමක රුචියක් ඇති අය වුව ද, ඔවුන් නවකථා යනාදිය මුදල් දී මිලට ගත් අය නොවූහ. රජයේ ගුරු රැකියාවෙන් මාසිකව තාත්තා ගේ අතට ලැබෙන තුට්ටු දෙකෙන් කිරීමට වෙනත් වඩා වැදගත් දේ ඔවුනට එමට තිබුණි.

සති අන්ත පුවත්පත් මිලට ගත්ත ද, පොත් සම්බන්ධයෙන් නම් තාත්තා කළේ, මිතුරන්ගෙන් ඉල්ලා ගෙනැවිත් කියවීමයි. අවාසනාවට ඒවා ඉංගිරිසියෙන් ලියවුණු පොත් විය. මට එකල එතරම් පිස්සුවක් නොතිබුණු නිසා, මම ඒ පොත් දෙස ඇස් ඇර නොබැලුවෙමි.

වරක් තාත්තා ඔහු සුරුට්ටු මිලට ගන්නා කඩේ තිබී පැරණි රීඩර්ස් ඩයිජස්ට් සඟරා මිටියක් නිවසට රැගෙන ආවායින් පසු වුව ද, මා ඒවායේ තිබුූ ලිපි නොව සඟරාවේ හිඩැස් පුරවන්නට යොදා තිබුණු කොමික් කෑලි පමණක් අමාරුවෙන් කියවා සතුටු වුණෙමි.

අම්මා ගේ කියවීම, මාසික ශ්‍රී සඟරාවටත්, එකල සතිපතා පළවුණු පත්තරයක් වූ රසකතා සඟරාවටත් සීමා විය. මිහිරෙන් මිහිරට පත්වූ පසු මම ද මේ සඟරා කියවීම ඇරඹුවෙමි.

රසකතා සඟරාවේ පළවී තිබී මා කියවූ කෙටිකතාවක් නිසා ලැබූ අත්දැකීමක් පදනම් කරගෙන මා ලියූ කෙටිකතාවක් සහ ඒ ගැන සටහනක් පෙර දිනක රසිකොලොජියේ පළ කර ඇත.

අපේ නිවස අසල තිබුණු මැයි සිංඤෝ ගේ නිවසෙන් අම්මා මට කියවන්නට මාර්ටින් වික්‍රමසිංහ ගේ මඩොල්දූව ඉල්ලා දුන්නා ය. එය මා කියවූ මුල්ම සම්ප්‍රදායික යොවුන් නවකතාවයි.

මේ කාලයේ කොළඹ ගුණසේන පොත් සමාගම විසින් ළමුන් උදෙසා ළමා පොත් සමාජයක් ආරම්භ කර තිබුණි. මෙහි මූලික සේවාව වූයේ, තැපැල් මගින් පොත් ගෙන්වා ගත හැකි වීමයි. පොත් සමාජයේ සාමාජිකයින්ට මාසයෙන් මාසයට වාගේ මුද්‍රිත පොත් ලයිස්තුවක් තෑපෑලෙන් ලැබේ. එයින් අවශ්‍ය පොත් තෝරා, අදාළ ගාස්තුවත් සමග මුදල් ඇණවුමක් යැවූ විට ඒවා තැපෑලෙන් නිවසට ම ගෙන්වා ගත හැකි විය.

දවස සමාගමෙන් පළකළ අම්මා ගේ ප්‍රියතම රසකතා සඟරාව හරහා මේ ගැන දැනගත් මට ද ගුණසේන පොත් සමාජයට බැඳී මටම කියා පොත් මිලට ගෙන හිමිකර ගැනීමට ඉඩ ලැබුණි.

ඒ හරහා මා මිලට ගත් බොහොමයක් පොත්, කාලයකට පෙර මුද්‍රණය කරනු ලැබූ, එහෙත් නොවිකිණී ඉතිරි වී තිබුණු, එ නිසාම විශාල වට්ටම් සහිතව පසුව අලෙවි කෙරුණු ඒවා වී ය. මුළු හදින් මම ඇයට පෙම් කොට නවකතාව ද, රසකතා සඟරාවේ කෙටිකතා ද, වැනි නිර්මාණ රසවිඳ සිටි මට මේ ගුණසේන -ළමා පොත්- මෙලෝ රහක් නොමැති වූ බව අමුතුවෙන් කිය යුතු නැතැයි සිතමි.

හයේ පන්තියේ සිට ගලහිටියාව මධ්‍ය විද්‍යාලයට ඉගෙනුමට ගිය විට, එහි පුස්තකාලයෙන් මසකට පොත් දෙක තුනක් කියවීමට අපට ඉඩ ලැබුණි. ඒ පුස්තකාලයට ගොස් නොවේ. වසර මුල දී පුස්තකාලයට යන පන්ති භාර ගුරුවරයා පන්තියේ සිසුන් සංඛ්‍යාවට සමාන පොත් සංඛ්‍යාවක් තෝරා පන්තියට ගෙන එයි. ඉන් පසු අප සෑම සඳුදා දිනයකම අපේ පොත පාසලට ගෙනැවිත් අප කියවා නැති වෙනත් පොතක් සමග හුවමාරු කර ගත යුතුය.

ඒ අගනා වැඩ පිළිවෙළ නිසා අපේ පන්තියේ කිහිප දෙනෙකුටවත් ලා මට්ටමට හෝ පොත් පිස්සුව හැදෙන්නට ඇති යැයි සිතේ.

මගේ පොත් කියවීමේ දිවියේ හොඳම කඩඉම වූයේ මගේ දහතුන්වෙනි උපන්දිනයට මා කොළඹ ගුණසේන පොත් සාප්පුවට කැඳවා ගෙන ගිය සුනීතා පුංචි අම්මා, මට පොත් කිහිපයක් ම මිලට ගෙන දීමයි. මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා, මැංචෝසන් චාරිකා වැනි පරිවර්තන කිහිපයක් ම ඒ පොත් අතර විය.

ඉන් පසු මගේ පොත් කියවීමේ වේගය සීඝ්‍රගාමී දුම්රියක් මෙන් ත්වරණයක් ලද අතර, පාසල සහ විශ්ව විද්‍යාලය අතර ගෙවුණු වසරකට වැඩි ගන්ධබ්බ කාලයේ ගම්සභා පුස්තකාලය ම කියවා හමාර කරන්නට මට හැකි විය.

මා කලින් කිවා සේ, පොත් කියවීමට ඇති පිස්සුව, ඇත්තටම හොඳ පිස්සුවකි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කලකට පෙර ලියූ අතීත සටහනකින් කොටසකි. අද පළ කරන්නේ සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

(image: http://www.dailymail.co.uk/tvshowbiz/article-3073155/Mel-Gibson-arrives-Mad-Max-Fury-Road-premiere-poses-replacement-Tom-Hardy-said-awkward-meeting-actor.html)

Tuesday, 6 September 2016

පෝලීන් හැන්සන් යනු කවුද? - Pauline Hanson and her influence on Sri Lankan politics


මා මේ ලියන සටහන "මගේ දෙයියා සහ උඹේ දෙයියා" ලිපියේ ඇරඹුණු දිගු කථාවෙන් පැන නැගුණු "ගංගොඩවිල සෝම සහ දෙයියෝ" නම් අත්තේ දෙවන පුරුක යි. එහි අවසාන අතු රිකිලි පසුව දළුලනු ඇත.

ඕස්ට්‍රේලියාව පාලනය වන හැටි සහ එහි ඡන්ද ක්‍රමය ගැන මම මීට පෙර ලිපි කිහිපයක් ම, ලියා ඇත්තෙමි. ඒ සමගම, පසුගිය ජූලි මාසයේ ෆෙඩරල් රජය පිහිටුවීම සඳහා පැවැත්වුණු මහ ඡන්දය ගැන ද, මම ලිපි දෙකක් ලියූවෙමි.

මා මුලින් ම ඕස්ට්‍රේලියාවේ දී දුටුවේ ද ෆෙඩරල් මහ ඡන්දයක් පැවැත්වෙන ආකාරය යි. ඒ 1996 මාර්තුවේ දී ය. එවකට මා මෙරටට සංක්‍රමණය කර වසරක්වත් ගත වී නොතිබුණි. මා ද්විත්ව පුරවැසියෙකු වීමට ලංකාංඩුවෙන් ගාස්තු ගෙවා අවසර ගෙන ඕස්ට්‍රේලියානු පුරවැසිබව හිමි කර ගත්තේ වසර 1998 වසරේ ජනවාරි යේ දී ය.

මේ කරුණු නිසා මට ඒ 1996 ඕස්ට්‍රේලියානු මැතිවරණය ගැන තිබුණේ තරමක උනන්දුවක් පමණි. මා දැන සිටියේ එවකට පැවතියේ අගමැති පෝල් කීටින් ගේ නායකත්වයෙන් යුතු කම්කරු පක්‍ෂයේ රජයක් බවත්, විපක්‍ෂය වූයේ ජෝන් හාවඩ් නායකත්වය දැරූ ලිබරල් පක්‍ෂය හා ඔවුන් සංධානගතව සිටි නැෂනල් පක්‍ෂය බව වැනි සරල කාරණා කිහිපයක් පමණි.

කම්කරු පක්‍ෂය ඒ වන විට බලයට පැමිණ වසර දහ තුනක් පමණ ගෙවී තිබුණු අතර ෆෙඩරල් පාලනයේ තට්ටු මාරුවකට කාලය එළැඹී තිබුණු බව රට හැම අතින් ම ලැබෙන ප්‍රවෘත්තිවලින් දිස්වුනි.

මේ ඡන්දය සඳහා ලිබරල්-නැෂනල් සන්ධානයෙන් ක්වීන්ස්ලන්තයේ ඉප්ස්විච් නම් ඡන්ද කොට්ඨාශය සඳහා නාම යෝජනා ලැබී තිබුණේ පෝලීන් හැන්සන් නම් කාන්තාවකටයි. ඇය එවකට කඩයප්පම් කඩයක හිමිකාරියක වූ අතර නගර සභා මැම්බර්වරියක් ලෙස අර්ධකාලීන දේශපාලනයට ද පිවිස තිබුණි.

දුර බැහැර පළාතකින් ඡන්දයට මුල්වරට ඉදිරිපත්වන ප්‍රධාන පක්‍ෂයක අපේක්‍ෂකයෙකුට වුව ද ජාතික තලයේ ප්‍රචාරයක් සාමාන්‍යයෙන් නොලැබේ. විශේෂයෙන් ම, මේ ඔක්ස්ලි ආසනය කම්කරු පක්‍ෂය විසින් ඉන් පෙර ඡන්දයේ දී දිනාගෙන තිබුණේ 12% පමණ වැඩි ඡන්ද ප්‍රමාණයකින් නිසා, එය සැලකුණේ ආරක්‍ෂිත කම්කරු පක්‍ෂ ආසනයක් ලෙසයි.

එසේ නමුත්, පෝලීන් හැන්සන් ඡන්දයේ ප්‍රචාරක සමයේ කළ එක්තරා කැළඹුම්කාරී ප්‍රකාශයක් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම නිසා, ඇයට තරමක ප්‍රසිද්ධියක් ලැබුණි.
ඇය කළ ඒ ආන්දෝලනාත්මක ප්‍රකාශය වූයේ ඕස්ට්‍රේලියාවේ ආදිවාසික ජනතාව රජයෙන් දෙන ශුභසාධන දීමනා අන් ජන කොටස්වලට වඩා වැඩියෙන් භුක්ති විඳිමින් වංචා සහගතව ජීවත්වෙන බවයි.

ඒ ප්‍රකාශය ජාතික මාධ්‍ය හරහා ප්‍රසිද්ධවීමත් සමගම ඇයට විරුද්ධව විශාල විරෝධයක් රට සතර අතින් නැගුණි. ඒ විරෝධයේ අවසාන ප්‍රතිඵලය වූයේ ලිබරල් පක්‍ෂ ප්‍රතිපත්තියට එරෙහි ප්‍රකාශ කිරීමේ වරදට, නායක ජෝන් හාවඩ් විසින් පෝලීන් හැන්සන් අපේක්‍ෂිකාවට දුන් පක්‍ෂ සහයෝගය ඉවත් කිරීමයි.

එසේ නමුත් ඡන්දයේ දී සිදුවූයේ ජෝන් හාවඩ් ප්‍රමුඛ ලිබරල් පක්‍ෂය හෝ අන් ප්‍රදේශවල ජනතාව හෝ අපේක්‍ෂා නොකළ දෙයකි. පෝලීන් හැන්සන් ඔක්ස්ලි ඡන්ද කොට්ඨාශයේ මන්ත්‍රීවරිය ලෙස තේරී පත්වූවා ය.

ඒවන විට රටේ විවිධ පළාත්වලින් යම් යම් අති දක්‍ෂිණාංශික ප්‍රතිගාමී බලවේග ද ඇය වටා එක්රොක්වන්නට පටන් ගෙන තිබුණි.

ඒ වසරේ අලුත් පාර්ලිමේන්තුව රැස්වූ පසු, තම මංගල පාර්ලිමේන්තු කතාවේදී පෝලීන් හැන්සන් පෙරටත් වඩා ආන්දෝලාත්මක ප්‍රකාශයක් කළා ය. එංගලන්ත ජනපද එක්කොට 1901 දී ඕස්ට්‍රේලියාව නම් රාජ්‍යය පිහිටවූ දිනවල ම සිට වාගේ රටේ පැවතුණු සුදු ඕස්ට්‍රේලියා ප්‍රතිපත්තිය කෙමෙන් අතහැර දමමින් හැත්තෑව දශකයේ මුල් භාගයේ දී ක්‍රියාත්මක කරන්නට යෙදුණු ඕස්ට්‍රේලියාව බහු සංස්කෘතික රටක් කිරීමේ ප්‍රතිපත්තිය විවේචනය කරමින් කතා කළ පෝලීන් හැන්සන් පවසා සිටියේ සංක්‍රමණය සහ ජනගහන වර්ධනය අනුව රට ඉතා ටික කාලයකින්ම ආසියානුවන් ගේ රටක් බවට පත්වීමට නියමිත බවයි.

එහිදී ආසියානුවන් ලෙස හැඳින්වුණේ සාමාන්‍යයෙන් චීන සහ කොරියන් වැනි සම්භවයකින් යුතු ජන කොටස් ය.

ප්‍රායෝගිකව සිදුවෙන බවට කිසිසේත් ම ඔප්පු කර පෙන්විය නොහැකි ඒ ප්‍රකාශය ගණිතඥයින් ගේ ද, සමාජ විශ්ලේෂකයින් ගේ ද, ප්‍රගතිශීලී ඕස්ට්‍රේලියානුවන් ගේ ද, සරදමට භාජනය වුවත්, රටේ විවිධ ප්‍රදේශවල පිරිස් එය විශ්වාස කරන්නට ඇත.

සමහර විට වික්ටොරියා ප්‍රාන්තයේ, නෝබල් පාක් ගම්මානයේ පන්සලක සිටි ලාංකික භික්‍ෂුවක් ද එය විශ්වාස කරන්නට ඇත.

විශ්වාස කරනවා පමණක් නොව එය තමන්ට කොයි ආකාරයකට පාවිච්චි කළ හැකි ද කියාත් ඔහු එදා සිතා බලන්නට ඇත!

ඒ විස්තර ද දිනක ලිවිය යුතුය.

-රසිකොලොජිස්ට්

(http://www.whaleoil.co.nz/2014/10/sure-channelling-pauline-hanson-winner-jacinda-dear/)

Friday, 2 September 2016

මේ කෑම වේලාවයි! - All you can eat


ඕස්ට්‍රේලියන් ෆෙඩරල් ඡන්දයේ ප්‍රතිඵල එනතුරු සිටින කාලයේ දී සිහියට ආ පැරණි සිතුවිල්ලක් අනුව මා ලියූ දිගු ලිපියක මුල් කොටස "මගේ දෙයියා සහ උඹේ දෙයියා" ලෙසින් කඩා පළ කළෙමි. එහි දෙබලකින් විහිදෙන එක් අත්තක පුරුක "ගංගොඩවිල සෝම සහ දෙයියෝ" නමින් පසුව පළ විය.

ඒ අත්තේ රිකිලි කිහිපය අද පළ කරන්නට සිටිය ද, එය මදක් කල් දැමීමට සිදු වේ.

ඒ වෙනුවට මෙන්න පොඩි තරගයක්.

මේ පහත පෙනෙන්නේ මේ සතියේ දින දෙකක මගේ දිවා ආහාරයයි. මේ ආහාර ගැන ලිපියක් මා කලින් දිනක රසිකොලොජියේ පළ කර ඇති අතර, මේ ඡායාරූප ද ෆේස්බුක් හි දින දෙකකට කලින් පළ කළෙමි.

මේ ඡායාරූප දෙකේ ඇති වෙනස්කම් මොනවා ද?



මෙය මගේ අත බලා මා මැරෙන දිනය ගැන කියන්නැයි මා කළ අභියෝගය තරම් දරුණු එකක් නොවෙතැයි සිතමි.

සති අන්තයේ පොඩි විවේකයක් ගන්නෙමි. ඒ ගැන කලකට ඉහත නාඳුනන පාඨකයෙකු විසින් අනාවැකියක් ද පවසා තිබුණි.

ජයවේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා පෙර දිනක ලෝවැඩ සඟරාවෙන් සහ ධම්මපදයෙන් කවි කිහිපයක් උපුටා දැක්වුයෙමි. මෙන්න තවත් හොඳ කවියක්.

සියපත සුවඳ ම ය
කුඩ මසු පිළී ගඳ ම ය
දෙකට එක දිය ම ය
හොඳට නරකට දෙකට කට ම ය


(image: http://www.newhealthadvisor.com/)