මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Sunday, 11 October 2015
පති-පතිනි රස-රහස නොහොත් ශාස්ත්‍රපති කතා වස්තුව - Master of none!
"පති-පතිනි" යනු දිගු කලකට පෙර ලංකාවේ ප්‍රකාශනය වූ රීඩර්ස් ඩයිජෙස්ට් ප්‍රමාණයේ කුඩා සඟරාවකි. එවැනිම සඟරාවක් වූ "මුතුහර" ට වඩා "පති-පතිනි" හි තිබූ සුවිශේෂී වෙනස වූයේ එය විවාහ ජීවිතය පිළිබඳව රස-රහස් සහ තොරතුරු පිරි සඟරාවක් වීමයි.
මෙහි දී "පතිනිය" යනු බිරිඳ ය. "පති" යනු සැමියා ය. "පති කුලයට යෑම" යනු කුමරියක් "පතිනියක" වී සැමියා ගේ "කුල ගෙට" යෑමයි. "පතිනිය මිස පාස්කුඩම් කිසිත් නො ගමි"යි සරුංගලේ චිත්‍රපටයේ දී නඩරාජා සිතුවේ ඒ අනුව ය.
ගෘහපති, විහාරාධිපති යන වචනවලින් "පති" යන වදනේ තේරුම අයිතිකාරයා බව පෙනේ. ඒ අනුව, කුලපති යනු පවුලේ හිමිකරුවා නොහොත් නැවතත්, සැමියා ය.
සුද්දා ගේ කාලේ ගමේ කැකිරි "වර්නක්‍යුලර් අධ්‍යාපනය" ලැබූ අපේ තාත්තා ගේ පරම්පරාවට වැඩිහිටි ශිෂ්‍යයන් ලෙසින් හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබන්නට ඉඩ සැලැස්වූ වැඩ පිළිවෙළක එක් පියවරක් ලෙස බිහි කළ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ පළමුවෙනි චාන්සලර් ලෙස පත්වීම ලද සෝරත හාමුදුරුවන් චාන්සලර් යන්නට සිංහලෙන් වාත්තු කර තිබුණු මේ කුලපති යන වචනය භාවිතා කිරීම ප්‍රතික්‍ෂේප කළ බව කියවේ.
ඒ ගිහිගෙය අතැර මහන දම් පුරන සිල්වත් සෝරත හාමුදුරුවන්, තමන් සැමියෙකු ලෙස හැඳින්වෙනවා දකින්නට තිබුණු අකමැත්ත නිසාය.
විද්‍යෝදය විශ්වවිද්‍යාලය ඇරඹුණු කාලයේ ම ඇරඹුණු කැලණියේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ කුලපති තනතුරට ඒ දිනවල ප්‍රසිද්ධ චරිතයක් වූ බුද්ධරක්ඛිත වැනි අයෙකුව පත් කළේ නම් එය අපූරුවට ගැළපෙනු නොඅනුමානය!
විද්‍යෝදය සහ විද්‍යාලංකාර විශ්වවිද්‍යාල අරඹන්නට පෙර කොළඹ අවට තිබුණු එකම උසස් අධ්‍යාපන ආයතනය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයයි (නිවරැදිව කිවහොත් ලංකා විශ්වවිද්‍යාලයේ කොළඹ මණ්ඩපයයි).
පෙර ලිපියේ මා කියන්නට ආරම්භ කළ කතාවට මාතෘකාව සැපයූ ශාස්ත්‍රපති උපාධිය මා ලබා ගත්තේ ඒ කොළඹ විශ්වවිද්‍යාලයෙනි.
ඇත්තම මේ උපාධිය ආර්ථික විද්‍යාව පිළිබඳ එකක් විය. එය පිරිනැමුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පිඨයෙනි. නමුත්, මේ පාඨමාලාව පවත්වා ගෙන ගිය ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුව අනුයුක්ත වූයේ ශාස්ත්‍ර පීඨයට නිසා උපාධිය හැඳින්වූයේ මාස්ටර් ඔෆ් ආට්ස් එනම් ශාස්ත්‍රපති කියා මිස, මාස්ටර් ඔෆ් ඉකොනොමික්ස් එනම් ආර්ථික විද්‍යාපති කියා නොවේ.
ආර්ථික විද්‍යාව ගැන එහෙන් මෙහෙන් සපයා ගත් සැමුවෙල්සන් මට්ටමේ යම් දැනුමක් තිබුණු නිසාත්, ඊටත් වඩා ආර්ථික විද්‍යාව ගැන තරමක උනන්දුවක් තිබුණු නිසාත්, පුවත්පතක තිබූ දැන්වීමක් දැක මා මේ පාඨමාලාව හැදෑරීමට අයැදුම් පතක් යොමු කළේ ඒ ගැන වැඩිදුර නොසිතා ය.
තෝරා ගැනීම පිණිස විශ්වවිද්‍යාලයෙන් පවත්වන ලද ආර්ථික විද්‍යාව පිළිබඳ විභාගය සඳහා පෙනී සිටියේ ද වැඩි බලාපොරොත්තුවකින් යුතුව නොවේ.
නමුත්, කොහේදො තිබූ මරාලයක් කඩා වැටීම නිසා දෝ, ඒ විභාගයේ ප්‍රතිඵල මත මට මේ පාඨමාලාව නොමිලයේ හැදෑරීම සඳහා පුර්ණ ශිෂ්‍යත්වයක් ලැබුණි. ඇත්තටම ඒ මා නොපැතූ, නොසිතූ විරූ ආකාරයේ අති විශාල ජයග්‍රහණයකි!
මා එකල සේවය කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ ය. එනිසා, දෙවර්ෂයක් අර්ධකාලීනව ගත කර හැදෑරිය යුතු මේ පාඨමාලාව පූර්ණකාලීනව එක් වසරකින් හදාරන්නට මම සැලසුම් කළෙමි. පූර්ණකාලීනව හෝ අර්ධකාලීන හෝ වෙනසක් නොමැතිව දේශන පැවැත්වුණේ සතියේ දිනවල සවස් යාමයේ සහ සෙනසුරාදා උදේ වරුවේ නිසා ඒ සැලසුම ඒ අයුරින්ම ක්‍රියාවට නංවා සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට මට හැකිවිය.
අදාළ විෂයයන් හදාරා, ඒවායේ පැවරුම් නිමකර, විභාග සමත් වුණු පසු, අවශ්‍ය නම් තවත් වසරක් පුරා යම් තෝරාගත් ආර්ථික විද්‍යා කරුණක් පිළිබඳව පර්යේෂණයක් කර මාස්ටර් ඔෆ් පිලොසොපි හෙවත් දර්ශනපති උපාධියක් සඳහා මේ උපාධිය දිගු කරගත හැකිකම තිබුණ ද, අර සෝරත හාමුදුරුවන් වෙනත් පති නාමයක් ප්‍රතික්‍ෂේප කළ කාරණයට වඩා වෙනත් කාරණයක් නිසා මා ඒ දර්ශනපති විකල්පය ප්‍රතික්‍ෂේප කළෙමි.
කොහොමටත්, කලින් ලබා තිබුණු මැවිසුරුපතිකමේ මිස මේ විනෝදය පිණිස මෙන් අරඹා ලබා ගන්නට නියමිත වූ ශාස්ත්‍රපතිකමේ ද වැඩි ප්‍රයෝජනයක් ඇතැයි මට සිතී නොතිබුණි.
එනිසා මා තවමත් ශාස්ත්‍රී ගේ සැමියා (ශාස්ත්‍රපති) සහ මැවිසුරුණිය ගේ සැමියා (මැවිසුරුපති) ලෙස බහු විවාහයකින් පමණක් සෑහී සිටිමි.
වෙනත් විවාහයක් කර ගැනීමේ අදහසක් නැත!
-රසිකොලොජිස්ට්
ප/ලි:
මේ ලිපිය සහ මේ හා සම්බන්ධ පෙර ලිපිය සඳහා නිමිත්ත සපයමින් මගේ මතකය අවදි කළ නලීන් දිල්රුක්‍ෂ මිතුරාට විශේෂ ස්තුතිය පිරිනමමි.
Subscribe to:
Post Comments (Atom)
++++++++++++++++++++++
ReplyDelete//මාස්ටර් ඔෆ් ඉකොනොමික්ස් එනම් ආර්ථික විද්‍යාපති කියා නොවේ.//
ReplyDeleteසාමන්‍යයෙන් මෙවැනි භාවිතයක් නැහැ නේද? බොහෝ විට ඇත්තේ මාස්ටර් ඔෆ් ආර්ට්ස් ඉන් ඉකොනොමික්ස් (ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති) හෝ මාස්ටර් ඔෆ් සයන්ස් ඉන් ඉකොනොමික්ස් (ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාපති) උපාධි නේද? බොහෝවිට (ඇමරිකාවේ සහ එංගලන්තයේ, උදාහරණ ලෙස) එකම විශ්ව විද්‍යාල පීඨයකින් මේ උපාධි දෙකම පිරිනමනවා. උගන්වන විෂයයන් නමින් එකවගේ වුණත් එකම නෙමෙයි. කලා විෂයයක් ලෙස කටපාඩම් කළ යුතු 'අවිනිශ්චිත විද්‍යාවක්' ලෙස උගන්වන විට ලබාදෙන්නේ ශාස්ත්‍රපති උපාධියක්. විද්‍යා විෂයයක් ලෙස ඒ දේවල්ම ගණිතය ආශ්‍රිතව 'නිශ්චිත විද්‍යාවක්' ලෙස උගන්වන විට විද්‍යාපති උපාධියක් ලබා දෙනවා.
1. University of Sydney
Deletehttp://sydney.edu.au/courses/master-of-economics
2. Australian National University
http://programsandcourses.anu.edu.au/program/MECON
ස්තුතියි! මේ භාවිතය මට වැඩිය හුරුපුරුදු නැති එකක්. බැලුවහම ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය සම්මතය වගේ.
Deleteපේරාදෙනියේ උපාධිය EScEng වුනාට ඇමරිකා එ.ජ හි ඒක BEng නේද?
Deleteඔවු. මෙය ඇතැම්විට BE ලෙසත් කෙටි කරනවා.
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteසම්මත හෝ අසම්මත හෝ කුණුහරුප භාවිතා නොකරන මෙන් ඉල්ලමි!
Deleteමාත් හිතන් උන්නෙ ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති හෝ ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාපති නමින් පශ්චාත් උපාධි දෙනව කියලයි.ජනසංනිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති හෝ විද්‍යාපති උපාධි වගේ.
ReplyDeleteරසිකගෙයි ඉකොනොමැට්ටාගෙයි කතා බහෙන් පස්සෙ හොයා බැලුවමයි දැක්කෙ Master of Mass Communication තියෙනව කියල.
Master of Mass Deception තමයි හොඳම එක!
Deleteඑහෙමයි එහෙනම් වැඩේ වෙලා තියෙන්නෙ?
ReplyDeleteයකඩෝ...
ReplyDeleteඉංජෙක් වෙලා ඒ පැත්තටත් ගියාද???
දැන් තමයි කුලපති කියන එකට වෙනස් තේරුමක් තියෙන බව ඇඟට ආවේ...
Deleteකුල + පති
හෙහ්....
මේ දෙකේ උච්ඡාරණය වෙනස් නේද? තේරුම් දෙකක් වෙන්න ඇති
ReplyDeleteඔය පති-පතිනි නම් සඟරාව කළේ බන්දුල පද්මකුමාර මහතා බව මම අසා තිබෙනවා
ReplyDeleteමට තියෙන්නෙ BTech එකක් නෙව. ඊගාවට මොකක් කරනවද කියල තීරණයක් ගත්තෙ නෑ
ReplyDelete