Wednesday 8 June 2016

අලුත් සැම්සුන් ගැලක්සි -7 ජංගම දුරකථනය සඳහා අලුත් රෙදි සෝදන මැෂිමක්? - Buy one, get another one?


මේ වචන මාලාව කියවා පුරුදුදැයි බලන්න.
"හායි යාළුවනේ, ඉතිං කොහොමද තොරතුරු. ඔන්න මං අද ඔයාට අරං ආවා අලුත්ම සැම්සුන් ගැජමැටික් එකක් ගැන විස්තර.
මේක නම් සුපිරි බඩුවක් යාළුවනේ.

වැඩි කතා මොකටද, එහෙනං මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඔයා ම කියවලා බලන්නකෝ.

ආයේ මං ඔයාලාට සුපිරි බඩුවක් අරං එනතුරු ටටා, බායි, හොඳේ?"
කලකට පෙර සිංහල බ්ලොග් අවකාශයේ ඉහත සඳහන් කළ ආකාරයේ ලිපි(?) නිතරම දක්නට ලැබුණි. ළඟදී මගේ ඇස ගැටී නොමැති වුවත්, සමහර විට, එවැනි ලිපි තවමත් පළ වෙනවා විය හැකිය.

මා අද ලියා පළ කරන්නට යන්නේ ද, තරමක් දුරට ඒ ආකාරයේ ලිපියකි. නමුත් පෙර කී ආකෘතියෙන් මුළුමනින් ම ඈත් වී තරමක විස්තර සහිතව මෙය ලිවීමට මම අදහස් කරමි. කොළඹ තොග වෙළඳපොළේ එළවළු, මාළු මිල විස්තරය රේඩියෝවෙන් ඇසීම අපට ප්‍රයෝජනවත් වූයේ යම් ප්‍රමාණයකට ද, ඊට වඩා ආන්තිකව වැඩි ප්‍රයෝජනයක් මෙය කියවන අයට ලැබේ යැයි සිතමි.

දැන් සති දෙකක් පමණ තිස්සේ මා ලියා ගෙන ආ, මේ ජංගම දුරකථන වෘතාන්තය ආරම්භයේ සිට යළිත් සැකෙවින් කියනවා නම් මෙසේ ය.

අපේ නිවෙස්වල දුරකථන නොමැති කාලයේ සන්නිවේදනය සිදුවුණේ ලිපි මගින් වූ අතර, ඒ සඳහා කාලයක් ගතවීම ලොකු ප්‍රශ්නයක් නොවීය. මස්සිනා ගේ මෝටරෝලා ගඩොල් භාගය දුටුවායින් පසුව ද, සැබෑ අවශ්‍යතාවක් නොමැති වූ නිසා, ජංගම දුරකථනයක් මිලට නොගත්තෙමි.

ලංකාවෙන් චුත වී ඕස්ට්‍රේලියාවේ වාසය කරන්නට ඇරඹුණු පසු, නිතර දෙමව්පියන් ගේ තොරතුරු දැන ගැනීමට ඇති වූ අවශ්‍යතාවය නිසා ම මගේ මුල්ම ජංගම දුරකථනය වූ එරික්සන් ගඩොල් අරික්කාල මිලට ගත්තෙමි.

එතැනින් මා පිය මැන්නේ නොකියා ලෝකයටයි. වසර කිහිපයකට පසු කලෙක, නිව් සවුත් වේල්ස් රජයේ සේවයේ භාවිතා වූ බ්ලැක්බෙරියකට ද හිත ගිය මුත්, මා ඊළඟට හිමිකර ගත්තේ ද නොකියාවක් (E-63) ම ය.

ඊළඟට එළැඹුණු මන්දාකිණි යුගයයි. ඉතා අගනා පහසුකම් ද, වටිනා ඇමතුම් ප්‍රමාණයක් සහිත ගිවිසුමක් ද සමග මා හිමිකර ගත් සැම්සුන් ගැලක්සි S3 ජංගම දුරකථනය වසර තුන හමාරකට පසුව රෙදි සෝදන මැෂිමේ දී අවසන් ගමන් යනතුරු මට නොමද සේවාවක් සැපයූවා ය.

දුරකථනය මිය පරලොව යාමත් සමග එහි ගබඩා වී තිබුණු අංක ද මට අහිමි වී ගිය නිසා, මට සිදුවූ වෙනත් අකරතැබ්බයක් ගැනද, එයින් මා ගොඩ ආ හැටි ද, එහි බෝනසය ලෙස මා ලියූ තම්ෂර් කතාව ගැන ද මෙහි වෙසෙසින් සඳහන් කළ යූතුවේ.

සති දෙකක දුෂ්කර ක්‍රියා සමය අවසානයේ මම සැම්සුන් ගැලක්සි S7 ජංගම දුරකථනයක් හිමි කර ගතිමි. තාක්‍ෂණය අතින් ඒ මා පැන්නේ යෝධ පිම්මකි.

ආර්ථිකය අතින් ද එය පෙරට වඩා හොඳ තත්වයක් යැයි මට සිතේ. ඒ මේ මිල දී ගැනීම මා ඉතා හොඳින් හොයා බලා, සියලු වාසි සහ අවාසි සලකා සිදු කළ මට වාසිදායක එකක් වූ නිසා ය.

මේ දක්වා මා ජංගම දුරකථන පහසුම ලබා ගත්තේ, ටීපීජී නම් සමාගමෙනි. ඔවුන් ඔප්ටස් ජාලයේ සේවා විකුණන සමාගමකි. මසකට ඩොරල් විස්සක ගාස්තුවකට මට, ලංකාවට පැය හතරක් පමණ හෝ දේශීය අංකවලට පැය නමයක් පමණ හෝ ඒ ප්‍රමාණයන් ගේ මිශ්‍රණයක් හෝ ඇමතුම් ලබා ගැනීමට ද, මසකට ගිගා බයිටයක දත්ත ද ලැබුණි.

මගේ අළුත් දුරකථනය හිමිකර ගැනීම සඳහා මට ටීපීජීලාගෙන් ඉවත් වී, වෙනත් සමාගමක් හා මාස විසි හතරක ගිවිසුමකට එළැඹීමට සිදුවිය.

මීට පෙර මා දුරකථනය අත්පිට මුදලට කෝගන් නම් ඉන්ටර්නෙට් වෙළඳ සමාගමෙන් ලබා ගත්ත ද, මෙවර එසේ නොකර සමාගමක් හා ගිවිසුමකට බැඳුණේ වෙළඳපොළ වෙනස් වී ඇති නිසාය.

දැන් ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන ප්‍රධාන ජංගම දුරකථන සමාගම් වලින් වෝඩාෆෝන් සහ වර්ජින් නම් සමාගම් දෙකෙන් ම ඔවුන් ගේ පැකේජවලට විදේශ අංක ඇමතීම එකතු කර ඇත. ටෙල්ස්ට්‍රා සහ ඔප්ටස් සමාගම් තවමත් ඒ තත්වයට පැමිණ නැත.

අවසානයේ මා ගිවිසුමට එළැඹුණේ රිචර්ඩ් බ්‍රැන්සන් ගේ වර්ජින් සමාගම සමගයි. ඇත්තටම ඔවුන් ද ඕස්ට්‍රේලියාව තුළ දී පෙර මා කී ටීපීජි සමාගම මෙන්ම ඔප්ටස් සමාගමේ සේවා විකුණන සමාගමක් පමණි.

දැන් මගේ ජංගම පැකේජය මෙයයි.

සැම්සුන් ගැලක්සි S7 දුරකථනය සඳහා මසකට මා ගෙවන්නේ ඩොලර් තුනක් (රුපියල් 315 ක්) පමණි. එනම් මුළු ගිවිසුම් කාලයටම, ඩොලර් හැත්තෑ දෙකක් හෙවත් රුපියල් හත්දහස් පන්සීයකි.

දුරකථන සේවා සඳහා මගේ ගිවිසුම මසකට ඩොලර් හැත්තෑවකි. මේ වෙනුවෙන් මට පහත සේවා අමතර අයකිරීමකින් තොරව ලැබේ.

දත්ත හිගා බයිට් අටක්. මේ දක්වා මට අමතර මුදල් නොගෙවා ලැබුණේ එක් ගිගා බයිටයක් පමණි. අමතර පරිමාව ඩොලර් තිහක් පමණ වටී.

ඕස්ට්‍රේලියාව තුළ ඕනෑම දුරකථනයකට (නිවාස හෝ ජංගම) ඕනෑම වේලාවක් ඇමතීම. මෙහි වටිනාකම ඉතා ඉහළය. නමුත් මගේ අවශ්‍යතා සීමාසහිත නිසා, ඩොලර් විස්සක පමණ අගයක් ඇතැයි කිව හැක.

ලංකාවට විනාඩි තුන්සීයක ඇමතුම්. මෙහි වටිනාකම, වෙනත් ක්‍රමයකින් ඇමතීම හා සසඳා බලන විට, ඩොලර් තිහක් පමණ වේ.

මීට අමතරව මගේ වර්ජින් ගුවන් සමාගමේ වෙලෝසිටි ගිණුමට හැම මසක් සඳහාම අගයක් එකතු වෙනු ඇත.

මෙලෙස ගිවිසුමකට එළැඹීම වෙනුවට මට තිබුණු විකල්පය වූයේ, මා 2012 ඔක්තෝබරයේ දී කළ ආකාරයට, මේ දුරකථනය අත්පිට මුදලට ලබා ගැනීමයි. ඒ සඳහා හොඳම ක්‍රමය නම් කෝගන් නම් ඉන්ටර්නෙට් වෙළඳ සමාගමෙන් එය ඇණවුම් කිරීමයි. ඔවුන් ගේ දැන් විකුණුම් මිල ඩොලර් 850 කි. එය සාමාන්‍ය වෙළඳ සමාගමක මිලට වඩා ඩොලර් දෙසීයක් පමණ අඩු මුදලක් වුවද, අවුරුදු දෙකක් තිස්සේ මසකට ඩොලර් තුන බැගින්පමණක් ගෙවා දුරකථනය භාවිතා කරන්නට හැකි විට ඊට වඩා වැඩි මුදලක් අත්පිට ගෙවීමට මට කිසිදු හේතුවක් නැත.

අලුත් ජංගම දුරකථනය සුපිරිය. වේගය, හැසිරවීමේ පහසුව පමණක් නොව විශේෂයෙන් ම කැමරා ද ඉතා අගනේ ය. මේ ලිපියේ මුලින් පළ කර ඇත්තේ මා ගත් සෙල්ෆියකින් කොටසකි.

එපමණකි.

ඉක්බිති සියල්ලෝ ම සතුටින් ජීවත් වූහ.

මේ මගේ ජංගම දුරකථන පිළිබඳ දීර්ඝ වෘතාන්තයේ අවසානයයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මගේ අලුත්ම අලුත් ගැලක්සි S7 ජංගම දුරකථනය නිවසේ ඇති අපේ රෙදි සෝදන පරණ මැෂිමේ සේදීම අපහාසයක් සේ සැලකිය හැකි නිසා, මේ අලුත් දුරකථනය සඳහා මේ සමගම අලුතෙන් රෙදි සෝදන මැෂිමක් ද මිලට ගන්නැයි මට මිතුරු ප්‍රේම්ගෙන් උපදෙස් ලැබී ඇත!

28 comments:

  1. අලුත් එකෙන් ගත්ත ෆෝටෝ එකේ රසිකත් හයි පර්ෆෝමන්ස් වොශින් මැශින් එකකින් සෝදල ගත්තවගේ දීප්තිමත් !

    ReplyDelete
    Replies
    1. විශ්වාස කරන්නත් බැරි තරමට හයි රෙස්!

      Delete
  2. "ඉක්බිති සියල්ලෝ ම සතුටින් ජීවත් වූහ"
    පෝන් සීරීස් එක ඉවර වූදාට සියල්ලෝම සතුටු වෙති.

    ReplyDelete
  3. එහෙනං අන්තිමට එහෙමයි කතාව කෙලවර උනේ නේද.
    උඩ ෆොටෝ එක බැලුවම මටනං පේන්නෙ ඇස් 7 එකේ කැමරාවෙ මොකක් හරි ලෙඩක් තියෙනව වගෙයි. හැක්..

    //මසකට ඩොරල් විස්සක// මේ මුදල් ඒකකය මොන රටේ එකක් ද?

    ReplyDelete
    Replies
    1. ඒ මුදල් ඒකකය ඕර්ට්‍රේසියාව කියන රටේ!

      Delete
  4. ඕකනම් හේදුවට මැරෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඔව්, වෝටර් පෲප් නමුත් සීමා තියෙනවා.

      Delete
  5. ....අවුරුදු 25 කට අධික කාලයක් ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවන අපේ චූටි මාමාගෙන් (ඒ කිව්වෙ අම්මෙග බාලම මල්ලි ) අපිට ලැබුණු උපදෙස මේ දැන් ...

    රිචර්ඩ් බ්‍රැන්සන් ගේ වර්ජින් සමාගම ටැලිජාලයේ රටේ බොහෝ තැන්වලට හරියට සිග්නල් නැ කියලා. අපි ඉතින් මාමා කියන දේම පිළිපදින්න ඕනෙනේ කියලා අම්මා අපට කිව්වා.
    අපි මාමට ආදරෙයි, මාමා අපිට ආද ..රෙයි

    ReplyDelete
  6. අප්‍රමාණ සංතෝසයි.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සන්තෝසය මටත් එසේම ය.
      ජයවීම ඔබටත් එසේම ලැබේවා!

      Delete
  7. 7GB ඩොලර් තිහකට... හත්තිලව්වයි... අඩේ මම ෆෝන් එකට මාසෙකට දාන 9GB පැකේජ් එකට 650 ෆූහ්.. ඕට්ටේලියාවෙ ඉන්ටනෙට් යනේක සෙල්ලං නෑ වගේ... හෙහ්...

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ. ඉන්ටනෙට් අතින් අන්තිම රටක්.හූරගෙන කනව.මෙහෙ 8GB ගන්න 40$ ගෙවනට එකට ලංකාවෙ 25GB ම රුපියල් 2000

      Delete
    2. මහේෂ් ගේ ප්‍රශ්නයට හේතුව අවබෝධ කරගත හැකි වුනත්, කස්ස ගේ මේ කතාව නොමග යවන සුළුයි.

      භාණ්ඩයට හෝ සේවාවක විකුණුම් මිල තීරණය වෙන්නේ ඒ සඳහා උපයෝගීකර ගනු ලබන සියළුම දේ සඳහා යන පිරිවැය මතයි.

      විශේෂයෙන් ම භාණ්ඩ විකිණීඟ සහ සේවා සැපයීම වෙනුවෙන් මිනිස් ශ්‍රමය අවශ්‍ය වෙන නිසා, සිල්ලර මිල මෙහේ ලංකාවට වඩා වැඩියි. ඒ මෙහේ සේවකයෙකුට පැයක් සඳහා ගෙවිය යුතු අවම වැටුප ඩොලර් 17.29 ක් වෙන නිසාත්, සේවකයා අනියම් (එනම් පැය ගණනට පඩි ලබන, ස්ථිර නැති) අයෙකු නම් තවත් 25% ක් ලැබෙන නිසායි. ඒ කියන්නේ ලංකාවේ මුදලින් අවම වැටුප මසකට රුපියල් ලක්‍ෂ තුනක් පමණ වෙනවා.

      එවැනි පඩියක් දී සේවකයින් බඳවා ගෙන ලංකාවේ ගානට බඩු නිෂ්පාදනය කරන්න හෝ විකුනන්න හෝ සේවා සපයන්න හෝ බෑ.

      උදාහරණයක් ලෙස සිඩ්නි නුවර බස් රථ ගමනක අවම ගාස්තුව (ඒ කියන්නේ බොරැල්ලේ සිට පුංචි බොරැල්ලට එක හෝල්ට් එකක් යන්න වගේ) රුපියල් 220 ක් පමණ වෙනවා.

      බස් ඩ්‍රැයිවර් කෙනෙකුට අර පෙර කී අවම පඩිය වගේ දෙගුණයක් විතර ලැබෙනවා සාමාන්‍යයෙන්. බස්වල කොන්දොස්තර කෙනෙකු හිටියා නම් බස් ගාස්තු තවත් වැඩි වෙනු ඇති. හොඳ වෙලාවට ඉන්නේ ඩ්‍රැයිවර් විතරයි!

      Delete
  8. අර ඇස් හතේ කොන තියෙන එකද? නැති එකද? :D

    ReplyDelete
  9. සැම්සං අරහං...

    ReplyDelete
    Replies
    1. ඔබෙ ඊ-මේල්වල අවුලක් දෝ
      පිවිතුරු වත්පොත පෑරෙයි දෝ
      එම විට පවසනු මුවින් ඔබේ
      සැම්සුං සරණං ගච්ඡාමී!

      Delete
  10. \\මේ මගේ ජංගම දුරකථන පිළිබඳ දීර්ඝ වෘතාන්තයේ අවසානයයි\\

    හප්පේ, ඇති යන්තං, හරියට නිවන් ගියා වගේ!

    හා ලමයිනේ, දීපල්ලා සාදු කාරයක්.

    සාදු, සාඩු සා.......ආ

    ReplyDelete
    Replies
    1. නිවන් යන්න එපා පත්තු කරලා යන්න!

      Delete
  11. මමනම් සැම්සුන් ගන්නෙම නෑ. කාලයක් යනකොට ගන්නම දෙයක් නැතිවෙනව.

    ReplyDelete
    Replies
    1. එතකොට දාන්න වොෂින් මැෂිමේ, ඊට පස්සේ ගන්න අලුත් මොඩලයේ එකක්.

      Delete
  12. හම්මේ ඇති යාන්තං.. ඉවසපං පපුව ඉවරයි.. හැක්

    හැබෑට ඔය පින්තුරේ රසිකගේ ළමා කොන්ඩෙත් පේනවා කියල තිබුන නිසා හොදට බැලුවා.. හැබෑටම අළුත් වොසින් මැසිමක් ගන්න ඕන නෑ. මුණ හෝදලම පොටෝ ගහනවා නෙ.. ජය වේවා.

    මට නං අල්ලලගම ගිය සීරිස් එකක් මේ රසිකගේ ටැලිපොන් වැල.. ජය

    ReplyDelete
    Replies
    1. /* රසිකගේ ළමා කොන්ඩෙත් පේනවා කියල තිබුන නිසා */

      ඒ ෆේස්බුකියේ ගිය පින්තූරය නේද?

      Delete
  13. අපොයි මම නොහිටි ටිකේ සිම්බියන් ඉඳන් android වලටත් ගිහිං..

    ReplyDelete
  14. එතකොට ඔයාලට අන්ලිමිටඩ් ඉන්ටනෙට් නැද්ද ?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.