Wednesday, 15 June 2016

දත් වහල්ල මැදීම - Show me your teeth please!


මේ ළඟදී දිනයක මට "සෙන්සෝඩයින්" නමැති දත් බෙහෙත් හෙවත් ටූත් පේස්ට් වර්ගයේ කුඩා ප්‍රමාණයේ ටියුබයක් හමුවිය. එයින් මදක් දත් බුරුසුවකට දමා දත් මදින්නට පටන් ගෙන ස්වල්ප වේලාවකින් මට සිතුණේ මේ කටට දැනෙන රසය නම් තරමක් හෝ හුරු පුරුදු එකක් බවයි.

නමුත්, ඒ කුමක්දැයි සිතා ගැනීමට එක්වරම නොහැකි විය. එය වචනයේ අර්ථපරිසමාප්ථාර්ථයෙන් ම හරියට "මේ දිව අගම තියෙනවා, තියෙනවා, වගේ, නමුත් එළියට එන්නේ නෑ!" වැනි තත්වයක් විය.

දත් වහල්ල මැද අවසාන වෙන මොහොතේ මගේ සිහිය සැපත් විය.

ගෝපාල්!

ගෝපාල් යනු අප කුඩා කාලයේ ගමේ ගොඩේ කඩවල විකිණීමට තිබුණු දත් බෙහෙත් කුඩු වර්ගයකි. දහයියා මද පමණින් පුළුස්සා, එයට කිසියම් රසකාරයක් යොදා, රෝස පැහැයෙන් වර්ණ ගන්වා සාදා තිබුණු මේ දත් කුඩු පැකට්ටුවක් විකිණුනේ ශත පහක් වැනි මුදලකට ය.

ඊට අමතරව, දන්තමුක්ත නමින් ද, පැරකුම්බා නමින් ද තවත් දත් බෙහෙත් කුඩු වර්ග දෙකක් තිබුණු බව පසුව ෆේස්බුක් හරහා කියවූ මිතුරන් ගේ ප්‍රතිචාර හරහා මතකයට නැගුණි. දන්තමුක්ත සහ පැරකුම්බා යනු අරළු, මූණමල් වැනි ශාක කොටස් එකතු කර සාඳන ලද දත් බෙහෙත් වර්ග බව කියවුණි. පෙර කී ගෝපාල් තරම් රසයක් නොතිබුණු නිසා මම මේ දෙවර්ගයට ප්‍රිය නොකළෙමි!

කෙසේ නමුත්, ගෝපාල් යනු අපේ අම්මා නිවසට මිලට ගත් අත් බෙහෙත් කුඩක් නොවේ. මට ගෝපාල් රසය විඳින්නට ලැබුණේ එක්කෝ නන්දාවතී නැන්දා ගේ නිවසේ දී හෝ නැතිනම් සරත් බාප්පා මිලට ගෙන තිබුණු විට දී යැයි සිතමි.

අපේ අම්මා පුරුදුව සිටියේ දත් බුරුසුවකට එකල පැවති, සිග්නල්, එස්ආර් හෝ පෙප්සොඩන්ට් වැනි දත් බෙහෙත් වර්ගයක් යොදා දත් මැදීමටයි. ඇය තරුණ කාලයේ කෝල්ගේට් නම් දත් බෙහෙත් වර්ගයක් ද තිබුණු බව සහ එකල රේඩියෝවේ වෙළඳ සේවයේ කෝල්ගේට් අනුග්‍රහයෙන් ජනප්‍රිය ගීත වැඩසටහනක් ද ප්‍රචාරය වුණු බව ද ඇය මා සමග පවසා ඇත.

දිනපතා එලෙස දත් මැදි අම්මා ගේ දත් වැඩි හරියක් පසු කලෙක දිරා කැඩී, බිඳී, ගැලවී ගියේ ය. දැන් ඇය කෘතිම දත් ඇන්දක් ද භාවිතා කරයි.

මගේ තාත්තා නම් මිය යන කාලය වන විටත් ඔහු ගේ දත් සෑහෙන්න හොඳ තත්වයේ තිබුණි. එකම ප්‍රශ්නය වූයේ ඒවායේ බැඳී තිබුණු බුලත් කහට ය.

මෙහිදී කිව යුතු වැදගත්ම කරුණ නම්, අපේ තාත්තා මට මතක ඇති කාලයේ සිටම දත් මැදීම සඳහා භාවිතා කළේ හනසු අඟුරු වීම ය.

තාත්තා හනසු අඟුරු සාදන්නේ මෙසේ ය.

වත්තෙන් අහුලා ගන්නා ලද හොඳ ප්‍රමාණයේ හනස්සක් ලිපට දමා එහි මුල් කොටස හොඳින් දැල්වුණු පසු කුස්සියේ ම ඇති ලුණු පොල්කට්ටට එය දමනු ලැබේ. එවිට ගින්දර නිවී හනසු අගුරු යම් ප්‍රමාණයක් ලැබේ. සෑහෙන්න ලුණු පොඟන තුරු පොල්කට්ටේම තියෙන්නට ඉඩ අරින ඒ අගුරු කැබලි තාත්තාට දින කිහිපයකට සෑහේ.

හනසු අඟුරුවලින් දත් මැදීම සඳහා පළමුව අගුරු කැබැල්ලක් මුව තුළට ගෙන එය විකිය යුතුයි. ඉන් පසු එක්කෝ ඇගිල්ලෙන් හෝ දත් බුරුසුවක් ආධාරයෙන් දත් මැදීම කළ හැක.
හනසු අඟුරු වෙනුවට සමහරු කරුංකා අඟුරු ද යොදා ගත් බවට මගේ මතකයක් ඇත.

අඟුරුවලින් හෝ ගෝපාල් වැනි දත් බෙහෙතක් සමග ඇඟිල්ල උපයෝගී කරගෙන දත් මදින්නේ දත් වල බැඳෙන බුලත් කහට වැනි දේ ඉවත් කිරීමට මිස දත් අස්සේ රැඳී ඇති ආහාර කැබලි ඉවත් කිරීමට නොවන බව කුඩා කල සිටම අප දැන සිටියත්, හනසු අඟුරු හෝ ගෝපාල් කුඩ සමග ඇඟිල්ලෙන් දත් මැදීමට මම ප්‍රිය කළෙමි.

-රසිකොලොජිස්ට්


(image: facebook & https://www.instagram.com/p/ua3QPkmEek/?taken-by=gopaltoothpowder)

45 comments:

  1. මට මතකයි ඒ කාළේ ගමේදිත්, කැළණියේ ළිඩ ගාවත් මූණේ දැලි ගාගත්ත උදවිය ඕන තරම් උන්නා. උපතින්ම කහ පාට මාතලන්ගේ දත් නම් අඟුරු නෙමෙයි ඇත් දළ වලින් මැද්දත් කහ පාටම තමයි.

    ඔය දත් බෙහෙත් නේ.. ඔය සුද්දා දත් බුරුසු හොයා ගන්න සෑහන කාළෙකටත් කලින් අපේ රාවණා සීයගේ කාලෙත් දත් බුරුස් තීලා තියෙනවා.. මට මතකයි අපේ ඒ සෙරේස්ට ඉතිහාඅය මතක නොකල අපේ ගම්වල අයියාලා බෝඹූ බුරුසු වලින් දත් මැද මැද තමයි නාන්න ඇඟේ නාන්න එහෙම එන්නේ. අනික කොච්ච්‍ර සල්ලි කාරයොද කියනවා නම්. ඊළඟ දවසේ අරක ගේන්නේ නෑ.. අළුත් එකකින් මැද මැද එන්නේ.

    දන්ත් මුක්ත නම් අදත් තියෙනවා.. මුදලාලී ප්‍රකෝටිපතියා..

    ReplyDelete
    Replies
    1. බෝඹු දඬු වගේම දත් මදින්න හොඳ දණ්ඩක් තමයි තැඹිළි ගෙඩියේ නැට්ට!

      දන්ත මුක්ත තියෙනවාය කියනවා වුණාට ෆොටෝ එකක් නම් හොයා ගන්ණ බැරිවුණා ඉන්ටර්නෙටයේ.

      Delete
    2. උපතින්ම?????

      Delete
  2. කෝල්ගේට් කැල්සිගාඩ් අපේ කාලයේත් තිබුන මතකයි. අපි පොඩි කාලෙත් ගෙදරට ගෙනාවෙ ගෝපාල්. එ් කාලෙ අපට 'ලංවෙන්න අමාරු' එක තමයි එස්ආර්. එස්ආර්වලට ඒ කාලෙ අපි කිව්වෙ 'කිරි දත්බෙහෙත්' කියල.

    ReplyDelete
    Replies
    1. රාජ් ට තිබුණේ අර හදපු ඉඳල් දීලා බාටර් ක්‍රමයට එස්ආර් අරගන්න.

      මට නම් 1995 රටෙන් චුත වෙනතුරුම වෙනතුරුම කෝල්ගෙට් පාවිච්චි කළ බවක් මතක නෑ!

      Delete
  3. රසික ඔය ෆොටෝවෙ දාල තියෙන ගෝපාල් පැකට් එක පොලිතීන් එකක් නේද. මට මතක ගෝපාල් එකනං ආවෙ බ්‍රවුන් පේපර් වැනි කඩදාසියකින් පැකට් කරල.
    කෝල්ගේට් තාමත් ඉන්දියාවෙ තියෙනව නේද?

    ReplyDelete
    Replies
    1. මේ ගෝපාල් ෆෙටෝ එක ජාලයෙන් ගත්තේ ඉන්ටග්‍රෑම් සයිට් එකකින්. මේක ඉන්දියන්. අපි පොඩි කාලේ තිබුණු ඒවා කඩාසි කවර තමයි. සිංහලෙනුත් ගෝපාල් කියා තිබුණා නේද?

      Delete
    2. prasanna, කෝල්ගේට් තාමත් තියෙනවානේ. දන්න තරමට සෑහෙන අලෙවියකුත් තියෙනවා ලෝකේ පුරාම

      Delete
  4. //කුස්සියේ ම ඇති ලුණු පොල්කට්ටට එය දමනු ලැබේ// එතකොට උයන මාළුව වලටත් නොමිලේම අළු ටිකක් මිශ්‍ර වෙනව ඇති.

    ReplyDelete
    Replies
    1. ඇයි ඉතිං අඟුරුවලින් දත් මදින කොට කොහොමටත් අළු කටේ නේ?

      Delete
  5. අනික, අපි දැන් දත් මදින්නෙ ඊජිප්ටියන් දත් බෙහෙතකින්. ඒක සිග්නල් කියන නමකින් තමයි එන්නෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. ඒ කතාව මට තේරෙන්නේ නැත්තේ ලංකාවේ ටෙලිවිෂන් ඇඩ් එකකට සම්බන්ධයි වගේ?

      Delete
    2. මොන ඇඩ්ද, ෆැක්ටරිය පිච්චුනාට පස්සෙ යුනිලීවර් එකෙන් එන බඩු වැඩිහරියක් පිටරටවලින් එන ඒව. ඉන්දියන් ෂැම්පු ක්‍රීම් වර්ග, පකිස්තාන් සුප් කැට වගේම සිග්නල් දැන් එන්නෙ ඊජිප්ට් වල ප්‍රඩක්ට් එකක් විදියට.

      Delete
    3. ෆැක්ටරිය පිච්චුණු බව දන්නේ අදයි!

      Delete
    4. http://www.messagetoeagle.com/did-ancient-egyptians-invent-toothpaste/

      Delete
    5. very interesting pra. so we also used charcoal at that time ha ha.

      Delete
    6. @BB, ඊජිප්තුවට කියල දුන්නෙත් රාවණානෙ

      Delete
    7. ටූටන්කාමන් ගොයිය මැදපු ඒවයින්ද එතකොට දැන් අපි මදින්නෙ. හැක්..

      Delete
  6. දත් බෙහෙත් ගැන කියනකොට දත් මැදීම ගැන කීමට කාරණා රාශියක්ම මගේ සිතට නිරායාසයෙන්ම ආවා.

    අපේ තාත්තා දත් මැද්දෙත් අඟුරු වලින් තමයි. අපේ ඉඩමේ පොල් ගස් තිබුනෙ නෑ, ඉතින් හනසු අඟුරු වලි මදිනවා වෙනුවට තාත්තා දත් මැද්දෙ ඕනෙම අඟුරු ජාතියකින. ඊට අමතරව අපේ ගෙදර කජු ව්‍යාපාරය කරා, කජු ව්‍යාපරය කරනකොට කජුමද වල කුරුට්ට යන්ඩ දහයියා දැමූ කබලක් උඩ තිබ්බ බැරල් කටක් උඩ කජු දමා රත් කරගෙන කජු මද වල කුරුට්ට අතින් අරිනවා. ඔය ක්‍රියාවලියෙදි පිච්චිලා ඉතුරුවෙන දහයියා අළු වලිනුත් තාත්ත දත්මදිනවා. අපිත් පොඩි කාලෙ ඔය ජාති දෙකෙන්ම දත් මැදලා තියෙනවා. අඟුරු ජර බර ගාලා හපලා දත් මදින එක තමයි ඒ දවස් වල ආසම වැඩේ. පේරකෝ‍ටු, කෝපි කෝ‍ටු, දං කෝ‍ටු, එඬරු කෝ‍ටු, ඇඟිල්ල තමයි දත් මදින්න පාවිච්චි කලේ. ගෑස් ලිපෙන් උයන නංගිලාගෙ ගෙදර දැන් ඉන්න තාත්ත මොනවලින් දත් මදිනවාද දන්නෙ නැහැ, අහලා බලන්ඩ ඕනෙ. රසිකලාගෙ තාත්තට හැබැයි අපේ තාත්තා එක්ක බුලත්විට කාලා දිනන්ඩ නම් හම්බවෙන්නෙ නෑ.

    අපි ටිකක ලොකු වෙනකොට සිග්නල් සහ දත් බුරුසු වලින් තමයි මැද්දෙ. පස්සෙ කාලෙ ක්ලෝගාඩ් වලිනුත් අතරින් පතර මැදලා තියෙනවා. රූපවාහිනියෙ දත්බෙහෙත් ගැන දැන්වීම් දානකොට දත් බෙහෙත් ටියුබ් එක මිරිකලා බුරුසුවේ උතුරු කොනේ ඉඳලා දකුණු කොනටම දැම්මට, ඉස්කෝලෙ සෞඛ්‍ය පාඩමකට ටීච කෙනෙක් කිව්වා කඩල ඇටයක් තරම් දත් බෙහෙත් විතරක බුරුසුවට දා ගන්න කියලා, අදත් ඒ පුරුද්ද තමයි තියෙන්නෙ. හැබැයි මම දත් මදිනකොට කාලයත් සමග මගෙ අතින් එකතු වෙච්ච පුරුදු ටිකකුත් තියෙනවා. කඩල ඇටයක ප්‍රමාණෙට දත් බෙහෙත් දානවා, ඊට පස්සෙ ඇඟිල්ලෙන් බුරුසුවෙ තුනී වෙන්න අතුරනවා, ඊට පස්සෙ ඊට උඩින් වතුර බිංදු කීපයක් දානවා, ඊට පස්සෙ කටට වතුර ටිකක් දාලා කට ඇතුල තෙත් කරනවා. ඊට පස්සෙ තමයි දත් මදින්නෙ. අඩුම ගානෙ විනාඩි තුනක් විතර දත් මදින්න ඕනෙ කියලා තමයි අර උඩින් කිව්ව සෞඛ්‍ය පාඩමටම කියලා දුන්නෙ, ඊට අමතරව උදේට රෑට අමතරව සෑම ප්‍රධාන ආහර වේලක් අවසානෙම දත් මදින්න ඕනෙ කියලා තමයි කිව්වෙ. මදින හැටි කියන්ඩ ගියොත් මේක තවත් දික්වෙනවා, ඒක වෙනම කෝස් එකක් ;-)). කොච්චර කලත් දවසට එක පාරයි දත් මදින්නෙ, මායියා නම් නොවරදවාව දෙපාර මදිනවා.

    රටින් ආවට පස්සෙ දැන් දශකයක් විතරම පාවිච්චිය කෝල්ගේට් තමයි. සංවේදී විදුරුමස්, දත් තියෙන අයට කියාපු බඩුව, ගානත් අඩුයි. ලන්කාවට ගියත් ෆාමසියෙන් හරි අරගෙන මදින්නෙ මේකෙන්ම තමයි දැන්.

    ෆාමසියක් කරන, පොඩියට වෙද්‍ය විද්‍යාව ගැන ප්‍රමාණික දැනුමක් තියෙන යාලුවෙක් කිව්ව විදියට නම් හරිම ක්‍රමය දත් අතර රෑඳුන කෑම කෑලි නූල් කැල්ලකින් හරි ඩෙන්ටල් ෆ්ලොස් පටිකෑල්ලකින් හරි අරන් දාන එක කියලායි, ඕවට කාටද අප්පා වෙලාව තියෙන්නෙ, මටනම් කම්මැලියි ඔය වැඩෙට.

    මම ලංකාවෙ වැඩ කරපු එක ආයතනයක් හිටිය ඉංජිනේරු මහත්තයෙක් ආයතනයේදි සප්පායම් උන සෑම කෑම වේලකටම පස්සෙ ආයතනයේ විවේකාගාරය ඇතුලේ දත් මදිනවා මම දැකලා තිබුනා, එතුමාගෙ හොඳ බාගෙ දොස්තරවරියක්ය කියලා එම ආයතනයේම වැඩකරපු යාළුවෙක් කියලා තියෙනවා. ඉංජිනේරු මහත්තයාගෙ දත්මැදීමේ පුරුද්ද බාරියාව නිසා ඇතිඋනාද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ළපටියා කිව්වාට ළපටිම නෑ වගේ...!

      මං නං දෙපාරක් දත් මදිනවා. අපේ කාර්යාලයේ ඉන්නා පිලිප්පු සිඤ්ඤෝත් දවල්ටත් දත් මදින පොරක්.

      මං අඳුනන කෙනෙකු හිටියා ලංකාවේ, මිනිහා ඔය දත් බේත් ඇඩ් ඒ විදියටම අනුගමනය කරනවා ය කිව්වා. මාසෙකට ටියුබ් දෙක තුනක් යනවාලු පවුලට!

      Delete
  7. අවුරුදු 25 කට අධික කාලයක් ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවන අපේ චූටි මාමාගෙන් (ඒ කිව්වෙ අම්මෙග බාලම මල්ලි ) අපිට ලැබුණු උපදෙස..ඕස්ට්‍රේලියන් දත් බෙහෙත් අපිට ගලපෙන්නේ නැති නිසා ලංකාවේ දත් බෙහෙත් ජාතියක් පාවිච්චි කරන්න කියල. අදත් අපි ලංකාවට ගියාම වෙනම බෑග් එකක් පුරෝලා දත් බෙහෙත් අරන් එනවා

    ReplyDelete
    Replies
    1. බ්‍රිස් ක්‍රිෂ් - මේ දෙවෙනි සහ අවසාන නිවේදනයයි. මේ විහිළුව දැන් ඇති!
      වෙනත් විහිළු කරන්න!

      Delete
    2. අවුරුදු 25 කට අධික කාලයක් ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවන අපේ චූටි මාමාගෙන් (ඒ කිව්වෙ අම්මෙග බාලම මල්ලි ) අපිට ලැබුණු උපදෙස..විහිලු කරන්න එපා. ඇස් රතු වෙලා නවතින්නේ කියල. ඉතින් එදා ඉඳල අපි කාටවත් විහිලු කරන්නේ නැහැ

      Delete
  8. අඩොව් රසික උබ මොකද අපේ අම්ම්බලන්ගොඩ අය්යාගේ පොස්ට් එකට එගේන්සේ කොමෙන්ට් එකක් දැම්මේ. උබට බ්ලොග් ගල් වැඩපල කරා ඇති කියල හිතෙනවද?
    මුළු එලක්රියම බස්සලා උබේ බ්ලොග් එක කුඩු කරනවා අයිත් එහෙම කරොත් හරිද

    ReplyDelete
  9. ඒ කාලෙ ගෙදරක පිරිතක් කිව්වොත් පහුවදා උදේට හාමුදුරොවොන්ට දත් මදින්න දෙන්නෙ බෝඹු කෝටු.

    ReplyDelete
    Replies
    1. //හාමුදුරොවොන්ට// තෝ තම්බියෙක් නේද

      Delete
    2. අටපිරිකරට දත් බුරුසු අයිතිද?

      Delete
  10. පොඩි කාලේ මට මතකයි පැරකුම්බා කියලා කුඩු ඩත් බෙහෙත්. ඒකෙන් දත් මැද්දම කටම තුවාල වෙනවද කොහෙද සැරට.
    අපේ කාලේ වෙනකොට එස් ආර් සිග්නල් තමයි බහුලවම තිබ්බේ. ඉතින් අපි එස් ආර් සිනහවයි සුදෝ සුදු සිග්නල් දත් දෙපලයි තමා පොඩි කාලේ.
    ඒත් ඒ කාලේ හැට හුට හමාරක් පිංකම් වලට අපේ ගෙදර කරඳ ලී බෝඹු කෝටු ටූත් බෘශ් හදනවා. එදාට හාමුදුරුවන්ට අමතරව අපිටත් ඒවා ඕනෙ වෙනවා. බොහොම ආදරණීය මතක.
    අඟුරු වලිනුත් මාත් දත්මැදලා තියේ. හදිස්සියට ගෙදර දත් බෙහෙත් ඉවර වුනාම. අපේ නම් ලිපේ තියෙන ඕනෙම අඟුරක්. දැනටත් හිටි ගමන් ගමේ ගියාම මම ලී ටූත් බෘශ් හදාගන්නවා. ඒකත් එක්ක වත්ත පල්ලෙහා ඇලෙන් නාන්න යන එකත් ට්‍රෙන්ඩ් එකක්.

    ReplyDelete
    Replies
    1. සිග්නල් මාකට් කලේ දත්වල ශක්තියට නේද? අර පේර කන ඇඩ් එක මතකද?

      දත්වල ශක්තියටයි, විදුරුමස් ආරක්‍ෂාවටයි කියලා උපාලි අත්තනායක කියන්නේ!

      Delete
    2. දත්වල ශක්තියට - දිරායාම මැඩීමට
      ෆ්ලෝරයිඩ් සහිත නව සිග්නල් දෙක

      https://www.facebook.com/SriLankanoldtvads/videos/789069044534224/

      Delete
  11. පොඩි කාලෙ දත් මදින එකනම් මහ කම්මැලි වැඩක්

    ReplyDelete
    Replies
    1. aththama kiwwe ian witharayi

      Delete
    2. අපවත් රෑට දත් මදින්න පුරුදු කරන්න අම්මාට සෑහෙන කාලයක් ගියා!

      Delete
  12. SR දත් බෙහෙත් එක පස්සෙ කාලෙක කොළ පාට ජෙල් එකක් විදිහට ඇවිල්ල ටික කලකින් නැති වෙලා ගියා. ඒ ජෙල් එක ලිවර් සමාගමේ close up කියලා දැන එනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ එස්ආර් මාකට් කලේ හිනාව ගැණ කියලායි. සිග්නල් දත්වල ශක්තියට. මං සෑහෙන කාළෙකට පස්සෙයි දන්නේ දෙකම එක කොම්පැනියේ බඩු කියලා, හරියට ලක්ස් සහ රෙක්සෝනා වගේ!

      Delete
  13. ගෝපාල් ට ෆේස්බුක් පිටුවකුත් තියෙනවා. https://www.facebook.com/GopalToothMedicine/

    ඒ උනාට අපේ දන්ත මුක්ත අමතක කරන්ට එපා.

    ReplyDelete
    Replies
    1. ඒ ඉන්දියන් ගෝපාල් පිටුවේ ඡායාරූප මං දැක්කා ෆොටෝ හොයන්න සැරි සරද්දී.

      ඒක නොවෙයි, අපි දන්තා විමුක්ති පෙරමුණක් හදමුද?

      Delete
  14. ඔය හැමදේටම වඩා ලංකාවෙ දෙශීය දත් බෙහෙත් හොඳයි කියලයි මට හිතෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ සුදන්ත, සුපිරි විකී, සිග්නල් හර්බල් වගේ වර්ග ගැනද?

      මාත් අද උදේ දත් මැද්දේ සිග්නල් හර්බල්වලිනුයි, නමුත් මෙතැන ප්‍රසන්න කියා ඇති ආකාරයට ඒවා දැන් හදන්නේ ඊජිප්තුවේ!

      Delete
    2. මම කිවුවෙ ශාක මුල්,පොතු වගේ දේවල් වලින් හදන දත් බෙහෙත්

      Delete
  15. දත් 32 ක් මැද්දේ දිව පරිස්සන් කරගෙන ඕන එකකින් මැද ගත්තට කාලේ ආවාම හැලිලා යනවනේ..දත්..අපි මෙහෙමයි දත් මදින්නේ.. සැහෙන අතීතයක්.. කොහොමද මේ ඔක්කොම මතක තියාගෙන්නේ.. ඒකයි ඔය දත් මැදිල්ලයි අතරේ නැද්ද රසිකට ලින්ක් කර ගන්න දෙය්ක්..අලුත් දෙය්ක්

    ReplyDelete
  16. ගෙදර ටූත්පේස්ට් එක ඉවර උනාම හනසු අඟුරු,ලූණුමිදෙල්ල අඟුරු එහෙම ගත්තා මතකයි.දත් වලින් කිරි කිරි සද්දෙ එනකන් මැදලා පෙන්නන්න ඕනෙ.පැරකුම්බා දත් කුඩු තමයි අපට මතක.මළගේක්,දානයක්,පිරිතකට ගියොත් උදේට දත් මදින්න දුන්නෙ දත් කුඩුම තමා ඒ කාලෙ.
    ජයවේවා..!!

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.