Monday 27 June 2016

පන්සලේ ඒජීඑම් එක සහ සිංහල බ්ලොග් ලෝකය - Same there, same here


සිනුවර තදාසන්නයේ ස්කෝෆීල්ඩ් නම් වූ ගම්මානයේ පිහිටා ඇති ලංකාරාම පන්සල පාලනය වන්නේ ගිහියන්ගෙන් සැදුම් ලත් සංගමයකිනි. එහි සාමාජිකත්වය ගැනීමට, මගේ මතකයට අනුව, මසකට ඩොලර් දහයක සාමාජික ගාස්තුවක් ගෙවිය යුතුවන අතර අවශ්‍ය නම් අවුරුදු දහයක පමණ මුදල ගෙවා යාවජීව සාමාජිකත්වය ලබා ගත හැක.

මේ සාමාජික මුදලින් කරනු ලබන්නේ, පන්සලේ එදිනෙදා වියදම් සඳහා වියදම් කිරීම යැයි සිතමි. පන්සලේ භෞතික සංවර්ධන කටයුතු, එනම් බණ මඩු, චෛත්‍යය සැඳීම වැනි දේ, සඳහා මුදල් සෙවීමේ ව්‍යාපෘති අවශ්‍ය පරිදි වෙනම ක්‍රියාත්මක වේ.

ඕනෑම සංගමයක මෙන් මේ සංගමයේ ද, ඒජීඑම්එක හෙවත් ඇනුවල් ජෙනරල් මීටිම හෙවත් වාර්ෂික මහා සභාව සෑම වසරක ම සැප්තැම්බරයේ පමණ පැවැත්වේ. මෙහි දී කරනු ලබන එක් කර්තව්‍යයක් වනුයේ එළැඹෙන නිල වර්ෂයේ පන්සල කරගෙන යාම සඳහා සභාපති, භාණ්ඩගාරික ඇතුළු කමිටුවක් පත් කර ගැනීමයි.

මා ප්‍රිය බිරිඳ මේ බෞද්ධ විහාර සංගමයේ සාමාජිකත්වය මීට වසර කිහිපයකට පෙර ලබා ගත්තේ වුව ද එය ඉන්පසු වරකට දෙවරකට වඩා යාවත්කාලීන කළා යැයි මම නොසිතමි.

නමුත්, පන්සලට යාමට, එහි ගොස් වන්දනාමාන කිරීමට ඒ බෞද්ධ සංගමයේ සාමාජිකත්වය කිසිසේත් ම අවශ්‍ය නැත.

එසේ වුවත් නැතත් මට නම් දැන් සෑහෙන්න කාලයකින් පන්සල් යෑමට නොහැකි විය. මා සාමාන්‍යයෙන් ලංකාරාමයට යන්නේ නොවැම්බරයේ කටින පිංකම සඳහා කටුම්බා පන්සලේ සිට සාදුලා ඩබලක් ලංකාරාමයට ට්‍රාන්ස්පෝර්ට් කිරීමේ පිං අතේ කොන්ත්‍රාත්තුව මගේ හොඳම මිතුරෙකු මෙන්ම ලංකාරාමයේ ද ප්‍රධාන දායකයෙකුවන පේ්‍රමරත්න විසින් මට පැවරුණු දිනයක හෝ වෙසක් පෝය දවසේ හෝ එහෙමත් නැති නම් මිතුරෙකු ගේ මියගිය ඥාතියෙකු වෙනුවෙන් බණ දෙසුමක් පැවැත්වෙන දිනයක ය.

මන්ක් ට්‍රාන්ස්පෝර්ට් කොන්ත්‍රාත්තුව මා අවසාන වරක ඉටු කළේ 2013 දී බව මගේ ඊමේල් ඉතිහාසය පවසයි. වෙසක් එකට පන්සලට අවසාන වතාවට ගියේ 2014 දී බව බ්ලොග් සහ වත්පොත් සටහන් අනුව පෙනේ. එසේ නම් මා අවසාන වතාවට ලංකාරාමයට ගියේ නයනා පියසේන ගේ මැණියන්ට පිං පැමිණවීම සඳහා පැවැත්වුණු දහම් දෙසුම යෙදුණු 2015 පෙබරවාරියේ දී ය.

මා වැනි ප්‍රතිපත්ති පූජාවල නිරතවෙන පරමාදර්ශී බෞද්ධයින් යැයි සිතා සිටින අය නොව සතිපතා ඉරිදාට සවසට පැවත්වෙන මල් පුජාවටත්, මසකට වරක් පැවැත්වෙන ධර්ම දේශනාවටත්, පසලොස්වක පෝය දිනයටත් නිතිපතා පන්සල් යන අය සුපින්වත්හූ සිනුවර එමට සිටිති.

නමුත්, ඒ පරිපූර්ණ සිනුවර බෞද්ධයින් අතරෙන් වුවද, පන්සලේ පරිපාලන කටයුතු සිදු කරන පෙර කී විහාර සංගමයේ වාර්ෂික මහා සභාව දිනයේ ඒ රැස්වීමට සහභාගී වෙන්නට පන්සලට යන්නේ ඉතා සුලු පිරිසක් ලු!

මීට වසර බර ගණනාවකට පෙර එක් වාර්ෂික මහා සභාවක දී මේ තත්වය උඩුයටිකුරු වී ඇත. එදින පැවති සභා රැස්වීමට වෙනදා මෙන් දහ දොළොස් දෙනෙකු නොව සිය ගණනක් පිරිස සහභාගී වුණේ ලු!!

එයට හේතුව වී ඇත්තේ, එතෙක් පන්සලේ සිටි පොඩි සාදු සිවුරු හැර දා, පන්සලේ ම එක්තරා දායක මහතෙකු ගේ බිරිඳ සමග ඉලොප් වී යාමෙන් පසු පැවැත්වුණු ලංකාරාම විහාර සංගමයේ මහා සභා රැස්වීම එය වූ නිසා ලු!!!

මට මේ ලූ! කතාව මතක් වුනේ, මා පසුගිය දා ලියා පළ කළ ලිපි දෙකකට ලැබුණු පිටු නැරඹීම් (Page views) සහ ප්‍රතිචාර (Comments) සංඛ්‍යාව දුටු විටය.

එකක් සිංහල බ්ලොග් ලෝකයේ පැවති තාවකාලික ආරෝවක් ගැන ය.

අනෙක, ඇනෝනිමස් හෙවත් නිර්නාමික කමෙන්ට්කරුවන් නිශ්චිතව හඳුණා ගැනීම ගැන ය.

මා ලියා පළ කර ඇති රසිකොලොජි ලිපි තුන්සිය ගණන (304) අතරින් මා වඩාත් ප්‍රිය කරන නමුන් අඩුවෙන් ම පාඨක අවධානයට ලක්වුණු ලිපි පහේ ලයිස්තුව, කලාතුරකින් රසිකොලොජි පන්සලට ගොඩවෙන පරමාදර්ශී බ්ලොග් කියවන්නන් ගේ යපහත පිණිස මෙසේ පළ කරමි!

1. "දකුණු කුරු දිව් කව්" - ඒ මොකක්ද හලෝ ඒ හරුපේ? :: Australia - Sinhala Poetic Impressions

2. හෝඩියේ පන්තියේ සිත්තරාවී - Written in the heart!

3. තුනේ පන්තියේ චිත්‍ර පාඩම - Third class art?

4. අලුත් ළමයින්ට පරණ අවවාද පරණ රිද්මයෙන් ම - Old wine in the same old decanter

5. දවසක ඇරඹුම - Just another day

-රසිකොලොජිස්ට්

(image: https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcQi1c_tcZ72pZhwXRX9F-LL9MDsu7RM-ZKwjqRTDLZrCd9vJX2HOw)

28 comments:

  1. රසික පුතේ පන්සල් යන එක හොඳය
    බ්ලොග් ලියලා රට දැය සුරකිනු හොඳය
    සිහල බොදු රටේ අභිමානය සුරැක
    ඕස්ට්‍රෙලියාවේ දිවි ගෙවනා එක හොඳය

    බොදු ශාසනේ දැන් දින දින පිරිහෙනවා
    මෙරට පිරිහෙන ශාසනේ ඕස්ට්‍රෙලියාවේ රැකෙනවා
    කොරියාවේ පුත්තුත් රට ගැන හිතනවා
    දිවි දෙවැනි කොට අපි රට දැය සමය රකිනවා

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. රත්මලාන. කොතලාවලපුර රත්මලාන.රුණ බෞද්ධ සංගමෙය් වාර්ෂික මහා සභා රැස්වීමට සාමාජිකයින් කොපමණ විතර එනවාද අංකල්?

      Delete
    2. 2014 පෙබරවාරි මාසයේ තිබුණු අපේ අන්තිම වාර්ෂික මහා සභා රැස්වීමට සාමාජිකයින් 23 දෙනෙක් ආවා. අපේ සමිතිය බලා කියා ගන්නා මනුස්සයා අතඇරියාම 22 යි. අපි හැමෝටම තේ එකයි නයිස් බිස්කට් එකයි දුන්නා. ඊට අමතරව අපේ මහරජානන් මහින්ද මැතිදුන්ගේ ඡායාරූපය සහිත දිවි නැඟුම ලිතකුත් නොමිලේ දුන්නා.

      (අපේ සභාවේ වාර්ෂික වාර්තාව ඉදිරි කමෙන්ට් වලින් ඉදිරිපත් කිරීමට බලපොරොත්තු වෙමි.)

      මීට, කුමාර දිප්පිටිය මයා
      ගරු ලේකම්,
      තරුණ බෞද්ධ සංගමය,
      කොතලාවලපුර
      රත්මලාන.

      Delete
    3. අන්කල් කකාගෙ නෑ කෙනෙක්ද?

      Delete
  2. අවුරුදු 25 කට අධික කාලයක් ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවන අපේ චූටි මාමාගෙන් (ඒ කිව්වෙ අම්මෙග බාලම මල්ලි ) අපිට ලැබුණු උපදෙස..පන්සල් වලට ගෑනු එක්ක යන්න එපා කියල.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඔයා නම් චූටි මාමගේ උපදෙස් පිළිපදින්න යන්න එපා. ඔයා පන්සල් යන අතරේ ගෙදර මොනවා වෙනවාද දන්නේ නැති නිසා.

      Delete
    2. අවුරුදු 25 කට අධික කාලයක් ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවන අපේ චූටි මාමාගෙන් (ඒ කිව්වෙ අම්මෙග බාලම මල්ලි ) අපිට ලැබුණු උපදෙස..ගිහියන්ට වඩා ඝනයින්ගෙන් ගෑනු බේරගන්න එක අමාරුයි කියල

      Delete
  3. ඕකට හේතුව, රස වෑහෙන ඕපාදූප ගැන , ආසියාතිකයන්ගේ ඇති සහජ කැමැත්ත. දැන් කියන්න එපා, ඔහේ ඒ වග දන්නෙ නෑ කියල එහෙම:)

    If my memory serves correctly, had seen using misleading "hooks" once or twice here too. Nice try, better luck next time, mate :)

    ReplyDelete
    Replies
    1. මිස් ලීඩින් කියන්නේ මේ ලිපියට හාමුදුරු නමක් සිවුරු හැරදා උපාසිකාවක සමග පලා යයි වැනි මාතෘකාවක් නොයොදා මා යොදා ඇති "පන්සලේ ඒජීඑම් එක සහ සිංහල බ්ලොග් ලෝකය - Same there, same here" ආකාරයේ වැකියක් යොදා ගැනීමද?

      උදාහරණයක් දෙකක් දෙන්න හැකි නම් අගෙයි!

      Delete
    2. නෑ, නෑ මේකෙ එහෙම එකක් නෑ. මෙන්න එක උදාහරණයක්:
      අයියයි නංගියි කසාඳ බැඳලා? - What the F?

      "better luck next time, mate "කියල කිව්වෙ අර දාලා තියෙන ලින්ක් වලට. අපි අහුවෙයි ඔව්වට? :)

      Delete
    3. ඒ මාත්‍යකාවේ ඇති ප්‍රශ්නාර්ඨය සහ අන්තර්ගතයේ අඩංගු කතා අනුව, එය මිස්ලීඩීන් හෙවත් නොමග යවන මාතෘකාවක් නොවන බව පැහැදිලි විය යුතුයි.
      http://rasikalogy.blogspot.ca/2016/03/what-f.html

      Delete
    4. ඔය මිස් ලීඩින් කියන්නේ අපේ ගෙවල් පැත්තේ හිටිය ගෑල්ලමෙක්.

      Delete
  4. මොන පිස්සුද? ඔහොම එකක් දැක්ක ගමන් කෙලගෙන එන්නෙ ටැබූ කතාවක් බලන්නනෙ? ඉතින් ඇවිත් , බැන, බැන ආපහු යනවා. හැබෑටම, ඔහෙට කිඹුහුන් එහෙම ගියේ නැතෙයි?

    ReplyDelete
    Replies
    1. ඔහොම එකක් කියන්නේ සිංහබාහු-සිංහ සීවලි වගේ, ජීවහත්ත-දිසාලා වගේ එකක් ද?

      Delete
  5. ඔබේ ඉහත ලිපි 5 න් දෙකක් කියවා බලා මා අදහස් ප්‍රකාශ කර ඇත. හැක්..

    ReplyDelete
    Replies
    1. උඹ හොඳයි... රසිකත් කමෙන්ට් කරලා තියෙන්නේ තුනකට විතරයි, හැක් හැක්....

      Delete
    2. //ඔබේ ඉහත ලිපි 5 න් දෙකක් කියවා බලා මා අදහස් ප්‍රකාශ කර ඇත. හැක්..// මාත්.. එහෙක කවියකුත් ලියල තියෙනවා හිටං..

      Delete
    3. Praසන්ன නේද හොඳම කමෙන්ට්කාරයා? ඉතිං අහන්නත් දෙයක්ද?

      මුල් ලිපි තුනට මට කමෙන්ට් කරන්නට නොහැකි වී ඇත්තේ, ඒ තුනම පසුගිය අප්‍රියෙල් අවුරුදු කාලයේ අපි රටෙන් බැහැර චාරිකාවක් අතරතුරදී පළ කෙරුණු ලිපි වීම නිසායි!

      Delete
  6. ඉලොප් වී යාමෙන් පසු EGM?

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් තියෙන්නේ නම් SGM = special general meeting.

      නමුත් මේ EGM එකක් තමයි එදා තිබිලා තියෙන්නේ!

      Delete
  7. සාමාජික ගාස්තුව බොහොම ලොකු එකක් වගේ මට නම් දැනෙන්නෙ. මාසයකට ඩොලර් දහය බැගින් දෙන දායකයො සෑහෙන දෙනෙක් ඇතිනෙ. අපේ අහල පහල පංසලක ලොකු හාමුදුරුවො ඔස්ට්‍රේලිය ගියා ඒ කාලෙම. බොහොම ධර්ම කථික ප්‍රියමනාප හාමුදුරු නමක්. දහම්පාසලේ වර්ෂ අවසාන තෑගි ප්‍රධානෝත්සවයේදී අපිට ලැබුනෙ ඕස්ට්‍රේලියන් පොත්. උන්නාන්සෙ මේ ලඟදී ඔය ධාර්මික චිත්‍රපට රැල්ලෙ ආපු එක චිත්‍රපටයකට නිෂ්පාදකත්වයෙනුත් දායක උනා.

    ReplyDelete
    Replies
    1. ඩොලර් දහයක් කියන්නේ ලොකු මුදලක් නොවෙයි රස්සාවක් කරන අයෙකුට. මෙහේ අවම වැටුප සහ ආදායම් බදු ගැන මේ ලිපිය කියවන්න.

      1. Minimum Wage: https://www.fairwork.gov.au/how-we-will-help/templates-and-guides/fact-sheets/minimum-workplace-entitlements/minimum-wages#current-national-minimum-wage

      2. Tax: http://rasikalogy.blogspot.com/2015/03/how-we-pay-income-tax-in-australia.html

      .

      Delete
  8. ලංකා පන්සල් වලට නිතර යාම , පන්සල් වල පොලිටික්ස් වලට මැදිවීම​, පන්සල් අරක්ගෙන සිටින ගිහි බහිරවයන් ගේ ඉන්සෙකියුරිටීස් අවදි වන අන්දමට ක්‍රියා කිරීම ප්‍රශ්න ඇතිවීමට තුඩුදේ. ඒ නිසා ගියා වැන්දා ආවා ක්‍රමය ගුණදායකය

    ReplyDelete
    Replies
    1. මට නම් මුළුවනි පෝයදාට ලංකාරාම පන්සලට ගිහින් වරුවක් ම ඉඳලා එන්න සපත්තු දෙකවත් ගලවන්නේ නැතුව!

      Delete
  9. කතානියා පන්සලේද කතන්දරය ඔයිට වඩා වෙනස් නෑ. හැබැයි මෙහේ නම් හාමුදුරුවෝ පැනලා ගියා පෝස්ටරුත් ගහලා තිබ්බා. හොද වෙලාවට හැබැයි සිංහලෙන්.

    ReplyDelete
    Replies
    1. මිලානෝවලත් සිංහල පෝස්ටර් ගහලා තිබුණු බව වත්පොතෙන්ද කොහෙද දැක තිබේ

      මේ කතාව පැරණි කතාවකි. ඒ නිසායි "ලූ!" කතාවක් වුනේ!

      Delete
  10. මගේ ලිපි අතරින් වැඩිපුරම කියවා ඇති ලිපි දෙක පේරාදෙණිය සරසවිය ගැන ලියැවුණු ලිපි දෙකකි. තෙවැන්න එතැනට පැමිණ ඇත්තේ මෙවැනිම වූ බ්ලොග්කරුවන් අතර ප්‍රශ්නයක් හේතුවෙනි.

    ReplyDelete
    Replies
    1. මගේ වැඩියෙන්ම කියවූ පිලි ලයිස්තුවේ මුලින්ම ඇත්තේ භාෂී මධුභාෂීණි ගැන ලියවුණු ලිපි දෙකයි. එයට හේතුව ඒ දෙකම ෆෙස්බුක් එකේ නැඬත නැවත ෂෙයා වීමයි.

      තුන්වෙනි තැනට ඇත්තේ මගේ මුල්ම ලිපියවන "ඉතිං අපට පාං ද" යන්නයි. එයට හේතුව නම්, සියලු දෙනාම පාහේ මුල කොහේදැයි සොයන නිසා බව සිතමි. එයට අමතරව කවුරුන් හෝ ඉතිං අපට පාංද කියා මගෙන් අසා කමෙන්ටුවක් දමා තිබුණොත්, මා එයට පිළිතුර ලෙස ඒ ලිපියට සබැඳියක් එක් කළ කාලයක් ද තිබුණු බැවිණි!

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.