Thursday, 8 September 2016

පොත් පිස්සුව ඉහටම ගැසීම - Best madness ever


"නානසාරලාට පිස්සුද, නැතිනම් අපට පිස්සු ද? - Are they crazy or are we crazy?" නමින් මා ලියූ ලිපියේ සඳහන් කළ ආකාරයට අපි සැවොම විවිධාකාර පිස්සෝ වෙමු.

පොත් කියවීමට ඇති කැමැත්ත ද අනිවාර්යෙන් ම පිස්සුවකි. වෙනත් වචනවලින් කිවහොත් මානසික ව්‍යාධියකි.

නමුත්, සාමාන්‍ය පිළිගැනීම නම් පොත් පිස්සුව අප පෙළෙන විවිධාකාරයේ පිස්සු අතර හොඳ පිස්සුවක් බවයි. එසේම, අනෙකුත් පිස්සු රෝගවලදී මෙන් ම, මේ පිස්සුවේ ද, ලා සිට සිරා දක්වා, විවිධ රෝගී මට්ටම් ඇත.

මගේ පොත් පිස්සුව ඇරඹුණේ කුඩා කාලයේ දී ම ය. එයට හේතුව වෙන්නට ඇත්තේ මා කියවූ මුල්ම නවකතාව විය යුතුයි. එය ගුණදාස ලියනගේ ලියූ මුලු හදින් මම ඇයට පෙම් කොට නම් පෙම් කතාවයි. ඒ මා හතරවෙනි ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටි කාලයේ දී ය.

එතෙක් කල් මිහිර පුවත්පත කියවමින් සිටි මම, ගුණදාස ලියනගේ විසින් ලියන ලද මුලු හදින් මම ඇයට පෙම් කොට කියවා මිහිරෙන් මිහිරට පත් වුණෙමි.

නමුත්, මගේ පොත් කියවීමේ පිස්සුව ලා මට්ටමෙන් ඔබ්බට නැග ඒමට බාධක කිහිපයක් විය. ඉන් මූලික ම බාධකය වූයේ අපේ නිවසේ මට කියවීමට පොත් නොතිබීමයි.

අම්මා ද, තාත්තා ද කියවීමට තරමක රුචියක් ඇති අය වුව ද, ඔවුන් නවකථා යනාදිය මුදල් දී මිලට ගත් අය නොවූහ. රජයේ ගුරු රැකියාවෙන් මාසිකව තාත්තා ගේ අතට ලැබෙන තුට්ටු දෙකෙන් කිරීමට වෙනත් වඩා වැදගත් දේ ඔවුනට එමට තිබුණි.

සති අන්ත පුවත්පත් මිලට ගත්ත ද, පොත් සම්බන්ධයෙන් නම් තාත්තා කළේ, මිතුරන්ගෙන් ඉල්ලා ගෙනැවිත් කියවීමයි. අවාසනාවට ඒවා ඉංගිරිසියෙන් ලියවුණු පොත් විය. මට එකල එතරම් පිස්සුවක් නොතිබුණු නිසා, මම ඒ පොත් දෙස ඇස් ඇර නොබැලුවෙමි.

වරක් තාත්තා ඔහු සුරුට්ටු මිලට ගන්නා කඩේ තිබී පැරණි රීඩර්ස් ඩයිජස්ට් සඟරා මිටියක් නිවසට රැගෙන ආවායින් පසු වුව ද, මා ඒවායේ තිබුූ ලිපි නොව සඟරාවේ හිඩැස් පුරවන්නට යොදා තිබුණු කොමික් කෑලි පමණක් අමාරුවෙන් කියවා සතුටු වුණෙමි.

අම්මා ගේ කියවීම, මාසික ශ්‍රී සඟරාවටත්, එකල සතිපතා පළවුණු පත්තරයක් වූ රසකතා සඟරාවටත් සීමා විය. මිහිරෙන් මිහිරට පත්වූ පසු මම ද මේ සඟරා කියවීම ඇරඹුවෙමි.

රසකතා සඟරාවේ පළවී තිබී මා කියවූ කෙටිකතාවක් නිසා ලැබූ අත්දැකීමක් පදනම් කරගෙන මා ලියූ කෙටිකතාවක් සහ ඒ ගැන සටහනක් පෙර දිනක රසිකොලොජියේ පළ කර ඇත.

අපේ නිවස අසල තිබුණු මැයි සිංඤෝ ගේ නිවසෙන් අම්මා මට කියවන්නට මාර්ටින් වික්‍රමසිංහ ගේ මඩොල්දූව ඉල්ලා දුන්නා ය. එය මා කියවූ මුල්ම සම්ප්‍රදායික යොවුන් නවකතාවයි.

මේ කාලයේ කොළඹ ගුණසේන පොත් සමාගම විසින් ළමුන් උදෙසා ළමා පොත් සමාජයක් ආරම්භ කර තිබුණි. මෙහි මූලික සේවාව වූයේ, තැපැල් මගින් පොත් ගෙන්වා ගත හැකි වීමයි. පොත් සමාජයේ සාමාජිකයින්ට මාසයෙන් මාසයට වාගේ මුද්‍රිත පොත් ලයිස්තුවක් තෑපෑලෙන් ලැබේ. එයින් අවශ්‍ය පොත් තෝරා, අදාළ ගාස්තුවත් සමග මුදල් ඇණවුමක් යැවූ විට ඒවා තැපෑලෙන් නිවසට ම ගෙන්වා ගත හැකි විය.

දවස සමාගමෙන් පළකළ අම්මා ගේ ප්‍රියතම රසකතා සඟරාව හරහා මේ ගැන දැනගත් මට ද ගුණසේන පොත් සමාජයට බැඳී මටම කියා පොත් මිලට ගෙන හිමිකර ගැනීමට ඉඩ ලැබුණි.

ඒ හරහා මා මිලට ගත් බොහොමයක් පොත්, කාලයකට පෙර මුද්‍රණය කරනු ලැබූ, එහෙත් නොවිකිණී ඉතිරි වී තිබුණු, එ නිසාම විශාල වට්ටම් සහිතව පසුව අලෙවි කෙරුණු ඒවා වී ය. මුළු හදින් මම ඇයට පෙම් කොට නවකතාව ද, රසකතා සඟරාවේ කෙටිකතා ද, වැනි නිර්මාණ රසවිඳ සිටි මට මේ ගුණසේන -ළමා පොත්- මෙලෝ රහක් නොමැති වූ බව අමුතුවෙන් කිය යුතු නැතැයි සිතමි.

හයේ පන්තියේ සිට ගලහිටියාව මධ්‍ය විද්‍යාලයට ඉගෙනුමට ගිය විට, එහි පුස්තකාලයෙන් මසකට පොත් දෙක තුනක් කියවීමට අපට ඉඩ ලැබුණි. ඒ පුස්තකාලයට ගොස් නොවේ. වසර මුල දී පුස්තකාලයට යන පන්ති භාර ගුරුවරයා පන්තියේ සිසුන් සංඛ්‍යාවට සමාන පොත් සංඛ්‍යාවක් තෝරා පන්තියට ගෙන එයි. ඉන් පසු අප සෑම සඳුදා දිනයකම අපේ පොත පාසලට ගෙනැවිත් අප කියවා නැති වෙනත් පොතක් සමග හුවමාරු කර ගත යුතුය.

ඒ අගනා වැඩ පිළිවෙළ නිසා අපේ පන්තියේ කිහිප දෙනෙකුටවත් ලා මට්ටමට හෝ පොත් පිස්සුව හැදෙන්නට ඇති යැයි සිතේ.

මගේ පොත් කියවීමේ දිවියේ හොඳම කඩඉම වූයේ මගේ දහතුන්වෙනි උපන්දිනයට මා කොළඹ ගුණසේන පොත් සාප්පුවට කැඳවා ගෙන ගිය සුනීතා පුංචි අම්මා, මට පොත් කිහිපයක් ම මිලට ගෙන දීමයි. මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා, මැංචෝසන් චාරිකා වැනි පරිවර්තන කිහිපයක් ම ඒ පොත් අතර විය.

ඉන් පසු මගේ පොත් කියවීමේ වේගය සීඝ්‍රගාමී දුම්රියක් මෙන් ත්වරණයක් ලද අතර, පාසල සහ විශ්ව විද්‍යාලය අතර ගෙවුණු වසරකට වැඩි ගන්ධබ්බ කාලයේ ගම්සභා පුස්තකාලය ම කියවා හමාර කරන්නට මට හැකි විය.

මා කලින් කිවා සේ, පොත් කියවීමට ඇති පිස්සුව, ඇත්තටම හොඳ පිස්සුවකි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කලකට පෙර ලියූ අතීත සටහනකින් කොටසකි. අද පළ කරන්නේ සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

(image: http://www.dailymail.co.uk/tvshowbiz/article-3073155/Mel-Gibson-arrives-Mad-Max-Fury-Road-premiere-poses-replacement-Tom-Hardy-said-awkward-meeting-actor.html)

30 comments:

  1. පොත් පිස්සුව මටත් තිබුණ හොඳ පිස්සුවක්.

    ReplyDelete
  2. පොත් පිස්සුව ඇතිවෙන්න කුඩා කාලයේදිම ලැබෙන පිටිවහල සෑහෙන්න හේතුවක් කියල මට හිතෙන්නෙ. පොඩි කාලෙ තාත්තගෙ කතන්දරත්, ඊට පස්සෙ කාලෙක තාත්තලා බාප්පලා කියවපු පොතුත් මගේ කියවීමට බලපෑව. විශ්ව විද්‍යාලයට යන්න ආසන්න කාලය තමයි වැඩියෙන්ම කියවපු කාලය. දැං නං පොත් කියවන්නෙම නැති තරම්

    ReplyDelete
    Replies
    1. ඊළඟට එන්නේ රාජ් ගේ බණ පොත් කියවීමේ කාලය ද මන්දා?

      Delete
  3. පොත් තිබුනත් රස විදිමින් කියවන්න තරම් විවේකයක් නොමැතිවීම කනගාටුවක්.

    ReplyDelete
    Replies
    1. ඇයි මොකද, කසාදයක්වත් බැඳ ගත්තාද?

      ʘ‿ʘ

      Delete
    2. එහෙනම්....:)

      Delete
  4. පින්තුරේ දැක්කම නං මතක් උනේ ඩුඩ්ගේ පොස්ටුව... හැක්

    ඈ. අපිට පොඩි කාලේ ඉස්කෝලේදි මාසෙට එකක් පොත් දෙන්නේ.. මොකද පොත් නැති නිසා..

    ReplyDelete
    Replies
    1. ඒ ඉන්නේ මෑඩ් මැක්ස්.
      මගේ අරුතෙන් පිස්සුවේ උපරිමය!

      Delete
  5. ඉස්කෝලෙ පුස්තකලෙන් පොතක් ගන්න එක පුස්තකාලාධිපතිගෙන් ඇඟෙන් ඇටයක් ගන්නවා වගේ. අලුත්
    නවකතා ටීචර්ලට විතරයි.
    මම හේමපාල මුනිදාසගේ මහාභාරතයේ සංෂිප්ත පරිවතනය ගන්නකොට කියවන්න වෙලා තියනවද කියලා ඇහුවා.
    ඊට ඉස්සර අවුරුදු පහලවකට ඒ පොත කවුරුවත් කියවලා තිබ්බෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔය අත්දැකීම මටත් තියනව.. ඉස්කෝලෙ පුස්තකාලෙන් ගත්ත පොත් සමහරක් අන්තිමට කියවන්න කවුරුන් හරි අරන් තිබුනෙ අවුරුදු ගානකට කලින්..

      Delete
    2. හුඟ දෙනෙකු දන්නේ ඇත්තටම සහ කටවහරට අනුව පොත් පෙරළීම විතරයි.

      මන් දන්න කීප දෙනෙකු පොත් එළිදැක්වීමේ උත්සවවලට ගියත් පොත් අරගන්නේ නෑ!

      Delete
  6. අපේ ඉස්කෝලෙ පුස්තකාලෙන් මම ගීත ගෝවින් දය බලනකොට 9 පන්තියෙ. ඒක ලයිබ්‍රියෙන් මොකෙක්වත් අරන් තිබුනෙ නෑ ජාතක පොත වගේ ඇති කියල හිතාගෙන.
    මම ඒකෙ රහ පෙන්නුවම මුලු ඉස්කෝලෙම වගේ කියෙව්වා. ඒ කාලෙ එච්චර පිලිවෙලට ලියවෙච්ච කතා සොඳුර පත්තරේ තිබුනෙ නෑ

    ReplyDelete
    Replies
    1. සොඳුර නමින් පත්තරයක් තිබුණු බව මං අහලාවත් නෑ. තරුණි, කුමරි, රැජින, නවලිය නම් මතකයි.

      Delete
  7. මම අපේ ගම්සභා පුස්තකාලය (කියවීමට කිසිදු රුචිකත්වයක් නොතිබුණු පොත් හැර) ඉවර කළේ සාපෙ හා උපෙ අතර ගෙවුණු අටමසක ගන්ධබ්බ කාලයේදීය. එයින්ද මුල් මාස කිහිපය තුළම වැඩේ සෑහෙන දුරකට අහවර විය. අපේ ගම්සභා පුස්තකාලය රසිකලාගේ එකට වඩා කුඩා එකක් වූවා විය හැකිය.

    ReplyDelete
    Replies
    1. මගේ ජාතික පොදු සහතික විභාගය තිබුණේ දෙසැම්බරයේ යි. පෙබරවාරියේ ප්‍රතිඵල ආවා. මං මාර්තු 25 දා වගේ දවසක එතෙක් උගත් ගලහිටියාව මධ්‍ය විද්‍යාලය අත හැරලා මරදානේ ආනන්දයේ ඉගෙනුම ඇරඹුවා.

      ඒ ගන්ධබ්බ කාලයේ ආච්චිලා ගේ ගෙදර ගත කළ මාසයක පමණ කාලයේ දී කලවානේ ගම්සභා පුස්තකාලෙන් පොත් බැලුවත්, මානානේ සිට පුස්තකාලයට දුර නිසා වැඩිපුර කියවීමට ලැබුණේ නෑ.

      නමුත් මේ කාලයේ දී තමයි, උසස් පෙළට සහ විශ්ව විද්‍යාලයේ බාහිර උපාධියට සිංහල කළ පුංචි අම්මාගේ පොත් කියවන්න ලැබුණේ.

      Delete
  8. පොත් යනු සදාතනික මිතුරන් ය

    ReplyDelete
    Replies
    1. කළණ මිතුරන් ය.
      දුකේදීත් සැපේදීත් එක සේ උපකාර වෙති.

      Delete
  9. හපොයි මගෙ ජාතියේම පිස්සෙක්.වෙන එකක් තියා අපේ සුද්දට උන්දැගෙ යාළුවො විහිළු කරනව නොවැ මං උන්දැව බැන්දෙ උන්දැ ඉස්කෝලෙක පුස්කතාලාධිපති වුන හංදයි කියල

    ReplyDelete
    Replies
    1. ඇත්තටමත් ඒ හින්දා නේද එයාට කැමති වුනේ?

      මගේ මල්ලීත් මුද්‍රණ කර්මාන්තය ඉගෙන ගන්න හිතුවා, එතකොට පොත් එළිදක්වන්න කලින් ම කියවන්න පුළුවන් ය කියා සිතලා!

      Delete
  10. අපේ නිවසේ තත්වය වගෙයි. හවසට පොත් රැගෙන කට්ටිය් මුළු වලට වෙලා . බිරිඳගේ ප්‍රියතම රැකියාව කියල පොඩිකාලේ කියන්නේ librarian කියලලු. රසික දහම් පාසැල් ගියේ නැත්ද? මම නම් හුගන්ක් පොත් ගත්තේ දහම් පාසල් වල පුස්තකාල වලින්. පස්සේ කොටුවේ එ පොලිස් පුස්තකාලය හා මහජන පුස්තකාලය තමා.

    ReplyDelete
    Replies
    1. මං දහම් පාසල් ගියා අවුරුදු දෙක තුනක්. ඒකේ පුස්තකාලයක් තිබුණේ නෑ. පන්සල ලඟ ඉස්කෝලේම ඉරිදා උදේටයි තිබුණේ. ඒ ප්‍රාථමික පාසලේ පුස්තකාලයක් තිබුණේ ම නෑ මට මතක විදියට!

      Delete
  11. අහුවෙන ඕන දෙයක් කියවලා බලන එකට වහ වැටුනෙ පොඩිම කාලෙ ඉඳන්.. කියවීමට කිසිම තහංචියක් ගෙදරින් නොවැටීම ඒකට හේතුවක් වෙන්න ඇති..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. නරක දේවල් අහුවුනේ නෑ නේද?

      Delete
  12. සතුටක් ද දුකක්ද දැනුන.. සතුට නම් මමත් කියවන්න ඇබ්බැහි උන පත්තර පොත් ගැන මතක් වෙලා.. දුකක් දැනුනෙ පොත් කදමලු බැදන් එන්න හිතාන හිටපු මෙවර පොත් ප්‍රදර්ශනයට ලන්කාවට යන්න හිටපු ගමන සතියකින් කල් ගිය නිසා.

    ReplyDelete
    Replies
    1. පොත් ප්‍රදර්ශනයට යන්න ඕනෑ නෑ පොත් ගන්න. ප්‍රකාශකයාගෙන් ම පොත් ගත්තොත් වට්ටම් ලැබෙනවා කවදත්.

      මරදානට ගියාම සුරස, ගොඩගේ, දයාවංශ සූරිය තියෙනවා, පුංචි බොරැල්ලේ විජේසූරිය සහ සන්නස්ගල (සංහිඳ) තියෙනවා.

      අමුතුවෙන් යන්න වෙන්නේ නුගේගොඩට විතරයි එහේ සරසවි සහ ගුණසේන තියෙනවා.

      Delete
  13. පොත් කියවීමට ඇති පිස්සුව, ඇත්තටම හොඳ පිස්සුවකි.
    ඒ පිස්සුව හොඳ වෙන්නෙ නැති ලෙඩක්.

    ReplyDelete
    Replies
    1. හැබැයි මට තාම දඩ කඳවුර කියවන්න බැරිවුණා!

      Delete
  14. ඒක මහා එපා කරපු පිස්සුවක්.. මම මේ ටිකක් හොඳ කරගෙන ඉන්නේ.. සැප්තැම්බර් එනකොට ආයෙම වැඩිවෙනවා..

    ReplyDelete
  15. මට මතක විදිහට මං මුලින්ම කියෙව්වෙ හියුබත් දිසානායක මහත්මයගෙද කොහෙද කරපු අනුවාදයක් 'ගලිවර්'. ඒ මං දෙක වසරෙදි.ඊට පස්සේ ඉස්කෝලේ යන කාලේ පුස්තකාල හරහා යාළුවෝ අතර හුවමාරු කරගෙන වගේ කියෙව්වා.

    දැන් නම් රැකියාව කරන නිසා කියවන්න ලැබෙන වෙලාව අඩු උනාට පෙරේතකමට සෑහෙන පොත් ගාණක් මිලට ගන්නවා. අවුරුද්දකට 30ත් 50ත් අතර වගේ. ඒකෙ හොඳ ඇවිල්ලා මං කියෙව්වේ නැතත් අපේ අම්මා හරි මල්ලි ලංකාවට ආපුවහම හරි පොත් ටික කියවෙනවා.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.