මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Sunday, 2 October 2016
කැල්කියුලේටර් පූජාව - Yet another untold story
මා කලකට පෙර ලියා පළ කළ ලිපියකට අන්තර්ගතය සැපයූ "අතහැර දැමූ ගුවන් හමුදා ප්‍රහාරය පිළිබඳ කතාව" මෙන් මෙතුවක් කල් නොකී රහසක් නොවූව ද මේ අද මා ලියන කැල්කියුලේටරයක් හා සම්බන්ධ සිදුවීම ද මෙතෙක් නොකී කතාවක් ම වේ.
මෙය කියවන ඔබට ශාන්ත රසයක් ම ලැබේ යැයි උදක් ම සිතමි.
සිය නැගෙණියන් තිදෙනාගෙන් වැඩිමහලු නැගෙණිය හෝ විවාහ කර දෙන තුරු සිටි නිසා දෝ, මගේ පියා විවාහ වී ඇත්තේ සිය ජීවිතයේ පස්වෙනි දශකය ආරම්භ වී දින කිහිපයකිනි. පසුව, මා මෙලොවට බිහිවූ දින වෙන විට ඔහු සිට ඇත්තේ සිය ජීවිතයේ හතළිස් දෙවෙනි වසර ද අවසාන කරමිනි. අද තත්වය ඊට වඩා වෙනස් වුවත්, ජීවිතයේ පස්වෙනි දශකයේ දී පියෙකු වීම ඒ කාලයේ සාමාන්‍ය තත්වයක් වෙන්නට ඇතැයි සිතීමට පවා හැකිවෙන තරමේ උදාහරණ රාශියක් මගේ සම වයසේ අය ගේ දෙමව්පියන් අතරින් සොයා ගත හැකි බව ද මෙහි දී කිව යුතුයි.
කෙසේ වෙතත් එහි එක් දුර්විපාකයක් වූයේ, මා එකොළොස්වන ශ්‍රේණියේ සිටිද්දී ම තාත්තා සිය පනස් අටවන උපන් දිනය දා විශ්‍රාම යෑමයි. මා විශ්වවිද්‍යාලයේ ඉගෙනුම අරඹන කාලය වෙන විට තාත්තා ගේ ආදායම වූයේ විශ්‍රාම වැටුප සහ විශ්‍රාම ගන්නා විට ලැබෙන දීමනාව බැංකුවේ ස්ථාවර තැන්පතුවක යෙදූ නිසා ඉන් ලැබෙන ආදායම පමණි.
ඒ දිනවල අප පදිංචිව සිටියේ පරකන්දෙනියේ පිහිටි තාත්තා ගේ මහගෙදර නිසා ගෙවල් කුලී යනාදී ප්‍රශ්න නොතිබුණත්, ඒ ආදායමෙන් අප පස් දෙනෙකු ජීවත් වූ ආකාරය, රුපියල් දෙදහස් පන්සීයකින් පවුලකට මසක් ජීවත් වෙන්නට හැකි යැයි කලකට පෙර කියූ බන්දුල ගුණවර්ධන වැනි ආර්ථික විද්‍යා ටියුෂන්කාරයින්ට, හොඳ කේස් ස්ටඩි උදාහරණකි.
අපේ පවුලේ ආර්ථික තත්වය සලකා බලන කල, මට කරන්නට තිබුණු සෙන්සිබල් ම දේ වූයේ මොරටුව විශ්වවිද්‍යාලය තෝරාගෙන, පිළියන්දල නැන්දා ගේ නිවසේ පදිංචි වී බස් රථයෙන් විශ්වවිද්‍යාලයට යෑමයි. නමුත් ගඟ ළඟ පෙම් මග හා බැඳුණු හන්තාන සිහිනයක ඇලී ගැලී සිටි මට අවශ්‍ය වූයේ බොල්ගොඩ ඇලේ පල් ගඳ විඳිමින් අව්වේ වේලෙන්නට නොව මුදු මද නල පහස ලබමින් රොබරෝසියා මල් පියලි මත පා තබන්නටය. එය ඒ කාලයේ මසකට රැපියල් පන්සීයක් පමණ වියදම් වෙන මෝඩකමකි.
"උඹ පේරාදෙණියේ පලයං. මං වියදම් කරන්නම්!" තාත්තා කීවේය.
මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය ඇරඹුණු ඒ කාලයේ ලබා දුන් ශිෂ්‍යත්ව කිහිපයෙන් එකක් මට නොලැබුණි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට ලබා ගත හැකි බැංකු ණය ක්‍රමයක් තිබුණද, මට ඒ සඳහා සුදුසුකම් නැති බව දන්වන ලදී.
මට කලිසම් කමිස කිහිපයක් මිලට ගෙන දුන් මල්ලිකා පුංචි අම්මා හැම මසකම මට රැපියල් සීයක් දෙන්නට පොරොන්දු වූවා ය. අශෝකා පුංචි අම්මා රැපියල් පන්සීයක් දුන්නා ය. සුනීතා පුංචි අම්මා නොයෙකුත් අඩුම කුඩුම මිලට ගෙන දී මුදල් ද දුන්නා ය. නන්දාවතී නැන්දා රුපියල් හත්සීයක් දුන්නා ය. කරුණාවතී නැන්දා ද මුදල් දුන්නා ය.
මම පේරාදෙණියේ ගියෙමි.
මුල් දිනයේ සිට ම මම දිනපොතේ එදිනෙදා සිදුවෙන වියදම් ලියූවෙමි. සතියක දත්ත විශ්ලේෂණය කළ මට මාසයක් ගත කිරීමට රැපියල් හාරසීයක් පමණ අවශ්‍යවෙන බව පෙනී ගියේය. සති අන්තයේ නිවෙසට යෑම යනු බස් ගාස්තු සහ පේරාදෙණියේ කෑම වියදම් අතර වෙනස ලෙස රුපියල් කීපයක් ඉතුරුකර ගැනීමකි. මෙය දරාගත හැකි තත්වයකි.
නමුත් ප්‍රශ්නය වූයේ එදිනෙදා රිකරන්ට් වියදම් නොවේ. විශ්වවිද්‍යාලයේ විවිධ වැඩ කටයුතු සඳහා අවශ්‍ය කැපිටල් ආම්පන්න මිලට ගැනීම සඳහා මුදල් ය.
නැන්දා දුන් මුදල මුළුමනින් ම වැය වූයේ යාන්ත්‍රික ඇඳීම විෂයය සඳහා අවශ්‍ය කවකටු පෙට්ටිය, විහිත චතුරශ්‍ර, කෝදුව සහ අනෙකුත් දේ මිලට ගැනීමටයි. ඊළඟ අවශ්‍යතාවය වූයේ කැල්කියුලේටරයකි. ඒ සඳහා අවශ්‍ය මුදල ද යාන්තමින් සපයා ගැනීමට මට හැකි විය.
අවශ්‍ය වර්ගයේ FX-80 කැෂියෝ කැල්කියුලේටරයක් මහනුවර වෙළඳ ශාලාවකින් රුපියල් 800 කට මිලට ගැනීමට හැකි බව එසේ කළ සහෘද සිසුවෙකුගෙන් අසා දැනගත් මා කළේ, වෙනත් කාර්යයක් සඳහා මහනුවර යන අයෙකුට මුදල් දී එය ගෙන්වා ගැනීමයි. එවකට පැණිදෙණියේ සිට මහනුවරට බස් ගාස්තුව රුපියල් හතරක් විය. තේ කෝප්පයකට යන වියදමත් සහිතව, මා කැල්කියුලේටරය සඳහා වැයවෙන ඕවර්හෙඩ් වියදමෙන් රුපියල් දහයක් ඉතුරු කර ගත්තේ එලෙසිනි.
මා විශ්වවිද්‍යාලයේ තෙවන වසර අරඹන විට මගේ මල්ලී මොරටුව විශ්වවිද්‍යාලයේ ජාතික තාක්‍ෂණික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට සුදුසුකම් ලැබුවේ ය. ඔහු පිළියන්දල නැන්දා ගේ නිවසේ නවාතැන් ගත් නිසා, අවශ්‍ය වියදම තරමක් අඩුවුවත්, මට මෙන් ම අනෙකුත් වියදම් ඔහුට දරන්නට සිදුවී තිබුණි.
යාන්ත්‍රික ඇඳීම් සඳහා මා මිල දී ගත් උපකරණ කට්ටලය, මා සමග ආනන්ද විද්‍යාලයේ දී කලක් එකට ඉගෙනුම ලැබූ මා දෙවන වසරේ සිටියදී පේරාදෙණියට පැමිණි පාලිත ඒකනායකට පාවිච්චි කිරීම සඳහා දී තිබුණි. මල්ලීට දීම සඳහා මා එය ඔහුගෙන් ඉල්ලා සිටි විට පාලිත කියා සිටියේ ඒ සියල්ල කැඩී බිඳී ගිය බවයි. කාලයක් පවතින්නට සැලසුම් කර චෙකොස්ලෝවියාවේ නිෂ්පාදිත සුදු යකඩ උපකරණ දෙවසරක් යන්නටත් පෙර කැඩෙන්නේ කෙසේ දැයි මා පාලිතගෙන් විමසුවේ නැත.
මල්ලීට අලුතෙන් ම කවකටු පෙට්ටියක් සහ අනෙකුත් අදාළ උපකරණ මිලට ගැනීමට මුදල් වැය කිරීමට තාත්තාට සිදු විය.
මට කළ හැකි එකම දෙය වූයේ මා සතුව තිබූ FX-80 කැල්කියුලේටරය මල්ලීට දී, එමගින් තාත්තා ගේ බර තරමක් හෝ සැහැල්ලු කිරීම පමණකි.
පළමු වසරේ යාන්ත්‍රික ඇඳීම සඳහා උපයෝගී කරගන්නා කවකටු පෙට්ටියේ උපකරණ අවශ්‍ය වෙන්නේ පළමු වසරේ දී පමණි. මගේ උපකරණ පාලිතට දීමට මට හැකි වූයේ එනිසා ය.
නමුත්, කැල්කියුලේටරය යනු හැම වසරකදී ම විවිධ අධ්‍යයන කටයුතු සඳහා නිරතුරුවම අත්‍යවශ්‍ය වෙන උපකරණයක් වේ. කැල්කියුලේටරයක් නොමැතිව තවත් වසර දෙකක්ම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නට මා ගත් තීරණයට ඒ කරුණ නිසා වැඩි වැදගත්කමක් එක් වේ යැයි සිතමි.
මේ වෙන විට මා පදිංචිව සිටියේ විශ්වවිද්‍යාලය ඇතුළේ ම පිහිටි නේවාසිකාගාරයක් අපේ කණ්ඩායමේ තවත් විශාල පිරිසක් සමග වීමත් අප එකිනෙකාට සාමාන්‍ය දිනවල දී කැල්කියුලේටරයක් අවශ්‍ය වූයේ එකම වේලාවට නොවීම නිසාත්, මට ජාම් බේරාගත හැකි විය. තෙවන වසරේ විභාගය සඳහා පෙනී සිටීමට මා කැල්කියුලේටරයක් ඉල්ලා ගත්තේ අවසන් වසරේ සිසුවෙකු වූ රංජිත් ඒකනායකගෙනි.
ටික දිනකින්ම සිදු වූයේ නොසිතූ විරූ දෙයකි. මොරටුව විශ්වවිද්‍යාලයේ තුළ දී මල්ලීට දුන් ඒ කැල්කියුලේටරය අස්ථානගත විය. අලුතෙන් කැල්කියුලේටරයක් මිලට ගැනීම සඳහා තාත්තා මල්ලීට මුදල් ලබා දුන්නේ ය. මේ වෙන විට තාත්තා ද නොතාරිස්වරයෙකු ලෙස තරමක හෝ අමතර ආදායම් මාර්ගයක් සාදා ගෙන තිබුණි.
තාත්තා ගේ වියදම් අඩු කිරීම සඳහා මා කළ ඒ මහා කැල්කියුලේටර් කැප කිරීම අවසානයේ දී ගඟට ඉනි කැපුවා වැනි වූයේ එලෙසිනි.
පේරාදෙණිය විශ්වවිද්‍යාල ජීවිතයේ අවසානය දක්වා ම ණයට ගත් කැල්කියුලේටර්වලින් ජාම් බේරා ගත් මා, නැවත කැල්කියුලේටරයක් මිලට ගත්තේ තවත් වසර තුනකට පමණ පසුව පශ්චාත් උපාධි සමයේ දී ය.
-රසිකොලොජිස්ට්
ප/ලි
මෙන්න කැල්කියුලේටරයක් ළඟ ඇති අයට අප එකල කාලය මැරීම සඳහා භාවිතා කළ පැරණි අභියෝගයක්.
කැල්කියුලේටරය පණ ගැන් වූ වහාම දර්ශන තලයේ දිස්වන්නේ 0 අංකයයි. මෙතැනින් අරඹා, අංක කිසිවක් භාවිතා නොකර, විවිධ ශ්‍රිත පමණක් උපයෝගී කරගෙන, අංක 1 සිට 9 දක්වා වරකට එක් අංකයක් බැගින් එහි දර්ශනය කරවීමට ඔබට හැකි ද?
(http://electricimage.deviantart.com/art/Casio-fx-80-calculator-116310807)
Subscribe to:
Post Comments (Atom)
ඊයා. ශ්‍රීත කියන්නේ ඇඟ උනුකරවා යනවිට පිටවෙන ද්‍රවයට නේද
ReplyDeleteශ්‍රීත = Functions
Deleteමොකක් වුනත් ඊයා කියන්නේ ඇයි?
Deleteමේවාට තමයි රසික මහත්තයෝ ගමේ ගොඩේ ඇත්තෝ කුල කියනවා කියලා කියන්නේ.
ReplyDeleteඅපේ ඥාති නැන්දා කෙනෙකුත් අවුරුදු පනහකට හැටකට ඉස්සර අල්ලපු ගෙදරට ණයට දීලා නොලැබුණු බිත්තරයක් ගැන මැරෙනකල්ම කියව කියවා හිටියා.
නැන්දා නම් ඉතින් අට වත් පාස් නැහැ. බලනකොට උගත් බුද්ධිමත් මැවිසුරුවනුත් ඒ වගේමයි.
ඔබේ නැන්දාට නිවන් සැප ලැබේවායි පතමි.
Deleteකරුණාකර මගේ ලිපිය නැවත කියවා බලන්න!
ඔබ කල කැපවීම අගය කරමි
ReplyDeleteඅවුරුදු දෙකක් විභාගවලට කැල්කියුලේටර් ගජේ ගහන්න කට්ටක් කෑවා.
Deleteඅපි කවුද ?, අපිට නොතිබුනේ මොනාද ? කියලා හිතෙන්නේ ඔබ වගේ අය මේ වගේ අතීත මතක අපි එක්ක බෙදාගන්නකොට තමා/
ReplyDeleteතවත් මතක කතා ලියන්නම්!
Delete"සිංහලයේ ර ල ශබ්ද මාරුවෙනවා. අප ඉංග්ලිෂ් යන්න ඉංගිලිෂි කියා නොව ඉංගිරිසි කියා කියනවා. ඇතැම් පඬියන්ට ඒ බව නොතේරී ඉංගිලිෂියක් ගැන කියවනවා."
ReplyDelete- මහාචාර්ය ඔලුව පුකේ ගෙදර නලින් ද සිල්වා
http://www1.kalaya.org/2016/10/blog-post.html
(ලිපියේ අන්තිම බලන්න.)
මාත් පොඩි කාලේ සිට ලීවේ ඉංග්‍රීසි කියායි. ඒ අතර සමහරු ඉංගිරිසි කියලා ලියනවා දැඛ තිබුණා. ඊට පසු බලංගාඩ ආනන්ද මෛත්‍රී ගේ පොතේ තිබෙණු දැක ඉංගිලිසි කියා ලිවීම වඩාත් යෝග්‍යයි සිතුවා.
Deleteදැන් මා ලියන්නේ කෙලින් ම ඉංග්ලිෂ් කියායි. නමක් ලිවිය යුත්තේ ඒ ආකාරයටමයි. ග්‍රෙගරි ගිරිගෝරිස් කළ කාලය ඉවරයි!
බලන්ගොඩ ආනන්ද මයිත්‍රී මහතාද? නාහිමිද? sorry I was confused.
Deleteබලංගොඩ ආනන්ද මෛත්‍රි උන්නැහේ
Deleteඅපේ ඉංග්‍රීසි (ඉංගිරිසි) උච්චාරණයත් සිංහල (හා දෙමළ) භාෂා ආභාසයෙන් සුවිශේෂ ස්වරූපයක් ගන්නවා. සිංහලයන්ගේ ඉංග්‍රීසි උච්චාරණය සුවිශේෂ කරන හේතු කීපයක් තිබෙනවා. අපි ඉංග්‍රීසි T, W, V, Z ශබ්ද කරන ආකාරය සුවිශේෂයි. එය මුල් ඉංග්‍රීසි ශබ්දවලට වඩා සමාන වන්නේ සිංහල ට, ව, ස ශබ්දවලටයි.
Deleteඉංග්‍රීසි O ස්වරය ශබ්ද වන්නේ උගුර ඇතුළෙන්. එහෙත් සිංහල ඔයන්න ශබ්ද වන්නේ මතුපිටින්. O අකුරෙන් පටන් ගන්නා වචන සිංහල අය ශබ්ද කරන විට මේ වෙනස ඉතා පැහැදිලිව දකින්න ලැබෙනවා.
මේ වගේ ම තමයි ඉංග්‍රීසි diphthong එකක් හෙවත් සංයුක්ත ස්වරයක් වන, ඉතා බහුලව යෙදෙන 'එයි' (/ei/)ශබ්දය වෙනුවට අප යොදන්නේ 'ඒ' කියන තනි ස්වරයයි. එහෙම ස්වරයක් ඉංගිරිසියේ නැහැ. එලකියුෂන් පංතිවලදී අපට උගන්වනවා මෙයික් (make), වෙයිට් (weight), ගෙයිට් (gate) ආදී වශයෙන් ශබ්ද කරන්න. ඒත්, සිංහල අපි වැඩි දෙනෙක් මේ වචන මේක්, වේට්, ගේට් විදියට ශබ්ද කරනවා.
'අවු' නම ඉංග්‍රීසි සංයුක්ත ස්වරයත් මෙවැනි එකක්. ගවු (go), සවු (so), ස්ලවි (slow) ලෙස මුල් ඉංගිරිසියේ උච්චාරණය වන වචන සිංහලයන් උච්චාරණය කරන්නේ ගෝ, සෝ, ස්ලෝ ලෙසයි.
තවත් කාරණයක් තමයි ඉංග්‍රීසි භාෂාවේ තිබෙන වචන තුළ හා වාක්‍යවල යම් යම් ස්ථානවලට බර තැබීමේ ස්වභාවය. (stress and intonation) ඒ ගැන නම් වෙනම කතා කළොත් හොඳයි කියා හිතෙනවා.
ජපන් ජාතිකයන්ට "ර" ශබ්දය අමාරුයි. ඒ නිසා ඇතැමෙක් ඒ වෙනුවට "ල" ශබ්දය ආදේශ කරනවා. අපේ UNESCO වැඩසටහන සම්බන්ධීකරණය කරපු නෝනා හැමදාම දවල් දහයට තේ වෙලාවට කියන්නේ "ලෙට්ස් හැව් අ ටී බ්ලේක්," (Let's have a break.) කියලායි.
ඉංගිරිසි විතරක් නෙවෙයි හැම භාෂාවක්ම ඒ භාෂාව හිමිකාර ජාතිකයන් කතා කරන විදිහටම තවත් කෙනකුට කතා කරන්න බැහැ. දෙමළ අව වෙච්ච්‍රි කියන විදිහට සිංහල අපට කියන්න බැහැ. හින්දි සිංදුවක බඩා කියන වචනය අපි ශබ්ද කරන්නෙ නිකම්ම හැලබඩා කියන විදිහටයි. ඉතින් ජාත්‍යන්තර භාෂාවකදි මේ "සුන්දරත්වය" ඇති වෙනවාම තමයි.
මම නම් හිතන්නේ මේවා අපේ ඉංගිරිසියේ අනන්‍යතා ලක්ෂණ. මේවා වෙනස් කරන්නට උත්සාහ කරනවාට වඩා ඒවා ලෝක පිළිගැනීමට ලක් කිරීමටයි අප උත්සාහ කළ යුත්තේ.
අනේද කියන්නේ?
Delete/*දැන් මා ලියන්නේ කෙලින් ම ඉංග්ලිෂ් කියායි. නමක් ලිවිය යුත්තේ ඒ ආකාරයටමයි. ග්‍රෙගරි ගිරිගෝරිස් කළ කාලය ඉවරයි!*/
ඔව් දැන්, සිඩ්නි 'සිනුවර' කරන කාලෙනේ, නැද්ද රසික.
අපි නම් දන්නේ deep throat thong විතරයි.
Delete@ කපිල වස්තුව,
Deleteඔබ අසා ඇති කාරණය සහ එයට හේතුව මට තේරෙනවා.
මේ පොතේ පිටකවරයේ සඳහන් ව තිබුණේ "බලංගොඩ ආනන්ද මෛත්‍රී" හෝ "මෛත්‍රිය" කියා බවයි මගේ මතකය. පොතේ කතෘ ගිහියෙකු ද, පැවිද්දෙකු ද කියන කාරණය පොත කියවීමට හෝ එහි අන්තර්ගතය තේරුම් ගැනීමට අවශ්‍ය නෑ නේද?
මා ලඟ ඇති වල්පොල රාහුල ගේ වට් බූද්ධා තෝට් යන පොතේත් රචකයා ගේ ගිහි පැවිදිබව සඳහන් නෑ. ඒකත් අවුල් ද?
@ Anonymous 3 October 2016 at 20:25
Deleteඔබේ දිර්ඝ විස්තරයට ස්තුතියි.
විවිධ ස්වායත්ත, පරායත්ත සාධක නිසා ඕනෑම භාෂාවක් ක්‍රමයෙන් වෙනස් වෙනවා නේ. අද තියෙන ඉංග්ලිෂ් නොවෙයි නේද සියවසකට කලින් පවා තිබිලා තියෙන්නේ? ලිවීම උච්චාරණය දෙකම වෙනස් වෙලා.
තව වසර පනහකින් ලන්ඩන්වල ඉංග්‍රීසිය සෑහෙන්න වෙනස් වීමට නියමිත බව කියවෙන ලිපියක් ලඟඳී මා කියෙව්වා.
හැට්ටර් -මේ විට්ටර් ගෙ මල්ලි,
Deleteසිඩ්නි යන නම කවියකට සුමට කර රයිම් වෙන්නට ලිවීම සඳහා මෙහි විසූ හෙන්රි කුමාරප්පෙරුඟ විසින් සිනුවර යන නම වාත්තු කළේ අද නොවෙයි, මීට දශකයකටත් කලින් දවසකයි. එවැනි සාහිත්‍යමය කාරණා සඳහා ඒ ආකාරයේ යෙදීම් කිරීමේ අවුළක් නෑ.
සිනුවර යන්න එදිනොදා භාවිතා කෙරෙන යෙදුමක් නොවෙයි. හරියට කොළොම් තොට, මාගම්පුර යනාදී යෙදුම් වගේ.
හ්ම්ම්, එකත් එහෙමද?
Deleteරසිකට මම කියපු දේ (තේරුනත්) හරියට වැටහිලා නැතුව වගේ තමා උත්තරේ දීල තියෙන්නේ..
ඔව් ඉතින්. රසිකගේ බ්ලොග් එක රසිකගේ උත්තරේ.
//නමක් ලිවිය යුත්තේ ඒ ආකාරයටමයි. ග්‍රෙගරි ගිරිගෝරිස් කළ කාලය ඉවරයි!//
Deleteහැබෑටම රසික, 'Facebook' කියන නම 'වත්පොත' උනේ කොහොමද?
@ Anonymous 4 October 2016 at 14:54
Deleteමාත් කාලයක් වත්පොත කියා ලිව්වා, නමුත් දැන් නම් ලියන්නේ ෆේස්බුක් කියාමයි!
අපේ කාලයේ ස්ටෑන්ඩර්ඩ් එක වූයේ FX-100 කැල්කියුලේටරයයි. මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී (එවකට මාසික ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 350ක් විය.) පළමු වාරික දෙකෙන් මහපොළ සාමාජික අරමුදල් ගාස්තුව වැනි යමක් සඳහා රුපියල් 15ක් කපාගෙන රුපියල් 685ක චෙක්පතක් ලැබුණේය. (මහපොළ ශිෂ්‍යත්වය ලබා ගත්තේ සංඛ්‍යාලේඛණ විජ්ජාවක් කිරීමෙනි.) මෙයට තවත් මුදලක් එකතු කර කොළඹ මල්වත්තේ තැනකින් නුවර මිලට වඩා සැලකිය යුතු ගණනක් අඩුවෙන් FX-100 කැල්කියුලේටරක් මිල දී ගත්තෙමි. යාන්ත්‍රික ඇඳීම් උපකරණ පෙට්ටිය වෙනුවෙන් වැය කරන්නට වුණේ ඉතිරි කරගෙන සිටි මුදල් වලින් කොටසකි. සරසවි යාමට පෙර වූ තෙවසරක පමණ දීර්ඝ නිවාඩු කාලය තුළ රැකියා කිරීමටද ඉඩක් ලැබුණු නිසා සරසවි කාලය තුළ වියදම් කිරීමට මුදලක් ඉතිරි කර ගත හැකි විය.
ReplyDeleteපේරාදෙණියේදී සිදුවූ ලොකුම අකරතැබ්බයක් වූයේ සන්තකේට තිබු ඇඳුම් සියල්ලම වාගේ සුපුරුදු පරිදි "ෆෙස්ටිවල් දමා" එක වර සෝදා වේලෙන්නට නේවාසික ශාලාවේ එළියේ වනා තිබියදී හොරු ගෙන යාම නිසා අඳින්නට කලිසමක් හොයා ගැනීම පවා අසීරු තත්ත්වයකට පත් වීමයි.
අපේ කාලයේ නම් හොරකම් තිබුණේ හරිම අඩුවෙන්. බැචෙකුගේ එකෝඩියන් එකක් වැනි දෙයක් නැති වූ කතාවක් නම් මතකයි. ඇඳුම් හොරකම් කිරීමක් ගැන නම් අසා තිබුණේ නෑ!
Deleteශාන්ත රසයක්මැ ගෙනදේයැ
ReplyDeleteමළ කෙලියයි, රාජ් පවා ඇකාරයට ගිහින්!
Deleteකැල්කියුලේටරයක් ළඟ තියෙනවා.එත් අර රසිකගේ අභියෝගය කරන විදිය ගැන නැහැනේ වැටහීමක්.
ReplyDeleteමේ අභියෝගය ස්විච් ඕන් කළ විට දර්ශනතලයේ 0 පෙන්වන කැල්කියුලේටර් සඳහා පමණයි.
Deleteමුලින් ම, Cos බොත්තම ඔබන්න. එවිට 0 ඉලක්කම වෙනස් වී 1 ලැබේවි. දැන් Tan-1 (inverse)මගින් 45 ගෙන එහි Sin අගය සොයා එතැනින් මගින් 2 ඉලක්කම මතු කර ගත හැකියි.
මේ ආකාරයට ශ්‍රීත භාවිතයෙන් ඉදිරියට යන්න. හැබැයි Tan (0) වැනි ආකාරයට ලිවිය යුතු පසුව පැමිණි මොඩල්වලින් මේ ගණිත විජ්ජාව කරන්න බෑ!
රසයක් ඇති කැප කිරීමක්
ReplyDeleteනමුත් අන්තිමේ දී කැල්කියුලේටරය හොරෙකු අතට ගියා!
Deleteමගේ ඛැඵකිරීම වතුරේ ගියා!
මේකේ කමෙන්ටු වලින් පෙනී යන්නේ කකා කියන්න හදපු දේ ගත්තේ කියෙන් කීදෙනාද කියලා හිතෙනවා . කොහම වුනත් කකා ඔබගේ කතාවට සමාන කතාවක් වෙනත් නම් ගම් විශ්ව විද්‍යාල සහ කාල පරාසයන් තුලදී මා විද ඇති නිසා ඔබ මේ කියන කට්ට සහ දුෂ්කර දිවියත් එය මතක් කල විට දැන් සිතට නැගෙන රසයත් මෙතකැයි කියා කිව නොහැක . කෙසේ වෙතත් නිදහස් අධ්‍යාපනය නමැති මහා වනස්පතියේ සුන්දර පුෂ්පයක් වීමට ඔබ කරන ලද කැපවීම අගය කරමි . හැබැයි මේකේ හොදම සීන් එක මේ කට්ට කාලා ගොඩ ගියා නම් අයේ ඌව නවත්වන්න මේ ලෝකේ කිසිම කෙනෙක්ට බැහැ . සිංහලෙන්ම කියනව නම් ඕනෙම රටක ඕනෙම ජාතියක ඕනෙම ප්‍රමානයක් අකේ පුරිමට තැත් කරයි නම් ඔවුන් සියලු දෙනාටම ස්වයං අකේ පුරීමක් ලබාදිය හැක . ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල (පුද්ගලික සහ රාජ්‍ය සයිටම් හැර ) දිවියේ කට්ට කාලා ගොඩගිය හැමෝටම ජය වේවා ! කට්ට කාපු නැති එවුන්ටත් ජය වේවා මොකද අපි හුගක්ම කෑවේ උන් ගෙදරින් ගෙනාපු බතුයි කෙල්ලෝ අපිට දීපු ටොපියි
ReplyDeleteඔබ වැනි කිහිප දෙනෙකුට හෝ මා කියන කතාව වැටහීම ගැන සතුටු වෙනවා.
Deleteඔබේ මේ ප්‍රතිචාරයට ඉතා ස්තුතියි. මුත් අවාසනාවකට මෙන් හි අවසාන කොටස නම් මට නිවැරදිව වටහා ගන්න බැරි වුණා!
ඇත්තටම මේ කතාව කැල්කියුලේටරයක් ගැන නොවේ නොවැ.දැන් සමහර බාහිර සාධක වෙනස් වී තිබුණත්, ඔබේ කාලයේ වාගේම මෙයට වඩා මහා කැප කිරීම් කරමින්, ( සමහරවිට තමන්ගේ මුළු මහත් ජීවිතයම කණපිට හරවන ) කැප කිරීම් කරමින් දරුවන් ඉගෙනගන්නවා. කොහොම වුණත් ඔබේ සටහන සිත් ගන්නා සුළුයි.
ReplyDeleteමේ පූජාවේ ආනිශංස වශයෙන් මතු ඉපදෙන ඉපදෙන ආත්මයක් පාසා කැල්කියුලේටර් නැතුව මනොමයෙන් ගණන් හැදීමේ හැකියාව ලැබෙයි.
ReplyDeleteපූන්චි කාලෙ ඉන්දන්ම අපෙ සිහිනෙ උනෙ නම් මොරටුවට යන්න තමයි
ReplyDeleteමගේ පළමු කල්කියුලේටරේ ගත්තේ ලන්ඩන් ඇවිත් වැඩ කරලා. ඒක තවම තියනවා. දුවල දෙන්නත් පාවිච්චි කරලා ඒ දෙන්නට දැන් අලුත් ඒවා තියන නිසා දැන් මගේ ගාව. ප්‍රෝග්රමින් කියන එක ඉස්සෙල්ලම ඉගෙනේ ගත්තේ ඒකෙන්. වෙලා යන සමීකරණ ගණනය කරනන් පොඩි පොර්ග්රම් හදන්න පුළුවන් ඒකෙ.
ReplyDeleteTikak duka hithuna
ReplyDelete💆
මටත් විශ්ව විද්‍යාල ලෙස ඔය දෙකෙන් එකක් තෝරාගන්න තිබ්බා. ඉතින් වැඩිහිටියන් සහ අපිට උගන්නපු ගුරුවරුන් එක්ක එහෙම ඔය ගැන කතා කළා. පේරා වෙනුවෙන් මෙන්න දීපු හේතු
ReplyDelete- මාර සුන්දරයි
- ලංකාවේ ඕන නගරයකට යන්න පුළුවන් මගේ යාලුවෙක් එහෙ ඉන්නවා. ඒ තරම් ලොකු කොමියුනිටි එකක්
- ජීවිතේ දිහා විකල්ප ඇහැකින් බලන්න
- අධ්‍යාපනය විතරක්ම නෙවෙයි දේශපාලනය තුලිනුත් සමාජයට වැඩදායි වෙන්න [එවකට පේරා ජෙප්ප ගුහාවක්, මෝරා නැත]
ඔය එකෙක්වත් කිව්වේ නැහැ ඩිග්‍රිය මාර කොලිටියි. ඔයාලට මේ මේ ඔප්ෂන්ස් තියෙනවා කැරියර් එකක් හදා ගන්න. ඔයාලට මේ වගේ ප්‍රොෆෙෂනල් කන්ටක්ට්ස් ලැබෙනවා. ඒවා කිව්වේ මොරටුව සම්බන්ධයෙන්.
මම තේරුවේ මොරටුව. මොකද මට ඔය උඩ කිව්ව දේවල් ගන්න කැම්පස් යන්නඕනේ නැහැ කියලා මාර විශ්වාසයක් තිබ්බ.
නමුත් රසිකගේ වියදම් ප්‍රශ්නය ට වඩා සංකීර්ණ එකක් මට තිබ්බ. මොකද රසිකලයි තාත්තගේ හේතුවටම ඒ වයස් වලම විවාපත් වෙලා අපිව හදාපු තාත්තා විශ්‍රාම නොවේ මිය යද්දීම මම එකෙළහ වසරේ නෙවි වයස එකොළහයි. පවුලේ නෑදැයින් කන්න බොන්න දීලා උගැන්නුවට විශ්ව විද්‍යාල ගමනක බිල ඒ අයට දාන්න අදහසක් තිබ්බේ නැහැ. පත්තරකාරයෙක් වෙන සිහිනය පස්සේ දිව්වට මට ඒ අවස්තාව ලැබුනා තියා ලියු කිසිම දෙයක්පල වුනේ වත් නැහැ. ඒ වෙද්දී මට තිබ්බ ඔප්ෂන් ලොජිකලි සැලකුවොත් ලංකාවේ ඇතුලේ නම් කැම්පස් නොයා රස්සාවක් හොයා ගැනීම හෝ විදෙස් අධ්‍යාපන ශිෂ්‍යත්වයක් පමණයි. රසිකගේ වගේ මගේ ආර්ථිකය තිබ්බේ කැම්පස් දෙකේ මැද්දේ නොවේ දෙකටම පහලින්.
කෙසේ වෙතත් ඒ තේරීමේ ලිපියට වෙනත් පිළිතුරු ලිපියක් එනකම් වත් ඉන්න වුනේ නැහැ ලංකාවේ.
පොයින්ට් එකට ආපහු ආවොත්, මගේ මතයනම් උපාධි වෘත්තීය වෙන්න ඕනේ. ඒවායේ පාරිසරික තත්වයන් ඒ වෘත්තීය අවශ්‍යතාවය වෙනුවෙන්ම සහ ඒ වෙනුවෙන් පමණක් කැප වෙන්න ඕනේ. වෙනත් මනස්ගාත පද්ධතියෙන් ඉවත් වෙන්නඕනේ.
ඔන්න ඔහොම නොවෙන නිසා තමයි දැන් අපි විවි පද්ධතියේ දාහක් අනවශ්‍ය ප්‍රශ්න එක්ක පැටලෙන්නේ. රැග් කිරීමේ සිට ගල් ගැහීම දක්වා හද්ද කුණු රොඩු නිර්මාණය වන්නේත් රසික නම්කල සුන්දරත්වය නිර්මාණය වන තැනින්මයි. උප සංස්කෘතික අර්බුදයේ මූලය ඔතනයි.