Monday 20 March 2017

අතුලත්මුදලි ලලිත් සහ ආරච්චිසූරිය ශ්‍රීපති - What's in a name? A lot, I would say!


පසුගිය සතියේ සිට විවිධ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙන එක්තරා මාතෘකාවක් පිළිබඳව මම සටහනක් ලියමින් සිටියෙමි. එහි ඇතුළත් වෙනු ඇත්තේ මහපොළ ශිෂ්‍යත්වය සහ එහි නිර්මාතෘ ලලිත් අතුලත්මුදලි පිළිබඳව මගේ පුද්ගලික අත්දැකීම් කිහිපයකි.

කාලය පිළිබඳ ප්‍රශ්නයක් නිසා තවමත් අවසන් කර ගත නොහැකි වුණු ඒ සටහනේ ආරම්භය ලෙස මා ලියූ මේ කොටස මුලින් පළ කිරීමට සිතුවෙමි.

මෙය මුට්ටිය දැමීමකට වඩා වෙනත් ආකාරයක කළමනාකරණ විසඳුමක් බව සලකන්න.

පසුගිය දිනවල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඇතිවුණු සිදුවීම පිළිබඳව අදහස් දැක්වීමේ දී, අති බහුතරයක් දෙනා නොදැන කරනා වරදක් මුලින් ම නිවරද කළ යුතුය. එනම්, වර්ෂ 1981 දී මහපොළ නම් ශි’ෂ්‍යත්ව ක්‍රමය ඇරඹූ, එවකට පැවති යූඇම්පී රජයේ වෙළඳ ඇමතිවරයා ගේ පෙළපත් නම ඇතුලත්මුදලි නොවේ. එය අතුලත්මුදලි වේ.

අතුලත්මුදලි සහ ඇතුලත්මුදලි අතර වෙනසට හේතුව හෙළ හවුල හෝ ඔවුන් විසින් ගෙන ගිය අසාර්ථක ඇ-කාරයේ විකාරය ව්‍යාපාරය නොවේ.

එය මනාප පොරය පිළිබඳ ප්‍රශ්නයකි. ඇත්තට ම, ප්‍රශ්නයක් නොව, විසඳුමක් යැයි සිතමි.

අප එතෙක් කල් ලලිත් ඇතුලත්මුදලි යැයි දැන සිටි පුද්ගලයා ගේ නම ඇතුලත්මුදලි නොව අතුලත්මුදලි බව අප දැන ගත්තේ, පසුගිය සියවසේ අසුවේ දශකයේ දී, ඒකල ඡන්ද කොට්ඨාස ක්‍රමය අහෝසි කර, සමානුපාත ක්‍රමයට නියෝජිතයින් තෝරන දිස්ත්‍රික්ක ක්‍රමය ඇරඹුණු පසු පැවැත්වුණු දෙවැනි ඡන්ද විමසීමේ දී ය.

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවැත්වුණු මුල් ම ඡන්දයේ දී, ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා නියෝජිතයින් පත් කිරීමට අවශ්‍ය අපේක්‍ෂක අනු-පිළිවෙළ මැතිවරණ කොමසාරිස්ට දැනුම් දුන්නේ ඒ ඒ දේශපාලන පක්‍ෂ විසිනි. ඒ ඒ පක්‍ෂයට හිමිවෙන නියෝජිතයින් සංඛ්‍යාව අනුව ඒ ඒ ලයිස්තුවලින් අපේක්‍ෂකයින් තෝරා ගැනුණි.

ඒ මුල් මැතිවරණයේ දී, එවකට ලංකාවේ ජනාධිපති සහ යූඇම්පියේ නායක ජේ.ආර්. පප්පාට තේරුම් ගියේ ලයිස්තුවේ මුලින් ඉන්නා අපේක්‍ෂකයින් තමන් අනිවාර්යෙන් ම තේරී පත්වෙන බව දන්නා නිසා ඡන්දයට බැහැලා වැඩ කිරීමක්, ඇඟෙන් ම වැඩ කිරීමක්, නොකරන බවත්, එසේම, ලයිස්තුවේ අගින් ඉන්නා අපේක්‍ෂකයින් ද තමන් ද කිසිසේත් ම තේරී පත් නොවෙන බව දන්නා නිසා, ඡන්දයට බැහැලා වැඩ කිරීමක්, ඇඟෙන් ම වැඩ කිරීමක්, නොකරන බවත් ය.

එනම්, එකිනෙකා අතර තරගයක් නොමැති නිසා, පොදු අරමුණට තරමක් හෝ කෙළවෙන බවයි.

ඉතිං, ජේ.ආර්. පප්පා කළේ, මනාප ක්‍රමය හඳුන්වා දීමයි.

ද රෙස්ට් ඊස් හිස්ටරි!

මේ මනාප ක්‍රමය යටතේ ජනතා මනාපය දිනා ගැනීමට අපේක්‍ෂකයින්ට ජනප්‍ර්‍රියත්වය සමග හොඳ අංකයක් ද අවශ්‍ය විය.

අංක එක යනු හොඳ අංකයක් පමණක් නොවේ, ලයිස්තුවේ මුල්ම අංකය ද වේ.

ලයිස්තුව සාදන්නේ සිංහල අකාරාදිය අනුව නිසා, ඇ-යන්නට පෙර, අ-යන්න ලයිස්තුගත වේ.

ඉදින්, අප එතෙක් දැන සිටි ඇතුලත්මුදලි, ලලිත් වෙනුවට අතුලත්මුදලි ලලිත් යූඇමපීයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා දුන්නේ යැ.

කොහොමටත් ඉංග්ලිෂ් අකුරෙන් ලියූ විට යොදන්නේ ඉංග්ලිෂ් අකාරාදියේ මුල්ම අක්‍ෂරය වෙන A නොවැ?

පේරාදෙණිය සිද්ධිය අරබයා මා ලියන්නටැ යන ලිපියේ ඉන්නේ ඇතුලත්මුදලියෙකු නොවැ අතුලත්මුදලියෙකු බවැ සලකන්නැ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ආරච්චිසූරිය ශ්‍රීපති ගැන මතකද?

(image: https://www.linkedin.com/pulse/tribute-hon-lalith-athulathmudali-srimal-fernando-srimal-fernando)

31 comments:

  1. වෙලේ සුදාගේ මුදල් යොදවා දුමින්ද සිල්වා ප්රධාන ආරාධිතයා කර බ්ලොග් සම්මාන උලෙලක් පැවැත්වුවොත් බ්ලොග් ලියන අය මෙසේ ප්රකාශ කරනු ඇත.

    තේමාව "මතින් තොර ලංකාවක්"

    1. ධර්මකීර්ති - මේකෙ කුඩුකාරයන්ගෙ සල්ලි නෑ. අපි බොහොම සාදාරන විදියට මේක කරන්නේ.

    2. පැරා - දුමින්දගෙයි අනිත් දේශපාලකයන්ගෙයි වෙනසක් නෑ.එම නිසා මගේ පූර්න සහයෝගය.

    3. කලනසිරි - මගේ සන්සදය මේ වෙනුවෙන් වැඩකරනවා. මුදල් දෙන්නේ කවුද කියලා මන් දන්නේ නෑ. කාටහරි ඒ ගැන ප්රශ්නයක් තියෙනවා නම් සල්ලි දෙන අය හොයලා ඒ අයගෙන් අහගන්න.

    4. හෙන්රි - මගේ නම ඉවත් කර ගන්නවා. දේශ පාලකයන්ගෙන් තෑහි ගන්න මම කැමති නෑ......ඒ වුනාට නිකමට.......යන්න....ඕනෑ.

    5. ප්රා.ජේ. - විනෝදයක් තියෙන්නේ කොතැනද මම එතැන. මම නම් යනවා.

    6. අටම් - මම වෙන මුකුත් දන්නේ නෑ. බ්ලොග් ප්රවර්දනය වන නිසා මම උද්ව් කලා.

    7. මාතලන් - සොයාගැනීමට නොහැක. නමුත් උත්සවයට යනු ඇත.

    අවසානයේ ගරු දුමින්ද අතින් තෑගි ලබාගත් වීරෝදාර බ්ලොග් කරුවෝ එතුමාට ස්තුතිකර විසිර ගියහ.

    මේක ගැන රසිකොලොජිස්ට්ගේ මතය කොහොමද?

    ReplyDelete
    Replies
    1. //4. හෙන්රි - මගේ නම ඉවත් කර ගන්නවා. දේශ පාලකයන්ගෙන් තෑහි ගන්න මම කැමති නෑ......ඒ වුනාට නිකමට.......යන්න....ඕනෑ.//
      පෝස්ට් එකට අදාළ නැතත් සරසතුමාගේ (සොරි වැරදීමක්- සරසතුමා ඇසිය යුතු ප්‍රශ්න අහන ඇනෝතුමාගේ) කොමෙන්ටුව ගැනයි.
      මගේ නම ඉවත් කර ගන්නවා කිව්වේ දේශපාලකයින් අතින් සම්මාන ගන්නෙ නැති නිසා නොව බ්ලොග් සම්මාන උළෙලෙන් නොව කවර සම්මාන උළෙලකින් වුව වේදිකාවට නැග සම්මාන ගැනීමට මා වෙත උනන්දුවක් නැති නිසාය. සල්ලි දෙන්නේ නම් පසුව දුන්නොත් ගන්න එක වෙනම දෙයකි.
      උළෙලකට යෑම හා සම්මාන ගැනීම එකක් නොව දෙකකි. ඊට වෙනත් පෞද්ගලික කාරණාද හේතු විය හැක.

      Delete
    2. //3. කලනසිරි - මගේ සන්සදය මේ වෙනුවෙන් වැඩකරනවා. මුදල් දෙන්නේ කවුද කියලා මන් දන්නේ නෑ. කාටහරි ඒ ගැන ප්රශ්නයක් තියෙනවා නම් සල්ලි දෙන අය හොයලා ඒ අයගෙන් අහගන්න// :)))

      Delete
    3. මේක මනහ්කල්පිත (hypothetical) අවස්ථාවක් ගැන සටහනක් නේ!

      Delete
  2. මාතෘකාවට අදාළව රචනා ලිවීම අප නම් උගත්තේ 3 වසරේදි පමණ විය යුතුය -එසේ වුවත් මාතෘකාවට අදාළව කොමෙන්ට් දැමීම ගැන පාසල් උගන්නන්නේ නැති නිසා සිදුවී ඇති නස්පැත්තිය රසික, පැරා ආදීන්ගේ බ්ලොග් සටහන කියවා කොමෙන්ට් කියවීමේ්දී පැහැදිලි වේ

    ReplyDelete
    Replies
    1. මඩ පාරක් ගහන්න ලැබෙනවා නම් මාතෘකාව මොකක් උනහම මොකද?

      Delete
    2. පාසල් ගියා නම්, ඔවුන් ගොස් ඇත්තේ අප ගිය ආකාරයේ පාසල්වලට නොවේ!

      Delete
    3. මාතෘකාවට අදාළ නොවන කොමෙන්ටුවක්? මේ මොන ලබ්බක් කතා කරනවා ද?
      කොමන්ට් නැතිව වේලි වේලි ඉන්න බ්ලොග්වලට් මොන ලබ්බක්හරි කමක් නෑ. කොමන්ට් ගාන වැඩිකරගෙන ජනප්‍රිය බ්ලොග් කරුවෙකු බව ලොවට කියන්න තියන චාන්ස් එකනේද නැතිකරන්න යන්නේ ඇනෝ කපලා මතලන්ගේ බ්ලොග් එක දැන් වේලෙනවා.

      Delete
  3. "අතුලත්මුදලි" විතරක් නෙමේ තව දේශපාලකයෝ ඉන්නවා ඔය විදියට තමන්ගේ නම නාමයෝජනා පත්‍රයේ මුලට ගන්න වෙනස් කරපු.

    "ශ්‍රීපති" ගැන මගේ මුල්ම මතකය චන්ද්‍රිකාගේ ආණ්ඩුව සමයේ "අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්ව" සිටීම.

    ReplyDelete
    Replies
    1. ඔව්, තව බොහෝ හිටියා. විශේෂයෙන් ම, අ-යන්නේ අය. අන්ස්ලම් පෙරේරා බෝදියා බදුගේ ඩිලාන් ප්‍රියන්ජන් කියලා එකෙක් ගැන පහතින් සුමිත් කලණසිරි කියා තියෙනවා.

      Delete
  4. ශ්‍රීපති සූරියආරච්චිට ලසන්ත වික්‍රමතුංග එයා අනවර්ථ නාමයකින් කරපු කොළමේ යෙනුව නම "Sripath Soor"

    ReplyDelete
    Replies
    1. මා ඒ පුවත්පත (සන්ඩේ ලීඩර්) කියවා ම නැත!

      Delete
  5. ඇතුලත්මුදලිට මට සම්මුඛ වූ අවස්ථා දෙකක් සිහිපත් වේ. මුල්ම අවස්ථාව මගේ නිර්මාණ දිවියේ මුල් කාලයේදී ඇතුලත්මුදලි අතින් සම්මානයක් ගැනීමය. ඒ දේශපාලකයෙකු අතින් මා ලබා ගත් එකම සම්මානයයි. (මේ ගැන "සම්මාන හා අවමාන-2" මීළඟ "නොකීකතා"වේ ලියැවෙමින් පවතී.)
    දෙවන අවස්ථාව ඇතුලත්මුදලි ආරක්ෂක ඇමති ලෙස ත්‍රිකුණාමලයේ නාවික හා සාගරික විද්‍යා පීඨයේ (Naval & Maritime Academy) නිල සංචාරය කළ අවස්ථාවයි. එවකට මා එහි ඉංජිනේරු පාසලේ සේවය කළා.

    ශ්‍රීපති සූරියාරච්චි මා හඳුනා ගත්තේ ඒ කාලයේමයි. ඔහු එවකට එහිම කාර්යාලයීය කටයුතු පිළිබඳ සුළු නිලධාරියෙක්ව සිටියා. පටි පැළැඳ අධිකාරිලත් නිලධාරියෙකු බවට ශ්‍රීපති පත් වූයේ පසු කාලයකදී.

    රසිකගේ ලිපිය නිසා මේ මතක අලුත් වුණා.

    ReplyDelete
    Replies
    1. මා නම් ඔය දෙදෙනාගෙන් එක් අයෙකුවත් පියවි ඇසින් දැක නෑ. ලලිත් අතුලත්මුදලිව රූපවාහිනියෙන් පමණයි. ශ්‍රීපති ආරච්චිසූරියව ඡායාරූපයෙන් පමණයි.

      Delete
  6. මම චන්දයක් දීපු පලවෙනි වතාවේ ලිස්ට් එකේ (පළාත් සභා) එක උනේ 'අන්ස්ලම් පෙරේරා බෝදියා බදුගේ ඩිලාන් ප්‍රියන්ජන්' කියල එකෙක්.. (ඔව් ඔව් මේ ඒ එයාම තමයි.) පොදු පෙරමුණට චන්දේ දුන්නට එකට මනාපයක් ගැහුවේ නෑ ඔය නමේ අවුල නිසාම.. :)

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ පොර ගේ ප්ලෑන් එක අනිත් පැත්තට ගැහැව්වා!

      Delete
  7. අතුලත්මුදලි මහතා සමග සමකාලීනව රත්මලාන~අත්තිඩිය ප්‍රදේශයන්හි සක්‍රීයව දේශපාලනය කළ මාගේ නැන්දණියගෙන් අසා දැන ගත් ප්‍රසිද්ධියේ පැවසිය හැකි / නොහැකි රස කතා බොහෝමයි!

    ලියනවද නැද්ද කියල හිතා ගන්න බැරුව ඉන්නෙ ��

    මෙවර බොග් උළෙලට එන ඇතැම් ආරාධිත අමුත්තන් ගැන ඇත්තේ හිරිකිතයක් ��



    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඔබ ඒ කතා ලිවිය යුතුයි කියායි!

      Delete
  8. ඇතුලත්මුදලිගේ නම මුලින්ම පත්තරවල දැක්කේ නම් ඇසිඩ් කේස් එකක් සම්බන්ධවයි. ඇතුලත්මුදලි ගැන හොඳටම මතක දේ නම්, 89 වගේ දවසක රේඩියෝ එකෙන් අහපු කතාවක්. ඒක ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් එකට තර්ජනයක්.... පුලුවන්නං ඇවිත් ලංකාවෙ උසාවියක ලංකාවෙ ආණ්ඩුවට විරුද්ධව නඩු පවරන්න කියලා. ඒකෙම කිව්වා මතකයි ජවිපෙ ඕනෑම කෙනෙකුට ඇවිත් එයා මුණගැහිලා නිදහසේ සාකච්ඡා කරන්න පුළුවන් කතාවකුත්. මේ සේරම ප්‍රිවෙන්ෂන් ඔෆ් ටෙරොරිසම් ඇක්ට් එක ගෙනාපු මොළ කාරයාගේ කතා.

    ReplyDelete
    Replies
    1. අපට ඔහු ගැන තිබුණේ ප්‍රසාදයක් නොවෙයි. තත්වය වෙනස් වුනේ, ඔහු පේමදාසට විරුද්ධව දෝශාභියෝගය ගෙනා විටයි!

      Delete
    2. 1. 1976 දී එවකට එ.ජා.ප. ක්‍රියාධරයකුව සිටි ලලිත් ඇතුලත්මුදලි පොලිස් අත්අඩංගුවට පත් වුණේ ඒ වන විට දික්කසාද වී සිටි ඔහුගේ බිරිය වෙනත් අයෙක් සමඟ විවාහ ගිවිස ගත් විට එම යුවලට මැරයකු ලවා ඇසිඩ් ගැස්වීම නිසා. එය ඔහු හිතේ හට ගත් ඊර්ශ්‍යාවක් නිසා සිදු වූවක් විය හැකි යි. 1977 දී එ.ජා.ප. රජය පත් වීමත් සමඟ ම එම ඇසිඩ් ගැසීම පිළිබඳ පොලිස් විමර්ශන යට ගියා.

      2. ලලිත් ඇතුලත්මුදලි 1984 සිට 1988 අගභාගය තෙක් රටේ "ජාතික ආරක්ෂක ඇමති" නමැති පදවිය දැරුවා. ඒ එකල පැවති උතුරේ යුද්ධමය තත්ත්වය නිසා. ඊට කලින් රටේ වෙන ම ආරක්ෂක ඇමති කෙනෙක් හිටියේ නැහැ. ඔහු ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයට තර්ජනය කළ එක ඇත්ත. 1985 පමණ කාලයේදී උතුරේ සිදු වූ සාවද්‍ය මනුෂ්‍ය ඝාතන (යුද්ධ අපරාධ යැයි කිව හැකි) වාර්තා කළ පිලිපීනයේ වෙරිටාස් නමැති ගුවන් විදුලි සේවයට ද ඔහු දෝෂාරෝපණය කළා.

      3. දැන් ලංකාවේ සමහර සිංහල මිනිසුන්ගේ සිත්වල පවතින ඉන්දියානු විරෝධයේ බීජ වැපිරුවේ ලලිත් ඇතුලත්මුදලි සහ එකල අගමැති ආර්. ප්‍රේමදාස (1984/85 කාලයේ දී). එයින් බිහි වූ පැලෑටිවලට පොහොර යෙදුවේ 1988/89 කාලයේ දී ජ.වි.පෙ.

      4. කොටින් ම, ආර්. ප්‍රේමදාස ජනාධිපති වශයෙන් පත් වන තෙක් ම ලලිත් ඇතුලත්මුදලි එක්තරා විදියක කුඩා ඒකාධිපතියෙක් වශයෙන් තමයි හැසිරුණේ. 1988 දී පැවති ජනාධිපතිවරණයේදී ඔහු එ.ජා.ප. අපේක්ෂක ආර්. ප්‍රේමදාසට සහය නොදී මඟ හැරියා. මන්ද, එ.ජා.ප. අපේක්ෂකත්වය ඔහු බලාපොරොත්තු වී එය නොලැබුණු නිසා.

      5. ජේ.ආර්. හට බොරු දත්ත පෙන්වමින් 1977 තෙක් පැවති කේවල ඡන්ද ක්‍රමය අහෝසි කිරීමට ඔහු විශාල වශයෙන් දායක වුණා.

      Delete
  9. පේරා ඉංජිනේරු පීඨයේ උගත් රසික පොඩි එවුන්ගේ රචනාවක් ලියලා.

    ReplyDelete
    Replies
    1. Hiks...
      E ohuge ayithiya...
      Rachanaa liweema praguna karanawaa wiya hakiy...

      Delete
    2. Hiks...
      E ohuge ayithiya...
      Rachanaa liweema praguna karanawaa wiya hakiy...

      Delete
    3. නලීන්,

      ඇගයුමට ස්තුතියි.

      නමුත්, ඉංජිනේරු පීඨයේ ඉගෙනුම සහ මෙවැනි සටහනක් අතර ඔබ දකින සම්බන්ධයක් මට නම් කිසිසේත් ම හිතා ගන්න බෑ.

      මේ සටහනේ උඩින් ම කියා ඇති පරිදි මේ මා ලියමින් සිටින සටහනක හැඳින්වීමයි. මෙහි ප්‍රධාන කොටසින් හෝ ප්‍රාථමිකය සමත්ව ලොකු ඉස්කෝලේට යන්නට හැකි වෙතැයි සිතමි!

      Delete
    4. @ ලොකු පුතා

      මොරටුවේ ඉංජිනේරු පීඨයේ උගන්වන රචනා ශෛලිය කොහොමද?
      ;-)

      Delete
  10. Sunday leader මෙන්ම ඉරුදින ද යූ.එන්.පී. සම්භවයකින් ආරම්භ කෙරිණ. මෑතදී ඉරුදින ප්‍රධාන කර්තෘ, කලින් රාවයේ විශේෂාංග කර්තෘ විමලානාත් වීරරත්න හේතු දැක්වීමකින් තොරව ඉවත් කළේ එහි ප්‍රධාන කොටස්කරුවකු වන රවි කරුණානායගේ පාර්ශවයේ උවමනාවට බව ප්‍රචලිතය.

    ReplyDelete
  11. මෙන්න 2015 ඡන්දයේදී "ගම්පහ" දිස්ත්‍රික් ලැයිස්තුවේ විකාර නම් ටිකක්;

    එජාප ලැයිස්තුව;
    1. අ.අ. රංජන් රාමනායක සද්ද විද්ද පළඟ පතිර (අඹකුමාර අල්පොන්සියස්) - මනාප 216,463ක් ලබා දිස්ත්‍රික්කයෙන් 01 විය
    2. අ. අජිත් කුමාර මාන්නප්පෙරුම (අප්පුහාමී) - මනාප 113,889
    3. අමරතුංග ජෝන් ඇන්තනී එම්මානුවෙල්
    4. ඇඩ්වඩ් ගුණසේකර දෙහිවල ලියනගේ

    එක්සත් ජනතා නිදහස් සංධානය
    1. ඇන්ටනී නිමල් ලාන්සා වර්ණකුලසුරිය
    2. ආරච්ච්ලාගේ සිසිර ජයකොඩි
    3. ආරච්චිගේ ගනේ්පොල දුලිප් පණ්ඩුල පෙරේරා වීරසේකර
    4. අ. අලගියවන්න ලසන්ත (අප්පුහාමී)

    ජනතා විමුක්ති පෙරමුණ
    1. එච්.එම්. විජිත හේරත්

    ReplyDelete
  12. මෙම පෝස්ටුවට යොදා ඇති ඡායාරූපයේ සිටින ලලිත් ඇතුලත්මුදලිගේ සිනහව බලන්න. එය ව්‍යාජ එකක් නොවේද? ඔහු මෙතරම් රජිව් ගාන්ධි සමඟ කුළුපගව සිටියා නම් 1987 දී රජිව් ගාන්ධි ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහු හමුවීම වර්ජනය කළේ ඇයි?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.