Thursday 1 November 2018

අවසානය (මාටින් නීමොලර්) : First they came (Martin Niemöller)


ජර්මානු ජාතික මාටින් නීමොලර් නම් පාස්ටර්වරයා (1892-1984) විසින් හිට්ලර් ගේ නාසි ඝාතක කණ්ඩායම් පිලිබඳව ලියන ලද First They Came නමැති ප‍්‍රසිද්ධ කවියේ අනුවාදයකි.

පළමුව ඔවුන් ආවේ මරණට සැරසී
කොමිනිස්ට් කාරයන් රංචුව දස වද දී
මුනිවත රැකිමි නොම ගෙන කරදර සිතටා
කොමිනිස්ට්වාදියෙක් නොවෙමිය මම කිසිදා

දෙවනුව ඔවුන් ආවේ ගිනි අවි රැගෙන
මරණට මානසික ආබාධැති පිරිස
කිසිවක් නොදෙඩුවෙමි ඒ ගැන මම මුවිනි
රෝගාබාධ මා මනසේ නැති බැවිනි

තෙවනුව ඔවුන් මැරුවේ හිත් පිත් නැතුව
යුදෙව් ජන පිරිස ලොකු පොඩි අඩු නැතුව
කුමකට විමසමි ද මම ඒ ගැන ඉතින
යුදෙව්වෙක් නොවෙමි මම එය දැන ගනුව

ඉන් පසු මරා දැම්මෝ ඒ වධක කැල
අදහන කතෝලික ආගම සියලු දෙන
මුවින් නොබැණ සිටියෙමි මම සැනසිල්ලේ
ප්‍රොතෙස්තන්ත දහමය මා අදහන්නේ

අවසන ඔවුන් ආවේ මා සොයාගෙන
මරණ සහතිකේ මගෙ දින දමා ගෙන
කිසිවෙකු සිටියෙ නැත ඒ බිහිසුණු දිනයේ
මා ගැන හඬක් නැගුමට මේ මිහි තලයේ

අනුවර්තනය - රසික සූරියආරච්චි

මාටින් නීමොලර් පාස්ටර්වරයා විසින් ලියන ලද මේ සුප්‍රකට කවියේ විවිධ සංස්කරණ දක්නට ලැබේ. එය නීමොලර් විසින් කරනු ලැබූ කතාවක හරයේ පද්‍යමය සංස්කරණය කියා ද කියවේ. ඒ සමගම ඇමරිකාවේ දක්නට ලැබෙන සංස්කරණයන්හි කොමියුනිස්ට්වාදීන් යන්න වෙනුවට සමාජවාදීන් කියා කියවෙන බවත්, ජර්මනියේ ඇති සමහර සංස්කරණවල යුදෙව්වන් හා සම්බන්ධ කොටස නොමැති බවත් කියවේ.

එක් පිළිගත් සංස්කරණයක ඉංග්ලිෂ් පරිවර්තනය මෙසේ ය.

First they came for the communists and I did not speak out because I was not a communist.
Then they came for the trade unionists and I did not speak out because I was not a trade unionist.
Then they came for the Jews and I did not speak out because I was not a Jew.
Finally, they came for me and there was no one left to speak out.

මගේ අනුවර්තනය පදනම් වූයේ ඉහත ඉංග්ලිෂ් පරිවර්තනයත් තවත් සංස්කරණ කිහිපයක් ද පනම් කරගෙන බව කිව යුතු ය.

(image: https://www.britannica.com/biography/Martin-Niemoller)

7 comments:

  1. තමන්ගේ කඳවුරට අවාසි වන විට මතක් වන ප්‍රතිවිරුද්ධ කදවුරට කවර අවාසියක් වුවත් කිසිවිටකත් මතක් නොවන කිසිඳු වැදගැම්මකට නැති පට්ට ගහපු කවියක් - එපමණයි

    ReplyDelete
    Replies
    1. ඕනෑම කවියක් වඩාත් අදාල වෙන වේලාවක් තියෙනවා. ඒ ඒ වෙලාවට ඒ ඒ කවි කියවෙනු ඇත!

      වස් කවි / සෙත් කවි/ පැල් කවි........!!!

      Delete
  2. රසිකගේ සංස්කරණයේ වුර්තිය සමිතිකාරයෝ මොළේ අසනීප කාරයන් බවට බෞස්තීම පත්කරලානේ.

    ReplyDelete
    Replies
    1. ;-)
      හොඳ කතාව.

      නමුත් මා කියා ඇති පරිදි මෙහි විවිධ සංස්කරණ තියෙනවා. මා කළේ ඒ සියල්ලම ඇතුළත් කර අනුවර්තනයක් කිරීමයි.

      කුමන සුළු ජන කොටස් ගැන සඳහන් වුනේද, ඒ කවර අනුපිළිවෙලටද යන්න ගැන විස්තරයක් මෙතැන ඇත.
      http://www.history.ucsb.edu/faculty/marcuse/niem.htm

      !

      Delete
  3. මානව බ්ලොග් එක අප්ඩේට් වෙන්නෑ නේද?

    ReplyDelete
  4. ම්ම්ම්ම්ම්....

    ReplyDelete
  5. වටකලෝය ඔව්හු
    මුල්ලෙයිවෛක්කාල්
    පෙතිගැසුවෝය දෙමළුන්
    ඉසිප්‍රියා ඇතුළුව
    මුනිවත දැරුවෙමු අපි
    දේශානුරාගයෙන්

    ගිනි බින්දෝය
    වතුර ඉල්ලා හඬනැගූ
    මිනිසුනට රතුපස්වල
    නැත අපට වගේ වගක්

    මරාදැමුවෝය ලසන්තයෝ
    මහමග
    නිහඬ වූයෙමු අපි
    නොවේ ඔහු
    පත්තරකාරයෙක්

    ආවයි අන්තිමට
    ගමරාළ ගාවට
    නැත කිසිවෙකුත්
    ගමයාගේ පිහිටට

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.