Sunday 4 November 2018

කටුනායක ඩියුටි ෆ්‍රී සාප්පුවක දී වූ සිදුවීමක් හෙවත් ඔහේ විකිණෙන්නේ ඩොලර් කීයකටද? - What is your price tag, mate?


අද වන විට ලංකාවේ සිදුවෙනවා යැයි පැවසෙන ඡන්ද වෙන්දේසි පිළිබඳ කතා බහ නිසාත්, ඒ නිසා ම, මා වෙනත් තැනක විස්තර කර ලියූ මේ සිදුවීම පිළිබඳව මෞර්ය රාජ් නම් හිටපු බ්ලොග්කරුවා ෆේස්බුක් හරහා මගේ මතකය අවදි කළ නිසාත් මේ ලිපිය සකසා පළ කිරීමට සිතුවෙමි.

මේ මා ඕස්ටේ‍ර්ලියාවේ සිට නිවාඩුවක් ගත කිරීමට ලංකාව බලා ගිය දිනයක කටුනායක දී වූ සිදුවීමකි. කාලය 2005 විය යුතු ය.

බ්ලොග් ලියන කියවන අය අතරේ සෑහෙන පිරිසක් ද කටුනායක හරහා ගමන් බිමන් කර තිබෙන නිසා ඒ අයගෙන් සමහරුන්ට මේ මා විස්තර කරන්නට යන ආකාරයේ පමණක් නොව මීටත් වඩා හොඳ රසවත් අත්දැකීම් (මෙන් ම සමහර විට කකුල් දැකීම් ද) ඇතිවා විය හැක.

සුපුරුදු පරිදි එදාත් මා කටුනායකින් ගොඩ බහින කොට මධ්‍යම රාත්‍රිය පසු වී තිබුණි. පුළුවන් තරම් ඉක්මනින් මෙතැනින් පිටවී ගෙදර බලා ගොස් නිදාගන්න යැයි ඇඟපත මට බල කරමින් තිබුණි.

ඒත් ඉතිං ගෙදර යන්න කලින් කළ යුතු අනිවාර්ය වැඩ කීපයක් ම තිබේ.

පරණ මිත්‍රයෙකු වූ චුලානන්ද ගේ ගෝලයින්ගෙන් පාස්පෝට් එකේ සීල් එක ගසා ගත යුතුය. එය අසීරු දෙයක් නොවේ, පූස්පාට් එකෙන් කර ගත හැක.

දෙවන කාර්යය වන්නේ, ගමනාරම්භයේ දී එයාලයින් එකේ නම්කිලාට සිනුවර දී භාර දුන් ගමන් මලු දෙක තුන සොයාගෙන කස්ටම් ඔෆිසර්ස්ලාගෙන් ගැලවී යන එක ය. අතීත කාලේ මෙන් නොව එය ද මේවන විට අන්තිම ලේසි-පාසු වැඩක් වී තිබුණි.

ඔය වැඩ දෙක කරන අතරතුරේ දී, අනිවා ඩෙෆා කළ යුතු, දේවකාරියටත් වඩා වැදගත් තවත් එක් රාජකාරියක් ඇත.

එය "ඩියුටි ෆ්‍රී වන්දනාව" වේ.

සාදු, සාදු, සාදු!

මොන මොන වෙහෙර වැඳ නොගත්තත් ජොනී වෝකරාරාමය පැත්තේ නම් නොගිහින්ම බැරි ය.

මේ කියනා දවසේ මට ඊට අමතරව තවත් පොඩි භාණ්ඩයක් මිලට ගැනීමට තිබුණි. ඒ සඳහා මා ගියේ ඉලෙක්ට්‍රිකල් බඩු විකුණනාරාමයකට ය.

"ඉලෙක්ට්‍රොනික් කී බෝඩ් තියෙනවද?"

එතන හොඳ සිලෙක්ෂන් එකක්, කැෂියෝ ද, යමහා ද, අරවා ද, මේවා ද, හැම ජාතියක්ම, තිබුණි!

මම වසර පහ හයක පොඩි දරුවෙකුට ගැලපෙන ආකාරයේ සරල කී බෝඩ් එකක් තෝරා ගත්තෙමි.

ඉන් පසු, කඩේ කළමනාකරුට, බිල්පත සැකසීම සඳහා, මගේ ගමන් බල පත්‍රය දුන්නෙමි.

"සර් මෙච්චරද ගන්නේ?"

"ඔව්!"

"ඇයි ටීවී එකක්, ෆෑන් එකක්, ඒ.සී.එකක්, රයිස් කුකර් හෙම ගන්නේ නැද්ද?"

"නෑ, ඒවා තියෙනවානේ ගෙදර!"

"මේ පාස්පෝට් එකට සර්ට ගන්න පුළුවනි ෆ්‍රිජ් එකක් වුණත්."

"නෑ, මට ඕනෑ නෑ!"

"එහෙනං සර් මෙහෙම කරමුද? මං සර් ගේ නමට පොඩි ෆ්‍රිජ් එකකුයි, ඒසී එකකුයි දාන්නම්. සර්ටත් පොඩි වාසියක් කරන්නම්."

"මොන වගේ වාසියක්ද?"

"ඩොලර් පනහක් විතර මේ ගත්ත බඩුවෙන් අඩු කරන්නම්."

මට හිනා ගියේ ය.

මා කීවේ මෙපමණකි.

"ඩොලර් පනහට නං මං විකිණෙන්නේ නෑ! මං ඊට වැඩිය වටිනවා!"

මා එසේ කීවේ ඇයි දැයි කියා ඔබ දනී.

කොපමණ පණ්ඩිතකම් කීව ද, බයිලා ගායනා කළ ද, අප සියලු දෙනා ම විකිණෙන එක්තරා මිලක් ඇත. ඊට අඩුවෙන් තැබෙන ලන්සුවලට අපි නොවිකිණෙමු. ඊට වඩා ලන්සුව වැඩි වූ වහාම අප විකිණී යැම වැළැක්විය නොහැක.

තමන් ගේ වටිනාකම නොහොත් විකුණුම් මිල තමන් දැනගෙන සිටීම ඉතා ම වැදගත් බව අවසාන වශයෙන් පවසමි.

-රසිකොලොජිස්ට්

ප/ලිඃ
මේ කතාව ලියන කාලයේ මගේ විකුණුම් මිල ඩොලර් මිලියන 2.2 ක් විය. අද තත්වය වෙනස් ය.

ඔහේලා විකිණෙන්නේ ඩොලර් කීයකට විතර ලන්සුව ආවොතින් ද?


(image: https://www.kapruka.com/Sri_Lanka/cms/kapruka_t1.jsp?docid=1246901918187)

18 comments:

  1. මිනිස්සු මැරෙනවා, ඒක සාමාන්‍යයයි !!!

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද?

      ඉපිද මැරේ, යළි ඉපිදේ, නොතිර සසර සාගරේ......

      Delete
  2. මට වඩා වඩා වැඩිමහල්, අවලස්සන, දත් බොල්ලෑ වෛද්‍යවරියක් කසාඳ බැඳලා ඔසී යන්න පීආර් හම්බෙනවා නං ඒක තමයි මගේ ගාන.

    ReplyDelete
  3. //මේ කතාව ලියන කාලයේ මගේ විකුණුම් මිල ඩොලර් මිලියන 2.2 ක් විය. //
    2005 current ඕස්ට්‍රේලියානු ඩොලර් වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. එසේ ය.
      මිල සූත්‍රය ගණනය කරන්නේ සැමවිටම වත්මන් ඩොලර්වලිනි

      Delete
  4. PLOTE මන්ත්‍රී වියලේන්ද්‍රන්ගේ පිල් මාරුවට කපුකම කලේ රෝහිත බෝගොල්ලාගම සහ සිරස රූප වාහිනී වැඩසටහන් වල මාද්‍යවේදී ජේ. ශ්‍රී රංගා! (The no hold barred grabbing sri lankan members of parliament-DBS Jeyaraj)

    ReplyDelete
    Replies
    1. ඔය ශ්‍රී රංගා කියන්නේත් මන්තිරියෙකු නේද?

      Delete
    2. ශ්‍රී රංගා හිටපු මන්ත්‍රීවරයෙක්. සිරස වැඩසටහන්වල කතා කරනකොටනම් මද්‍යස්ථ මතධාරියෙක්!

      Delete
  5. දැන් නං මැෂින් අවුල්. වයස වැඩියි. ඒක නිසා කලින් ගානෙන් 10% වත් අඩු වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මගේ මිල සූත්‍රයට අනුවත් කල් යන කොට අවශ්‍ය අවම ලංසුව අඩුවෙනවා!

      Delete
  6. Make an offer you can't refuse

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒ කියන්නේ මිල සූත්‍රයෙන් එන අවමයට වඩා ඉහළ අගයක්.

      Delete
  7. අපිට ඩියුටිත් නෑ ෆ්‍රීත් නෑ. ඒ හින්ද කීයකටවත් විකිනෙන්න බැරිවෙයි.

    ReplyDelete
    Replies
    1. තමන් ගේ වටිනාකම නොහොත් විකුණුම් මිල තමන් දැනගෙන සිටීම ඉතා ම වැදගත් බව අවසාන වශයෙන් පවසමි.

      Delete
  8. “The price you will offer yourself to the world, is how much they will buy you.”
    ― Lailah Gifty Akita

    “Don't roll the dice if you can't pay the price.”
    ― Ziad K. Abdelnour

    ReplyDelete
  9. බල පෙරළියට ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේනගේ මැදිහත්වීම ගැන ඇමති නවින් දිසානායකගෙ
    හෙළිදරව්ව-(Janahanda-MP Ajith P Perera's FB page)

    ReplyDelete
  10. රාජපක්ෂ ආණ්ඩුව නොපිළිගැනීමට කථානායක ගත් තීරණයට ප්‍රසාදය-ජවිපෙ සහ අජිත් පෙරේරා.
    පාර්ලිමේන්තුව කල් තැබීමට එරෙහිව නගානන්ද අද අධිකරණයට යයි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.