Saturday 10 November 2018

දොරට වැඩුම් සම්ප්‍රදාය - A benchmark and a template for book launch ceremonies


නවකතාවක්, කෙටිකතා එකතුවක් හෝ ගීත සමුච්චයක් වැනි නිර්මාණයක් රසික ප්‍රජාවට ඉදිරිපත් කිරීම සඳහා දෙරට වැඩුම් උත්සව පැවැත්වීම අද ලංකාවේ මෙන්ම අප වසන ඕස්ට්‍රේලියාවේ ද සම්ප්‍රදාය වී ඇත.

මෙවැනි උත්සවයක සාමාන්‍ය වැඩ පිළිවෙළ වන්නේ සිංහල චාරිත්‍රානුකූලව පහන් දැල්වීමෙන් කටයුතු අරඹා, කෘතියේ පිටපතක් විශේෂ ආරාධිතයෙකුට පිළිගන්වා, ඉනික්බිති, කෘතිය පිළිබඳව සහ එහි නිර්මාතෘ පිළිබඳව කතා කීපයක් පැවැත්වීමයි. අවසානයේ තේ පැන් සංග්‍රහයක් පැවැත්වෙන අතර අවශ්‍ය අයට අදාළ කෘතිය මිල දී ගැනීමේ අවස්ථාව ලැබේ.

උත්සවයක් ආරම්භයේ පහනක් දැල්වීමේ මූලාරම්භක හේතු කුමක් වුවද, අද පවතින පිළිගැනීම අනුව ඉන් අදහස් කරනුයේ මෝහන්ධකාරය දුරු වී ඥානාලෝකය පැතිරේවා යන්න යැයි සිතමි.

ටවුමේ මාළු මාකට් එක අසල ගොඩ නැගෙන වෙසක් තොරණ රාජයා ගේ විදුලි බුබුළු දල්වා විවෘත කිරීමේදී මෙන්ම නිර්මාණයක් දොරට වැඩීමේදී ද පහන් දැල්වීම සඳහා ප්‍රභූවරුන් ට ආරාධනා කිරීම අපේ සිරිතයි. මේ අනුව යමින් අද ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන දොරට වැඩුම් උත්සවවලදී කොන්සල්වරුන්, සංගම් සභාපතිවරුන් මෙන්ම නිර්මාණකරුවා ගේ ජීවන ගමන හැඩ කළ විවිධ පුද්ගලයෝ ද පහන් දැල්වීම සඳහා ආරාධනා ලබති.

ප්‍රශ්නය ඇතිවන්නේ නිර්මාණය දොරට වැඩුම සනිටුහන් කරමින් එහි පිටපතක් පිළිගැන්වීමේ දී ය. උත්සවයට ගාම්භීරත්වයක් එක් කිරීම සඳහා ඉහළ නිලධාරියෙකුට ආරාධනා කර ඔහු හෝ ඇය ලවා සම්ප්‍රදායානුකූලව පහන් දල්වා උත්සවය ආරම්භ කොට ඇත. ඉන්පසු, උත්සව සංවිධාකයන් නිරුත්සාහයෙන් ම සැලසුම් කරන්නේ මේ ආරාධිතයාටම මුල් පිටපත පිළිගන්වා කෘතිය දොරට වැඩුම සනිටුහන් කිරීමටයි.

මගුල් මේස, මාළු කඬේ තොරණ යනාදිය විවෘත කිරීමට ප්‍රභූවරයෙකුට හෙවත් යමක් කමක් ඇති ලොක්කෙකුට ආරාධනා කරන්නේ ඒ සඳහා වැඩි මුදලක සම්මාදමක් ලබා ගැනීමටයි. ග්‍රන්ථයක් දොරට වැඩීමේ උත්සවයක දී එහි පිටපතක් මෙලෙස ලබා දෙන්නේ මා දන්නා පරිදි නොමිලේ ය. එය ලේඛකයාට සිදුකරන්නේ ඩොලර් දහයක පමණ ආවස්ථිත පිරිවැයක් හෝ ඇත්ත වශයෙන්ම සලකතොත් පාඩුවකි. එම නොමිලයේ දෙන පිටපතේ පිරිවැය ද දරන්නේ උත්සවය අවසානයේ දී නියමිත මුදල ගෙවා පිටපත් ලබා ගන්නා පිරිස යැයි ද සැලකිය හැක.

ඒ කරුණු කෙසේ වුවද, නිර්මාණයක පිටපතක් රාජ්‍යතන්ත්‍රය නියෝජනය කරන නිලධාරියෙකුට පිරිනැමීම වනාහී ඒ නිර්මාණයේ අගය අඩු කරවන්නක් බව මගේ අදහසයි. ඇත්ත වශයෙන්ම මෙවැනි අවස්ථා දකින්නට ලැබීම තබා ඒ ගැන අසන්නට ලැබීම පවා උපදවන්නේ පිළිකුල් සිතුවිලි ය. එයට හේතුව කිසිසේත්ම මෙලෙස පිලිගැන්වීම් ලබන්නන් ගේ පෞද්ගලික අඩු ලූහුඬුකමක් නොව ඔවුන් නියෝජනය කරන්නේ කවරක්ද යන්න පිළිබඳ ප්‍රශ්නයකි.

ඕස්ට්‍රේලියාවේ සිංහල ගුවන් විදුලි නාලිකාවකින් ප්‍රචාරය කෙරුණු සාකච්ඡාවක (2011) එක කොටසකදී ඉතා බුද්ධිමත්, උගත් යැයි මට නිසැකවම වැටහුණු පුද්ගලයෙක් තමන් ලියූ ග්‍රන්ථ දෙකක් පිළිබඳව සඳහන් කළේය. මෙහිදී එහි අන්තර්ගතය හෝ කෘතියේ තත්කාලීන වැදගත්කම ගැන කතාකරනවාට වඩා ඉතා වැඩි යැයි මට හැඟුණු උනන්දුවකින් සඳහන් කෙරුණේ, දොරට වැඩීමේ උත්සවයට පැමිණ එහි මුල් පිටපතෙන් පිදුම් ලද ලාංකික මැර දේශපාලඥයෙකු ගැන සහ සුපිරි දේශපාලන ආර්යාවක ගැනයි.

මේ හාස්‍යජනක මෙන්ම කනගාටුදායක තත්වය පිටු දකිමින් පසුගිය සිව් වසර (2008-2011) තුළ සිඩ්නි නුවරදී පැවැත්වුණු නිර්මාණ එළිදැක්වීමේ උළෙල හතරක් මගේ මතකයට එයි.

මින් අවස්ථා දෙකකදී ම මුල් පිටපත් පිළිගැන්වුයේ එම කෘතිවල සංස්කාරකවරුන් විසින් කෘති ප්‍රකාශනය කළ සිංහල සංස්කෘතික හමුව නියෝජනය කළ සභාපතිවරුන්ට ය.

තිසල් පාදුක්ක විදාන ළමා ගායකයා තම සංයුක්ත තැටියේ මුල් පිටපත ඔහුගේ දෙමව්පියන්ට පිළිගන්වා දණ ගසා වැඳි දර්ශනය එහි රැස්වූ සැම ගේ නෙතට කඳුළක් නැංවූ දසුනක් විය.

ලක්ෂ්මන් කොඩිතුවක්කු තමන්ගේ පරමේෂ්වරී සහ වෙනමු රටක් කෙටිකතා පොතේ මුල් පිටපත මුල් කාලයේ සිටම තම නිර්මාණ අගය කළ රසිකයෙකුට ද, ටොමියා සිඩ්නි ගියා ළමා කතා පොතේ මුල් පිටපත තම ආදර දියණියට ද පිළිගැන්වීය.

මේ සියලු කරුණු මට නැවත සිහිවූයේ පසුගිය 2011 ඔක්තෝම්බරයේ දී සිඩ්නි නගරයේ පැවැත්වුණු මෛත්‍රී පනාගොඩ ගේ ගී පදමාලා ඇතුළත් ”සුදු වැලි” සංයුක්ත තැටිය දොරට වැඩීමේ උලෙළේ දී ය. ඒ උත්සවය වනාහී මෙවැනි කෘතියක් එළි දැක්වීමේ අවස්ථාවක තිබිය යුතු ගරුත්වය, නැවුම්බව, ප්‍රශස්තබව මෙන්ම හරවත්බව ද කැටිකොට ගත් සම්භාව්‍ය ගණයේ උත්සවයක් වූ බව නොපැකිලව පැවසිය හැක.

උත්සවය ආරම්භ කෙරුණේ, ජයමංගල ගාථා හඬ පරිසරය සන්සුන් කරමින් විසිරී යද්දී ශාලාව හරහා ගාම්භීර ගමනින් වේදිකාව බලා ගමන් ගත් දැල්වූ පහන් අත දැරූ කුඩා දැරිවියන් පිරිසක් ඉනික්බිති ඇරඹුණු මගුල් බෙර හා සක් නද හඬ මැද වේදිකාවේ සකසා තිබූ සම්ප්‍රදානුකූල පහන දැල්වීමෙනි. එය මා ලද නවමු අත්දැකීමක් විය.

දොරට වැඩුණු සංයුක්ත තැටිය නාමමාත්‍රිකව පිළිගැන්වුණේ පනාගොඩ පවුලේ ලාබාලම සාමාජිකයා වූ දෙසති වයසැති මුනුබුරා වෙතයි. එය අතීතයෙන් අනාගතයට කෙරෙන අපූරු දායාදයක් සනිටුහන් කළේය.

සංයුක්ත තැටියේ අඩංගු ගීත සමුච්චයෙන් විශාල සංඛ්‍යාවක් සජීවීව ද, රූගත කරණ ලද්දාවූ දර්ශන ආධාරයෙන් ද ඉදිරිපත් කෙරුණු අතර ඒ සඳහා කළ හැඳින්වීම් මෙන්ම මුළු උත්සවයේ ම විස්තර කථනය අති විශිෂ්ට මට්ටමේ භාෂා රචනාවෙන් අලංකෘත වී තිබුණි.

මේ ගීත මාලාවෙන් බහුතරය මින් දශක හතරකට ඈත අතීතයක දී නිමවුණු සදාහරිත ගී වූ හෙයින් රචකයාගේ ජීවිතයේ මුල් කාලයේ විවිධ අවස්ථා නිරූපණය වූ රූප රාමු පෙළ ඒ හා අපූරුවට ගැළපුණි.

අකුරට සැලසුම් කොට සිදු කෙරුණු උත්සව කළමනාකරණය ද මොනවට කැපී පෙනුණි.

අවසාන වශයෙන් කිව යුත්තේ දොරට වැඩීමේ උත්සවයක් පැවැත්විය යුත්තේ කොයි ආකාරයෙන් ද යන්න පිළිබඳව අගනා මිනුම් ලකුණක් (බෙන්ච්මාක්) මෙන්ම අච්චුවක් (ටෙම්ප්ලේට්) ද එදා සිට සිනුවරවාසී අප සතුව ඇති බවයි!

-රසික සූරියආරච්චි

ප/ලි:
මෙම ලිපිය 2011 නොවැම්බරයේ දී ලියූ එකකි. සන්නස සඟරාවේ 2011 දෙසැම්බර් කලාපයේ පළවිය. හෙට සිනුවර දී පැවැත්වෙන "ඔසී රටේ අපේ කතා" කෙටිකතා එකතුවේ දොරට වැඩීමේ උත්සවය සඳහා සූදානම් වෙද්දී සිහිපත් වී නැවත පළ කරන්නට සිත්විය.

(image: Roy Gunaratne)

9 comments:

  1. ඔසී රටේ රේඩියෝවක පාර්ට්ටයිම් නිවේදක වැඩ කරන ජගත් මහතා ආරාධිතයන්ගෙන් මුදල් ගෙන වැඩසටහන් වලට සම්බන්ධ කරනව කියලා කතාවක් ගියා නේද? ඔය අච්චුවට 2011 ඉදං තිබ්බා නං එහෙම වෙන්නේ කොහොමද? අච්චුව පාවිච්චි වෙන විදිය රසිකත් දන්නේ නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. පාට් ටයිම් නිවේදක කියා අය නම් මා දන්නේ නෑ.

      අප මේ සාහිත්‍ය වැඩවල නිරත වෙන්නේ ස්වකැමැත්තෙන්, ආශ්වාදය පිණිස මිස මුදල් සොයන්නට නොවේ.

      මා සංවිධානය කළේ එකම පොත් එළිදැක්වීමක් පමණි. එය 2012 ඔක්තේබර් 27 වෙනිදා පැවති මගේ උපන්දින සාදයයි. මා ලියූ සිව් වසරක් මරදානේ එළි දැක්වුනේ ඒ උත්සවයේ දී ය!

      Delete
  2. ජීවිතේට පොතක් නොකියවන මැර දේශපාලකයින්ට පොත් පිළිගන්වනව දකිනකොට ඇතිවෙන්නෙ වස අප්පිරියාවක්.

    ReplyDelete
    Replies
    1. මචං ඒක අප්පිරියාවක් විතරක් නෙමේ ඔක්කාරයක්. වමනේ දැම්මට පස්සේ තමයි පෙන්නේ මොනවද අපි කාලා බීලා තියෙන්නේ කියලා. ඒකත් හරියට අවසාන හුස්ම වගේ. අවසාන හුස්ම කියන එක මැරෙන එකාටවත් දැණෙනවද මන්දා. හැබැයි කවියෝ, සාහිත්‍යකරුවෝ මරණය විග්‍රහ කරන්නේ හරියට උන් මළා වගේනේ. මැරෙන්නෙ හිතනවො හැලපයෝ සමහර ජෝගි දැක්කම.

      Delete
    2. මෙහි කියවෙන කතාවේ පොත් එළිදැක්වීමට පැමිණියා යැයි ලේඛිකාව උදම් අනමින් පැවසූවේ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සහ ශිරන්ති රාජපක්‍ෂ පිළිබඳවයි!

      Delete
  3. මම ලියපු පොත දොරට වැඩීමේ උත්සවේදී අපේ තාත්තට ඕනේ වුනා අපේ ගම් පළාතේ හිටපු තාත්තගේ පක්ෂේ මන්ත්‍රීව ගෙන්නන්න. මම ඒකට එක හෙලාම විරුද්ධ වුනා. තාත්ත දෙතුන් වතාවක් මට ඕක ගැන කතා කලත් අන්තිමට මගේ කැමැත්තට ඉඩ දුන්නා. මම පොත මුලින්ම දුන්නේ එස්.එම් බන්දුසිල මහතාට ද කොහෙද. තාත්තාගේ හිත රිදවීම ගැන කනගාටුවක් තිබුනත් දෙස්පාලුවෙක් ගාවා නොගත්ත එකට සතුටුයි.

    ReplyDelete
    Replies
    1. මිතුරෙකු නම් ප්‍රශ්නයක් නෑ, නමුත් දොරට වඩින කෘතියට කිසිදු සම්බන්ධයක් නැති දේශපාලුවන් සහ නිලධාරීන් ගෙන්වීම තමයි අජූව!

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.