Tuesday 14 July 2020

බැංකුවක කතාවක් හෙවත් සේවා සපයන්නා සහ ගණුදෙනුකරුවා - Know your rights



මීට වසර දෙකකට පමණ පෙර මට ලංකාවේ දී හදිසියේ මුදල් අවශ්‍යතාවක් ඇති වූ අතර ඒ මොහොතේ මට මා ලංකාවට මුදල් යැවීම පිණිස සාමාන්‍යයෙන් භාවිතා කරන මගේ ඕස්ටේ‍ර්ලියානු බැංකු ගිණුමෙන් මුදල් ලබා ගැනීමේ ප්‍රශ්නයක් උද්ගත වී තිබුණි.

එයට හේතුව වූයේ නම් ලංකාවේ ජංගම දුරකථන සඳහා සැපයෙන එස්එම්එස් හෙවත් කෙටි පණිවිඩ සේවාවේ ඇති සීමාකම් ය. උදාහරණයක් ලෙස අපට ඕස්ටේ‍ර්ලියාවේ දී එස්එම්එස් එකකට ඡායාරූපයක් හෝ ලියවිල්ලක් හෝ වෙනත් ගොනුවක් අමුණා යැවීමට හැකි නමුදු (මෙය එම්එම්එස් ලෙස හැඳින්වේ) ලංකාවේ එසේ කළ නොහැක. ඒ සඳහා වයිබර් හෝ වට්ස්ඇප් භාවිතා කිරීමට සිදුවේ. මෙහිදී මට සිදු වූයේ මට අවශ්‍ය මුදල් හුවමාරුව අනුමත කිරීමට සඳහා මගේ ඕස්ටේ‍ර්ලියානු බැංකුවෙන් ලංකාවේ මගේ ජංගම දුරකථනයට එවන රහස් අංකය (One Time Authorisation Code) සහිත එස්එම්එස් එක මට නොලැබීමයි.

එවිට මට සිහිවුනේ මගේ පරණ රුපියල් ගිණුමක සුළු මුදලක් ඉතිරිව තිබෙන බවයි. එය ලබා ගැනීමට මම ඒ බැංකුවේ පිළියන්දල පිහිටි ශාඛාවට ගියෙමි.

මේ ගිණුම සඳහා මට විසිපස් වසරකට පෙර නම් ඒටීඑම් කාඩ් පතක් තිබුණ ද, දැන් එය වලංගු නැත. එනිසා, අදාළ ෆෝර්මය පිරවූ මම කවුන්ටරයක පොඩි පෝලිමක ද මද වේලාවක් ගත කර කවුන්ටරයේ සිටි බැංකු සේවකයාට එය මගේ ජාතික හැඳුනුම්පත ද සමග භාර දුන්නෙමි.

ඒටීඑම් කාඩ් එකක් නැති නිසා, මගේ අත්සන දෙවෙනි තට්ටුවේ මැඩම්ගෙන් සහතික කරගෙන ඇයගේ අත්සන යොදාගෙන එන ලෙස කවුන්ටරයේ සිටි බැංකු සේවකයා මට පැවසීය.

එවිට මා ඔහුට පවසා සිටියේ මෙයයි.
ඒ ආකාරයට මැඩම්ලාගෙනන් අත්සන් ගැනීම මගේ අවශ්‍යතාවක් නොවේ. එය බැංකුවේ අවශ්‍යතාවක් නම් එය සපුරා ගැනීම ඔබේ වගකීමයි. පාරිභෝගිකයා වෙන මට එය ඉටු කිරීමට කියා සිටීම වැරදි කටයුත්තකි.

ඔබට අවශ්‍ය නම් මැඩම්ගෙන් නොව සභාපතිගෙන් හෝ අත්සන ගෙන එන්න.

මට මගේ සල්ලි දෙන්න. තෑන්ක් යූ!
මගේ කතාව ඇසුණු බිම් මහලේ ම සිටි වෙනත් මැඩමෙකු විසින් කවුන්ටර සේවකයා ලවා එම ෆෝර්මය ගෙන්වාගෙන අදාල අස්සන ගසා දුන්නා ය.

මම මුදල් රැගෙන මගේ අවශ්‍යතාව ඉටුකර ගැනීමට ගියෙමි.

මට වැටහුණු පරිදි මෙය මෙකී බැංකුවේ සේවා සැපයිමේ ක්‍රියා පරිපාටියේ ඇති වරදක් නොව, සේවකයා තමන්ගේ කම්මැලිකම නිසා තමන්ගේ රාජකාරියේ කොටසක් මා ලවා කරවා ගැනීම කළ උත්සාහයකි.

මා දන්නා පරිදි, බැංකුවල මැඩම්ලා හෝ සර්ලා හෝ වෙනත් බාස්ලා නැත. එහි ඇත්තේ දෙපිරිසකි. ඒ පාරිභෝගිකයින් සහ බැංකු සේවකයින් ය.

පාරිභෝගිකයින් එහි යන්නේ සේවාවක් ලබා ගැනීමටයි. එම සේවාව සැපයීමට බැංකුව බැඳී සිටී. බැංකු සේවකයින්ගේ යුතුකම එම සේවාව ඉටු කිරීමයි.

තමන්ගේ මුදල් ආපසු ගැනීමට ඉල්ලා අයදුම්පත සම්පූර්ණ කර අත්සන් කර එය ලබාදීම පාරිභෝගිකයාගේ වගකීමයි. එය ඉහළ නිලධාරියකු විසින් අනුමත කළ යුතු නම්, එය බැංකුවේ අවශ්‍යතාවකි. බැංකුවේ අභ්‍යන්තර වැඩ කටයුතු කිරීම පාරිභෝගිකයින්ගේ වගකීම නොවේ.

-රසික සූරියආරච්චි

ප/ලි:
මේ කෙටි සටහන ෆෙස්බුක් කණ්ඩායමක මුලින් පළ කළ විට එහිදී දැක ගන්නට ලැබුණු අමන කතා කිහිපයක් නිසා, රසිකොලොජියේ ද පළ කිරීමට සිතුණි.

(image: http://www.legalserviceindia.com/legal/article-557-consumer-rights-.html)

3 comments:

  1. රසික මහතා, ඔයා කියන කතාව ඇත්ත. ඒ වුනාට මම මීට වසර ගණනාවකට පෙර රාජ්‍ය බැංකුවක වැඩකළා ඔයා ඔය කියන කවුන්ටරය කියනා එකේම. ඔයා කියන දේ ඒ වෙද්දි මමත් පිළිගත් දෙයක් නිසා මම කරේ අන්න ඒක. මමම ගිහිල්ලා හරි අත්සන ගන්න එක. මාත් එක්ක වැඩට ආපු මගේ වයසෙම කෙල්ලෙක් හිටියා එයත් හිටියේ ඒ මතයේ.මොකද එහෙම යවන්න ක්‍රමයක් හරියට බැංකු ශාඛාවෙන් හදලා තිබ්බේ නෑ. මොකද වුනේ මට බැංකුවේ අදාළ නිලධාරීන්ගෙන්ම බලපෑම ආවා මට ඉන්න ගනුදෙනුකරුවාව අත්සන ගන්න යවන්න කියලා. අද වගේ චෙක් එකක අත්සන චෙක් කරන්න බෑ පරිගණකයෙන්. අදාළ නිලධාරියා ගාවට යවන්නම වෙනවා. දවසක් කෙනෙක්ගේ චෙක් එකක් හුවමාරු කරන්න විදිහක් නෑ, කිසිම නිලධාරියෙක් නෑ තට්‍ටුවෙම. කරන්නම දෙයක් නැති නිසා යැව්වා කළමනාකරුට, මොකද එයා කියන පාරිභෝගික සත්කාරය කරලා දෙයි කියලා. මොකක්ද වුනේ, ඇයි ගනුදෙනුකරුවට අර නිලධාරියා එන කම් වාඩි වෙලා ඉන්න නොකීවේ කියලා, මං ගාවට ඇවිල්ලා සද්දේ දාලා යන එක.

    ReplyDelete
    Replies
    1. මෙහි දී කළ යුතුව තිබුණේ ඉතා සුළු දෙයක්. එනම්, අදාල අනුමැතිය දීමේ බලය කවුන්ටරයේ ඉන්නා සේවකයාට ලබා දීමයි. මෙයට ඩෙලිගේෂන් කියා කියනව. එවැනි බලයක් නැති අයෙකු ගණුදෙනුකරුවන් සමග කටයුතු කිරීමට කවුන්ටරයේ තබන්නේ ඇයි?

      මුදල් රෙකුලාසිවල නොගැලපීක් තිබුණා නම්, කවුන්ටරයේ සේවකයාට එක් උපරිමයක් දක්වා මුදලක් සහ ඊළඟ නිලධාරියාට තවත් උපරිමයක් සහ ශාඛා කළමනාකරුට ඊටත් වඩා වැඩි මුදල් ලෙස බෙදා වෙන් කර අවසර දෙන්න තිබුණා.

      ගණුනෙුකරුවෙකු තැන්පත්කරන මුදල් සීමාවක් නැතුව බාරගෙන, ඒ සඳහා වගකීඟ ගත හැකි කවුන්ටරයේ සේවකයාට චෙක් එකක් මාරු කර මුදල් දීමට අවසර නොදෙන්නේ ඇයි ද කියා මට සිතා ගන්න බෑ.

      Delete
  2. 'එයට හේතුව වූයේ නම් ලංකාවේ ජංගම දුරකථන සඳහා සැපයෙන එස්එම්එස් හෙවත් කෙටි පණිවිඩ සේවාවේ ඇති සීමාකම් ය. උදාහරණයක් ලෙස අපට ඕස්ටේ‍ර්ලියාවේ දී එස්එම්එස් එකකට ඡායාරූපයක් හෝ ලියවිල්ලක් හෝ වෙනත් ගොනුවක් අමුණා යැවීමට හැකි නමුදු (මෙය එම්එම්එස් ලෙස හැඳින්වේ) ලංකාවේ එසේ කළ නොහැක.'

    ලංකාවේ ස්මාර්ට් ෆෝන් හැම එකකම මේක තියෙනවා. මිනිස්සු මෙය භාවිතා කරන්නේ නැත්තේ එක් පණිවිඩයකට අවම රුපියල් 2 සිට ඉහලට මුදලක් වැය වන නිසා. එයට සාපේක්ෂව වයිබර්, වට්ස්ඇප් වල එක පණිවිඩයක් සදහා වැයවන්නේ සතයකටත් වඩා අඩු මුදලක්.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.