Wednesday 30 September 2020

අපේ කාලේ කතන්දර - ටැලිගිරැං එක

University of Peradeniya












මේ මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ශිෂ්‍යයකු ලෙස ඉගෙනුම ලබන අවධියේ වූ සිදුවීමකි.

දිගු කලක් තිස්සේ ඇදී ගිය විරෝධතා ව්‍යාපාරයක් අවසානයේ ශිෂ්‍ය සංගමයේ නායකත්වය යටතේ ශිෂ්‍යයින් කිහිපදෙනෙක් මාරාන්තික උපවාසයක් ඇරඹූහ. විශ්වවිද්‍යාල පරිපාලනය විසින් වහාම විශ්වවිද්‍යාලය වසා දමන ලද අතර ශිෂ්‍යයින් සඳහා විශ්වවිද්‍යාල භූමිය තහනම් කලාපයක් ලෙස නම් කර සියලු දෙනාටම ඉවත් වන ලෙස අණ කරන ලදී.

මාරාන්තික උපවාසය සහ විරෝධතා ව්‍යාපාරය නොනවත්වා පවත්වාගෙන යාමටත්, විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත් නොවීමටත් පොදු එකඟතාවක් ශිෂ්‍යයන් තුළ ඇතිවිය.

දෙවන වසරේ ඉගෙනුම ලබන පිරිමි සිසුන්ට විශ්වවිද්‍යාලය තුල නවාතැන් පහසුකම් නොලැබෙන නිසා ඒ වන විට මා ඇතුළු පිරිසක් පදිංචිව සිටියේ ඊරියගම බෝඩිමක ය. එනිසා විශ්වවිද්‍යාල භූමියෙන් පිටත්ව යාම යනු අපට අදාල වූ කරුණක් නොවී ය.

කෙසේ වුවද, පේරාදෙණිය විශ්වවිද්‍යාලය වසා දැමූ බව සහ සිසුන්ට විශ්වවිද්‍යාල භූමිය තහනම් ප්‍රදේශයක් බවට නම් කළ බව ගුවන් විදුලියෙන් සහ පුවත්පත් හරහා නිවසට ආරංචි වෙන බව දන්නා නිසා, මා දිගටම බෝඩිමේ නතර වී සිටීමට අදහස් කරන බව නිවසට දැන්විය යුතුවිය.

මා කළේ, පේරාදෙණිය තැපැල් කාර්යාලයට ගොස් තාත්තාට විදුලි පණිවිඩයක් යැවීමයි.

"දිගටම බෝඩිමේ ඉන්නවා. සති දෙකකින් ගෙදර එන්නම්.
-රසික"

මා සමඟම එහි ගිය, එකම බෝඩිමේ සිටි මගේ මිතුරෙකු ද තම පියාට විදුලි පණිවිඩයක් යැවීය.

දින දෙකක් ගත විය.

විශ්වවිද්‍යාල භූමියේ උපවාසය පැවැත්වෙන ස්ථානය අසල දවස පුරාම රැඳී සිට සවස බෝඩිමට ගිය අප දුටුවේ මිතුරාගේ පියා එහි පැමිණ සිටින බවයි.

"ඇයි තාත්තා ආවේ?" මිතුරා විමසීය.

"අර ට්‍රෙලිග්‍රෑම් එක ලැබුනහම නෑවිත් පුලුවන්ද?" පියා ද ප්‍රශ්නයකින් ම උත්තර දුන්නේ ය "මං හිතුව උඹට ලොකු කරදරයක් වෙලා ඇති ය කියලා!".

මොහොතකින් අප දැනගත් පරිදි අප මිතුරා තම පියාට යැවූ විදුලි පණිවිඩයේ ලියා ඇත්තේ මෙලෙස ය.

"විශ්වවිද්‍යාලය වසා දැම්මා. මට කිසි කරදරයක් නැහැ.
-රෝහණ"

-රසික සූරියආරච්චි

(image: https://arts.pdn.ac.lk/)

5 comments:

  1. Pitathin nopennuwata thaththalage adaraya kawadath ehema thamayi!

    ReplyDelete
  2. අයියෝ රෝහණ! :))

    අහවලාට අසනීපයි ඉක්මනින් ගෙදර එන්න කියල ටෙලිග්‍රෑම් එකක් ආවොත් ඒ කාලේ කෙලිම්ම යන්න මළ ගෙදරට තමයි. :)

    ReplyDelete
  3. අම්මට කැලැ උණ - අම්මට කෙලවුනා වුන කාලේ එහෙම තමයි.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.