Friday 6 January 2023

ලබ්බ, දත, දතේ පන්සල සහ වෙනත් කතා - Here comes one of the "other stories" first


මෙන්න ඒ වෙනත් කතාවක්. මේ කතාව මා කලකට පෙර ලියා පළ කළ රජ කාලේ කතන්දරයක් පිළිබඳ කතාවකි.

වෙනත් කතාවට තුඩු දුන් රජ කාලේ කතන්දරය මෙලෙස විය.
දුටුගැමුණු තරම් සිංහල අපේ සයිකි එකට බලපාපු රජෙක් නැති තරම්. ඒ ඉතිං පොර ගැන අපි අහල තියෙන විවිධ වීර කතා, ජන කතා සහ බණ කතා හින්ද තමයි. බයිලත් නැත්තෙම නෑ. ඒ කතන්දර කොච්චර අපට බලපාල තියෙනවද කියනව නම් පොර ලංකාවෙ හිටියෙ මීට අවුරුදු 2,300 කට ඉස්සර කියන සත්‍යයවත් අපිට විශ්වාස කරන්න අමාරු තරම්. මේ ඊයෙ පෙරේද වෙච්ච දේවල් විදියටයි අපේ මතකයෙ තියෙන්නේ.

දුටුගැමුණු සම්බන්ධ කතා බොහොමයක් පොර ගැනම විතරක් නෙමේ. කැලණිතිස්සල, ගෝටයිම්බරලත් ඕවට සම්බන්ධයි. ලාවට නෙමේ, සිරාවට ම.

දුටුගැමුණු පුරා වෘත්තයට සම්බන්ධ තවත් පොරක් තමයි සාලිය කුමාරය. සාලිය කියන්නෙ දුටුගැමුණු ගෙ පුතා.

ලව් කරන, ලව් එකට ලව් කරන, අපි බොහෝ දෙනෙකුට නම් සාලියකාරයව පේන්නෙ එළකිරි පොරක් වගේ. අශෝක වනය මැද්දේ, අශෝක මල් නෙලමින් සිටි අශෝකමාලා කියන සැඩොල් කෙල්ලට ඇති වුණු ලව් එක නිසා සාලිය මාගම් පුරේ රජ පවුලෙන් කැපුන නේ.

තමන්ගෙ තාත්ත එළාරට බැෂ්ටිය දීල මුළු රටේම පාලනය අල්ලගත්ත. ඊළඟට, ඌව වෙල්ලස්සයි, මාගමයි විතරක් නෙමේ මුළු රටම හිමි වෙන්න තිබුණෙ සාලියට යි. ඒ සේරම රජ සැප ආදරය වෙනුවෙන් පූජා කළා. අපේ ලව් සික්කාරයෝ සාලිය වීරයෙකු විදියට සලකන්නේ අන්න ඒ නිසයි. නියම එස්.පී.බී.ආර්. [SPBR] කෙනෙක් හෙවත් සත්‍ය ප්‍රේමෙ බෲංග රාජයෙක්!

අපි වගෙ ලව් සික් කෂ්ටිය එහෙම හිතුවට ලව් එක නිසා පවුල් පන්සල් වෙලා දැන් උලව් ලව් මල ඉලව් වෙලා ඉන්න උන් නං හිතනව ඇති සාලිය කියන්නෙ පොල් බූරුවෙක් කියල.

කෙල්ලෙක් නිසා රජකම දාල යන්නෙ නැතුව පොරට තිබුණෙ ඉස්සෙල්ල රජකම අරගෙන පස්සෙ හිමින් සැරේ අශෝකමාලා ව අන්තඃපුරේට සෙට්කර ගන්න එකනේ.

ඒ දවස්වල ඕක ලීගලි ම කරන්න තිබුණ නෙ, අද වගේ යැ.

අර සුනිල් පෙරේරා ගෙ සින්දුවෙ කියනව වගේ - ඒ කාලෙ නෙ ඉන්න තිබුණෙ, අයි ඩෝන්ට් නෝ වයි!

මේ කතාව පළ කළ පසු එය කියවූ බහුතරයක් දෙනා මා ලියූ දේ රස විඳි බව පෙනුණි. නමුත් මා බලාපොරොත්තු නොවූ පරිදි, කිහිප දෙනෙකු කිපුණහ. ඒ කිපී තිබුණේ මා දුටුගැමුණු නම් රජාට පොර කියා ලියා තිබුණු නිසා බව පෙනුණි. සාලියට සත්‍ය ප්‍රේම භෘංග රාජයා කීවාට නම් කිපෙන්නට හේතුවක් නැත.

ඉන් තිදෙනෙකුගේ ප්‍රතිචාර මෙලෙස විය.

......අපේ ඉතිහාසෙ ලියවිලා තියෙන ලංකාවෙ ශ්‍රේෂ්ඨ පාලකයන්ව දෙකේ කොලේට නොවැටෙන ආකාරයට ඔය කතන්දර කියන්න..... 00තමුං දන්නව ඇත්තටම දුටුගැමුණු රජතුමා මොනතරං ශ්‍රේෂ්ඨද කියල......

වැදගත් චරිතවලට අපහාස වෙන විදිහේ කතා ලියන්න එපා. ඒක හොඳ නෑ. දුටුගැමුණු කියන්නේ කවුද කියලා හොඳට දන්නවානේ නේ.

යමෙක් සීහල උත්තම රජවරුන්ට අපහාස කරයි නම් එය මහා නිවට මෝඩ ක්‍රියාවකි. එබැවින් යමක් ලියන්නට පෙර හොඳ හැටි සොයා බලන්න.

ඒ ළපටි කතා ගැන මට ඇතිවුණේ පුදුමයකි. ඒ සමගම දුකකි.

මට මුලින් ම ආ අදහස නම්, "ඇයි, දුටුගැමුණු පොරක් නොවේ ද?" යන්නයි.

ඉන් පසු මා ලියා එක් කළ පහත වාක්‍ය කිහිපය ඔවුන් සැමටම පොදු පිළිතුරක් ලෙස සැලකිය හැක.

ඉතිහාසය කියා ඔබ මා දන්නේ ද අපට කියා ඇති කතන්දර මිස අන් කිසිවක් නොවේ. ඔබ ඒ කතන්දර මත අනවශ්‍ය බැඳීමක් ගොඩ නගා ගෙන ඇති බව පෙනේ. මෙය කුඩා කල අප කාටත් පොදු දෙයකි. කෙසේ වෙතත් ඔබ හා ඔබ වැනි ළමයින් තරහ කර ගැනීම මගේ අරමුණ නොවේ.

ඒ සිදුවීම වූයේ මීට වසර දහතුනකට පෙර කලක ය.

අද කාලයට පැමිණිය හොත්, දුටුගැමුණුලා ගැන ලියවුණු කතන්දරයක් ගැන ඒ තරමට වද වෙන අයඑදා අටවෙනි මහින්ද සමයේ සිටියා නම්, දතේ පන්සල (temple of the tooth) සහ දත (tooth) ගැන කතා කරන විට අද මේ මානවම්ම සමයේ අපේ අයියලාට ඌරු ජුවල් නැගීම පුදුමයක් ද?

දතේ පන්සල ගැන කතාව ඊළඟ රසිකොලොජි බ්ලොග් සටහනෙන් බලාපොරොත්තු වන්න.

-රසික සූරියආරච්චි

(image by Jason Goh from Pixabay)

6 comments:

  1. දළදා මාළිගාව යන සිංහල වචනය ඉංග්‍රීසියට පරිවර්ථනය කිරීමේදී temple of the tooth ලෙස සටහන් කරයි. මෙය සිංහල වදනෙන් ඉංග්‍රීසි වදන සැදුනකි.

    සිංහලයෙකු වන රසික, දළදා මාලිගාව ලෙස සටහන් නොකර ඉංග්‍රීසි වචනය දතේ පන්සල ලෙස සිංහලට හරවා සටහන් කිරීම මගින් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි කියා මට නම් වැටහෙන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. සිංහලයෙකු "නො"වන රසික ...

      Delete
    2. The Temple of the Sacred Tooth Relic

      Delete
  2. මේ අවුරුද්දේ කිසිම ආගමක දේවල් ගර්හාවට පත් කරන්නේ නැහැ කියල හිතන් ඉන්නේ. ඔන්නිහේ උන්ට ඕන මගුලක් උන් අදහ ගත්තදෙන්. මම මගේ සතුට දිහා බලාගෙන නිරාමිස නිරගමික ප්‍රතියෙන් ඉන්නවා. 😃

    ReplyDelete
  3. ඉතා සතුටින් දන්වන වග නම්; මේ දිනවල බ්ලොග් හමුවක් පිළිබඳ කතිකාවතක් ඇතිවී ඇත. දැනට යෝජනා වී ඇති අකාරයට බොහෝ විට එය අප්‍රේල් මාසයේදී යෙදෙනු ඇත! මේ පිළිබඳව ඔබගේ සහභාගීත්වය, ස්ථානය, දිනය හා ආකෘථිය පිළිබඳව මෙහි ලියා හෝ අපගේ ලිපිනයට දන්වන්නේ නම් මැනවි. මෙයට සමගාමීව බොහෝ පැරණි බ්ලොග් ලියන්නන් නැවත ලිවීම අරඹා ඇති බව දන්වන්නේ සතුටිනි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.