Tuesday, 21 January 2025

ඩයරියේ ලියූ කතාවක් - Generation gap

මේ මගේ තරුණ කාලයේ මා සටහන් ලියූ දිනපොත් වලින් ඉතුරු වී ඇති එකම දිනපොතේ ඇති අපූරු කතාවකි.

මේ කාලයේ මගේ වයස අවුරුදු දහඅට හමාරකි. උසස් පෙළ ලියා ප්‍රතිඵල ලැබී විශ්වවිද්‍යාලයට යාමට පෙර කාලයයි.

ඒ සටහන එක්තරා රේඩියෝ නාට්‍යයක කතාව ගැනයි.

ලංකාවේ රූපවාහිනී තිබුණත්, අපේ ගමට විදුලිය ඇවිත් සෑහෙන කාලයක් වුණත්, ගමේ ප්‍රධාන පාරෙන් මද දුරකින් පිහිටි අපේ නිවසට විදුලිබලය නොතිබුණු නිසා අපේ සවස් කාලය ගෙවුණේ ටෝච් බැටරියෙන් වැඩ කළ රේඩියෝව සමගයි.

“ගජ මුතු” නාට්‍යය ඇහුවා. හරි ලස්සනට යනවා ඒක. මම කියන්නේ කතාව අවසානයේ වලව් පරම්පරාවේ “අප්පෝ” සහ පහත් යැයි සම්මත (බෙරකරු?) කුලයේ “මුතුමලී” විවාහ විය යුතුයි.

එතකොටයි කුලභේදයට නියම පහරක් වදින්නේ?

ඒ දෙන්නා විවාහ නොවී කතාව කතාව ඉවරවෙනවා නම් ඔය නාට්‍යයෙන් ඇති වැඩේ මොකක්ද?

ඒත් අම්මාගේ සිතුවලව සිතුවිලි වල හැටි?

අම්මා හිතන්නේ නැහැ අප්පෝවයි මුතුමලීවයි එක් කළ යුතුයි කියා. එසේ කරනවා නම් මුතුමලී වෙනින් “හොඳ” පවුලක ඉපදුණු නමුත් මේ “අඩු කුලේ” නිවසේ හැඳුණු දරුවෙක් කරයි ලු!

එහෙම අවසාන කරනවා නම් මේ කතාවේ වැඩක් නැත කියා මම අම්මාගේ අදහස ගැන වාද කරන්න හැදුවහම අම්මා කිව්වා: “එහෙනම් උඹ බැඳගනින් බෙරවායෙකුගේ දුවක්!” කියා.

අම්මාත් ඔය කුලභේදය ඔය තරම් සලකයි කියා මම හිතුවේ නැහැ.

කෙල්ල ලස්සන නම් ඉගෙනගෙන නම් වෙන මොනවාද?

මං ඔය කුලභේදය ගණනකට ගන්නේ නෑ. එසේ වූවත් අම්මලාගේ දුර්මත කැඩීම සඳහා වුවමනාවෙන් සොයාගෙන ගොස් එසේ විවාහ වීමටත් මට අවශ්‍යතාවක් නැහැ.

නමුත් එවැනි අවස්ථාවක් ජීවිතයේ උදාවුණොත් කිසිසේත්ම ඔය භේද මම සලකන්නේ නැහැ.

එය සහතිකයි. මොනතරම් පටු කල්පනා ද ඒවා?

මේ කාලේ අපේ අම්මාගේ වයස අවුරුදු හතලිස් එකහමාරයි. ඒ කියන්නේ ඇගේ ජීවිතෙන් අඩයි.

පසුකාලීනව අම්මාගේ ඒ පැරණි ප්‍රතිගාමී අදහස් වෙනස් වෙන්න ඇති කියා මා හිතනවා.

- රසික සූරියආරච්චි

(image: Rasika Suriyaarachchi)

Tuesday, 7 January 2025

සාරි/ඔසරි, කාන්තා රාජ්‍ය සේවිකාවෝ සහ බමුණු මත නිලධාරීන් - What a joke?



අගමැති හරිනි අමරසූරිය තම අමාත්‍යාංශ කටයුත්තක දී රැස්වීමක් මෙහෙයවන ආකාරය දැක්වෙන මේ ඡායාරූප මම ඊයේ ෆේස්බුක් එකේ දුටුවෙමි.

ඇය අත් දිග බ්ලවුසයක් සහ (කලිසමක්?) ඇඳ සිටින අතර රැස්වීමේ සිටින කාන්තාවන්ගෙන් බහුතරය සාරි/ඔසරි ඇඳ සිටිති.

ලංකාවේ රාජ්‍ය සේවයේ නිරත, විශේෂයෙන් පොදු ප්‍රවාහන සේවාවලින් සේවයට යන එන මෙන්ම, ගුරු වෘත්තිය වැනි සේවා අංශවල වැඩ කරන කාන්තාවන්, ඔවුන්ගේ කලමනාකරුවන් විසින් සාරි/ඔසරි ඇඳීමට බල කරන නිසා, සේවයේ නිරත වෙන්නේ අපහසුතා මැද සහ අනවශ්‍ය වියදම් දරා ගනිමිනි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලද මා ප්‍රිය බිරිඳ ද, වසරක සීමාවාසික පුහුණුව ද ඇතුළුව අවුරුදු හතර හමාරක් රාජ්‍ය සේවයේ යෙදුණාය.

ඒ කාලය තුළ ඇය, කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහල, ගම්පහ දිස්ත්‍රික් රෝහල සහ කොළඹ මහ රෝහල යන ස්ථානවල මෙන්ම, මගේ මතකයට අනුව රිජ්වේ ළමා රෝහලේ ද, සේවය කළ අතර, ප්‍රසූත නිවාඩු ලැබ සිටි තුන් මසක කාලය හැරුණු විට සෑම සතියකම පාහේ දින හයක් සේවයට ගියාය.

නමුත් ඒ කාලය තුළ ඇය සාරි හැඳ සේවයට ගියේ දින කිහිපයක පමණි.

බොහෝවිට ඇය ඇන්දේ ගවුමක් හෝ සායක් සහ බ්ලවුසයකි. ගර්භනී කාලයේ නම් බාච්චු ගවුමකි.

පසු කලෙක මේ තත්වය වෙනස් වුයේ කෙසේ ද?

තිලිනි ෂැල්වින් නම් සහෘද ෆේස්බුක්කාරී ගුරුවරිය කියන පරිදි සාරි නොඇඳ වෙනත් ඇඳුමකින් සැරසී සේවයට යාම වනාහී කලාප අධ්‍යාපන කාර්යාලයේ විනය පරීක්ෂණවලට ලක්වෙන වරදකි.

(image: From Facebook)

Sunday, 5 January 2025

පේරාදෙණියේ පරණ කතාවක් - වික්‍රමබාහුගේ ආරාධිත දේශනය තහනම්? :: A story from the past

Faculty of Engineering, University of Peradeniya 4 February 2024
අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ආර්ථික ආත්මක්ලමථානුයෝගී (austerity) සම්බාධකවලට විරුද්ධව කටයුතු කළ යුත්තේ කෙසේද යන මැයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් (දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ, දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමය) විසින් සංවිධානය කර තිබුණු දේශනයකට විශ්වවිද්‍යාල අධිකාරිය විසින් අවසර දී නොමැති බව කියවේ. මේ පිළිබඳ මා දැන ගත්තේ ඒ ගැන කියවෙන ලිපියක් සමාජ සමානතා පක්ෂයේ වෙබ් අඩවියේ පළ වී ඇති බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් ලියූ ෆේස්බුක් සටහනකිනි.

එය දුටු මගේ සිහියට ආවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී අප ලැබූ මේ හා සමාන අත්දැකීමකි.

විශ්වවිද්‍යාල සංගමයක් විසින් යම්කිසි දේශනයක් හෝ වෙනත් වැඩසටහනක් සංවිධානය කරන විට ඒ සඳහා විශ්වවිද්‍යාලයේ සම්පත් එනම්, දේශන ශාලාවක්, විදුලි බලය යනාදිය භාවිතා කෙරෙන නිසා, ඒ සඳහා අවසර ලබා ගැනීම සාමාන්‍ය ක්‍රමයයි. මේ සඳහා රෝනියෝ කරන ලද පෝර්මයක් එකල ශිෂ්‍ය කටයුතු පිළිබඳ උප ලේඛකාධිකාරි කාර්යාලයෙන් ලබාගත යුතු වූ අතර එය අදාල තොරතුරු යොදා සම්පූර්ණ කර මට මතක හැටියට ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරිකගේ (මේ ආචාර්ය මණ්ඩලයේ අයෙකි) අත්සන ද සහිතව එම කාර්යාලයට ම ඉදිරිපත් කළ යුතුය. ඔවුන් විසින් එය අනුමත කරනු ලැබේ. නමුත්, ශිෂ්‍ය සභා කාර්යාලයේ යම්කිසි රැස්වීමක් පැවැත්වෙද්දී හෝ ශිෂ්‍ය පොදු කාමරයේ රැස්වීමක් හෝ සාදයක් හෝ පැවැත්වෙද්දී මේ ආකාරයෙන් අවසර ගැනීමක් සිදු නොකෙරුණි.

අප ඉගෙන ගත් ඉංජිනේරු පීඨයේ සමාජ විද්‍යා සංගමය නමින් ශිෂ්‍යයින්ගේ සංගමයක් තිබුණි. මා දෙවන වසරේ සිටියදී එහි සංස්කාරක ලෙස ද, තුන්වෙනි වසරේ දී එම සංගමයේ ලේකම් ලෙස ද කටයුතු කළෙමි.

අපේ අවසාන වසරේ දී ඉංජිනේරු පීඨ සමාජ විද්‍යා සංගමයේ සභාපති ලෙස පත් වුණේ එකම වසරේ උගත් මා මිත්‍ර ස්ටැන්ලි මොරේමඩ ය.

ඊට කලින් වසරේ, එනම් අප විශ්වවියාලයේ ගත කළ තුන්වෙනි වසරේ, මුල සිට ම අප ලංකාවේ ජාතිකත්ව ප්‍රශ්නය පිළිබඳව දේශන මාලාවක් සංවිධානය කළෙමු.

ඒ වසරේ මේ මාතෘකාව යටතේ මහනුවර සත්යෝදය සංවිධානයේ නායක ෆාදර් පෝල් කැස්බර්ස් විසින් දේශනයක් පවත්වන ලදී.

ඊළඟ වසරේ අපේ මුල්ම ආරාධනය ලැබුණේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය නම් දේශපාලන සංවිධානයේ නායකයෙකු වූ විශ්වවිද්‍යාල සේවයෙන් ඒ වන විට නෙරපා දමා ආචාර්ය සුචරිත ගම්ලත්ට ය. එකී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය දැන් හැඳින්වෙන්නේ සමාජ සමානතා පක්ෂය ලෙසිනි.

අපේ සමාජවිද්‍යා ශිෂ්‍ය සංගමයෙන් ඊළඟට සංවිධානය කෙරුණේ නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ගේ ජාතිකත්ව ප්‍රශ්නය පිළිබඳ දේශනයයි. වික්‍රමබාහු අප ඉගෙනුම ලැබූ ඉංජිනේරු පීඨයේ ම දිගු කාලයක් තිස්සේ දේශකයෙකු ලෙසින් සේවය කරමින් සිටියදී 1978 වසරේ ජේ. ආර්. ජයවර්ධන විසින් ගෙන එනු ලැබූ ඒකාධිපති ව්‍යවස්ථාවට කළු කොඩි ඔසවා විරෝධය පළ කිරීමේ වරදට විශ්වවිද්‍යාල පාලනාධිකාරයෙන් සේවයෙන් නෙරපා දමා තිබුණි.

ඉංජිනේරු පීඨ දේශන ශාලාවක පැවැත්වීමට අදහස් කෙරුණු මෙම දේශනය සඳහා අවසර ලබා ගැනීම පිණිස අදාළ අයදුම් පත්‍රය නිසි ලෙස පුරවා ශිෂ්‍ය කටයුතු පිළිබඳ උප ලේඛකාධී කාර්යාලයට බාර දී තිබුණ ද නියමිත දිනය වන තෙක් ඒ සඳහා අවසර නොලැබුණි.

එනිසා එම දේශනය එදින නොපවත්වා කල් දැමීමට සමාජ විද්‍යා සංගමයට සිදුවිය.

මේ බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නට දැන්වීමට ක්‍රමයක් නොතිබුණු බැවින් එදින අදාල වේලාවට පෙර ඔහු ඉංජිනේරු පීඨයට පැමිණියේය.

අවසර ලැබී නොමැති බව දැනගත් ඔහු එතැන සිටි ඉංජිනේරු පීඨ ආචාර්ය මණ්ඩලයේ අය සමග සතුටු සාමීචියේ යෙදී ආපසු ගියේය.

මගේ මතකයට අනුව, මේ පිළිබඳ සාකච්ඡා කිරීමට ස්ටැන්ලි මොරේමඩ සහ සමාජ විද්‍යා සංගමයේ ඒ වසරේ ලේකම් ලෙස කටයුතු කළ කනිෂ්ක තෙන්නකෝන් එවකට ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජයතිලක හමුවී ඇත.

එහිදී ජයතිලකකාරයා කියා ඇත්තේ සිසුන් කළ යුත්තේ ඒ වැනි දේශපාලන කරුණු ගැන දේශන සහ සාකච්ඡා පැවැත්වීම නොව, ඉගෙනීමේ කරුණු පිළිබඳව, නිවැරදිව ඉගෙන ගන්නේ කෙසේද පිළිබඳව දේශන සහ සාකච්ඡා පැවැත්වීම බවයි.

එවිට ස්ටැන්ලි මොරේමඩ ජයතිලකට පවසා ඇත්තේ “එහෙනම් සර්, සර් කරන්නකෝ ඒ මාතෘකාවෙන් දේශනයක් ලබන සතියේ ම!” කියායි.

ඒ අනුව තවත් සතියකට පමණ පසු මහාචාර්ය ජයතිලක ගේ “How to study” දේශනය පැවැත්වුණි.

තවත් සතියකට දෙකකට පමණ පසු නිසිපරිදි අවසරය ලැබුණු නිසා වික්‍රමබාහුගේ දේශනය පැවැත්වීමට අපට ඉඩ ලැබුණි.

ඒ දේශනය සම්බන්ධයෙන් ද ඉතා රසවත් කතාවක් ඇත. කලකට පෙර මා සේ ඒ තොරතුරු සහිත “සුචරිත, බාහු සහ නිෂ්මි” මැයෙන් ලිපියක් ලියා එය පුවත්පතක පළ කර අතර එය නුදුරු දිනක දී රසිකලොජි බ්ලොගයේ පළකිරීමට අදහස් කරමි.

- රසික සූරියආරච්චි (image: P)

Friday, 3 January 2025

ජනවාරි පළමුවෙනිදා හෙවත් ජනේරුව - It was a holiday in SL as well, a long time back!


මට හොඳින් මතක හැටියට 1978 වෙනතුරු ජනවාරි පළමුවෙනිදා රජයේ නිවාඩු දවසක්. ඒ ජාතික වීර දිනය.

ලංකාවේ මුල් ම අගමැති ඩී එස් සේනානයක ගේ අයියා එෆ්.ආර්. සේනානායක ගේ උපන්දිනය ද එදා ය කියායි කියවුණේ. ඒ කියන්නේ බොහෝවිට මේ නිවාඩුව 1948 පමණ කාලේ සිට තියෙන්න ඇති.

අගමැති ජේ ආර් කාරයා තමන් ම, තමාව ලංකාවේ විධායක ජනාධිපති ලෙස පත්කර ගත්තේ 1978 පෙබරවාරි හතර වෙනිදා. ඒවන විට පෙබරවාරි හතරවෙනිදා ලංකාවේ නිවාඩු දවසක් නොවේ.

කොටින්ම, මං එදා ඉස්කෝලෙත් ගියා. ඉස්කෝලෙන් හොරෙන් පැනලා මිතුරෙකු එක්ක ජේ ආර් ගේ දිවුරුම් දීම බලන්න්ත් ගියා. ඒක තිබුණේ පාර්ලිමේන්තුව ළඟ ගෝල්ෆේස් පිට්ටනියේ.

මං කාලෙකට ඉස්සෙල්ලා එහෙම කිව්වාම, කවුද මන්දා ලපයි-සිපයි පොරක් මට හිනාවුණා, "කවුද බං පෙබරවාරි හතරවෙනිදා ඉස්කෝලේ යන මෝඩයා?", "කොහෙද බං පාර්ලිමේන්තුව ළඟ ගෝල්ෆේස් එකක්?" වැනි මෝඩ ප්‍රශ්න අසමින්.

ඒ සමගම ඒ කාලේ ජාතික දිනය හෙවත් ජනරජ දිනය වුණේ මැයි 22 දා. එදා වගේ දවසක 1972 දී තමයි, ලංකාව සියළු අධිරාජ්‍යවාදී බැමි අයින් කරලා, රජෙකුගේ පාලනයෙන් තොරව, ස්වාධීන රටක් හෙවත් ජතාවගේ රජයක් වුණේ. මං දැන් වාසය කරන ඕස්ට්‍රේලියාව තාම ජනරජයක් නොවේ. රටේ (නාමිකව හෝ) රාජ්‍ය නායකයා වන්නේ එංගලන්තයේ ඉන්නා චාලි ගොයියා. ලංකාව ජනරජයක් වෙන්න කලින්, ඒ කියන්නේ 1972 මැයි 22 දිනට කලින්, ලංකාවේ රාජ්‍ය නායක වුණේ, දැන් ඉන්න චාලිගේ අම්මා එලිසා.

ඉතිං ඒ 1978 අවුරුද්ද වෙනකල්, මැයි 22 දින, එනම්, ජනරජ දිනය රටේ නිවාඩු දිනයක්.

ඊට පස්සේ ආණ්ඩුව කළේ ඒ ජාතික දිනය (නිදහස් දිනය ලෙස යළි නම් කර) පෙබරවාරි හතරවෙනිදාට යොදා එදින නිවාඩු දවසක් කිරීමයි.

ජනවාරි පළමුවෙනිදාට යෙදෙන ජාතික වීර දිනය, 1972 සිට ජනරජ දිනය වූ මැයි 22 දාට ගෙන ගියා.

ඉන්පසු, ඒ කියන්නේ 1979 සිට, ජනවාරි පළමුවෙනිදා නිවාඩුව අවසන් නිසා එය වැඩ කරන දිනයක් වී කාර්යාලවල කිරිබත් කෑම, ආගමික ගොං පාට් කිරීම ඇරඹුණා.

නමුත් අපේ ගෙවල්වල නම් කවදත් කිරිබත් ඉව්වේ සහ කෑවේ අප්‍රියෙල් 13/14 දින පමණයි. ජනේරුව කියන රෝමානු ජනවාරි පළමුවෙනිදාට කිර්බත් ගැලපෙන්නේ නැති බවයි මගේ අදහස.

මැයි 22 ජාතික වීර දිනය ලෙස නිවාඩුව 1985 දී ද තිබුණා මට හොඳට මතකයි. ඒ මගේ එක් පෙම් සබඳතාවක් ඇරඹුණු දිනය නිසයි. දිගු සටනක් දිනූ දවස ලෙස සැළකිය හැකි එදා ජාතික වීර දිනය වීමේත් පොඩි ලල් එකක් තියෙනවා.

නමුත් අවාසනාවට මෙන්, ලල් එක ලොල් එකක් වී, ඒ පෙම් සබඳතාව සති කිහිපයකට පසු ජූනි 29 දින අවසන් වුණා. ඒ දිනයත් මට හොඳින් මතකයි.

නමුත්, මැයි 22 ජාතික වීර දිනය ලෙස තිබුණු නිවාඩුව අවසන් වුණේ කවදාදැයි මට මතක නැත!

(image: Rasika)

Thursday, 2 January 2025

ඇතුලත්මුදලි සහ කොබ්බෑකඩුව ගැන තහවුරු කළ නොහැකි කතාවක් - Useless story


සාමාන්‍යයෙන් පැවසෙන්නේ මියගිය පුද්ගලයින් පිළිබඳව කතා ලිවීම එතරම් හොඳ යි දෙයක් නොවන බවයි. එයට හේතුව කතාවේ වරදක් තිබුණොත් මළවුන්ට එයට විරුද්ධ වී තමන් වෙනුවෙන් කරුණු දැක්වීමට නොහැකිවීමයි.

නමුත් අවාසනාවකට මෙන් මට මේ කතාව සිහියට නැගුණේ මෙහි සඳහන් චරිත තුනෙන් ප්‍රසිද්ධ චරිත දෙක ඇර තුන්වැන්නා ගේ මරණය පසුගිය සතියේ ආරංචි වූ නිසා ය.

කෙසේ වෙතත්, එතරම් ප්‍රසිද්ධියක් නැති පුද්ගලයාගේ නම සඳහන් නොකර ප්‍රසිද්ධ පුද්ගලයින් දෙදෙනාගේ නම් සඳහන් කරමින් මේ කතාව කීමේ අවුලක් නැතැයි සිතමි.

පසුගිය සතියේ මිය පරලොව ගිය නම එතරම් නොදන්නා පුද්ගලයා මා හඳුනා ගත්තේ මීට අවුරුදු තිහකට පමණ පෙර මා සේවය කළ ස්ථානයකට ඔහු සේවයට පැමිණි විටය. නමුත් ඔහු නවකයෙකු නොවිණි.

මා සිතන විදිහට ඔහු උසස් පෙළ කරන්නට ඇත්තේ හැටේ දශකයේ අග භාගයේ දී ය. ඒ මක්නිසාදයත් 1970 පැවති මහ චන්දයේ දී ඔහු එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පොළ නියෝජිතයකු ලෙස සහභාගි වූ බව මා සමග පවසා ඇති නිසයි.

එම ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි එදා පැවති ඡන්දයෙන් එවකට ද ප්‍රදේශයේ ජනප්‍රිය පුද්ගලයෙකු වූ චන්ද්‍රසිරි නම් මන්ත්‍රීවරයා ඔවුනට අනුභව කිරීම සඳහා මාලු පාන් වැනි ද්‍රව්‍යයක් ද සමග තේ රැගෙන දුන් බව ඔහු මා සමග පැවසීය.

මෙකී චන්ද්‍රසිරි නම් මන්ත්‍රීවරයා ඊට අවුරුදු හතරකට පමණ පසු මිය ගිය අතර, එනිසා ඒ ප්‍රදේශයේ අතුරු මැතිවරණයක් ද පැවැත්වුණු බව ඔහුගේ නම සඳහන් නොකර මෙහි සටහන් කරමි.

මෙන්න අපේ කතානායකවරයා මා සමග පැවසූ මේ ලිපිය ලිවීමට මූලික වූ කරුණ.

තරුණ කාලයේ සිට ම එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධව කටයුතු කළ බව පෙනෙන මේ පුද්ගලයා වරෙක මා සමග පැවසූයේ ඔහු යූඑන්පී ආණ්ඩුවේ ජාතික ආරක්ෂක ඇමතිවරයා ලෙස කටයුතු කළ ලලිත් ඇතුලත්මුදලි ගේ චරිතාපදානය ලිවීම සඳහා කොන්ත්‍රාත්තුව ලැබ සිටි බවක් ඒ සඳහා තොරතුරු ලබා ගැනීම පිණිස ඇමතිවරයා හමුවීමට නිරන්තරයෙන්ම සවස් යාමයේ ඔහුගේ නිවසට කාලයක් මුළුල්ලේ ගිය බවත් ය.

මේ 1989 වර්ෂයට පෙර, ජයවර්දෙන ජනාධිපති සමයේ දී විය යුතුයි.

මක්නිසාදයත් පසුව ඊට පසුව ර. පේමදාස ජනාධිපති සමයේ දී ජාතික ආරක්ෂක ඇමති ලෙස කටයුතු කළේ 1991 දී බෝම්බයක් වැදී මිය ගිය රන්ජන් විජේරත්න නම් පුද්ගලයා වීමයි.

එක්තරා දිනයක අපේ කතානායකයා ලලිත් ඇතුලත්මුදලිගේ නිවසට ගොස් ඇතුලත්මුදලිගේ ජීවන චරිතය ප්‍රශ්න අසමින් සටහන් කර ගනිමින් සිටයේය.

කතානායකයා මට පැවසූ ආකාරයට, ඒ මොහොතේ එවකට රජයේ හමුදාවේ උසස් නිලධාරියෙකු වූ ඩෙන්සිල් කොබ්බෑකඩුව නම් ඉහළ නිලයක සිටි ආමිකාරයා ඇතුලු කිහිපදෙනෙකු එහි පැමිණ ඇත. තම චරිතාප්‍රදාන රචකයා සමඟ සාකච්ඡාව මඳකට නතර කරන ලලිත් ඇතුලත්මුදලි ආමිකාරයා සමඟ සාකච්ඡාව ඇරඹීය.

එහි දී ඔවුන් සාකච්ඡා කර ඇත්තේ යුද සැලසුමයි.

මෙහිදී ඇමතියා විසින් යම් යම් උපදෙස් එහි සිටි කොබ්බෑකඩුව ඇතුළු පිරිසට ලබා දී ඇත.

ඒ නියෝග ඇසූ කොබ්බෑකඩුව පවසා ඇත්තේ සර් එහෙම කළොත් විශාල මනුෂ්‍ය විනාශයක් වීමට නියමිතයි කියාය.

මෙහිදී ඇමතිවරයාගේ ක්ෂණික ප්‍රතිචාරය වී ඇත්තේ “සෝ වට්?” යන්නයි. “We have to expect some casualties in any war” යයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මෙය අසා කොබ්බෑකඩුව ආමිකාරයා දුක්බර වූ බව පෙනුණු බවත් ඇමති ඇතුලත්මුදලි තම ස්ථාවරේ ම සිටි බවත් මා දන්නා හඳුනන පුද ගලයා චරිතාප්‍රදාන ලියන්නා මා සමග පැවසීය.

ඔහු එයින් අදහස් කරන්නට ඇත්තේ කොබ්බෑකඩුව යනු සංවේදී සිතක් ඇති අයෙකු බව සහ ඇතුලත්මුදලි යනු අසංවේදී සිතක් ඇති පුද්ගලයකු බව යැයි සිතමි.

මක්නිසාද යත්, ඔහු මේ කතාව මා සමග පවසන කාලය වන විට කොබ්බෑකඩුව බිම් බෝම්බයකින් මියගොස් සිටි අතර, ඇතුලත්මුදලි නම් ඇමතියා එවකට පැමිණි පැවති යූඇම්පී ආණ්ඩුවෙන් වෙන් වී යූඑන්පී ආණ්ඩුවේ නායක ජනාධිපති ර පේමදාසට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනැවිත් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නම් දේශපාලන පක්ෂයක්ද අටවාගෙන මහා දේශපාලන ව්‍යාපාරයක යෙදී සිටියේය.

අපේ කතා නායකයා තවදුරටත් උග්‍ර එක්සත් ජාතික පාක්ෂිකයකු ලෙස සිටියේ යැයි සිතමි.

එනිසා, මේ කතාව ඔහු අල්ලේ පැළ කළ එකක් වීමට ද ඉඩ ඇත. ඒ හා සම්බන්ධ කතාවක් ඊළගට ලියමි.

ඒ සමගම ඔහු ලලිත් ඇතුලත්මුදලි ගේ ඔය කියන චරිතාපදානය ලියා අවසාන කළ බවක් කීවේ නැත.

මෙයින් තවත් ටික කලකට පසු ලලිත් ඇතුලත්මුදලි ද වෙඩි පහරක් වැදී මිය ගියේ ය.

- රසික සූරියආරච්චි

(image: Created using Mirosoft Copilot)