මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Friday, 3 January 2025
ජනවාරි පළමුවෙනිදා හෙවත් ජනේරුව - It was a holiday in SL as well, a long time back!
මට හොඳින් මතක හැටියට 1978 වෙනතුරු ජනවාරි පළමුවෙනිදා රජයේ නිවාඩු දවසක්. ඒ ජාතික වීර දිනය.
ලංකාවේ මුල් ම අගමැති ඩී එස් සේනානයක ගේ අයියා එෆ්.ආර්. සේනානායක ගේ උපන්දිනය ද එදා ය කියායි කියවුණේ. ඒ කියන්නේ බොහෝවිට මේ නිවාඩුව 1948 පමණ කාලේ සිට තියෙන්න ඇති.
අගමැති ජේ ආර් කාරයා තමන් ම, තමාව ලංකාවේ විධායක ජනාධිපති ලෙස පත්කර ගත්තේ 1978 පෙබරවාරි හතර වෙනිදා. ඒවන විට පෙබරවාරි හතරවෙනිදා ලංකාවේ නිවාඩු දවසක් නොවේ.
කොටින්ම, මං එදා ඉස්කෝලෙත් ගියා. ඉස්කෝලෙන් හොරෙන් පැනලා මිතුරෙකු එක්ක ජේ ආර් ගේ දිවුරුම් දීම බලන්න්ත් ගියා. ඒක තිබුණේ පාර්ලිමේන්තුව ළඟ ගෝල්ෆේස් පිට්ටනියේ.
මං කාලෙකට ඉස්සෙල්ලා එහෙම කිව්වාම, කවුද මන්දා ලපයි-සිපයි පොරක් මට හිනාවුණා, "කවුද බං පෙබරවාරි හතරවෙනිදා ඉස්කෝලේ යන මෝඩයා?", "කොහෙද බං පාර්ලිමේන්තුව ළඟ ගෝල්ෆේස් එකක්?" වැනි මෝඩ ප්‍රශ්න අසමින්.
ඒ සමගම ඒ කාලේ ජාතික දිනය හෙවත් ජනරජ දිනය වුණේ මැයි 22 දා. එදා වගේ දවසක 1972 දී තමයි, ලංකාව සියළු අධිරාජ්‍යවාදී බැමි අයින් කරලා, රජෙකුගේ පාලනයෙන් තොරව, ස්වාධීන රටක් හෙවත් ජතාවගේ රජයක් වුණේ. මං දැන් වාසය කරන ඕස්ට්‍රේලියාව තාම ජනරජයක් නොවේ. රටේ (නාමිකව හෝ) රාජ්‍ය නායකයා වන්නේ එංගලන්තයේ ඉන්නා චාලි ගොයියා. ලංකාව ජනරජයක් වෙන්න කලින්, ඒ කියන්නේ 1972 මැයි 22 දිනට කලින්, ලංකාවේ රාජ්‍ය නායක වුණේ, දැන් ඉන්න චාලිගේ අම්මා එලිසා.
ඉතිං ඒ 1978 අවුරුද්ද වෙනකල්, මැයි 22 දින, එනම්, ජනරජ දිනය රටේ නිවාඩු දිනයක්.
ඊට පස්සේ ආණ්ඩුව කළේ ඒ ජාතික දිනය (නිදහස් දිනය ලෙස යළි නම් කර) පෙබරවාරි හතරවෙනිදාට යොදා එදින නිවාඩු දවසක් කිරීමයි.
ජනවාරි පළමුවෙනිදාට යෙදෙන ජාතික වීර දිනය, 1972 සිට ජනරජ දිනය වූ මැයි 22 දාට ගෙන ගියා.
ඉන්පසු, ඒ කියන්නේ 1979 සිට, ජනවාරි පළමුවෙනිදා නිවාඩුව අවසන් නිසා එය වැඩ කරන දිනයක් වී කාර්යාලවල කිරිබත් කෑම, ආගමික ගොං පාට් කිරීම ඇරඹුණා.
නමුත් අපේ ගෙවල්වල නම් කවදත් කිරිබත් ඉව්වේ සහ කෑවේ අප්‍රියෙල් 13/14 දින පමණයි. ජනේරුව කියන රෝමානු ජනවාරි පළමුවෙනිදාට කිර්බත් ගැලපෙන්නේ නැති බවයි මගේ අදහස.
මැයි 22 ජාතික වීර දිනය ලෙස නිවාඩුව 1985 දී ද තිබුණා මට හොඳට මතකයි. ඒ මගේ එක් පෙම් සබඳතාවක් ඇරඹුණු දිනය නිසයි. දිගු සටනක් දිනූ දවස ලෙස සැළකිය හැකි එදා ජාතික වීර දිනය වීමේත් පොඩි ලල් එකක් තියෙනවා.
නමුත් අවාසනාවට මෙන්, ලල් එක ලොල් එකක් වී, ඒ පෙම් සබඳතාව සති කිහිපයකට පසු ජූනි 29 දින අවසන් වුණා. ඒ දිනයත් මට හොඳින් මතකයි.
නමුත්, මැයි 22 ජාතික වීර දිනය ලෙස තිබුණු නිවාඩුව අවසන් වුණේ කවදාදැයි මට මතක නැත!
(image: Rasika)
Thursday, 2 January 2025
ඇතුලත්මුදලි සහ කොබ්බෑකඩුව ගැන තහවුරු කළ නොහැකි කතාවක් - Useless story
සාමාන්‍යයෙන් පැවසෙන්නේ මියගිය පුද්ගලයින් පිළිබඳව කතා ලිවීම එතරම් හොඳ යි දෙයක් නොවන බවයි. එයට හේතුව කතාවේ වරදක් තිබුණොත් මළවුන්ට එයට විරුද්ධ වී තමන් වෙනුවෙන් කරුණු දැක්වීමට නොහැකිවීමයි.
නමුත් අවාසනාවකට මෙන් මට මේ කතාව සිහියට නැගුණේ මෙහි සඳහන් චරිත තුනෙන් ප්‍රසිද්ධ චරිත දෙක ඇර තුන්වැන්නා ගේ මරණය පසුගිය සතියේ ආරංචි වූ නිසා ය.
කෙසේ වෙතත්, එතරම් ප්‍රසිද්ධියක් නැති පුද්ගලයාගේ නම සඳහන් නොකර ප්‍රසිද්ධ පුද්ගලයින් දෙදෙනාගේ නම් සඳහන් කරමින් මේ කතාව කීමේ අවුලක් නැතැයි සිතමි.
පසුගිය සතියේ මිය පරලොව ගිය නම එතරම් නොදන්නා පුද්ගලයා මා හඳුනා ගත්තේ මීට අවුරුදු තිහකට පමණ පෙර මා සේවය කළ ස්ථානයකට ඔහු සේවයට පැමිණි විටය. නමුත් ඔහු නවකයෙකු නොවිණි.
මා සිතන විදිහට ඔහු උසස් පෙළ කරන්නට ඇත්තේ හැටේ දශකයේ අග භාගයේ දී ය. ඒ මක්නිසාදයත් 1970 පැවති මහ චන්දයේ දී ඔහු එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පොළ නියෝජිතයකු ලෙස සහභාගි වූ බව මා සමග පවසා ඇති නිසයි.
එම ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි එදා පැවති ඡන්දයෙන් එවකට ද ප්‍රදේශයේ ජනප්‍රිය පුද්ගලයෙකු වූ චන්ද්‍රසිරි නම් මන්ත්‍රීවරයා ඔවුනට අනුභව කිරීම සඳහා මාලු පාන් වැනි ද්‍රව්‍යයක් ද සමග තේ රැගෙන දුන් බව ඔහු මා සමග පැවසීය.
මෙකී චන්ද්‍රසිරි නම් මන්ත්‍රීවරයා ඊට අවුරුදු හතරකට පමණ පසු මිය ගිය අතර, එනිසා ඒ ප්‍රදේශයේ අතුරු මැතිවරණයක් ද පැවැත්වුණු බව ඔහුගේ නම සඳහන් නොකර මෙහි සටහන් කරමි.
මෙන්න අපේ කතානායකවරයා මා සමග පැවසූ මේ ලිපිය ලිවීමට මූලික වූ කරුණ.
තරුණ කාලයේ සිට ම එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධව කටයුතු කළ බව පෙනෙන මේ පුද්ගලයා වරෙක මා සමග පැවසූයේ ඔහු යූඑන්පී ආණ්ඩුවේ ජාතික ආරක්ෂක ඇමතිවරයා ලෙස කටයුතු කළ ලලිත් ඇතුලත්මුදලි ගේ චරිතාපදානය ලිවීම සඳහා කොන්ත්‍රාත්තුව ලැබ සිටි බවක් ඒ සඳහා තොරතුරු ලබා ගැනීම පිණිස ඇමතිවරයා හමුවීමට නිරන්තරයෙන්ම සවස් යාමයේ ඔහුගේ නිවසට කාලයක් මුළුල්ලේ ගිය බවත් ය.
මේ 1989 වර්ෂයට පෙර, ජයවර්දෙන ජනාධිපති සමයේ දී විය යුතුයි.
මක්නිසාදයත් පසුව ඊට පසුව ර. පේමදාස ජනාධිපති සමයේ දී ජාතික ආරක්ෂක ඇමති ලෙස කටයුතු කළේ 1991 දී බෝම්බයක් වැදී මිය ගිය රන්ජන් විජේරත්න නම් පුද්ගලයා වීමයි.
එක්තරා දිනයක අපේ කතානායකයා ලලිත් ඇතුලත්මුදලිගේ නිවසට ගොස් ඇතුලත්මුදලිගේ ජීවන චරිතය ප්‍රශ්න අසමින් සටහන් කර ගනිමින් සිටයේය.
කතානායකයා මට පැවසූ ආකාරයට, ඒ මොහොතේ එවකට රජයේ හමුදාවේ උසස් නිලධාරියෙකු වූ ඩෙන්සිල් කොබ්බෑකඩුව නම් ඉහළ නිලයක සිටි ආමිකාරයා ඇතුලු කිහිපදෙනෙකු එහි පැමිණ ඇත. තම චරිතාප්‍රදාන රචකයා සමඟ සාකච්ඡාව මඳකට නතර කරන ලලිත් ඇතුලත්මුදලි ආමිකාරයා සමඟ සාකච්ඡාව ඇරඹීය.
එහි දී ඔවුන් සාකච්ඡා කර ඇත්තේ යුද සැලසුමයි.
මෙහිදී ඇමතියා විසින් යම් යම් උපදෙස් එහි සිටි කොබ්බෑකඩුව ඇතුළු පිරිසට ලබා දී ඇත.
ඒ නියෝග ඇසූ කොබ්බෑකඩුව පවසා ඇත්තේ සර් එහෙම කළොත් විශාල මනුෂ්‍ය විනාශයක් වීමට නියමිතයි කියාය.
මෙහිදී ඇමතිවරයාගේ ක්ෂණික ප්‍රතිචාරය වී ඇත්තේ “සෝ වට්?” යන්නයි. “We have to expect some casualties in any war” යයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.
මෙය අසා කොබ්බෑකඩුව ආමිකාරයා දුක්බර වූ බව පෙනුණු බවත් ඇමති ඇතුලත්මුදලි තම ස්ථාවරේ ම සිටි බවත් මා දන්නා හඳුනන පුද ගලයා චරිතාප්‍රදාන ලියන්නා මා සමග පැවසීය.
ඔහු එයින් අදහස් කරන්නට ඇත්තේ කොබ්බෑකඩුව යනු සංවේදී සිතක් ඇති අයෙකු බව සහ ඇතුලත්මුදලි යනු අසංවේදී සිතක් ඇති පුද්ගලයකු බව යැයි සිතමි.
මක්නිසාද යත්, ඔහු මේ කතාව මා සමග පවසන කාලය වන විට කොබ්බෑකඩුව බිම් බෝම්බයකින් මියගොස් සිටි අතර, ඇතුලත්මුදලි නම් ඇමතියා එවකට පැමිණි පැවති යූඇම්පී ආණ්ඩුවෙන් වෙන් වී යූඑන්පී ආණ්ඩුවේ නායක ජනාධිපති ර පේමදාසට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනැවිත් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නම් දේශපාලන පක්ෂයක්ද අටවාගෙන මහා දේශපාලන ව්‍යාපාරයක යෙදී සිටියේය.
අපේ කතා නායකයා තවදුරටත් උග්‍ර එක්සත් ජාතික පාක්ෂිකයකු ලෙස සිටියේ යැයි සිතමි.
එනිසා, මේ කතාව ඔහු අල්ලේ පැළ කළ එකක් වීමට ද ඉඩ ඇත. ඒ හා සම්බන්ධ කතාවක් ඊළගට ලියමි.
ඒ සමගම ඔහු ලලිත් ඇතුලත්මුදලි ගේ ඔය කියන චරිතාපදානය ලියා අවසාන කළ බවක් කීවේ නැත.
මෙයින් තවත් ටික කලකට පසු ලලිත් ඇතුලත්මුදලි ද වෙඩි පහරක් වැදී මිය ගියේ ය.
- රසික සූරියආරච්චි
(image: Created using Mirosoft Copilot)
Subscribe to:
Posts (Atom)