
මිනිසා ඇතුළුව ලොව වසන අනෙකුත් සත්ව ප්‍රභේද සියල්ලේ ම පාහේ ශරීර නිර්මාණය වී ඇත්තේ තම වර්ගයා ගේ ඉදිරි පැවැත්ම සඳහා ම බව පිළිගත් සත්‍යයකි.
උදාහරණයක් ලෙස, කාන්තාවක ගේ තොල් පෙති පරිණාමනය වී ඇත්තේ හුදෙක් මුව වසා ආරක්‍ෂා ගැනීමට නොවේ. එය කාන්තා ලිංගෙන්ද්‍රියේ සංකේතයකි. එසේ ම කාන්තාවක ගේ පියයුරු යුගල නිර්මාණය වී ඇත්තේ දරුවෙකුට කිරි දීම සඳහා නොවේ. එය ද, ලිංගික එක්වීම සඳහා උත්තේජනය සැපයීම පිණිස, පශ්චාත් ප්‍රදේශයේ හැඩරුවට වාත්තු කෙරුණු අවයවයකි.
ඒ කරුණු මැනවින් විස්තර කර තිබුණේ, අප කුඩා කළ කියවූ ඩෙස්මන් මොරිස් ගේ නේකඩ් ඒප් සහ හියුමන් ඩ්සූ ග්‍රන්ථ ද්වයේ බන්දුසීල පරිවර්තන වූ නිරුවත් වානරයා සහ මනුසත් උයන යන ග්‍රන්ථයන් හි ය.
වැඩි දුරටත් මේ ගැන සලකා බලන කළ, මිනිස් ජීවිතයේ සෑම කාර්යයක් ම කෙරෙන්නේ ලිංගික ක්‍රියාවලිය, ප්‍රජනනය සහ ඉදිරි පරපුර බෝ කිරීම සඳහා ය. කොටින් ම, අප හොඳින් ඉගෙන ගත යුත්තේ ද, වඩා හොඳ ජීවන තත්වයක් ලබා ගෙන, වඩා හොඳ සහකරුවෙකු ආකර්ෂණය කොට ගෙන, වඩාත් හොඳින් ලිංගික ක්‍රියාවලියේ යෙදී, තත්වයෙන් වඩා උසස් ඉදිරි පරම්පරාවක් බිහි කිරීම සඳහා බව කිව හැක.
මෙහි දී අදාළ වෙන එක් අනිවාර්ය කොන්දේසියක් තිබේ.
එනම්, පරපුර බෝ කිරීම සඳහා ලිංගික ක්‍රියාවලිය සිදුවිය යුත්තේ විරුද්ධ ලිංගිකයින් අතර ය. එනම් ගැහැනියක සහ මිනිසෙකු අතර ය.
එය ස්වභාව ධර්මයේ පොදු අවශ්‍යතාවයි.
නමුත්, අප වසන ලෝකය එසේ ගැහැනුන්ට සමග ලිංගිකව එක්වීම ප්‍රිය කරන පිරිමින්ගෙන් සහ පිරිමින් සමග ලිංගිකව එක්වීම ප්‍රියකරන ගැහැනුන්ගෙන් පමණක් මුළුමනින් ම සමන්විත වූ එකක් නොවේ.
පිරිමින් ප්‍රිය නොකරන නමුත් ගැහැනුන් ප්‍ර්‍රිය කරන ගැහැනුන් ද, ගැහැනුන් ප්‍රිය නොකරන නමුත් පිරිමින් ප්‍රිය කරන පිරිමි ද, මේ ලෝකයේ ස්වාභාවිකව ම බිහි වී සිටිති. එසේම වෙනත් ආකරවල මිශ්‍ර කොටස් ද සිටිති.
එම පිරිස් සමකාමී නැතහොත් හොමෝසෙක්ෂුවල් ලෙස හැඳින්වෙන බව අපි දනිමු.
සමකාමීත්වය ස්වභාව ධර්මයේ විකෘතියකට වඩා, ස්වභාව ධර්මයේ ම කොටසක් ලෙස හඳුන්වා දීමට මම කැමැත්තෙමි.
මැවුම්කාර මිථ්‍යා දෙයියෙකු ගේ නොපෙනෙන හෙවණැල්ලට මුවා වී පුරාතන යුරෝපයේ තම ඒකාධිපති බලය පතුරුවාගෙන සිටි කතෝලික පල්ලිය ද, ඒ ආකාරයේ ම ඒබ්‍රහාමික දෙවියෙකු අදහන ඉස්ලාම් ඇතුළු අන් බොහෝ ආගම් කල්ලි ද, දෙවියන් විසින් පිරිමියා ද, ගැහැනිය ද වෙන වෙන ම නිර්මාණය කර මිනිස් වර්ගයා බෝ කිරීමේ කර්තව්‍යය භාර දුන් බව විශ්වාස කරමින්, එයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් වන සමකාමීත්වයට එකහෙළා විරුද්ධ වූහ. අද ද ඒ බොහෝ පිරිස් සමකාමීත්වයට විරුද්ධ වෙති.
එසේ ආගමික හෝ වෙනත් හේතු මත සමකාමීත්වයට විරුද්ධ වූ ආකල්ප දරණ පිරිස් මෙන් ම, සමකාමීත්වය පිළිබඳව පිළිකුලක් හෝ බියක් ඇති පිරිස් ද, හෝමෝෆෝබියා
ලෙසින් හැඳින්වෙන මානසික ව්‍යාධියකින් පෙළෙන අය ලෙස සැලකේ.
විවිධ සංස්කෘතිකමය හේතු නිසා, අප බොහෝ දෙනෙකු අතර මෙකී හෝමෝෆෝබියාව විවිධ මට්ටමෙන්, අඩු වැඩි වශයෙන්, පවතින බව කිව හැක. නමුත්, නිවැරදි අධ්‍යාපනය මගින් ඒ මානසික ව්‍යාධියෙන් ගැලවිය හැකි බව මම දනිමි.
හොමෝෆෝබියාවෙන් පෙළෙන්නෙකුට වුව ද, තමන් සමකාමීත්වයට විරුද්ධ වීමෙන් ඇත්තටම කරන්නේ වෙනත් මානවයෙකු ගේ මානව හිමිකමකට විරුද්ධ වීම බව වටහා ගැනීමට හැකියාවක් තිබිය යුතුය. එසේ නොමැති අය සත්ව කොට්ඨාශයක් ලෙස වඩාත් සමානවන්නේ අමනුෂ්‍යයින්ට බව මගේ අදහසයි.
හෝමෝෆෝබියාවෙන් පෙළෙන ඇතමුන්, සමකාමී හෙවත් හෝමෝසෙක්ෂුවල් පිරිසේ අයිතිවාසිකම් ගැන කතා කරන සමකාමී නොවන අය සමග කතා බහේ දී යොදා ගන්න එක් විසුළු තර්කයක් ඇත.
එය නම්, ඔය හොමෝසෙක්ෂුවල් වැඩේ බරපතලකම ඔහේට තේරෙයි ඔහේ ගේ පුතෙකු හරි දුවක හරි හෝමෝසෙක්ෂුවල් වුණොත්! යන්නයි.
ලංකාවේ දේශපාලන පක්‍ෂ පිළිබඳව සැලකුව හොත්, පසුගාමී, මනාප ලෝලී පක්‍ෂ කෙසේ වෙතත්, පෙරටුගාමී චින්තනයක් ඇති පක්‍ෂ සමකාමීත්වය පිළිබඳ මානව හිතවාදී අදහසක් දරනු ඇතැයි මම අපේක්‍ෂා කළෙමි. ඒ අනුව, අතීතයේ දී මානව හිමිකම් කඩමින්, ගල්කටස්, ටී-56, ජාතිවාදී දේශපාලනයක නිරත වුව ද, ජනතා විමුක්ති පෙරමුණ අංශු මාත්‍රයක හෝ පෙරටුගාමී චින්තනක් ඇති පක්‍ෂයක් යැයි මම සිතුවෙමි.
එසේ වුව ද, ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙකු සහ අධ්‍යාපන සුදුසුකම් අනුව දොස්තරෙකු ද වන නලින්ද ජයතිස්ස නමැත්තෙකු, තම විමුක්ති නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙද්දී කළ සමකාමී අයිතිවාසිකම් පිළිබඳ හොමෝෆෝබික් ප්‍රකාශයක් අසා මගේ ඒ අදහස නිවරද නොවන බව වැටහී ගියේ ය.
නලින්ද ජයතිස්ස නමැත්තා ගේ ප්‍රකාශය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ හයිරාකියේ ඊට ඉහළින් සිටින නායකයින්ගෙන් සද්ද බද්දයක් නොනැගීම ඒ තත්වය තහවුරු කරන්නට හේතු විය.
මේ ලිපිය ලියන්නට මූලික හේතු වූ උත්ප්‍රාසාත්මක සිදුවීම මෙසේ ය.
ෆේස්බුක් සහ බ්ලොගින් වැනි සයිබර් කටයුතු නිසා මා හඳුනා ගත් එක්තරා චරිතයක් සමග මම දිනක් සයිබරයේ චැනලයක් හරහා අදහස් හුවමාරු කර ගනිමින් සිටියෙමි.
මේ පුද්ගලයා ඉගෙනීමෙන් සහ වෘත්තියෙන් වෛද්‍ය ක්‍ෂේත්‍රයේ අයෙකි. එසේ ම, මා අනුමාන කරන පරිදි ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව යම් කිසි ආකාරයක සහයෝගයක් දක්වන්නෙකි.
කුමක් දෝ සංගීත වැඩ සටහනක් ගැන කතාබහක දී පෙර කී නලින්ද ජයතිස්ස නම් ජේවීපීකාරයා ගේ නම ඇදී ආවේ ය.
"නලින්ද ජයතිස්ස කියන්නේ අර හොමෝෆෝබියාවෙන් පෙළෙන ජේවීපීකාරයා නොවේද"" යැයි අසමින් මම සයිබර් මිතුරාට
පහත ලිපියට ද පාදක වී ඇති නලින්ද ජයතිස්ස ඩේලි නිව්ස් පුවත්පත හා කර තිබුණු සම්මුඛ සාකච්ඡාව පිළිබඳව සඳහන් කළෙමි.
අපේ කතාබහේ ඊළඟ දෙබස් කොයි ආකාරයේ වූයේ දැයි අනුමාන කළ හැකි ද?
මේ වෛද්‍ය උපාධිධාරී, ජේවීපී සපෝටර් සයිබර් මිතුරා ද මගෙන් විමසූයේ මා මුලින් සඳහන් කළ විසුළු තර්කයයි.
"හිතට එකඟව පිළිතුරක් දෙන්න රසික. ඔබේ පුතා තවත් කොල්ලෙකු සමග සම්බන්ධයක් ඇති කර ගත්තොත් ඔබට මොනවාද හිතෙන්නේ?" ඔහු මගෙන් විමසීය.
"මං හැම විටම කතා කරන්නේ හිතට එකඟව තමයි. හිතේ එකක් තියාගෙන වෙන එකක් කීම හෝ කිරීම මා කරන්නේ නෑ."
"මගේ දරුවන් වැඩිවිය පත් වූ පසු ඔවුන් ගේ ලිංගික චර්යාවන් කෙරෙහි කිසිම බලපෑමක් කරන්නට මගේ කිසිම අදහසක් නෑ."
"අනික ඔය ප්‍රශ්නයම පසුගාමී එකක් නේද? ඒ කියන්නේ පිටට එකක් කියා තමන්ට සම්බන්ධව වෙනත් ක්‍ර්‍රියා කලාපයක් අනුගමනය කරන්නේදැයි මා නම් කිසිවෙකුගෙන් අහන්නේ නෑ!"
මම ඔහුට එලෙස කීවෙමි.
ඔහු සමකාමීත්වය ගැන සිතන්නේ -එය ක්‍රියාවෙන් ම හුරු වූවක් මිස ජීව විද්‍යාත්මකව පිහිටි චර්යාවක් කියා නොවන බව- මිතුරා මා සමග පැවසීය.
"ඔහේත් නලින්ද ගේ ඩිග්‍රියම ද කළේ?" මම ඇසුවෙමි!
"ඔව්" යැයි පිළිතුරු ලැබුණි.
-රසිකොලොජිස්ට්
ප/ලි:
කෙටුම්පත් කර තිබුණු මේ ලිපිය අවසන් කර ඉක්මනින් පළ කරන්නට තුඩු දුන්නේ සමකාමීත්වය සහ හෝමෝෆෝබියාව සම්බන්ධව රුවන් ජයතුංග ගේ බ්ලොගයේ පළ වූ පහත සාකච්ඡාවයි.
http://transyl2014.blogspot.com/2017/02/blog-post_74.html
(image:http://www.sunshinecoastdaily.com.au/news/embarrassing-bodies-doco-tests-shocking-gay-cures-/2203464/)