Monday 13 February 2017

හතර මහ බැලුම් - පුතා ගැන කෙටි සටහනක් :: A note about my son


මෙය පුද්ගලික කරුණු රැගත් සටහනකි. නමුත් ඕනෑම පුද්ගලික විස්තරයක වුව ද පොදු වශයෙන් වැදගත් වෙන කරුණු යම් ප්‍රතිශතයක් තිබේ.

මේ සටහනේ ඒ ප්‍රතිශතය 50% ඉක්මවනු ඇතැයි සිතමි.

මගේ පුතා මොලොව එළිය දුටුවේ 2001 මැයි මාසයේ නමවෙනිදා ය. ඒ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රාජ්‍යයේ, වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න් පුරවරය තදාසන්නයේ ක්ලේටන් නම් නගරයේ පිහිටි රෝහලේ දී ය.

වික්ටෝරියාව, නිව් සවුත් වේල්සය, තැස්මේනියාව ආදී විවිධ ජනපද එකතු වෙමින් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රාජ්‍යය බිහි වී ඇත්තේ ඊට වසර සියයකට පෙර 1901 වසරේ දී නිසා අපේ පුතාට සුවිශේෂී සැලසුමකින් යුතු උප්පැන්න සහතිකයක් ද ලැබුණි.

දරුවෙකු පිළිසිඳ ගැනීම පිළිබඳ ආරංචිය සිතට කෙතරම් සතුටක් ගෙන ආව ද, ඒ දරු උපත සිදුවන්නේ මැයි මාසයේ දී බව දැනගත් විට නම් මගේ සිතට එක්තරා ආකාරයක දුකක් දැනුණි.

එයට හේතුව මෙසේ ය.

ඕස්ට්‍රේලියාවේ නව පාසල් වසර ඇරඹෙන්නේ ජනවාරි මස අවසන් දින කිහිපයෙන් එකක දී ය. තවත් විස්තර කළ හොත් ඒ දිනය ජනවාරි මස 26 වෙනිදාට යෙදෙන ඕස්ට්‍රේලියානු ජාතික දිනය සැමරීමේ නිවාඩු දිනයට දිනයකට පමණ පසුව එන සතියේ දිනයක් වේ.

ලංකාවේ මෙන්ම පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් බල පවත්වන වික්ටෝරියානු රජයේ නීතිවලට අනුව ළමයෙකුට නව පාසල් වසරේ දී පාසල් යාමට සාමාන්‍යයෙන් අවසර ලැබෙන්නේ වයස වසර පහක් සම්පූර්ණ වීමෙන් පසුව ය.

ලංකාවේ නව පාසල් වසර ඇරඹෙන්නේ ජනවාරි මස මුල සතියේ නිසා, ඒ අවුරුදු පහේ නීතියට අනුව තම උපන් දිනය දෙසැම්බරයෙන් පසු යෙදුණු අයට පාසල් අධ්‍යාපනය ඇරඹීමට අන් අයට වඩා වැඩිපුර කාලයක් බලා සිටීමට සිදුවේ. ලංකාවේ දී මේ සීමාවට පුරා මාසයක සහන කාලයක් ද එකතු කොට කඩඉම ජනවාරි 31 දක්වා කල් දමා තිබේ.
මොන සහනයක් ලබා දුන්නේ වුවද, උපතින් එක් දිනයකින් පමණක් වෙනස් වූ (ජනවාරි 31 සහ පෙබරවාරි 1) ළමුන් දෙදෙනෙකු එකිනෙකා හා වසරක පරතරයක් ඇතුව තම අධ්‍යාපනය ඇරඹීම වැළැක්විය නොහැක.

මගේ මල්ලිලා දෙදෙනාගෙන් බාලයා ඉපදුණේ මාර්තු මාසයේ ය. ඒ දිනවල ලංකාවේ පාසල් යාම ඇරඹීමේ අවම වයස වසර හයක් ලෙස නියම කර තිබුණු බැවින් මල්ලී පාසල් අධ්‍යාපනය අරඹන විට ඔහුට වයස හත සම්පූර්ණ වීමට අඩුව තිබුණේ දෙමසක් පමණි!

මෙහිදී වික්ටෝරියානු ප්‍රාන්තය ලංකාවට වඩා වෙනස් වෙන කාරණය නම්, පෙර සඳහන් කළ ආකාරයේ සහන කාලයක් ද සහිතව, වසර පහ සම්පූර්ණ විය යුතු දිනය අප්‍රියෙල් මස තිස්වෙනිදා ලෙස නියම කර තිබීමයි.

දේශය, දීපය, මව සහ පියා යන සිව් මහ බැලුම් හොඳින් සොයා බලා ගලපාගෙන තිබුණු නමුත් අපේ පුත්‍ර රත්නය මෙලොව එළිය දකින්නට සැලසුම් කර තිබුණේ ඒ පාසල් ඇරඹීමේ සහන කාලය අවසාන වී එළැඹෙන වෙසක් මාසයේ දී වීම, මා මුලින් සඳහන් කළ මගේ දුක්ඛප්‍රාප්තියට හේතුව විය.

එදා සිදුහත් පැටියා කළාක් මෙන් තම උපත වෙසක් මාසය වෙනතුරු කල් නොදමා, අඩු වශයෙන් දවස් නමයකට කලින් බක් මාසයේ දී මෙලොව එළිය දුටුවා නම් අපේ පැටියාට 2006 ජනවාරි මස අග දී පාසල් අධ්‍යාපනය ඇරඹිය හැකිව තිබුණි. දින නමයේ ප්‍රමාදය නිසා දැන් ඒ සඳහා 2007 ජනවාරි මස අවසානය වෙන තුරු වැඩිපුර වසරක් බලා සිටින්නට සිදුවේ.

එපමණක් නොවේ.

පුතා පුර්ණකාලීන අධ්‍යාපනය නිමවා පූර්ණකාලීන රැකියාවක් ඇරඹීම ද වසරකින් ප්‍රමාද වේ. ඔහු ගේ විශ්‍රාම වයස එළැඹෙන විට ගෙවා ඇති සේවා කාලය ද, වසරකින් අඩු ය.
ඔහුට ඒ කාලයේ දී සිදුවන පාඩුව මිලියන් කිහිපයක් වීමට ඉඩ ඇත.

නමුත්, ඒ සියල්ල මාස හයක් වැනි සුලු කාලයක් ඇතුළත වෙනස් විය.

එතෙක් මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ගත කළ ගන්ධබ්බ ජීවිතය හැර දැමූ මම, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පිහිටි බටහිර සිඩ්නි විශ්ව විද්‍යාලයේ රැකියාවක් සඳහා ගිවිසුම් අත්සන් කර, සුතනඹුවන් ද සමග උතුරට සංක්‍රමණය කළෙමි.

වසර සියයකට පෙර ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රාජ්‍යය බිහි වීමෙන් පසුව ද, පාසල් අධ්‍යාපනය ප්‍රාන්ත රාජ්‍යවල විෂයක් ලෙස දිගටම පැවතෙන නිසා, පාසල් අධ්‍යාපනය ඇරඹීමේ අවම වයස් සීමාව සඳහා දී ඇති සහන කාලය ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් බවත්, අප පදිංචි වූ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඒ කඩ ඉම ජූනි 30 දින බවත් පසක් වූ දින මා පෙර කී දුක්ඛ චිත්තයෙන් මිදී ආහ්ලාදයට පත් වුණෙමි.

පුතා 2006 ජනවාරි 30 දින, වයස අවුරුදු හතරයි මාස අටක ළමයෙකු ලෙස තම පාසල් ගමන ඇරඹී ය.

-රසිකොලොජිස්ට්

38 comments:

  1. අපෙපුතා දෙසැම්බර් ඉපදුණේ ඒ නිසා එයාට අවුරුද්දක් කලින් ඉස්කෝලේ යන්න පුළුවන් වුණා. පටන්ගත්තේ දකුණු ඕස්ට්‍රේලියාවේ දැන් වික්ටෝරියාවේ.. පුතාට university entry ජය පතමි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් සංක්‍රමණය දකුණට!

      Delete
  2. ඔබේ පුතාට ජය pathami

    ReplyDelete
    Replies
    1. ඔබ සැමටත් ජයවේවා!
      ස්තුතියි!

      Delete
  3. //පුතා 1996 ජනවාරි 30 දින// නොව 2006 ජනවාරි 30 දින විය යුතු නොවේද ?

    ReplyDelete
  4. ඇමරිකාවේද අධ්‍යාපනය ෆෙඩරල් විෂයයක් නොවන නිසා අනිවාර්ය පාසැල් වයස් සීමාවන්, පෙර පාසල් අධ්‍යාපනය (kindergarten) අනිවාර්යද නැද්ද යන්න, රජයේ පාසැල් වල පෙර පාසල් අධ්‍යාපනය ලබා දෙනවාද නැද්ද යන්න, පෙර පාසැල් වසරට හෝ පළමු ශ්‍රේණියට ඇතුළු කර ගැනීමේදී වයස සලකන දිනය වැනි බොහෝ කරුණු ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වේ. එමෙන්ම, බොහෝ ප්‍රාන්ත වල මේ ඇතැම් දේ ප්‍රාන්තය තුළ පාසැල් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයටද වෙනස් වේ. බොහෝ ප්‍රාන්ත/ පාසැල් දිස්ත්‍රික්ක වල මෙසේ වයස් සීමාව ගණන් ගන්නා දිනය ජුලි 31-ඔක්තෝබර් 15 අතර දිනයකි. අගෝස්තු 31 හෝ සැප්තැම්බර් 1 වඩාත්ම සාමාන්‍ය දිනයයි. මගේ දරුවකු ඉපදුනේ ඔක්තෝබර් මාසයේ අග සතියකදීය. රසික කියා ඇති පරිදිම වසරක් කලින් පාසැල් යන්නට ලැබීමේ ජීවිත කාලීන වටිනාකම ඉතාම විශාලය. ජනවාරි මස අන්තිම දිනක ඉපදුණු මා මෙය අත්දැකීමෙන්ම දන්නා නිසා අපේ දරුවා කෙසේ හෝ වසරක් කලින් පාසැල් යවන්නට අපි විශාල මහන්සියක් ගත්තෙමු. පොඩි වෙනසකට තියෙන්නේ මේ ගැන "දුක්ඛප්‍රාප්තියට පත්ව" බලා නොඉඳ තත්ත්වය වෙනස් කර ගැනීමට විශාල මහන්සියක් දැරීමයි. ඒ සඳහා අපට අවස්ථාවක් සැලසුනේ ඇමරිකාවේ ඇති පාසැල් දිස්ත්‍රික්ක මට්ටම දක්වාම විමධ්‍යගත අධ්‍යාපන ක්‍රමය තුළ අපට වැඩි තේරීම් ප්‍රමාණයක් ඇති බැවිනි.

    දරුවා පෙර පාසැල් යන්නට පෙර වසරේදී අපි විශේෂ දක්ෂතා ඇති දරුවන්ට තරමක් වයස අඩුවෙන් පාසැල් යාමට ඉඩකඩක් ඇති පාසැල් දිස්ත්‍රික්කයක් පදිංචිය සඳහා තෝරාගෙන, අදාළ තීරණය ගැනීමේ බලය ඇති අධ්‍යාපන අධ්‍යක්ෂ වරිය හමු වී මේ අසීරු කටයුත්ත කර ගැනීම සඳහා අඩිතාලම දමාගෙන සිටියදී මගේ රැකියාව වෙනස් කිරීම හේතුවෙන් ප්‍රාන්තය මාරු කරන්නට සිදුවිය. මේ ප්‍රාන්තයේ අපට පදිංචිය සඳහා තෝරාගත හැකිව තිබුණු ඇතැම් පාසැල් දිස්ත්‍රික්ක වල මේ සඳහා ඉඩක් තිබුණත් ඒ පාසැල් දිස්ත්‍රික්ක ඉතාම "නරක" පාසැල් දිස්ත්‍රික්ක වූ නිසා ඒ අදහස අත් හරින්නට විය. අපට තෝරා ගැනීමට "හොඳ" පාසැල් දිස්ත්‍රික්ක තුනක් තිබුණත් එයින් එකකවත් දවසක් හෝ අඩුවෙන් පෙර පාසැලට ඇතුළත් කිරීමට කිසිදු ඉඩක් නොතිබුණේය. එහෙත්, ඒ අතරින් එක් දිස්ත්‍රික්කයක රිංගන්නට පොඩි හිලක් තිබුණේය. ඒ අනුව අපි අපේ දරුවාව පූර්ව පෙර පාසැල් වසරේදී මුදල් ගෙවා පෞද්ගලික පෙර පාසැලකට ඇතුළු කළෙමු. දරුවා ඒ වන විටත් පූර්ව පෙර පාසැල් අධ්‍යාපනය හදාරා පෙර පාසැල් සූදානම් මට්ටමේ සිටි නිසා මේ පෞද්ගලික පෙර පාසැල දරුවාව ඇතුළු කර ගැනීමට කැමති විය. වසරකට පසුව අපට දරුවාව අපට අවශ්‍යව තිබුණු (අනෙක් දරුවාද ඉගෙනුම ලැබූ) රජයේ පාසැලේ පළමු වසරට ඇතුළත් කර ගැනීමට හැකි වූයේ මේ පාසැල් දිස්ත්‍රික්කය තුළ වෙනත් පාසැලකින් එන සිසුන් ඇතුළු කර ගැනීමේදී වයස සැලකීමක් නොකළ බැවිනි. මෙය කර ගැනීමට අපට අපේ පදිංචිය පිළිබඳ තේරීම් ගණනාවක් මෙන්ම මගේ රැකියා තේරීම්ද කැප කරන්නට සිදුවිය.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය ඉකොනොමැටි මොඩල්වල මාජිනල් රේට් ඔෆ් රිටර්න් අඩු වුණත්, ජිවිතය ගත වෙන විට මෙය වෙනස් නේද?

      මා දුක්ඛප්‍රාප්තියට පත්ව සිටියේ මාස පහක් පමණකි. ඔක්තෝ්බරයේ රැකියාව ලැබී නොවැම්බරයේ සිඩ්නි ගියා!

      වික්ටෝරියාවේත් ඔබ කර ඇති දේ කළ හැකියි. මා දන්නා ජූනි 23 උපන් දැරියක අප්‍රියෙල් 30 සීමාව තිබුණත්, විශේෂ වරප්‍රසාද යටතේ පාසල් ගියා.

      නමුත්, මා දන්නා වෙනත් කරුණක් නම් සමහර දෙමව්පියන් කැමැත්තෙන් ම ළමුන් වැඩිපුර වසරක් නිවසේ තියා ගන්නා බවයි. එයට හේතුව පන්තියේ කුඩාම ළමයා ලෙස එහි යැවීමට ඇති අකමැත්ත විය යුතුයි.

      Delete
    2. තවත් ආර්ථිකමය කරුණක්.

      පුතා වසරක් කලින් පාසල් යාම නිසා, අපට වසරක ඩේ කෙයා වියදම් ඉතුරු වුණා.

      Delete
    3. අප මේ දේ මෙලෙස කළත් මෙහෙත් බොහෝ දෙනෙක් (ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අය නොවේ) කරන්නේ මෙහි අනිත් පැත්තයි. ඔවුන් සිතන්නේ තමන්ගේ දරුවා අනෙක් අයට වඩා වැඩිමල් වීම නිසා විශේෂ වාසියක් ලැබෙන බවයි. ක්‍රීඩා ආදියේදී මෙය සෑහෙන දුරට ඇත්තකි.

      Delete
    4. ලංකාවේ දී නම් 13 පහළ, 15 පහළ ආදී වශයෙන් කාණ්ඩවලට බෙදා තරග පවත්වන නිසා ක්‍රිඩාවෙන් එහෙම වාසියක් නෑ නේද?

      මට මතකයි මා සිටි පාසලේ ස්පෝර්ට්ස් මීට් එක තිබුණේ ඒ කාලේ සැප්තැම්බරයේ පමණ නිසා අපේ පන්තියේ සමහරු 15 පහළ දුවද්දී ඔක්තෝබරයේ උපන් මට 13 පහළ දුවන්න හැකි වුණා. නමුත් ඊළඟ වසරේ නැවතත් එක කණ්ඩායමට වැටුණා.

      Delete
  5. මාත් ජනවාරි මන් ඉන්නෙන්ත් වැඩිමල් එවුන් එක්ක හරියට බැලුවොත්

    ReplyDelete
  6. මම බැලුවෙ කව්ද බොලේ මේ සීයයි මුණුපුරයි කියල

    ReplyDelete
  7. ඔහුගේ අනාගතය සාර්ථක වේවා

    ReplyDelete
  8. උඩ පින්තූරෙ ශෝක් ආත කෙනෙකුයි මුනුපුරෙකුයි ඉන්නෙ, ආතට නම් ටිකක් විතර පිස්සු වගේ පේනව. හැක හැක :D

    මුණුපුරාට අපෙන් සුබ පැතුම්. දෙන්නටම ජය !

    ReplyDelete
    Replies
    1. තවත් සිඟිති ආතල් එකක්!

      Delete
    2. අයියෝ රසික,

      පුංචි කොළොප්පමක් කළේ, තරහ ගන්ට කාරි නැහැ.
      ඔහොම කේන්ති ගත්තොත් නම් ඉක්මනටම ආත කෙනෙක් වෙනවා සත්තයි. හික්ස්. ටේක් ඉට් ඊසි මෑන්, ඈ ම ජෝකිං ! එනිවේ ගුඩ් ලක් ෆෝ ද ඩෑඩ් ඇන් සන් ! චියර්ස් !

      Delete
    3. පුංචි = සිඟිති
      කොළොප්පම = ආතල් එක
      පුංචි කොළොප්පම = සිඟිති ආතල් එක

      මා කිව්වේද ඔබ කියන දේ ම නේ!

      කිසි අවුලක් නැත.

      Delete
  9. මගේ දරුවෝ එක්කෙනෙක් පෙබරවාරි, අනිකා මාර්තු, එකෙක් ජුනි.. මම නම් කැමැත්තෙන්ම හිටියේ ටිකක් පහුවෙලා ඉස්කෝලේ යන එකට.. ඔය කියන තරම් දුරට වාසි අවාසි හිතුවේ නෑ..

    ReplyDelete
  10. Replies
    1. මා පෙර කී දුක්ඛ චිත්තයෙන් මිදී ආහ්ලාදයට පත් වුණෙමි./////////////

      Delete
  11. Wooooooooooooow.......

    ReplyDelete
  12. මේ ෆොටෝ එකේ රසික එක්ක ඉන්නේ රසිකගේම නෑ නෑ එක්කෝ ඔනා නෑ.

    ReplyDelete
  13. ගමනේ යන්න පුතා !!!!!!

    ReplyDelete
  14. අපේ පුතා පෙබරවාරි 14. දවස් 14 නිසා අවුරුද්දක් පමා වෙන හංදා ජනවාරි 14 ඉපදුණ විදිහට අවුරුදු 5න් ඉස්කෝලෙ දැම්මා. ඒකෙ වෙච්චි වාසිය කියන්නෙ අවුරුදු 21යි හමාර වෙද්දි ඩිග්‍රියත් අරං.

    ReplyDelete
    Replies
    1. අවු වයසෙන් උපාධිය ගන්න තවත් හේතුකාරක තියෙන්න ඇති.
      1. උසස් පෙළ සහ විශ්වවිද්‍යාලය අතර තාත්තා මෙන් අවුරුදු එකහමාරක් කාලය මරන්නට පුතාට සිදු නොවීම
      2. තාත්තා ගේ උපාධිය මෙන් නොව පුතා ගේ වසර තුනක එකක් වීම

      Delete
    2. පුතාගෙත් උපාධියත් අවුරුදු 4 තමයි. ඒත් තාත්ත වගේ නොවෙයි මේක වැඩ පෙන්නල අවුරුද්දක් excemption ගත්තනෙ.
      අනෙක උසස් පෙළ සහ විශ්වවිද්‍යාලය අතර පමණක් නොව ඉගෙන ගන්න අතරතුරත් තාත්තා මෙන් කාලය මරන්නට සිද්ධ වුණේ නෑ නොවැ.

      Delete
  15. මගේ ලොකු දුව ඔක්තෝබර් වල. එනිසා ඔය ප්‍රශ්නය එයාටත් ආව . අපි කොපමණ උත්සාහ කලත් හරි ගියේ නැහැ. (මෙහෙ සැප්තැම්බර් වල පටන් ගන්නේ) දැන් එය පන්තියේ වැඩිමල් ම ළමයින්ගෙන් කෙනෙක්. අවුරුද්දක් හැම දේටම ප්‍රමාදයි. දෙවෙනි දුව අගෝස්තු. එනිසා එයා හැම වෙලේම පන්තියේ ලාබාලම ළමය.

    ReplyDelete
    Replies
    1. ෆැමිලි ප්ලෑනින්වල කොටසක් වෙන්න ඕනෑ ඔය දින වකවානු ගැන සිතීම!

      Delete
  16. පෙබරවාරි ඉපදුනු ජෟෟව්ාත හ් ද

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.