Saturday 17 August 2024

රොබට් නොක්ස්ට ද පුදුම හිතෙන මහා බොරුව - What a big lie...!

Knox WTF
පීඩකයා, පීඩිතයාගේ වේදනාවෙන් ඵල ප්‍රයෝජන ගැනීම හෙවත් රොබට් නොක්ස් සංකීර්ණය මැයෙන් නම් කර මා පළ කළ ලිපියේ සංක්ෂිප්ත අදහස් වූයේ එදා ඔහු අසාධාරණ ලෙස සිරකරුවෙකු ලෙස විඳි දුක් කම්කටොළුවලින් අද උපරිම ප්‍රයෝජන ලබන්නේ රොබට් නොක්ස්ට ඒ අසාධාරණය කළ ජාතිය බවයි.

අද මා කියන්නට යන්නේ රොබට් නොක්ස් ගේ නම ද පටලවමින් ලංකාව පුරා පතුරවා ඇති මහා බොරුවක් ගැනයි. රොබට් නොක්ස් පැවැසුවා යැයි අසා තිබෙන නිසා අප විශ්වාස කළ ද රොබට් නොක්ස් ද නොදන්නා මහා බොරුවක් ගැනයි.

දෙවෙනි රාජසිංහ රජුගේ සිරකරුවෙකු ලෙස ලංකාවේ වසර දහනමයක්ම ගත කර අවසානයේ පළා ගිය රොබට් නොක්ස් පසුව තමා ලංකාවේ ගත කළ කාලයේ ලද අත්දැකීම් පදනම් කරගෙන “ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් ද අයිලන්ඩ් ඔෆ් සිලෝන්” නම් ග්‍රන්ථය ලියා පළ කළේය. අප බොහෝ දෙනෙකු කියවා ඇත්තේ "එදා හෙළදිව" නමින් ඩේවිඩ් කරුණාරත්න විසින් සිංහලෙන් පළ කර සිංහල පාඨකයින් අතර අති මහත් ප්‍රසිද්ධියක් ලද අනුවර්තනයයි.

එදා ලංකාව ගැන තම කෘතියේ නොක්ස් විසින් ලියා තිබුණු කරුණුවලින් අප අතර වඩාත් ම ප්‍රචලිත වී ඇත්තේ කුමණ කරුණ ද?

අවිවාදයෙන් ම එය, මෙයයි.

මඩ සෝදාගත් කල ගොවියා රජකමට වුව සුදුසු ය. එනම් ගොවිතැන් කිරීමේ දී ඇඟේ ගෑවෙන මඩ සෝදාගත් කල එකල ලංකාවේ සිටි ගොවියා ලංකාවේ රජකමට වුව සුදුසු බව එකල ලංකාවේ අදහස වූ බවයි.

මූලිවම ගොවියන් ඇන්දවීමට ද, ඊට අමතරව දෙදහස් පන්සීයේ මෙව්වා එක මෙව්වා කිරීමට ද ඉහත රොබට් නොක්ස් ලියුවා යැයි පැවසෙන ප්‍රකාශය අවභාවිතාවෙන වාර අනන්තය.

නමුත් සත්‍යය නම් එවැනි තත්වයක් ලංකාවේ තිබී නැති අතර රොබට් නොක්ස් තම කෘතියෙහි එවැනි දෙයක් ලියා ද නැත.

ඒ වෙනුවට මෙහි දී සිදු වී ඇත්තේ රොබට් නොක්ස් ලියූ වෙනත් අදහසක් (සහ බොහෝ විට සැඟවුණු අරුතක් ද ඇති කරුණක්) අතිශය වැරදි ආකාරයට සරල කර, විකෘති කර, ඩේවිඩ් කරුණාරත්න විසින් තම අනුවර්තන කෘතියේ, මුල් කෘතියේ නොතිබුණු, අලුතෙන් එකතු කළ සාරාංශ කොටසක ඇතුළත් කිරීමයි.

තම ග්‍රන්ථයේ පළමු කොටසේ, පළමුවෙනි පරිච්ඡේදයේ, තෙවෙනි ඡේදයේ රොබට් නොක්ස් ලියා ඇත්තේ මෙලෙස ය.
(මූලාශ්‍රය: https://www.gutenberg.org/files/14346/14346-h/14346-h.htm)

In the Midland within those already mentioned lye Wallaponahoy (it signifies Fifty holes or vales which describe the nature of it, being nothing but Hills and Valleys,) Poncipot (signifying five hundred Souldiers, ) Goddaponahoy (signifying fifty pieces of dry Land,) Hevoihattay (signifying sixty Souldiers,) Cote-mul, Horsepot (four hundred Souldiers,) Tunponahoy (three fifties,) Oudanour (it signifies the Upper City where I lived last and had Land,) (and) Tattanour (the Lower City,) in which stands the Royal and chief City, Cande. These two Counties I last named, have the pre-eminence of all the rest in the Land. They are most populous, and fruitful. The Inhabitants thereof are the chief and principal men: insomuch that it is a usual saying among them, that if they want a King, they may take any man, of either of these two Counties, from the Plow, and wash the dirt off him, and he by reason of his quality and descent is fit to be a King.
රොබට් නොක්ස් මේ කියන්නේ කිසිසේත්ම රටේ ගොවියන් රජකමට සුදුසු කියා නොවේ. කන්ද උඩරට රාජධානියේ යටනුවර සහ උඩුනුවර යන කොරළ ද්වයේ වෙසෙනා ජනතාව අතර, තමන්ට සී සාමින් සිට මඩ හෝදාගෙන රජකම් කිරීමට යාමට හැක යනුවෙන් එක්තරා “පම්පෝරි” කතාවක් තිබුණු බවයි.

තමන්ගේ අවශ්‍යතාවක් නිසා “ඔහුට පෙනුණු ඇතැම් දේ” යැයි ලැයිස්තුවක් සකසන අනුවර්තක, ඩේවිඩ් කරුණාරත්න එහි පෙරකී කොටසේ විකෘතියක් “කුඹුරෙන් ගෙන මඩ සෝදා ගත් සිංහලයා සිංහාසනය හෙබවීමට සුදුස්සේ ය” යනුවෙන් සඳහන් කර ඇත.

අප බෝහෝ දෙනෙකු කුඩා කළ සිටම රැවටී ඇත්තේ මේ ප්‍රෝඩාවටයි.

නැවතත් කියනවා නම්:
“කුඹුරෙන් ගෙන මඩ සෝදා ගත් සිංහලයා සිංහාසනය හෙබවීමට සුදුස්සේ ය” යනු
1. රොබට් නොක්ස් කළ ප්‍රකාශයක් නොවේ.
2. කෝරළ දෙකක වැසියන් තමන් උසස් බව කියා පෑමට භාවිතා කළ පම්පෝරි කතාවකි.

නමුත් පම්පෝරියක් ලෙස හෝ මෙවැනි කතාවක් ඒ ප්‍රදේශ ද්වයේ ජනයා තමන් ගැන පැවසීමට හේතුව කුමක් ද? ඉතිහාසඥයින් පවසන අන්දමට මේ උඩරට රජවරුන් විසින් තම රාජ්‍යය පවත්වාගෙන යාම සඳහා හන්දුරුවන් නම් රදල පරපුරක් බිහිකරමින් සිටි කාලයයි. මේ ඔවුන් තමන්ගේ වර්ධනය වන බලය පිළිබඳ නගන පුරසාරමකි.

එසේ නොමැතිව රජපරපුරෙන් නොමැතිව රජුන් තෝරා ගැනීමේ සිහිනයක් හෝ රජාලාට තිබී නැත. සාමාන්‍ය මිනිසුන්ට ද තිබී ඇති බව නොපෙනේ. ඒ සඳහා එක් හොඳ උදාහරණයක් නම් 1848 වැනි ඇමරිකන් විප්ලවය, ප්‍රංශ විප්ලවය සිදුවූ පසු ලොවේ දී පවා මාතලේ කැරැල්ලෙන් පසු (ජනරජයක් නොව) රජෙකු පත්කර ගන්නට කොහේදෝ සිටි ගොංගාලේගොඩ බණ්ඩෙකු සබයට ගෙන ඒමයි.

එසේ නමුත් මෙහි සැඟවී ඇති වෙනත් රහසක් ද තිබෙනවා විය හැක.

එනම්, රජාගේ අන්තහ්පුරයේ දෝළිලා සැපයෙන්නට ඇත්තේ මේ පලාත්වලින් විය හැක. එසේම, රජ මාලිගයේ සිට වැඩි දුරක් නොමැති නිසා, රජා සමහර විට රාත්‍රී සමයේ මේ පළාත්වල කරක් ගැහැව්වා ද විය හැක. එසේ නම්, ඉහත ප්‍රකාශයේ "මඩ" යනුවෙන් අදහස් කෙරෙන්නේ එලෙස කොටු පනින රජාගේ මඩ තට්ටු විය හැක.

- රසිකොලොජිස්ට්

13 comments:

  1. ප්‍රේමචන්ද්‍ර අල්විස් ගෙ අසංක්ෂිප්ත පරිවර්තනය තියේ ළඟ. පොත් ගත්තටට කියවන පුරුද්දක් නැති නිසා මේකට හරි උත්තරයක් කියන්න බෑ.
    හැබැයි එකක්. සිංහලය ජීවත් වෙන්නෙම බොරුවෙන්. ඒක කැඩෙනවට කැමති නෑ. කැඩෙනව කියල දකිනකොට ඒක ඩිෆෙන්ඩ් කරන්න කරන්න බැරි දේවලුත් කරනව. 🤭🤭🤭

    ReplyDelete
    Replies
    1. ඔබේ සිතේ සහනය පිණිස අවැසි නම් පොත් කියවා තහවුරු කර ගන්න. නමුත්:

      1. මෙය මා පමණක් කියන දෙයක් හෝ මා මුලින් හෙළිදරව් කරන දෙයක් නොවේ. බෝහෝ දෙනෙකු කියා ඇත. ඩේවිඩ් කරුණාරත්නගේ පරිවර්තනයේ ද අදාල ඡේදය නිවැරදිව ඇත. වරද වී ඇත්තේ ඔහු අමුතුවෙන් ඇතුළත් කර ඇති ලැයිස්තුවේ ය.

      2. මේ ලිපිය ලීවේ නොක්ස් ගේ මුල් කෘතිය ද, කරුණාරත්නගේ පරිවර්තනය ද පරිහරණය කරමිනි. ඒ කෘති දෙකම මා සතුව ඇත.

      Delete
  2. "එදා හෙළදිව" හැරෙන්නට රොබට් නොක්ස්ගේ පොතෙහි නිවැරදි සිංහල පරිවර්තනයක් තිබේද?

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ නොක්ස් ලියපු මුල් කෘතිය ම අපට නොමිලේ කියවන්න.
      https://www.gutenberg.org/files/14346/14346-h/14346-h.htm

      Delete
  3. ඔය වගේම තව තඩි බොරුවක් මේ දවස් වල සමාජ මාධ්‍යය වල ඕසෙට හුවමාරු වෙනවා.. ඒ තමා මැකලම් ආණ්ඩුකාරයා කිව්වයි කියන " ලංකාවෙ ජනතාවට දේශපාලන සාක්ශරතාවයක් නොමැත. එබැවින් ඔවුන්ට ඡන්ද බලය ලබා දුනහොත් ලංකාවේ පාලනය පවුල් කිහිපයක් අතට පමණක් යනු ඇත" යනුවෙන් විකුර්ති කරන ලද මැකලම්ගෙ ප්‍රකාශයක් පටු දේශපාලන අරමුනක් වෙනුවෙන් බෙදා හරිමින් පවතී. මෙහි පවුල් පාලනයක ගැන කතා කරණ බැවින් මෙහි ප්‍රභවය අපට සිතා ගත හැකිය. ඒ දෙමාපියන් නොමැති පවුලක් විසින් පාලනය කරණු ලබන පක්ශයක් වීමට වැඩි ඉඩක් ඇත. ඇත්තටම මැකලම් මෙහෙම කතාවක් කියා තිබේද? සත්‍ය නම් "නැත" යන්නයි. මැකලම් විසින් ලාංකික ජනතාවට චන්ද බලය ලබා දීම පිළිබඳ විරුද්ද වූ බවක සත්‍යකි. ඒ කිසියම් පවුලකට හෝ දෙකකට බලය හිමිවීමෙන් රටෙහි ජනතාව පීඩවට පත්වීම නිසා ඇති වූ දුකක් නිසා නොවේ.. ලංකාවෙ ජනතාවට හෙන ගැහුවත් ඌට ඇති රුදාවක් නැත. මැකලම්ගේ ඇත්තම කනස්සල්ල වූයේ ජනතාවට චන්ද බලය ලබා දීම නිසා පාලනය ඔවුන් අතින් ගිලිහී යාවියැයි යන භීතියයි.. දෙමාපියන් නැති පවුලේ උන් ලංකාවෙ ජනතාවට දේශපාලන සාක්ශරතාවය නැතැයි පරසක්වල ගැසීමට උත්සහා කළත් සත්‍යය නම් ආසියාවෙ මුලින්ම ප්‍රජාතන්ත්‍රවාදය, සර්වජන චන්ද බලය ලැබුනු රට ලංකාව වීමයි..දේශපාලන සාක්ශරතාවයක් නැති ජනතාවකට අනෙක් බොහෝ රටවලට කලින් එවන් වූ තත්ත්වයක් පිරි නැමීමට මැකලම් ඇතුලු බ්‍රිතාන්‍ය කාරයන්ට ඔල්මාදය හැදී තිබිය යුතුය..

    ReplyDelete
    Replies
    1. The concerns regarding the implementation of universal suffrage in Sri Lanka during 1931:
      Political readiness: Some colonial administrators were skeptical about granting voting rights to a population they perceived as lacking sufficient political education or experience.
      Ethnic tensions: There were worries that universal suffrage might exacerbate existing ethnic divisions, particularly between the Sinhalese majority and Tamil minority.
      Opposition from local elites: Some members of the Sri Lankan elite opposed universal suffrage, possibly fearing it would dilute their political influence.
      Gender bias: There was significant opposition to granting women the right to vote, as evidenced by statements from some local figures

      Delete
  4. මෙහි ඔබ කියන්නේ එවැන්නක් නොවෙතත්, ඩේව්ඩ් කරුණාරත්න විසින් රොබට් නොක්ස්ගේ මුල් කෘතියට වංගු ගසා කතාව තමන්ට අවශ්‍ය ආකාරයට ඉදිරිපත් කරන්නට පැකිලී නැහැ. මේ නිදර්ශනයක්.

    https://economatta.blogspot.com/2019/01/blog-post_54.html

    ReplyDelete
  5. මේ හෙළිදරව්ව නියමයි

    ReplyDelete
  6. කස්ටියන් පිස්සෙක් රජ කරන්න යන එකේ ගෝවියෙක්ට නං රජකම් කරන්න වැඩි අමාරැවක් නැති වෙයි... අර උන්දල තරං!

    ReplyDelete
  7. @ රසිකලෝජිස්ට්,

    ඕක ලංකාවේ වගේම ලෝකයේත් බහුතර පරිවර්තන අනුවර්තන වල වෙන සිදුවීමක්, ඕකට හේතුව මම හිතන්නේ පොතේ මාකට් එක, පොත විකුණන්න තියෙන එය මිලට ගෙන බලන්නට නියමිත කණ්ඩායමට ඇසට කඳුලක් උනන සංවේදී කරුණක් ඇතුලත් කරන්න කරුණාරත්න උන්නැහේ ඔහොම කරන්න ඇති.

    පොත් වලට වඩා රටේම ජනතාවගේ ආර්ථිකය නීතියේ ආධිපත්‍යය සහ ජීවිතයේ බොහෝ දේවල්වලට දැඩි ලෙස බලපාන ප්‍රධාන හේතුවක් වන දේශපාලන ව්‍යාපාර ඔයිට වැඩිය බරපතල ලෙස බොරු ප්‍රචාර සමාජ ගත කරනවා නේද?

    පහුගිය කාලේ රාජපක්ෂ කල්ලිය ගෙන ගිය ජාතිවාදී දේශපාලනය වගේම හොරු අල්ලන බයිලාවත් එක හා සමාන ප්‍රෝඩා බවයි මගේ හැඟීම මොකද මම හිතන්නේ ලංකාවේ දේශපාලන පක්ෂ වල කථිකයන් සහ නායකයන් රැස්වීම් වල කියන බොහෝ දේවල් අන්ධ භක්තියෙන් ඒවා අදහන්නට පෙර තර්කානුකූලව හිතන්න ජනතාව පෙළඹවීම අත්‍යවශ්‍ය බව, මොකද උදාහරණ විදිහට මේ ඊයේ හරි පෙරේදා හරි තිබුණ මාලිමාවේ රැස්වීමකදී අනුර දිසානායක සහෝදරයා කියනවා ඒ අයගේ පක්ෂය බලයට ඇවිල්ලා හොරු අල්ලනවා කියනකොට එයාලා රනිල් වික්‍රමසිංහගේ බැදුම්කර වංචා සිද්ධියට සම්බන්ධ මහ මොළකරු වන අර්ජුන මහේන්ද්‍රන්ව මාලිමා ජාජබ රජයක් යටතේ එයාලා අනිවාර්යයෙන්ම ලංකාවට ගේනවලු.

    මම දන්න විදියට නම් ඇත්තටම ඒක කරන්න පුළුවන් ක්‍රම දෙකයි.

    01. අර්ජුන මහේන්ද්‍රන්ව බලහත්කාරයෙන් රටට පැහැරගෙන ආ යුතුයි. ඊශ්‍රායලය ඇඩොල්ෆ් අයික්මාන්ව ආජන්ටිනාවේ සිට ඊශ්‍රාශියට පැහැරගෙන ගිය ආකාරයට

    02. නැත්නම් නීතිය අනුව කටයුතු කර රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමයකින් සිංගප්පුරු රජයෙන් ඔහුව නීත්‍යානුකූලව ලංකාවට ලබාගත යුතුයි.

    ඔන්න ඔය ක්‍රම දෙකෙන් අංක 02 තමයි නීත්‍යානුකූල රජයකට කරන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය මම හිතන්නේ ලංකාව වගේ විදේශ රටවලින් අමාරුවෙන් ණය ගන්නා බලවත් රටවල සුරතලකු නොවන දුර්වල රටකට කරන්න නොහැකි බවයි.

    ඕකට අදාලව නීතිය පිළිබඳව විශේෂඥ දැනුම ඇති ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා අර්ජුන මහේන්ද්‍රන් ලංකාවෙන් පලාගිය කාලේම පැහැදිලි කිරීමක් කරා.

    එනම් සිංගප්පුරුවෙන්,අර්ජුන මහේන්ද්‍ර ගන්න නම් මේ චෝදනාවට සිංගප්පුරුවේ අධිකරණය මගින් ඔවුන්ගේ රටේ පුරවැසියාට එරෙහිව නඩු විභාගයක් පවත්වා ඔහු එහිදී වරදකරු වෙන්න ඕන

    ඉන් පසුව ඔහු ලංකාවට භාර දෙන්න සිංගප්පුරු රජය එකග වෙන්න ඕන.

    ලංකාවේ එවකට හිටපු විපක්ෂයේ, මහින්ද රාජපක්ෂලාට අනුරලාට ටීඑන්ඒ එකට බැරිවුනා ඔය සිද්ධියට කෝප් කමිටු වාර්තාවෙන් අර්ජුන මහේන්ද්‍රන්ව වරදකරුවෙක් ලෙස නිර්දේශ කරනකොටම රටින් පිටවෙන්න බැරි වෙන්න අධිකරණ තහනමක්වත් ලබා ගන්න.

    ඒ අනුව අනුර දිසානායක සහෝදරයා කීව විදියට එයා ජනාධිපති වුනොත්, අර්ජුන මහේන්ද්‍රන් රටට ගේනවා කිව්වට එයාට වසර පහක් දුන්නොත් ඒ වසර 05 ඇතුලේ සිංගප්පුරුවෙන්, අර්ජුන මහේන්ද්‍ර ගන්න බෑ නේද?

    ඒ කියන්නේ වේදිකාවල මොන බයිලා ගැහුවත් ඊළග වසර පහට ලංකාවේ ජනාධිපති ලෙස

    01. සජිත් ප්‍රේමදාස
    02.අනුර දිසානායක
    03. නාමල් රාජපක්ෂ
    04. දිලිත් ජයවීර

    හෝ

    වෙනයම් ඕනෑම කෙනෙක් ලංකාවේ විශාලතම දූෂණය වන කුප්‍රකට බැදුම්කර වංචා සිද්ධියට අදාලව වැරදිකරුවන් හිරේ යවනවා කීවත්

    ඒවා බොරු නේද?

    මොකද ඊලග ජනාධිපති පත්වෙලා එදාම නැත්නම් එක දවසකින් මෙම ක්‍රියාදාමය ආරම්භ කරත් ඊලග ජනාධිපතිට හිමි වසර පහ තුළ සිංගප්පුරුවේ මේ ක්‍රියාවලිය ඉවර කරගන්න බෑ.

    අනුරත් ඕක නොදැන බයිලා ගහනවා නෙවේ. මොකද එයාලා දන්නවා බලය ලැබුණාම බැරිවෙලාවත් ඇහුවොත්

    අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගේනවට වඩා කෝ දැං බලය දුන්නම බැදුම්කර හොරු අල්ලලා හිරේ දැම්මද කියලා ප්‍රශ්න අහන මාධ්‍ය සහ කටවල් බලහත්කාරය යොදා වහන එක වඩාත්ම ලේසි ක්‍රමය බව...

    නීතිය ගැන දන්න කෙනෙක් ඔය වගේ මුග්ධ ලාමක කතාවක් කියන්නේ නෑ. එක්කෝ මේක බහුතර ජනතාව ගොනාට අන්දන කතාවක් එහෙම නැතිනම් මේක එක්කෝ අනුර කුමාර දිසානායක තමන් කවදාවත් ජනාධිපති නොවන බව දන්න හංදා මේවා කියනවා වෙන්න පුළුවන්. ඔබේ අදහස මොකක්ද මේක පිළිබඳව?

    ReplyDelete
  8. මේවද බොරු?

    කොච්චර හොරු
    දෙසුවද බොරු
    අනේ අපිත්
    රවටෙනතුරු

    ලොකුම හොඳේ
    මේ වංගියෙ
    උන්දලාට
    වෙන්නම වෙයි
    දිරාමාරු!

    ReplyDelete
  9. ඡන්දෙ ගැන මුකුත් ලියන්නෙ නැතෙයි ? පප්පලගෙ කාලෙ ඒව්වා ලිය ලිය ඉන්නෙ.

    ReplyDelete
  10. OKA KIYANNE "GOVIYA" KIYALA. DANAWADAYA NISA SAHA "SKD" CASTE SINHALISED UNA NISA GOVIGAMA AYATA CHALLENGE EKAKK AWA. SAMAHARA AYA POTH PAWA LIWWA API ANITH AYATA WADA USAS KIYALA PENNANNA.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.