Friday, 29 May 2026

තවත් ශෝක ප්‍රකාශයක් - Fading memories



අකාලයේ මිය ගිය අපේ බාප්පා සූරියආරච්චිගේ (සරත්) චන්‍ද්‍රසිරි ගේ අවමංගල්‍යයේ දී ඔහුගේ මිතුරෙකු විසින් ලියා පළ කර බෙදා හරිනු ලැබූ ශෝක ප්‍රකාශයක් මා මීට දින කිහිපයකට පෙර පළ කළෙමි.

මේ මිතුරන් පිරිසක් විසින් පළ කර බෙදා හැරුණු එවැනි ම ශෝක ප්‍රකාශයකි.


පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ
පරකන්දෙණියේ විසු අප කලණ මිත්
සරත් කුමාර තරුණ මහතාණන්ගේ
හදිසි අභාවප්‍රාප්තිය නිමිත්තෙන් දුක් සුසුම් හෙළන අපි
මෙසේ හඬා වැලපෙමු.

අපගේ නොවක් පියතම හිතවතෙකු ලෙද
දන සිත් දිනාගෙන කටයුතු කරන ලද
හිතවත් සරත් වියොවුණි සදහටම අද
කෙලෙසින් අනේ, සනසාගත හැකිද හද?

ඇසුරට පැමිණි හැමගෙම ආදරය ලැබ
හිත මිතුරනගෙ සිත් කළ හැමවිටම පොබ
සසරෙහි වසන තුරු පිය මිත් සඳුනි ඔබ
අප හා මිතුරු වී ගෙන දෙනු මැනව සුබ

කළ ගුණ හැඳින කටයුතු කළ සියලු සමේ
පැසසුම ලැබී ඔබ හැම දෙනෙකුගෙම ගමේ
හිතවත මිහිර දැනගෙන සිටි මිතුරු පෙමේ
මුළු ගම් පළාතෙම ඔබෙ ගුණ සුවඳ හැමේ

කළ උපකාර දුබලයනට සියලු වෙලේ
ඔබ සිහිවන විට දි දෙනෙතින් කඳුළු සැලේ
පිය මිත් සඳුනි, පෙන්වූ මිත් දහමෙ බලේ
ඔබ ගැන අහෝ හද ඉවසනු බැරිව පාලේ

මිතුරෙක් නොවේ ඔබ ඉටු දෙවියෙකු වැනි ය
මිතුරන් පිරිස අද ඔබ නොමැතිව තනි ය
පැවසූ විහිලු හා රස බස් අම පැණි ය
මොකටද සරත් නොමැතිව පරකන්දෙණිය?

පියතම කලණ මිත සිරිමත දහම රැක
ඉවසා ගන්ට නොහැකිය එන හදෙහි දුක
සදහට මරා මරණය සහ උපත දෙක
සැනසෙනු මැනව අජරාමර නිවන දැක

මේ ශෝකයට පත්,


ජේ. ඒ. අමරසේන      පී. ඒ. විමලසේන
ජේ. ඒ. අබේපාල      ඩබ්ලිව්. ඒ. නන්දසේන
ඩබ්ලිව්. සෝමපාල      ඩබ්ලිව්. ඒ. සෝමපාල
ආර්. ඒ. ඌගිස් අප්පුහාමි

- රසික සූරියආරච්චි

1 comment:

  1. Thattayage Kolama29 May 2026 at 10:34

    කවිය සමාජය තුල අතිශය ජනප්‍රිය සන්නිවේධන ක්‍රමයක්ව පැවති යුගයක . . . !

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.