
මෙන්න අපේ තාත්තාගේ උප්පැන්න සහතිකය. මල්ලී සතුව තිබී උඩු ගත කරන ලදුව ජීවිතයේ පළමුවරට මම දුටුවෙමි. මෙය ඇත්තටම මුල් උප්පැන්න සහතික නොව එය අනුසාරයෙන් පසුව නිකුත් කරන ලද එකකි.
තාත්තා ඉපදී ඇත්තේ නිවසේ දී ය. ඇත්තටම එය රාජකාරී නිවසකි. බොරැල්ල බන්ධනාගාරයේ ජේලර්ලාගේ නිවසකි.
ඒ කාලයේ දී මගේ තාත්තා ගේ තාත්තා ද, තාත්තාගේ සීයා (අම්මාගේ තාත්තා) ද යන දෙදෙනා ම කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ ජේලර් ගාඩ් ලා ලෙස සේවය කළ අය ය.
එක්කෝ තාත්තා එසේ නැතිනම් තාත්තාගේ අම්මා කියනු මා අසා ඇති කරුණක් මේ උප්පැන්න සහතිකයෙන් ඔප්පු වේ.
දරු උපතෙන් පසු අපේ තාත්තාට නම ලෙස යොදා ඇත්තේ හරිශ්චන්ද්‍ර කියා ය. එය ඉන්දියානු නමකි. එකල ලංකාවේ ජනප්‍රියව තිබුණු බව පෙනේ. එනමින් රජ කෙනකුගේ කතාවක් චිත්‍රපටියක් ලෙස නිර්මාණය වී ලංකාවේ ද ප්‍රදර්ශනය කර ඇත. නමුත්, තාත්තාගේ සීයා විසින් පසුව උපන් වේලාව අනුව කේන්දරයක් සාදන්නට ගිය විට දැනුම් දී ඇත්තේ ජ අකුරෙන් නමක් යොදන ලෙස ය.
ඉතින් තාත්තාට ජිනදාස යන නම ද යොදා ඇත. ඒ අනුව, තාත්තාගේ සම්පූර්ණ නම වූයේ සූරියආරච්චිගේ ජිනදාස හරිශ්චන්ද්‍ර යන්නයි.
තාත්තාගේ තාත්තාගේ නම සූරියආරච්චිගේ සුබතේලිස් විය. ජේලර්වරයෙකු ලෙස රජයේ සේවයට බැඳීමේ දී එකල පැවති අමුතු සිරිතක් අනුව ඔහු පෙරේරා යනුවෙන් නමක් රැගෙන සුබතේලිස් පෙරේරා ලෙස පෙනී සිට ඇත.
තාත්තා ගිය අම්මාගේ නම පිය ලිලී එස්ලින් රණසිංහ විය. ඇය අත්සන් කළේ පී එල් ඊ රණසිංහ යනුවෙන් නිසා මම මේ බව හොඳින්ම දනිමි. නමුත් මේ උප්පැන්න සහතිකය රෙජිස්ට්‍රාර්වරිය විසින් ලියා ඇත්තේ Asiline (ඇසිලීන්) කියා බව පෙනේ.
තාත්තා පවුලේ වැඩිමලා විය. ඔහුගේ උපතින් පසු මගේ සීයා සහ ආච්චි තවත් දරුවන් හය දෙනෙකු ලැබූහ.
ඒ වන විට තාත්තාගේ සීයා ජේලර් රැකියාවෙන් විශ්‍රාම සිටි අතර මගේ සීයා ද රැකියාවෙන් ඉවත් වී පරකන්දෙනිය නම් ගමට ගොස් පදිංචි වී ඇත. පසු දරු උපත් සිදුවන්නට ඇත්තේ ගමේ ගෙදර දී ය.
ඒ පවුල පිළිබඳව විස්තර මෙසේය.
සුරියආරච්චිගේ සුබතේලිස් (අවුරුදු අනූවක් ජීවත් විය)
පිය ලිලී එස්ලින් රණසිංහ (අවුරුදු අනූ අටක් ජීවත් වූවාය)
ජිනදාස හරිශ්චන්ද්‍ර (90)
සෝමාවතී (84)
කරුණාදාස (වලිප්පුව නම් රෝගය සෑදී අවුරුදු හතේ දී මියගොස් ඇත)
නන්දාවතී (72)
ධර්මදාස (57)
කරුණාවතී (85)
සරත් චන්ද්‍රසිරි (30)
පොතේ හැටියට නම් ඊළඟට චුත වී යාමට නියමිත තාත්තාගේ ලොකු පුතාවන මා ය.
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.