Monday, 11 May 2026

දෘශ්ථි ප්‍රයෝගයක්? - A thousand word of bullshit?



එක් ඡායාරූපයක වචන දහසකින් කිවයුතු අදහසක් ගැබ් වී ඇති බව කියවේ.

මේ ඡායාරූපයේ ඉන්නේ සුනිල් සරත් පෙරේරා නම් ප්‍රවීණ ගීපද රචකයා සහ රසික හරිශ්චන්ද්‍ර සූරියආරච්චි ආධුනිකයා යන දෙදෙනා ය.

බැලු බැල්මට පේන්නේ රසික නමැති යෝධයා ළඟ සුනිල් සරත් පෙරේරා කුරුමිට්ටෙක් විදියට නේද? නමුත් එය එසේ නොවන බව ඔබ දනී.

ඊළඟට මෙහි අප දෙදෙනාගේ සාපේක්ෂ ස්ථානගතවීම සහ දෙදෙනා අතර යමක් හුවමාරු වෙන බව පේන නිසා ඒ අනුව කිව හැක්කේ කුමක් ද?

යම් කිසි උත්සවයක රසික සූරියආරච්චිට තෑග්ගක් ලැබෙනවා, එය ඔහුට දෙන්නේ ඒ උත්සවයේ ප්‍රධාන අමුත්තා වූ සුනිල් සරත් පෙරේරා ය කියා හිතෙනවා නේද?

මෙන්න විස්තරය කෙටියෙන්.

මට මතක විදියට මීට දිගු කලකට පෙර, සුනිල් සරත් පෙරේරා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට පැමිණි අවස්ථාවක (ඔහුගේ දරුවෙකු එහි ජීවත්වෙනවා විය යුතුය) මා වසන සිඩ්නි නගරයට හෙවත් සිනුවරට ද පැමිණියේ ය.

ඒ බව ආරංචි වූ පසු අපේ ලේඛක සංසදය විසින් ඔහුට ආරාධනා කර සාහිත්‍ය සැඳෑවක් පවත්වන ලදී. මාතෘකාව වූයේ ගීත සාහිත්‍යය බව මගේ මතකයයි.

එහි දී ඔහු යම් ගොම්පාට් කතාවක් කියූ බව ද, සාකච්ඡාව මෙහෙයවීමේ දී ද යම් කිසි ගොම්පාට් සිදුවීමක් වූ නමුත් මා එයින් ගැලවී සිටි බව ද කිව යුතුය. ඒ ගැන අයෙකුට වැඩි විස්තර අවශ්‍ය නම්, පසුව ලිවීමට හැක.

කෙසේ වෙතත් සාහිත්‍ය සැඳෑව අවසාන යේ, ලේඛක සංසදයේ අපෙන් සුනිල් සරත් පෙරේරාට ත්‍යාගයක් පිරිනැමුණි.

ඒ ත්‍යාගය වූයේ මගේ සංස්කරණ සම්මාදමෙන් ප්‍රකාශයට පත් වූ පහත කෘති ද්වයයි.

1. තිරස තරණ - ඕස්ට්‍රේලියාවේ සිංහල සංක්‍රමණික අත්දැකීම සහිත කෙටිකතා එකතුව

2. දකුණු කුරු දිව් කව් - ඕස්ට්‍රේලියාව පිළිබඳ සිංහල කාව්‍ය සංග්‍රහය

ඒ ග්‍රන්ථ ද්වයට මගේ ඇති සම්බන්ධය නිසා, සුනිල් සරත් පෙරේරාට ඒ ත්‍යාගය ප්‍රදානය කිරීමේ කර්තව්‍යය මට පැවරුණි.

ඡායාරූපයක වචන දහසකින් කිවයුතු අදහසක් ගැබ් වී ඇති බව කියවෙන නමුත් ඒ සත්‍යය කියවෙන වචන සේ ම, අසත්‍යයක් හැඟවෙන වචන ද විය හැකිබව මෙයින් පෙනේ.

- රසික සූරියආරච්චි

(image: රොබින් බොස්කෝ)

4 comments:

  1. මම දන්නේ මේ ඒ ගොන් පාට් එක කියලා.

    ReplyDelete
    Replies
    1. මේකත් එකක්. හැබැයි මීට වැඩිය හොඳ එකක් තිබුණා

      Delete
  2. ප්‍රවීණ කලාකරුවකු සාහිත්‍ය විශාරද කෙනෙකු වන ආචාර්ය සුනිල් සරත් පෙරේරා මැතිතුමා අතිදක්ෂ කවියෙක් වගේම හිටපු ජනපතිනී ගෞරවනීය HE චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය යටතේ ජාතික ජලසම්පාදන මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ තනතුරක් සහ මතක හැටියට ඉංජිනේරු සංස්ථාවේ සහ ICTAD (සීඩා) ආයතනයේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ සහ උපදේශක කමිටුවක ජාතික ඉංජිනේරු පර්යේෂණ ආයතනයේ උපදේශක සහ අධ්‍යක්‍ෂ, විදුලි සංදේශ නියාමන කොමිසම, රූපවාහිනි සංස්ථාව, ගුවන් විදුලි සංස්ථාව වැනි ආයතන ගණනාවක ඉහළ තනතුරු දරමින් තාක්ෂණික උපදේශක කටයුතු කළා නමුත් අවාසනාවකට අන්ත දූෂිත රාජපක්ෂ හොර රෙජීමය බලයට පත්වීමත් සමග ඔහුගේ සේවය රටට ලැබීම නැවතීම අභාග්‍ය සම්පන්න කරුණක්, සුනිල් සරත් පෙරේරා මැතිතුමා දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ද? මටත් එතුමා දැකගැනීමට අවශ්‍යයයි. අවසාන වතාවට එතුමා හමුවූ මොහොතේ එතුමා ජනාකීර්ණ තැනකදී මුන ගැසුනු නිසාම එතුමාට දණ ගහල වඳින්න බැරි වුණා, යන්තම් ආචාර කරලා සමුගත්තේ ඒ නිසා ආයේ වෙලාවක හමුවෙලා එතුමාට ගරු කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. මේක අවුරුදු කීපයකට පෙර.
      ඔහු දැන් ජීවත් වෙන්නේ කොහෙද කියා මා දන්නේ නැහැ.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.