
මා ලංකාවේ සේවයේ නියුක්තව සිටි කාලයේ මගේ වේතනයේ විෂමතාවයක් ගැන ආයතන ප්‍රධානියාට ලිපියක් ලියූවෙමි.
කාර්යාල ක්‍රියාපටිපාටියට අනුව මගේ ලිපිය මා සේවය කළ අංශය බාර උප කලමනාකරු හරහා මහ කලමනාකරුට ද, එතැනින් ආයතන ප්‍රධානියාට ද යැවීමට සිදුවේ.
එම පටිපාටියම අනුව, ආයතන ප්‍රධානියා ඒ ලිපියේ සටහනක් කර එය පිරිස් කලමනාකරු වෙතට යවයි.
මුල් ලිපියට සතුටුදායක පිලිතුරක් නොලැබීම නිසා නැවත නැවත එලෙසම ලිපි ලියා යවන්නට සිදුවිය. ඒ හැම ලිපියක්ම පිරිස් කලමනාකරු ගේ හමස් පෙට්ටියේ නතර විය.
මේ ලිපි සියල්ලම මා ලියුවේ ඉංගිරිසියෙනි.
ලංකාවේ එක් රාජ්‍ය භාෂාවක් සිංහල වූවද, මා සේවය කළ රාජ්‍ය ආයතන ද්විත්වයේම, මගේ මට්ටමෙන් ඉහලට සියළු වැඩ කටයුතු, එනම්, ලිපි, චක්‍රලේඛණ, ව්‍යාපෘති වාර්තා, රැස්වීම් සහ ඒවායේ වාර්තා යනාදී සියල්ලම කෙරුණේ ඉංගිරිසියෙන් බව ද කිව යුතුය.
එකම කරුණ ගැන ලිපි තුන හතරක්ම ලියා විසඳුමක් නොලද කල්හි මම ඊලඟ ලිපිය සිංහලෙන් ලිවීමට සිතුවෙමි.
ලිපි ශීර්ෂයේ අඩංගුවන, ලිපිනය, දාතම සහ නම් ආදිය ලියා, ආමන්ත්‍රණය ලියන්නට යෑමේදී මට නොසිතූ විරූ ගැටළුවක මුහුණ දෙන්නට සිදුවිය.
මා වෙනදා ආයතන ප්‍රධානියා අමතන්නේ Dear Vice Chancellor කියාය. අද සිංහලෙන් එය "ප්‍රිය උප කුලපතිතුමනි" කියා ලියවුණි.
මගේ ගැටළුව වූයේ, මෙහි එන "තුමනි" යන්න ආවේ කොහෙන්ද යන්නයි!
එය ඉංගිරිසි ලිපිවල නොතිබුණකි.
ඒ වාගේම මේ ලිපියේ සිංහලෙන් “ප්‍රිය උප කුලපති” කියා විතරක් ලිවුයේ නම් එය නොගැලපෙනවා පමණක් නොව, අපහාස කිරිමක් ලෙස වුවද කෙනෙකුට තර්ක කළ හැක.
නමුත් ඉංගිරිසියෙන් යනුවෙන් Dear Vice Chancellor ඇමතීමේ කිසිදු අඩුපාඩුවක්, අපහාසයක් හෝ තත්වයෙන් බාලගතියක් හෝ නැත.
ඉංගිරිසි Teacher යන්න ගුරුතුමා වන්නේත්, Principal යන්න විදුහල්පතිතුමා වන්නේත්, Doctor යන්න දොස්තර මහත්තයා වන්නේත් එලෙසම ය.
සිංහල භාෂාව භාවිතයේ දී මෙලෙස අනිවාර්යෙන්ම ගරු සැලකිලි දැක්වීමට සිදුවීම, අපේ භාෂාවේ ඇති උතුම් ලක්‍ෂණයක් යැයිද, එයින් සිංහල ජනතාවගේ අති විශිෂ්ඨ වූ සදාචාර සම්පන්න බව ඉස්මතුවෙන්නේ යැයිද හිස් මුදුණින් පිළිගන්නට අප සූදානම් ය.
නමුත්, මේ ලිපිය කියවන්නන්ගෙන් කොටසකගේ ලේ කෝප වීමටද, තවත් කොටසකගේ සිතුවිලි ක්‍රියාවලිය උත්තේජනය වීමටද ඉඩ ඇති වුවද, මා මෙහි දී පවසන්නේ එලෙස "තුමා", "මහත්තයා" යනාදී වචන අපට භාවිත කිරීමට සිදුවන්නේ අපේ සමාජය තුල ඇති දීන බව, එනිසාම භාෂාව තුලටද කා වැද්දී, සිංහල භාෂාවේ අති විශාල දුර්වලතාවයක් ඇතිවී ඇති බවයි.
මේ අර අතීතයේ පැවති "පස්වාන් දහසකට බුදුවෙන්න ස්වාමීනී, මේ බලු ගැත්තාට අනුකම්පා කරන්න!" අච්චුවේ ම වත්මන් දීන කමයි!
ඇමෙරිකාවේ Mr President ලංකාවේදී මුලින් "අතිගරු ජනාධිපති උතුමාණෝ" වූයේ ද, පසුව "ශ්‍රීමත් ජනාධිපතිතුමා" වූයේ ද අද වුවද "අතිගරු ජනාධිපතිතුමා" වන්නේ ද මේ දීනකමේ පිළිබිඹුවක් ලෙසිනි.
ඒ තර්කය ඔප්පු කිරීමට තවත් සාධකයක් වන්නේ, එලෙස ලිපි ලිවීමේදී සහ ආමන්ත්‍රණයේ දී අප ආචාරශීලි සහ සදාචාර සම්පන්න වූව ද, අදාල පුද්ගලයින් නොමැති තැන ඔවුන්ට සිතූ සිතූ හැටියට කටේ දිවේ නොගෑවී අපහාස කිරීමට ඒ භාෂාව ම අපිට යොදාගත හැකිවීමයි.
ගුරුතුමා "ගුරා" වන්නේත්, විදුහල්පතිතුමා "පිනා" වන්නේත්, දොස්තර මහත්තයා "දොස්තරයා" වන්නේත් ඒ අනුව ය.
මීට අමතරව අද ලංකාවේ සිදුවෙන තවත් අපරාධයක් නම් රට පිළිගත් කලාකරුවන්ට ද "එතුමා", "එතුමිය" යැයි ඇමතීම යි. මෙය අපරාධයක් වන්නේ මන්ත්‍රීලා, ඇමතිලා වැන්නන් ඇමතීම සඳහා බොහෝ විට භාවිතාවෙන එවැනි වදනකින් කලාකරුවෙකු ඇමතීමෙන් සිදුවන්නේ අපහාසයක් පමණක් ම නිසා ය!
-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)
(https://www.youtube.com/watch?v=uQ_ZPH_oHDI&noredirect=1)