Friday 12 February 2016

මරණ සහතිකය සහ නැවත මැරීම - Dead people and the living


අප ඉපදුණු මේ ලෝකයේ ජීවත්වීම, ඉපදුණු පලියටම නිකම්ම කළ හැකි දෙයක් නොවේ. පුද්ගලික අවස්ථාවන්ගෙන් ඔබ්බට ගිය තැන්වල දී අප අප ම ය කියා හඳුන්වා දීමට නම, ගම කීම ප්‍රමාණවත් නැත. ඒ නම සහ ඔබේ මුණත්තහඩුව සහිත අනන්‍යතා පත්‍රයක් හෝ ගමන් බලපත්‍රයක් හෝ ඉදිරිපත් කළ යුතුය. එවැන්නක් සාදා ගැනීමට අත්‍යවශ්‍ය ලියවිල්ලක් වන්නේ ඔබේ උප්පැන්න සහතිකයයි.

උප්පැන්න සහතිකයක් නොමැතිවීම යනු උපන්නේ නෑ යන්නයි.

ඒ විහිළුවක් නොවේ. සත්‍ය, ප්‍රායෝගික, නෛතික තත්වයයි.

කොටින්ම, උප්පැන්න සහතිකයක් නොමැතිවීම යනු ඔබට මේ ලෝකයේ ජීවත් වීමේ අයිතියක් නැතිය යන්නයි!

ඒ මක්නිසා ද යත්, ඔබ මෙලොව උප්පත්තිය ලබා නැති බැවිනි!

මරණ සහතිකය ද ඒ ආකාරයේ ම අතිශය විහිළුකාර මෙන්ම අතිශය වැදගත්කමක් ද ඇති ලියවිල්ලකි.

මැරුණු අයෙකු ගේ මරණ සහතිකයක් නොමැති වීම යනුවෙන් අදහස් කෙරෙන්නේ, ඒ පුද්ගලයා මැරී නොමැති බවයි.

එයද විහිළුවක් නොවේ. සත්‍ය, ප්‍රායෝගික, නෛතික තත්වයයි.

එකම වෙනස වනුයේ උප්පැන්න සහතිකය අවශ්‍ය උප්පත්තිය ලැබූ පුද්ගලයාට වුවද, මරණ සහතිකය අවශ්‍ය වෙන්නේ මැරුණු පුද්ගලයාට නොව ජීවත්වෙන පුද්ගලයින්ට වීමයි.

පසුගිය දශක කිහිපක කාලය තුළ ලංකාවේ දහස් ගණනක පිරිසක් අතුරුදහන් වූ බව අප දනිමු.

ජාතිවාදී, ත්‍රස්තවාදී, විප්ලවවාදී මැරකම් නිසා අතුරුදහන්වූ බොහෝ දෙනෙකු ටයර් චිතකයන් හි අවසන් ගමන් ගියහ. බඩ පලා දැමූ කොන්ක්‍රීට් සහිතව ඈත මුහුදු පතුලේ සදාකාලික නින්දට ගිය අයද ඇති බව කියවේ. වෙනත් ක්‍රම තියෙන්නට ද ඇත. අපි තවමත් ප්‍රගීත් එක්නැලිගොඩට සිදුවුණු දේ නිවැරදිව නො දනිමු.

ඒ ආකාරයට අතුරුදහන්වූවන්ට මරණ සහතික නැත. මක්නිසාද යත්, මේ සඳහා විශේෂයෙන් පත් කර ඇති සුදුසුකම් ලැබූ අය විසින් මරණ සහතිකයක් නිකුත් කෙරෙන්නේ, මළ සිරුර පරීක්‍ෂා කර, එහි අනන්‍යතාවය තහවුරු කරගෙන, මරණයට හේතු සොයා ඒ සියල්ල ඇතුළත් කර වීමයි.

ඒ කාරණා සිදු කළ නොහැකි වූ විට මරණ සහතියක් නිකුත් කළ නොහැකි බව පැහැදිලිය!

මා පෙර කී ආකාරයට අතුරුදහන් වී ටයර් මතින් හෝ මුහුදු පතුලේ හෝ වෙනත් තැන්වල හෝ අවසන් ගමන් ගිය අය සඳහා මරණ සහතික නොමැත්තේ ඒ නිසාය.

මරණ සහිතික නොමැතිවෙන, වෙනත් අවස්ථා ද ඇත.

උදාහරණයක් ලෙස, අසූව දශකයේ මුල් භාගයේ දී මැලේසියාවේ සිට ගුවනින් පැමිණෙද්දී අතුරුදහන් වූ ව්‍යාපාරික උපාලි විජේවර්ධන ඇතුළු පිරිස සම්බන්ධ සිදුවීම දැක්විය හැක. ඔවුන් මියගිය බවට සැක කෙරෙන නමුත්, මළ සිරුරු හමු නොවුණු නිසා, සාමාන්‍ය ක්‍රියා පටිපාටිය යටතේ මරණ සහතික නිකුත් කළ නොහැක.

ඒ ප්‍රදේශයේ දී ම අතුරුදහන් වූයේ යැයි කිව හැකි මැලේසියානු ගුවන් යානයේ සිටි අයගේ ද තත්වය එයයි.

තම සැමියා මිය යන විට හොඳ තරුණ වියේ සිටි ලක්මිණි රත්වත්තේ විජේවර්ධන, ලක්මිණි වෙල්ගම වීමට සෑහෙන කලක් ගත වූයේ ද ඒ මරණ සහතිකයේ ප්‍රශ්නය නිසා විය යුතුය.

මේ සියලු කරුණු මගේ සිහියට ආවේ වෙනත් කතාවක් නිසායි.

මගේ මිතුරෙකු ගේ බිරිඳ අවාසනාවන්ත ලෙස අකාලයේ මිය ගියාය. ඇය වෛද්‍යවරියක වීම නිසාත්, ඇගේ මරණයට හේතුව වෙනත් වෛද්‍යවරයෙකු ගේ වෘත්තීමය වරදක් නිසා වීමත් හේතුවෙන්, ඒ මරණයට පුවත්පත් සහ වෙනත් මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලැබුණි.

ඒ මරණය සිදුවූයේ මින් අවුරුදු එක හමාරකට පෙර ය. තවත් නිවැරදිව කියනවානම් 2014 වසරේ අගෝස්තු 12 දා ය.

තම මිය ගිය සොඳුරිය ගේ අවසන් කටයුතු ද, දානමය පුණ්‍යකර්ම ද සිදු කළ මගේ මිතුරා, තම රැකියාවද කරමින්, දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සහ වෙනත් අවශ්‍යතා සඳහා ද වෙහෙසෙමින් පසුගිය වසර එක හමාරක කාලය ගත කළේ කෙතරම් වේදනාවකින් දැයි යන්න මට සිතා ගත හැකි වුවද ඒ අංශු මාත්‍රයකින් පමණකි.

නමුත් ගහෙන් වැටුණු මිනිහාට ගොනා ද ඇන්නා සේ ඔවුන්ට අද දක්වාම ජීවත්වෙන්නට සිදුව ඇත්තේ ඒ දුක තවත් වැඩිවෙන ආකාරයේ කලකිරීමක් ද සමගිනි.

මරණය සිදුවී වසර එක හමාරක කාලයක් ගතවී තිබුණ ද, තවමත් ඒ සඳහා මරණ සහතිකයක් නැත!

ඇගේ මරණය හදිසි මරණයක් නිසා, ඒ ගැන රස පරීක්‍ෂ වාර්තාවක් අවශ්‍ය වේ. මරණ සහතිකය ප්‍රමාදවෙන්නේ ඒ වාර්තාව තවමත් ලැබී නොමැති හෙයිනි.

අදාළ රජයේ ආයතනයෙන් මේ වාර්තාව නිකුත් කිරීම ප්‍රමාද වීම සඳහා විශේෂඥයින් ගේ අඩුවක් හෝ උපකරණවල අඩුවක් හෝ වෙනත් සම්පත් පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා විය හැක. එහෙත්, ඒ වෙනුවෙන් දිනෙන් දිනම අපහසුතාවයට පත්වෙන්නේ තම බිරිඳ වියෝ වූ දුකින් ජීවත්වෙන සැමියා ය. තම මව නොමැති දුකින් ජීවත්වෙන දරු දෙදෙනා ය.

කෙනෙක් මළ පසු මරණ සහතිකයක් කුමන රඹ පුෂ්පයක් සඳහාදැයි යමෙකුට සිතෙන්නට ඉඩ ඇත. නමුත් එය එසේ නොවේ.

මා කලින් කීවාක් මෙන් මරණ සහතිකයක් නැති නම්, කිසිවෙකු මැරුණු බව නෛතිකව ඔප්පු කළ නොහැක.

මරණය පිළිබඳ පුවත්පත් වාර්තා, ඡායාරූප, වීඩියෝ වැනි කිසිවක් මරණ සහතිකය වෙනුවට නීතිමය කටයුතුවලදී බාර නොගැනේ.

නමුත්, රස පරීක්‍ෂක වාර්තාව වෙනුවට ඉහත කී සාක්‍ෂි හෝ දිවුරුම් පෙත්සමක් හෝ උපයෝගී කරගෙන තාවකාලික, නමුත් නෛතික තත්වය ඇති, මරණ සහතිකයක් හෝ ලබා දිය නොහැකි ද?

රස පරීක්‍ෂක කාර්යාලයේ ඇති අකාර්යක්‍ෂමතාවට පිළියමක් නැති ද?

තුවාලයේ වේදනාව දන්නේ තුවාලය ඇති අයයි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මිතුරා ගේ බිරිඳ මිය ගිය විට ඒ ගැන විස්තර වාර්තා පල කළ පුවත්පත් සහ වෙනත් ජනමාධ්‍යවලට මේ උද්ගතව ඇති තත්වය ගැන ද වාර්තා කිරීමට සදාචාරාත්මක යුතුකමක් ඇතැයි මම සිතමි.

ඒ කෙසේ වෙතත්, පොදු ජනතාවට ද මේ ගැන දැන ගැනීම වැදගත් වේ යැයි සිතමි.

පසු විපරම කෝ?

(image: http://all4desktop.com/4247647-father.html)

28 comments:

  1. මම මීළඟ සතියේ පත්තරයට මේ ගැන ලියන්නයි ඉන්නේ...
    බොහොම ස්තූතියි මට කතා කරලා මේ ගැන කිව්වාට

    ReplyDelete
    Replies
    1. නියමයි.. මේ දින වල බ්ලොග් ලියැවිලි පිළිබඳ තෘප්තියක් ඇත.

      Delete
  2. උප්පැන්න සහතිකයක් නොමැතිවීම යනු ඔබට මේ ලෝකයේ ජීවත් වීමේ අයිතියක් නැතිය යන්නයි! ??????? විමල් වීරවංශට උප්පැන්න කීයක් තියනවද ?

    ReplyDelete
    Replies
    1. He got too many rights to live in the world, that's why.

      Delete
  3. ඒ වගේම මරණ සහතිකේ දෙන එකත් දේශපාලනීකරණය කරලා තියෙන්නේ... පොලොන්නරුව පැත්තේ වී වගාව හේතුවෙන් දිවිනසා ගන්නා උන්ගේ මරණ සහතිකේ දෙන්නේ ස්වාභාවික මරන කියලා....

    ReplyDelete
    Replies
    1. ඉතිං හරියට හරිනෙ! වී විකුණගන්න බැරිව මැරෙනව ඇරෙන්න වෙන කිසිම ස්වභාවික දෙයක් නැහැනෙ කරන්න!

      Delete
  4. අලුත් නීතිපති කෙනෙක් දාපු ඒකේ ඔ්කටත් මොකක් හරි කරගන්න බැරි වෙන ඒකක් නැහැ රසිකයියේ...... මේක රටේ රාජ්‍ය සේවයම ලැජ්ජා වෙන්න කාරණයක් රසිකයියේ....... මේවා දැක්කා ම කුණුහරප තමා මතක් වෙන්නේ... වෙන මොනවා කරන්නද????

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මිතුරාට සිදුවූ අකරතැබ්බය හා අපහසුතාව ගැන කණගාටුව.. ජනාධිපතිතුමාට අගමැතිතුමාට කම්ප්ලේන් කරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. හිටපු ජනාධිපතිතුමාටද...?

      Delete
    2. හැමදේටම ජනාධිපතිතුමාට අගමැතිතුමාට කම්ප්ලේන් කරන්න ඕනේ නම් නිලධාරීන් ඉන්නේ මොන මගුලක් කරන්නද ?

      Delete
  7. තාක්ෂණික දෝෂයන් සහ නිලධාරින්ගේ අඩුපාඩු හේතුවෙන් (සමහර අවස්ථාවලදි නිලධාරින්ට ඇතිවන බලපෑම් සහ නිලධරින්ගේ පක්ෂපාතිත්වයන් නිසා )මරණ සහතිකය නිකුත් කිරීම පමාවිය හැකිය.

    එහෙත් පුද්ගලයකු මියගිය බව සහතික කල හැකිනම් නෛතික කටයුතු සදහා මියගිය ආකාරය තිරණය කරනතුරු තාවකාලික මරණ සහතිකයක් නිකුත් කිරීම සුදුසු බව සිතේ (දැනටමත් මේ සදහා සේවාදායකයාගේ අවශ්‍යතාවය අනුව (වැන්දඹු අනත්දරු වි්‍ශ්‍රාම වැටුප ලබා ගැනීම, රක්ෂණ මුදල් ලබා ගැනීම, නැවත විවාහවිම.....) නෛතික ප්‍රතිපාදන තිබීමට බොහෝ දුරට ඉඩ ඇත.)

    මාගේ දැනුමේ තරමට දැනටමත් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව මගින් මෙවැනි අවස්ථාවලදී තාවකාලික සහතිකයක් (මරණ සහතිකය නිකුත් කරනතුරු මියගිය බව පමණක් සදහන් කරන ලිපියක්)ලබා ගැනීමට හැකිය. එය සියලුම නෛතික කටයුතු සදහා වලංගු නොවිමට ඉඩ ඇත.

    ReplyDelete
    Replies
    1. මෙය උසාවිනියොගයක් නැතුව කල නොහැකිබව අදාල රෙජිස්ටාරිවරයා මට දෑන්වුවා. මෙක සැක කටයුතු මරණයක් නිසා.

      Delete
  8. අනේ අපොයි මෙච්චර රටපුරා හොර කච්චේරි තියනවා කියලා දන්නා එකේ එකකට ගිහිල්ල එකක් ගත්තාම මොකද වෙන්නේ කෙනා මැරිලන්නම් මොකද අල්ලලා අයිති කෙනා හිරේ දාන්නද [ඕක මොකට හරි ඉදිරිපත්කරන්න ගිහිල්ලා කරුමෙට මාට්ටු වුනොත් එහෙම කරුමෙම තමයි කියලා හිත හදාගෙන්න වෙනවා ]

    ReplyDelete
  9. /තම සැමියා මිය යන විට හොඳ තරුණ වියේ සිටි ලක්මිණි රත්වත්තේ විජේවර්ධන, ලක්මිණි වෙල්ගම වීමට සෑහෙන කලක් ගත වූයේ ද ඒ මරණ සහතිකයේ ප්‍රශ්නය නිසා විය යුතුය./

    උපාලි විජේවර්ධන ගෙදරට වොෂින් මැෂින් එකක් ගත්තාලු. පස්සෙ ඒකත් නිමල් වෙල්ගම ලොක්කාට අයිති වුණාලු. බලනකොට මැෂින් එකේ පැකින් කඩලා වත් නැතිලු. මොකද කියලා හොයලා බලන කොට තේරුණාලු උපාලි ගොයියා වැඩිය කැමැති වෙලා තියෙන්නෙ ඩෙල්ටා ෆැක්ටරියෙ වැඩ කරන සුදු ලේබරලාටයි ඩ්‍රැයිවර්ලාටයි කියලා ඇඳුම් හෝද ගන්න මිස වොෂින් මැෂින් එකේ හෝද ගන්න නෙවෙයි කියලා. මේක වෙල්ගම ගොයියාට නිකම් පිං චාන්ස් එකක් වගෙයි කියලා හිතුනට ඒකත් එහෙම වෙලා නැහැ. මොකද වෙල්ගම ගොයියාත් උපාලිගෙම ටයිප්ලු. වොෂින් මැෂින් එක පාවිච්චි කළේ බොහොම ටික කාලයයිලු. ඊට පස්සෙ 'දි අයිලන්ඩ්' පත්තරේ බෝතල් පත්තරකාර ගැටයො කීප දෙනකුට කියලා ඇඳුම් හෝද ගත්තාලු. පව් මැෂිම!

    ReplyDelete
  10. රඹ පුෂ්පය.ටොප් වචනෙ.

    ReplyDelete
  11. දැන් හැම මගුලම එක්කෝ සහතිකයක් ඕනේ, නැත්තම් පොතක ලියල යන්න ඕනේ. අලුත්ම ක්‍රමය ඉලෙක්ට්‍රොනික් කාඩ්. අර කවුදෝ කිව්වා වගේ තව ටික දවසකින් ටොයිලට් එකට යන්නත් සහතිකයක් ඉල්ලයි..

    ReplyDelete
  12. මචං රසික, අනේක වාරයක් ස්තුතියි. මේ පෝස්ට් එකට මොකද මේ බොලොග් එක ලංකාවේ වැඩියෙන්ම කියවන එකක් නිසා අදාල තැන්වල වගකිවයුතු අයත් මෙය කියවාවි කියල මම හිතනවා. ඇත්තටම දුරක සිටියත් ඔබ මට කරන මේ උපකාරය ලඟ සිටින බොහෝ දෙනෙකුට කල නොහැකි දෙයක් .
    සමහර කොමෙන්ට් අනුව යමෙකුට හිතෙනවා ඇති මම මෙච්චර කලක් නිකං හිටියා කියල නමුත් ඇත්තටම විශාල ලිපිප්‍රමාණයක් දැනටමත් යවල තියෙනවා. ඉස්සරලම එක යැව්වේ එවකට හිටිය නීතිපතිට, එය මෙම සිද්දිය සිදුවී දිනකිපයක් ගතවු පසුවයි. ඊට පස්සේ එවකට සිටි ජනාධිපතිට , නව ජනාධිපතිට, අධිකරණ ඇමතිට රජයේ රස පරීක්‍ෂට , ලිපි කීපයකම යෑව්වා. පිළිතුරක් ලැබුනේ වර්තමාන ජනාධිපතිගෙන් විතරයි. සෙෘඛ්‍ය අමාත්‍යංශයේ ලේඛම්, රසපරීක්‍ෂක වෙත මෙම වාර්තාව කඩිනමින් ලබාදෙන ලෙස දන්වා මටද පිටපතක් සහිතව ලිපියක් යවා ඇත, ඇත්ත වශයෙන්න ප්‍රමාදයට හේතුව මම නොදනිමි. තොරතුරු දැන ගැනීමෙ පනත තවම සම්මත නැති නිසාදෝ මට තොරතුරු දීමට ඔව්න් බැඳී නැත. නිල නොවන මටිටමෙන් ආරංචි වන්නේ නියැදි ප්‍රමානය වෑඩිවීම සහ තවත් තාක්‍ෂනික ගැටලු නිසා ප්‍රමාද වන බවකි. අප සිටින්නේ අඟහරු ලෝකයට යානා යවා මෙහේ සිට පස් සාම්පල් පරීක්‍ෂා කරන යුගයකය . ලංකාවේ තත්වය මෙයයි .
    ගාමිනී

    ReplyDelete
    Replies
    1. මම දැක්ක මේ ගැන දිණමින පත්තරෙත් තියෙනව ( නලීන් ෂෙයා කරල තිබ්බ).

      .. නමුත් ලංකාවෙ උන් මේව පත්තරවල ගියාම ඕකුන් තවත් වැඩ පරක්කු කරනව, උද්දච්ච කමට.

      වැරදි උනත් පිටිපස්සෙ දොරෙන් යන්න ඉඩක් තියේදැයි පොඩ්ඩක් බලන්න. බිරිඳගේ හිතවත් අය සිටින්නට බැරි නැහැ. අනික, අර හොර වෙදා මෙය පරක්කු කරනවා වෙන්නත් බැරි නෑ, මුදල් බලෙන්. මේක ලංකාවනෙ...ඉක්මනින් විසඳුමක් ලැබෙන්න පතනව.

      Delete
  13. පොඩි ප්‍රශ්ණයක්. උපාලි විජේවර්ධනගේ මරණ සහතිකය කල් යන්න හේතුවක් තියෙනවා. යමෙක් අතුරුදහන් වුණාම එම පුද්ගලයා මැරුණා කියලා දැනගන්න බෘත ශරීරය නොතිබීම. ත්‍රස්ථවාදී කියා නිසා සහ යුද්ධ වලදී වන අයටත් එසේමයි. ඒකට හේතු තමයි බොරුවට හැංගිලා රක්ශණ මුදල් වගේ ගන්න එහෙම නැත්නම් බදු හිඟ කපා දමා ගන්න, එහෙම නැත්නම් නඩු විසිකරවා ගන්න වගේ වංචා සිදුවන නිසා.

    එහෙත් ඔබගේ යහළුවාගේ සොඳුරියගේ මෘත ශරීරය තිබුණ නිසා, එය හිතාමතා කල හෝ අතපසුවීමකින් කල හෝ සිදුවූ මරණයක්ද කියා දැනගන්න මරණ පරීක්ශණයක් තියන්නේ. ඒවුණාට මිනිය භූමදානය කරන්න හැකිවෙන්න (මරණ පරීක්ශණය ඉවරවෙනතුරු ආදාහනය කරන්න නොදෙන නිසා) මරණ සහතිකයක් දෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම භුමදානය කරන්නත් ලොකු ප්‍රශ්ණයක් ඇතිවුනා. මහේස්ත්‍රාත් නියෝගය පමනක් මදි කියා.

      Delete
  14. //කෙනෙක් මළ පසු මරණ සහතිකයක් කුමන රඹ පුෂ්පයක් සඳහාදැයි යමෙකුට සිතෙන්නට ඉඩ ඇත//

    සාමාන්‍ය නොවන මරණයකදී මරණ සහතිකයක් අවශ්‍ය නැතිවුණොත් අපිට ඕන කෙනෙක් මරල ඒක ගැන කවුරුවත් දැනගන්න කලින් වලදාන්න පුච්චන්න පුලුවන්. එතකොට ඒක මිනී මැරුමක් නම් සාක්කි ගොඩක් නැතිවෙනවා. උදාහරණයට තම බිරිඳට හෝ ස්වාමියාට ගහල මරල සාමාන්‍ය මරණයක් වගේ වලලන්න පුලුවන්. ඒකයි මරණ සහතිකයක් අවශ්‍ය සහ එය නැතුව වලදාන හෝ ආදාහනය කරන්න නොදෙන්නේ. ඒවගේම ශල්‍ය කර්මයකදී හෝ අසාමාන්‍ය මරණයකදී මරණ පාරීක්ශකවරයාට සැකයක් හිතුණොත් හෝ පවුලේ කෙනෙකුට සැකයක් ඇත්නම් කපා පරීක්ශා කිරීමට ඉල්ලන්න අවස්ථාවක් දෙන්න තමයි පරණ පරීක්ශණයක් තියන්නේ. එහිදී සැකයක් ඇත්නම් අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් මිණිය කපා පරීක්ශා කරනවා. ඒකයි මරණ සහතිකයක් අවශ්‍ය වන රඹ පුශ්පය.

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. ඔබ ඉහත සඳහන් කරන සිද්ධිය මම හිතන සිද්ධියම නම් එහි ඇත්තේ අදාල මරණය සිදුවූයේ ශල්‍ය කර්මයේ වරදක් නිසාද, එසේ නැතහොත් අදාල වෛද්‍යවරියට කලින් තිබූ රෝගී තත්ත්වයක් නිසාද, නිර්වින්දනය කල ආකාරයේ වරදක් නිසාද, නිර්වින්දන සඳහා යොදාගත් ඖෂධ වලින් සිදුවූ අසාත්මික තත්ත්වයක්ද, වෛද්යවරයා කල් පැණගිය ඖශධ වලින් නිර්වින්දනය කලාද, මරණය සිදුවුණේ ආරෝග්‍යශාලාවක නොවන නිසා සිදුවීමෙන් පසු ආරෝග්‍යශාලාවකට ගෙනයාමට ප්‍රමාදවීම නිසා එයින් රෝගියා නැවත පණ ගැන්වීමට ඇති ඉඩකඩ ඇහිරී ගියාද ආදී වශයෙන් විශාල ප්‍රශ්ණ තිබුණ මරණයක්. මෙහි අධිකරණ වෛද්‍ය සොයාගැනීම් / තීර්ණ අනුව අදාල වෛද්‍යවරයා නොසැකිල්ල මත මිනීමැරීමකට වග කීමට සිදුවන්නට පුළුවන්. එමෙන්ම අදාල වෛද්‍යවරයාට එම වර්ගයේ ශල්‍යකර්ම කිරීමට වෛද්‍ය සභාවේ අනුමැතිය තිබුණාද යන්නත් ප්‍රශ්ණයක්. එවැනි නඩුවකදී එම පරීක්ශණ ගැන විත්ති පක්ශය හරස් ප්‍රශ්ණ සහ වෙනත් එක්ස්පර්ට් විට්නස් හරහා ප්‍රශ්ණ කර වැරදි කරුවකු බේරීමට තිබෙන අවස්ථාව වැඩියි. මම හිතන්නේ මෙම මරණය මම හිතන මරණය නම් එය අසාමාන්‍ය අවස්ථාවක්. ඔබ කියන මරණය මෙම මරණය නම් එය සාමාන්‍ය මරණ සහතික ක්‍රමය ප්‍රශ්ණ කිරීමට සුදුසු උදාහරණයක් නොවේ.

    ReplyDelete
    Replies
    1. ඔබ සඳහන් කරණ මරණය තමා මේ . ඔය කාරණා සියල්ල සිදුවිය යුතුයි. එයට ප්‍රමුඛ පශ්චාත් මරණ පරීක්‍ෂන වාර්තාව සැපයිය යුතුයි. ඒසඳහා මෘතදේහයේ කොටස් සහ වෙනත් නියැදි රස පරීක්‍ෂක වාර්තාව ලබා ගැනීමට යවා වසර එකහමාරක් ගතවී ඇත. එයය දැනට ඇති තත්වය, ර සපරීක්‍ෂක වාර්තාව අධිකරණ වෛද්‍ය වරයාට ලැබුන පසු ඔබ සඳහන් කල සියල්ල සිදු විය යුතුය . ඒ සදහාත් කොපමන කාලයක් ගනීදැයි නොදනිමි. මෙ වැනි පරික්‍ෂන සඳහා වෙනත් රටවල පුර්වාදර්ශයන් නොමැතිද ? , යුක්තිය ඉටුවීම ප්‍රමාදවීම යුක්තිය නොලැබීමක් නොවේද ? "Justice Delayd is Justice denied" ගාමිණි

      Delete
    2. ඔබගේ බිරිඳගේ වියෝව පිලිබඳව මගේ කණගාටුව.

      Delete
  17. සියළු සහතික අවශ්‍ය වන්නේ නෛතික කටයුතු සඳහා පමණයි. මරණ සහතිකයත් වෙනත් ඕනෑම සහතිකයක් මෙන්ම හැකි ඉක්මණින් ලබාදීම අදාළ නිළදරුවන්ගේ වගකීම සහ යුතුකම. එක් මරණ සහතිකයක් හෝ මරණ සහතික කිහිපයක් පමණක් ප්‍රමාද වීම සාධාරණ හේතුවක් නිසා සිදු වන බව විශ්වාස කිරීමට නොහැකි තරම්. අතුරුදහන්වීම් හෝ ස්වභාවික විපතක්, යුද්ධ තත්වයක් වැනි සමූහයක් එකට මිය ගිය නිසා අදාළ පුද්ගලයාගේ දේහය නිශ්චිතව සොයාගැනීමට නොහැකි වූ අවස්ථාවකදී හැර හුදෙක්ම මරණයට හේතුව සැක සහිත වීම නිසා මරණ සහතිකය නිකුත් නොකිරීම අසාධාරණයි නේද? මඑණයට හේතුව අවිනිශ්චිතයි කියල සටහන් කරල මරණ සහතිකය නිකුත් කිරීමෙන් කිසි වරදක් සිදු වීමට ඉඩක් නැති බවයි මට පෙනෙන්නේ. කාටහරි ඒකෙ ගැටළුවක් පෙනෙනවනම් කියන්න.

    ReplyDelete
  18. රසික ජීවත්වෙන රටේ දි වගේ නෙමෙයි මෙහෙ දි දොස්තරලාට වරදිනවා අඩුයි..එහෙමෙ දොස්තරගේ වැරදීමකින් මනුෂ්‍යයකු මැරෙන්න තියෙන හැකියාව ලංකාවෙදි බොහොම අඩුයි..ඉතාම පැහැදිලිව වෛද්‍යවරයා වග කිව යුතු අවස්ථාවලදි පවා එතුමන්ලා නිවැරදි කරුවන් වෙනවා.. ලංකාවේ වෛද්‍යවරුන්ට මම හිතන්නෙ අධිකරණයේ ඉන්න විනිසුරුව්නටත් නැති අමුතු මුක්තියක් ලංකාවෙ තිබෙනවා..
    මට පෙනෙන හැටියට මෙතන වෛද්‍යවරුන්ගේම ලොකු උදැල්ලක් වදිනවා ඇති කේස් එකට.. අකමැති වුනත් ලංකාවෙදි බල්ලා වුනත් අපේ එකෙක් නම්..ඌ කවුරු හැපුවත් අපේ එකා නිසා ඌව බේරන්න කස්ටිය ගොඩක් ඉදිරිපත් වෙනවා..

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.