Monday, 8 February 2016

මැරෙන එක ද පණ යන වැඩකි! - Near death experience of Rasikologist


දස වසරකට පෙර සිදුවීමක් ගැන මා ලියූ කවි පන්තියක් පෙරේදා එහි සංවසත්සරය සමරීම පිණිස රසිකොලොජියේ නැවත පල කළෙමි. ඒ සිදුවීම ගැනම, මා ගද්‍යයෙන් ලියා පල කළ “කතන්දරයක්" ද ඇති බව මතක් වුණු නිසා, එය ද, පොඩි සංස්කරනයකින් පසුව, නැවත පල කළ යුතු යැයි සිතුණි.

මෙය කලින් කියවූ ඇත්තෝ සමාවෙත්වා.

කතන්දරය කියවා එහි යටින් ඇති පැහැදිලි කිරීම ද කියවන මෙන් ඉල්ලමි.

මෙන්න මා 2011 මැයි මාසයේ ලියූ ඒ කතන්දරය.
නිරෝගීකම කියන එක නිකං පිරිසිදු වාතය වගේ දෙයක්. අපිරිසිදු වාතය නහයට දැනෙන කොට තමයි තේරෙන්නේ පිරිසිදු වාතයේ වැදගත්කම. ඒ වගේම, අසනීප වෙනකං අපිට තේරෙන්නේ නෑ නිරෝගීකමේ තිබුණු වැදගත්කම!

මාත් හිතං හිටියේ මං හොඳ සනීපෙන් ඉන්නව කියලයි. නමුත් අන්තිමේදී කපල දැම්ම වගේ ඇදගෙන වැටෙන තුරුම දන්නේ නෑ.

එදා මං පුතාව ඉස්කෝලෙ දාන්න ගියේ උදේටත් නොකා බඩගින්නේ. කාර් එක නැවැත්තුවට බහින්න හිතුණේ නෑ. බැස්සට ඇවිදින්න හිතුණේ නෑ. ඇවිද්දට, ඒ ඇවිද්දේත් මහා අමාරුවෙන්.

මං බඩගින්නේ හිටියේ ලේ පරීක්‍ෂාවක් කරන්නයි. ඇගට පණ නැතිකම මං හිතුවේ කලින් දවසේ රෑ නමයට විතර කෑවට පස්සේ තේ එකක්වත් නොබීපු නිසා එන එකක් ය කියලයි.

බැරිම තැන මං ඉස්කෝලේ මිදුලේ තිබුණු පොඩි බංකුවක වාඩි වුණා. එතකොටම බෙල් එක ගහනවා ඇහුණා. මේ පුතා ඉස්කෝලේ යන දෙවෙනි සතිය. කොල්ල බෙල් එක ඇහිල බය වුණා, "යං, යං!" කියල මගේ අතින් ඇද්දා.

මට නැගිටලා ඇවිදගෙන පුළුවන් වුණේ අඩි දෙක තුනයි. මං දැක්කා මගේ කකුල් යටින් තියෙන තණකොළ පදාසය නිකං මොසැයික් කොටු කොටු වේගෙන යනවා. කපල දැම්ම වගේ වැටුණේ ඊළඟටයි.

හැබැයි මාව ඉස්පිරිතාලේට අරං ගිය ගමන මං ගියේ හොඳ සිහියෙන්. යන ගමන් හාමිනේට කෝල් කළා මගේ මොබයිල් එකෙන්.

හාමිනේ මාව බලන්න දුවගෙන එනවා මට මතකයි. වැටිච්ච වෙලේ නහයෙන් ලේ ආපු නිසා, ස්කෑන් එකක් කරන්න ෆෝම් අත්සන් කරනවාත් මට මතකයි.

ඊ ළඟට මං හිටියේ ඇඳක් උඩ වැතිරිලා. "ලෙඩා ගේ හාට් එක නතර වුණා!" නර්ස් කියනව දොස්තරට.

"ඔව්, මටත් තේරුණා ඒක. හරිම සැන්ශේෂණල් ෆීලින් එකක් නේ තියෙන්නේ!" මං නර්ස්ට කිව්වා.

නර්ස් නෝනට ඒක ඇහුණේ නැද්ද, ගණං ගත්තේ නැද්ද අනේ මන්දා.

හැමෝම බලං ඉන්නේ ඇඳ උඩින් පැත්තක හයි කරල තියෙන ඊ.සී.ජී. මොනිටර් එක දිහා. මාත් ඒක දිහා තමයි බලං ඉන්නේ.

පොඩ්ඩක් ඉන්න. මං කොහොමද ඒ මොනිටර් එක දිහා මේ විදියට බලං ඉන්නේ. එතකොට අර ඇඳේ දිගාවෙලා ඉන්නේ මං නේද? ඒ මං නං, එතකොට කොහෙමද මට මාව ම පේන්නේ?

හාට් එක නැවතෙනවා කියන්නේ මගේ කාලේ හරිද? මට යන්න වෙලාද?

නෑහ්, දැන්ම යන්න බෑ!

දැන්ම ගිහිල්ලා කොහොමද? පොඩි කාලේ ඉඳලා කවි ලිව්වට, තාම බැරිවුණා පොතක් අච්චු ගහන්න. දැම්ම ගිහින් කොහොමද ඒක කරන්නේ?

ඊටත් වඩා, මං දැම්ම යන්න ගියොත් තාම අවුරුදු පහක්වත් නැති පුතා ලොකු වෙනකොට ඌට තාත්ත කෙනෙක් නෑ නේද? මාව කොල්ලගේ මතකයේවත් තියෙන එකක් නෑ.

නෑහ්, දැන්ම යන්න බෑ!

ඔන්න මං යනවා හෙලිකොප්ටරයක. මාව වෙන ඉස්පිරිතාලෙකටවත් අරං යනවද මන්දා?

හෙලිකොප්ටරේ දොර ඇරුණා. දොරෙන් එහා පැත්ත පුදුමාකාර එළියයි. ඉර දෙකක්, තුනක් පායලා වගේ.

"යන්න, පුතා යන්න". හෙලිකොප්ටරේ හිටිය දෙන්නගෙන් එක්කෙනෙක් මට කියනවා. මට පොරව දැකල පුරුදුයි වගේ. මේ අර මාව ඉස්කෝලේ ළඟ ඉඳලා ඉස්පිරිතාලෙට ගෙනාව මනුස්සයා නේද? එකම වෙනස මෙයා ගේ උඩුරුවුලයි, එළු රුවුලයි දෙකම සුදුම සුදුයි!

මං හෙලිකොප්ටරෙන් බැහැල පයින්ම ඇවිදගෙන යනවා ඉස්සරහට. කිසිම දෙයක් පේන්නේ නැති තරමට ආලෝකය හැම තැනම.

මං දොරක් ඇරගෙන ඇතුළත ගියා. නර්ස් කෙනෙක් වාඩිවෙලා ඉන්නව. මොනවද කෙරෙන්න ඕනෑ? එයා මගෙන් අහනව.

"ඉස්සෙල්ලාම මට ඉඳගන්න පුටුවක් දෙන්න!"

මේ මරණාසන්න අත්දැකීම මගේ සත්‍ය මතකයයි. මට සිහිය එව විට මා ඇත්තටම සිතුවේ හෙලිකොප්ටර් ගමනෙන් පසුව මා ඉන්නේ වෙනත් රෝහලක බවයි.

මේ කතාවේ ඇති යම් යම් සිදුවීම්, මා මීට පෙර අසා ඇති මේ ආකාරයේ කතාවල ආ ආකාරයේ ම වීමේ පුදුමක් නැත. මක් නිසා ද යත්, මා දන්නේ මා අසන, දකින, කියවන, අත්දකින දේ පමණක් බැවිනි.

ජයවේවා.

-රසිකොලොජිස්ට්

28 comments:

  1. අර කතා බහ කරපු අය කතා බහ කලේ හින්ගලෙන්ද ඉන්ගිරිසියෙන්ද

    ReplyDelete
    Replies
    1. හොඳ ප්‍රශ්නයක්. ඉංගිරිසියෙන්. මං ඒ ආකාරයේ ඉංගිරිසියෙන් හිතෙන හීනයක් දැක්කාමයි ඒ.

      Delete
    2. හපොයි පොඩි කාලේ මම ඉංගිරිසියෙන් හිතල සිංහලෙන් කතා කරන්නේ. හැම දෙයක්ම හිතන්නේ ඉංගිරිසියෙන්. ඉතිං ඉංගිරිසි හීනත් දැක්කා.. හැක්

      Delete
    3. එහෙනම් ඔස්ටේලියාවේදි නේ... දෙවියන් වහන්සෙම වෙන්න ඇති.... මෙහේ උනා නම් කෙලින්ම අපායේ... ෂොරි ෂොරි දිවිය ළෝකේ...

      Delete
  2. //හරිම සැන්ශේෂණල් ෆීලින් එකක් නේ තියෙන්නේ// මේක කලින් අහල තිබ්බට මන් හිතුවේ බොරුය කියලා.. දැන්නම් විශ්වාස කරන්නම හිතෙනවා..

    ආරෝග්‍යා පරමා ලාබා.. :)

    ReplyDelete
    Replies
    1. මාත් ඒ විදියට අහලා තිබුණු දේ හීනෙන් පෙනුණා, දැනුණා, හිතුණා වෙන්න පුළුවනි!

      Delete
  3. හෙලිකොප්ටරේ දොර ඇරල දෙන්න හිටපු බුවා නැතිවෙන්න හොඳ සැන්ශේෂණල් ෆීලින් එකක් හම්බවෙන්න තිබුන.

    ReplyDelete
  4. මදැයි බේරුණා

    ReplyDelete
  5. මේකත් අර X-Files එපිසෝඩ් එකක් වගේනේ. එතකොට අර සුදු උඩුරුවුලයි, එළු රුවුලයි තියෙන ඉස්කෝලේ ළඟ ඉඳලා ඉස්පිරිතාලෙට ඔහේව උස්සන් ආපු හාදය දෙයියොද?

    ReplyDelete
  6. අවුලක් නෑ මම මේක ඉස්සර වෙලා කියෙව්වේ නෑ...ජීවත්ව සිටියදී මරණය දැකීම ලොකු භාග්‍යයක් ඒක හැමෝටම අත්දකින්න වෙන්නේ නෑ..
    ආයුබෝවේවා මචන්...

    ReplyDelete
  7. ඔය සුදු එලු රැවුලයි, උඩු රුව්ලයි තියෙන පොරවල් දෙන්නා දැන් දැක්කොත් අදුර ගතහැකිද???

    ReplyDelete
  8. සනීප උනාට පස්සේ ඔයා 'දැක්ක' දේවල් ඇත්තටම ඒ විදියටම උනාද කියල හොයල බලන්න පුළුවන් උනාද? ඇස් දෙක වැහිලා තිබුනා කියලා උපකල්පනය කලොත්, 'පෙනුන' රූප ඉතුරු සංවේදන වලින් මොළේ හදාගත්තා වෙන්න පුලුවන්ද? (කතා කරන දේවල් නම් කන්ට ඇහිලා process උනා කියල හිතන්න පුළුවන්... etc )

    පුතා ට ගොඩක් බය හිතෙන්න ඇති :( Wish you good health!

    ReplyDelete
  9. [[හරිම සැන්ශේෂණල් ෆීලින් එකක් නේ තියෙන්නේ]]

    මරණාසන්න අත්දැකීමක් නොවේ.

    "කැම්පස් එකේ පේමන්ට් එකක් රෙපෙයාර් කරන බුවාලා ඇවිත් දැන් ටික දවසක්. මං පොරවල් එක්ක ෆිට් උනේ නිකම් කුතුහලයට. යාලු කමට තමයි එකෙක් අර පොලොව තලන ගිඩි ගිඩි මැෂිම දුන්නේ. මං ඒක අරගෙන පේමන්ට් එකේ පස් තට්ටුව තලාගෙන ගියා. මේවා මාර ආතල් වැඩ.

    වයර් කොනක් බිම වැටිලා තියෙනවා දුටුවේ මට කරන්ට් වැදෙන්න තප්පරෙකට කලින්. මාව විසි වුනා. නිකම් නොවෙයි අහසට. විසි වෙලා මං පාවෙන්න ගත්ත. මං වගේම පොරක් බිම වැටිලා හිටියා. මගේ අලුත් යාළුවන් වූ පේමන්ට් හදන සෙට් ඒක ඌව වටකරගෙන.

    පවන් රොදක පිහාටුවක සැහැල්ලුව මට දැනුනා. ඔන්න ඔහේ ඕන "එකක්" ප්‍රීති වෙසක් කියන පරම සන්තුට්ටියෙන් හිත කියන තඩි පෙනහල්ලේ කවදාවත් නොපිරුණු ප්‍රත්‍යන්ත ගර්ත පවා පිරි ගියා. යට ඉන්න එවුන් මා ගැන දුක් වෙන හැටි, මා මැරිලා කියලා අර මං වගේ අනික් බුවා ව රෙද්දකින් වහන හැටි මා දුටුවා. දුකක් හිතුනෙත් නැහැ. නිරාමිස ප්‍රීතියකින් පිරුණු හිතකට දුකක් දැනෙන්නේ කොහොමද?"

    වැඩිපුර: පිස්සු කතාවක් නොවේ

    ReplyDelete
  10. රසිකයියේ.............. ඒ කියන්නේ ළගට ම ගිහිල්ලා අැවිල්ලා තියෙන්නේ....... මාර අත්දැකීමක්.... අායෙම ජීවිතේ දිහා අමුතු විදිහකට බලන්න හිතෙන්න අැති......

    ReplyDelete
  11. ඔබේ අත්දැකීම මටනම් ඉතාම වැදගත්. පළමුව, මරණාසන්න අත්දැකීම් ලැබූ, ඒ අත්දැකීම් පැහැදිලිව විස්තර කළ හැකි තරමේ මතකයක් ඇති පුද්ගලයින් දුලභය. සමීප පුද්ගලයෙකුගෙන් මෙවැනි අත්දැකීමක් අසන්නට ලැබුණු පළමු අවස්ථාව මෙයයි. (මා ඔබව දන්නේ මේ බ්ලොග් එක තුළින් පමණක් වීම අදාළ නැත.) දෙවනුව,සාමාන්‍ය ජීවිතයේදී තමන්ගෙන් බාහිරව වෙනත් පුද්ගලයෙකු ලෙස තමන් දෙස බලන්නට පුළුවන්කම ඇති සහ එසේ කරන පුද්ගලයින් ඉතා අඩුය. ඔබට ඒ හැකියාව ඇති බව ඔබ ලියා ඇති ඇතැම් ලිපි වලින් පෙනේ. මෙය ඔබේ ඉහත අත්දැකීමේ ප්‍රතිඵලයක්ද නැත්නම් පෙර සිටම ඔබේ ස්වභාවයද කියා මා දන්නේ නැත. වටිනාම කරුණ මේ අත්දැකීම් ගැන ඔබට පැහැදිලි විග්ර්හයක්ද තිබීමයි. මොළයට රුධිර සැපයුම නැවතුනු පසු energy saving mode එක යටතේ හැකිතාක් වේලාවක් ක්‍රියාත්මකව සිටීමට ඔබේ මොළය අවිඥානකව ගත් තීරණත්, ඒ කාලය තුළ බාහිර පුද්ගලයින් විසින් මොළයට නැවත රුධිරය පොම්ප වීම සිදුවන පරිදි ගත් ක්‍රියාමාර්ග නිසාත් මට ඔබේ බ්ලොගය කියවීමටත්, ඔබේ මරණාසන්න අත්දැකීම් ගැන දැනගැනීමටත් ඉඩකඩක් විවෘතව තිබේ.

    ReplyDelete
  12. මේ ජාතියේ අත්දැකීම් මම පොත් පත්තර වල කියෝලා තියෙනවා වුනාට හැබෑවටම තමුන්ටම වෙච්ච දේ විස්තරයක් බ්ලොග් එහෙකින් දැක්කේ පලවෙනි වතාවට.

    රසික ට වේදනාකාරී අත්දැකීමක් වුනාද කියන්න නම් මම දන්නේ නැහැ.
    එත් රසික අර මුලින්ම කියලා තියෙන අත්දැකීම නම මම හොඳටම අත්දැක්කා.

    සැත්කමක් හින්දා ඇඳට වැටුණු මොහොතේ.

    ඒ වෙලේ තමයි මට දැනුනේ..
    ---------ඇවිදින්න පුළුවන් කියන්නේ කොච්චර ලොකු වටිනා හැකියාවක් ද?
    ---------කතා කරන්න පුළුවන් කියන්නේ කොච්චර වටිනා හැකියාවක් ද ?
    ---------ඇඳෙන් නැගිටගන්න පුළුවන් කියන්නේ කොච්චර ලොකු වාසනාවක් ද කියන එක.

    ReplyDelete
  13. මැරෙන එක ද පණ යන වැඩකි!

    සහතික ඇත්ත...

    ReplyDelete
  14. ඔය සිද්ධිය තනිකරම හීනයක් වෙන්න බැරිද? මං කියන්නේ, නර්ස්ලා දොස්තරලා කියන දේවල් ඇත්තටම ඇහෙද්දි, දැකපු දේවල් ගැන. මොකද, සමහර සාමාන්‍ය සිද්ධි මං ඒ විදිහට හීනෙන් දැකල තියනව. නින්දක් ගියාම ඇස් දෙකෙන් පේන්නෙ නෑ, ඒත් කන් දෙකෙන් ඇහෙනවා. ඇහෙන දේට සමානුරූපීව හීනෙන් පෙනෙනවා. උදාහරණයක් ගත්තොත්, තද නින්දෙ ඉන්නැද්දි වයිෆ් ඇවිත් කතා කරල කිව්වොත් මාව කාර් එකෙන් හන්දියට ගිහින් දාන්න කියල මං දකිනව මං නැගිටලා කාර් එක එළවගෙන යනව.

    ReplyDelete
  15. මටත් මෙවැනිම අත්දැකීමක් ලැබුනා හැබැයි අවුරුදු 12-13 පොඩි කොලුගැටයෙක් කාලේ.. ඒක දැන්මම ලියන්න බෑ.. අපේ කතාවලට සම්බන්ධ චරිත ජීවත්ව ඉද්දි.. අපි විශ්‍රාම ගනිද්දී ලියවෙන්න ඉඩ තියෙනවා..
    1. ආච්චි කෙනෙක් අහනවා දෙය්යනේ කොල්ලට මොකක හරි වුනොත් දැන ගන්නේ කොහොමද ? " ඇයි මේ කඩේ බිත්තියේ සුදු පාට තියෙන්නේ ? " කියලා සිහි විකල් වෙච්ච මා හිත ඇතුලෙන් කියවෙනවා..
    2. තදින් බ්‍රමණය වෙන මගේ හිස් ඇතුලේ පාලි ගාථාවක් කියවෙනවා . මට ඔක්කොම වහන් මතක නෑ .... " එකලත් භවන්... " කියලා කෑල්ලක් මතකයි.. මටත් පළපුරුද්දෙන්ම කියන්න පුළුවන් මරණාසන්න මේ වගේ සිද්ධි ඇත්ත කියලා..

    ReplyDelete
  16. කියන්න අමතක වුනා.. ආවඩා ආයුබෝ වේවා !!!

    ReplyDelete
  17. ඔයා බයවුනා නේද හැබැයි නැ කියලා බොරු කියන්න එපා දැන් මොකටද බය වුනේ

    ReplyDelete
  18. බලංගොඩ ආනන්ද හාමුදුරුවන්ගේ පොතක තිබුණ ඔයවගේ අත් දැකීමක්, ඒක නම් භආවනා කරද්දී උන දෙයක්. සරිරයෙන් සිත මිදීම, ඒ කියන්නේ නැවත ඉපදීමක්, පුනර්බවයක් තියනවා. oh my ගොට්....

    ReplyDelete
  19. මං අහල තියනවා පන යන්ඩ එනකොට බටයක් වගේ එකක් දිගේ ඇදිල යනව කියල තිබ්බ කෙලවර ආලෝකයක් තියන.. අනේ මන්ද...

    ReplyDelete
  20. If only nature can take its course swiftly and promptly.

    ReplyDelete
  21. රසික
    පරීක්ෂණ අනුව මේ තත්ත්වය ඇතිවීමට හේතුව කුමක්ද ( ඒ කියන්නේ හාට් ඇටෑක් එක) ? ඒ කාලේ ජීවන රටාවද ? (ඔබේ ආහාර ගැනීමේ රටාව වෙනස් කළ අයුරු පෙර ලිපිවල කියවීමට ලැබුනු නිසා)

    ReplyDelete
  22. යම් යම් අත්දැකීම් ලබනකොට අපි ශරීරය,ජීවිතය ගැන දරණ ආකල්ප මහ පුදුම විදිහට වෙනස් කරනවා..
    ජයවේවා..!!

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.