මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Thursday, 8 December 2016
පේරාදෙණිය සහ කැලණිය විශ්වවිද්‍යාල අතර දශක දෙකක සංසන්දනාත්මක අත්දැකීම් - Already outdated
මිණිවන් පී තිලකරත්න ලියූ "කන්දෙන් ලන්දට" නම් නවකතාවේ නම යොදා මා රසිකොලොජියේ පළ කළ "කන්දෙන් ලන්දට - මිණිවන් පී. තිලකරත්න, සරත් විජේසූරිය, ඒ.වී. සූරවීර සහ ලියනගේ අමරකීර්ති :: What's the issue with Sinhala language departments in Sri Lankan Universities?" නම් බ්ලොග් සටහන "ඉරිදා ලක්බිම" පුවත්පත සඳහා වර්ෂ 2009 ජූනි මාසයේ මා ලියූ ලිපියක සංස්කරණයක් විය.
මා ඒ ලිපියට අනුපූරක දෙවන කොටසක් ද ලියූ නමුත් එය එම පුවත් පතේ පළ වී තිබෙනු මම නොදුටුවෙමි. මේ ඒ දෙවන කොටස ඇසුරෙන් සැකසෙන බ්ලොග් සටහනකි.
මා මෙහි දී අදහස් කරන්නේ ලංකාවේ පැරණිතම විශ්වවිද්‍යාල ද්වයක් වන පේරාදෙණිය සහ කැලණිය පිළිබඳව සමාජයීය තොරතුරු බිඳක් මගේ සීමිත අත්දැකීම් ඔස්සේ සංසන්දනය කිරීමටයි.
උපහාස කතා කලාවේ ශූරයෙකු අභාවප්‍රාප්ත මහාචාර්ය මිණිවන් පී තිලකරත්න තමා සේවය කල කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය පසුබිම් කරගෙන ලියූ ඉහත සඳහන් "කන්දෙන් ලන්දට" නවකතාවේ කන්ද යනුවෙන් අදහස් කර ඇත්තේ ඔහු අධ්‍යාපනය ලැබූ කන්ද උඩරට පිහිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි. ලන්ද යන්නෙන් ඔහු පසුව සේවය කළ ලන්දේ පිහිටි කැලණිය විශ්වවිද්‍යාලය නිරූපණය කෙරුණි. පනහ දශකයේ අගභාගයේ දී විද්‍යාලංකාර (පසුව කැලණිය) විශ්වවිද්‍යාලය ඇරඹුණු සමයේ දී එහි සේවය සඳහා පැමිණි අය අතර පේරාදෙණිය සරසවියේ උපාධිධාරීන් සහ එහි සේවය කළ ආචාර්ය, මහාචාර්යවරුන් බොහෝ වූහ. කන්දේ සිට ලන්දට පැමිණි ඔවුන් ගේ කතාව මෙලෙස කන්දෙන් ලන්දට ලෙස නම් කර තිබුණි. මා ද එලෙස කන්දේ උගෙන ලන්දේ සේවයට පැමිණි අයෙක් මි.
මිණිවන් පී තිලකරත්න ගේ නවකතාවේ එන පනහ දශකයේ චරිත මෙන් ම, කන්දෙන් ලන්දට අනූව දශකයේ පැමිණි අය ද තරමක සංස්කෘතිකමය තිගැස්මකට ලක්වීම සාමාන්‍ය දෙයක් යයි මම සිතමි. මෙයට හේතු වෙන, සමහර විට සමාජ විද්‍යාත්මක වැදගත්කමක් ද තිබිය හැකි, කරුණු කිහිපයකි.
අවට පරිසරය, තුරු ලතා, ගොඩනැගිලි යනාදිය ගැන සලකන කල පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලංකාවේ විශ්වවිද්‍යාල අතර අසමසම (unique) වේ. එයට තවත් හේතුවක් වන්නේ, පේරාදෙණිය නේවාසික විශ්වවිද්‍යාලයක් වීමයි. උතුර, දකුණ, වම, දකුණ යනාදී රටේ සෑම දිශාවකින් ම පැමිණි ශිෂ්‍යයෝ, වචනයේ සැබෑ අරුතෙන් ම එක හැලියේ බත් කමින් තුන් හතර වසරක් මෙහි ජීවත්වෙති. ඔවුන් ගේ වාසය සඳහා අරුණාචලම්, රාමනාදන්, ජයතිලක, විජේවර්ධන, අක්බාර්-නෙල් යනාදී පුද්ගල නාමයෙන් අභිෂේක කොට තිබූ, නේවාසිකාගාර ශාලා යනුවෙන් පොදුවේ හැඳින්වෙන, සුවිසල් මහල් ප්‍රාසාද තනවා තිබේ. ඒවා ද, ඊට අමතරව ගොඩනගා තිබෙන සනාතන මන්දිරය ඇතුළු වෙනත් පොදු කාර්ය විශ්වවිද්‍යාල ගොඩනැගිලි ද, අධ්‍යයන පීඨ ගොඩනැගිලි සංකීර්ණයන් ද යනාදිය, ඓතිහාසික සිංහල ගෘහ නිර්මාණ ලක්ෂණයන් විදහා දක්වන පරිදි, අති විශාල වියදමක් දරා, අගනා නිමැවුමින් යුතුව සාදා ඇත.
මෙයට හේතු වී ඇත්තේ එවකට කොළඹ තිබූ ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියට ගෙනියන්නට පිඹුරුපත් සැකසුණේ කොරියන් යුද්ධයේ අතුරුඵලයක් ලෙසින් රබර් මිල ඉහළ යාම නිසා ශී්‍ර ලංකාවේ ආර්ථිකය ඉතා සවිමත්ව තිබූ සමයක වීම නිසා බව අසා ඇත්තෙමි.
රබර් බුබුල බිඳී යාමෙන් අනතුරුව රටේ ආර්ථිකය ක්‍රම ක්‍රමයෙන් දුර්වල වු නිසා, පසු කලෙක බිහිවුණු විද්‍යෝදය, විද්‍යාලංකාර යනාදී විශ්වවිද්‍යාල පේරාදෙණිය විශ්වවිද්‍යාලය තරම් ගාම්භීර මට්ටමෙන් සුවිසල් ලෙස ගොඩ නගන්නට නොහැකි වී ඇත. මෙනිසා කන්දෙන් ලන්ද ට එන්නෙකු ලන්දේ පිහිටා ඇති සාමාන්‍ය මට්ටමේ, පාසලක ස්වරූපය විදහා දක්වන, ගොඩනැගිලි දැක මුලින් ම පුදුමයට පත්වීමට නියමිත ය.
මා ලන්දේ විශ්වවිද්‍යාල භූමියට මුලින්ම පැමිණියේ මා කන්දේ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ උගන්නා කාලයේ අපේ ගාන්ධර්ව සභාවේ යම්කිසි කර්තව්‍යයක් සඳහා මා මිතුරු උදය සිල්වා ද සමගිනි. එදින ලන්දේ ශිෂ්‍ය ආපන ශාලාවට ගිය වේලේ, එයට අනුබද්ධව ඇති ලන්දේ ක්‍රීඩාගාරයේ ප්‍රමාණය දැක මම පුදුමයෙන් පුදුමයට පත්වීමි.
මා දැක පුරුදු කන්දේ ක්‍රීඩාගාරය කන්දේ අනෙකුත් ගොඩනැගිලි හා සසඳා බලන කල එහි ඇති එකම අවලස්සන ගොඩනැගිල්ලයි. මෙය පුදුමයක් නොවන්නේ, එය සුවිශේෂීව ගෘහ නිර්මාණය කරන ලද්දක් නොව ඇත්තට ම ගුවන් යානා නවත්වන අංගනයක් හෙවත් හැඟරයක් වීම නිසාය. එනිසාම, එය ප්‍රමාණයෙන් අති විශාල වේ. පැසිපන්දු පිටියක්, දැල් පන්දු පිටියක්, මේස පන්දු ස්ථාන කිහිපයක්, බැඩ්මින්ටන් පිටි කිහිපයක් සහ ජිම්නාස්ටික්, බර ඉසිලීම යනාදී කී්‍රඩා රාශියක් සඳහා මේ එකම ගොඩනැගිල්ල තුළ ඉඩ කඩ තිබේ.
ඒ හා සසඳන කල ලන්දේ ක්‍රීඩාගාරය කුරුමිට්ටෙක් බඳු විය. එය බැඩ්මින්ටන් පිටි දෙකක ප්‍රමාණයට සීමා වී තිබුණි.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ සම්පත් බෙදී යාමේ විෂමතාවය හෙවත් කැකිරි-කිරි සංකල්පය උසස් අධ්‍යාපන අංශයට ද පොදු බව මට එදා වැටහිණ.
මින් අනතුරුව ලන්දේ ප්‍රධාන ගොඩනැගිල්ලට ගිය මට දක්නට ලැබුණේ එක ම දෙමහල් ගොඩනැගිල්ලේ, ජීව රසායන විද්‍යාගාර ද, සිංහල ඈ මානව ශාස්ත්‍ර ආචාර්යවරුන් ගේ කාර්යාල ද එකිනෙකට යාබදව පිහිටා තිබෙන බවයි. කන්දේ නොව මා උසස් පෙළ උගත් ආනන්ද විද්‍යාලයේ පවා මෙවැනි නිශ්චල දේපල හිඟයක් නොතිබුණි. කැකිරි-කිරි වර්ගයේ විෂමතාවයේ සකී්‍රය බව තව දුරටත් සාධනය විය.
අද වන විට මේ තත්වය වෙනස් වී ලන්දේ ශාස්ත්‍ර, සමාජ විද්‍යා සහ කළමනාකරණ යනාදී පීඨ සඳහා වෙන් වෙන්ට ගොඩනැගිලි ඉඳීවී පවතී.
මෙයින් වසර ගණනාවකට පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට බැදුණු පසු මම එහි ශිෂ්‍ය ප්‍රජාවේ උප සංස්කෘතිය පිළිබඳව සුවිශේෂී නිරීක්ෂණ දෙකක් කළෙමි.
මින් පළමුවැන්න නම් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ කණ්ඩායම් වල සිසු සිසුවියන් එකිනෙකා අමතන්නේ අයියා, නංගී, අක්කා, මල්ලී ලෙස බවයි. පුද්ගල නාම වලින් එකිනෙකා ඇමතුවේ එකම වසරේ සිසු සිසුවියන් පමණි. බොහෝ විට ප්‍රාදේශීය මට්ටමේ පාසල් වල පවතින මේ චර්යා රටාව ඒ හරහා කැලණිය විශ්වවිද්‍යාලයට ද පැතිරෙන්නට ඇතැයි මම එකල සිතුවෙමි.
මේ තත්වය අර්ථ දැක්විය යුත්තේ පොදුවේ සිංහල සමාජය සතුව පවතින වැදගත් සාරධර්මයක් වන වැඩිහිටියන් ට ගරු කිරීමේ ආචාර ධර්මය හා සමාන්තරව ය. අප හොඳින් දන්නා පරිදි පුද්ගල නාමයෙන් පමණක් වැඩිහිටියන් ඇමතීම නොකටයුතු වේ. නමින් ඇමතිය යුත්තේ සම තත්වයේ අයට පමණි.
විශ්වවිද්‍යාල සිසුන් ද මෙසේ එක පවුලක් සේ තම තමන් හඳුන්වා ගැනීමේ ලොකු වරදක් නැති නමුත් මේ සමගම සහ මෙනිසා ම දැඩි ලෙස ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ අසමානත්වය තහවුරු වන බව කිව යුතුය. මිලිටරි පසුබිමක දී නම් මෙවැනි දෘඪ ව්‍යුහයක් අවශ්‍ය වෙන නමුදු විශ්වවිද්‍යාලයක් බඳු සමාජයක මෙය ඇතැම් විට පසුගාමී, සෘණ ප්‍රතිඵල ගෙන දෙන වාතාවරණයක් මැවීමට ද ඉඩ තිබේ.
ලන්දේ වග එසේ නමුත්, මා කන්දේ විශ්වවිද්‍යාලයේ උගන්නා සමයේ දී මෙලෙස අයියා, අක්කා, නංගී, මල්ලී යන ඇමතීමක් කිසි දිනක කර තිබුණේ හෝ අසා තිබුණේ හෝ නැත. ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ කණ්ඩායම් වල සිසුහූ එකිනෙකා නමින් ම ඇමතූහ. අධ්‍යයන කටයුතු සඳහා කාණ්ඩ බෙදීමේ දී සිසුන් ඔවුන් ගේ පෙළපත් නම අනුව ලයිස්තුගත කර තිබුණු බැවින් සිසුවියන් කෙසේ වෙතත් සිංහල සිසුන් බොහෝ විට එකිනෙකා අමතා ගත්තේ එම පෙළපත් නමිනි.
සම්ප්‍රදායානුකූල ලෙස නම් තබා තිබූ බහුතරයක් දෙමළ සිසුන් ගේ මුල් නම තම පියාගේ නම ද දෙවන නම තමා ට තබා ඇති නම ද වන නිසා, ඔවුන් ලයිස්තුගත වී තිබුණේ පොදු අච්චුවේ ලා සලකන විට පෙළපත් නම ලෙස පෙනෙන ඔවුන් ගේ සෑබෑ නමිනි. එනිසා දෙමළ සිසුන් බොහෝ විට ඔවුන්ගේ ම නමින් හැඳින්විණි.
කෙසේ වෙතත් මෙලෙස ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ සිසුන් තම තම නමින් එකිනෙකා ඇමතීම සැලකිය යුත්තේ සියලු දෙනා ම සමාන ය, සම මට්ටමේ ය යන සාධාරණ න්‍යාය අනුව විය යුතු නිසා මෙවැනි සහෝදරාත්මක වාතාවරණයක් පසුගාමී බාධකයට වඩා බොහෝ විට ප්‍රගතිශීලී ආශිර්වාදයක් වෙන බවට තර්කයක් ද ගෙන ආ හැක.
(මා එදා අනූව දශකයේ මුල් භාගයේ දී දැන නොසිටි කාරණයක් නම් මා උගත් කන්දේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සමාජය ද මේ ආකාරයේ අයියා-මල්ලී පරිවර්තනයකට බඳුන් වෙමින් පැවති බවයි. මා ඒ බව දැන ගත්තේ 2010 තරම් පසු කාලයක දී ය. මා මේ තත්වය අර්ථ නිරූපණය කරන්නේ හයිරංකාර-බලුගැත්තර තත්වයක් ලෙසයි!)
ලන්දේ විශ්වවිද්‍යාලයේ සේවයට පැමිණීමෙන් පසු මා තවත් මෙවැනි ම නිරීක්ෂණයක් කළෙමි. එනම්, එනම් ලන්දේ සිසු සිසුවියන් විශ්වවිද්‍යාලයේ අනෙක් සේවක පිරිස් සමග සමීප, කුළුපග සහෝදරාත්මක සම්බන්ධයක් ඇති බවයි.
උදාහරණයක් ලෙස, ශිෂ්‍ය ආපන ශාලාවේ සේවය කළ පිරිසට සිසුන් ඇමතුවේ අක්කා හෝ අයියා කියාය. සේවකයෝ ද, සිසු සිසුවියන් ට මල්ලී, නංගී කියා ඇමතූහ.
එයට සාපේක්ෂකව, කන්දේ විශ්වවිද්‍යාලයේ දී අප ගනුදෙනු කළේ මුදලාලි ලා සමගය. වෙනත් සේවකයින්ට ඇමතූවේ ඔවුන් ගේ නමිනි. ඇතැම් ළාබාල සේවකයෙකුට මල්ලී කියා ඇමතූව ද, එය සහෝදරාත්මක මල්ලී ඇමතුම නොව, එක්තරා මට්ටමක අධිපතිවාදී හඬකින් කරන අර ”මල්ලී...” ආකාරයේ ඇමතුම විය. ඒ අතර, මුදලාලි ද, සේවකයෝ ද සියලු දෙනා අප ඇමතුවේ ”සර්” කියා ය.
එහි දී, පන්ති පරතරය අකුරටම ක්‍රියාත්මක විය!
රසිකොලොජිස්ට්
ප/ලි
මා වසර දී 2009 ඉරිදා ලක්බිම පුවත් පත සඳහා ලියූ ලිපියේ මේ දෙවන කොටස රසිකොලොජියේ පළ කරන්නට සකස් කර තිබුණ ද, එය අතපසු වී ගිය අතර යළි සිහියට ආවේ සොඳුරු අතීීතයෙන් බිඳක් බ්ලොගයේ ලිපියක සඳහන් වුණු "ස්ටුඩන්ට් මහත්තයා" නම් යෙදුම නිසා ය.
(image: http://www.thepapare.com/university-of-kelaniya-vs-university-of-peradeniya-slug-rugby/)
Subscribe to:
Post Comments (Atom)
කොළඹ කැන්ටිමේ ඉන්න කළු අයියා කැම්පස් නොයන මාවත් හොඳට දන්නේ කැම්පස් එකේ යාළුවො ගොඩක් ඉන්න නිසයි. අපි එක්ක බොහොම හිතවත් ඔහු සිසුන්ව තේරුම් අරන් තියෙන බව පේනවා....
ReplyDeleteකාලයක් මා නිතර ම ගියා සෙනෙට් ගොඩනැගිල්ලේ යට තියෙන කැන්ටිමට නම්.
Deleteකෙසේ වෙතත්, පේරාදෙනියේ භෝජනාගර ආපන ශාලවේ මෙන් ම, අනෙක් විශ්වවිද්‍යාලවල කැන්ටින්වල හිටියේත් මුදලාලි ලා යි!
අයියා මල්ලී ආමන්ත්‍රණය හයිරංකාර-බලුගැත්තර තත්වයක් කියල කකාගෙ බ්ලොග්එක කියවද්දි හිතුනට දැං නං එහෙම නෑ. වෙනස්වීම් නැතිකරන්න අපට බෑ. ඒ වගේම මෙවැනි සංස්කෘතික සීන් එකපාර උගුල්ලා දාන්නත් බෑ.
ReplyDeleteවෙනස් වීම වෙනස් කිරීමත් වෙනස් වීමක් නේද?
Deleteඅයියා-මල්ලී කේස් නිසා සේවා ස්ථානවල ඇති වෘත්තීමය තත්වය පවා නැති වී යන බව සැලයි. ඒ ඇමතීමෙන් ම අයියා ලොක්කා වීම සහ මල්ලී සොක්කා වී ම ඇති වෙනචා.
ඉස්සර හිටියා කතන්දරකාරයා කියලා බ්ලොග්කාරයෙක්. අම්මප උගේ එක පෝස්ට් එකකට කමෙන්ට් තුන් හාරසීයක් වැටෙනවා. අන්න බ්ලොග්.
ReplyDeleteරසිකගෙ පෝස්ට් වලට දැන් වැටෙන කමෙන්ට් ගාන නම් අතේ ඇඟිලි ගානින් මනින්න පුළුවන්. ඒවයිනුත් වැඩි හරියක් ඇනෝ. ඇනෝ වලිනුත් වැඩි හරියක් රසිකම දාගන්න ඒවා. පව්.
හොඳ ප්‍රතිචාර ලැබෙන පෝස්ට් ලියන හැටි ගැන රසික කතන්දරකාරයාගෙන් වත් කුප්පියක් දා ගන්න.
අවවාදයට ස්තූතියි. ඔබටත් වළඳී ඇති රෝගයට මා නම් ඉක්මන් සුවය පතනවා.
Deleteමීට රසික
Delete@ Anonymous 8 December 2016 at 16:21
Deleteවෙනස් බ්ලොග් සමග මගේ බ්ලොගය සැසඳීමෙන් පළක් නැත!
ගිටාර් කෝඩ් වැනි විස්තර ඇති බ්ලොග් ගැර අන් සෑම බ්ලොගක් ම අසමසම () වේ. මා මේ බ්ලොග් එක පවත්වාඝෙන යන්නේ මට අවශ්‍ය දේ ලියා පළ කිරීමටයි. බ්ළොග් ලිපියකට කමෙන්ට්ස් අවශ්‍ය වෙන්නේ එහි ඇති අඩුපාඩුවක් පෙන්වීමට හෝ එහි අන්තර්ගතයට තවත් කරුණු එකතු කිරීමට පමණි.
මේ ලිපිය ද සම්බන්ධයෙන් ද කිව හැක්කේ එය ම ය.
මට වෙනත් බ්ලොග්කරුවන්ගෙන් කාලයෙන් කාලයට ඉගෙනීමට විවිධ දේ තිබීමට ඉඩ ඇති නමුත් අදට එහි ලොකු අවශ්‍යතාවයක් දැනට නැත.
ඔබේ කාරුණික අවධානය ගැන මගේ ස්තුතියි පිළිගන්න.!
අසමසම = unique
Deleteඒ වුණාට රසික කියවන අපටත් ලැජ්ජයිනෙ රසිකට කමෙන්ට් හතයි අටයි වුණාම. රසික නේද බ්ලොග් ලෝකයේ යාවජීව මහා පුරුෂයා?
Deleteඋසස් අධ්‍යාපනයේදී අයියා මල්ලි ආමණ්ත්‍රනය පටන් ගත්තෙ අසූ ගණන්වල මං හිතන්නෙ. පැතිරුනේ 90 ගණන්වල
ReplyDeleteසමාජ පිළිලයකි!
Deleteස්ටුඩන්ට් මහත්තයා , ස්ටුඩන්ට් ඩොක්ටර් කියන යෙදුම් වයිදය සිසුන් හඳුන්වන්න යොදා ගන්නවා මට ඇහිලා තියෙනවා.
ReplyDeleteඒ කාලේත් තිබුණා!
Deleteඅයියා-මල්ලී වාගේ අයියා-මල්ලී ....
ReplyDeleteසන්තෝසෙන් දුක සැප බෙදාගෙන ඉන්නවා නම් කමක් නෑ!
Deleteකන්ද මගහැර ලන්දට ආමි.
ReplyDeleteකන්දත් දැක ඇත...ලන්දත් දැක ඇත. ඇතුලුවීමට තරම් උගත්තේ නැත.
ReplyDeleteඅයියා, මල්ලි නම් වාතයක් වෙලා තියෙන්නේ. රූපවාහිනි සාකච්ඡාවලත් අයියලා, මල්ලිලා, අක්කලා, නංගිලා ඉන්නවා දැන් දැන්.
ඕක තමුන් ඔය වචන වලට දාන 'බර' අනුව නෙමෙයිද තීරණේ වෙන්නෙ?
ReplyDeleteජයවේවා..!!