Wednesday, 12 July 2017

කෙළින් මිනිහා! - In memory of Don Baldwin Kuruppu


දොන් බෝල්ඞ්වින් කුරුප්පු හෙවත් ඞී බී කුරුප්පු ලේඛකයා ගේ මරණය අසා මට ඇති වූයේ අමුතුම ආකාරයක, එනම් දුක වැඩියෙන් ද, ඒ අස්සේ තරමක හෝ සතුටක් ද එකට මිශ‍්‍ර වූ හැඟීමක් බව මුලින් ම පවසමි.

මෙල්බර්න් නගරයට පැමිණි දිනයක එක් වරක් හෝ ඔහු හමු වී මුහුණ බලා කතා කර තිබුණු නිසා ද, දින කිහිපයක් ම දුරකථනයෙන් ද කතා කර තිබුණු නිසා ද, ඊටත් වඩා වසර විස්සක් පමණ කාලයක් තිස්සේ ඔහු විසින් රචිත කොටස් කිහිපයකින් යුතු ඔහුගේ ජීවිත කතාව, පරිවර්තන සහ විවිධාකරායේ වෙනත් කෘති මෙන් ම, "කස්තිරම", "පූච්චානම්", "පූරනීතෙ", "ලියෝ රූ" යනා දී විවිධ මාසික පුවත්පත් කොළම් ද කියවා ඔහු සමග දැඩි සාහිත්‍යමය හිතවත්කමක් ද ඇති වී තිබුණු නිසා ද, ඞී බී කුරුප්පු ගේ මරණය ගැන මට අසා දුකක් ඇති වීම නම් පුදුමයක් නොවේ.

එහෙත් මේ මරණය ගැන ලැබුණු ආරංචිය මගේ සිතේ යම් ආකාරයක සතුටක් ද ජනිත කළේ ඇයි?

ඞීබී කුරුප්පු සාහිත්‍යධරයා විසින් ලියන ලද ලේඛන උනන්දුවෙන් කියවා ඇති, ඒ පිළිබඳ හොඳ ධාරණ ශක්තියක් ද ඇති අයෙකුට වැටහෙනු ඇති පරිදි, මගේ ඒ මද සතුටට හේතුව නම්, අපේ ආදරණීය ලේඛකයා මෙලොවින් නික්ම ගියේ තව දුරටත් මෙහි ඉඳීම අනවශ්‍ය බව තමන්ට හැඟුණු නිසා බව මා තරයේ විශ්වාස කරන නිසා ය.

ඔහු ලියූ එක ම ප‍්‍රබන්ධය ලෙස මා දන්නා "එක්තරා පේ‍්‍රම කතාවක්" කෙටි නවකතාවේ දී ඞී බී කුරුප්පු එහි ප‍්‍රධාන චරිතය වූ "සිරිල්" හරහා අපට පවසා සිටියේ එයයි.

අසනීපයෙන් සිටින මහලු ඥාතියෙකු බැලීමට රෝහලට යන සිරිල් (පිටු 46-47) රෝගියාගෙන් අහන්නේ "කොහොම ද? දැන් යන්න ලෑස්ති ද?" කියා ය. එතෙක් මේ ප‍්‍රශ්නයට කෙළින් මුහුණ නොදී සිටි ඥාතීහූ ද, ඔවුන් නිසා නිහඬව සිටි රෝගියා ද, සිරිල් ගේ ඒ මැදිහත් වීම නිසා පියවි ලොවට පිවිසෙන අතර, මහලු රෝගියා එදින රාත‍්‍රියේ සුව නින්දේ දී ම අවසන් ගමන යයි.

අප පෙර දිනක මෙහි ආවා නම්, මතු දිනක චුත වී යාමට ද නියමිත ය. එය අද විය හැක. හෙට විය හැක. වෙනත් දිනයක් විය හැක. මෙය අප හොඳින් ම දන්නා පරම සත්‍යයකි. එකම ප‍්‍රශ්නය වන්නේ, ඒ නික්ම යාම සිදුවන්නේ කොයි දින දැ යි අප කලින් නොදැන සිටීම පමණි.

මේ සම්බන්ධයෙන් මා සිතන්නේ අප තවත් එක් දිනක් වැඩිපුර ජීවත්වීම සඳහා දැරිය යුතු ප‍්‍රයත්නය, ඒ දිනය ජීවත්වීමෙන් අපට ලැබිය හැකි ප‍්‍රයෝජනයට වඩා වැඩි නම්, ඒ අමතර දිනය ජීවත්වීමෙන් පලක් නැති බවයි.

ඞී බී කුරුප්පු තමන් නික්ම යා යුතු ඒ දිනය තමන් ම තෝරා ගත්තා යැයි සිතන්නට මා කැමති ය. එය ඔහුට කරන ගෞරවයක් ලෙස මම සලකමි.

දැන් මදක් අතීතයට යමු.

මීට දශක දෙකකට පමණ පෙර මා මෙල්බර්න් නගරාසන්නයේ ජීවත් වූ සමයේ එක් ඉරිදාවක සිංහල ගුවන්විදුලි සේවයකින් ඇසුණු පුවතක් වූයේ මෙල්බර්න් හි වෙසෙන ලේඛකයෙකු "ලංකාවක් වගේ පුංචි" නමින් ග‍්‍රන්ථයක් රචනා කර ඇති බවයි. මේ ලේඛකයා යනු, මා අටවෙනි ශ්‍රේණියේ පමණ ඉගෙනුම ලබන කාලයේ ත්‍යාගයක් ලෙස ලැබී කියවා, දිගින් දිගටම රස විඳි, "මැංචෝසන් චාරිකා" නම් අපුරු ග‍්‍රන්ථයේ පරිවර්තකයා බව දැනගත් විට මට ඔහු ගේ මේ අලූත් කෘතිය කියවන්නට ආශාවක් ඇති විය. දින කිහිපයකට පසු මා එය ක්ලේටන් හි පිහිටි ”ඒෂියන් ෆුඞ් සෙන්ටර්” කඩයෙන් මිලට ගනිද්දී, මට කලින් භාණ්ඩයක් මිලට ගෙන කඩයෙන් නික්ම ගිය පුද්ගලයා පෙන්වමින් එහි සිටි පද්මිණී මා සමග කීවේ ඒ පිටව ගියේ මා මිලට ගන්නා "ලංකාවක් වගේ පුංචි" කෘතියේ රචකයා බවයි.

එදා එලෙස "කෙස් ගසෙන් මිස් වුණු" ඔහු සමග මුහුණට මුහුණ දී කතා කිරීමේ අවස්ථාව අවසානයේ දී මට ලැබුණේ ඉන් වසර දොළහකටත් වඩා ගෙවුණු පසුව 2010 මැයි මාසයේ දී ජගත් ජේ එදිරිසිංහ ගේ "ඉස්කෝලේ කාලේ" කෘතිය (සහ තවත් නිර්මාණ) දොරට වැඩූ අවස්ථාවේ දී ය.

නමුත්, ඒ වන විට මා ඔහු ගේ ස්වයංචරිතාපදානයේ කොටසක් වන "හැන්දෑවට පායන හිරු" සහ වෙනත් කෘති කිහිපයක් ද කියවා තිබුණු අතර, මා දැන් වාසය කරන සිඞ්නි නගරයේ සිට ඔහු සමග දුරකථනයෙන් ද කතා බහ කර තිබුණු නිසා ඒ හමුවීමේ තිබුණේ හොඳ හුරු පුරුදු බවකි.

එසේ ම, ඒ කාලය වන විට සන්නස සඟරාවට විවිධ ලිපි ලියමින් සිටි මගේ අංකුර ලේඛක ජීවිතයේ එක් සන්ධිස්ථානයක් වූයේ තමා විසින් ලියන ලද "සරල සිංහල වියරණ විධි" නම් ග‍්‍රන්ථයේ පිටපතක් ඞී බී කුරුප්පු විසින් මගේ නිවසට තැපෑලෙන් එවනු ලැබීමයි. මා සන්නසට ලියමින් සිටි "පමා නොවී එමි අකුරට" තීරු ලිපි මාලාව තමන් ආශාවෙන් කියවන බව ද කියවෙන සටහනක් ද ඒ සමග එවන්නට තරම් ඔහු නිහතමානී වී තිබුණි.

ඊළඟට ඔහු කළේ, ඒ ආකාරයේ ම ලිපි මාලාවක් පහන සඟරාවට ද ලියන්නට හැකිදැයි හේමමාලා හේරත් හරහා මගෙන් විමසීමයි. ඒ අනුව මා ලියූ "කොලූ කාලේ" ලිපි මාලාවේ සෑම කොටසක් ම, ඔහු විසින් කියවා බලා අනුමත කළ බව මම දනිමි.

එපමණක් නොවේ, එතැන් පටන් ඔහු විසින් ලියා මුද්‍රණය වූ කෘති විශාල සංඛ්‍යාවක් ද ඞී බී කුරුප්පු ලේඛකයා විසින් මට ත්‍යාග ලෙස තැපෑලෙන් එව්වේ ය. ඒ අතරට ඔහු කළ විශිෂ්ටත ම පරිවර්තනය වූ "අර්බත් දරුවෝ" නම් දීර්ඝ නවකතාවේ කොටස් හත ම ඇතුළත් වීම සුවිශේෂී වේ.

විශ්ව සාහිත්‍ය පරිවර්තන කෘති සහ තම අත්දැකීම් ඇසුරෙන් ලියන ලද කතාංග සහිත ග‍්‍රන්ථයන්ට අමතරව, ඞී බී කුරුප්පු ලේඛකයාගෙන් විශේෂයෙන් ඕස්ටේ‍්‍රලියානු සිංහල සමාජයට ලැබුණු වැදගත් ම ලේඛන දායාදය වූයේ තමන් ගේ දශක අටක ජීවිතය මෙන්ම, එයින් මෙල්බර්න් නුවර ගත කළ කාලයේ දී කරනු ලැබූ සූක්ෂම සමාජ නිරීක්ෂණ ඇසුරෙන් ලියන ලද තීරු ලිපි මාලා ය.

ඒ ලිපිවල ගැබ්වූ දේශපාලන අදහස් නිවහල් ය. සමාජමය නිරීක්ෂණ නිරවුල් ය. අන්තර්ගතය මෙන් ම ඉදිරිපත්කිරීම ද සැම අතින් ම විශිෂ්ට ය. වරද දුටු තැන කිපී ඔහු ලියන දේ සෑම විට ම එක එල්ලේ දිවෙන හී සර මෙන් දරුණු ය. අතිශය උපහාසාත්මක ය.

මෙහි ලා, සඳහන් කළ යුතු වැදගත් කාරණයක් නම්, අපේ ආදරණීය ලේඛකයා ගේ ලේඛන කලාවේ තිබූ එක් අද්විතීය ලක්ෂණයක් වූයේ තමන්ට කිව යුතු දෙය, කවරෙකුට රිදෙයි ද, කවරෙකු අමනාපවේ ද යන්න නොව, තම අදහස පැවසීමේ ඇති වැදගත්කම පමණක් සලකා, එක එල්ලේ ලිවීම බවයි.

ලේඛන කලාව පිළිබඳව මා ඔහුගෙන් උගත් හොඳ ම පාඩම ද එයයි.

ඞී බී කුරුප්පු විසින් ලියන ලද "කපුටන්ට ආප්ප අරගෙන දීම" නම් ලිපිය නිසා කෝප වී ලංකාවේ පුරුද්දට ඕස්ටේ‍්‍රලියාවේ ලේඛකයින්ට තර්ජනය කළ රාජපුරුෂයින් ගේ නිරුවත පසුව හෙළි වූ බව අපි දනිමු. ඔවුන් පමණක් නොව, විවිධ අවස්ථාවල විවිධ පටු අරමුණු සහිතව මාධ්‍ය සංදර්ශන පවත්වනවුන් ගේ ද, ලංකාවෙන් මෙහි පාත්වන සාහිත්‍යධරයන් යැයි කියා ගන්නා උදවියගේ ද, සිවුරු පොරවාගත් පුද්ගලයින් ගේ ද, සැබෑ ප‍්‍රතිබිම්බය හෙළි කිරීමට ඔහු ගේ ලිපිවලට හැකිවිය. ඔහුට වැරදුණු තැනක් වුණි නම්, ඒ ඕස්ටේ‍්‍රලියානු මෑත දේශපාලන ඉතිහාසයේ එක් කඩඉමක් අරඹයා "ලේතමාගමනය" නමින් ලියවුණු ලිපිය පමණක් බව මගේ අදහසයි.

ඞී බී කුරුප්පු හා මගේ සාහිත්‍යමය මිත‍්‍රත්වය ගැන සිතන විට මගේ සිතට දුකක් ඇතිවන එක් කාරණයක් ඇත. ඔහු මට එවූ වෙළුම් හතකින් යුතු "අර්බත් දරුවෝ" දීර්ඝ නවකතාව කියවීම ඇරඹීමට ම මට වසරක් පමණ කල් ගත විය. එය සහමුලින් ම කියවා අවසාන කිරීමට මට ඊටත් වඩා කාලයක් ගත විය. මා ඔහු ලියූ "දානයේ ආනිසංස" නම් වූ කෘතිය පිළිබඳව හැකි පමණින් විචාරයක් ලියූ අතර එය සන්නස පුවත්පතේ ම පළ වූ නමුත්, මේ අති දීර්ඝ "අර්බත් දරුවෝ" පිළිබඳව මට එසේ කිසිවක් කළ නොහැකි විය. පසුව, ඞී බී කුරුප්පු විසින් ම ලියන ලද ලේඛනයකින් මා දැන ගත් පරිදි, ඔහු තමන්ගේ ඒ ප‍්‍රශස්ත ම පරිවර්තනයේ පිටපත් යවා ඇත්තේ ඕස්ටේ‍්‍රලියාවේ සිට ලියන කියන අප කාගේත් සිහිනයක් වන සිංහල සාහිත්‍යය ලෝකයට විවර කිරීමේ ශක්‍යතාවය ඇතැයි ඔහු සිතන අයට ය. දිගු කලක් ගතවීත්, ඒ කිසිවෙකු අඩු වශයෙන් ඒ පොත් කියවූ බව හෝ සඳහන් නොකිරීම ඔහු ගේ කනස්සල්ලට හේතු වී තිබුණි. වහා දුරකථනයෙන් ඔහු ඇමතූ මම, කාලයක් ගත වූවද, තවත් තිදෙනෙකු ද, මා ද ඒ පොත් සියල්ලම කියවූ බව පවසා සිටියෙමි. පසුව, සිඞ්නි නගරයේ විකාශයවන මධුර සිංහල ගුවන් විදුලි වැඩ සටහනේ දී මා ඒ පොත් පිළිබඳව යම් හැඳින්වීමක් කළෙමි.
ඒ ගුවන් විදුලි හඬපටය සොයා ඔහුට තැපෑලෙන් යවන්නෙමි යැයි සිතා සිටිය ද, එය අවසානය දක්වාම කළ නොහැකි වීම, මා පෙර සඳහන් කළ දුකට කාරණයයි.

මේ ලිපියේ ඉහළින් ම මා, ඞී බී කුරුප්පු ලේඛකයා හඳුවා දී ඇත්තේ "කෙළින් මිනිසා" යනුවෙනි. ඒ ඔහු තමන් ලියූ සෑම මාතෘකාවක් ගැනම තම අවංක අදහස එක එල්ලේ පවසන්නට මැලි නොවූ අයෙකු බව මා නිරීක්ෂණය කර ඇති නිසා ය.

මේ සඳහා මා දුටු මෑත කාලීන උදාහරණයක් වන්නේ, මේ වසරේ මාර්තු මාසයේ දී මෙලොව හැර ගිය සේනාධීර පියසේන ජ්‍යෙෂ්ඨ ලේඛකයා පිළිබඳව "පහන" සඟරාවේ අප‍්‍රියෙල් කලාපයට ඞී බී කුරුප්පු ලියූ ලිපියේ අවසාන කොටසයි.
"නොබෝ දා උත්සවාකාරයෙන් දොරට වැඩම වූ ආචාර්ය රනිල් වික‍්‍රමසිංහ ගේ චරිතාපදානය ගැන ඇසූ මට හිතුණේ එස් පියසේන වැනි වියතෙකු ගේ චරිත කතාව දේශපාලකයෙකු ගේ හෝ ආගමික නායකයෙකු හෝ කතාවට වඩා රටටත් ජනතාවටත් වැඩදායක නොවන්නේ ද යන අදහස ම ය. මා තුළ හටගත් ඒ කාංසාව දුරු කිරීමට සමත් සත්ක‍්‍රියාවක් පෙබරවාරියේ ශ‍්‍රී ලංකාවට ගිය ”සිහ නඳ” සංස්කාරක විල්ෆ‍්‍රඞ් සිරිවර්ධන විසින් කියනු ලැබී ය.

මාධ්‍යවේදී දයා ලංකාපුර අල්ලාගෙන තමා පියසේන චරිතාපදානය සම්පාදනය කිරීමේ වගකීම ඔහුට පැවරීම ය ඒ. ඒ පොතේ පිටපත පියසේන මහතා මිය යාමට පෙර අනුමත කිරීම ද අපේ වාසනාවක් ම ය.

ලක්ෂ්මන් වික‍්‍රමසිංහ පියතුමාගේ ඥාතිපුත‍්‍ර බෞද්ධ ලේඛක රනිල් වික‍්‍රමසිංහ ගැන ලියූ චරිත කතාවට ඇතුළත් නොවූ නම් දෙකක් ඇති බව මට කිව හැකි ය. 'බටලන්ද' සහ 'ගෝනවල සුනිල්' යන මේ දෙක ය.

චරිත කතාවකින් පලක් ලද හැක්කේ හොඳ නොහොඳ දෙකම විග‍්‍රහයට ලක් කළහොත් පමණි."
අපේ ආදරණීය ලේඛක ඞී බී කුරුප්පු, "කෙළින් මිනිහා", තමන් ගේ ජීවිත කතාව කොටස් කිහිපයකින් ලියා පළ කොට ඇති බව අපි දනිමු. මුලින් සකස් කළ අත්පිටපත් සැර වැඩිය කියා ඉවතට දමා අලූතෙන් ම ලියා තිබුණ ද, රනිල් වික‍්‍රමසිංහ ගේ පළ වූ චරිතාපදනය මත පදනම්ව, ඉදිරියේ දී පළ වීමට නියමිත සේනාධීර පියසේන ගේ චරිතාපදානය සඳහා අවවාදයක් ලෙස ඞී බී කුරුප්පු ලේඛකයා පවසා ඇති ඉහත සඳහන් ඒ වැදගත් කාරණය, එනම් චරිත කතා ලිවීමේ දී හොඳ නොහොඳ දෙකම එක සේ විග‍්‍රහ කළ යුතු බව සහ "බටලන්ද", "ගෝනවල සුනිල්" වැනි නම් සැාගවිය නොයුතු බව, තම ස්වයංචරිතාපදාන ග‍්‍රන්ථකරණයේ දී ඔහු ම අනුගමනය කරන්නට ඇතැයි මම සිතමි.

ඔහු ගේ අභීත රචනා ශෛලියට කවදත් දැඩි කැමැත්තක් දැක් වූ මට, ඞීබී කුරුප්පු ගැන ලියවෙන මේ ලිපියට එසේ ඇතුළත් නොකර සිටිය නොයුතු නම් දෙකක් නොව එකක්වත් සිතා ගත නොහැකි වූ බව අවසාන වශයෙන් පවසමි.

-රසික සූරියආරච්චි

සන්නස මාසික සඟරාව සඳහා ලියූ ලිපියකි.
1. http://sannasa.sinhalajukebox.org/2017/Jul/2017Jul_page39.pdf
2. http://sannasa.sinhalajukebox.org/2017/Jul/2017Jul_page41.pdf

6 comments:

  1. රසික සූරියආරච්චි විසින් ලියන ලද බ්ලොග් ලේඛන උනන්දුවෙන් කියවා ඇති, ඒ පිළිබඳ හොඳ ධාරණ ශක්තියක් ද ඇති අපටද වැටහෙන්නේ රසික දැන් ජිවිතුන් අතර සිටියා ඇති කියාය. කුරුප්පු ගියාක් මෙන් රසිකද මියයන්නේ නම් සතුටට කාරණයකි.

    ReplyDelete
    Replies
    1. නියමයි!

      කුරුප්පු මිය ගියා සේ මිය යාමට ඇති නම් ඉතා හොඳයි. ඒ අනුව මට පරිවර්තන, කෙටිකතා සංග්‍රහ, විවිධ ශාස්ත්‍රීය පොත්, ළමා පොත් යනාදී වශයෙන් පොත් පනහක් පමණ ලිවිය යුතු වන අතර වයස අවුරුදු 90 ක් ද ජීවත් වීමට සිදුවේ.

      මට වයස 90 ක් වන වී මිය යන ආරංචිය අසා අද ඔබ ප්‍රාර්ධනා කරන විලසින් සතුටට පත්වීමට ඔබ ජීවත්ව සිටීවා යැයි මම ඉත සිතින් පතමි!

      Delete
    2. මොලේ කොලොප්පන්ද රසික. ඔහෙට කවදාවත් කුරුප්පු වෙන්න බෑ. රසිකගේ ලිවිල්ල දැන් ඇති. රසික අද හෙටම මැරිලා යනවා නං එය ඉතාම ප්‍රීතියට කාරණාවක් කියලා සදහන් කරලා තියෙන්නේ.

      Delete
    3. මට අකල් මරණයක් පතන ඔබේ සිත කෙතරම් ක්‍රෝධයෙන්, ද්වේශයෙන් සහ වේදනාවෙන් පිරී ඇති දැයි මට සිතා ගත නොහැක.

      මගේ ලිපිේ‍රන් පහත උපුටනය ගෙන හැර දක්වන්නේ එය කමටහනක් කරගෙන සිත සන්සුන් කර ගන්නා ලෙස කරුණාවෙන් කරන ඉල්ලීමක් ද සමගිනි.

      ඔබට ඉක්මනින් මානසික සුවය ලැබී සිත සතුටෙන් පිරේවා කියා ද පතමි.

      /* අප පෙර දිනක මෙහි ආවා නම්, මතු දිනක චුත වී යාමට ද නියමිත ය. එය අද විය හැක. හෙට විය හැක. වෙනත් දිනයක් විය හැක. මෙය අප හොඳින් ම දන්නා පරම සත්‍යයකි. එකම ප‍්‍රශ්නය වන්නේ, ඒ නික්ම යාම සිදුවන්නේ කොයි දින දැ යි අප කලින් නොදැන සිටීම පමණි.

      මේ සම්බන්ධයෙන් මා සිතන්නේ අප තවත් එක් දිනක් වැඩිපුර ජීවත්වීම සඳහා දැරිය යුතු ප‍්‍රයත්නය, ඒ දිනය ජීවත්වීමෙන් අපට ලැබිය හැකි ප‍්‍රයෝජනයට වඩා වැඩි නම්, ඒ අමතර දිනය ජීවත්වීමෙන් පලක් නැති බවයි. */

      Delete
    4. සිංහල බ්ලොග් වල ජනප්‍රියම බ්ලොගය ලෙස සම්මාන ලැබූ මාතලන් බ්ලොග් කරු ඊයේ දිනයේ ( 2017 ජුලි 12) කියා සිටින්නේ රසිකලොජි සමඟ කතන්දරකාරයා මිය ගියා කියාය. ඇත්තටම බැලුවොත් රසික දැන් මැරිලා තමයි. ඒත් රසික තාම දන්නේ නෑ එයා මැරිලා කියලා.

      මාතලන්ගේ ලිපියට මෙතනින්

      Delete
  2. සුභ ගමන් ඩීබී

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.