Tuesday, 5 July 2016

ඕස්ට්‍රේලියාව පැත්තේ මොකද වෙන්නේ ඕයි? - Can you really hang the Parliament?


මා වෙසෙනා ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් රජය පිහිටුවීම සඳහා සෑම වසර තුනකට ම වරක් පැවැත්වෙන මහ ඡන්දය පසුගිය සෙනසුරාදා පැවැත්වුණි. ශ්‍රී ලාංකික ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසියෙකු වන මට ද ඡන්දය බලය හිමි ය.

මා ඡන්දය දීමට ඡන්ද මධ්‍යස්ථානයට ගියේ සවස පහට පමණ නමුත්, ඒ බව විට ද, රථ ගාල පිරෙන්නට පිරිස් එහි සිටි අතර, විනාඩි දහයක පමණ පෝලිමක සිටින්නට ද සිදුවිය.

"පෝලිමේ මැද සිටියට පාඩු වෙනවද?" යැයි සිතමින් මා එහි රැඳී සිටියේ ඕස්ට්‍රේලියාවේ ඡන්දය දීම අනිවාර්ය නිසා (එනම් ඩොලර් පනහක දඩයෙන් ගැලවෙන්නට) නම් නොවේ. "ප්‍රජාතට්ටරත්කරනාවාදයේ" අනිවාර්ය ක්‍රියාකාරකමක් වන ඡන්ද විමසීම්වලට මා අතිශයෙන් ප්‍රිය කරන නිසා ය.

මාස දෙකක් ඇදී ගිය මෙවර ඡන්ද කාලය පිළිබඳව මෙහි වෙසෙන පණ්ඩිතයින් මෙන්ම ඇවරේජ් පන්ටරස්ලා හෙවත් පොදු ජනයා ද පවසා සිටියේ "ටූ ලොන්ග්, ටූ ඩල්, ටූ බෝරිං!" කියා වුව ද, මට නම් එය එසේ නොවිණි. ඡන්ද ව්‍යාපාරයේ හැම දිනයමක පාහේ රසවත් සිදුවීම් වාර්තා වුණු අතර, ඒ ගැනම සුවිශේෂී රූපවාහිනී විකට වැඩ සටහන් ද නිර්මාණය කෙරුණි.

සාමාන්‍යයෙන් මා දැක ඇති ඕස්ට්‍රේලියානු ඡන්ද විමසීම්වලදී, සවස හයට ඡන්දය දීම අවසාන වූ විගස, ඒ ඡන්ද ගණං කිරීම ඇරඹෙන අතර, ඡන්ද පොළෙන්, ඡන්ද පොළට ලැබෙන ඡන්ද එකතු කර ප්‍රවණතා අධ්‍යයනය කරමින්, පසුගිය මැතිවරණවල ප්‍රතිඵල සහ පක්‍ෂ මෙන්ම අපේක්‍ෂකයින් අතර ඇති සම්මුතීන් ද සැලකිල්ලට ගෙන අවසාන ප්‍රතිඵලය හැකි විගස පුරෝකථනය කරනු ලැබේ.

මා මින් පෙර ලියූ ලිපියක ද සඳහන් කළ පරිදි, ඡන්දය දා, සවස 7:30 පමණවන විට දිනන්නේ කවුද යන්න බොහෝ දුරට පැහැදිලි වේ. රාත්‍රී දහය පමණවන විට, ප්‍රධාන පක්‍ෂ දෙකෙන්, පැරදෙන පිළේ නායකයා පරාජය භාර ගනිමින් කතා කරන අතර, ඊට මද වේලාවකට පසු නව පාර්ලිමේන්තුවේ අගමැති වීමට නියමිත පුද්ගලයා තම ජයග්‍රාහී කතාව කරයි.

මධ්‍යම රාත්‍රිය පසුවෙනවාත් සමගම සියලු දෙනා නිවෙස් බලා යන අතර, නැවත ඡන්ද ගැනීමේ ක්‍රියාවලිය ඇරඹෙන්නේ පසුවදා එනම් ඉරිදා ය, නැතිනම් ඇත්තටම සඳුදා ය.

මෙවර ඒ සියලුම දේ අන්ජ-බජල් විය!

ඡන්ද දිනය නිමවූයේ කිසිදු පිළකට බලය ලැබෙන බව නිශ්චිතව කීමට නොහැකි තත්වයක් තුළ ය. එනම් ප්‍රධාන පක්‍ෂ දෙක බොහෝ ආසනවල දී කරට කර තරගයක යෙදෙමින් ඡන්ද ලබා තිබීමයි. තුන්වෙනි බලවේගවලට බලාපොරොත්තු වූවාට වඩා ඡන්ද ලැබී තිබීම ද මෙයට එක් හේතුවක් වී ඇත. යළි ඡන්ද ගැනීම ආරම්භ වීමට නියමිතව ඇත්තේ අඟහරුවාදා උදෑසන ය.

අද මේ ලිපිය සංස්කරණය වන මොහොතේ ප්‍රකාශිත ඡන්දවලින් 78% පමණ ගැනීම නිමවී ඇති අතර පාර්ලිමේන්තුවේ ආසන 150 අතරින් බලයේ සිටි සන්ධානය නිශ්විතව ලබා ගන්නට යන්නේ ආසන 67 කි. විපක්‍ෂයේ ප්‍රධාන පක්‍ෂයවන කම්කරු පක්‍ෂය දැනට ආසන 66 ක් නිශ්විතව දිනන බව පෙනේ. ආසන පහක් වෙනත් පක්‍ෂ සහ ස්වාධීන අපේක්‍ෂකයින් විසින් දිනා ගැනීමට නියමිතය. ඉතිරි ආසන දහය පිළිබඳ කිසිදු නිගමනයකට තවමත් එළැඹිය නොහැකි බව කියවේ.

අද ප්‍රධාන වශයෙන්ම ගැනෙනු ඇත්තේ, තැපැල් ඡන්ද වන අතර, ඒ අතරින් වැඩි කොටස හිමිවෙනු ඇත්තේ ලිබරල්-නැෂනල් සන්ධානයට නිසා, ඔවුන්ට ආණ්ඩුව පිහිටුවීමට අවශ්‍ය අවම බලය වන ආසන 76 ක් දිනා ගැනීමට හැකිවෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

එවැනි බහුතරයක් නැති ආණ්ඩුවක් ඉතා අස්ථිර එකක් වනු බවට සැකයක් නැත. ආණ්ඩුවට සහය දී, තමන් ගේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට ද, සුළුතර පක්‍ෂ සහ ස්වාධීන මන්ත්‍රීවරුන්ට හැකි වෙනු ඇත.

මා හිතවත් ජගත් බණ්ඩාරට සෙනෙට් සභාවෙන් ජය හිමිවේදැයි නිශ්විතව දැන ගැනීමට තවත් දින කිහිපයක් ම ගතවෙනු ඇත. කෙසේ නමුත්, අපේ ප්‍රාන්තය තුළ, ඔහු නියෝජනය කළ කම්කරු පක්‍ෂයට හිමිවීමට නියමිත සෙනෙට් සභික ස්ථාන හතරක් වැනි සංඛ්‍යාවක් නිසා පක්‍ෂ ලයිස්තුවේ පිළිවෙළට අනුව නම් ඔහුට සෙනෙට් පුටුවක් හිමි වෙනු ඇතැයි නොසිතේ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඕස්ට්‍රේලියානු දේශපාලනය පිළිබඳව මා ලියා ඇති ලිපි කිහිපයක් මෙන්න.

1. ඕස්ට්‍රේලියාවේ ඡන්ද ගැන කෙටි සටහනක් - A brief note on Australian Elections :: http://rasikalogy.blogspot.com/2014/11/brief-note-on-australian-elections.html

2. ලංකාවේත්, ඕස්ට්‍රේලියාවේත් දෙරටේ ම ඡන්දය ඉල්ලන දේශපාලන පක්‍ෂයක්? - Socialist Equity Party :: http://rasikalogy.blogspot.com/2015/03/blog-post.html

3. ඊයේ මා ඡන්දය දුන් හැටි (ඡායාරූප සහිතයි) - How I voted yesterday :: http://rasikalogy.blogspot.com.au/2015/03/how-i-voted-yesterday.html

4. ඕස්ට්‍රේලියාවේ පිස්සු ප්‍රශ්නය - හිනා ගොස් පණ යෑමට ඉඩ ඇත! - What a joke! :: http://rasikalogy.blogspot.com/2015/08/what-joke.html

5. වත්මන් ඕස්ට්‍රේලියානු දේශපාලන පක්‍ෂ මා දකින අයුරු - Political parties in Australia :: http://rasikalogy.blogspot.com/2015/08/political-parties-in-australia.html

6. හෙලිකොප්ටරෙන් පක්‍ෂ රැස්වීමට ගිය කතානායකට තනතුරෙන් ඉල්ලා අස්වෙන්න සිදුවේ - Good riddance :: http://rasikalogy.blogspot.com/2015/08/good-riddence.html

7. ජගත් බණ්ඩාර ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට යවමු - Message for those who live in NSW, Australia :: http://rasikalogy.blogspot.com/2016/06/message-for-those-who-live-in-nsw.html

8. මැල්කම් ටර්න්බුල් ද, බිල් ෂෝටන් ද? මොකා දිනුවත් අපට මොකද? - A note on Australian federal election - 2 July 2016 :: http://rasikalogy.blogspot.com/2016/07/note-on-australian-federal-election-2.html

(image: http://www.portnews.com.au/story/4006208/what-to-expect-from-a-hung-parliament-in-australian-federal-election/?cs=256)