Monday, 9 May 2016

ජෙප්පන්, පෙරටුගාමීන් සහ නවකවදය - A challange to Premakumar Gunaratnam


අද ලංකාවේ විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය දේශපාලනයේ වැඩි බලය ඇතැයි සැලකෙන පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයට අනුබද්ධ ශිෂ්‍ය සංවිධානය විසින් විශ්ව විද්‍යාලවල නවක ශිෂ්‍යයින් සඳහා අමානුෂික ලෙස නවකවදය සංවිධානාත්මකව සිදු කරන බවට මතයක් අද සයිබර් අවකාශය සහ වෙනත් මාධ්‍ය හරහා පැතිර ගොස් ඇත.

සමහර තැන්වල මේ දෝෂාරෝපණය ජනතා විමුක්ති පෙරමුණට ද එල්ල වේ.

මට නම් මෙය පිළිගැනීමට අසීරු, තර්කානුකූල නොවන හතර බීරි කතාවකි. ඒ සමගම, මේ කෙරෙන චෝදනාව මිස, එය සැකයකින් තොරව ඔප්පු කෙරෙන සාක්‍ෂි සහිත කිසිම ලියවිල්ලක් මා නම් මෙතෙක් දැක නැත.

මේ ලිපිය ලියන්නට සිතුණේ මේ කාරණය ගැන මගේ අදහස් කියා, එයට ප්‍රතිවිරුද්ධ තර්කානුකූල අදහස් හෝ සාක්‍ෂි තිබේනම් ඒවා ගැන දැන ගැනීමේ අරමුණ ඇතිවයි.

මුලින් ම කිව යුතු කරුණු දෙකකි.

විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී නවකවදයට ලක් වී ඇති වුවද, කිසිදා නවකවදකයෙකු නොවුණු මා, කිසිසේත් ම නවකවදයට පක්‍ෂපාතී අයෙකු නොවේ. නවකවදය සම්බන්ධයෙන් මා කර ඇති එකම වරද, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකු ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මා ගත කළ වසර තුනේ දී, නවකවදයට විරුද්ධව කිසිදු ප්‍රායෝගික පියවරක් පුද්ගලිකව හෝ සංවිධානාත්මකව නොගැනීමයි.

දෙවෙනි කාරණය නම්, මා ලංකාවේ විශ්ව විද්‍යාල කටයුතුවලින් නෛතිකව ඉවත් වී වසර දාසයක් ද, ප්‍රායෝගිකව ඉවත් වී වසර විස්සක් ද ගත වී ඇති නිසා, නවකවදය පිළිබඳ මගේ මූලික අත්දැකීම් මේ වන විට යල් පැන ගොස් ඇති ඒවා වීමට හොඳට ම ඉඩ ඇති බවයි.

එසේ වෙතත්, මගේ තර්කය නම් යල් පැන යන ආකාරයේ එකක් නොවේ.

මගේ තර්කය මෙයයි.

තම දේශපාලන ව්‍යාපාරය කෙරෙහි විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් ගේ ප්‍රසාදය වැඩි කර ගැනීමට සහ තම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සංවිධානය කෙරෙන විවිධාකාර ක්‍රියාකාරකම් සඳහා ඔවුන් ගේ සහයෝගය ලබා ගැනීමට නම්, ජවිපෙට හෝ පෙසපෙට හෝ අනුබද්ධ විශ්ව විද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම් විසින් කළ යුත්තේ විශ්ව විද්‍යාලවල ඇති යැයි පැවසෙන නවකවදයෙන් ශිෂ්‍යයින් මුදවා ගැනීමයි.

එසේ නොමතිව, සංවිධානාත්මකව පළමු වසර ශිෂ්‍යයින්ට නවකවදය ලබාදීමට ජවිපෙට හෝ පෙසපෙට හෝ අනුබද්ධ විශ්ව විද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම් ක්‍රියා කරයි නම්, එයින් සිදුවන්නේ ශිෂ්‍යයින් ඔවුන් කෙරෙන් විකර්ෂණය වීමයි.

තම වදකයින්ට පෙම් බඳින මනෝ ව්‍යාධිය කිහිප දෙනෙකුට තිබිය හැකි තත්වයක් වුවද, විශාල පිරිසක් සඳහා එය කිසිසේත් ම අදාළ නොවෙනු ඇත.

මා සිතන පරිදි සිදුවෙනවා ඇත්තේ, ජවිපෙට හෝ පෙසපෙට හෝ අනුබද්ධ විශ්ව විද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම්වලට විශ්ව විද්‍යාලවල ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් කරනු ලබන නවකවදය වළක්වන්නට කිසිදු ප්‍රායෝගික හැකියාවක් නොමැති වීමයි.

නමුත්, විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නා, සියලුම ශිෂ්‍යයින් නොවේ නම් අති බහුතරයක් දෙනා, එක්කෝ ජවිපෙට හෝ නැතිනම් පෙසපෙට හෝ අනුබද්ධ විශ්ව විද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම්වල සාමාජිකයින් ය, විශ්ව විද්‍යාලවල සිදුවෙන සියලුම දේ වන්නේ එක්කෝ ඔවුන් අතින් නැතිනම් ඔවුන් ගේ පාලනය යටතේ ය, යනාදී ලෙස සිටින නොදැනුවත් පිටස්තරයින්ට මෙය නොවැටෙහේ.

මගේ අත්දැකීම ද එයයි.

එනම්, අපේ කාලයේ විශ්ව විද්‍යාලවල සිටියේ ද, ජවිපෙට කෙළින්ම සම්බන්ධ ශිෂ්‍යයින් ඉතා ස්වල්ප දෙනෙකි. පසු කලෙක ඔවුන්, පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ, පොලිටි බියුරෝවේ හෝ නායකත්වයේ කටයුතු කළ නිසා, ශිෂ්‍යයින් ලෙස සිටියදී ද ඔවුන්ට අදාළ පක්‍ෂ ව්‍යුහය තුළ වැදගත් තැනක් තිබෙන්නට ඇති නමුත්, විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව තුළ ඔවුන් එකිනෙකා ගත් කළ තවත් එක් ශිෂ්‍යයෙකු පමණක් ම විය.

ශිෂ්‍ය දේශපාලන වැඩවලදී ඔවුන් විසින් වැඩි අභියෝගයකට මුහුණ නොදී නායකත්වය ගත්තද, අන් තැන්වලදී ඔවුන්ට අනෙක් අයට වඩා සුවිශේෂී තත්වයක් තිබුණේ නැත.

අපේ කාලයේ ජවිපෙට සම්බන්ධ ශිෂ්‍යයින් නවකවද ක්‍රියාවලට සම්බන්ධ වූයේ නැති අතර කෙළින්ම හෝ චක්‍රාකාරව මා පෙර කී කාරණය නිසා ඔවුන් නවකවදය වැළැක්වීමට කිසිදු ආකාරයක මැදිහත්වීමක් ද කළේ නැත.

ඇත්තටම, ඔවුන් යම් මැදිහත්වීමක් කළා නම්, ඔවුන්ට පොදු සිසුන් අතර තිබුණු ප්‍රසාදය අඩුව යන්නට ඉඩ තිබුණු අතර, එය ඔවුන් ඒ පිළිබඳ හොඳ තක්සේරුවක් කර සිටින්නට ද ඇත.

පසු කාලයේ ජවිපෙට සම්බන්ධ සිසුන් හෝ වත්මනෙහි පෙසපෙට සම්බන්ධ සිසුන් විසින් විශ්ව විද්‍යාලවල නවක ශිෂ්‍යයින් සඳහා අමානුෂික ලෙස නවකවදය සංවිධානාත්මකව සිදු කරන බවට අද පැතිරෙන මතය මට හතර බීරි කතාවක් වන්නේ එනිසා ය.

මා පෙර කීවාත් මෙන්, ලංකාවේ විශ්ව විද්‍යාල පිළිබඳව මගේ දැනුම දශක දෙකක් පැරණි වීම එයට හේතුවක් වීමට හොඳටම ඉඩ ඇත. සමහර විට 86-90 භීෂණ සමයෙන් පසු නැවත ඉපදුණු ජවිපෙ ශිෂ්‍ය සංවිධාන තම බලය පැතිර වීමට අනුගමනය කරන්නේ අපේ කාලයට වඩා හාත්පසින්ම වෙනස් ක්‍රමවේදයක් විය හැක.

පැතිර ඇති මතයේ සත්‍ය අසත්‍ය බව කෙසේ වෙතත්, අද විශ්ව විද්‍යාලවල බලය තහවුරු කරගෙන ඇතැයි සැලකෙන පෙසපෙට සම්බන්ධ ශිෂ්‍ය සංවිධානය විසින් වහාම කළ යුතුව ඇත්තේ සියලුම අකාරවල නවකවදයන්ට තමන් ගේ විරෝධතාවය ප්‍රකාශ කර, වහාම ඒ සිරිත් විශ්ව විද්‍යාලවලින් තුරන්කර දැමීමට පියවර ගැනීමයි.

එයින් අපට බලාපොරොත්තු විය හැකි ප්‍රතිඵලය පහත අන්ත දෙකෙන් එකක් වෙනු ඇත.

එක්කෝ විශ්ව විද්‍යාල අද පවතින නවකවදය තුරන් වී ගොස් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් සහ පෙසපෙ පිළිබඳව අද රටේ පැතිර ඇති අකමැත්ත අඩුවී යනු ඇත.

නැතිනම් කිසිදු වෙනසක් සිදු නොවී, එමගින්, පෙසපෙට අද විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව තුළ සැබවින් ම ඇත්තේ කෙතරම් ප්‍රමාණයක බලයක්දැයි රටට දැන ගත හැකි වෙනු ඇත.

-රසිකොලොජිස්ට්

(http://indianexpress.com/article/news-archive/latest-news/still-seeking-an-effective-shield-against-ragging/)

46 comments:

  1. මගේත් අත්දැකීම නම් (82-86) ජෙප්පො සාමාජිකයන් බඳවා ගැනීම (කොක්ක දැමීම) සඳහා නවක වදය භාවිතා නොකල බවයි.
    ඒ සඳහා ඔවුන් වෙනත් සොඳුරු උපක්‍රමයි භාවිතා කලේ.

    ReplyDelete
    Replies
    1. සොඳුරු?
      ඒ කියන්නේ නවකවදයෙන් බේරා ගැනීමද?

      Delete
  2. රසික ඔබට ලැබී ඇත්තේ තරමක් දුරට විකෘත වූ පුවතක් බව පෙනේ. මා දන්නා තරමට නවක වදයට කෙළින්ම සම්බන්ධ ශිෂ්‍ය සංගම් සාමාජිකයින් ඇත්තේම නැති තරම්ය. මට නම් තවම එවැන්නෙක් හමුවී නැත. එහෙත් මේ චෝදනාවට කිසියම් පදනමක් ද නැත්තේ නොවේ. තමන් නවක වදයට විරුද්ධ යැයි ප්‍රසිද්ධියේ කොතෙකුත් පුන පුනා කීවද කිසිම ශිෂ්‍ය සංගමයක් විසින් මේ දක්වා ඒ වෙනුවෙන් කළ කිසියම්ම හෝ සාධනීය ක්‍රියාවක් නැත. රජයෙන් හෝ විශ්ව විද්‍යාල පරිපාලනය වෙතින් කෙරෙන හැම අකටයුත්තකතම ගිරිය පුප්පාගෙන මොර දෙන, පිකට් කරන, පන්ති වර්ජන කරන, අඛණ්ඩ සත්‍යග්‍රහ කරන ශිෂ්‍ය සංගම් වලට මේ දක්වා අවම වශයෙන් නවක සහ ජ්‍යෙෂ්ඨ සිසුන් එක්කර තමාගේ ස්ථාවරය පැහැදිලිව කියන්නට පුළුවන් වී නැත. නවක සිසුවකුගේ නවක වදය හා සම්බන්ධ දුක් ගැනවිල්ලකට පිළිතුරක් ලබා දෙන්නට හැකි වී නැත. ඔවුන් කරන කියන හැම දෙයකින් ම ගම්‍ය වන්නේ නවක වදයට ඔවුන් අනියමින් සහය දක්වන බවයි. වැඩි දුර යාමට අවශ්‍ය නැත. කැලණි සිද්ධියේදී මාධ්‍ය වලට අදහස් පළ කළ ශිෂ්‍ය නියෝජිත වරිය දිගින් දිගට ශිෂ්‍ය මර්ධනයක් ගැන කතා කලා මිස එකම වචනයක් හෝ අර පීඩාවට පත් වූ තමාගේම සාමාජිකාව ගැන වැය කළේ නැත. තමන්ට දකින්නට ලැබෙන දේ පදනම් කරගෙන මිනිසුන් නිගමන වලට එනවාට මිනිසුන්ට දොස් කීමෙන් පලක් නැත.

    ReplyDelete
    Replies
    1. බුකියේ මා දුටු සැම ලියවිල්ලකට තියෙන්නේ "කුරුට්ටන්" නවකවදය දෙනවා ය කියායි!

      ඔබ කියන දෙයින් පෙන්නේ දැන් ඇත්තේ ද අපේ කාලයේ තත්වයම බවයි. එනම් ජවිපෙ / පෙසප නවකවදය නොකරති, නමුත් එය වැළැක්වීමට ද කටයුතු නොකරති. ඔවුන්ට එය වැළැක්වීමට නොහැකි බවයි පේන්නේ.

      කැලණියේ සිදුවීම නම් බීට් අප් එකක් වීමට ඉඩ තියෙනවා. බිලියන ගණනින් සොරා කෑ බව කියමින් සිටි අය තුට්ටු දෙකේ හොරකම් පමණක් අල්ලනවා වගේ, අමානුෂික වද ගැන කියමින් තර්ජනයක් හෝ බල කිරීමක් ගැන චෝදනාවක් මත පමණක් ඇප නැතුව රිමාන්ඩ් කිරීමක් නේද ඒක?

      ඇත්තටම කලිසමක් අඳින්න එපා යැයි වාචිකව කළ තර්ජනයකට හෝ බැණ වැදීමකට චෝදනා ලැබූ අය රිමාන්ඩ් කිරීම යනු, අමානුෂික ශාරීරික වද හිංසාවලට ලක්වුණු අයට කරන සරදමක් ලෙසත් සැළකිය හැකියි.

      Delete
    2. //ඇත්තටම කලිසමක් අඳින්න එපා යැයි වාචිකව කළ තර්ජනයකට හෝ බැණ වැදීමකට චෝදනා ලැබූ අය රිමාන්ඩ් කිරීම යනු, අමානුෂික ශාරීරික වද හිංසාවලට ලක්වුණු අයට කරන සරදමක් ලෙසත් සැළකිය හැකියි.//
      ඔන්න අධිකරණය...

      Delete
    3. නවකවදයට ලක්වූ කවුරුන් හෝ මින් පෙර පොලිසියකට පැමිණිල්ලක් කර තිබේද? මෙවැනි සිද්ධියකට එරෙහිව පොලිස් පැමිණිල්ලක් කෙරූ පලමුවැන්නා මැයද?

      Delete
  3. රැග් කරලා මුලින් දේවත්වයක් හදාගන්නවා... ඊට පස්සෙ රැග කන එවුන් උන්ගෙ ෆලෝවර්ස්ලා වෙනවා... හරි සිම්පල් ප්ලෑන් එකක් රසික....

    මෙව්වයෙ මුල් තැන අරගෙන වැඩ කරන්නෙ හීන මානෙ ලොකුවටම තියෙන එවුන්....

    ReplyDelete
    Replies
    1. පිළිගැනීමට තරමක් අසීරුයි!

      තමන්ට අමානුෂික වද දෙන අයෙකු කෙරෙහි පැහැදීමක් ඇති කර ගැනීමේ මානසික තත්වයක් කිහිප දෙනෙකුට තිබිය හැකි වුවද, බහුතරයක් එසේ නොවේ.

      අනෙක, එදා ජවිපෙට අනුබද්ධ ශිෂ්‍ය කණ්ඩායම් නවක වදයේ පෙරමුණ නොගත්තා සේ ම, අද පෙරටුගාමී පක්‍ෂයට සම්බන්ධ අය ද එසේ ම බවයි දැන ගන්නට තියවෙන්නේ.

      Delete
    2. @ Anonymous 9 May 2016 at 12:43

      මං මෙහෙම ඔබෙන් ඇහැව්වොත්,

      0. ඔබ විශ්ව විද්‍යාලයේ සිටියේ කොයි කාලේ ද?

      1. ඔබ එහිදී නවකවදයට ලක්වුණාද?

      2. ඒ නවකවදය කළ අය ජවිපෙට සම්බන්ධ අයද?

      3. එසේ වුනත් නොවුනත් ඔවුන් ගැන ඔබේ සිතේ දේව භක්තියක් ඇති වුනාද?

      4. ඔවුන් ජවිපෙට සම්බන්ධ අය නම් ඔවුන් පසුව ඔබට ඔවුන් හා සම්බන්ධවෙන ලෙස කීවාද?

      Delete
  4. රසික, නවකවදය ගැන ප්‍රේමකුමාර මහත්මිය ගේ අත්දැකීම් මොනවාද කියල අහල කියන්න (ලියන්න) පුළුවනිද?

    ReplyDelete
    Replies
    1. ඒ කාලයේ (මා හිතන පරිදි 1984-85 පමණ) පේරාදෙනියේ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අනෙකුත් සිසුවියන් ගේ අත්දැකීමට වෙනස් අත්දැකීමක් ඇයට තිබිය නොහැක.

      ඇය නවකවදය තුළින් ජවිපෙට සම්බන්ධ වූවායැයි යමෙකු සිතන්නේ නම් එය විහිළුවකි.

      Delete
  5. How the Big-Little Program works at the University of Maryland, School of Pharmacy, USA. නවක වදය: American Style.

    පළමු දිනයේ ප්‍රථම දේශනයට පසුව දෙවන වසරේ සිසුන් (Big) සියල්ලෝම දේශන ශාලාවට පැමිණ ඉඩ ඇති පරිදි කොහේ හෝ ඉඳ ගනිති. ශිෂ්‍ය සන්ගමයේ නායකයා වේදිකාවට ගොස් නවකයන් පිළිගෙන එක් නවකයෙකුගේ (Little) නමක් හඬ ගසා ඒ සමගම දෙවන වසරේ සිසුවෙකුගේ/සිසුවියෙකුගේ නමක්ද හඬ ගසයි. එවිට ඒ දෙදෙනාට පිටතට යා හැකිය. දෙවන වසරේ සිසුන් මේ අවස්ථාවට එන්නේ ඔවුන් පළමු වසරේ තබා ගත් සටහන්, පරණ ප්‍රශ්න පත්‍ර ආදියද සමගය. මෙය බොහෝ විට සාමාන්‍ය තරමක පෙට්ටියකි. එහි, ඊට පෙර වසර වල සටහන්ද (තෙවන, සිව්වන වසර වල ශිෂ්‍යන්ගේ) ඇතුලත්ය. එය නවකාට බාරදෙන Big, Little සමග පිළියෙළ කොට ඇති යම් ආහාරයක්ද (Pizaa was the favorite) සමග කොහේ හෝ ඉඳ ගෙන නවකයාට පාටමලාව පිළිබඳව කියයි. මෙය බොහෝ විට විවිද ගුරුවරුන් සමග හැසිරිය යුතු ආකාරය, විභාග, වට පිටාව, අවට ඇති අවන් හල් ඇතුළු බොහෝ දේ පිලිබඳවය. එකිනෙකාගේ email සහ දුරකථන අංකද මෙහිදී හුවමාරු වන අතර, මේ සබදතාවය Big විශ්ව විද්‍යාලයෙන් අවසන් වන තුරුම පවතී. Little දෙවන වසරට යනවිට big තෙවන වසරේ සටහන් ලබාදෙයි. මේ වන විට දෙවන වසරේ සිටින Little, Big කෙනෙකු බවට පත්වී අලුතින් පැමිණුන නවකයාට (new Little) තමාගේ සටහන් සමග තමාට ලැබුන සියලුම දේ ලබා දෙයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේද මෙම ක්‍රමයට සමාන ක්‍රමයක් හොඳින්ම ක්‍රියාත්මක වේ... නමුත් මෙය සිදු වෙන්නෙ ජ්‍යෙෂ්ඨ සිසුන් හා නවක සිසුවියන් අතර පමනයි....

      සටහන් වලට අමතරින් පුක පුරා ටින්කිරිද ලැබෙන අතර ජ්‍යෙෂ්ඨ සිසුවා ඉන්ටෙක් නම් විභාග/පැවරුම් වලට අමතර ලකුනුද ලැබේ...

      මෙය බොහෝ දුරකට දීර්ග කාලීන ලිංගික අල්ලස් ලබා ගැනීමකට සමානය...

      Delete
    2. මේ මෙන්ටෝ (Montor -දැනමුතු/උපදේශක) ක්‍රමයකි!

      Delete
  6. Read this here: http://naiyageni.blogspot.com/2016/05/blog-post_8.html

    ලොකුම ලැජ්ජා නැති වැඩේ වන්නේ අන්තරේ හා රට පුරා ශිෂ්‍ය සන්ගම් නවක වදේ නෑ අපි නම් ඔය වචනේ දන්නෙවත් නෑයි වගේ ගොන් පාට් දැමීමය.අපි first year සිටිද්දීත් අපේ සින්නෝ දෙන්නෙක් රැග දී අතටම මාට්ටු වෙලා පන්ති තහනම් වූ විට අපේ ශිෂ්‍ය සන්ගම් එදා රැස්වී අපි පන්ති වර්ජනේ කලයුතු බව කීවේ ශිෂ්‍ය සන්ගමය නවක්වදයට ඉදුරාම විරුද්ධ බවත් අපේ කැම්පස් එකේ නවක වදයක් නොමැති බවත් පවසමිනි.පලු යන්න රැග කා සිටි අපිටම රැගක් නැත කියා මෙසේ talk කරන්නේ කුමක් නිසාදැයි එවෙලේ මට සිතා ගත නොහැකි විය(කැම්පස් එකෙන් එලියේ ඉන්න උන්ට ඕවා කිව්වානම් වෙනම කතාවකි.ඒත් ඉතින් ඕවා එවේලේ අසන්නට ගියානම් හුකෑස් තමයි ).දැනුත් වෙන්නේ ඒ ටිකමය.

    ReplyDelete
    Replies
    1. /* ශිෂ්‍ය සන්ගමය නවක්වදයට ඉදුරාම විරුද්ධ බවත් අපේ කැම්පස් එකේ නවක වදයක් නොමැති බවත් */

      පළමුවෙනි කරුණ සත්‍යයක් විය හැක. දෙවෙනි කරුණ දැන දැන කියූ බොරුවක් නම් එය පසුව හෝ ප්‍රශ්න නොකළේ ඇයි?

      Delete
    2. මම අතිශයින්ම අප්‍රිය කරන දෙයක් තව කෙනෙකුගේ නිදහස අහිමි කිරීම. දැන් මේ රැග නෑ කියල පිකටින් කරන්න කියන්නෙ කාටද. රැග කාපු එවුන්ටමයි. පිට අය හිතනව යකෝ රැග් දෙනව කියන්නෙ බොරුනෙ අර ෆස්ට් ඉයර් එකේ උන්ම කියන්නෙ රැග නෑ කියල.
      සෝවියට් දේශයෙ චීනයෙ කියුබාවෙ තියෙන්නෙත් මේකම තමා. වධ කදවුරට යන මරන මංචකයට යන එකත් කෑ ගහන්නෙ නායක සහෝදරය දිනේවා කියල.
      මුලින්ම මේ වධකයො ෆස්ට් ඉයර් උන්ගෙ නිදහස නැති කරනව. දේශපාලනය සම්බන්ධ නැත්නම් කොහොමද මේ අයව පාරට බස්සන්නෙ. වධකයොයි පක්ෂ කේඩර්ලගෙයි සම්බන්ධයක් තියෙන්නෙ ඕන.

      1984 කියන පොතේ අපූරුවට මේව තියනව.මිනිසුන් සිතන විදිය කතා බහ කරන විදිය පිටස්තරයන් විසින් තීරනය කිරීම ඛේදවාචකයක්.

      Delete
    3. 1984 ක්‍රියාත්මක වෙන්නේ දැන්ය. සෝවියට් දේශයේ ඕව තිබෙන්නට ඇත්තේ ස්ටාලින් ගේ කාලයේ විය යුතුය.

      Delete
    4. හා....හා.....පට්ට උත්තරේ අජිත්ගෙන්..........

      යකා නිකන් තල ඇත්තට තල් ගෙඩිය වැටුනම බයවෙලා ලෝකේ පෙරේලිගෙන එනවය දුවපල්ලා කියාගෙන රෙද්දකඩාගෙන දුවපු හාවා වගේ...........
      මු දැකපු සෝවියට් දේශයක් කියුබාවකුත් නැ..........දන්නා රෙද්දකුත් නැ.........
      ජෝජ් ඕවල් වගේ CIAඑකෙන් පඩිකාපු ප්රො.පර්ග්රැන්ඩා අර්ටිස්ට් ලා ඔලුවට අරන් දගලනවා.............
      හරියට නිකන් දිවයින පත්තරේ කියවපු බය්යෝ වගේ...........
      අනේ බන් ජෝජ් ඕවල්ගේ ප්ර්බන්ධ නෙවෙයි සාක්ෂි පෙන්නපන්.එතකොට අපි පිළිගන්නම්.............!

      Delete
  7. අපිට නවක වදයක් විදිහට ශාරීරික වද හිංසා නම් ලැබුනේ නෑ. ඒත් කණ්ඩායමේ සිටින් සියල්ලන්ගේම නම් පාඩම් කිරිලි ඝැණු ළමයින්ට දිග ස්කර්ට් බ්ලෞස්, කොල්ලන්ට කමිස හා කලිසම් අනිවාර්‍ය උනා. තව පිරිසක් ඉදිරියේ කතා පැවැත්වීම වගේ දේවල්ද තිබුනා. හැබැයි විශේෂයෙන්ම කුණුහර්ප කීමට කිසිම ජුන්නෙක්ටවත් සින්නෙක්ටවත් අවසර තිබ්බෙ නෑ. ඒවගේම ඉංග්‍රීසි වචනයක් හෝ භාවිතා කිරීම තහනම්.

    විශීෂයෙන්ම මේකට කිසිම දේශපාලන සම්බන්ධයක් තිබ්බෙ නෑ. අපේ විශ්ව විද්‍යාලයේ දේශපාලනය නොමැති නිසා.

    මෙතන තව කාර්ණාවක් තමයි වදයට ලක්වෙන්න කැමැත්තෙන්ම මේවාට එන මොංගල්කාරයො ටිකකුත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!

      හිරිහැර කර ප්‍රසාදය දිනා ගැනීම කිසිසේත්ම කළ නොහැකියි!

      Delete
  8. රසික, පහුගිය කාලේ SLFP එක පක්‍ෂයක් විදියට හොරකම් කලේ නෑ නේද ?

    ReplyDelete
    Replies
    1. 1. මගේ ලිපියේ ඇත්තේ නායකයින් ගැනයි.
      ශ්‍රිලනිප නායකයින් හොරකම් කර ඇති බව (දැනට ඇත්තේ චෝදනා පමණි) ඔවුන් ගේ අති විශාල වත්කම අනුව කිව හැක.
      2. පක්‍ෂයක් ලෙස කළ හොරකම් නම්, පක්‍ෂ කටයුතු සඳහා මහජනතාවගේ සම්පත් භාවිතා කිරීමයි.

      Delete
  9. පළමුවෙන්ම රසික වටහාගත යුතු කරුණ වන්නේ නවක වදය කෙරෙහි බුදුදහම අනුගතවන දැක්ම කවරක් ද යන්නයි. මෙය තේරුම් ගැනීම අපහසු ය. මන්දයත් එය අන්ත දෙකක් අතරින් අපහසුවෙන් වටහාගත යුතු බැවිනි.

    බුදුදහම පළමු වසර ශිෂ්‍යයින්ට නවකවදය ලබාදීමට දැක්මක නොසිටී. ඊට අනුව අපට නවකවදය කිසිවකු මවා දුන් ඒවා නොවේ. අපේ කයින් අප කරන කියන දේහි වරද සෙවීමට විනිසුරුවරයකු නැත. අප කරන කියන සිතන සියලු දේ ඇසත්, රූපත්, කණත්, ශබ්දත්, දිවත්, රසත්, නාසයත්, ගන්ධත්, සමත්, ස්පර්ශත්, මනසත්, මනෝධර්මත් ම පමණි. (සංයුත්ත නිකාය සබ්බ සූත්‍රය) එහි ලා වැදගත් වන එකම දෙය "චේතනාවම" පමණි.

    ReplyDelete
  10. ඔබගේ අදහස සමග එකගයි..

    ReplyDelete
  11. මම 2000 වර්ෂයේ මුල්කාලේ විශ්වවිද්‍යාලයේ හිටියේ, ඒ කාලයත් ඔබ කියන කරුණුවලටම සමාන තත්වයක් තමයි තිබුනේ ඒ දවස්වල අන්තරේ බලය තිබුනේ ජවිපෙට ඒ වගේම සමන්තගේ ඝාතනයවගේ සිද්ධින් සමග අන්තරයට සහ නවකවදයට විරුද්ධව ලොකු විරෝධයකුත් ඒ දවස්වල තිබුන. ඒ දවස්වල නවකවදය සම්බන්ධව මොකක් හෝ පොතක් සමාජවාදී ශිෂ්‍ය සංගමයෙන් හෝ අන්තරයෙන් එලියට දැම්ම වගේ මතකයක් තියෙනව, එහෙත් මම ඒක හරියට කියවල නැහැ.(මට මතක විදිහට පොතේනම “තෙල් බැම්මේ ඔබ්බට“ වගේ එකක්, එහි අන්තර්ගතය පිලිබදව මට මතකයක් නැහැ )

    ඇත්තටම ඒ දවස්වල (ජවිපේ වැඩිම චන්ද ප්‍රමාණයක් ලබාගෙන සිටි කාලයක්)විශ්ව විද්‍යාල ඇතුලේ ජවිපේ (දැන් පෙරටුගාමී) දේශපාලනය කරන ඉතාමත් ස්වල්ප දෙනයි හිටියේ, බොහෝ දෙනෙක් සිටියේ හිතවතුන් හෝ මහ ශිෂ්‍ය සංගමයේ හෝ අන්තරයේ කටයුතුවලට උදව්කල පිරිස්. එහෙත් පිටත සිට බලන මිනිස්සුන්ට පෙන්නේ විශ්ව විද්‍යාලයේ 100න් 90ක් විතර ජවිපේ සාමාජිකයින් වගේ එත් ඇත්තටම 100ට 1කටත් අඩවෙන් තමයි බොහෝ විශ්ව විද්‍යාලවල සමාජවාදී ශිෂ්‍ය සංගමයට සාමාජිකයින් ඉන්නේ, දැන් වුනත් කැම්පස් ළමයි 50000කට විතර ආසන්න ප්‍රමාණයක් සිටින වටපිටාවක පෙරටුගාමින්ට තමන්ගේම පක්ෂයේවන සාමාජිකයින් 50 - 100ක් ක් අතර ප්‍රමාණයක් තමයි ඉන්නව ඇත්තේ (සමහරවිට 50ට අඩුවීමටද ඉඩ ඇත)

    ඇත්තටම විශ්ව විද්‍යාලතුල නවකවදය ක්‍රියාත්මකවීම හා සම්බන්ධව ශිෂ්‍ය සංගම් සෘජුවම සම්බන්ධ නැහැ, ඒ වගේම ඔවුන් නවකවදය නැතිකිරීම සදහා ක්‍රියාත්මක කරන වැඩසටහන්වල විශාල ප්‍රගතියක් නැහැ සහ ඔවුන් ඒ සම්බන්ධව නැවත සලකාබලන බවක් පෙනෙන්නට නැහැ.ඒ වගේම නේවාසිකාගාරතුලදී සහ විශ්ව විද්‍යාලය තුලදී නවකයින් සහ ජේෂ්ඨයින් මුහුවීමට හැකි ක්‍රමවේදයන් ශිෂ්‍ය සංගම් සකස්කර තිබුනත් බොහෝ ජේෂ්ඨ ශිෂ්‍යයින් සෘජුවම සම්බන්ධවන්නේ තමන්ට ඉතාමත් පහසු සහ ආතල් එකක් ගතහැකි නවකයින් පිඩාවට පත්කිරීමේ කටයුතු වලටයි. ඒවාද වැලැක්වීම සදහා ශිෂ්‍ය කණ්ඩායම්, ශිෂ්‍ය සංගම් සහ පාලන අධිකාරියන් සම්බන්ධවන ක්‍රියාකාරකම් ඇතකල යුතු වුවත් සැබවින්ම සිදුවන්නේ ඔවුනොවුන් දුරස්කරන ක්‍රියාමාර්ගයන්....

    ඒ සම්බන්ධව හොදම උදාහරණය තමයි මෙම සිද්ධිය, කලිසමක් ඇදගෙන ඒම පිලිබදව තර්ජනයක් සිදුකරන ලදැයිවන පැමිණිල්ලක් සම්බන්ධයෙන් ශිෂ්‍යයින් මිනිමැරුමක් සම්බන්ධ චුදිතයින්ටත් වඩා වැඩි ප්‍රසිද්ධියක් ලබා දෙමින් සහ ගෙවල්වලට ගොස් අත්අඩංගුවට ගැනීම, (ගමක සාමාන්‍ය ආරවුලකදී පහරදීමක් සිදුවී එක් පාර්ශවයක් පැමිණිල්ලක් දැමු පමණින් අනෙක් පාර්ශවයේ අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ නැහැ. බොහෝවිට දෙපර්ශවය කැදවා සමාදාන කිරීමට බොහෝවිට කටයුතු කරනවා, නැතහොත් දැඩිව අවවාද කිරීමට කටයුතු කරනවා) සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවකදී පාලන අධිකාරිය, ශිෂ්‍ය සංගම් සෘජුවම සම්බන්ධවී කටයුතු කලයුතු වුවත් පාලන අධිකාරිය මෙය ශිෂ්‍ය සංගම්වල අවුලක් ලෙසත්, ශිෂ්‍ය සංගම් මෙය මර්ධනයක් ලෙසත් අර්ථදක්වමින් මාතෘකාවෙන් පලායෑමයි සිදුවන්නේ...ඔවුන් දෙපාර්ශවය මෙය අවම මට්ටමක් දක්වා අඩුකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ නැහැ.

    පෙරටුගාමින්ටත් ලොකු වගකීමක් තියෙනව මෙම තත්වය විශ්ව විද්‍යාල තුලින් ඉවත් කිරීමට සහ සෑබවින්ම මෙය වලක්වන ක්‍රියාමාර්ග ගැනීමට, ඒ සදහා විශ්ව විද්‍යාලතුල හොද සංවාදයක් ඇතිකල යුතුයි ( මෙවැනි සංවාදයන් අප විශ්ව විද්‍යාලය තුල සිටින ලද සමයේදී තිබුනේ නැත, ඉතා කුඩා කණ්ඩායම් අතර පමණක් පොදුකරුණු හා දේශපාලන හා සම්න්ධ කරුණු පිලිබදව සංවාදයන් තිබුණි) බොහෝ ශිෂ්‍යයින් කිසිදු තේරුම් ගැනිමකින් හෝ සෘජුවම කරුණු අධ්‍යනයකින් තොරව හිතවත්කමට, කණ්ඩායමේ සමගිය වෙනුවෙන් වැනි දේවලින් විරෝධතාවයන්ට සම්බන්ධකර ගැනීම වෙනුවට සංවාදයක් තුලින් ඇතිවන දැනුමක් අනුව සංවිධානයකල හැකි තත්වයක් දක්වා විශ්ව විද්‍යාල වෙනස්කරවා ගැනීම ශිෂ්‍ය දේෂපාලනයේ සිටින පිරිසිවල කාර්යක්ය.....

    ReplyDelete
  12. විශ්වවිද්‍යාලත් රටේ එක් ආයතනක් පමණි.
    අන් තැන් වල කෙනෙකුට හිංසා කිරීම අපරාධයක්නම් විශ්වවිද්‍යාලවලද එසේ විය යුතුය.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස සමග එකගවෙමි
      මට ඇති ගැටලුවනම් සාමාන්‍යයෙන් ගමකදී කවුරු හෝ තර්ජනය කලායැයි පොලිසියට පැමිණිල්ලක් කලවිට පොලිසිය සිදුකරන්නේ දෙපාර්ශවයම පොලිසියට කැදවා කටඋත්තරයක් ගෙන දෙපර්ශවය සමාදාන කිරීම උත්සහ කිරීම සහ තර්ජනය කරනලද පුද්ගලයාට අවවාද කිරීමයි, පොලිසිය අදුරන කිසියම් හෝ අයෙකුට තර්ජනය කර තිබේනම් පොලිසියට කුදලාගෙනවිත් 2ක් 3ක් ඇන පොලිස් ඇප ලබාදීම හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමයි

      මේ සිද්ධියේදී සිදුවී තිබෙන්නේ තමන්ට කලිසමක් අදින්නට එපායැයි තර්ජනය කල බවට දමන ලද පැමිණිල්ල අනුව පොලිසිය මුලික පරික්ෂණයක් සිදුනොකර චුදිතයින්ව බරපතල අපරාධකාරයින් මෙන් පළමුව අත්අඩංගුවට ගැනීමයි

      පාර්ලිමේන්තුවේදී මන්ත්‍රිවරයෙකුට රෝහල්ගතවීමට පහරදුන් මන්ත්‍රීවරුන්ට, කෝටි ගනන් වංචාකලායැයි දමන ලද පැමිණිලිවලට, ..... කිසිවකු අත්අඩංගුවට ගැනීමට හෝ පරික්ෂණ දිගටම කිරිමට කටයුතු නොකරන පොලිසියක් මෙවැනි කරුණක් සම්බන්ධව ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වන්නේ විශ්ව විද්‍යාල වලින් නවකවදය ඉවත්කීරීමේ යහපත් චේතනාවකින්දැයි මටනම් ප්‍රශ්නයක් ඇත.....

      Delete
    2. Anonymous9 May 2016 at 19:35 @
      ඇණෝගෙ කතාවට එකඟයි. මෙහිදී ශිෂ්ට මිනිසුන්ගේ නවක වධ විරෝධයට ඔබ්බෙන් වූ යමක් හා සාමාන්‍ය පටිපාටියේ අමුතු බවක් තිබිය හැකියි.

      Delete
    3. පොලීසිය හා බලධාරීන් සද්භාවයෙන් කටයුතු කලේද වෙනත් ඇජෙන්ඩා එකකට කටයුතුකලේද යන්න අපැහැදිලි බව ඇත්තය. එහෙත් නවක වධකයන්ට විරුද්ධව සාමාන්‍ය නීතිය යටතේ නඩු පැවරීම ඉතා අවශ්‍ය දෙයකි

      Delete
    4. පොලිසිය සාමාන්‍යයෙන් සිසුන් සම්බන්ධව දැඩිව කටයුතු කරනවා කියල මම හිතන්නේ. වලි දාගන්නෙත් දෙගොල්ලමනේ.

      Delete
  13. නවක වදය විශ්ව විද්‍යාලවල කවදත් තිබිනි. කවරම හෝ කායික මානසික බලකිරීමක් කෙනෙකුට කිරීම හෙලා දකින මා අපේ දෙමවුපියන්ගේ කාලයේ විශ්ව විද්‍යාලවල තිබුනාය කියන සුළු සුළු දේවලටද විරුද්ධ වෙමි.
    නමුත් දරුණු සිදුවීම් වාර්තා වුනේ ජවිපෙ විශ්ව විද්‍යාලවල බලවත් වූ පසුය.
    අනෙක් කාරනය නවක වදය නවත්වන්නට කරන කවරම හෝ උත්සාහයකට සිය මුළු ශක්තිය යොදා විරුද්ධ වන්නේ ජවිපෙ ( දැන් පෙසපෙ ) ය.
    නවක වද සිද්ධියකට සිසුවෙක් අත් අඩංගුවට ගත්තත් වෙනත් දඩුවමක් දුන්නත් ලෝක බැංකුව නිදහස් අධ්‍යාපනය වනසනවෝ කියමින් පාරට බසින්නේ මේ අයයි.

    නමුත් මේ ඉහත කී සියලු කරුනුවලට වෙනස මනෝවිද්‍යාත්මක පැත්තක් මෙහි තිබේ. මා මෙහි කතා කරන්නේ වධකයාට පෙම් බැදීම ගැන නොවේ. ජවිපෙ පෙසපෙ වැනි පක්ෂවලට හොදින් බීජ පැලකල හැකි කුඹුරක් මේ නවක වදයෙන් බිහිවේ.89 යුගයේ ජවිපෙ නායකයන් පක්ශයට බැදුනේ රැග් සීසන් එකේය කියා ධර්මන් ගේ ලිපිවල මා කියවා ඇත.එය සත්‍යනම් අපට නොපෙනෙන සම්බන්ධතාවයක් රැග් එක හා දේශපාලනය අතර ඇත.

    හිට්ලර්ගේ නාසි කදවුරුවලත් පසුව ස්ටාලින්ගේ දේශපාලන කදවුරු වලත් මේ ක්‍රම්නය භාවිතා විය.ගුවන් යානා මංකොල්ල කෑ පසු ප්‍රාන ඇපකරුවන් හා මංකොල්ල්කරුවන් අතර ඇති වන්නේද මෙවැනිම අපූරු බැදීමකි.
    ජවිපෙ වැනි පක්ෂවලට සාමාජිකයන් බදවා ගැනීමට හැකි පරිසරය මෙයින් නිර්මානය වේ. වධයට බදුන් වන සිසුවා මහා සංස්කෘතියෙන් තාවකාලිකව කැඩී උප සංස්කෘතියට පා තබන්නේ බියෙනි. ජවිපෙ ප්‍රටුගාමී දොරටුපාලයෝ ආරක්ෂකයන් හා පෝෂනය සපයන්නන් ලෙස දෙපස සිටිති.
    නවකවදය නැති කිරීමට මේ පක්ෂ එරෙහි වන්නේ එබැවිනි. ඔවුහු නවක වධයේ ආරක්ෂකයෝය.ස්වාධීන පෞර්ෂය නැතිකරගෙන වටපිට බලන වාත මුවන් වැනි සිසුන් ට කොකු ගැසීමට හැකි බැවිනි.

    නවක වධකයා යනු කුඹුර සී සාන්නායි. පෙරටුගාමියා යනු බීජ වපුරන්නායි. මේ දෙදීනා මිතුරන් නොවේයැයි කිව හැකිද

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ථ මතධාරියා කියා තමන්ම කියා ගන්නා ඔබ, ලංකාවේ විශ්ව විද්‍යාලයකට ඔබ ගිය කාලයේදී විශ්ව විද්‍යාලයේ ජවිපෙ (එකල පෙරටුගාමීන් සිටියේ නැත) සාමාජිකයින් කී දෙනෙක් සිටියාදැයි සොයාබලා කතා කරනවානම් හොදයැයි සිතමි.

      ජවිපෙවැනි දේශපාලන පක්ෂවලට ඔබලා වැනි පුද්ගලයින්නම් බදවා ගන්නේ නැතිබව මට හොදටම විශ්වාසය. දේශපාලන පක්ෂයකට ඔබ කියන ආකාරයට පුද්ගලයින් බදවාගෙන කුඹුරු හානවා වැනි ආකාරයකට වැඩකල හැකිවන අනාතයේ දිනක් පැමිණිකල ඔබවත් එවැනි පක්ෂයකට බදවා ගන්නවා ඇත.එතෙක් පොඩ්ඩක් ඉවසා සිටින්න...

      අතීතයේද, අදද හෙටද විශ්ව විද්‍යාලවල නවකවදය පවතින්නේ ශිෂ්‍ය දේශපාලනය පවතින නිසා නොවේය, ශිෂ්‍ය දේශපාලනයේ අවුල තියෙන්නේ එය වලක්වා ගැනීමට ඔවුන් මැදිහත්විය යුත්තේ කෙලෙසද යන්න පිලිබදව ඔවුන්ට තවමත් නිවරදි අවබෝධයක් නැතිවීමය.

      Delete
  14. නවකවදය සම්බන්දයෙන් මාධ්‍ය සහ මුහුණු පොතේ තියෙන බොහෝ දේවල් වැල කතාවල තියෙන සිද්ධිවගේ, තාර්කිකව මෙන්න මේ විදිහට සිද්ධවෙන්නේ කියල අනිත් කට්ටියට ලස්සන කතාවක් මවල දෙනව, මේ කියන කතාන්දරටික ඇහුවට පස්සේ දැනෙන්නේ

    1. කෙල්ලන්ගේ ඇදුම් ගලවල, ඌන්ට කොල්ලන්ගේ ජුන්ඩ අල්ලන්න දීල, විශ්ව විද්‍යාල ඇතුලේ කොල්ලො කෙල්ලො මාර ෆන් එකක් ගන්නව ඇති නේද වගේ දේවල් දැනෙනව මේව කියවගෙන යන කොට....

    2. ඊලගට කොල්ලො කෙල්ලො අතරේ මාර ෆිට් එකක් හදලා තියෙනව රැග් එකෙන් ඒක නිසා තමයි කට්ටිය එකාවගේ ඉන්නේ, යාලුවගේ මරණෙට මගුලට උදව්කරගෙන බොක්ක වගේ ඉන්නේ මේ රැග් එක නිසා........

    3. රැග් එක හරි සුන්දරයි, මාස 2, 3ක් කාපු කට්ට ජීවීත කාලයේම විදින්න පුලුවන්, මාර ලස්සසනයි........

    4. අන්තරේ කට්ටිය (පෙරටුගාමින්, ජවිෙපෙ )කොල්ලෝ එකතුකර ගන්නේ මේ විදිහට රැග් එක දීලා, කොල්ලෝ කෙල්ලෝන්ගේ මොල හොදල බයකරල , එහෙම තමයි පිකට් වලට එක්කගෙන එන්නේ

    5. මුන්ට මේ නිකන් උගන්වන නිසා තමයි ඔක්කෝම විගඩම්, සල්ලි ගෙවල ඉගෙන ගන්න විදිහට ඕව විකුණල දැම්මනම් ඔය මුකුත් නැතුව ඉගෙන ගනියි.....

    මටනම් කියන්න තියෙන්නේ මේකේ තියෙන්නේ කැම්පස්වල අවුලක් හෝ ඒකේ තියෙන සංස්කෘතියේ හෝ තියෙන අවුලක් විතරක් නෙමෙයි, මේක සමාජයේ හැම තැනකම අඩුවැඩි වශයෙන් තියෙනව, විශ්ව විද්‍යාල ඇතුලේ අමතර කාලය වැඩිනිසා සමහරුන් වැඩිපුර අනෙක් අයව පිඩාවට පත්කරනව. සමහරු අඩුවෙන් සුලුවට කරනව. තවත් සමහරු එලෙස මුකුත්ම කරන්නේ නැහැ, ඒ වගේම ඔවුන් සුලු ප්‍රමාණයේ රැග්වලට විරුද්ධත් නැහැ (වැඩි පිඩනයක් ගෙනදෙන කායික රැලග්වලට බොහෝ දෙනෙක් විරුද්ධයි), සමහරු රුග් එකට සම්පුර්ණයෙන්් විරුද්ධයි .මේ මම දැකල තියෙන අත්දැකිම. මාධ්‍යවල හා මුහුණු පොතේ යන බොහෝ දේවල් රැග් එකේදී සිදුවන 100ට 100ක් දේවල් නෙමෙයි.

    හමුදාව පොලිසිය වගේ විනයගත ආයතනයන් ගත්තොත් ඒවායේ පහල ශ්‍රේණිවල ඉන්න පුද්ගලයින් විසින් ඉහල නිලවල ඉන්න පුද්ගලයින්ගේ ගෙවල්වල කක්කුස්සි හෝදනව,වතු සුද්ධ කරනව, ගෙදර කට්ටියව ෂොපින් එක්කගෙන යනව, දකින දකින තැනදි ආචාර කරනව, කවුරුවත් මේව ප්‍රසිද්ධියේ විවේචනය කරන්නේ නැහැ. එවාතුල සියල්ලන්ට සමානව සැලකීමේ ලක්ෂණ මුකුත්ම නැහැ, ඒවා තුලත් තියෙන්නේ අනෙකා පිඩනයට පත්කිරීම නීතීගතව. (ඒ වගේම ඉහල නිලවල ඉන්න කට්ටිය පහල නිලවල ඉන්න කට්ටියගේ පෞද්ගලික දේවල් වලටත් සමහර වෙලාවට උදව්කරනව.) මෙලෙස කරන්නේ ඉහලින් දෙන අණ පිලිපැදීමට කියල තමයි කතාවට කියන්නේ....

    ඒවගේම භික්ෂු සමාජය ගත්තත් මේවගේ දේවල් ගොඩක් තියෙනව,

    මම වැඩකරන කාර්යාලයේ ඉදල ලංකාවේ බොහෝ තැන්වල තමන්ගේ කෑම එක ගෙන්ව ගන්නේ පියන්ට හෝ රියදුරුට කියල, ඒක ඔවුන්ගේ රාජකාරියක්වන මට්ටමටම ඇවිල්ල තියෙනව, ඒ වගේම කාර්යාලයට අලුතෙන් එකෙක් ආවාහම උගෙන් කේක් එකක් හරි අයිස්ක්‍රීම් කන්න හරි ඉල්ල ගන්න තමයි අනිත් කට්ටිය බලන් ඉන්නේ, ඒ වගේම පොඩි පොඩි බයිට් එහෙමත් දෙනව...

    තමන්ගේ නංගි, මල්ලී හරි දුව පුතා හරි ප්‍රේම සම්බන්ධයක් හෝ තමන්ට සුදුසු නැහැ කියල හිතෙන යාලුවෙක් ආශ්‍රය කරද්දී ඔහුට හෝ ඇයට තගදාන එක තමයි බොහෝ අයියල අක්කල හා දෙමව්පියන් කරන්නේ...

    මේවයේ කොමන්ට කරල තියෙන කට්ටිය ඇතුලු බොහෝ දෙනෙක් තම තමන් ඉන්න තැන් වලදි අනිත් කට්ටිය අලුත්වුන් පොඩිවුන් කියල තමන්ගේ බලය පාවිච්චිකරල එක එක ස්වරූප වලින් තග දානව....

    මමත් මේවගේ සමහර ලක්ෂණ පෙන්වනව ඇති හැබැයි මම උත්සහ කරන්නේ එලෙස නොවන තමන්ගේ කනිෂ්ඨයත් තමන් හා සම මට්ටමේ පුද්ගලයෙක් කියල හිතන්න පුලුවන් සමාජයක් හදා ගන්න,

    ශිෂ්‍ය දේශපාලනය කරන කට්ටියට මට කියන්න තියෙන්නේ ඔබලා සෘජුව නවකවදයට සම්බන්ධ වුවද නැතිවුවද සියලු ශිෂ්‍යයින්ට සමානයින් ලෙස අනෙකා දෙස බැලිමට හැකි තත්වයක් විශ්ව විද්‍යාල ඇතුලේ නිර්මාණය කර ගැනිමේ වගකීමක් ඔබලාට තියෙනව, එලෙස වන සංස්කෘතියකට අනුගතකර ගැනීම සදහා කෙනෙක්ව කිසියම් හෝ මානසික හෝ කායික පිඩාවකට ලක්කරනවනම් එය ඉවත්කිරිමේ දීශාවකට කටයුතු කරන්න. ඒක දවසින් කරන්න පුලුවන් එකක් නෙමෙයි හැබැයි කලයුතු දෙයක්...

    ReplyDelete
  15. ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගිහින් නැති නිසා දන්නේ නැත. එකම එක වරක් මොරටුවේ NDT විභාගයට ගොස් පුංචි රැගක් කෑවෙමි. තනි කකුලෙන් සිටගෙන සිටින්නටය. පෙරටුගමින් හෝ ජවිපෙ සාමාජිකයන් එළිපිට රැග් කරනවා යයි මමවත් අසා නැත.
    අර ඉහත සඳහන් ලිංගික රැග් කරන බව එයට මුහුණ දුන් දෙදෙනෙකු මට කියා තිබේ. (මොරටුව හා හාඩි) නමුත් ඒවා කර ඇත්තේද ඉහත කී පක්ෂවල සාමාජිකයන් නොවේ. ලිංගික රැග් කරන්නේ ගැහැණු පිරිමි අතර නොව ගැහැණු ගැහැණු හා පිරිමි පිරිමි අතර බවද ඔවුන් තව දුරටත් මට පැවසූහ. නමුත් එය ස්ම තහනම් ඇත්දැයි නොදනිමි.

    ReplyDelete
  16. you may check where conveners of " anthare" ends up.most of them contest from jvp or now "peratugami"

    ReplyDelete
  17. අනෙක් හැම තැනම කියපු දේට අමතරව ආයෙ අමුතුවෙන් ලියන්න දෙයක් නෑ.. අතිශ්‍යෝක්තියට නඟපු කාරණා යතාර්ථයක් කරගෙන තියෙනවා ගොඩ දෙනෙක්.
    ලංකාවෙ ඉදිරි කාලය තීරණාත්මක විය හැකියි.විවිධ වෙනස්කම් සිදුවිය හැකියි.ඒවාට මුලින්ම සංවේදී වෙන්නෙ තරුණයන්.තරුණයන් රාශිගතවී ඉන්න තැනක් සරසවිය.ඒ තුලින් රටට දැනන හඬක් මතුවිය හැකියි.එය ඇතැම් දේශපාලන පක්ශ විසින් විකුණාගෙන කන අතර ඇතැම් පක්ශ වලට කන්දොස්කිරියාවක්.
    හොඳම දේ ඔවුන්ට තියෙන පිළිගැනීම නැති කිරීම.
    බොන බෙහෙත් පෙත්තට වැට් ගහලා කාර් ගන්න එක යට යවලා රැග් එකක් අල්ලන් උඩ පනින එක බුකියෙ වෙන එක ගැන දුකක් නෑ.මොකද ඒ පේජ් මේ වෙනකොට විකිණිලා ඉවරයි.
    අඬලා.... අඬලා... අඬලා කිරි එරවගන්න ඕන තත්වයක් දැන් කැම්පස් වල තිය්න්නෙහැබැයි අඬන එකට පනිශ්මන්ට් ශුවර්.ඒ නිසා නැති එකමුතුවක් බොරුවට පෙන්න ගන්න රැග් එක කියන එක භාවිතා වෙනව කියන එකයි ගස්ලබ්බගෙ මතය.මේක සමහර රෝගීන් විසින් පාවිච්චි කරන අවස්ථා නැත්තෙ නෑ.හරියට වෙන තැනක ඒ පිස්සන්ව එලවලා දාන එක එසැනින් ක්‍රියාත්මක වෙනවා.
    සරසවියේ සම්පත් හා පහසුකම් වලට සාපේක්ශව රැග් එකේ තීව්‍රතාවය වෙන්ස්වීමක් පැහැදිලිවම දකින්න පුළුවන්.
    කොහොම උනත් කැම්පස් වල සිලබස් අප්ඩේට් කරන එක ගැන කථා කරනවාට වඩා රැග් එක ගැන කථා කරන එකේ ලල් එකක් ඇති.
    ජයවේවා..!!

    ReplyDelete
  18. මේ තර්කේ නම් යල්පැන ගියක් එකක් නෙමෙයි තමයි.. ඒත් ජෙප්පො පෙරටු ගාමි කම් පැත්තකින් තියලා උනත් ඕනෑ ප්‍රදාන පෙලේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් ඉන්න තැන 'රැග්' කරන්නෑ කියන සංස්කෘතියක් නම් අද මේ වෙනකොට කැම්පස් ඇතුලෙ තියෙනවා.. කොහොම හරි වේවා දැන් දැන් මං කියන්නේ මේ ලේටස් නවක වද කේස් එක එන්න කලින් ඉදන් නම් අපේ කැම්පස් ඇතුලෙ බැජ් හදන වැඩ වලට අපේ ශිෂ්‍යක්‍රියාකරින් ගොඩකක්ගේ රැග් කිරිල්ලට විරුද්දව ගොඩාක් බලපෑම් වෙනවා.. ඒ නිසා නවක වදයත් එක්කලා මේ දේශ්පාලන කතාවකුයි එකට ගැට ගහන්න යන එක අමුම අමු ගොන්වැඩක්.

    ReplyDelete
  19. දෙදහස් මුල් කාලයේ ඇත්තට ම විශ්ව විද්‍යාල තුළ තිබුණේ ජවිපෙ බලයක්. අන්තරය හා ශිෂ්‍ය සංගම් සියල්ල ම පාහේ ඔවුන්ගේ පාලනය යටතේ තමා තිබුණේ. නමුත් පෙරටුගාමීන් ඇති වීමත් සමග් ඒ බෙදීමේ දී විශ්ව විද්‍යාලවල බලය පෙරටුගාමීන්ට ගියා. පොදුවේ ගත්තා ම සාමාන්‍ය අදහස ඕකයි. විශ්ව විද්‍යාල තුළ සමාජවාදී ශිෂ්‍ය සංගම් තියෙනවා. ඉස්සර නම් මොවුන් ද ජවිපෙ මතයන් දැරුවාට දැන් නම් ඒ ගැන කියන්න දන්නේ නැහැ.........

    ReplyDelete
  20. නවක වදය අමුම අමු රෝගයකි ඒ ගැනැ කතා දෙකක් නැත.
    නමුත් ප්රයශ්නය තියෙන්නේ අපිට ප්රස්තුත මාතෘකාව වෙච්ච 'කැලණිය සරසවිය සිද්ධියේදී' එහෙම එකක් උනාද කියන එකයි.

    වැට් පිළිබද ජනතා විරෝදය වෙනතක යොමුකරන්න දුන්න ලොලිපොප් එකක් මේක..................

    පාන්ඩුව හැමදාම නාගත්තට පස්සේ තාජුදින්ව ගොඩගන්න බැරිනිසා ආණ්ඩුව මේපාර දුන්න ආතල් එක............

    ReplyDelete
  21. රසිකගේ අදහසට එකඟයි. අලුත් සිසුන්ගේ අවධානය පක්ෂය කෙරෙහි යොමු කරගන්න නම් යක්කු වෙලා හරියන්නේ නැහැනේ. එහෙම නම් නවක වධයක් වෙනුවට නවක ජොලියක්, නවක ආතල් එකක් වගේ එකක් දෙන්න එපැයි.

    රූපා රත්නශීලිගේ සිදුවීම වෙන 1975 කාලේ පේරාදෙණියෙ බලය හැසිරුනේ කුමන කංඩායම් අතරෙද? හොස්ටල් එකෙන් බිමට පනින්න තරම් තත්වයක් ඇතිවුනේ ඒ තරමටම තත්වය දරුණු නිසා වෙන්න ඇතිනේ.

    ReplyDelete
  22. නවක වදේ තහනම් කොරා කිවුවට තවම දෙනවා නේ

    ReplyDelete
  23. නවක වදය දෙන්නේ අනුන්ගේ සතුට උහුල ගන්න බැරි ගම්වල නගරවල දුක් විදලා ඉගෙන ගෙන කම්පස් ආපු එඋන් .
    මොකද අනික් එකාට වද දීලා ගොන් සැපක් ලබනවා . උන් අපි ලග නැමුනා දැන් අපි ඔක්කොම එකයි කියලා .මේක මානසික රෝගයක්
    එක තමා රැග් දීලා හැමෝම එක මට්ටමේ කියලා තමන්ගේ හර්ද සාක්ෂිය සතුටු කරගන්න කරන උත්සහය .
    මොකා කලත් අවූරුදු 4 පස්සේ මේ හැම එකාටම සමාජවාදය , පීඩිත පන්තිය ,අරගලය අමතක වෙලා , එක්කෝ කාට හරි ,පක්ෂෙකට කඩේ යනවා නැත්නම්
    ආත්මාර්ථකාමීයෙක් වෙලා ඌ ගැන උගේ පවූල ගැන විතරක් හිතලා වැඩ කරනවා .කෝ ? අර සමාජවාදය ....දුක් විදීමට මුල හොයල දුක් විදපු දෙමව්පියන්ට පිං දීලා තමන් ඒ මග ජයගන්න මගක් ගැන හොයන්න ඕනේ .එකට් ඊර්ෂා කරකර නවකයන්ට වද දෙන එක සදාරණද .......හැරිලා බලන්න එදා සරසවි වල හිටපු සමාජවාදියෝ ,අරගලකාරයෝ ,ශිෂ්‍ය නායකයෝ අද කොතනද ගාල් වෙලා තියෙන්නේ ..ධනවාදී කදවූරු වල නෙමේද ? නම් ගම් හොයලා බලන්න .
    යථාර්තයට මුහුණ දිය යුතුයි. සරසවි සිසුවා බුද්ධිමත් නම් හෙට දින මානව අයිතිවාසිකම් ,ජීවිත සුරකින වෛද වරයා ,දෙසපාලකයා ,නීතිඥයා ,රට සුරකින නිල දරුවන් බිහි කරන සරසවිය තුල නවක වද ගොන් පාට් තිබිය යුතුද ?

    ReplyDelete
  24. ගමේ ගස්ගෙඩි කඩන උන්ගේ පැටවුන්ගේ හීන මානය පිටකර ගැනීමක්...

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.