Wednesday 6 April 2016

වෙස්සන්තර නම් ආත්මාර්ථකාමියෙකි, එතකොට සුමනාවතී? - I dont get this!


මේ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලට සහභාගී වීම සඳහා මා ලංකාවේ ගතකළ කාලයේ දී ලද අපූරු අත්දැකීමකි.

කාලය පිළිබඳ ප්‍රශ්නයක් නිසා හැකි තරම් කෙටියෙන් ලියන්නට අදහස් කරමි.

අපේ අම්මා සාමාජිකාවක් වන ගමේ වැඩිහිටි සමිතිය නිසා, මහලු වයසේ පසුවෙන, තම සැමියන් මිය ගොස් වැන්දඹුවී කල් ගත කරන, කිසිදු ආදායම් මාර්ගයක් නොමැති, විවාහ වූ දරුවකුගේ නිවසේ කල් ගත කරන, ජීවිතයේ මේ සෑඳෑ සමයේත් අනවශ්‍ය ප්‍රශ්නවලට මැදිහත් වී සිටින කාන්තාවන් කීප දෙනෙකු ගැන මම දනිමි.

මගේ මවට වඩා වසර කිහිපයකින් වයසෙන් අඩු ඉන් එක් කාන්තාවක් විටින් විට පැමිණ මගේ මවට විවිධ උදව් උපකාර කිරීමට පුරුදු වී සිටියි. ඇය කලක් මගේ මවගේ තනියට නිවසේ නවාතැන් ගෙන ද සිටියාය. මගේ මව ද ඇයට හැකි අයුරින් උදව් උපකාර කරන්නීය. එය වින්-වින් තත්වයකි.

මෙවර ලංකාවේ මා ගත කළ කාලයේ දෙතුන් දිනක්ම ඇය නිවසේ දී මුණ ගැසුණි. අවසන් දිනයේ දී ද ඇය අප නිවසට උදේ පාන්දරින් ම ආවේ වෙනත් ගමනක් යාමට සැරසීය.

"පුතේ මේ නැන්දාට දැන් පැන්ෂන් එකක් ලැබෙනවා නේ. මේ ඒක ගන්න යන ගමන් ලු!" අම්මා පැවසුවාය.

මා දැන සිටියේ ඇයට කිසිදු ආදායමක් නොමැති බවකි.

"ආ, හොඳයිනේ. ළඟදී ඉඳලාද ඒ?" මම විමසුවෙමි.

"ඔව්, මෙයා කොහොම හරි ග්‍රාම සේවකට කියලා හදාගෙන. රුපියල් දෙදාස් පන්සීයක් ම ලැබෙනවා!" අම්මා කීවේ මද සිනාවකිනි.

ඒ මිතුරු සරදමක් බවත්, ඇයට ලැබෙන්නේ මසකටම රුපියල් දෙසිය පනහක් බවත් මම මොහොතකින් දැන ගත්තෙමි.

මා කළේ, "මෙන්න එහෙනම් මගෙනුත් නැන්දාට!" කියා රුපියක් දෙදහස් පන්සීයක් ඇය අතට දීමයි.

පැයක් පමණ කාලයක් අප නිවසේ ගත කළ ඇය පිටව යාමට කලින් මා අමතා කීවේ, "පුතා මං පන්සලේ කුළුණක් හදන්න රුපියල් අටදාහක් දෙන්න ලියලා තියෙනවා. පුතා දුන්නු සල්ලිවලින් ඒකට ගන්නම් පුතාටත් පින් සිද්ධ වෙයි!" කියාය.

මම තරමක විස්මයට පත්වීමි.

"අපෝ මට ඔය තියෙන පින් ඇති. ඔය සල්ලි කෑමට බීමට ගන්න!" මම ස්ථිරවම කීවෙමි.

කවුරුන් හෝ දෙන මුදලක් සහ මසකට ලැබෙන රුපියල් දෙසිය පනහේ පින් පඩිය හැර වෙනත් කිසිදු ආදායමක් නැති, ඥාතියෙකු ගේ නිවසේ තාවකාලිකව නතර වී සිටින ඇය වැන්නියක, ඇගේ තත්වයේ හැටියට අති විශාල මුදලක් වන රුපියල් අටදාහක් පන්සලේ කුළුණක් සෑදීම වැනි නොවැදගත් වැඩක් සඳහා දීමට පොරොන්දු වී ඇත්තේ, එයින් පින් ලැබේය, ඒ පින් බලෙන් මතු ආත්මයේ හෝ මීට වඩා හොඳ ජීවන තත්වයක් ලැබේය යන චේතනාවෙන් බව පැහැදිලිය.

ඒ ගැන මගේ අවුලක් නැත.

මා දුන් මුදල දැන් ඇගේ ය. එය ඇය කැමැති ආකාරයකට වියදම් කළ හැක. ඒ ගැන ද මගේ අවුලක් නැත.

නමුත්, මෙවැනි අයගේ වත්මන් අසරණකම සහ එ නිසාම ඇතිවෙන අනාගතය උදෙසා පින් කිරීමේ අවශ්‍යතාවය දඩමීමා කරගෙන කුළුණු වැනි අනවශ්‍ය ඉදිකිරීම් සැලසුම් කරන පන්සල් ගැන නම් මට ඇති වෙන්නේ කෝපයකි.

මගේ අතිරික්ත මුදල් එවැනි නිෂ්ඵල වැඩවලට දීමට වඩා නැති බැරි අයෙකුට දීමට මා කැමති බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මේ සිදුවීම සම්බන්ධයෙන් මට ඇති අතුරු ප්‍රශ්නයක් නම්, මා දුන් මුදල ඇය පන්සලේ කුළුණ සෑදීම සඳහා පරිත්‍යාග කළහොත්, එයින් පිං ලැබෙන්නේ කාටද? ඇයට ද, මට ද? යන්නය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
වෙස්සන්තර නම් රජා රාජ්‍ය දේපල පමණක් නොව තම බිරිඳ සහ දරුවන් ද දන්දුන්නේ ආත්මාර්ථකාමී ප්‍රාර්ථනයක් සහිතව නොවේද?


(image: https://en.wikipedia.org/wiki/Blind_Faith)

89 comments:

  1. ඔය පිං ගැන කලිනුත් ප්‍රශ්න කරා ෙන්ද?? හැක්. ඒ් පින යන්න ඔ්න කම්පැනියට. අෙපත් හිටියා ෙනා්නා ෙකෙනක්.. රිටයර් වුනා. ඒයාට ඒතෙකාට මිලියන ගානක් ලැබුන ෙබෙනෆිට්ස් විදියට. මහත්තයනං කිව්ෙව් ඔක්ෙකා්ම වියදං කරල පන්සලක් හැදුවය. මං ඔ්වට අත දාන්න ගිෙය් නැතය කියල තමා..

    ReplyDelete
    Replies
    1. සල්ලිකාරයින් පන්සල් හැඳීමයි, තුට්ටු දෙක නැති අයගෙනුත් පන්සල්වල කුළුණු හතන්න සම්මාදම් ගැනීමයි වෙනස් කාරණා දෙකක්!

      Delete
    2. නෑ.. ඒ කියන්නෙ සල්ලි වල ප්‍රමාණයෙන් නේ.. ඒත් හැඟීම එකම මෝඩ හැඟිමම තමා..

      Delete
    3. ලංකාවේ බොහෝ වැඩිහිටියන් මන්දපෝෂණයෙන් පෙළෙනවා. එයට එක් හේතුවක් වන්නේ හාමුදුරුවරු සිය බණ මගින් වැඩිහිටියන් මස්, මාළු කන්නට අකැමැති තත්වයට පත් කිරීම. මෙය ඇත්තෙන් ම බියපත් කිරීමක්. අනෙක් හේතුව මේ අන්දමින් දුප්පතුන්ට කෑමට, බීමට තිබෙන මුදල් රවටා ගැනීම. මේ අන්දමින් ම සූරාකන තවත් පිරිසක් තමයි කට්ටඩියෝ, කේන්දරකාරයෝ හා හොර වෙද්දු හා දොස්තරලා. මයික්‍රෝ ක්‍රෙඩිට්කාරයෝ ඕනැ නම් අර පන්සල් කුළුණ හදන වැඩේට වුණත් ගිනි පොලියට ණය දෙනවා.

      Delete
  2. ඔවා ඉතින් දෙන්න කලින් හිතන්න තිබුනේ...දීලා ඉවර වෙලා ඤං පචං ගාන්නේ නැතුව...... :)

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ. මේ යකා දුන්න සල්ලි වලට මෙහෙම ලෝබ කිරීමෙන් අපාගත වෙන අකුසල කර්මයක් කරගෙන තිබේ.

      Delete
    2. කවුද "ඤං පචං" ගෑවේ?

      දෙන්න කලින් හිතන්නේ කොහොමද, මීට කලින් ඔය වගේ කතාවක් අහලා තිබුණේ නෑ නේ කොන්දේසි එක්ක තෑගි දෙන්න.

      Delete
    3. හෙ හෙ.....සද්භාවයෙන් දෙන දාන කියන්නේ දුන්නා ...දීපු කෙනා එකෙන් තමන් කැමති දෙයක් කර ගන්නවා....එකේ කොහු හොයන්න දෙයක් නෑ.....

      දීපු දෙයට මොකද වෙන්නේ කියලා බලන් ඉන්නේ ඉන්වෙස්ට් කරන අයයි......

      සමහර විට කකා කරන්න ඇත්තෙ ඉන්වෙස්ට්මන්ට එකක්..තමන් ලග නැති හින්දා අම්මගේ තනි රකින්න එන කෙනාට දුන් මුල්‍යමය ඉන්වෙස්ට්මන් එකක්.....


      ඕකට මෙහෙ කොහොවත් යන පව්-පින් ගාව ගන්න දෙයක් නෑ....

      Delete
    4. නොපෙනුනා නම් -

      /* රුපියල් අටදාහක් පන්සලේ කුළුණක් සෑදීම වැනි නොවැදගත් වැඩක් සඳහා දීමට පොරොන්දු වී ඇත්තේ, එයින් පින් ලැබේය, ඒ පින් බලෙන් මතු ආත්මයේ හෝ මීට වඩා හොඳ ජීවන තත්වයක් ලැබේය යන චේතනාවෙන් බව පැහැදිලිය.

      ඒ ගැන මගේ අවුලක් නැත.

      මා දුන් මුදල දැන් ඇගේ ය. එය ඇය කැමැති ආකාරයකට වියදම් කළ හැක. ඒ ගැන ද මගේ අවුලක් නැත. */

      Delete
    5. එතකොට මොකක්ද කකා අවුල....මට පිස්සු වගේ..

      ;)

      Delete
    6. @ Mayya
      මගේ අවුල දෙවැදෑරුම් ය.

      1. ලබන ආත්මයේවත් හරි යාවි යැයි සිතා පිං රැස් කිරීමට අසරණ අය අතේ තියෙන තුට්ටු දෙකට තට්ටු කර ගැනීම

      2. රුපියල් දෙසිය පනහේ පිං පඩි ගන්න අයගෙන් පන්සල්වලින් සම්මාදම් ගැනීම

      බණ කියන්නට පෙර කුසගිනි නිවා ඉන්න යැයි කියූ බුදුන් ගේ දහමට / චර්යාවට අනුව මෙය අවුල් සහගත නොවේද?

      Delete
    7. @ Rasika

      1. ඊලඟ ආත්මයක් නැති හෙයින් ...ඒ ගැන සිතා දැන් තියෙන තුට්‍ටු දෙක නැති කර ගැනීම අනවශ්‍යය..

      2. පන්සල් තම දායකයන්ගෙන් බලෙන් සම්මාදම් ගන්නවා යැයි මා සිතන්නේ නැත...උපාසක උපසකයන් එවා දෙන්නේ තම කැමැත්තෙනි....ඔවුන්ගේ ඒ නිදහසට බදා නොකරන්න...

      3. බුදු හාමුදුර්වෝ කියපු විදිහටම දැන් වැඩ කටයුතු සිද්ධ වෙන්න ඔනා කියලා නියමයක් නැත...ඔය නීතී රීති කාලය අනුව වෙනස් කර ගත්තාට මට නම් අවුලක් නැත. රසිකට ඔනා නම් කාල බ්ලොග් ලියන්න....නැතිනම් බ්ලොග් ලියලා කන්න....

      Delete
    8. කිසිදා නොදැක්ක ඊළඟ ජීවිතයක් විශ්වාස කරන කෙනෙක්ගේ මානසිකත්වය තේරුම් ගන්න පුළුවන් මයියාට,

      මුදල් අඟහිඟකම් වලින් පෙළෙන තම මිතුරෙක්ට හොඳ හිතින් රුපියල් දෙදාස් පන්සීයක් දුන්නාම ඌ ගිහින් ඒ සල්ලි වලින් කණමදයා වගේ බිව්වම අවංකව උදව් කිරීමේ පරමාර්ථයෙන් සල්ලි දුන්න මිතුරාගේ හිතේ ඇතිවන හැඟීම තේරුම් ගන්න බැරි වෙන්න විදියක් නැහැ.

      ඕනකමින් තේරෙන්නේ නෑ වගේ ඉන්නවා නොවේ නම් හැර.

      (ආගමික සන්ධර්භයෙන් පිට උදාහරණයක් දුන්නේ තමාගේ ප්‍රියතම ආගම සම්බන්ධව නොපෙනෙන දේ වෙනත් ආකාරයෙන් කිව්වාම පහසුවෙන් පෙනන නිසා)

      Delete
    9. මිතුරා අදුනගෙන නැති එක නේ ප්‍රස්නේ....
      කන බොන මිතුරෙක් නම් සල්ලි හම්බු නාම කනවා බොනවා ඇරෙන්න දාන මාන දෙන්න යන්නේ නෑ කියලා තේරුම් ගන්න පස්තාච්චි උපාධි ඕනා වෙන්නේ නෑ...:)

      මුං දාලා තල ගන්න බෑයි කියලා අඩන එක නේ අවුල....

      Delete
    10. සිත ලොබ කමින් දෙන 'දන්' වල අරුත් නැත
      අතහැර සිතින් දෙන විට නිසි ඵලය ඇත
      මේ බැව් දන්න කෙනෙකුන් ගති සහල් කොත
      දුන් දේ සුවදමයි සිතුවොත් නිවෙයි සිත..
      (කොතනක හෝ තිබී කියවූ කවියක මතකයක් )

      ඵලය ගැන නම් කියන්න දන්නේ නැහැ. සිතට නම් පොඩි චූන් එකක් තියෙනවා දීපු දෙයකින් කවුරු හරි සතුටු වෙනවා නම්.Aru

      Delete
    11. දායකයින් දෙන්නේ කැමතේතෙන් තමයි, නමුත් ඒ සඳහා ඔවුන්ව යොමු කරන්නට සාදුලා කරන මාකටින්, ප්‍රමෝෂන් වැඩ නම් කෙලවරක් නෑ!

      Delete
    12. Older people do this because they feel that their time is ending and due to fear of death.. I saw this through my parents very clearly. .. It is linked with our cultural beliefs.. This is different in western culture because they beleive in enjoying life in retirement as they don't beleive in a next life

      Delete
  3. පින ලැබෙන්නේ නායක හාන්දුරුවන්ටය.....

    ඔහේට වන්නේ පාඩුවක් මිස වෙන කිසිවක් නොවේ...

    ReplyDelete
    Replies
    1. නෙළුම් කුළුණ ද මන්දා ඔය හදන්නේ සම්මාදම් කරළා!

      Delete
  4. වරක් ජේසු තුමා අමාරුවේ දැමීමට සිතූ කෙනෙක් සීසර්ට බදු ගෙවීම හරි දෙයක් දැයි විමසුවා. ජේසු තුමා කීවේ කාසියේ තියෙන්නේ කාගේ රූපය දැයි බලන ලෙසයි. එහි ඇත්තේ සීසර් ගේ රූපය යැයි කිවූ නිසා "සීසර් ගේ සීසර්ට දෙන්න දෙවියන්ගේ දේ දෙවියන්ට දෙන්න" කියායි. ඒ අනුව රසික දුන දාහේ කොල වල ඇත්තේ අත් ඔසවාගෙන ව්‍යායාම කරන මහින්ද රාජපක්ශගේ රූපය බැවින් පින යන්නේ ඔහුටය.

    ReplyDelete
    Replies
    1. ළඟදීම සිරිසේන ඉන්නා දහදාහේ කොළත් ඒවි නේද?

      Delete
  5. අනාගත පරපුර උගස්කර රජය ගන්නා ණය වලින් ඇයට ලබාදෙන පිංපඩියත් කුළුනට දාලා නම් එයාට ලැබිය යුත්තේ පවක් නේද?

    ReplyDelete
    Replies
    1. රජයෙන් දෙන මුදල් කොහොමටත් එකතු වෙන්නේ රටේ ආර්ථිකයටයි. එයින් ආර්ථිකය ප්‍රසාරණය වෙනවා. කේනීසියානු ක්‍රමය එයයි.

      Delete
  6. මිනිස්සු හිතනවාදමන්දා වැඩියෙන් දුන්නම පින් වැඩී, අඩුවෙන් දුන්නොත් පින් අඩුයි කියලා.. මට තියන ප්‍රශ්නෙ ඕකයි.. මොකද මිනිස්සු වැඩ කරන්නේ ඒ විදිහටනේ..

    අපේ ගමේ පන්සලෙ හාමුදුරුවෝ දැනට අවුරුදු 9 ඉදලා ගමේ මිනිස්සු හැමෝගෙන්ම අවුරුද්දකට 1000 රු පරිත්‍යාග කර ගන්නවා. පරිත්‍යාග කරනවා නෙවෙයි. කර ගන්නවා. පන්සල හදන්න තමයි පරිත්‍යාග කර ගන්නේ. ඒත් හදපු පන්සලක් නම් නෑ. පහුගිය ආණ්ඩුවේ බුද්ධ ශාසන ඇමති හිටියේ පන්සලේ අල්ලපු වැටේ. . ඒත් තාම හාමුදුරුවෝ පරිත්‍යාග කරව ගන්නවා.

    ReplyDelete
    Replies
    1. //පරිත්‍යාග කරව ගන්නවා.//

      මරු කතාව

      Delete
    2. සාදුලා මාකටින්, සේල්ස් ප්‍රමෝෂන් ගැන කප්පිත්තෝ!

      Delete
  7. පිං කියන්නේ හිතේ සතුට නිසා ඇය එයට සම්මාදම්වී සතුටුවී පිං ලබා ගනී, ඇය සතුටුවීම ගැන සතුටුවුන රසිකලොජිස්ට්ට්ත් පිං ලැබෙයි මං හිතන්නෙ. (ඉයන්තුමාගෙන් ලැබිය හැකි නිවැරදි කිරීමකට යටත්ව ප්‍රකාශකල බව කරුණාවෙන් සලකන්න)

    පංසල් වලින් ඔය ෂෝ වැඩ මිසක් බොහොම කලාතුරකින් තමයි අනාථනිවාසයකට වගේ වැඩකට උදව් කරන්නේ හෝ උදව් කිරීමට මිනිසුන් පෙලඹවන්නෙ.

    මාර වැඩේ කියන්නෙ හුඟක් මිනිස්සුන්ට අනාථ නිවාසයකට ( පංසලකට ඕනෙමනම් දුප්පත් පංසලකට දානෙ හෝ රෝගී හාමුදුරුකෙනෙකුට ආධාර )වගේ දේකට ආධාර කිරීමට වඩා සතුටක් රං වැටකට අසූරියන් බුදු පිලිමයකට, අට විසි (?) බුදු පිලිම පෝලිමකට ගංටාර කුලුණකට ආධාර කිරීමෙන් , පෝසත් පංසලකට අමාරුවෙන් දානයක් බුක් කර ගැනීමෙන්, දඹදිවට සිල්ක් ඡත්‍රයක් ගෙනයාමෙන් ලැබෙන එක.
    සතුටු වෙන එක හොඳයි . එනිසා පිනුත් ලැබෙනව ඇති. ඒත් ඇයි එහෙම කරන්නේ? විශ්ලේශනාත්මකව බැලීමට ඇති නොහැකියාවද පූජකයින් විසින් නොමග යැවීමද? ෆැශන් එකද?

    ReplyDelete
    Replies
    1. හරි හම්බ කරපු දේවල්
      දුක් මහන්සියෙන්
      මම දනට පිනට දුන්නේ
      හිතේ මනාපෙන් ……

      Delete
    2. මා මෑතදී ආධාරයක් කර තියෙනවා පන්සලක සාදු කෙනෙකුට ඩයලසිස් කිරීමට නම්. පසුගිය දිනක ඔහු මිය ගියා!

      සිඩ්නි ලංකාරාමයේ සාදු විසින් පිහිටවූ වැඩිහිටි නිවාසයක් තියෙනවා මං හිතන්නේ කළුතර පැත්තේ. ගොඩක් කලකට පෙර මාත් පොඩි ආධාරයක් කළා ඒකට.

      Delete
  8. චේතනාව යහපත් නෙ.. ඒ අම්මා හොඳ හිතිං දීපු දේ ඒ මනුස්සයා ඇරං යයි.. රසිකටත් එහෙමයි !!!

    ඒ මනුස්සයට ඒ සල්ලි වලිං කනව බොනවට වඩා වටින්නෙ පංසලට දීල ලැබෙන හිතේ තංතෝසෙ වෙන්ටැ..කාරි නෑ හිතේ සතුටට වඩා මක්කද ඉතිං.ඕ යේස්

    ReplyDelete
    Replies
    1. හිතේ තංතෝසෙන් කන්න බොන්නත් පුලුවන් බොස්.
      ඊලඟපාර එන්නකො ඕ යේස්

      Delete
    2. හැක්….අර මැසිං බිජ්ජට හොරෙං කමු බොමු ප්‍රීති වෙමු :D

      Delete
    3. බඩට කාලා දරුවාට කිරි දෙනවාද, නැතිනම් ඒ මුදලින් කෙලින්ම කිරිපිටි අරගෙන දෙනවාද වගේ උභතෝකෝටිකයක්.

      Delete
  9. පන්සලේ පල්ලියේ දහදියෙන් අපි තැනූ
    පිළිම දාගැබ් පෙනේ ලෝකයක් දණ නැමූ
    ඒ අපේ ශක්තියයි ඒ අපේ ජීවයයි
    වන්දනා කරන්නේ වන්දනා ලබන්නේ

    මේ බවක් තේරුණේ නැති කමින් ලෝකයේ
    නැති කමයි රජ වුනේ දුක් නොවව් මිනිසුනේ
    හෙට වුනත් නෑ පමා පණ පොවා ජීවිතේ
    රළ පෙළක් සේ නැගෙව් මියැදුනත් හාමතේ

    වීරියෙන් රට නැගූ දහදියෙන් බිම තෙමූ
    ජීවිතේ වේදනාවෙන් සදාකල් ගෙවූ
    මිනිසුනේ හදවතේ ලේ වලින් පණ ලැබූ
    පරපුරක් බිහි කරව් මාවතේ තනි නොවූ ……

    - එඩවඩ් ජයකොඩි -

    ඕං මං ගානෙ :D

    ReplyDelete
    Replies
    1. //රළ පෙළක් සේ නැගෙව් මියැදුනත් හාමතේ//

      දේශපාලක උත්තමයෙක්ද ලිව්වෙ?

      Delete
    2. මේක ලිව්වෙ රඹුකන සිද්ධාර්ථ හිමි. මාර අයිරනියක් නේහ්

      Delete
    3. යකඩයක් නෙවෙයි මහත්තයෝ මේක සින්දුවක්.

      -සින්දු ඇනෝ-

      Delete
    4. පරණ සටන් කවියක් සිහිවිය!

      කන්න නොමැතිව බොන්න නොමැතිව අපට ඇතිමුත් පුරුදු වී දුක
      බැන්ද බලකොටු රැකිය යුතු වෙමු තවත් බලකොටු තනමු සිරි ලක
      පන්තියේ උවමනාවන් මත රටම ඇති සැරසෙමින් නෑ සැක
      කන්දසාමි ගෙ සෝමපාල ගෙ නමින් සහතික කරමු ඒ ටික

      Delete
  10. ඔකේ පින් ලැබෙන්නේ ලෝටස් ලෑන්ඩ් අජියා ඇතුළු නඩේ එකටය ඒ අකාලයේ මෑණියන් බලන්නට ගොස් අහම්බෙන් පින් කරන්නට සිදුවෙන විටය

    ReplyDelete
    Replies
    1. අජිත්ටත් පිං අනුමෝදන් වේවා, එහෙනං!
      ;-)

      Delete
  11. හැකි තරම් අත් හැරීම තමයි ලොකුම පිණ ලෙස මම හිතන්නේ...
    නමුත් කරන්න අමාරුම දේත් ඒක...

    ReplyDelete
    Replies
    1. ඔක්කොටම කලින් තමුසෙගෙ අලි ඔලුව අත්හරිනවා

      -මයියා-

      Delete
    2. there may be so many mayya

      but this is not this mayya

      http://maiyyagelokaya.blogspot.com/

      No offence

      Delete
    3. ඕක අපේ සීයාත් කිව්වා ඒ දවස්වල!
      වස්තුවට ඇති ඇලීම නිසාලු දුක ඇති වෙන්නේ.

      Delete
    4. @ Anonymous6 April 2016 at 23:04
      ඇයි මම අත ඇරපු ගමන් අහුල ගන්නවත්ද... ;)

      Delete
  12. රසිකට දෙදාස්පන්සීයක පින්... අර අම්මට අටදාහක පින්... අනික තමා ඔය ලැයිස්තුවේ කෙනෙකුගේ ආමිෂ දානයෙන් ලැබෙන පිනේ වේටිං එක අඩුයි ධර්මයට, සංඝරත්නයට අදාල කාරණයක් සඳහා දානයෙන් ලැබෙන පිනට වඩා. ඒ නිසා අන්තිමේදී, රසිකට දෙදාස්පන්සීයක පින් ලැබෙනකොට ඒ මුදලුත් ඇතුළුව අටදාහක් වියදම් කරලා අර අම්මට පුළුවන් පහලොස්දාහක, විසිදාහක විතර පිං කරගන්න.

    ReplyDelete
    Replies
    1. පිං වැඩ කරන්නේ ගුණොත්ත්තර ශ්‍රේනියකින් වගේ නේද?

      Delete
  13. අර අම්මටත් පින්, රසිකටත් පින්. දීමෙන් ලැබෙන හිතේ සතුට ඔය හැමදේකටම වඩා වටිනවා මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් ලියා පල කළ එකත් පිනක් වගේ!

      Delete
  14. ඔය වගේ තමන්ගේ ගේදොර හදලා ඉවර නැති සමහරු පන්සල්වලට රිදී පාත්තර , දොළොස් මහේ පහන් වගේ අනවශ්‍ය දේවල් පුජා කර කර දුක් විඳිනවා

    ReplyDelete
    Replies
    1. ලබන ආත්මේදී නිකං ලැබෙන්න දැන් කරන ආයෝජන!

      Delete
  15. පින හාමු...දුරුවන්ට. ඒ පිනෙන් සහ උපාසක උපාසිකාවන් ඇන්ද්වීමේ මහා පින මෙලොවදීම පල දීම හේතුවෙන් එතුමෝ සැපෙන් සනීපෙන් පහසුවෙන් දිවි ගෙවති. අන්න පිනේ බලේ.. ඔයැයිටත් සිවුර දාගත්ත එකේ එහෙම්ම ඉන්න තිබ්බෙ අප්ප.. එහෙනං ඔහෙත් මෙලොවදීම ඒ පින භුක්ති විඳිනව ඉඳගෙන....

    ReplyDelete
    Replies
    1. පොටෝ කෑල්ලෙයි මේකෙයි තියෙන සම්බන්දෙ මොකද්ද හැබෑටම

      Delete
    2. BLIND FAITH කියන්නේ 1960-1970 යුගයේ එංගලන්තෙන් බිහිවුනු දක්ශ රොක් සංගීත කංඩායමක්. එරික් ක්ලැප්ටන් වගේ අති දක්ශයෙකුත් මෙහි සාමාජිකයෙක්ව හිටියා.Aru

      Delete
    3. තැංකුයි තිසර සහ අරූ......

      Delete
    4. මං සාමාන්‍යයෙන් හැම ෆොටෝ එකක්ම ගත්තු තැන දානවා. එතැනින් හොයා ගන්න පුළුවනි!

      Delete
  16. ඔය වෙන්නෙ මෙහෙමයි. අන්න අර පන්සලේ කුළුන, මාත් ඕකට අටදාහක්ම දුන්නනෙ කියල උන්දැට සතුටු හිතෙනව.

    මාකටින් වල කියැවෙන විදිහටම පිනට ඇති ඉහල ඉල්ලුම පවත්වාගෙන යන්න හාමුදුරුවො අලුත් අලුත් ප්‍රඩක්ට්ස් මාකට් එකට දානව.

    දෙගොල්ලම කරන්නෙ බිස්නස් එකක්.

    ReplyDelete
    Replies
    1. අපේ අම්මාත් කුළුණට කෙලින්ම සහ වක්‍රව බර පැණ දරනවා විය යුතුයි. මං ඇහැව්වේ නෑ.

      Delete
  17. ඔය වෙස්සන්තර කියන එකා නම් එපාම කරපු මනුස්සයෙක් - මට ඔය කතාව කියවද්දිත් තරහ යනවා

    ReplyDelete
    Replies
    1. මටත් හරියට දුකයි පොඩි කාලේ දරුවන් දෙදෙනාව ජුතක බමුණාට දන් දෙන කොට. හැබැයි ඔය කතාව ගොතපු එකා, එතැනට ශක්‍රයාව දාලා වැඩේ සුඛාන්තයක් කරලා ෂේප් කරනවා!

      Delete
  18. කොහොමත් අපේ අය ගොඩක් කැමතියිනේ පින් රැස් කරගන්න.දැන් ඔය සමහර අයට අනුව අසරණ කෙනෙක්ට දෙයක් දෙනවාට වඩා පින වැඩියි ලු නේ හාමුදුරුකෙනෙක්ට දුන්නාම.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්නේත් එවුන්දෑලාම තමයි!

      Delete
  19. රසිකගේ සටහන කියවලා මටත් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හිතුනා. මේ තියෙන්නේ ලින්ක් එක. කැමති අයට කියවන්න පුළුවන්.
    http://magewalpal.blogspot.com/2016/04/blog-post_6.html

    ReplyDelete
    Replies
    1. දැන් මේ දෙකම් ලියන්නේ එක්කෙනාද.....නැත්තං එක්කෙනෙක් කොපි කරනවද?




      http://magewalpal.blogspot.com/2016/03/blog-post_75.html

      https://asammathayaaa.wordpress.com/2016/04/04/diet/

      Delete
    2. දෙකම ලියන්නේ සංජය ශ්‍රීකාන්ත් හෙවත් ජේමිස් බණ්ඩා හෙවත් සංජය ශ්‍රීකාන්ත්. අසම්මතයා සීරියස් එක. වල්පල් නිකමට ආතල් එකට ලියන එක. මිත්‍රයෙක්ගේ ඉල්ලීම නිසා වල්පල් එකට ලිව්ව ඔය ලිපිය අසම්මතයා එකෙත් පෝස්ට් කලා. ඉදිරියේදී බ්ලොග් දෙකේම එකම ලිපි පෝස්ට් කරලා මේ වගේ පටලැවිලි නොවෙන්න වගබලාගන්නම්.

      Delete
    3. ස්තුතියි සන්ජය. මං ඒ ලිපිය කියෙව්වා!

      Delete
  20. දෙන්නටම පින් ලැබෙයි..හරියට ඉන්ඩ තැනක්වත් නැතිකෙනෙක් ගෙන් සල්ලි ගන්න හාමුදුරුවන්ට???

    ReplyDelete
  21. ශුවර් එකටම ඒක ඒ මනුස්සයා කුළුණ හදන්න දෙනවා. කුළුණේ ඒ මැතිනියගේ නමත් යාවි.

    ReplyDelete
    Replies
    1. කුළුණ උඩින් වහලයක් තියෙනවා නම් කවුරු හරි වැස්සෙන්වත් නොතෙමී ඉඳීවි කියා හිතමු!

      Delete
  22. ඇගේ තත්වයේ හැටියට අති විශාල මුදලක් වන රුපියල් අටදාහක් පන්සලේ කුළුණක් සෑදීම වැනි නොවැදගත් වැඩක් සඳහා දීමට පොරොන්දු වී ඇත්තේ, එයින් පින් ලැබේය, ඒ පින් බලෙන් මතු ආත්මයේ හෝ මීට වඩා හොඳ ජීවන තත්වයක් ලැබේය යන චේතනාවෙන් බව පැහැදිලිය.///// for them its an investment for the next world

    ReplyDelete
    Replies
    1. රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් RoI එක හොඳ ඇති!

      Delete
  23. ඔයා අවාරේ පින් කරන්න 2017 දී ඔය කාලේ අල්ලලම ලංකාවට එන්න

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එන්න හිතිලායි තියෙන්නේ!

      Delete
  24. /මට ඇති අතුරු ප්‍රශ්නයක් නම්, මා දුන් මුදල ඇය පන්සලේ කුළුණ සෑදීම සඳහා පරිත්‍යාග කළහොත්, එයින් පිං ලැබෙන්නේ කාටද? ඇයට ද, මට ද? යන්නය./

    ඔය පිං ලැබෙන ලිස්ට් එක ගොඩක් දිගයි. ඒකෙ මුලිම්ම ඉන්නෙ අශෝක අධිරාජයා සහ දේවානම්පියතිස්ස රජු. එතන ඉඳං රසික දක්වා හැමෝටම පිං.

    ReplyDelete
    Replies
    1. එහෙම පිං බෙදිලා ගිහින් එකෙකුට ශතයකවත් පිනක් නැති වෙයි නේද?

      Delete
  25. මේ ලඟදි හයිඩ් පිටියේ පැවති රැස්සීමකදී ලොකු දොස්තර මහත්තැන්කෙනෙක් කියනව ඇහුන මේ පින්බිම රැකගන්න ඕනෙයි කියල. ඉතින් මං අහන්නේ පිං බිමක් නං අහවල් කෙංගෙඩියකටද පිං කොරන්නේ. ඒ වරිගෙ ඇත්තන්ට නම් බිම්බිමක්ම තමයි.

    ReplyDelete
    Replies
    1. හිටිගෙන හිටියත් පිං, ඉඳගෙන හිටියත් පිං, නිදා ගත්තත් පිං!

      Delete
  26. බොහෝ කලකට පෙර ජයවර්දන රජු සමයේ මා මෙසේ ලීවෙමි.

    මෙහෙසිය පාවාදී
    දරුවන් වහලුන් කර
    ලැබුවෙලු විමුක්තිය
    මහ බෝ සතානෝ

    එලෙසම

    මව් බිම පාවාදී
    සිහලුන් වහලුන් කර
    ලබාවිද විමුක්තිය
    ජනපති උතුමාණෝ

    ReplyDelete
    Replies
    1. ඒ ජනාධිපති නං නිවන් ගියා නේද ඒ ආත්මෙ දී ම?

      Delete
  27. ඒක ඇත්ත .. ජාතකකතා බුදුදහම ජනප්‍රිය කලාට අවුල් කළා. බුදු දහමෙ ආර්ථික ශක්තිය හදාගන්න එක ගිහියන්ට වැදගත් කියල ඉගැන්නුවට අන්ධ භක්තියට ඒක පේනනෙ නෑ ... පන්සල තියෙන්න ඔ්නෙ බහු ජන හිතාය. සුඛාය වුනාට ලේසි බිස්නස් ඉස්සරහ ඒක පේන්නෙත් නෑ ... සල්ලී පිනුයි එහෙට මෙහෙට ගැලුවට (සුමනවතී විතරක් නෙමෙයි ) සමාජෙම හෙන දුප්පත් ..

    ReplyDelete
  28. ඉරිසියාව යනු අප හැමගේම සිත් වල පැලපදියම් වූ චෛතසිකයකි. අනුන්ගේ දුක ට පිහිටවීමට වැඩිදෙනෙක් පෙළඹෙන්නේ මේ හේතුව නිසා බව ඒ පින්වත්හු නොදනිති. දුප්පතුන්ට මුදල් වියදම් කිරීමට අප බොහෝ විට කැමැත්තක් දක්වන්නේත්, මේ බොහෝ දෙනෙක් ගරුකරන කෙනෙකුට යම් අපහාසයක් කිරීමෙන් යම් සතුටක් ලබන ඊර්ෂ්‍යා පරවශ සිතෙන්මයි. දුප්පත් කාන්තාවක් තම සේසතම වියදම් කර කුඩා පිංකමක් කිරීම ගරහන්නේ මුදිතාව නම් ගුණය අසාවත් නැති නිසා යයි හිතමි. එම කාන්තාව මේ පිනෙන් දෙව් ලොව වැනි යම් ආනිසන්න්සයක් බලාපොරොත්තු වන්නේ නම් එය ඇයගේ අවිද්‍යාවයි. මේ කමෙන්ට් එක, තමා දුන් මුදල අයගේ දුප්පත් කම සඳහා ප්‍රයෝජනයට නොගැනීම නිසා තමාගේ ඊර්ෂ්‍යාවට අවශ්‍ය ආහාරය නොලැබීම නිසා ඇතිකරගත් ද්වේශය, මෙම කතට එය පිනට දීමට සිත් වීමට මුලික වූ ශාස්තෘවරයාට පහ කිරීම බව, මේ පින්වත් මහතා නිස්කලංකව විවර්ත මනසකින් කල්පනා කරන්නේ නම් වැටහෙනු ඇත.

    ReplyDelete
  29. මෑතකදී මම අපට යම් කාලයකදී පිහිට වූ වයස්ගත දිළීදු කාන්තාවකට යම් මුදලක් ලබා දුන්නා - ඇය ඉන් කොටසක් ඒ ප්‍රදේශයේ පන්සලක සිදු කර තරමක් විශේෂ ආකාරයේ පින්කමට ලබා දුන් බවත් මට ද ඒ අවස්ථාව ලබා දීම ගැන පින් දුන් බවත් පසුව දැනගන්නට ලැබුනා - කෙසේ වුවත් මට නම් ඒ පිළිබඳව කිසිඳු කුකුසක් ඇතිවූයේ නැහැ . මට වැදගත් වූයේ ඇයට යම් සහනයක් ලබා දීම - ඇය පින්කමට මුදලක් දී සහභාගි වීම නිසා මානසික සතුටක් ලැබුවා නම් එය මගේත් සතුටට කරුණක් -

    ReplyDelete
  30. මේ වගේ පින් කරන අය බොහොමයක් මටත් හම්බවෙලා තියෙනවා . අනවශ්‍ය විදිහට තමන්ගේ හිසට වහලක් පවා නැති සමහරුන් අපි දුන් දෙයින් අපටම පින්සිදුවෙන්න කියා මෙවැනි වැඩ කරනු දැක තිබේ. උදාහරණයක් ලෙස අප නිවසක් තනා දුන් එක පවුලක් අපට පින් සිද්ධ වෙන්න කියා වැඩිහිටි නිවසකට දානයක් දුන්නා ගිය අවුරුද්දේ. මම ඉන්නේ ඊළඟ අවුරුද්දේ ඒ බර පැන මමම දරන්න.. ඔන්න අපිව බලෙන්ම පිනට අදින හැටි.... හැබයි මමත් පුද්ගලිකව අකමැතියි ඔය පිළිම, දේවාල , රන්වැට වල් වලට කට්ටිය මුදල් යොදවනවට.... ( එහෙම වෙලාවට මම හිමින්ම එයාලට පින් කරගන්න ඇරලා , මගේ පින් කොටස අයින් කරගන්නවා , අකමැත්තෙන් හරි) මේක කාලින මාතෘකාවක් ලිව්වට ස්තුතියි රසිකට..

    ReplyDelete
  31. වෛද්‍ය සායනයකට සහභාගිවීමට මහමෙව්නාවට යන්න සිදුවිණි . සියගණනක් සිටියහැකි බිමක දහස් ගණනක් රැස්ව සෙවනක් නැතිව අව්වේ සිට ගිලන්වූ වැඩිහිටියන්ට උපස්ථාන කරන අතර එහි තිබූ cutout එකක් දුටිමි. එහි වූයේ කිඹුල්වත් නුවර සිධාර්ථ මාලිගයේ අනුරුවට පන්සල් මන්දිරයක් ඉදිකිරීමට අදාර ඉල්ලීමකි ... බොහෝ අය පෝලිමේ ගොස් අදාර කරනු දුටිමි. එහි සිටි මහමෙව්නා භික්ෂුවගෙන් මා විමසුයේ ඔබ මේ දුප්පතුන්ගේ අදාර ලබාගන්නේ සිදුහත් හැරගිය ගිහිගෙය නැවත ඉදිකරන්න නේද කියාය .. ඔහු නිහඬව මදක් බිම බලා සිට ම නොතකා ඉවත ගියේය... ඔවුහු එය ඉදිකොට උත්සවාකාරයෙන් විවුර්ත කොට වන්දනාමාන කරමින් යෙහෙන් වැජබෙති..!!!

    ReplyDelete
  32. යෙස් යෙස්..දැට්ස් ටෲ ඉන්ඩීඩ් බ්‍රදර්.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.